Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all 1094 articles
Browse latest View live

බඩඉරිඟු ප්‍රධාන ආහාරය කර ගත් පැරණිම මිනිස්සු!

$
0
0
මීට වසර 4,700ට පෙර මිනිසුන් ඉරිඟු ප්‍රධාන ආහාරය කර ගත් බවට සාක්ෂි මධ්‍යම ඇමෙරිකාවේ ලෙන් ආශ්‍රිත ප්‍රදේශයකින් හමු වී තියෙනවා. මේ බව හෙළි වී තියෙන්නේ බේලීස් හී මායා කඳුකරයේ කරන ලද කැණීම්වලිනුයි.

පසුගිය වසර 10,000ක පමණ කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ තැනින් තැන වළ ලන ලද ඇට සැකිලි රාශියක් හමු වීමත් සමගයි. මේ බව හෙළි කරගෙන තියෙන්නේ එංගලන්තයේ එක්සෙටර් (Exeter) විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනුයි.
ලෝකය පුරා අද වවන හා ආහාරයට ගන්නා බඩඉරිඟු

එහිදී හමුවුනු ඇටසැකිලි 44ක කාබන් හා නයිට්‍ර්ජන් මට්ටම් මැන බලා ඒ මිනිසුන් ආහාර පිණිස ගෙන ඇත්තේ ශාක හා ගෙඩි වර්ග බවයි, ඔවුන් සොයා ගත්තේ. එහිදී තවදුරටත් කළ සොයා ගැනීම් අනුව ඔවුන් වැඩිපුරම ආහාරයට ගෙන ඇත්තේ බඩ ඉරිඟු බව හෙළි වී තියෙනවා. මේ පර්යේෂකයන් පිරිස කියන්නේ ඇටසැකිලිවල හිමිකරුවන් මින් වසර 4,700කට පමණ පෙර විසූ අය බවයි.

මධ්‍යම ඇමරිකාවේ ලෙන් ගුහාවල ඉතා සුරක්ෂිතව පැවති මේ ඇටසැකිලි සොයා ගැනීම මෑත යුගයේ සිදු වූ විශිෂ්ට ගවේෂණයක් ලෙස සැලකිය හැක්කේ.
බේලීස් හි මායා කඳුකරයේ හමු වී තියෙන සොහොන් බිම්වල 
පසුගිය වසර 10,000ක් තිස්සේ වළ ලන ලද මිනී ඇටසැකිලි 
හමු වූයේ එක්‍සෙටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කළ කැණීම්වලින්.

මේ වන තෙක් ම මානවයා අස්වනු නෙළා ගෙන ශාක බෝග ප්‍රධාන ආහාරය කර ගත්තේ කුමන වකවානුවේ දැයි හරි හැටි දැන සිටියේ නැහැ. එදා දකුණු ඇමරිකාවේ ප්‍රධාන ආහාරය වූ ඉරිඟු අද ලෝකය පුරා ම ජනතාව භාවිතා කරනව‍ා.

මේ බෝගය දැන් ලෝකයේ මානවයාගේ ආහාරයේ ඉතා වැදගත් තැනක් උසුලනවා. එපමණක් නොව එය සමස්ත ලෝකයේ පරිසරය හා භූමිදර්ශනය වෙනස් කළා. කෘෂිකාර්මික භූමිදර්ශනය හා පෘථිවියේ පරිසර පද්ධතිය හා ජෛව විවිධත්වය වෙනස් කළා.
මිනිස් ඇටසැකිලිවල අස්ථිවල කාබන් හා නයිට්‍ර්ජන් ප්‍රමාණය 
මැනීමෙන් ආදි ජනතාවගේ ආහාර පිළිබඳ තතු හෙළිදරවු කර ගත්තා.

රේඩියෝ කාබන් කාල නිර්ණය කිරීමේ ක්‍රමය අනුව ඇටසැකිලි සාම්පලවලින් විද්‍යාඥ පිරිසට පුළුවන් වුණා, දඩයම්වලින් දිවි ගෙවූ ආදි මානවයා ඉරිඟු ආහාරයට හුරු වූ හැටි ගැන සොයා ගන්න.

වසර 4,700කට පෙර ඉරිඟු ඒ ජනගහනයෙන් තුනෙන් එකකගේ ආහාරයට එක් වූවා පමණක් නොව එය ඉන් පසු වසර 700ක් තරම් කෙටි කාලයක දී ඒ ජනතාවගෙන් සියයට 70කගේ ප්‍රධාන ආහාර බවට පත් වුණා.

මිනිසා විසින් ඉරිඟු හෙවත් බඩ ඉරිඟු ශාකය වැවිලි බෝගයක් බවට පත් කර ගත්තේ වසර 9,000කට පමණ පෙරයි. ඒ මධ්‍යම මෙක්සිකෝවේ බැල්සාස් ගංගා නිම්නයේ වැවුණු ටියෝසින්ටේ (teosinte) නම් වන තෘණ විශේෂයකින්.
පර්යේෂණ කණ්ඩායම කියනවා වසර 4,700කට පෙර වැලලූ 
ඇටසැකිලිවල අධ්‍යයනයෙන් ඔවුන් ඉරිඟු 
ආහාරයට ගත් බව හෙළිදරවු වූ බව.

මීට වසර 6,500කට පෙර මායාවරුන්ගේ පහත් බිම් ප්‍රදේශවල බඩ ඉරිඟු වගා කළ බවට සාක්ෂි තියෙනවා. ඒ කාලයේ ම වාගේ මෙක්සිකෝවේ පැසිපික් වෙරළාසන්න ගොඩ බිමෙහිත් මේ වගාවන් තිබූ බව පර්යේෂකයන් මෙහිදී හෙළි කරගෙන තියෙනවා,

මෙහි කැණීම් මෙහෙය වූ එක් පාර්ශ්වකරුවකු වූ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා විශේෂඥයකු වූ ආචාර්ය මාක් රොබින්සන් කියන්නේ, ‘මෙහි ඇති ආර්ද්‍රතා තත්වයන් නිසා ආදි මානවයන්ගේ ඇට සැකිලිවල ශේෂයන් හමුවීම අති දුර්ලභ දෙයක්’ කියායි. ‘ඇමරිකා මහාද්වීපවලට අයත් නව නිවර්තන කලාපයට අයත් මෙය වසර 10,000ක් තිස්සේ නොකඩවා භාවිත කළ සුසාන භූමියක්. ඒ නිසා මෙය වෙනත් කිසිම තැනක නැති අවස්ථාවක් අපට ලබා දෙනවා, දීර්ඝ කාලයක් තිස්සේ වළලන ලද ඇට සැකිලි පරීක්ෂාවට ලක් කරන්න. බඩ ඉරිඟු හඳුන්වා දුන් කාලයත් මේ යුගයට අයත් වෙනවා.’
ඉරිඟු ශාකය වැවිලි බෝගයක් බවට පත් කර ගත්තේ 
වසර 9,000කට පමණ පෙර මධ්‍යම මැක්සිකෝවේ බැල්සාස් ගංගා නිම්නයේ  
වැවුණු ටියෝසි‍නෙට් නම් වන තෘණ විශේෂයකින්.

‘ජනතාවගේ ආහාරය වෙනස් වූ ආකාරයත්, ඊට බඩඉරිඟු එක් වූ අයුරුත්, එය ආර්ථික හා ආහාරමය වශයෙන් වැදගත් කමක් ලැබුණු ආකාරයත්, පසුව එය ඒ ජනතාවගේ පෝෂණයෙහි, ආර්ථිකයෙහි හා ආගමික ජීවිතයෙහි මූලික තැනක් ගනිමින් ප්‍රධාන ආහාරය බවට පත් වූ අයුරුත් පැහැදිලි කිරීමට අවශ්‍ය ඍජු සාක්ෂි අපට මෙහි දී ලැබුණා’ ඔහු වැඩිදුරටත් කියනවා.

විශේෂඥයන් මෙහිදී ඇට සැකිලි 44ක කොටස්වල කාබන් හා නයිට්‍ර්ජන් ප්‍රමාණයන් මැන බැලූ අතර ඒ තොරතුරුවලින් තමා ඒ යුගයේ ජනතාවගේ ආහාර ගැන අදහස් පළ කළේ.

පරීක්ෂණයට භාජනය වූ මේ ඇටසැකිලිවලට වැඩිහිටි පිරිමි හා කාන්තා ඇටසැකිලි පමණක් නොව ළමා ඇටසැකිලි ද අයත් වුණා. මේ නිසා සමස්තයක් වශයෙන් එකල ජනතාව ආහාර ගත් ආකාරය වඩාත් නිවැරදිව නිගමනය කළ හැකි වුණා.

මෙහිදී හමුවුණු පැරණි ම ඇටසැකිලි මීට වසර 9,600ත් 8,600ත් අතර ඒවායි. ඒ වසර 1000 තිස්සේ නොකඩවා වළලන ලද ඒවා එහිදී ඔවුන්ට හමුවුණා. ඒවා අතරින් පැරණි ම ඒවා දඩයම් කර ගත් සතුන්, කැලෑ කොළ, ගෙඩි, පඳුරු ආහාරයට ගත් අයගේ ඇටසැකිලියි. ඒ කොටසේ ඇටසැකිලි වැඩිහරියක් අයත් වූයේ ගොවියන්ට වඩා දඩයම් කළ අල, ගඩා‍ගෙඩි එක්රැස් කළ අයටයි.
වසර 4,700කට පෙර මිනිසා විවිධ දේ ආහාරයට ගත්තත් 
ක්‍රමයෙන් ඉරිඟු ප්‍රධාන ආහාරය බවට පත් ගත්තා.

වසර 4,700කට පෙර ඔවුන්ගේ ආහාර විවිධ වූ අතර සමහර අය පමණක් මුල්වර ඉරිඟු ආහාරයට ගත් අය බව පෙනී ගියා. සමස්ථානික ලක්ෂණවලින් හෙළි වුණේ කිරි බොන ළදරුවන් සිටි තරුණ මවුවරුන් දෙදෙනකු වැඩිපුර ඉරිඟු ආහාරයට ගෙන තිබූ බවයි.

ඒවායින් ලද ප්‍රතිඵලවලින් පෙනී ගියේ ඊළඟ වසර දහසක කාලය තුළ දී ඒ මිනිසුන් එඬේර ජීවිතය අත් හැර එක තැන සිට වගාවට හුරු වූ බවයි. වසර 4,000කට පෙර විසූ ජනතාව ඉරිඟු ගැන විශ්වාස තබා ගෙන එය වගා කරන්නට පටන් ගෙන ඇති අතර ඉක්මනින් ම එ් ජනයාගේ ආහාර අවශ්‍යතාවෙන් සියයට 70ක් සපුරා ලීමට ඉරිඟු සමත්වෙලා තියෙනවා. එහිදී සත්ව ප්‍රෝටීන වෙනුවට ඉරිඟුවල ශාක ප්‍රෝටීන ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ලූ බව පැහැදිලියි.

ඉරිඟු ප්‍රධාන ආහාරය බවට පත් වුණා, ජනතාව මහාද්වීපය පුරා ව්‍යාප්ත වෙද්දී. සමාජයේ පවතින සංකීර්ණත්වය, සමාජ අනු පිළිවෙළ, පරිසරයේ පරිණාමය ඇතුළු වෙනස්කම් රාශියක් ඇති වුණා. අධ්‍යයනයෙන් පෙන්වා දුන්නා, මිනිසුන් වැඩි වශයෙන් ඉරිඟු ආහාරයට ගැනීමට පෙලඹුණු බව. සාමූහික ගොවිතැන් කටයුතු නිසා වනාන්තර හෙළිපෙහෙලි කිරීම්, ගිනි තැබීම්, මායාදේශයේ පහත් බිම්වල පාංශු ඛාදනය වැඩි වන්නට පටන් ගත්තා.

ඉරිඟු වගාව ඇමරිකා මහාද්වීප හරහා ව්‍යාප්ත වෙත්ම දුරස්ථ සංස්කෘතීන්, තාක්ෂණයන් හා භාෂාවල සම්මිශ්‍රණයක් ඇති වෙන්න පටන් ගත්තා.

වසර 2000කට පමණ පෙර දැවැන්ත මායා ශිෂ්ටාචාර‍ය බිහි වූයේ ඒ පදනම මතයි. මේ පිළිබඳ කළ අධ්‍යයනය සයන්ස් ඇඩ්වාන්සස් (Science Advances) නම් ජර්නලයෙහි පළ වී තියෙනවා.

කලාකීර්ති ‘සිබිල් නැන්දා’ ඇගේ ජීවිත කතාවට තිත තියයි!

$
0
0
මුළු ලෝකයට ම සිටි, ළමුන්ට පොත් ලියන, චිත්‍ර අඳින, එකම අත්තම්මා, සිබිල් වෙත්තසිංහ මැතිනිය අද උදේ (ජූලි 1 වැනිදා) මෙලොව ලොව හැර ගියා. 1927 ගාල්ලේ ගිංතොට දී උපන් ඇය මිය යන විට 93 හැවිරිදි වියේ පසු වුණා.
සිබිල් වෙත්තසිංහ මැතිනිය

ලෝකයේ ම දරුවන්ට තමන්ගේ ම දරුවන් ලෙස සැලකූ එතුමියත් දරුවන් තිදෙනකු මවක්. ඒ විනෝද්, කුසලා, සූරියා යන තිදෙනායි. ඒ දරුවන්ගේ දරුවන් නිසා ඇය මිය යන විට අත්තම්මා කෙනෙක්. ඒත් ඇය ලොව පුරා පරම්පරා තුනක් ම ඇය ඇමතුවේ ‘සිබිල් නැන්ද‍ා’ කියලයි.

මීට වසර අටකට පෙර සිබිල් නැන්දා ගැන අප ‘මල්කැකුළු’ වලින් ඔබට කීවා මතක ඇති. එදා 2013 ඔක්තෝබර් 31 වැනිදා, ‘ළමා ලොව එළිය කරන වසර 60කට පෙර පෑයූ තරුව’ යන ලිපියෙන් ඇය ගැන අපි ගොඩක් විස්තර කිව්වා.

එදා ඒ ලිපිය පටන් ගත්තේ මෙහෙමයි. ‘එක්දහස් නව සිය පනස් හයේ දී, දේශපාලනීය හා සමාජීය වශයෙන් ලොකු පෙරළියක් අපේ රටේ සිද්ධ වුණා. ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ සමාජවාදී රජයක් බලයට පත් වුණා. සිංහල භාෂාව වුණා. පාසල්වල සිංහලෙන් ඉගැන්වීමට පටන් ගත්තා. සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවල රටේ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරන්න පොතපතට සම්මාන දීම වගේ වැඩ සටහන් ආරම්භ කළා.

සිබිල් නැන්දා දරුවන්ට කතා ලියන, චිත්‍ර අඳින වැඩ මුලුවකදී

‘ඒ සමග අපේ වේදිකාවෙත්, සිනමාවෙත්, ළමා ලෝකයෙත් ලොකු පෙරළියකට මඟ පෑදුණා. දීප්තිමත් තරු තුනක් පායලා ඒ අංශ තුනට අමුතු එළියක් වැටුණා. ‘මනමෙ’ වේදිකාවට ගෙන එමින් නාට්‍ය කලාව එළිය කළේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා. ‘රේඛාව’ අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාව එළිය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ‘කුඩ හොරා’ අමුතු ම ආකාරයේ ළමා චිත්‍ර හා කතා රටාවක් හඳුන්වා දෙමින් ළමා ලෝකය එළිය කළේ සිබිල් වෙත්තසිංහ නැන්දා.

’ දැන් ඒ ත්‍රිත්වය ම අප අතර නැහැ. ඒත් ඔවුන් කළ නිර්මාණ අදත් අප අතර වැජඹෙනවා. ඒ අතරින් සිබිල් නැන්දා විශේෂයි. ඇය ලිව්වෙ ළමයින්ටයි. චිත්‍ර ඇන්දෙ ළමයින්ටයි. ඒත් ඇගේ කතාන්තරවලින් ඇය ළමුන්ව සුරංගනා ලෝකයට අරන් ගියේ නෑ. අපේ ලෝකය තුළ ළමයින්ට හැබෑ සුරංගනා ලෝකයක් මවා දුන්නා. ඇගේ කතාවලින් කියැවුණේ අප ජීවත්වන සමාජයේ හා අප අවට ලෝකයේ තොරතුරුයි. ඇය ඇගේ දසක දහයකට ආසන්න ජීවිත කාලය තුළ ළමයින්ට කියා දුන් කතාන්තරවල උණුසුම තවත් දසක සීයකටත් වඩා ලෝකයේ අනාගත ළමා පරපුරට ලැබෙනවා නිසැකයි.

‘කුඩ හොරා’ ඉංග්‍රීසි පොත

ඇය ළමයින්ට කතා ලියන්න පටන් ගත්තේ 1953 ජනතා පත්තරයේ කමලා ළමා සමාජයෙන්. ඒ කතාවෙ නම තමයි ‘කුඩ හොරා’. ඇය එතකොට ජනතා පත්තරයේ වැඩ කරපු චිත්‍ර ශිල්පිනියක්. දවසක් ඇය හිතෙන් මවා ගත්තු කතාවකට චිත්‍රයක් ඇඳලා ජනතා පත්‍රයේ වැඩ කළ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයකු වූ ධර්මපාල වෙත්තසිංහ මහත්තයට පෙන්නුවා. පෙන්නල ඒ චිත්‍රයට අදාළ කතාවත් කෙටියෙන් කිව්වා. ඊට කලින් කතා ලියලා නොතිබුණු ඇය බලාපොරොත්තු වුණේ ඔහුට කියා ඒ කතාව ලියවා ගන්නයි. ඒත් පස්සෙ වුණේ වෙනත් දෙයක්.

පසු කලෙක වෙත්තසිංහ මහත්තයා සිළුමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයාව සිටිය දී අතීතය අනුස්මරණ කරද්දී මට ඒ සිද්ධිය විස්තර කළේ මෙහෙමයි. ‘මං සිබිල්ට කිව්වා ඒ කතාව මට ඒ කියපු විධියට තවත් ටිකක් විස්තර ඇතුව ලියන්න කියලා. අඩුපාඩුවක් තිබුණොත් හදල දෙන්නම් කියලා. එයා චිත්‍ර අඳින පැන්සලෙන් ම ලොකු අකුරෙන් චිත්‍ර අඳින කොළයක ම ලියලා දුන්නා. කිසිම අඩුපාඩුවක් තිබුණෙ නෑ. ළමයින්ට උචිත බසකින් ඒක ලියලා තිබුණා. වචනයක් දෙකක් විතරයි වෙනස් කරන්නට වුණේ. සිබිල් ඇතුළෙ සැඟවිලා හිටපු ලේඛිකාව අවදි වුණේ එහෙමයි. ඒ තමයි ‘කුඩ හොරා’. ඒ ගැන පැහැදුණු අපේ කර්තෘ ඩෙන්සිල් පීරිස් මහත්තයා එදා ඉඳලා ළමා පිටුව සකස් කරන එකත් සිබිල්ට ම බාර දුන්නා.’ සිබිල් නැන්දා ළමා පරපුරට කතා ලියන්න පටන් ගත්තේ එහෙමයි.

සිබිල් ලියූ ළමා පොත් පොකුරක්

1955 දී ඒ කතාව සිංහල පොතක් ලෙස පළ වුණා. ඒ කාලෙදිම එයා විවාහ වුණා, ඒ ධර්මපාල වෙත්තසිංහ මහත්තයා එක්කයි. ඉන්පසු ඒ කතාව ඉංග්‍රීසි බසට පෙරළුණු ලැබුවා. වසර ගණනාවකට පසු එය ජපන් බසට පෙරළනු ලැබුවා. ඇය ජාත්‍යන්තර කීර්තියට පත් වුණේ ඒ අනුවයි.

එදා ඉඳල මේ වෙනකන් පොත් 200කට වැඩිය පළ කරලා තියෙනවා. මේ ළමා පොත් මේ වන විට ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. ජපන්, චීන, කොරියන්, ස්වීඩන්, නෝවේජියන්, ඩෙන්මාක්, ඉංග්‍රීසි, ලන්දේසි, දෙමළ ආදිය ඉන් කීපයක්. මේ තරම් විදේශීය භාෂා ගණනකට තමන්ගෙ නිර්මාණ පරිවර්තනය වුණු ශ්‍රී ලාංකිකයකු තවත් ඇත්තේ නෑ.

අපෙන් වියෝ වුවද ඇය ගත වූ වසර දශක හතක කාලයක් තිස්සේ සිතුවම් කරමින් ලියූ කතාන්තර අපේ අනාගත පරපුර පිනවමින් ඇගේ මතකයන් අප අතර සදා නොනැසී පවතීවි. ඇය බිහි කළ අමරණීය වූ බිංදු, සූත්තර පුංචා, රසවතී, කුසුමලතා, ක්ලාක් මහත්තයා වැනි චරිත අප අතර සදාකල් පවතීවි. එතුමියට නිවන් සැප ලැබේවා!
- පර්සි ජයමාන්න

ලෝකයට ඥානාලෝකය පහළ වූ අසිරිමත් දිනය අදයි!

$
0
0
අද ඇසළ පුන් පොහෝදායි. ලෝකයට ඥානාලෝකය පහළ වූ අසිරිමත් දිනය අදයි! බොදු බැතිමතුනට වෙසක් පොහොය තරම්ම වැදගත් දිනයක් ලෙස ඇසළ පොහොය සැලකෙනවා. ඇසළ පොහෝ දා සිදුවීම් කිහිපයක් මෙසේයි. සිදුහත් කුමරුගේ ගිහිගෙයින් නික්මීම, බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව කළ පළමු ධර්ම දේශනාව කළේ ඇසළ පෝයදායි. ඒ පස්වග මහණුන් උදෙසායි. ප්‍රථම ධර්ම දේශනාව ලෙස සැලකෙන, දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය ඇතුළත් වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ බරණැස ඉසිපතන නම් මුව වනයෙහි දීයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ලොව පහළවීම.
පස්වග මහණුන් උදෙසා දෙසූ ප්‍රථම ධර්ම දේශනාව

ඇසළ පොහොය දා සිදු වූ අනෙක් වැදගත් සිදුවීම් අතර මහ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භවයෙන් අනතුරුව තුසිත දෙව්ලොව ඉපිද පසුව මහාමායා දේවීන්ගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු ඉපදීම, යමා මහ පෙළහර පෑම, මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට දම් දෙසීම ආදිය ඉන් ප්‍රධානයි. බෞද්ධ ශාසන ඉතිහාසයෙහි සිදු වූ දේ අතරින් වඩා වැදගත් ලෙස සැලකිය හැක්කේ ප්‍රථම ධර්ම සංගානාව ඇරඹීම, අරිට්ඨ කුමරු ඇතුළු පළමු සිංහලයන් 56 දෙනකු පැවිදි උපසම්පදාව ලැබීම, භික්ෂූන්ගේ වස් ආරම්භය, රුවන්වැලි මහා සෑයට මුල්ගල තැබීම, එහි ධාතු නිදන් කිරීම, දළදා පෙරහරේ ආරම්භය යන ඒවායි.

අද ඇසළ පොහොය දා විශේෂාංගය ලෙස සෙන් බොදු කතාවක් ඉදිරිපත් කරනවා.

ලෝකය දැකීම 

සෙන් ආරාමවල සිරිතක් තියෙනවා, ඒවාට එන සංචාරක භික්ෂුවක් නවාතැන් ඉල්ලුවොත් එහි වැජ හිඳින නේවාසික භික්ෂුවක් එම භික්ෂුව සමග බුදුදහම ගැන විවාදයකට යා යුතුයි කියා. එහි දී එම විවාදයෙන් ජය ගන්නා භික්ෂුවට ඉඩ දී පරාජය වූ භික්ෂුව ආරාමයෙන් නික්ම යායුතුයි කියන මේ සිරිතට ගරු කළ ආරාමයක් උතුරු ජපානයේ තිබුණා. එහි භික්ෂූන් දෙනමක් වාසය කළා.

ඉන් වැඩිමහලු භික්ෂුව නැණවත් දැන උගත් අයෙක්. අනෙක් භික්ෂුව මෝඩ එමෙන් ම එක් ඇසක් පමණක් ඇති අයෙක්.

දිනක් එහි ආ සංචාරක භික්ෂුවක්, ඒ සිරිත් ප්‍රකාරව, දහමේ ඇති උදාර ඉගැන්වීම් ගැන විවාදයට එන ලෙස අභියෝග කරමින් නවාතැන් ඉල්ලුවා.

වැඩිමහලු සහෝදර භික්ෂුව එදින ධර්ම ගවේෂණ කටයුතු නිසා වෙහෙසට පත්ව සිටි හෙයින් බාලයාට ඔහු වෙනුවෙන් විවාදයට සහභාගි වන ලෙස දැන්වුවා. ‘යන්න ගිහින් පරිස්සමෙන් විවාද කරන්න!’ වැඩිදුරටත් කීවා.

ඉතින් ඊට පස්සෙ තරුණ භික්ෂුව හා ආගන්තුක භික්ෂුව යන දෙදෙනා ම බුදුගෙට ගියා විවාදය අරඹන්න. දෙදෙනාම බුදු පිලිමය දෙපසින් වාඩි වුණා.

ටික වේලාවකට පස්සෙ ආගන්තුක භික්ෂුව කලබලයෙන් වැඩිමහලු භික්ෂුව උන් තැනට ආවා. ‘ඔබේ බාල සහොදරයා දක්ෂයෙක්. ඔහු මාව පැරැද්දුවා.’ කියා කීවා.

‘ඔහු කී දේ මට කියන්න!’ වැඩිමහලු භික්ෂුව ඉල්ලා සිටියා.

‘හොඳයි,’ ආගන්තුක භික්ෂුව සිද්ධිය විස්තර කළා. ‘විවාදය ආරම්භයේදීම මම එක ඇඟිල්ලක් ඔසවා, ‘ඉන් ලෝකයේ එකම ශ්‍රේෂ්ඨයා බුදුරජාණන් වහන්සේ බව’ ඇඟ‍ෙව්වා. ඔහු ඇඟිලි දෙකක් ඔසවා, ‘බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ දෙසූ දහම යන දෙක ම එක තරමට ම ශ්‍රේෂ්ඨයි කියා පෙරළා මට උත්තර දුන්නා. ඊළඟට මම ඇඟිලි තුනක් ඔසවා පෙන්නුවා. ඒ ‘බුදුරජාණන් වහන්සේ මෙන් ම උන්වහන්සේ දෙසූ දහමත්, උන්වහන්සේගේ අනුගාමිකයනුත් යන තුන් ආකාරය ම ශ්‍රේෂ්ඨයි’ යන අදහස අඟවන්නයි. ඊට පිළිතුරු වශයෙන් ඔහු ඔහුගේ අත මිටමොලවමින් මට පෙන්වා දුන්නා, ඒ ආකාරයට බැලුවොත් සකල ලෝක ධාතුව ම එක සේ ශ්‍රේෂ්ඨයි’ කියා. ඒ නිසා ඔහු විවාදයෙන් දිනුවා. ඔහු හරිම ප්‍රඥාවන්තයෙන්. දැන් මට මෙහි රැ‍ඳ‍ෙන්න අයිතියක් නැහැ. මම මේ මොහෙ‍ාතේ ම මෙහෙන් යනවා’ කියා එවේලේ ම ඒ ආගන්තුක භික්ෂුව පිටත්ව ගියා.

ඒ අතර තරුණ භික්ෂුව ‘කෝ අර මිනිහා?’ කියා ගෙන වැඩිමහලු භික්ෂුව වෙත දිව ආවා.

‘ඔහු මට කීවා ඔබ විවාදයෙන් දිනූ බව.’ වැඩිහිටි භික්ෂුව කීවා.

‘මොන දිනුමක්ද මං මේ ආවේ ඒ මිනිහගෙ හොම්බට දෙකක් අනින්නයි’ තරුණ භික්ෂුව කීවා.

‘කලබල නැතුව මට කියන්න මොකක්ද සිද්ධ වුණේ කියලා’ වැඩිහිටි භික්ෂුව සන්සුන් ව කීවා.

 ‘ඔබ වහන්සෙට කියන්න, එයා වාදයට ආවේ හස්ත මුද්‍රාවෙන්. එයා මාව දැකපු ගමන් ම එක ඇඟිල්ලක් ඔසවලා සංඥාවක් කරමින් මට අපහාස කළා. ‘මට තියෙන්නෙ එක ඇහැයි, එක ඇහැක් තියා ගෙන මොන වාද ද’ කියන අදහස ඇඟ‍ෙව්වා. එයා අපේ ආගන්තුකයකු හින්දා මං හුඟක් ආචාරශීලී වෙමින් ඇඟිලි දෙකක් ඔසවලා පෙන්නුවා. මං එයින් එයාට ඇ‍ඟ‍ෙව්වෙ ‘එයාට ඇස් දෙකක් තිබීම ගැන මම සතුටු වෙන බව’යි. ඒත් එයා මට අපහාස කරන එක නැවැත්තුවෙ නෑ. ඊළඟට ඒ නැහැදිච්ච මිනිහා ඇඟිලි තැනක් ඔසවා ඇඟවේවා, ‘අප දෙන්නට ම ඇත්තේ ඇස් තුනක් පමණක් බව’ මගේ ඉවසීම නැතුව ගියා. මං මිට මොලවා ගෙන ඉස්සරහට පැන්නා මිනිහට අනින්න කියලා හිතා ගෙන. මිනිහා ඊට ඉස්සෙල්ලා පැනලා ආවා.’ තරුණ භික්ෂුව කේන්තියෙන් පුපුරමින් කීවා.

අද ලෝකය මවා පෑ වසර 73ක් පැරණි විස්මිත ප්‍රංශ චිත්‍රපටයක්!

$
0
0
මීට වර 73කට පෙර, අපේ මුල් ම සිංහල චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය මෙහි පෙන්වන කාලේ, එනම් 1947 දී, ප්‍රංශයේ විස්මිත චිත්‍රපටයක් පෙන්වනු ලැබුවා. ඒක අද අපේ ජීවිතය හා බැඳුණු තාක්ෂණය ගැන කියන අපූරු චිත්‍රපටයක්!.
අද අප නවීන තාක්ෂණයෙන් ලද මෙවලම්වලින් ලබන 
අත්දැකීම් පිළිබඳ අනාවැකි පළ කළ, 1947 දී 
තිරගත කෙරුණු ‘ටෙලිවිශන් ඔයි ඩි ඩිමේන්’ චිත්‍රපටයෙන්.

මිනිත්තු හතරක කෙටි චිත්‍රපටයක් වුණත් එහි රඟපෑ චරිත පාවිච්චි කළේ නවීන පන්නයේ ජංගම දුරකතන වැනි මෙවලම්. ඔවුන් පැදවුයේ කුඩා ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර සවි කළ කාර්, නැරඹුවේ ඇස් ඉදිරියේ රූප මවන හෙලෝග්‍රෑම් ආදියයි. අද ඒ උපකරණ අමුතු දේවල් වුනත් මේ අපූරු චිත්‍රපටය තැනූ 1947 දී එවැනි දෙයක් ගැන ලෝකයා අහලාවත් තිබුණේ නැහැ.
ජනාකීර්ණ නගරයක පිහිටි කුඩා අවන්හලක තනිවම මේසයක් 
අසල වාඩි වී සිටින ඒ යුගයට ගැළපෙන ඇඳුමකින් හා 
හිස් වැස්මකින් සැරසුණු කතක් කාලය ගෙවන්නට අත් බෑගයෙන් 
උපකරණයක් අතට ගෙන ඊට දෑස් යොමු කරනවා.

ටෙලිවිශනය අනාගතයේ ඇස යන අරුත් ඇති ‘ටෙලිවිශන් ඔයි ඩි ඩිමේන්’ (Télévision: Oeil de Demain) නම් වූ ඒ චිත්‍රපටයේ අද අප අතර භාවිත වන නවීන මෙවලම් යෙදා ගෙන තිබුණා පමණක් නොව ඒවා නිසා අප අද ලබන අත්දැකීම් පවා රූගත කර තිබුණා. ටෙලිවිශනය නිපදවා තිබුණත් කාර් සඳහා ටෙලිවිශන් තනා තිබුණේ නැහැ.
චිත්‍රපටය රූ ගත කර ඇත්තේ ප්‍රංශයේ උද්‍යානයකයි.

අද අප අතර ඇති ස්මාර්ට් ජංගම දුරකථනයට සමාන එකක් අතින් ගෙන ඒ දෙස බලමින් ඇවිදගෙන ගොස් වෙනත් අයගේ ඇ‍ඟ‍ෙහි හැපෙන අයුරුත්, එවැනි මෙවලමක් බලමින් ගොස් රිය අනතුරු වන හැටිත් එහි දැක්වෙනවා.

කළු සුදු චිත්‍රපටයක් වන එය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව තිරගත කරනු ලැබූවක්. රෙනේ බාජ්වාල්ගේ රචනයක් ඇසුරෙන් මේ අපූරු චිත්‍රපටය, ජේ.කේ. රේමන්ඩ් මිලේගේ නිෂ්පාදනයක්.
දුම්රිය මැදිරියක් තුළ කාන්තාවක් පිරිමියකුගේ උරහිසට උඩින් 
ඔහු බලමින් සිටි මෙවලමක තිරයක් දෙස බලනවා. 
එය අද අප භාවිත කරන ස්මාර්ට් ෆෝනයකට සමානයි.

බාජ්වාල්ගේ රචනය මගින් ස්මාර්ට් ෆෝනය ගැන කෙළින් ම පැහැදිලිව සඳහන් කර නොතිබුණත් එය අපේ චර්යාවන්ට බලපාන ආකාරය හොඳින් විස්තර කර තිබුණා.

වසර 73කට පෙර ප්‍රදර්ශනය කළ මේ කෙටි චිත්‍රපටය මගින් උයනක තැන තැන හිඳි මිනිසුන් ‘ස්මාර්ට් ෆෝන්’ වැනි මෙවලමක් දෙස ඇස් දල්වා ගෙන බලා සිටින අයුරු දැක ගත හැකියි.

මේ අතේ ගෙන යාහැකි මෙවලම පුවත් සැපයීම අතින් පුවත්පත්වලට වඩා ඉදිරියෙන් සිටින බව ඒ චිත්‍රපටයෙන් කියැවුණා.
තවත් රියැදුරෙක් වරින් වර තිරයේ සිදුවන දෑ බලමින් යද්දී

ඊළඟට කැමරාව ජනාකීර්ණ පෙදෙසක කුඩා අවන්හලකට යොමු වෙනවා. එහි ඒ යුගයට ගැළපෙන ඇඳුමකින් හා හිස් වැස්මකින් සැරසුණු කතක් තනිවම මේසයක් අසල වාඩි වී සිටිනවා. ඇය තනිකම මකා ගෙන කාලය ගත කරන්නට අත් බෑගයෙන් උපකරණයක් අතට ගෙන ඊට දෑස් යොමු කරනවා.

 තවත් අයෙක් මෝටර් රථයේ ඉදිරිපස සුක්කානම අසල සවි කර ඇති කුඩා තිරයක් දෙස බලන්න යාමෙන් වාහනය මං තීරුවෙන් පිට පැන වාහන තදබදයක් ඇති වෙනවා. ඒ වගේ ම තවත් රියැදුරෙක් වරින් වර තිරයේ සිදුවන දෑ බලමින් යද්දී වංගුවක දී රථය පාරෙන් පිට ගසක හැපෙනවා.
චිත්‍රපටය අවසානයේ දී යුවළක් නිදා සිටින කාමරයකට යන 
කැමරාව එහි දසුනක් පෙන්වනවා. බිරිඳ නිදි අතර සැමියා වැතිරී හිඳින 
ගමන් ‘හොලෝග්‍රෑමයක්’ මගින් නිළියකගේ නැටුමක් නරඹනවා.

චිත්‍රපටය අවසානයේ දී නරඹන්නන් කැඳවා ගෙන යනවා යුවළක් නිදා සිටින කාමරයකට. එහි කාන්තාව නිදා සිටන අතර පිරිමියා නින්ද නොයාමෙන් පීඩාවට පත් වූ බව පෙනෙනවා. ඔහු හදිසියේ ම ‘හොලෝග්‍රෑමයක’ මගින් නටන නිළියක් ඇඳ පාමුලට කැඳවනවා. ඔහු නින්ද එනතුරු එය නරඹනවා.

වඳ වී ගිය ගොඩට එක් වුණු මුහුදේ ‘ඇවිද ගිය’ මාළුවා!

$
0
0
වර්තමානයේ වඳ වී ගිය ප්‍රථම මුහුදු මත්ස්‍යයා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. සාගර ජීවවිද්‍යාඥයන් කියන විදියට මෑතක් වන තෙක් ම ඒ මාළුවා ඕස්ට්‍රේලියාව අවට සාගරයේ ජීවත්ව සිටියත්, ඌ දැන් වඳ වී ගිය මත්ස්‍යයකු ලෙස තහවුරු කළ හැකි යයි කියනවා. මේ ශෝකජනක ඉරණම අත් වූයේ මුහුදු පත්ල සිය වාස භවනය කර ගත් ‘ස්මූත් හෑන්ඩ් ෆිෂ්’ හෙවත් ‘අත් මාළුවා’ටයි.
විද්‍යාඥයන් විසින් හෙළිදරවු කර ඇති ශෝකජනක පුවත 
අනුව මේ ස්මූත් හෑන්ඩ් ෆිෂ් නම් අත්මාළු විශේෂය 
වර්තමාන ලෝකයේ අපට අහිමි වී ඇති ප්‍රථම මුහුදු මත්ස්‍යයායි.

අත්මාළුවා (smooth handfish) ඒ නමින් හැඳින්වෙන්නේ ඉදිරිවරල් ‘අතක ඇඟිලි’ බඳු හැඩයක් ගන්නා නිසයි. සිරුර තුළ වාත ආශයක් නැති නිසා ඌට පිහිනීමට නොහැකියි. උගේ අත් බඳු වරල්වලින් මුහුදු පත්ලේ එහා මෙහා ‘ඇවිදිමින්’ ජීවත්වූ උගේ ප්‍රභේද 14ක් ඇති අතර ඒ සියලු වර්ග අතරින් එක් වර්ගයක් නිශ්චිතව ම වඳ වී ඇතැයි දැන් සැලකෙනවා.

මුහුදු පත්ලේ ජීවත් වුවත් මේ මත්ස්‍යයා මෙසේ වඳ වී ගොස් ඇත්තේ විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම, සාගර දූෂණය හා ඔවුන්ගේ ජීවන පරිසරය අහිමි වීම නිසයි.
මේ ස්මූත් හෑන්ඩ් ෆිෂ් මාළුවා මුලින් ම හඳුනා ගැනීමට ලැබුණේ 
1800 ගණන්වල කරන ලද විද්‍යාත්මක ගවේෂණයකදියි. 
දැනට ඉතිරිව ඇත්තේ එදා එකතු කර ගත් ආකෘතීන් පමණයි.

මේ අත්මාළුවා මුලින් ම හඳුනා ගත්තේ 1800 ගණන්වලදී කළ විද්‍යාත්මක ගවේෂණයකදියි. නමුත් අද ඉතිරිව ඇත්තේ ඒ ගවේෂණයෙහිදී එකතු කර ගත් නිදර්ශක කීපය විතරයි.

බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක හා එම විශ්ව විද්‍යාලයේ අනාගත සාගර අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂිකා ජෙසිකා මීයුවිග් මහත්මිය කියන්නේ, ‘සමහර අය කියන්නේ සාගරය කොයිතරම් විශාල ද කීවොක් ඒ නිසා ම සාගර වන ජීවීන් කිසිසේත් වඳ වී යා නොහැකි බවයි. ඒත් සාගරය ධීවර කටයුතු අතින්, විවිධ කැණීම් නිසා, තෙල් හා ගෑස් ගවේෂණය හේතුවෙන් ඇති වූ කාර්මීකකරණය වගේ ම නැව් ගමනාගමනයෙන් හා ගොඩබිමෙහි සිදුවූ මහා පරිමාණ කාර්මීකකරණයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයේ දී ඇති වූ තත්වයන් නිසා සාගර ජීවීන් වඳ වී යාමේ තර්ජනය ඇති වුණු බවයි. එහි පළමු ගොදුර වූයේ මේ අත්මාළුවායි.’
මුහුදු පත්ලට ම වී ජීවත්වන මේ අත්මාළුවා ඒ වර්ගයට අයත් සත්ව විශේෂ 14ක් එකක්. 
උගේ විශේෂයක් වූයේ පිහිනීමට නොහැකි නිසා මුහුදු පත්ලේ ‘ඇවිද යාම’ට 
හැකි වන පරිදි අත් සමාන වරල් පිහිටා තිබීමයි.

අත්මාළුවා අයත් වන මත්ස්‍ය විශේෂයට තවත් මාළුන් වර්ග 13ක් අයත් වෙනවා. ඔවුන් විවිධ ප්‍රමාණයෙන්, විවිධ හැඩයෙන් හා විවිධ වර්ණයෙන් යුක්තයි. ඔවුන් සියලු දෙනාට ම පසුපස වරල් ඇති අතර උල් වූ හිසෙහි ඉදිරියෙන් ප්‍රමාණයෙන් කුඩා ඇස් දෙක බැගින් තියෙනවා. මේ මාළු අයත් ගෝත්‍රයේ විශේෂත්වය වන්නේ අනෙක් මසුන්ට මෙන් ජලයේ පාවීමට අවශ්‍ය සුළං පිරුණු ආශයක් නොතිබීමයි. ඒ නිසා ඉදිරි වරල් පැතලිව අතක හැඩය ගන්නවා. ඔවුන් ඒවා යොදා ගෙන මුහුදු පත්ලේ ඇවිද ගෙන යනවා.

අත්මාළුවාගේ හිසෙහි දීප්තිමත් ඇන්ටෙනාවක් වැනි අංගයක් පිහිටා තියෙනවා. ඌට පිහිනා යාම කළ නොහැකි නිසා ඒ ඇන්ටෙනාව මගින් ගොදුරු ආකර්ෂණය කර තමා ළඟට ගෙන්නා ගන්නවා.
පසුගිය වසර 20ක කාලයක් තිස්සේ අපට දැක ගැනීමට හැකි වී ඇත්තේ දැනට ඉතිරිව ඇති අත්මාළු විශේෂ 13න් හතරක් පමණයි. මේ පින්තූරයේ ඇත්තේ දැනට බරපතල ලෙස 
වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සීබෙල්ස් හෑන්ඩ් ෆිෂ්(Ziebell's handfish) ය.

මිනිසාගේ දඩයම් කිරීම නිසා විවිධ සාගර ජීවීන් පසුගිය කාලයේ වඳ වී ගියා. 1952 දී වඳ වී ගිය මන්ක් සීල් එවැනි එක් මුහුදු සතෙක්. නමුත් මුහුදු මත්ස්‍යයන්ට එහෙම කරදරයක් මෑතක් වන තෙක් තිබුණේ නැහැ. මෑත යුගයේ වඳ වී ගිය පළමු මත්ස්‍යයා මේ අත්මාළුවා (smooth handfish)යි.

ෆෝනා ඇන්ඩ් ෆ්ලෝරා ඉන්ටර්නැෂනල් නම රාජ්‍ය නොවන ආයතනයේ පර්යේෂකයන් කියන්නේ, ‘ස්මූත් හෑන්ඩ් ෆිෂ්ගේ මේ ඛේදජනක කතාව අපට වර්තමානයේ මේ යන ගමන මඳකට නවත්වා මුහුදු ආහාර පරිභෝජනය ගැන නැවත වරක් සිතා බලන්න අවස්ථාක් ලබා දි ඇති බවයි. තිරසාර මුහුදු ආහාර සංකල්පය නිසා අපට මොන තරම් පාඩුවක් සිදු වෙනවාද යන්න ගැන දෙවරක් සිතා බැලිය යුතු ගැටලුවක්’ කියායි. ඔවුන් කියන්නේ මේ අත්මාළුවාගේ වඳ වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ධීවර කර්මාන්තය බවයි.

රතු දත්ත පොතට සිය වාර්තාව සපයමින් විද්‍යාඥයන් කියා ඇත්තේ, ‘සමහර විට මේ මත්ස්‍ය විශේෂය වඳ වී යාමට බලපාන්නට ඇත්තේ කෙළින් ම මාළු දැල්වලට අසුවීම හා ඔවුන්ගේ ජීවන පරිසරය විනාශ වීම යනු කරුණු බවයි. ඔවුන්ගේ ජීවන පරිසරය විනාශ වූයේ විශාල වශයෙන් රැලි බෙල්ලන් ඇල්ලීමේ කර්මාන්තය නිසයි. විසිවන සියවසේ විශාල වශයෙන් පැවති මේ කර්මාන්තය 1967දී බිඳ වැටුණා.’ යනුවෙනි.
මේ රතු අත්මාළුවා දැනට ඕස්ට්‍රේලියානු මුහුදේ බහුලව දැක ගත හැකි ඒ වර්ගයේ එකම සත්වයාය.

කෙසේවෙතත් ධීවරයන් හිතාමතා මේ මසුන් අල්ලන්නේ නැහැ. බෙල්ලන් එකතු කිරීමට දමන දැල්වලට ඔවුන් බොහෝ විට අවසනාවන්ත ලෙස අසුවෙනවා.

සාගර හා ඇන්ටාටික් අධ්‍යයන ආයතනයේ පර්යේෂිකාවක වූ ජෙමිනා ස්ටුවර්ට් ස්මිත් මොන්ගාබේ (Mongabay) වෙබ් පිටුවට සිය අදහස් දක්වමින් කියා ඇත්තේ, ‘මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳ වී යාමේ තර්ජනයට ලක්විය හැකි සතුන් ගැන අපි කවුරුනුත් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි මේ අත්මාළුවා ගැන වැඩි යමක් දන්නේ නෑ. උගේ ජීවන පරිසරය ගැන හෝ පරිසරයේ ඔවුන්ට හිමිව තිබූ කාර්ය භාරය ගැන හෝ අපට ඇත්තේ අල්ප දැනුමක්. උගේ පරිසර විනාශයට බලපෑ හේතු නිසා තවත් මසුන් වඳ වී යාමට ඉඩ තියෙනවා. මේ ස්මූත් හෑන්ඩ් ෆිෂ් වඳ වී ගියේ ඌ ගැන අධ්‍යයනයක් කරන්නත් කලින්.’ යනුවෙනි.

කෙසේ වෙතත්, දැනට ඉතිරිව ඇති අත්මාළු විශේෂ 13න්, පසුගිය වසර 20 තිස්සේ ම අපට හමු වී ඇත්තේ විශේෂ හතරක් පමණයි. ප්‍රමුඛ පෙළේ විශේෂඥයන් කියන්නේ අප නොදැනුවත්වම තවත් සාමාජිකයන් වඳ ගොස් තිබිය හැකි බවයි.
-පර්සි ජයමාන්න

ඇන්ටාක්ටිකාවෙන් හමු වූ වසර මිලියන 66ක් පැරණි බිත්තරයේ අබිරහස!

$
0
0
මීට වසර නවයකට පෙර 2011දී චිලි විද්‍යාඥයන් පිරිසකට ඇන්ටාක්ටිකාවට (Antarctica) හෙවත් දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට අයත් සේමෝ දූපතේ කැණීම්වලදී හුළං ගිය රග්බි පන්දුවක් තරම් විශාල පොසිලයක් හමු වුණා. ඒක කුමක්දැයි හරියටම කිව නොහැකි නිසා විද්‍යාඥයන් වුණත් ඒක හැඳින්නුවේ ‘ඒක’ (The Thing) කියලයි. ඒක දසකයකට ආසන්න කාලයක් තිස්සේ ලේබලයක් රහිතව, හැදෑරීමක් නැතිව චිලි රාජ්‍යයේ ස්වභාව විද්‍යා ජාතික කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබුණා.
මොසේසෝර් පැටියකු මවු කුසෙන් බිහිවෙන අයුරු සිත්තරකුගේ ඇසින්.

ස්වභාව විද්‍යා ජාතික කෞතුකාගාරයට සම්බන්ධ විද්‍යාඥයකු වූ ඩේවිඩ් රුබිලර් රොජර්ස් 2011 දී ඒක සොයා ගත් පිරිසෙන් කෙනෙක්. ඔහු ඒ කෞතුකාගාරයට ආ හැම භූවිද්‍යාඥයකුටම ‘ඒක’ පෙන්නුවා. ඒක කුමක්දැයි අදහසක් පැවසීමට ඒ කිසිවකුටත් හැකි වුණේ නැහැ. එසේ තිබියදී 2018 දවසක ජුලියා ක්ලාක් නම් මහාචාර්යවරියක් එහි ආවා. ඇය ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්යවරියක්.

‘මම ඒක ජුලියාටත් පෙන්නුවා. මිනිත්තු කීපයක් ඒ දෙස බලා සිටි ඇය කීවේ ඒක හුළංගිය බිත්තරයක් විය හැකි බවයි.’ රුබිලර් රොජර්ස් කියනවා.

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින්හී පිහිටි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශය මේ පර්යේෂණයට එක් වුණේ එහෙමයි. ඒ පර්යේෂකයන් විශ්ලේෂණය මගින් සොයා ගත්තා ඒ පොසිල බිත්තරය වසර මිලියන 66ක් පැරණි එකක් බව. අඟල් 11.7 ක් දිග එය මෙතෙක් සොයා ගෙන ඇති මෘදු කටුවක් සහිත ලොව විශාලතම බිත්තරය බව. අනෙක් අතට එය මෙතෙක් හඳුනා ගෙන ඇති පරිදි සතෙකු දමන දෙවැනි විශාලතම එකයි. මැඩගස්කරයේ සිට වඳ වී ගිය ඇත්කඳ ලිහිණියා දමන අඟල් 13ක් දිග බිත්තරය තමා විශාලතම එක ලෙස සැලකෙන්නේ.
පර්යේෂක ලූකස් ලෙජෙන්‍ඩ්‍රේ චිත්‍ර සටහනක්- බිත්තරයේ පොසිලය. 
ඇතළත කොටුවේ දක්වෙන්නේ පිටකටුවේ විශාලනය කළ හරස්කඩක්. 
එහි කටුවට පිටින් ඇති අවසාදිත ද්‍රව්‍ය, බිත්තර කටුව, 
කටුව තුළ ඇති අවසාදිත ද්‍රව්‍ය ආදිය. 
දකුණේ මිනිස් රුව හා සසඳා බිත්තරයේ ප්‍රමාණය සිතා ගන්න.

අඩියකට ආසන්න දිගක් ඇති මේ බිත්තරය දමන්න ඇති සතා ඩයිනොසෝරයකු තරම් විශාල සතකු විය යුතු යැයි තීරණය කළ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා කණ්ඩායම මෙතෙක් දන්නා හැම ඩයිනොසෝර බිත්තරයක් ම පරීක්ෂා කර බැලූ අතර අවසානයේදී එය ඩයිනොසෝරයකුගේ නොවන බවට නිගමනය කළා. 

ඔවුන්ගේ ඊළඟ නිගමනය වුණේ මෘදු කටුවක් සහිත මේ දැවැන්ත බිත්තරය අතීතයේ විසුවේ යැයි සලකෙන මොසේසෝර් (mosasaurs) නමින් හැඳින්වෙන අති විශාල මුහුදු උරග විශේෂයකට අයත් විය හැකි බවයි. එසේම මේ තරම් විශාල බිත්තරයක් දමන ඒ උරගයා දිගින් මීටර් 7ක් (අඩි 23ක්) විය හැකි බවයි.

මේ දැවැන්ත බිත්තරය සොයා ගැනීම, ග්‍රහකයක් වැදී ඩයිනෝසෝරයන් වඳ වී යාමට කලින් විසූ මුහුදු උරගයන් බිත්තර නොදැමී යයි මෙ‍ෙතක් අප දැරූ මතයට අභියෝගයක් එල්ල කරනවා. මේ ගැන මහාචාර්ය ජුලියා ක්ලාක් කියන්නේ, ‘ඒ යුගයේ සතුන් ගැන අප දැන සිටි අදහස් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මේ බිත්තරය සමත් වී ඇති බව’යි.

බිත්තරයෙන් එළියට ආ මොසේසෝර් පැටියා මව සමග පිහිනන අයුරු සිත්තරකුගේ ඇසින්.

මෙම බිත්තර‍ය සෑදී ඇති අනුපාතයන් හා එහි තුනී කටුවෙහි බාහිර ස්ඵටිකමය ස්තරයක් නොමැති වීමෙන් පෙනී යනවා, මේ විලෝපිකයා අණ්ඩ ජලාබුජ (මවගේ කුස තුළ වැඩෙන බිත්තරය පිටවීමත් සමඟ පුපුරා පැටවුන් එළියට එන) සතෙක් බව. මේ බිත්තරය දැමූ මව ඇන්ටාක්ටිකූලිතස් බ්‍රැඩී (Antarcticoolithus bradyi) කියා සත්ව විද්‍යාත්මකව නම් කර තියෙනවා.

මේ පරීක්ෂණයෙහි දී වැඩි කාර්යභාරයක් ඉුටු කළ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පශ්චාද් ආචාර්ය උපාධි පර්යේෂක ලූකස් ලෙජෙන්‍ඩ්‍රේ කියන්නේ, ‘මේ බිත්තරය බොහෝ දුරට කටුස්සන්ගේ හා සර්පයන්ගේ ඒවාට සමානයි. ඒත් ඒවා ඇත්ත වශයෙන්ම ඒ සතුන්ට නෑකම් කියන දැවැන්තයකුගේ විය යුතුයි.’ කියායි.

අණ්වීක්ෂ රැසක් හා අධ්‍යයන සාම්පල ගණනාවක් යොදා කළ විධිමත් නිරීක්ෂණ මාලාවකින් පසු ලෙජෙන්‍ඩ්‍රේ තහවුරු කළා, මෙහි ස්තර ගණනාවක් ඇති බවත් ස්ථිර වශයෙන් මෙය බිත්තරයක් බව.

අනෙක් අතට මෙම බිත්තරයෙහි ව්‍යුහය වර්තමානයේ ඇතැම් සර්පයන් හා කටුස්සන් දමන විනිවිද පෙනෙන, ඉක්මනින් බිජුවටෙන් බිහිවීම ආදී ලක්ෂණවලින් යුක්ත බවත් තහවුරු කළා. කොහොම නමුත්, මේ පොසිල බිත්තරයෙහි ඇටසැකිල්ලක් නොවීම නිසා බිත්තරය දැමූ සතා නිගමනය කිරීම සඳහා වෙනත් ක්‍රමවේද යොදා ගැනීමට ලෙජෙන්‍ඩ්‍රේට සිදුවුණා.

ඔහු දැනට ජීවත්වන උරග විශේෂ 259ක සිරුරවල හා බිත්තරවල ප්‍රමාණයන් සන්සන්දනය කර බැලුවා. ඔහුගේ නිගමනය වූ‍යේ මේ සතා සිරුර, මුහුණු තුඩේ සිට වල්ගා කොටස තෙක් අඩි 20ක්වත් දික්විය යුතු බවයි. ඒ අනුව වර්තමානයේ වෙසෙන උරගයන්ට, පුරාණ මුහුදු උරගයාගේ ඇති නෑසබඳකම් තහවුරු වුණා. එසේම මේ බිත්තරය හමු වූ තැන වූ පාෂාණ අතර තිබී එක්කාසු කර ගත් පොසිල අස්ථි කැබලි ප්‍රාග් ඓතිහාසික මුහුදු සත්වයන් වූ මොසේසෝර් හා ප්ලේසියෝසෝර් යන සතුන්ට හා ඔවුන්ගේ පැටවුන්ට අයත් ඒවා බව හෙළි වුණා.

‘පර්යේෂකයන් ගණනාවක් ම මේ බිත්තරය හමු වූ ස්ථානය ජල මට්ටම අඩුවෙන් පැවතුන, පැටවුන් බෝ කිරීමට සුරක්ෂිත ස්ථානයක් ව තිබූ බව පිළිගෙන තියෙනවා. කලපු පරිසරයක් ඇති මෙහි පැටවුන්ට හොඳින් වැඩෙන තෙක් ජීවත්වෙන්නට සුදුසු පරිසරයක්ව පවතින්නට ඇති.’ ලෙජෙන්‍ඩ්‍රේ තවදුරටත් පැහැදිලි කරනවා.

මෙම අධ්‍යයන වාර්තාව ඒ පුරාණ උරග විශේෂය බිත්තර දැමූ හැටි ගැන පැහැදිලි සඳහනක් කරන්නේ නැහැ. ඒත් එය සිදුවිය හැකි දෙයාකාරයක් ගැන දක්වා තිබෙනවා. සමහර විට දැනුදු ඇතැම් මුහුදු සර්පයන් මෙන් විවෘත ජලයේ බිත්තර දමනවා විය හැකියි. අනෙක් ක්‍රමය ජලයෙන් ආසන්න ගොඩබිමට විත් වැල්ලේ බිත්තර දමනවා විය හැකියි. ඒක හරියට කැස්බෑවන් මුහුදෙන් ගොඩට විත් වැල්ලේ බිත්තර දමනවා ‍වාගෙයි. පසුව ඒ බිත්තර වැලියට දී පුපුරා පැටවුන් එළියට විත් මුහුදට බඩගා යනවා විය හැකියි.

ඒත් මේ සතා අති දැවැන්තයකු නිසා ජලයේ දී වගේ ගොඩබිම දී සිරුර හැසිරවීම අපහසු නිසා බිත්තර දැමීම ජලයේ දී කරන්න ඇතැයි අනුමාන කළ හැකිය. බිත්තර දැමීමේ දී ඇඟ ඇඹරීමක් කළයුතු වන නිසා සමහර විට සිරුර ජලයේ තබා ගෙන වල්ගා කොටස වෙරළට යොමු කොට වැල්‍ලේ බිත්තර දැම්මා විය හැකියි.

‘අපට ඒ අදහස ඉවත දමන්න බැහැ, ඒත් එවැනි දෙයක් මේ වන තෙක් ම සොයා ගෙන නැහැ.’යි ආචාර්ය ජුලියා ක්ලාක් කියනවා.

මෙම අධ්‍යයනය ජූනි 17 වැනිදා ලෝක ප්‍රකට නේචර් (Nature) සඟරාවේ පළ වී තියෙනවා.

- පර්සි ජයමාන්න

ශ්‍රී ලංකාවේ ඇත් පරපුරට මුල්වරට එක් වූ නිවුන්නු!

$
0
0
ශ්‍රී ලංකාවේදී පළමුවරට කණෙරක් විසින් ඇත් පැටවුන් දෙදෙනකු බිහිකර ඇති බැව් රජරට ජාතික වනෝද්‍යානයකින් වාර්තා වුණා. මේ අලුත බිහි වූ නිවුන් ඇත් පැටවුන් දෙදෙනා දැක ඇත්තේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේදීයි, මේ පැටවුන් දැක ගැනීමට හැකිවී ඇත්තේ, ජූලි මාසයේ පළමු වන සතියේදි, අලි ඇතුන් 12 දෙනකු පමණ ඉන්නා රෑනක් සමගයි.
අලුත බිහි වූ නිවුන් ඇත් පැටවුන් දෙදෙනා

නිවුන් අලි පැටවුන් ඉපදීමේ සම්භාවිතාව ඇත්තේ සියයට එකක් පමණයි. ඒ නිසා නිවුන් පැටවුන් දෙනෙකු ලැබීම වාසනාවක් සේ සැලකිය හැකියි. ඇත් රංචුවට අලංකාරයක් වූ ඒ දසුන මුලින් ම දුටු වනජීවී නිලධාරින්ගෙන් ඒ බව දැන ගත් ආචාර්ය සුමිත් පිලපිටිය ඔවුන් දැක ගැනීමට වහා මින්නේරිය බලා ගියා. ඒ ඇත් නිවුන්නුන්ගේ සුරතල් ලෝකයට දැක ගැනීමට ලැබුණේ ඔහු‍ගේ කැමරාවෙනුයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු හා වනජීවී සංරක්ෂණය පිළිබඳ ජගත් විශේෂඥයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය සහ වනජීවී නිලධාරීන් පිරිසක් කළ නිරීක්ෂණවලින් මේ බව තහවුරු වුණා. සති 3ක් හෝ 4ක් වයසැති මේ පැටවුන් එකම කෙණෙරකගෙන් කිරි උරා බොන, ඒ කෙණෙර සමඟ නිතර ගැවසෙන බව, බොහෝ වේලාවක් ඔවුුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කළ ආචාර්ය පිලපිටිය ප්‍රමුඛ කණ්ඩායම නිගමනය කර ඇති අතර මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඬුගල්ල පවසා ඇත්තේ මෙය තවදුරටත් තහවුරු කර ගැනීමට දැනටමත් ඩීඑන්ඒ පරීක්ෂණ කරන්න සැලසුම් කර ඇති බවයි.
 
නිවුන් ඇත් පැටවුන් දෙදෙනා දැක ඇත්තේ 
මින්නේරිය ජාතික වනෝද්‍යානයේදීයි,

ශ්‍රී ලංකා අලියා, (Elephas maximus maximus) ආසියානු අලියාගේ උප විශේෂයන් තුනෙන් එකක්. 1986 වඳ වී යාමේ තර්ජනයට ලත් සත්වයකු ලෙස (IUCN- The International Union for Conservation of Nature) විසින් නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකා භූමියෙන් සියයට හැටක අලින් ජීවත් වන බව සඳහන් වෙනවා. හොඳින් වැඩුණු අලියකුගේ උරහිස තෙක් උස මී. 2 (අඩි 6.6)ත්, මී. 3.5 (අඩි 11.5)ත් අතර වෙනවා. සිරුරේ බරත් කි.ග්‍රෑ.2,000 (රා. 4,400)ත්, කි.ග්‍රෑ. 5,500(රා.12,000)ත් අතර වෙනවා. අලියකුගේ සාමාන්‍ය ජීවිතකාලය වසර 55ත් 70ත් අතර වෙනවා.

අලියාගේ ශ්‍රවණ හැකියාව මිනිසාගේ ශ්‍රවණ හැකියාව ඉක්මවා යන පරාසයකයි, තියෙන්නේ. එය හර්ට්ස් 16සිට 12,000 අතර පරාසයක විහිදෙනවා. මේ නිසා අපට නෑසෙන හඬ බොහොමයක් අලියාට ඇසෙනවා. ඒවාගේම අපට නෑසෙන්නට ඔවුනොවුන් සමග කථාබහ කරන්න අලින්ට පුළුවන්. අලියාගේ පාදවල පිහිටීමේත් විශේෂත්වයක් තියෙනවා. අලියාගේ පාද හතරම නැවෙන්නේ එකම අතටයි. අනිත් කිසිම සතකුට මේ පිහිටීම නැහැ. මෙය උගේ දැවැන්ත සිරුර හැසිරවීමට පහසුවක් වෙනවා. ඒවාගේ ඒ නිසාම ඌට සිරුරට සාපේක්ෂව අනිත් සතුන්ට වඩා වැඩි වේගයකින් දුවන්න පුළුවන්. සතුන් අතර දිගම නහය ති‍යෙන අලියා එය අතක් ලෙස පාචිච්චි කරන බව ඔබ දන්නවා. ඒත් ඔබ දන්නවාද අලියකුට ඔය විස්මිත අතින් අල්පෙනෙත්තක් වුවත් අහුලා ගන්න පුළුවන් බව.
මේ පැටවුන් එකම කෙණෙරකගෙන් කිරි උරා බොන, 
ඒ කෙණෙර සමඟ නිතර ගැවසෙන බව

2011 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි සංගණනයට අනුව මෙරට සිටි මුළු වන අලි ගහනය 5879කි. මේ වන අලින්ගෙන් සියයට 67.19ක් වනජීවී රක්ෂිතවලද, සියයට 29.78ක් වනරක්ෂිත දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරවලද, සියයට 2.03ක් හුදෙකලා වනාන්තර කුට්ටිවල ද සිටිනවා. 1900 ගණන්වල 12,000ක්ව තිබූ අතර මෑත දී කළ නිල සංගණනය අනුව අලි ගහනය 6000ක් දක්වා පහත වැටී තියෙනවා. ඒ අනුව වසර සියයක් තුළ හරි අඩකින් අඩුවී තියෙනවා. 2020 වන විට මෙරට ඇස්තමේන්තු ගත කළ අලි ගහණය 7,500ක් යයි සැලකෙනවා.

වසරක් පාසා අලි ඇතුන් 250ක් පමණ විවිධ හේතූන් මත අපට අහිමි වී යනවා. අලි ඇතුන් මිය යන ප්‍රධාන හේතුව අලි මිනිස් ගැටුමයි. 2016 වසර තුළ පමණක් අලි 270ක් මරා දමා තිබෙනවා. ඒ වසරේ අලි පහරදීමෙන් සිදු වූ මිනිස් මරණ 68ක්. 2018 දී අලින් 319ක් හා මිනිස් ජීවිත 96ක් ද, 2019දී අලින් 361ක් හා මිනිස් ජීවිත 29ක් ද අහිමි වුණා. 2017 අයවැය ලේඛනයේ සඳහන් වුණා, ගත වූ වසර 5 තුළ 1380ක් අලින් ඝාතනයට ලක් වූ බව. මේ ආකාරයට මියයන අලි වැඩි දෙනෙක් අවුරුදු 20-40ත් අතර ශක්තිමත් පිරිමි අලින් බව හෙළිදරවු වී තියෙනවා. එය අනාගත පරපුරට බලපානවා. 2014-2018 තෙක් අලින් පහරදීම නිසා සිදු වූ මිනිස් මරණ 401ක් ලෙස දැක්වෙනවා. අලි මිනිස් ගැටුම නිසා වසරක් පාසා මිනිස් ජීවිත 59ක් විතර වන අලි පහරදීම්වලින් මිය යනවා. අලි මරණවලින් සියයට 85ක් සිදු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසයි. ගොවීන් අලින් දෙස බලන්නේ වගා වනසන කෘමීන් දෙස බලන්නාක් වගෙයි.
සති 3ක් හෝ 4ක් වයසැති මේ පැටවුන්

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් සියයට 60ක වන අලි වාසය කරනවා. එහෙත් ස්වාභාවික පරිසරයේදී සංචාරකයන්ට වන අලි දැක ගත හැකි ආරක්ෂිත ස්ථාන වන්නේ ජාතික වනෝද්‍යානයි. ඒ අතර කවුඩුල්ල, යාල, මින්නේරිය, උඩවලව ආදිය ප්‍රධානයි. කෑගල්ලේ පින්නවල අලි අනාථාගාරය හා උඩවලව ඇත් අතුරු සෙවන යන ස්ථානයේත් අලි ඇතුන් රඳවා තබනවා. එයින් පින්නවල අලි අනාථාගාරය පිහිටුවා ඇත්තේ කැළයේ දී අනතුරට ලක්ව අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමටත්, මවු කෙණෙර මිය යාම නිසා අනාථ වන පැටවුන් හදා වඩා ගැනීමටත්, පාවිච්චි කිරීමටයි. එහි අලි ඇතුන් 70ක් පමණ ඉන්නවා. උදේ පාන්දර අලි බලන්නට යන සංචාරකයන්ට, පැටවුන් කිරි පෙවීමටත්, ලොකු අලින්ට පලතුරු කැවීමටත්, අවස්ථාව ලැබෙනවා. උඩවලව ඇත් අතුරු සෙවණ පිහිටුවා ඇත්තේ, කැළේදී මව මිය යාම නිසා අනාථ වන හෝ අනතුරට ලක් වන කුඩා පැටවුන් හදා වඩා ගෙන නිසි වයසේ දී ආපසු කැළයට මුදා හැරීමටයි.

හීලෑ අලි ඇතුන් පිට යාමට ආසා කරන විදේශික සංචාරකයන් වැඩි දෙනකු ඒ සඳහා යන්නේ හබරණටයි. කොළඹ සිට කි.මී. 210ක් දුරින් පිහිටි මේ ප්‍රදේශයේ දී රාත්‍රි කාලයේ දී වන අලින් මහා මර්ගය හරහා යනු දැක ගත හැකියි.

වන අලි ඇතුන් පිටරට පැටවීම ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් වුවද විශේෂ අවසර මත එතෙර රටවලට තෑගි වශයෙන් දුන් හීලෑ අලි ඇතුන් පවා ඒ රටවල දී පීඩාවට පත් වී ඇති බවට වාර්තා තියෙනවා. විදේශ රටවල දුක් විඳින අපේ අලි ගැන හොඳම නිදසුන එන්නේ පාකිස්ථානයෙන්. ඒ ‘කාවන්’ හස්තියායි. 1985 වසරේදී ශ්‍රී ලංකා රජයේ තෑග්ගක් ලෙස එවකට පාකිස්ථාන ජනාධිපති සියා උල්හක්ට තෑගි කරන ලද්දේ වසරක් වයසැති පැටියකු ලෙසයි. ඌ ඉස්ලාමාබාද්හි මර්ඝසාර් සත්වෝද්‍යාන‍යට බාර කෙරුණු අතර මුළු පාකිස්ථානයටම සිටි එකම ශ්‍රී ලංකා අලියා වුණා.
‘කාවන්’ පාකිස්ථානයේ සත්තු වත්තේ දී 
සිය දුක පළ කරමින් සිටි අවස්ථාවක්

‘කාවන්” දැන් 33 වැනි වියේ පසු වෙනවා. ඒ හස්තියා පීඩාවට පත්ව ඇති බව දුටු සත්ව හිංසාව පිටු දකින පරිසරවේදීන්ගේ උද්ඝෝෂණය නිසා ‘කාවන්’ වෙනුවෙන් ලෝක ජන මතයක් ගොඩ නැඟුණා. පරිසරවේදීන් ලක්ෂ ගණනක පෙත්සමක් අත්සන් කළා. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ෂෙයා නම් ඇමරිකානු පොප් තාරකාවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර හතරක නඩු විශාගයකින් පසු පසුගිය මැයි 31 වැනිදා ඉස්ලාමාබාද් මහාධිකරණය ‘කාවන්’ ගැන තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව අනුව කාවන් පීඩාවට පත් වූ බව පිළිගත් මහාධිකරණය කාවන් එතැනින් නිදහස් කර දින 30 ඇතුළත පහසුකම් සහිත සුදුසු තැනකට යවන ලෙසත් ඒ සඳහා ශ්‍රී ලං‍කාවෙන් උපදෙස් ලබා ගෙන්නා ලෙසත් නියෝග කළා. පාකිස්ථානයේ වන අලි සඳහා අභය භූමියක් නැති නිසා අවශ්‍ය නම් වෙනත් රටකට යවන ලෙසටත් නිර්දේශ කරලා තියෙනවා. කාවන්ට විසඳුමක් එරට නැති නම් අපට මෙහි ගෙන්වා ගැනීම හොඳ යයි මට සිතෙනවා.

මේ ආකාරයට ම අපෙන් එතෙර රටවලට තෑගි දුන් තවත් අලින් ගැන ශෝකජනක පුවත් වාර්තා වුණා. රුමේනියාවේ ටාගු මියුරේ සතුන් වත්තේ ටානියා, පිලිපීනයේ මැනිලා සතුන් වත්තේ මාලී, කැනඩාවේ එඩ්මන්ටන් වැලී සත්තු වත්තේ ලුසී ඉන් කීප දෙනෙක්. ඒ වෙනුවෙන් නිසි මැදිහත් වීමක් ශ්‍රී ලංකාවෙන් වත් සිදු වුණේ නැහැ.

විදෙස් රටවල පීඩාවට පත් වූ අලින් ගැන අවධානය යොමු නොකළා පමණක් නොව ශ්‍රී ලංකාව තුළ පීඩාවට පත් වූ අලින් ගැන පවා අවශ්‍ය අවධානය යොමු වූ නැත. වනයේ වෙසෙන කෙණෙර මවුන් මරා පැටවුන් අල්ලා ගෙන අවුත් නීති විරෝධී ව ව්‍යාජ බලපත්‍ර මත විකිණීම හා පන්සල්වලට පරිත්‍යාග කිරීම පිළිබඳ නඩු ගණනාවක් ම පවරනු ලැබූ හැටි අපට මතකයි.

අලි ඇතුන්ගේ අනාගතය ගැන අප දක්වන උනන්දුව ඉතා මඳ බව, මගේ හැඟීමයි. ඔවුන් රැක ගැනීමට දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් සකස් කර නැහැ. දැන් වඳ වී ගෙනයන වේගය අනුව මේ අපූරු සත්වයා අපට බලන්නට, තවත් අවුරුදු 20කට 25කට වඩා ජීවත්වෙතැයි සිතන්න අමාරුයි.

ලෝකයේ වන සතුන් අතරින් ගොඩබිම වෙසෙන විශාලතම සතාත්, මුහුදේ වෙසෙන ලොකුම සත්වයාත්, එක දවසක් තුළ, (උදේ මිරිස්සේ මුහුදේදී නිල් තල්මහත්, සවස යාල අභයභූමියේදී අලියාත්) බලන්න පුළුවන්, ලොව එකම රට හැටියට අපට ලොව පුරා පවතින කීර්තිය අලියාගේ වියෝවීම සමග අපට අහිමිව යාවි.
 - පර්සි ජයමාන්න

නස්රුදින් පොලිසියට ගිහින්!

$
0
0
එක දවසක නස්රුදින් ගෙදර නැති වෙලා‍වක කවුදෝ ඇවිදින් නස්රුදින්ගෙ බූරුවා හොරෙන් අරන් ගිහින්. නස්රුදින් ගෙදර ආ විට මේක දැන ගත්ත ගමන් ම ඉක්මන් කරලා පොලිසියට ගියා. ඒ ගියේ ‍ බූරු හොරකම ගැන පැමිණිල්ලක් කරන්නයි. පොලිසියෙ ලොක්කා නස්රුදින් දැක්ක ගමන් ම අඳුනා ගත්තා.

‘මගේ බූරුවා හොරු අරන්. ඒකට පැමිණිල්ලක් දමන්නයි ආවෙ’ නස්රුදින් පොලිසියට ගොඩ වැදුණු ගමන් ම ලොක්කට කිව්වා.

‘මං මේක ලේසියෙන් අරින්නෑ. බූරුවෙක් හොරකම් කරන එක බරපතල වරදක්. අනික් අතට ඔහේ වගේ ප්‍රසිද්ධ කෙනෙකුගෙ බූරුවා හොරකම් කරපු එකනේ වැරැද්ද තවත් බරපතල වෙනවා.’ පොලිසියෙ ලොක්කා තීවා.

නස්රුදින් හරියට සතුටු වුණා, පොලිස් ලොක්කගෙ උනන්දුව ගැන.

‘මට හරිම සතුටුයි, ඔබතුමා දක්වන උනන්දුව ගැන. මට විශ්වාසයි ඔබතුමන්ලා මගේ බූරුවා හොරා ගත් කෙනා අල්ලන බවට.’ නස්රුදින් කිව්වා.

‘ඔක්කොම වෙච්ච සිද්ධිය හරියටම මුල ඉඳලා මට කියන්න.’ පොලිස් ලොක්කා කීවා.

‘ඒක සිද්ධ වෙන වෙලාවෙ මං එතැන හිටියෙ නෑ. ඒ නිසා මං මොකුත් දන්නෙ නෑ. ඉතින් මං කොහොමද මුල ඉඳලම හැම දෙයක් ම කියන්නෙ?’ නස්රුදින් ඇහුවා.

- පර්සි ජයමාන්න

වසර 51කට පසුව ඇපලෝ 11 යානයේ කොටස් වෙන්දේසියේ!

$
0
0
නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් (Buzz) ඕල්ඩ්‍රින් මුල්වරට හඳට පා තබද්දී ඒ යානා හැසිරවීමට භාවිත කළ මෙහෙයුම් යෂ්ටි වෙන්දේසි කිරීමට සැරසෙනවා. ඒවා ජූලි 16 සහ 17 යන දිනවල කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

මේ මෙහෙයුම් යෂ්ටි හරියට පරිගණක ක්‍රීඩාවලදි පාවිච්චි කරන ජෝයිස්ටික වගෙයි. ඒවා 1969 ජූලි මාසයේ දී හඳ මතට මිනිසා ගෙන ගිය ඇපලෝ 11 යානයට සම්බන්ධ කොටස්. ඒ වෙන්දේසියෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් විතර ඉපැයීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම් යෂ්ටි දෙක තමයි, ඇපලෝ 11 මගින් හඳ මතට ඔවුන් ගෙන ගිය කොලොම්බියා සේවා මොඩියුලය හැසිරවීමට යොදා ගත්තේ. ඒවා තමයි මිනිසා පළමුවරට හද මතට ගෙන ගිය ඇපලෝ 11 මෙහෙයුමේ වැදගත් ම සිහිවටන වන්නේ.
ජූලි 16 සහ 17 යන දිනවල කැලිෆෝනියාවේදී 
වෙන්දේසි කිරීමට සැරසෙන මෙහෙයුම් යෂ්ටියක්

නීල් ආම්ස්ට්‍රෝන් භාවිතා කළ මෙහෙයුම් යෂ්ටිය

වසර 51කට පෙර මිනිසා මේ සියවසේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය සලකුණු කළ, සංකේත ලෙස සැලකිය හැකි මේ සුවිශේෂ කෞතුක වස්තු කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හි ජුලියන්ස් වෙන්දේසි පොළේ දී ‘ලෙජන්ඩ්ස් ඇන්ඩ් එක්ස්ප්ලොරර්ස්’ නම් වෙන්දේසියේදී වෙන්දේසි කෙරෙනවා.
හඳ මත පළමු පියවර තබමින් නීල් ආම්ස්ට්‍රෝන් කීවේ, 
‘මිනිසා මේ තබන පුංචි පියවර මිනිස් වර්ගයා 
වෙනුවෙන් තැබූ එක් දැවැන්ත පියවරක්’ කියායි.

අඟල් හතර හමාරක් උස මේ මෙහෙයුම් යෂ්ටි හුරුබුහුටි දැව ඇසුරුමක බහා තියෙනවා. එහි ඇපලෝ 11 ලාංඡනය හා නාසා ආයතනයේ සහතික කළ ටැග් යොදා තියෙනවා.

මුල්ම සඳගාමීන් ‍ගෙන ගිය යානා කොටස හැඳින්වූයේ කොලොම්බියා කියායි. චන්ද්‍රයා වෙතට ගිය යානය නම් කර තිබුණේ ඊගල් කියායි.
එඩ්වින් ඕල්ඩ්‍රින් භාවිතා කළ මෙහෙයුම් යෂ්ටිය

ඇපලෝ වැඩ සටහන යනු කුමක්ද ? 

සෝවියට් දේශය 1957 අප්‍රේල් මාසයේ දී ස්පුට්නික් 1 යනුවෙන් කාත්‍රිම චන්ද්‍රිකාවක් යැවීමෙන් අභ්‍යවකාශ යුගය ඇරැඹුණා. සෝවියට් දේශය 1961 අප්‍රේල් 12 වැනිදා යූරි ඇල‍ෙක්සිවිච් ගගාරින් ප්‍රථම අජටාකාශගාමියා කරමින් වොස්ටොක් 1 යානයෙන් උඩුගුවනට යැවීමෙන් තවත් පියවරක් ඉදිරියට තැබීමෙන් අභ්‍යවාකශ තරණය සඳහා තරගයක් ඇති වුණා. ඒ සෝවියට් දේශයත් ඇමරිකා එක්සත් ජනපදයත් අතරයි.

එහි අභියෝගය බාර ගත් ඇමරිකා එක්සත් ජනපදය හඳ ගමන සැලසුම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, 1961 දී ඇපලෝ වැඩසටහන ඇරඹුණේ. ඉන් වසර අටකට පසු ප්‍රථම මිනිසා හඳට පා තැබුවා. සෝවියට් දේශය මිනිසුන් හඳට යැවීමට තරඟ කළේ නැහැ. ඒ වෙනුවට ස්වයංක්‍රීය අජටාකාශ යානා යැවුවා. ඒ යානා මගින් හඳ මතින් පස් සාම්පල පවා ගෙනාවා.

ඇපලෝ වැඩ සටහනේ මුල් ම යානා උඩුගුවනට යැවූයේ යන්ත්‍රසූත්‍රවල ක්‍රියාකාරිත්වය අත්හදා බලන්නයි. අනෙක් යානා හතෙන් හයක්ම හඳ වෙතට යැවීමට හැකි වුණා. මිනිසුන් රැගෙන හඳ බලා ගිය පළමු යානය වන ඇපලෝ 8 යානය හඳ වෙතට ගොඩ බැස්සේ නැහැ. 1968 නත්තල් දා සැන්දෑවේ එය හඳ වටා ගොස් ආපසු නිරුපද්‍රිතව අජටාකාශගාමීන් සමග ආපසු ආවා.

වෙනත් අජටාකාශගාමීන් පිරිසක් කැටුව ගිය ඇපලෝ 9 යානය දින දහයක් තිස්සේ පෘථිවි කක්ෂයක යමින් ප්‍රථම වරට හඳ මතට පා තබන්නට නියමිත මිනිසා වූ නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් එහි ගෙනයන චන්ද්‍රයානයේ සාර්ථකත්වය අත් හදා බැලුවා.
1969 ජූලි 16 වැනිදා මිනිසුන් හඳට ගෙන ගිය 
අඩි 363ක් උස ඇපලෝ 11 අභ්‍යවකාශ යානය 
හා සැටර්න් V රොකට්ටුව.

ඇපලෝ 11 යානය තමයි, 1969 ජූලි 20 වැනිදා හඳ මතට ප්‍රථම වරට ගොඩ බැස්සේ. එහි ගිය අභ්‍යවකාශ ගාමීන් වූයේ ප්‍රධාන නියමුවා වූ නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන තිදෙනායි. ඇපලෝ 11 යානය කොටස් තුනකින් යුක්ත වුණා. ඇපලෝ 11 උඩුගුවනට ගෙන යන සැටර්න් V රොකට්ටුව, මවු යානය වූ කොලොම්බියා හා චන්ද්‍ර යානය වූ ඊගල් ඒ කොටස් තුනයි. නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් හඳ මතට ගොස් එනතෙක් මයිකල් කොලින්ස් මවු යානය පදවමින් හඳ වටා කක්ෂයක යමින් සිට ඔවුන් මෙහෙයුම අවසන් කර නැවත චන්ද්‍ර කක්ෂයකට ආපසු, චන්ද්‍රයානය අමුණා ගෙන පොළොවට පැමිණීම භාරවූයේ ඔහුටයි. චන්ද්‍රයානය පැදවීම පැවරී තිබුණේ එඩ්වින් ඕල්ඩ්‍රින්ටයි.

චන්ද්‍ර යානය ගොඩ බැස්සේ සඳ මත ‘නිසල මුහුද’ (Sea of Tranquillity) නම් ස්ථානයටයි. හඳ මත පළමු පියවර තබමින් නීල් ආම්ස්ට්‍රෝන් කීවේ, ‘මිනිසා මේ තබන පුංචි පියවර මිනිස් වර්ගයා වෙනුවෙන් තැබූ එක් දැවැන්ත පියවරක්’ කියායි. සඳ මත ඇමරිකන් ජාතික ධජය සිට වූ ඔවුන් දෙදෙ‍නා පෘථිවියෙන් ගෙන විවිධ සිහිවටන හා පරීක්ෂණ උපකරණ එහි සවි කර මෙහි ගෙන ඒමට පස් සාම්පල රැස් කළා. ඔවුන් එහි සිදුවන දේ සියල්ල ඒ මොහොතේම පෘථිවිවාසී අපට දැක ගැනීමට හා විස්තර අසා ගැනීම සැලැස්සුවා. එසේ සෑහෙන වේලාවක් පරීක්ෂණ කටයුතුවල නිරත වූ නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් දෙදෙනා නියමිත පරිදි සියල්ල සාර්ථකව ඉටු කරමින් ආපසු පෘථිවිය බලා ආවා.

ඒ වසරේම නොවැම්බර් 19 වැනිදා තවත් නියමුවන් පිරිසක් කැටුව ඇපලෝ 12 යානය සඳ‍ෙහි ‘කුණාටු මුහුද’ නම් ස්ථානයට ගොඩ බැස්සා.

ඇපලෝ 13 යානය චන්ද්‍රයා වෙත යවනු ලැබූ ඇපලෝ වැඩ සටහනෙහි තුන්වැනි මෙහෙයුමයි. එය පෘථිවියෙන් නික්ම පැය 56කට පසු ඔක්සිජන් ටැංකියේ පිපිරීමක් සිදු වුණා. ඒ නිසා හඳට ගොඩ බැසීම අත්හිටුවා, එහි ඇක්වේරියස් චන්ද්‍ර යානයට නැඟී ආපසු දිවි ගලවා ගෙන පාථිවියට ආවා.

ඇපලෝ 15 යානය ඇපලෝ වැඩ සටහනෙහි නව වැනි මෙහෙයුමයි. එය එ් වැඩපිළිවෙළෙහි වඩාත් සාර්ථක සඳ ගමන ලෙස සැලකෙනවා. වැඩි වේලාවක් සඳ මත ගත කරමින් විද්‍යාත්මක ගවේෂණ රැසක් එමගින් ඉටු කරනු ලැබුවා.

අවසන් ඇපලෝ මෙහෙයුම සිදු වූයේ 1972 වසරේදියි. ඒ වන විට අජටාකාශගාමීන් 12 දෙනකු සඳ මතට පා තබා තිබුණා.

- පර්සි ජයමාන්න

මිනීමරු සුදු මෝරාගේ විස්මිත තල්මස් දඩයම

$
0
0
මුහුදේ දැවැන්තයකුට මීනීමරු සුදු මෝරකු (great white shark) පහර දුන් ආකාරය දැක්වෙන වීඩියෝවක කොටසක් පසුගියදා අන්තර්ජාලයට මුදා හැර තිබුණා. මෙවැනි දෙයක් දැක ගැනීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ වාසනාව උදා වූයේ දකුණු අප්‍රිකානු වෙරළට නුදුරු මුහුදේ තල්මසුන් නිරීක්ෂණය සඳහා ගිය සාගරජීව විද්‍යාඥයකු වූ රයන් ජොන්සන්ටයි. මෙවැනි සටනක් වීඩියෝ ගතකර ඇත්තේ ද ප්‍රථම වතාවටයි. මෙය මිනිත්තු 50ක් තිස්සේ පැවති සටනක්.
මෙහි දැක්වෙන්නේ මිනීමරු සුදු මෝරා මොල්ලි තල්මසාට පහර දුන් ආකරයයි. 
මේ සටන තල්මසා මිය යන තෙක් මිනිත්තු 50ක් තිස්සේ සිදු වුණා.

අඩි 13ක් දිග මිනීමරු සුදු මෝරාගේ මාරක ප්‍රහාරයට ගොදුරු වූයේ රැලෙන් මඟ හැරී ගිය අඩි 33ක් දිග දැවැන්ත මොල්ලි තල්මසකු (humpback whale) යි. රයන් ඒ විස්මිත දසුන ඔහුගේ ඩ්‍රෝන කැමරාව මගින් වීඩියෝ ගත කළා. විද්‍යාඥයකු විසින් පටිගත කරනලද පළමු වීඩියෝව මෙයයි. මෙම සම්පූර්ණ වීඩියෝව ජූලි 17 වැනිදා ‘නැෂනල් ජ්‍යොග්‍රෆික් වයිල්ඩ්’(National Geographic Wild) නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිතයි.

රයන් කියන විදියට මීනීමරු සුදු මෝරා මේ සාගරයේ දැවැන්තයාව දඩයම් කළේ ඉතා උපක්‍රමශීලීවයි. මුලින් ම ඌ කළේ තල්මසා‍ගේ දරුණු මර්මස්ථානයක පිහිටි රුධිර නාළිකාවකට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමයි. ඌ ඒ දැවැන්තයා දිය යටට ඇද ගෙන යාමට කලින් වලිගයේ ඇති නාළිකාවට පහර දී රුධිර ධාරාවක් ගලා යාමට සැලැස්සුවා.

සාමාන්‍යයෙන් සිදුවන්නේ මොල්ලි තල්මසුන් වැනි සාගර දැවැන්තයන් විසින් මීනීමරු සුදු මෝරුන්ට පහරදී පන්නා හැරීමයි. ඒ වෙනුවට ඒ දැවැන්තයකු මෙවැනි මීනීමරු සුදු මෝරෙකුට ගොදුරු වීම ඉතා දුර්ලභ අවස්ථාවක්.
මෝරුන් විසින් තල්මසුන් ගොදුරු කර ගැනීම නොවෙයි, බොහෝ විට සිදු වන්නේ. එහි කණපිටයි. 
මෙහි දැක්වෙන 2017 දී තල්මසකු විසින් පහරදීමෙන් වෙරළට ගොඩ ගැසූ මෝරකුගේ මළ සිරුරකි.

මේ මිනීමරු මෝරා, රයන් ඇතුළු පිරිස විසින් 2013 දී ‘හෙලන්’ කියා නම් කළා. එසේ කර ඇත්තේ ඒ වසරේ මෝරුන් පිළිබඳ කළ අධ්‍යයනයකදී අධීක්ෂණ ඉලෙක්ට්‍රොනික උපාංගයක් සවි කළ අවස්ථාවේදියි. ඒ හෙලන් ම තමයි, වසර හතකට පසු මෙදා පහර දුන්නේ. මෝරා බද්ධ කර තිබූ උපාංගයෙන් ඔහු ඒ බව හඳුනා ගත්තා.

‘මෝරා තල්මස් දඩයමෙහි පළපුරුදු එකෙකු වගෙයි, මේ පහර දීම සිදු ‍කළේ. හරියටම කළ යුතු දෙය තමන් නිශ්චිතව දන්නා අයුරිනුයි ඒක කළේ.’ රයන් ජොන්සන් ලන්ඩන් ටයිම්ස් පුවත් පතට අදහස් දක්වමින් කීවා. ‘මුලින්ම තල්මසාගේ වලිගයේ සිහින් තැනින්, තමන්ගේ කටට හොඳින් හසු කර ගත හැකි තැනින් අල්ලා ගත්තා. ඒ පහරින් ඌ සමත් වුණා, බල නහරයක් කපා ගන්න. ඒ එක්කම එයින් ලේ විදින්න පටන් ගත්තා.’

රයන් නොකඩවා ඒ සිදුවීම සිය ඩ්‍රෝන කැමරාව මගින් අහසේ සිට පටිගත කරන්න පටන් ගත්තා. ඒ සඳහා බැටරි හයක්ම මාරු කරන්න සිදුවුණා.
සුදු මෝරා පහර දුන් ආකාරය. ඌ මුලින් ම පහර දුන්නේ දැවැන්ත තල්මසාගේ දුර්වල තැනකටයි.  ඉන් රුධිරය විශාල ලෙස ගලා ගියා

හෙලන් දිගින් දිගටම පහර දුන්නේ නැහැ. මුල් පහදීමෙන් පසු තල්මසාගේ රුධිරය ගලා ගොස් ඌ දුර්වල වනතෙක් මිනිත්තු 30ක් විතර නිකන් බලා හිටියා. ඊට පස්සෙයි, නැවතත් පහර දුන්නේ. ඒ වතාවේ හෙලන් පහර දුන්නේ තල්මසාගේ හිසටයි. හිස තදින් විකා ගෙන දිය යටට ගිල්වන්නට උත්සාහයක් ගත්තා. සතා කොච්චර දැවැන්තයෙකු වුනත් මෝරා තැත් කළේ තල්මහගේ හිස් මුදුණේ තිබූ ඉහළට වතුර විදින නාස්පුඩු ජල මට්ටමෙන් පහළට කර තබා ගන්නයි. රයන් කීවේ ඒ නිසා යළිත් තල්මසාට මුහුද මතු පිටට ඒමට නොහැකි වූ බවයි.

රයන් විසින් තල්මසා‍ගේ හැඩ රුවද නීරීක්ෂණය කර තිබුණා. ඒ සිටියේ මොල්ලි තල්මස් වර්ගයේ දැවැන්තයෙක්. සිරුර පුරා පුල්ලි වැටී තිබුණා. ඒ වගේම ඌ රැලෙන් වෙන්ව සිටි සතෙක්. මේ කරුණු දෙකෙන්ම පෙනී ගියේ මේ පහර දෙන අවස්ථාවේ ඌ නිරෝගී තත්වයෙන් පසුවූ සතෙකු නොවූ බවයි.

‘බැලූ බැල්මට පෙනුනේ හෙලන් තමන් කරන්න යන දෙය ගැන දැඩි විශ්වාසයකින් සිටි බවයි. තමාගේ ගොදුර දඩයම් කළ හැකි දුර්වල එකක් බව ඇය දැන ගත්තේ තල්මසුන් දඩයමෙහි තමා ලත් අත්දැකීම් අනුව ද නැති නම් ඉවෙන් හෝ සාමාන්‍ය බුද්ධියෙන් ද කියා දැන ගැනීමට මා තුළ කුතුහලයක් ඇති වුණා.’ ඔහු කියනවා.

හොඳින් වැඩුණු මොල්ලි තල්මසකුට මිනීමරු සුදු මෝරකු පහර දුන් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වුනත්, 2015 දී මේ වර්ගයේ කුඩා පැටියකුට මෝරුන් 20කගේ රංචුවක් වට වී පහර දුන් අවස්ථාවක් වාර්තා වුණා. මේ සතුන්ගේ ප්‍රමාණයන්වල වෙනස නිසාම සමහර විට මෝරුන් තල්මසුන්ට පහරදීමට එක්වරම පෙලඹෙන්නේ නැහැ. අනෙක් අතට ඒ දැවැන්ත සිරුරට අමතරව තල්මසුන්ගේ ශක්තිමත් වලිගයත් ඕනෑම තත්වයකදී ඔවුන්ට ආරක්ෂාව සපයනවා.

මේ වසරේ මුල් හරියේ දී තවත් විද්‍යාත්මක අධ්‍යයන වාර්තාවක් රයන් විසින් ප්‍රකාශයට පත් කර තිබුණා. එහි සඳහන් වූයේ 2017 පෙබරවාරි 17 වැනිදා ‘ඔෂන්ස් රිසර්ච් ආයතනයේ පර්යේෂණ යාත්‍රාවේ ඔහු සමග ගිය පිරිසට අඩි 23ක් පමණ දිග මොල්ලි තල්මසෙක් දක්නට ලැබුණා. ධීවරයන්ගේ දැලක් උගේ සිරුරේ පැටලී තිබුණා.

දකුණු අප්‍රිකාවේ මොසෙල් බොක්කේ දී හමු වූ ඒ සතා දරුණු ලෙස රෝගීව සිටියා. කෑම හිඟය නිසා මන්දපෝෂණයෙන් පෙළුණු උගේ සිරුර වෙළා ගෙන කවචයන් හා තල්මස් උකුණන් පිරී සිටිනු දක්නට ලැබුණා.

ඒ අවස්ථාවේ දී ඌට පහරදීමට මිනීමරු සුදු මෝරුන් දෙදෙනකු ආවා. එකෙකු උගේ පසුපස වම් ඇලපතට පහර දුන්නා. මිනිත්තු 42ක් බලා හිඳ අනතුරුව තවත් එවැනිම පහරක් එල්ල කළා. ඒ එක්කම තවත් මෝරෙක් ආවා. ඌ අඩි 13ක් දිග එකෙක්. ඌ එන විට අවට සිටි කුඩා මසුන් වේගෙන් ඉවතට පලා ගියා. මේ දෙවැනි මෝරා හෙලන් ද කියා හඳුනා ගෙන තිබුණේ නැහැ.

ඒ මෝරා හෙලන්ට සමාන උපක්‍රම යොදා ගත්තා. මොල්ලි තල්මහගේ හිස දෙසට ගියත් තල්මහ ගිල්වන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට වල්ගයට කළ අවසන් පහරදීමෙන්ම ඌ මියගියා. ඒ සටන පටන්ගෙන මිනිත්තු 90කට පසුවයි.

මෙම පර්යේෂණ කෘතිය මගින් අදහස් දැක්වූ ඒ පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ,‘එය තනි සිදුවීමක් ලෙස සැලකිය බවත්, ඒ අවස්ථාවට තල්මසාට මුහුණදීමට සිදුවූයේ ඌ දුර්වල හා රෝගී තත්වයෙන් පසු වූ නිසා බවත් සඳහන් කරන බවයි. ඒ නිසා සියලුම සුදු මෝරුන් තල්මසුන්ට පහර දෙන්නේ යැයි නොසැලකිය යුතු බවයි. එසේ වුවත්, ඉතා කලාතුරකින් නිරීක්ෂණය කරන්නට ලැබුණු තල්මසුන් හා සුදු මෝරුන් හා සංසිද්ධිය ඉදිරිපත් කරන්නේ එහි ඇති සුවිශේෂත්වයත් නිසයි.’

මෑත වසරවල දී සුදු මෝරුන් හා තල්මසුන් හමුවීම් වැඩිවී තිබෙනවා. අප්‍රිකානු සාගරයේ කලෙකට ඉහත රජකම් කළ මිනීමරු සුදු මෝරුන් මෑත වසරවල මේ කලාපයේ දකින්නට ලැබුණේ නැහැ. ඒත් 2018න් පසු මේ දක්වා කාලය තුළ, අප්‍රිකාවේ කේප් ටවුන්වල ෆෝල්ස් බොක්කේ දී එකම එක් වතාවක් පමණක් එකම එක මිනීමරු සුදු මෝරකු දැක තිබෙනවා.

නිදසුනක් වශයෙන් දෙසතියකට කලින් සුදු මෝරකුගේ මළ සිරුරක් දකුණු අප්‍රිකානු වෙරළට ගසා ගෙන අවුත් තිබී හමුවුණා. උගේ ළය වරල් අතර ගැඹුරු සිදුරක් තිබූ අතර උගේ අක්මාව හා හෘද වස්තුව අතුරුදන් වී තිබුණා. ඒවා ඇති වන්නේ තල්මසකුගේ පහර දීමකදියි. ඒ කලාපයේ වෙසෙන එවැනි මාරක තල්මසුන් දෙදෙනකු හඳුනාගෙන තියෙනවා. ඔවුන්ට නම් කර ඇත්තේ පෝට් හා ස්ටාබෝඩ් කියලයි. ඒ කලාපයෙන් මෝරුන් පන්නා දැමීමට ඔවුන් මේවා කරනවා වෙන්නට පුළුවන.

 

මිනීමරු මෝරුන් කුරිරු සතුන් ලෙස ප්‍රසිද්ධ වී ඇත්තේ මක්නිසාද? 

මෝරුන් මිහිපිට සිටිනා අති දක්ෂ විලෝපිකයන් නිසාත්, මිනිසුන්ට දරුණු ලෙස පහරදීම නිසාත් තල්මසුන්ට වඩා මිනිසුන් මෝරුන්ට බයයි. ඔවුන් වසර මිලියන 200ක් තිස්සේ පරිණාමය නොවී එකම ආකාරයකින් පැවතීමත් විශේෂත්වයක්. ඔවුන් තේරුම් ගැනීමට අපහසු ඉතා බුද්ධිමත් සතුන් ලෙසයි සැලකෙන්නේ. 

මිනිසුන් බිය කරන ඔවුන් සතු ලොකුම සාධකය ඔවුන්ගේ තියුණු දත්. අඟල් දෙකහමාරක් පමණ දිග මේ දත් පේළි 15ක් මෝරකුගේ කටේ තියෙනවා. ඒවා කෙතරම් නියුණු ද යත් එක පහරකින් ම කපා වෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ දත් කැඩුණොත් වැටුණොත් ඕනෑම වාර ගණනක් නැවත හැදෙනවා.

අනෙක් ප්‍රධාන සාධකය දිය මත ඉතා වේගයෙන් පිහිනා යාමේ හැකියාවයි. මැකෝ මෝරකුට පැ.හැ. 60ක (කි.මී. 96ක) තරම් අධික වේගයෙන් පිහිනා යා හැකියි. සුදු මෝරකුට පැ.හැ. 25ක (පැ.කි.මී. 40ක) උපරිම වේගයක් ගත හැකියි. මිනිසාට දිය මත යා හැකි වැඩිම වේගය පැ.හැ. 5ක් (පැ. කි.මී. 8ක්) පමණයි.

සුදු මෝරකු අඩි 20ක් පමණ දිගට වැඩෙන්න පුළුවන්. මිනිසුන් අධික ලෙස බිය වුවත් ඔවුන් මිනිසුන් හඹා යන්නට විශේෂ කැමැත්තක් දක්වන්නේ නැහැ. බොහෝ විට සුදු මෝරකු මිනිසකු වරක් සපා අත අරිනවා. එ්ත් ඒ පහර මිනිසකු මරා දැමීමට ප්‍රමාණවත්.

මෝරුන්ට වඩා මිනිසුන් දරුණුයි. හරි නම් මෝරුන් තමයි, මිනිසුන්ට බය වෙන්න ඕනෑ. වසරක් පාසා මිලියන ගණනක් මෝරුන් මිනිසුන් අතින් මැරෙනවා. සමහර මෝරුන්‍ වර්ග අල්ලා ගෙන සුප් පිණිස වරල් කපා ගෙන සිරුර ආපසු මුහුදට දමනවා. ඒ සතුන් මිය යන්නේ කුසගින්නේ හෝ පිහිණීමට නොහැකිව දියේ ගිලීමෙන්. ඒ අතින් මෝරුන්ට වඩා මිනිසුන් දරුණු යයි කිවහැකියි.

- පර්සි ජයමාන්න

මිනිසා සඳ තරණය කොට වසර 51යි! ඔබ සඳ ගැන මේවා දන්නවාද?

$
0
0
ඔබත් දන්නවද සඳ කියන්නේ පෘථිවියෙන් ම කැඞී ගිය කොටසක් ලෙස තාරකා විද්‍යාඥයන් විශ්වාස කරන බව.

ඔබත් දන්නවද තාරකා විද්‍යාඥයන්ගේ අදහස පෘථිවිය බිහි වූ මුල් කාලයේ විශාල ආකාශ වස්තුවක් ඒ හා ගැටීමෙන් පෘථිවියෙන් ලොකු කැබැල්ලක් කැඞී ගොස් පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා පෘථිවිය වටා සඳ ලෙසින් භ්‍රමණය වෙමින් පවතින බව.

ඔබත් දන්නවද සෑම පසළොස්වක දාකට ම ඔබ දකින්නේ හඳේ එක ම පැත්ත බව.
පෘථිවිය පායනු හඳට පෙනෙන හැටි!

ඔබත් දන්නවද සඳ සිය කක්ෂය වටා යාමත් පෘථිවිය වටා යාමත් එක හා සමාන කාලයකින් සිදු කරන නිසා එහි අප දෙසට හැරී ඇත්තේ එක ම පැත්ත බව.

ඔබත් දන්නවද හඳේ අඳුරු පැත්තක් ඇතැයි කීම සැබැවින්ම ඇත්තක් නොවන බව හා හඳේ හැම පැත්තකට ම හිරු එළිය හොඳින් වැටෙන බව.

ඔබත් දන්නවද අපේ මුහුදේ වඩදිය හා බාදිය ඇති වන්නේ හඳේ ආකර්ෂණය නිසා බව.

ඔබත් දන්නවද 1969 දී ඇමරිකාවේ ඇපලෝ 11 යානයෙන් මිනිසා හඳට පා තබන්නට වසර 10කට පෙර එනම් 1959 දී සෝවියට් දේශය මිනිසකු රහිතව ලූනා යානයක් හඳ මතට යැවූ බව.
නීල් ආම්ස්ට්‍රෝං හඳ මතදී

ඔබත් දන්නවද හඳ දින 27.3කට වරක් පෘථිවිය වටා යන බව. ඔබත් දන්නවද අපට ඇති එක ම ස්වාභාවික චන්ද්‍රිකාව සඳ බව.

ඔබත් දන්නවද සඳ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ස්වාභාවික චන්ද්‍රයන් අතරින් විශාලත්වයෙන් පස් වැනි තැන ගන්නා බව.

ඔබත් දන්නවද සඳේ විෂ්කම්භය කිලෝ මීටර 3,475ක් බව.

ඔබත් දන්නවද සඳට වඩා විශාල ස්වාභාවික චන්ද්‍රයන් බෘහස්පති හා සෙනසුරු ග්‍රහයන් වටා භ්‍රමණය වන බව.

ඔබත් දන්නවද හඳේ වායුගෝලයක් නැති නිසා කිසි ම ශබ්දයක් නෑසෙන බව.

ඔබත් දන්නවද අපට අහස නිල් පාටට පෙනුනාට හඳට අහස පෙනෙන්නේ කළු පාටට බව.
නීල් ආම්ස්ට්‍රෝං(මැද- ප්‍රධාන නියමුවා), 
එඩ්වින් ඕල්ඩ්‍රින්(වමේ-චන්ද්‍රයානයේ නියමුවා) 
හා මයිකල් කොලින්ස් (මව් යානයේ නියමුවා)

ඔබත් දන්නවද සඳේ වයස වසර බිලියන 4.6ක් බව හා එය බිහි වී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලය බිහි වී වසර මිලියන 30-50ත් අතර කාලයේ දී බව.

ඔබත් දන්නවද අටවක සඳට වඩා පසළොස්වක සඳ 9 ගුණයක් දීප්තිමත් බව.

ඔබත් දන්නවද සඳ ප්‍රමාණයෙන් පොළොව මෙන් 27%ක් කුඩා බව.

ඔබත් දන්නවද සඳ මුදුන් වන අවස්ථාවේ දී ඔබේ බර සුළු වශයෙන් අඩු වන බව.

ඔබත් දන්නවද පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට වඩා හඳේ ගුරුත්වාකර්ෂණය අඩු නිසා හඳේ දී ඔබේ බර හය ගුණයකින් අඩු වන බව.

ඔබත් දන්නවද නීල් ආම්ස්ට්‍රෝං මුල් ම මිනිසා ලෙස හඳට පා තබනු ලොව පුරා මිලියන 530ක් ජනතාව 1969 ජූලි 21 වැනිදා සජීවී ව නැරඹූ බව.
සඳ මත මිනිසා තැබූ ප්‍රථම පියවර

ඔබත් දන්නවද එදා 1969 ජූලි 21 වැනිදා නීල් ආම්ස්ට්‍රෝං හඳ මත තැබූ පා සලකුණ වසර මිලියන 100ක් වුණත් ඒ අයුරින් ම නොමැකී පැවතිය හැකි බව. එයට හේතුව හඳේ වායුගෝලයක් හෝ සුළං හෝ නොමැති වීම බව. එය විනාශ විය හැක්කේ කවදා හෝ උල්කාපාතයක් ඒ සලකුණ මතට ම කඩා වැටුණොත් පමණක් බව.

ඔබත් දන්නවද අන්තිමට හඳට ගිය මිනිසා 1972 දී ඇපලෝ 17 යානයෙන් එහි බට ජීන් සර්නන් බව හා ඉන් පසු ව මේ දක්වා එහි ගියේ මිනිසුන් රහිත යානා බව.

ඔබත් දන්නවද ඇපලෝ 11 යානයෙන් හඳට ගිය අජටාකාශගාමීන්ට ජීවිතරක්ෂණයක් ගන්නට වත්කමක් නොතිබුණු නිසා විකල්ප පියවරක් ලෙස ඒ ගමනේ දී ඔවුන් මිය ගියහොත් මුදල් උපයා ගැනීම පිණිස පවුලේ උදවියට දීමට ඔවුන්ගේ සමරු අත්සන් සිය ගණනක් සකසා තිබූ බව.

ඔබත් දන්නවද හඳ මත තවමත් ඇවිද ඇත්තේ මිනිසුන් 12 දෙනකු පමණක් බව හා ඒ සියලුදෙනා ම ඇමරිකානු පිරිමින් බව.

ඔබත් දන්නවද හඳට පා තැබූ එඩ්වින් ඕල්ඩ්‍රින් මවගේ විවාහයට පෙර නම ‘මූන්’ (Moon) බව.

ඔබත් දන්නවද වසරක් පාසා හඳ ආසන්න වශයෙන් සෙන්ටි මීටර 3.8කින් පෘථිවියෙන් ඈත් වෙමින් යන බව.

ඔබත් දන්නවද හඳ අපෙන් ඈත් වීම ගණනය කිරීම අනුව තවත් වසර බිලියන 50ක දී පෘථිවිය වටා භ්‍රමණය වීමට දැන් මෙන් දින 27.3ක් නොව දින 47ක් ගත වනු ඇති බව.

- පර්සි ජයමාන්න.

හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -1 වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍යය

$
0
0
මිනිසා සඳ තරණය කර මේ සතියට වසර පනස් එකක් ගත වී ඇත. මේ වසර පනස් එක තුළ අජටාකාශගාමීනට පමණක් නොව අපට ද අලුත් අලුත් දෑ රැසක් ලැබී තිබේ. මේ නව මෙවලම් අද අපගේ එදිනෙදා භාවිතයට පැමිණ ඇත්තේ අභ්‍යවකාශ තරණය සඳහා පිහිටුවන ලද ඇමරිකාවේ නාසා (NASA- National Aeronautics and Space Administration) ආයතනයේ අනුග්‍රහය හා දායකත්වය නිසාය. දැනට ලොව පුරා භාවිත කරන ලැප්ටොප් පරිගණකයත්, ජංගම දුරකථනයේ එන ඩිජිටල් කැමරාවත්, නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු අභ්‍යවකාශගාමීන් පාවිච්චි කළ රැහැන් රහිත හෙඩ් සෙට් සමග ආ බ්ලූටූත් තාක්ෂණයත්, එක්වරම අපේ මතකයට එන සඳ තරණයෙන් පසු ලද විශිෂ්ටතම දායාද ලෙස සැලකිය හැක.
මුලින්ම හඳට ගිය දෙදෙනා හඳ මතදී..

අභ්‍යවකාශ තරණය නිසා අපට අත් වූ අතිරේක වාසි, එනම් පොදුවේ ලෝකයට සැලසුණු සෙත, කෙබඳුදැයි දැක්වීමට නාසා ආයතනය වෙනම ප්‍රකාශනයක් ද 1976 සිට වාර්ෂිකව පළ කරයි. ‘ස්පිනෝෆ්’ නම් වූ ඒ ප්‍රකාශනය මගින් පර්යේෂණ පැවැත්විය හැකි ක්ෂේත්‍ර 50කට අධික සංඛ්‍යාවක් දක්වා ඇති අතර නාසා ආයතනයේ අනුග්‍රහය හා මග පෙන්වීම යටතේ කළ නව නිපැයුම් 2000කට ආසන්න ගණනක් ගැන විස්තර පළ කර ඇත.

වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍යය, නිවසේ සුවපහසුව, පාරිභෝගික ද්‍රව්‍ය හා විනෝදාංශ, ගමනාගමනය හා ප්‍රවාහනය, මහජන ආරක්ෂාව, පරිසරය හා හා කෘෂිකාර්මික සම්පත්, පරිගණක තාක්ෂණය හා තොරතුරු සන්නිවේදනය, නිෂ්පාදන ඵලදායිතාව හා කාර්යක්ෂම මෙවලම් ආදි වශයෙන් විවිධ ක්ෂේත්‍ර යටතේ, අභ්‍යවකාශ තරණය නිසා, විශේෂයෙන් ම සඳ තරණයෙන් අනතුරුව, අපට අත් වූ සුවිශේෂ වාසි යනුවෙන් වර්ග කළ හැකිය.
අධෝරක්ත කර්ණික උෂ්ණත්වමානය

අද පළවන්නේ වෛද්‍ය වෘත්තියට හා අපේ සෞඛ්‍යයට අදාළව ලැබුණු අතිරේක වාසි අතුරින් විශේෂයෙන් කැපී පෙනෙන කීපයකි.

ඇමරිකාවේ අභ්‍යවකාශ වැඩ පිළිවෙළ නිසා, විශේෂයෙන් ම සඳ තරණය සඳහා වූ කඩිනම් වැඩ සටහන නිසා මෙතෙක් අප භාවිත කළ බටහිර වෛද්‍ය ක්‍රමයේ විශාල පෙරළියක් ඇති විය. රුධිර පීඩන තත්ව දර්ශකවල, ඉබේ සැකැසෙන ගතිකරවල, හෘදයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කරන අභ්‍යාස උපකරණවල හා අති ධ්වනි ප්‍රතිබිම්බ දර්ශකවල නවෝත්පාදන විශාල ප්‍රමාණයක් රෝග නිර්ණයට හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලොවට හඳුන්වා දෙනු ලැබීය.
ආචාර්ය ඩිබේකි ඔහුගේ තුන්දික ආධාරක මෙවලම 
(කෘත්‍රිම හදවත) පෙන්වමින්

අධෝරක්ත කර්ණික උෂ්ණත්වමානය - ඩියාටෙක් (Diatek) කෝපරේශන් හා නාසා එක්ව කර්ණ පටහයෙන් හෙවත් කන් බෙරයෙන් විමෝචනය කෙරෙන තාප විකිරණ භාවිතයෙන් ක්‍රියා කළ හැකි කර්ණික උෂ්ණත්ව මානයක් නිපදවා තිබේ. තත්පර දෙකක් වැනි සුළු කාලයක් තුළ උෂ්ණත්වය මැනිය හැකිය. මේ ක්‍රමයෙන් ශ්ලේෂ්මල පටලය ස්පර්ශ නොකර, අලුත උපන් දරුවන්ගේ හෝ දුබලව රෝගී තත්වයෙන් පසුවන්නන්ගේ උෂ්ණත්වය ස්පර්ශයෙන් තොරව මැනීමට හැකියාව ලැබේ. මෙම උපකරණය, පසුගිය කොවිඩ්-19 වසංගතයේදී ලොව පුරා විශාල වශයෙන් භාවිතයට ගැනිණ. නාසා ආයතනයේ තාක්ෂණික සහයෝගිතා වැඩ සටහන යටතේ ආධාර හා අනුග්‍රහය ඇතිව පෞද්ගලික සමාගමක් විසින් නිපදවන ලද්දකි.
හෘද ස්පන්දන මාන දක්වන මොනිටරය

හෘද ස්පන්දක මාන දක්වන මොනිටරය - අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශගාමීන්ගේ හෘද ස්පන්දනය මැනීම සඳහා භාවිත කරන උපකරණ අනුව යමින් සකස් කළ නව මෙවලම් දැන් ලොව පුරා බහුලව පාවිච්චි කරනු දැකිය හැකිය. එදිනෙදා ව්‍යායාම් සඳහා දුවන ඇවිදින අය අතේ බඳින ඔරලෝසුවකට සමාන උපකරණය ඉන් එකකි. ඉන් ඔබේ පියවර ගණන, දහනය කරන කැලරි ප්‍රමාණය පමණක් නොව හෘද ස්පන්දනය, රුධිර පීඩනය ඇතුළු සියලු දත්ත ඔබේ ස්මාර්ට් ෆෝනයට ලබා දෙන අතර අවශ්‍ය වුනොත් ඔබට එතැන් සිටම ඒ දත්ත වෛද්‍යවරයාට යවා උපදෙස් ලබා ගත හැකිය. මේ සුවිශේෂ ක්‍රමවේදයත්, උපකරණත් මුලින් ම නිර්මාණය වූයේ අභ්‍යවකාශගාමීන් සඳහාය.

තුන්දික ආධාරක මෙවලම (ventricular assist device) - හදවත් බද්ධයක් අපේක්ෂාවෙන් පසුවන රෝගීනට ඒ සඳහා හදවතක් ලැබෙනතුරු භාවිත කළ හැකි මෙම උපකරණය තනා ඇත්තේ නාසා ආයතනයත්, ආචාර්ය මයිකල් ඩිබේකි, ආචාර්ය ජෝර්ජ් නූන් සමග මයික්‍රොමෙඩ් තාක්ෂණික ආයතනය එක්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙය හඳුන්වා ඇත්තේ මයික්‍රොමෙඩ් ඩිබේකි තුන්දික ආධාරක මෙවලම (VAD) කියා ය. මෙය එක්තරා ආකාරයකට කෘත්‍රිම හදවතකි. මෙතෙක් භාවිත කළ හෘද ස්පන්දක ආධාරක උපකරණවලට වඩා දහයෙන් එකකටත් අඩු ප්‍රමාණයකින් යුත්, සැහැල්ලු උපකරණයක් වන මෙය, බැටරියෙන් ක්‍රියා කරන්නකි. බැටරි කාලය පැය අටකි. මෙය සවි කළ පසු රෝගියාට එහා මෙහා යා හැකි වන අතර, අපහසුවක් නැතිව එදිනෙදා කටයුතුවල පවා නිරත විය හැකිය.
කර්ණශංඛ බද්ධ උපකරණය

කර්ණශංඛ බද්ධ උපකරණය (cochlear implant) - නාසා ආයතනයේ ඉංජිනේරුවකු වූ ඇඩම් කිසායා (Kissiah) 1970 ගණන්වල දී විශේෂ ශ්‍රවනාධාර උපකරණයක් තැනීමට වෙහෙසුණේය. සාමාන්‍ය ශ්‍රවනාධාර උපකරණවලින් ප්‍රයෝජන ලැබිය නොහැකි, කන් ඇසීමේ දුර්වලතා ඇති හෝ කොහෙත්ම කන් නෑසෙන අයට කන් ඇසීමට සැලැස්වීම ඔහුගේ අරමුණ විය. නාසා ආයතනයේ ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳ විශේෂඥ ඉංජිනේරුවකු වූ කිසායා ඔහුගේ කෑම පැයේ හා වැඩ අවසන් වූ පසු සහ සවස් භාගයේ, නාසා ආයතනයේ තාක්ෂණික පුස්තකාලයේ ගත කරමින්, වසර තුනක් තිස්සේ ඇතුළු කනෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ භෞතික විද්‍යාත්මක න්‍යායන් හැදෑරීමට ගත කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තැනූ මේ කර්ණශංඛ බද්ධ උපකරණයට ඔහු වෙනුවෙන් හිමිකම් බලපතක් ලබා දීමට පවා නාසා ආයතනය උපකාර විය. අද ජීවතුන් අතර නැති කිසායාගේ මේ විස්මිත උපකරණය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඇසීම ලබා දී ඇත. 

අක්ෂිරෝග ප්‍රතිකාරයට යොදා ගන්නා ලැසික් (LASIK) තාක්ෂණය - අද ඇස්වලට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා මේ තාක්ෂණය බිහි වූයේ 1980 ගණන්වල අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශ යානා හා කෘත්‍රිම චන්ද්‍රිකා හමු වූ විට, සේවා කටයුතු සඳහා ඒවා ස්වයංක්‍රීයව එකිනෙක අමුණා ගැනීමට (බද්ධ කිරීමේදී) යොදා ගත් ක්‍රමවේදයේ අතුරු ඵලයක් ලෙසය. එකිනෙක අතර දුර හා ප්‍රවේගය ඒවා ස්වයංක්‍රීයව අමුණා ගැනීමට ලේසර් ක්‍රමය යොදා ගෙන මෙම නව තාක්ෂණය හඳුන්වා දෙනු ලැබීය. එය හැඳින්වූයේ ලාඩාර් (LADAR - LAser Detection And Ranging) කියාය. මෙම ක්‍රමය යුද හමුදාව මිසයිල අවි හැසිරවීමට ඉලක්ක ගැනීම සඳහාත්, නාසා ආයතනය අභ්‍යවකාශ වස්තු හසුකර ගැනීමටත් සාර්ථකව යොදා ගැනිණ. මෙම තාක්ෂණය අක්ෂි විශේෂඥයන් යොදා ගන්නේ තත්පරයට 4,000ක වේගයකින් අක්ෂි චලනයන් හසු කර ගැනීමටය. ඒ ලේසර් දහරක් මගින් කුණීතය යළි සැකසීමටත්, නාභිය නිවැරදි කිරීමටත්, ඇසේ මතුපිට පිරිසිදු කිරීමටත් යොදා ගැනේ.

රොබොටික මෙවලම් හා කෘත්‍රිම අත්පා නිර්මාණය කිරීම - නාසා ආයතනය විශේෂ අවධානයක් යොමු කළ ක්‍ෂ‍ෙත්‍රයකි. රොබොටික තාක්ෂණයෙන් කෙරෙන නවනිපැයුම් සඳහා නව සංකල්ප හා අදහස් පමණක් නොව අරමුදල් සැපයීමද ඔවුන් අතින් සිදු විය. කම්පන අවශෝෂණ ද්‍රව්‍ය නිපදවීමටත් ඒවා යොදාගෙන සතුන්ට හා මිනිසුන්ට සුදුසු වඩාත් කාර්යක්ෂම කෘත්‍රිම අත්පා තැනීමට නාසා ආයතනය පෞද්ගලික අංශය දිරිමත් කළේය. ඒ අනුව එන්වයර්මන්ටනල් රොබොට්ස් ඉන්කෝපරේශන් ආයතනය රොබෝටික සංවේදක හා ක්‍රියාකාරිත්වය සහිත, කෘත්‍රිම මාංශ පේශී පද්ධතියක් සංවර්ධනය කළේ ය. ඒ නාසා අභ්‍යවකාශ රොබෝටික හා යානාවලින් පිටතට විත් කරන කටයුතුවලට සරිලන ආකාරයට ඒවා ඉතාමත් කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකිවන සේ කෘත්‍රිම අත්පාවලට සවි කිරීමටය.
‘ටෙම්පර් ෆෝම්’ තාක්ෂණයේ මෙට්ට

ඊට අමතරව, නාසා ආයතනයේ ‘ටෙම්පුර් ෆෝම්’ (tempur foam) තාක්ෂණය යොදා ගෙන පුද්ගලික අංශයේ නව නිපැයුම්කරුවන් කුෂන් ද්‍රව්‍ය රාශියක් නිපදවා ඇත. හැප්පීම්, ගැස්සීම්, ගැටීම්, ඇතිල්ලීම්වලට පමණක් නොව තාපයට, ආර්ද්‍රතාවට ඔරොත්තු දෙන ඇතුරුම්, මෙට්ට, කොට්ට, ආවරණ තැනීමට මේ ද්‍රව්‍ය යොදා ගනු ලැබේ. මේවා භාවිතයෙන් කෘත්‍රිම අත්පාවල කෘත්‍රිම ගතිය නොදැනෙයි. මිනිස් මසක, සමක, සුමට බව මේවායින් ද ගම්‍ය වෙයි. අභ්‍යවකාශගාමීන්ට සැලසූ ඒ පහසුව අද ගුවන්යනාවලට පමණක් නොව ඔබේ නිදන කාමරයේ කොට්ට, මෙට්ට ආදියට එක්වී ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කරන එල්ඊඩී - ආලෝක විමෝචන ඩයෝඩ(LED) මුලීක වශයෙන් භාවිත කළේ නාසා අභ්‍යවකාශ ෂටලයේ ශාක රෝපණ අත්හදා බැලීම් සඳහායි. පසුව නාසා ආයතනය සිය සුළු පරිමාණ නවෝත්පාදන අරමුදල යටතේ කුඩා ව්‍යාපාරිකයන්ට කළ ප්‍රදානයන් හා පැවරුම් යටතේ, ක්වොන්ටම් ඩිවයිසස් ආයතනය, අතේ තබාගෙන පාවිච්චි කළ හැකි, අධි තීව්‍රතාවකින් යුත් එල්ඊඩී උපකරණයක් තැනීය. එය සිරුරේ ඇති වන අර්බුදයකදී හෝ පටකවල අසාමාන්‍ය වැඩීමකදී, මර්දනය සඳහා යොදා ගත හැකිය. දැනට භාවිත කරන විකල්ප පිළියම්වලින් පලක් නොවන විට, චිකිත්සා කටයුතු සඳහා මේ උපකරණය භාවිත කිරීමට නිර්දේශ කර ඇත.
රැහන් රහිත හෙඩ් සෙට්

සීරීම්වලට ඔරොත්තු දෙන කාච - සීරීම් වළක්වා ගත හැකි, කාචයක් නිපදවීමට ෆොස්ටර් ග්‍රාන්ට් සමාගමට නාසා ආයතනය අනුමැතිය දුන් අතර අව් කන්නාඩි නිපදවන සමාගමක් ලෙස ප්‍රකට ඔවුන් විසින් අභ්‍යවකාශයට යැවෙන නාසා ආයතනයේ උපකරණවල ඇති කාචවලට, හෙල්මට් ආවරණ වලට සීරීම් වළක්වන ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබීය. අද ඒ ක්‍රමවේදය අප එදිනෙදා භාවිත කරන ඇස් කන්නාඩිවලට පමණක් නොව, වයිසර්වලට, වාහන වීදුරු ආදි නොයෙකුත් දෙයට යොදා ගැනේ.

අභ්‍යවක‍ාශ බ්ලැන්කට්ටු (පොරෝන) - 1964 දී අභ්‍යවකාශ වැඩ සටහනේ දී තනනු ලැබූ අභ්‍යවක‍ාශ බ්ලැන්කට්ටු, අධෝරක්ත කිරණ පරාවර්තනය කළ හැකි සැහැල්ලු පොරෝණා විශේෂයකි. දැන් ඒවා ප්‍රථමාධාර කට්ටලවලට ද ඇතුළත් කර ඇත.

ආහාර පිසින ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍ර - බීහෙක්ස් ආයතනයෙන් ආහාර සැකසීමේ ත්‍රිමාන (3D) මුද්‍රණ යන්ත්‍ර නිපදවා ඇත. නාසා ආයතනය ඒ පර්යේෂණ සඳහා මුදල් ආයෝජනය කර තිබේ. අභ්‍යවකාශ ගාමීන්ට උඩු ගුවනේදී කෑම පිළියෙල කර ගැනීමට මේ නිසා පහසු වූ අතර අද ඒ ආහාර ‘මුදුණ යන්ත්‍ර’ සාමාන්‍ය ජනජීවිතයටද එක්වී තිබේ. පිට්සා තැනීම, අතුරුපස, කේක් වැනි දේට අයිසිං දැමීම මේ ආහාර මුදුණ යන්ත්‍ර මගින් එසැණින් කර ගත හැකිය.

- පර්සි ජයමාන්න

හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -2 නිවසේ සුවපහසුව, පාරිභෝගික ද්‍රව්‍ය හා විනෝදාංශ

$
0
0
හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -1 යටතේ (ජූලි 21දා පළ විය.) අප පළ කළේ වෛද්‍ය විද්‍යාව හා සෞඛ්‍යයට අදාළව නාසා ආයතනයේ අනුග්‍රහයෙන් හා මග පෙන්වීම යටතේ කරන ලද නව නිපැයුම් ගැනයි. මෙවර පළ වෙන්නේ නිවසේ සුවපහසුව, පාරිභෝගික ද්‍රව්‍ය හා විනෝදාංශවලට අයත් නව නිපැයුම් කීපයක් පිළිබඳවයි.
මේ රැහැන් රහිත රික්තක ශෝධකය ආවේ 
සඳ මතුපිට පස් එකතු කරන්නට 
තැනූ උපකරණය ඇසුරෙනි.

නිවසේ සුව පහසුව සපයන මෙමරි ෆෝම් - කෘත්‍රිම අත්පා හා රොබෝටික අවයව තැනීමට අදාළ ව යොදා ගන්නා මෙමරි ෆෝම් හෙවත් ටෙම්පුර් ෆෝම් කුෂන් විශේෂය ගැන සඳහන් කරද්දී ඒවා කොට්ට මෙට්ට හා ආරක්ෂක ආවරණවලට සාර්ථකව භාවිත කළ හැකි බව කීවා ඔබට මතක ඇතැයි සිතමි. අද ඒ පිළිබඳව තවත් විස්තර පැවසීමට අදහස් කරමි. ‘එබූ පසු හෙමින් යථා තත්වයට පත්වන’ කුෂන් විශේෂයක් වන ටෙම්පුර් ෆෝම්, මෙමරි ෆෝම් කියාත් හැඳින්වෙයි. පීඩනයක් එල්ල කළ විට එය දරා ගනිමින් ඒ පීඩනය ඉවත් කළ විට හෙමින් කලින් පැවති තත්වයට පත් වන මෙය බහු කාර්ය කටයුතු සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍යයකි. ගුවන් මගීන්ට මුහුණ පාන්නට වන හදිසි අනතුරුවලදී හැප්පීම්වලින් සිදුවන හානි වළක්වා ගන්නට පිරවුම් ද්‍රව්‍ය ලෙස මේ නව නිපැයුම බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇ‍මරිකාවේ ඒමිස් පර්යේෂණ මධ්‍යස්ථානයටයි.

දැන් මේ ටෙම්පුර් ෆෝම් ද්‍රව්‍ය යොදා ගෙන තනන විවිධ දේ අප්‍රමාණය. ඒවා දැන් මෙට්ට, කොට්ට ආදියට පමණක් නොව යුද ගුවන්යානාවලටත්, මගී ගුවන්යානාවලටත්, මෝටර් රථවලටත්, මෝටර් සයිකල්වලටත්, ක්‍රීඩා ආරක්ෂිත උපකරණවලටත්, විනෝද උයන්වලට හා රඟහල් අසුන්වලටත්, අසුපිට යනවිට සැදෑලවලටත්, දුනුසිප් ඉලක්කවලටත්, මිනිස් හා සත්ව අත්පාවලටත් යොදා ගනු ලැබේ. ඒ ද්‍රව්‍යය‍ෙහි ඇති, අධි ශක්තියට ඔරොත්තු දෙන හැකියාවත්, මෘදු ගති ලක්ෂණත්, එදිනෙදා ජීවිතයේදී අපට ආරක්ෂාවත්, සුවපහසුවත් සපයයි. 
ආම්ස්ට්‍රෝං සඳ මතුපිට පස් එකතු කරද්දී...

රැහන් රහිත ජංගම රික්ත ශෝධකය (cordless vacuum cleaner) - ඇපලෝ වැඩ පිළිවෙළ සඳහා සඳ මත දී පස් සාම්පල එක් රැස් කර ගැනීමටත් කැණීම් කරන්නටත් අතේ ගෙන යාහැකි විදුම් කටුවක් සමඟ රික්ත ශෝධක මෙවලමක් තැනීමේ අවශ්‍යතාව නාසා ආයතනයට තිබිණ. එසේම එය රැහැන් රහිතව ක්‍රියාකළ හැකි, සඳ මතුපිට ගුරුත්වාකර්ෂණය නැති තත්වයක් යටතේ පස් ගල් කැබලි ඇද ගැනීම පිණිස රික්තයෙන් යුතු වියයුතු විය.

මෙහි නිෂ්පාදන කාර්යය බාර වූයේ බ්ලැක් ඇන්ඩ් ඩෙකර් සමාගමටයි. ඒ සඳහා අවම බලයකින් ක්‍රියා කරන, මෝටරයක් සහිත විදුම් කටුවක් සැලසුම් කිරීමට පරිගණක ක්‍රමලේඛයක් සකස් කෙරිණ. ඒ අනුව සැකැසුණු රැහැන් රහිත කුඩා රික්තක ශෝධකය නිර්මාණ කෙරිණ. සඳ මතදී සාර්ථකව ඒ කාර්යයට උර දුන් ඒ උපකරණය, අද ‘ඩස්ට්බස්ටර්’ (DustBuster) නම් සන්නාමයෙන් ලෝකය පුරා ප්‍රචලිතව ඇත.
අභ්‍යවකාශ යුගයේ LZR Racer පිහිනුම් ඇඳුම් කට්ටලය

අභ්‍යවකාශ යුගයේ පිහිනුම් ඇඳුම් කට්ටලය - ලෑන්ලි පර්යේෂණායනයේ පරීක්ෂණ වා උමං පහසුකම් තුළදී කරන ලද අත්හදා බැලීම්වල, නිරීක්ෂණ හා ජල ගලනයට අදාළ විශ්ලේෂණ පරිගණක වැඩ සටහන අනුව ලත් දැනුම. උපයෝගී කර ගෙන අභ්‍යවකාශ යුගයට සරිලන විශේෂ පිහිනුම් ඇඳුම් කට්ටලයක් නිර්මාණය කර ඇත. එක්සත් රාජධානියේ ස්පීඩෝ පිහිනුම් ඇඳුම් කට්ටල නිෂ්පාදන සමාගම තැනූ මේ LZR Racer නම් නව පිහිනුම් ඇඳුම් කට්ටලය අනෙක් පිහිනුම් කට්ටලවලට වඩා ඝර්ෂණය සියයට 24කින් අඩු කිරීමට සමත් විය. ඒ අනුව මේ නව පිහිනුම් කට්ටලය පැලඳි තරඟකරුවන් විසින් 2008 මාර්තුවේ අන්තර්ජාතික පිහිනුම් තරඟවලදී ලෝක වාර්තා 13ක් අලුතින් පිහිටුවනු ලැබීය.

අභ්‍යවකාශ යුගයෙන් ආ ළදරු ආහාර - වර්තමාන වෙළඳ පොළේ ඇති පෝෂණ ගුණයෙන් පිරි ළදරු ආහාර වර්ගවලට ඒ උසස් තත්වය ලැබුණේ අභ්‍යවකාශතරණයෙහි අතුරු ඵලයක් ලෙසයි. නාසා ආයතනය විසින් දීර්ඝ කාලීන අභ්‍යවකාශ ගමන් සඳහා භාවිත කළ හැකි ආහාරවල පෝෂණ ගුණාත්මක භාවය වැඩි කරන්නට මුහුදු ක්ෂුද්‍ර ඇල්ගේ යොදා ගෙන කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස නිපදවූ සුවිශේෂ පෝෂණ සංඝටක ළදරුවන්ගේ නිරෝගී භාවය ඇති කිරීමට, ළදරු ආහාරවලට අතිරේක ලෙස එක් කිරීමට, දැන් කටයුතු කර ඇත. 
මයික්‍රො ඇල්ගේ අතිරේක ආහාර 
අතරට අයත් පෙති වර්ග ඇතුළත්ය

මිනිස් සිරුරට අත්‍යවශ්‍ය සංඝටක ලෙස සැලකෙන ඩොකෝසාහෙක්සීනොඉක් ඇසිඩ් (DHA-Docosahexaenoic acid), ඇරිකිඩෝනික් ඇසිඩ් (ARA- Arachidonic acid) මෙසේ එක් කරන සංඝටක වේ. මේවා ස්වාභාවිකව මව්කිරිවල ඇති බව අධ්‍යයනයන් ගෙන් හෙළි වී තිබේ. ‘ඔමේගා 3’වලත් හමුවන මේවා මෙතෙක් අප ලබා ගත්තේ මසුන්ගෙනි. මසුන්ට ඒවා ලැබෙන්නේ සාගරයේ ක්ෂුද්‍ර ඇල්ගේවලිනි. මේ පෝෂණ සංඝටක එක්සත් ජනපදයේ සියයට ළදරු ආහාරවලින් සියයට 90කට එක් කර ඇත. එසේ ම ලෝකයේ වෙනත් රටවල් 65කට වැඩි ප්‍රමාණයකද භාවිතයට ගෙන ඇත. මර්ටෙක් බයෝසයන්සස් කෝපරේශන් ආයතනය හා එහි ප්‍රධාන විද්‍යාඥයන් මේ ක්ෂේත්‍රයේ විශේෂඥ භාවය ලබා ගත්තේ නාසා ආයතනයේ වැඩ සටහන සමග එක්ව කටයුතු කිරීමෙනි.

හිමායන වියළීම(freeze drying) යන තාක්ෂණය - ඇපලෝ වැඩ සටහනේදී දිගු කාලයක් අභ්‍යවකාශගාමින්ට ගත කිරිමට සිදුවීම නිසා ඒ මෙහෙයුම සැලසුම් කිරීමේදී අභ්‍යවකාශය සඳහා විශේෂ ආහාර අවශ්‍ය විය. ඒ පිළිබඳ ව පුළුල් පර්යේෂණ ගණනාවක් නාසා ආයතනය විසින් පවත්වනු ලැබිය. ආහාර සඳහා හිමායන වියළීමේ ක්‍රමය යොදා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. එය 1938 දී ස්විට්සර්ලන්තයේ නෙස්ලේ සමාගම විසින් සංවර්ධනය කරන ලද තාක්ෂණයකි. එක්සත් ජනපදයේ ඇක්ෂන් ප්‍රඩක්ට්ස් සමාගම කිරි වෙනුවට වෙනත් ආහාරවලට මේ ක්‍රමය වානිජ මට්ටමෙන් යොදා ගත්තේය. අභ්‍යවකාශ අයිස් ක්‍රීම් එවැනි එක් නිෂ්පාදනයකි.
හිමායන වියළීම අනුව නිපදවූ අභ්‍යවකාශ අයිස් ක්‍රීම්

අනෙක් ආහාරවලදී ඒවා පිසූ විගස අධිශීතනය කොට ඉන්පසු රික්තක කුටියක් තුළ හෙමින් තාපයට ලක් කිරීම සිදු කෙරේ. එසේ කරන්නේ අධිශීතනය ක්‍රියාවලියේදී ඇති වන හිම ස්ඵටික ඉවත් කිරීම පිණිසය. මෙහිදී අවසානයට ආහාර පිණිස ගන්නා නිෂ්පාදනය, පහෙන් එකක් බරින් අඩු, සියයට 98ක් පෝෂණයෙන් ගුණයෙන් යුත් අංග සම්පූර්ණ ආහාරයකි. අද මෙය පෝෂණ ගුණය නොනැසී ආහාර කල්තබා ගත හැකි ක්‍රමයක් ලෙස ලොව ම හඳුනා ගෙන තිබේ. අද ලොව පවත්නා ආහාර රටාවෙන් ප්‍රයෝජනය ගැනීමට අසීරු, ආබාධිත හෝ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට හෝ නිවාසවලට කොටුවී සිටින රෝගී වූ හෝ දුබල වූ වියපත් අයට අවශ්‍ය පෝෂණය සපයන විශේෂ ආහාර මේ ක්‍රමයෙන් සකසා තිබේ.

ස්මාට් ෆෝනයේ ඩිජිටල් කැමරාවට එක් කළ චිලය - අභ්‍යවකාශ තරණය නිසා ඇති නව නිපැයුම් අතර සුවිශේෂ තැනක් ගන්නා නිමැවුමක් ලෙස ‘සීඑම්ඕඑස්’ (CMOS) නමින් හැඳින්වෙන ඉලෙක්ට්‍රොනික චිපය හැඳින්විය හැකිය. එහි සම්පූර්ණ නම ‘පරිපූර්ණ ලෝහ ඔක්සයිඩ අර්ධ සන්නායකය’ (complementary metal oxide semiconductor) යන්නය. සංවේදක ඉලෙක්ට්‍රොනික චිපයක් වූ ඒ මගින් ඩිජිටල් පිරිසැකසුම සඳහා අවශ්‍ය ලෙසට ෆෝටෝන ඉලෙක්ට්‍රෝන බවට පත් කෙරේ. ඩිජිටල් කැමරාවලට, ඩිජිටල් වීඩියෝ කැමරාවලට, ඩිජිටල් සීසීටීවී කැමරාවලට අවශ්‍ය රූ ගැන්වීමට මේ සංවේදක අවශ්‍ය වෙයි.
ස්මාට්ෆෝනයේ එන ඩිජිටල් කැමරාව

මේ සංවේදක චිපය නිර්මාණය කරන ලද්දේ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරයේ විද්‍යාඥ එරික් ෆෝසම් (Eric Fossum) විසිනි. අභ්‍යවකාශ මෙහෙයුම්වලදී පාවිච්චි කළ හැකි ප්‍රමාණයෙන් කුඩා කැමරාවල අවශ්‍යතාව තේරුම් ගත් ඔහු මේ චිපය නිර්මාණය කළේ ඒ සඳහා ය. මුලින් ම තමා නිර්මාණය කළ මේ වර්ගයේ චිපය වැඩි දියුණු කළ ඔහු, ඊට ඇති වූ සංඥා බාධා මග හරවා ගෙන, පික්සල ආරෝපණය කර පැහැදිලි රූප මැවිය හැකි සක්‍රිය පික්සල සංවේදක චිපයක් නිර්මාණය කළේය. අද ස්මාට් ෆෝන්වල ඇති කැමරා අති පැහැදිලි දසුන් මවන්නේ මේ නිර්මාණයට පින් සිදුවන්නටය.
වායු පවිත්‍රකරණ මෙවලමක්

වායු පවිත්‍රකරණය (air scrubber) - 1990 ගණන්වල කරන ලද සොයා ගැනීමක් අනුව යමින් අභ්‍යවකාශ ස්වයංක්‍රීය කරණය හා රෝබෝටික විද්‍යාව පිළිබඳ විස්කොන්සින් මධ්‍යස්ථානයේ පර්යේෂකයන් මාෂල් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථාන මගින් පවත්වාගෙන යන අභ්‍යවකාශ නිෂ්පාදන සංවර්ධන වැඩ සටහනෙහි ආධාරය ඇතිව කරන ලද නිපැයුමකි. මෙය මුලින් තැනුවේ අභ්‍යවකාශ යානාවල රෝපණය කරන ශාක මත හා ඒ අවට වාතයෙහි එක් රැස් වෙන එතලීන් ඉවත් කිරීමට විසඳුමක් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එය ප්‍රකාශ ප්‍රේරිත ඔක්සිකරණයක් (light-induced oxidation) ලෙස හැඳින් වෙයි.

එහිදී පාරජම්බුල කිරණ ටයිටේනියම් ඔක්සයිඩ මත පතිත වූ විට මුදා හැරෙන ඉලෙක්ට්‍රෝන මගින් ඔක්සිජන් හා අර්ද්‍රතාව ආරෝපිත අංශු බවට පත් කෙරේ. ඒ ආරෝපිත අංශු වායුවේ ඇති වාෂ්පශීලී කාබනික සංයෝග වැනි අපද්‍රව්‍ය ඔක්සිකරණය කර කා‍බන්ඩයොක්සයිඩ් හා ජලය ලෙස මුදා හරියි. මේ වායු පවිත්‍රකරණය මගින් වායුවට එක් වූ වෙනත් කාබනික සංයෝග ද ඉවත් කළ හැකි අතර බැක්ටීරියා, වයිරස හා පුස් වර්ග ද උදාසීන කළ හැකිය. මේ ප්‍රකාශ ප්‍රේරිත ඔක්සිකරණයක් ඇති වායු පවිත්‍රකරණයකින්, වායුව, මතුපිට තලයන්, ඇඳුම් ආදිය පිරිසිදු කළ හැකිය. කෝවිඩ් 19 ආසාදන තත්වයනට මුහුණදීමේදී මේ වායු පවිත්‍රකරණ මෙවලම් බහුලව භාවිත විය.
ජීම්වලට ආ අලුත්ම ව්‍යායාම් උපකරණ

ජීම්වලට ආ අලුත්ම ව්‍යායාම් උපකරණ - අභ්‍යවකාශයට ගොස් ආපසු එන අභ්‍යවකාශගාමීනගේ මාංශ පේශීවල ස්කන්ධයෙහි අස්ථිවල ඝනත්වයෙහි ක්ෂය වීමක් නාසා ආයතනයට දක්නට ලැබිණි. මෙය ගුරුත්වාකර්ෂණය යටතේ මිහිමත දී පැවති තත්වයන් ගෙන් මිදීම නිසා සිදු වූවක් බව පැහැදිලි විය. සාමාන්‍ය බර ඉසිලීමේ තාක්ෂණයන් හා ඒ සඳහා යොදා ගත් යාන්ත්‍රණයන් අභ්‍යවකාශයේ දී මාංශ පේශී වර්ධනයට උපකාර නොවීය. ඒ නිසා ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මුල්‍යාධාර ඇතිව පෝල් ෆ්‍රැන්සිස් නම් නිර්මාණශිල්පියා විසින් බර රහිත බර ඉසිලීම් පුහුණු යාන්ත්‍රණයක් නිර්මාණය කරන ලදි. ඒ සඳහා බර වෙනුවට යොදා ගනු ලැබුවේ ප්‍රත්‍යස්ථ ප්‍රතිරෝධයයි. මේ පුහුණු වීම් යාන්ත්‍රණය ප්‍රථම වරට උඩුගුවනේ රඳවා තිබෙන අභ්‍යවකාශ නැවතුම්පොළට යවනු ලැබුවේ 2000 වසරේදී ය. මේ තාක්ෂණය යොදා ගෙන තැනූ යන්ත්‍රය ‘බෝව්ෆ්ලෙක්ස්’ (Bowflex) නමින් වෙළඳ භාණ්ඩයක් වශයෙන් ජනතාවට මිල දී ගැනීමට හැකි වූයේ 2005 දීය. එය අද ලොවපුරා සරඹ පුහුණු මධ්‍යස්ථානවල ජනප්‍රිය අංගයක් වී තිබේ.

- පර්සි ජයමාන්න

මීළඟට - ගමනාගමනය, ප්‍රවාහනය, පොදු සේවා හා මහජන ආරක්ෂාව,

හඳ ගමන නිසා අප ලද විස්මිත නිපැයුම් -3 ගමනාගමනය, ප්‍රවාහනය, පොදු සේවා හා මහජන ආරක්ෂාව

$
0
0
ගුවන්යානා තටුවල හිම බැඳීම වැළක්වීම - කුඩා ව්‍යාපාර නවෝත්පාදන පර්යේෂණ වැඩ සටහන යටතේ නාසා ආයතනය ප්‍රතිහිම තාක්ෂණය සඳහා ආයෝජනයක් කළ අතර නාසා විද්‍යාඥයෝ එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහ. තර්මාවින්ග් (Thermawing) යන තාපවිදුලි හිම නිවාරණ ක්‍රමවේදය සංවර්ධනය කරන ලද්දේ ඒ අනුවය. සරල විදුලි ධාරාවකින් ක්‍රියාකරන වායු සමීකරණයක් තනි එන්ජිමක ගුවන්යානයකට ප්‍රමාණවත් වන අතර එය තර්මාකූල් ලෙස හැඳින්වෙයි. ඒ දෙවර්ගයම ක්‍රියා කරවීමට අධි ප්‍රතිදානයක් සැපයිය හැකි ප්‍රත්‍යාවර්තකයක් අවශ්‍ය වෙයි. මේ තර්මාවින්ග් ක්‍රමය ඔනෑම හිම වැටෙන තත්වයක් යටතේ ගගන නියමුවන්ට ඉන් බාධාවක් නොවී සුරක්ෂිතව පියාසර කළ හැක. උඩුගුවනේ දී අභ්‍යවකාශ යානාවල මුහුණ පාන්නට වන විවිධ කාලගුණික තත්වයන්ට ඔරොත්තු දෙන්නට සිදුවෙයි. හිමපතනයක් ඇති විට ඉන් ගැලවීමට නිර්මාණය කළ මේ ක්‍රමය අද සාමාන්‍ය ගුවන්යානාවලටත් යොදා ගැනේ.
අභ්‍යවකාශ යානා තටු මත හිම බැඳීම 
වැළැක්වීමට නව ක්‍රමවේදයක්

අධිවේගී මාර්ගවල ආරක්ෂාව - තෙත් ධාවන පථවලදී ගුවන් යානා අනතුරු සිදුවීම අවම කර ආරක්ෂාව තහවුරු කිරීමට මුලින් යොදාගත් ක්‍රමය වූයේ කොන්ක්‍රීට් මත ආරක්ෂිත කට්ට කැපීම මගින් කර්ෂණය වැඩි කිරීමය. ඒ ක්‍රමය අනුව යමින් ඉන්ටර්නැෂනල් ගෲවින් ඇන්ඩ් ග්‍රයින්ඩින් ඇසෝසියේෂන් හා එක්ව මේ තාක්ෂණය අධිවේගී මාර්ගවලට හා මාර්ගයේ පදික මාරුවීම්වලට සුදුසු පරිදි සකස් කෙරිණ. මේ ආරක්ෂිත කට්ට කැපීමේ ක්‍රමවේදය නිර්මාණය කළේ නාසා ආයතනයට අනුබද්ධ ලෑන්ලි පර්යේෂණ මධ්‍යස්ථානයේදියි. එය ගුවන්තොටුපොළවලදී හා අධිවේගී මාර්ගවලදී අත්හදා බලන ලද්දේද එම ආයතනයේ සහය ඇතිවය. මේ ක්‍රමය නිසා ලිස්සායෑම් අවම විය. යානා නැවැත්වීමේ දුරද අඩු විය. යානයක වංගු ගැනීමේ හැකියාවද වැඩි විය. දැන් මේ ක්‍රමය ලොව පුරා භාවිත කෙ‍රෙන අතර එය රථගාල්වලට, සත්ව ගොවිපළවලට පමණක් නොව වෙනත් ලිස්සනසුලු පරිසරවලට භාවිතයට ගනු ලැබේ.

වැඩි දියුණු කළ රේඩියල් ටයර් - වානේවලටත් වඩා සවිමත් කෙඳි විශේෂයක් යෙදූ පැරචූට් රෙද්දක් නිපදවීමට නාසා ආයතනයට අවශ්‍ය විය. ඒ සඳහා එක්වූයේ ගුඩ්ඉයර් ටයර් ඇන්ඩ් රබර් සමාගමයි. ඔවුන් වානේවලට වඩා පස්ගුණයක් සවිමත් කෘත්‍රිම කෙන්දක් නිපදවීමට සමත් වූ අතර ඒ කෙඳි යොදා තැනූ පැරචූටය පාවිච්චි කළේ නාසා ආයතනය අඟහරු වෙත යැවූ වයිකිං ලෑන්ඩරය නමැති අභ්‍යවකාශ යානය නිරුපද්‍රිතව හෙමින් අඟහරු බිම මතට පහත් කිරීමටයි. මෙය සාර්ථක වීමත් සමග ඒ කෙඳි විශේෂයේ ඇති කල්පැවැත්මේ ගුණය සලකාගෙන, ගුඩ්ඉයර් ආයතනය ඒ තාක්ෂණය තවදුරටත් පුළුල් කොට නව රේඩියල් ටයරයක් නිෂ්පාදනය කළේය. අද එය කි.මී. 16,000ක ආයු කාලයක් ඇති ටයරයක් ලොව පුරා පුළුල් ලෙස භාවිතයට පැමිණ ඇත. 
බිම්බෝම්බ ඉවත් කරන හමුදා භටයන් පිරිසක්

රසායනික අවි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් - නාසා ආයතනය, අයිඕඑස් (IOS) හෙවත් ඉන්ටෙලිජන්ට් ඔප්ටිකල් සිස්ටම්ස් ආයතනය හා එක්ව ගුවන්යානා බඳ‍ෙහි මළ ඇතිවීම් හා දිරායාම් කල්තියා දැන ගත හැකි ක්‍රමයක් සංවර්ධනය කළේය. ඒ යානා තටුමත ඇති වන තෙ‍තමනය හා පීඑච් අගය හඳුනාගත හැකි සංවේදක නිර්මාණය කිරීමය. ඒවා මගින් ඒ තත්වයන් ඇති වීමට කලින් හඳුනාගත හැකි වූයේ ඒ සංවේදක ඒ ඉලක්ක ගත තැන්වලදී වර්ණය වෙනස් කළ නිසාය. මේ කාර්යය සාර්ථකව නිම කළ පසු ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් IOS ආයතනයට, තවත් වැදගත් ආරක්ෂක කටයුත්තක් බාර කරන ලදි. ඒ රසායනික අවි හා එවැනි තර්ජනාත්මක නීති විරෝධී අවි හඳුනා ගැනීමට හැකි වන ලෙස මේ ක්‍රමය සංවර්ධනය කරන ලෙසටය. විෂ සහිත කාර්මික සංයෝග හා ස්නායු පද්ධතියට බලපෑ හැකි විෂ වායුව හඳුනා ගැනීමද ඊට ඇතුළත් විය. එය සාර්ථකව ඉටු කළ IOS ආයතනය දැනටමත්, මේ ක්‍රමවේදයන් භාවිත කළ හැකි රසායනික සංවේදී ඔප්ටිකල් කේබල්, ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන්යානා හා අභ්‍යවකාශයානා නිෂ්පාදක සමාගම්වලට අළෙවි කර ඇති අතර, ඔවුන් ඒ ඔස්සේ යමින් සංවේදක උපකරණ, විවිධකාර භාවිතයන් සඳහා යොදා ගනියි.
වීඩියෝ ආවේක්ෂණ පද්ධතියක්

වීඩියෝ විශ්ලේෂණ පද්ධති වැඩි දියුණු කිරීම - නාසා ආයතනයෙන් නිර්මාණය කළ විසාර් (VISAR - Video Image Stabilization and Registration) තාක්ෂණය පදනම් කරගෙන ඉන්ටර්ග්‍රාෆ් ගවර්න්මන්ට් සොලියුෂන්ස් (Intergraph Government Solutions) විසින් නිර්මාණය කරන ලද වීඩියෝ විශ්ලේෂණ පද්ධතිය FBI නියෝජිතයන්ට වීඩියෝ ටේප් විශ්ලේෂණය කිරීමට නව ක්‍රමවේදයක් සපයා දුන්නේය. වීඒඑස් (VAS - Video Analyst System) නම් ඒ වීඩියෝ විශ්ලේෂණ පද්ධතිය මගින් ඩිජිටල් වීඩියෝ රුප සම්පූර්ණයෙන් ම විභේදනය කිරීම, රාමුවෙන් රාමුව විමර්ශනය කිරීම, ඇනලොග් වීඩියෝ, ඩිජිටල් වීඩියෝ බවට පරිවර්තනය කර පටිගත කිරීම, වෙනත් කිසිදු වෙනස්වීමක් නොකර කැමරාවට නැඟූ රුප රාමුවල පැහැදිලි බව වැඩි කිරීම ඇතුළු වීඩියෝ රූප සම්බන්ධව කළ හැකි හැම දෙයක් ගැනම ඉතාමත් නිවැරදිව විග්‍රහයක් කිරීමට පුළුවන. නීතිමය හා ආරක්ෂක කටයුතුවලට සහය ලබා ගැනීමට හැරෙන්නට මේ ක්‍රමවේදය මගින් හමුදා කටයුතුවලට සැලසෙන සේවය අතිමහත්ය. මේ ක්‍රමය යුද කටයුතු විමර්ශනයටත්, අවි ආයුධ වැඩි දියුණු කිරීමට අදහස් ලබා ගැනීමටත්, අලාභ හානි තක්සේරු කිරීමටත්, පුහුණු කිරීම්වලටත්, යුද මෙහෙයක පසුවිපරමටත් යොදා ගත හැකිය.

බිම්බෝම්බ ඉවත් කිරීම - තියෝකෝල් ආයතනය, නාසා ආයතනයේ මාෂල් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ අවසරය ඇතුව පාවිච්චි නොකර ඉතුරුවන රොකට් ඉන්ධන ලබා ගෙන එයින් බිම්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට සමත් විය. ඒ අනුව බිම්බෝම්බ ඇති ප්‍රදේශය මතුපිටින් ගිනි දැල්වීම මගින් ඒවා පිපිරීම වළක්වා නිෂ්ක්‍රිය කළ හැකිය. අභ්‍යවකාශ යානයක් දියත් කළ පසු ඉතිරි වන ඉන්ධන ඝන බවට පත් වෙයි. ඒවා යළිත් භාවිත කළ නොහැකියි. එහෙත් ඒවා බෝම්බ නිෂ්ක්‍රීය කරන මෙවලමකට අවශ්‍ය සංයෝගයක් ලෙස යොදා ගත හැකියි. මේ මෙවලම මගින්, බැටරියෙන් ක්‍රියා කරන විදුලි දල්වනයක් යොදා, ගෙන ගිනි දැල්ලක් ඇති කොට, බිම්බෝම්බ පිපිරීමෙන් තොරව නිෂ්ක්‍රිය කළ හැකිය. ඝන රොකට් ඉන්ධන මගින් යවන ගිනි දැල්ල බිම්බෝම්බයේ ආවරණය තුළ සිදුරක් ඇති කිරීමට සමත් වෙයි. ඉන්පසු ඒ තුළ ඇති පුපුරන ද්‍රව්‍ය සියල්ල පුළුස්සා දමයි. ඒ අනුව අනතුරක් නැතිව ම බිම්බෝම්බය අහෝසි කළ හැකියි.

ගිනි නිවාරක ප්‍රතිසාධනය - ඇවකෝ කෝපරේෂන්හි සැලසුමක් හා නිමැවුමක් වූ ඇපලෝ යානයේ තාපාවරණය වටා යොදා ඇති ද්‍රව්‍ය තනා ඇත්තේ නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී පිලිස්සී යමින් එහි ජනිත වන ශක්තිය විසුරුවා හැර, යානය තුළට තාපය ඇතුළුවීම වළක්වාලීම පිණිසයි. ඇවකෝ ආයතනයේ තාපාවරණයට අදාළ වෙනත් ද්‍රව්‍ය සංවර්ධනයටද නාසා ආයතනය ආයෝජනය කළේ ය. එ්වා අතර ගුවන්යානා සඳහා පිලිස්සීමට ඔරොත්තු දෙන තීන්ත හා ෆෝම් ද්‍රව්‍ය ආදිය ද වෙයි. ගින්නට හා තාපයට බඳුන් වූ විට ඉදිමුමට ලක් වි පරිමාවෙන් වැඩි වන ඉපොක්සි ද්‍රව්‍ය, ඉන්පසු පිලිස්සුණු ද්‍රව්‍ය සමග එක්ව, එහි දී ඇති වූ තාපය යානය ඇතුළට ඒම වළක්වාලයි. අනෙක් නවෝත්පාදන අතර උස් ගොඩනැගිලිවලට හා පොදු ඉදි කිරීම්වලට යොදන වානේ ආලේපනද වෙයි. හදිසි ගින්නකදී ඒවා ප්‍රසාරණය වී වානේ මත ශක්තිමත් ස්ථාවර ස්තරයක් ඇති කරන ඒ ආලේපන නිසා, ගින්නෙන් පසු ‍ගොඩනැගිල්ල කඩා වැටීම පැය හතරකින් පමා කර, එහි නිවැසියන්ට බේරීයාමට කල් ලබා දෙයි.
අද භාවිත කරන ගිනි නිවන ඇඳුම් කට්ටලය

ගිනි නිවන උපකරණ - ඇමරිකා එක්සත් ජනපදයේ දැන් පාවිච්චි කරන ගිනි නිවන උපකරණ අභ්‍යවකාශ වැඩ සටහන නිසා නිර්මාණය වූ ඒවාය. ඒවා ඉතාමත් සැහැල්ලු ද්‍රව්‍යවලින් තැනූ ඒවා නිසා හැසිරවීම පහසුය. නාසා ආයතනයත්, ජාතික ප්‍රමිති කාර්යංශයත් එක්ව තැනූ සැහැල්ලු ශ්වසන පද්ධතියට, මුහුණු ආවරණයක්, රාමුවක්, සන්නාහයක් සහිත ඇඳුම් කට්ටලයක්, වායු බෝතල ආදිය තනා ඇත්තේ ඇලුමීනියම් සංයෝග ලෝහ ද්‍රව්‍යයකිනි. එය මුලින් යොදා ගත්තේ රොකට් ආරක්ෂක වැසුම් තැනීම සඳහාය. ගිනි නිවන තාක්ෂණයේ දී වඩා වැදගත් වන මේ ශ්වසන උපකරණ කට්ටලයෙන් දුම ආඝ්‍රාණයෙන් විය හැකි අනතුරු වළක්වයි.

මීට අතිරේකව, ගිනි නිවාරක භටයන්ගේ භාවිතයට දී ඇති කෙටි තරංග ද්විත්ව රේඩියෝව, ආරක්ෂා සහිතව, පහසුවෙන් පරිහරණය කළ හැකි කුඩා එකක් වන අතර, එයද අභ්‍යවකාශයේදී හා සඳ මතුපිට දී පාචිච්චි කළ මෙවලමෙන් නිෂ්පන්න එකකි. එසේ ම නාසා ආයතනය ග්‍රෑම් 85ක් පමණක් බර විශේෂ මුහුණු ආවරණය තනා ඇත්තේ අභ්‍යවකාශගාමීන් පෘථිවිය කරා එන ගමනේදී ෂටලය වායුගෝලයට ඇතුළු වන විට ඇති වන ගිනි ගැනීමෙන් හා අධික තාපයෙන් මුහුණට හා හිසට සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමටය. එය සාදා ඇත්තේ නම්‍යශීලී, තාපරෝධක ද්‍රව්‍යවලිනි. ඒවා අනුව යමින් සැකැසූ ගිනි නිවන ඇඳුම් කට්ටල දැන් වානිජ හා හමුදා කටයුතු යන දෙකටම යොදා ගැනේ. නගරවල ගිනි භටයන් අතර මෙන් ම ගුවන්යානා අනතුරුවලදී මුුදා ගැනීමේ භටයන් අතර ද මේවා දැන් භාවිත වෙයි.

ගොඩනැගිලි ආරක්ෂාවට කම්පන අවශෝෂක - නාසා ආයතනය, ටේලර් ඩිවයිසස් ඉන්කෝපරේෂන් ආයතනය සමග එක්ව කම්පන අවශෝෂණ ක්‍රමවේදයක් සංවර්ධනය කළේය. එහි අරමුණ වූයේ ස්පේස් ෂටලය උඩුගුවනට යැවීම සඳහා දියත් කරන අවස්ථාවේ දී, ඉන්ධන හා විදුලි සබඳතා එතැනින් ආරක්ෂිතව ඉවත් කිරීමයි. ඒ සඳහා ඔවුන් තැනූ කම්පන අවශෝෂක, දැන් භූමිකම්පාවලදී තෝකියෝ හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරවල ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා සාර්ථකව යොදා ගනු ලැබේ.

 - පර්සි ජයමාන්න

මීළඟට - පරිගණක තාක්ෂණය හා තොරතුරු සන්නිවේදනය

පුරුදු වෙන කෝකිලයෙක් වූ නස්රුදින්!

$
0
0
නස්රුදින් දවසක් නස්රුදින් පාර දිගේ යද්දී ඉදුණු ග‍ෙඩිවලින් පිරුණු පලතුරු ගහක් දැක්කා. එයාට පලතුරු කන්න හිතුණා. වට පිට බලලා කවුරුත් පේන්න හිටියෙ නැති හින්දා හෙමින් සීරුවේ ගහට නැඟලා හිතේ හැටියට පලතුරු කන්න පටන් ගත්තා.

ඒ අතර ගහ අයිතිකාරයා එතැනට ආවා. නස්රුදින් දැකලා හොඳටෝ ම තරහ ගියා.

‘මොකද ඔහෙ, ඔය ගහ උඩ කරන්නෙ?’ කියලා සැරෙන් ඇහුවා.

තමන් අහුවුණු බව දැනගත් නස්රුදින් ඒකෙන් බේරෙන්න හිතාගෙන මෙහ‍ෙම කිව්වා.

‘මං කෝකිලයෙක්, මං මේ අත්ත උඩ වාඩිවෙලා, ගායනා කරනවා’ නස්රුදින් ලයාන්විත ස්වරයකින් උත්තර දුන්නා.

නස්රුදින්ගෙ ඒ උත්තරෙන් අයිතිකාරයා පුදුමයට පත් වුණා විතරක් නොවෙයි, ඒක අහලා එක පාරට ම මිනිහට හිනා ගියා.

‘එහෙනම් ඔහේ කෝකිලයෙක්! හා! කෝ බලන්න, මට ඇහෙන්න ගායනා කරනවා.’

නස්රුදින් කට උල් කරලා, මුහුණ ඇද කරලා, කෝකිලයෙක් වගේ නාද කරන්න හැදුවා. මහ අමුතු සද්දයක් පිටවුණා. කෝකිල නාදයක් නම් කොහෙත්ම පිට වුණේ නෑ.

අයිතිකාරයාට හොඳටෝම හිනා ගියා. එයා හිනා වෙලා, ‍හිනා වෙලා එකපාරට ම හිනාව නවත්තලා මෙහෙම කිව්වා. ‘මිනිහෝ! මොකක්ද ඒ කරපු සද්දෙ? මං කවදාවත් කෝකිලයෙක් ඔහෙම නාද කරනවා අහලා නෑ.’

‘මං තාම පුරුදු වෙන කෝකිලයෙක්!’

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින් සහ නෑදෑයෝ’ කෘතියෙන්.www.mdgunasena.com) 

සෙන් බොදු කතාවක් - සොරකම් කරනු බැරි සඳ!

$
0
0
රියෝකාන් සෙන් ගුරුවරයෙක්. කන්දක් පාමුල පිහිට පුංචි පැලකට වී ඔහු ගත කළේ ඉතාමත් සරල ජීවිතයක්. එක් හැන්දෑවක, රියෝකාන් පිටතට ගොස් සිටියදී, හොරෙක් ඒ පැලට රිංගුවා, මොනව හරි හොරකම් කරන්න හිතාගෙන. ඒත් කිසි දෙයක් තිබුණේ නෑ.

ඒ අතර රියෝකාන් ආවා. හොරා අතට ම අහුවුණා.

‘ඔබ හුඟක් දුර ඉඳන් වෙන්න මාව හොයා ගෙන ආවෙ’ රියෝකාන් හොරාට කිව්වා.

හොරා මොකක්ද කියන්නෙ කියලා හිතා ගන්න බැරුව බයවෙලා බලන් හිටියා.

‘ඔබ මෙච්චර දුර ඇවිල්ලා හිස් අතින් යන එක හරි නෑ. ඒ හින්දා මං මේ ඇඳන් ඉන්න ඇඳුම තෑග්ගකට ගන්න.’ රියෝකාන් කීවා.

අන්දුන්කුන්දුන් වූ හොරා කතා නැතිව ඒ ඇඳුමත් අරගෙන එතැනින් මාරු වුණා.

රියෝකාන් නිරුවතින් වාඩි වී සිටියා. ඔහුට හඳ පායා ඇවිත් තිබෙනු දැකිය හැකි වුණා. ‘අහිංසකයා, මට මේ ලස්සන හඳ එයාට දෙන්න පුළුවන්කමක් තිබුණා නම්!’ ඔහු තමාට ම කියා ගත්තා.

- (පර්සි ජයමාන්න පරිවර්තනය කළ ‘සෙන් බොදු කතා’ ගුන්ථයෙනි.)

වල්ගාතරුවක් රූ ගත කරන්න ගිය කැමරාකරුට චන්ද්‍රිකා ප්‍රහාරයක්!

$
0
0
නියෝවයිස් වල්ගාතරුව (ධූම කේතුව) උතුරු අර්ධගෝලයේ රටවල අයට හිරු බැස යන්න ආසන්නයේ දී පසුගිය දිනවල පැහැදිලිව දැක ගන්න ලැබුණා. නියෝවයිස් පෘථිවියට වඩාත් සමීපව ගමන් කළේ පසුගිය සතියේයි.

ඒ නිසා එහි කෙටි චලන ඡායාරූප මාලාවක් (telephoto timelapse) ගන්න හිතාගෙන ජගත් කැමරා ශිල්පියකු වූ ඩැනියෙල් ලෝපේස් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ඔහුගේ කැමරාවත් අරන් එළිමහනට ගියා.

ඔහුගේ කැනන් වර්ගයේ කැමරාව තාරකා ඡායාරූපකරණය සඳහා විශේෂිත වූ එකක්. ඔහුගේ අරමුණ වුණේ ධූමකේතුවේ වඩාත් සවිස්තරාත්මක ඡායාරූප පෙළක් සැකසීමයි. ඒ සඳහා ඔහු සැලසුම් කර තිබුණේ, කැමරාව තත්පර 30ක් බැගින් නිරාවරණය කළ ඡායාරූප මාලාවක් ගැනීමටයි.

ඒත් ඔහු අපේක්ෂා නොකළ දෙයක් සිදුවුණා. ඔහුට චන්ද්‍රිකා ප්‍රහාරයකට මුහුණ දෙන්න සිදු වුණා. ඔහුගේ කැමරාවට හසුවුණු වල්ගාතරුවේ රූප රාමු සියල්ලට ම චන්ද්‍රිකා කඩා වැදුණා. ඔහු ඒවා මග හරින්නට උත්සාහ කළත් ඒක හරි ගියේ නැහැ. ස්පේස් එක්ස් ආයතනය විසින් උඩුගුවනට යවන ලද ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා දහස් ගණනක් විවිධ කාර්යයන් කරමින් උඩුගුවනේ සරනවා. ඒ චන්ද්‍රිකා තමයි, ලෝපස්ගේ තාරකා ඡායාරූප මාලාව විනාශ කළේ.

ඒ සමහර චන්ද්‍රිකා වල්ගා තරුව වැහෙන විධියටත් ගියා. වල්ගා තරුව යන්නේ සූර්යයා වටා ඉතා ඉහළ කක්ෂකයයි. ‍පසුගිය සතියේ තමයි, එය පෘථිවියට හුඟක් ම ළඟින් ගියේ. ‍ඩැනියෙල් ලෝපස්ට තමන්ගෙ හිතේ හැටියට ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණා. පෘථිවිය වටා කක්ෂවල පහළින් යන කෘත්‍රිම චන්ද්‍රිකා වල්ගාතරුව වසා ගෙනත් ගියා.
‘ඔබට පේනවා ඇති මෙහි පැහැදිලිව ම මා යොදා ගත් ඉමේජස් 34න් 25කම රූපවලට චන්ද්‍රිකාවලින් බාධා පැමිණී ඇති බව. මේ රූප රාමු ඒ තරම් විශාල ඒවා නොවයි. මිමි 200ක ප්‍රමාණයේ සම්පූර්ණ රාමුව සහිත ඒවා. බලන්න ඒවා වල්ගාතරුව වසාගෙන යනවා.’ ඔහු ඒ ගැන පැහැදිලි කළා.

ස්පේස් එක්ස් ආයතනය තම චන්ද්‍රිකා නිසා රාත්‍රි අහසට හානි කර තත්වයක් ඇති විය හැකි බව දැන සිටියා. ඔවුන් මේ වසරේ මුලදී ම ඒ චන්ද්‍රිකාවල දීප්තිය අඩු කරන සැලැස්මක් ගැන හෙළි කළේ ඒ නිසයි. චන්ද්‍රිකාවල සූර්යය පැනලවල ආනතිය වෙනස් කිරීමෙන් හා අනාගතයේ යවන චන්ද්‍රිකාවලට අව් ආවරණ යෙදීමෙන්, කෘත්‍රිම චන්ද්‍රිකාවලින් සිදුවන, රාත්‍රි අහසේ ‘ආලෝක දූෂණය’ වැළැක්වීමට ඔවුන් බලාපොරොත්තු වන කියා තිබෙනවා.

රාත්‍රි අහසේ සිදුවන මේ ‘ආලෝක දූෂණය’ නිසා පොළොවේ සිට රාත්‍රි අහස නිරීක්ෂණය කරන අයට ලොකු අසාධාරණයක් සිදු වෙනවා. රාත්‍රි අහස පොළොවේ සිට නිරීක්ෂණය අනාදිමත් කාලයක් තිස්සේ මිනිසාට ඇති අයිතියක්. ඊට බාධා ඇති නොවීම සඳහා අභ්‍යවකාශයට යැවෙන දේ ගැන යම් යම් නීති පැනවීමක් අවශ්‍ය වෙනවා. අභ්‍යවකාශයේ ගොඩ ගැසෙන යානාවල සුන්බුන් ඇතුළු පෘථිවියෙන් යැවෙන දේ නිසා රැස්වෙන අභ්‍යවකාශ කසළවලට යොදන පිළියමක් ගැන පසුගිය ජූනි 28 වැනිදා ‘මල් කැකුළු’වලින් කීවා ඔබට මතක ඇති. 

- පර්සි ජයම‍ාන්න

ලෝක ඉතිහාසයේ පළමු වරට ‘රතු ග්‍රහයා’ අල්ලන්න රටවල් තුනක් පෙරට!

$
0
0
ජූලි මාසය අභ්‍යවකාශ තරණය අතින් විශාල වැදගත්කමක් උසුලන මාසයක්. 1969 ජූලි මාසයේ තමයි, මිනිසා පළමුවරට හඳ මත පා තැබුවේ. රටක් වශයෙන් එහිදී ඇමරිකාව ඉදිරියට ආවත් ඒ ජයග්‍රහණය සමස්ත මානව වර්ගයාම ලද එකක්. 2020 ජූලි මාසයත් සුවිශේෂී එකක් වෙනවා. ඒ දින 10ක් ඇතුළත රටවල් තුනක් ම අඟහරු(රතු ග්‍රහයා) ජය ගන්න පෙරට ඒම නිසයි.
ලෝකයේ රටවල් තුනක්, දින 10ක් තුළ, 
මෙහෙයුම් 3ක් යවන අඟහරු ග්‍රහයා

එයින් මුලට ම එන්නේ චීනයයි. චීන රජය 2020 ජූලි මාසයේ 20 වැනිදා අඟහරු බලා යන මුල් ම අභ්‍යවකාශ යානය දියත් කළා. ‘ටියන්වෙන් -1’ නම් ඒ යානය උඩුගුවනට රැගෙන ගියේ ‘ලෝන් මාච් 5’ නම් දැවැන්ත රොකට්ටුවෙන්. චීනයේ දකුණේ හයිනැන් දූපතෙන් ගමන් ඇරඹූ මේ අභ්‍යවකාශ යානය මාස 7ක් තිස්සේ කි.මී. මිලියන 55ක (සැතැපුම් මිලියන 34ක) දුරක් ගෙවා, 2021 පෙබරවාරි මාසයේදි අඟහරුට ළඟා වීමට නියමිතයි. චීනයේ මේ අඟහරු මෙහෙයුමට ඒ ග්‍රහයා වටා යාමට එක් යානයකුත්, අඟහරු මතට බැසීමට තවත් යානයක් හා එහි බිම් ගවේශනයට තවත් යානයකුත් වශයෙන් කොටස් තුනක් අයත් වෙනවා.
චීනය අඟහරු ග්‍රහ ලෝකයකට යවන ප්‍රථම අභ්‍යවකාශ යානය 
 ‘ටියන්වෙන් -1 දියත් කළ මොහොත.

ඊළඟට ජූලි 23 වැනිදා මැදපෙරදිග පිහිටි එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයත් අඟහරු ග්‍රහයාගේ කක්ෂය වටා යාමට අභ්‍යවකාශ යානයක් යැව්වා.

තුන්වැනියට පොළොවෙන් නිකුත්වීමට නියමිතව ඇත්තේ අඟහරු වෙත යැවෙන ඇමරිකානු අභ්‍යවකාශ යානයයි. නාසා ආයතනය සැලසුම් කර ඇති පරිදි එය, හෙට, එනම්, ජූලි 30 වැනිදා අඟහරු බලා පිටත්වනු ඇති.

මෙම රටවල් තුන ම, ‍මෙයාකාරයට, එකම කාලයක, අඟහරු ග්‍රහයා බලා අභ්‍යවකාශ යානා දියත් කරන්නට හේතුව, අඟහරුත් පෘථිවියත් වඩාත් ළංව පිහිටන කාලයේදී යානා එහි ළඟා කරවීමේ අදහසිනුයි.
චීනයේ ‘චෑන් ෂෙන් 5’ (ලෝංමාච් -5) රොකට්ටුව මගින් 
‘ටියන්වෙන් -1 යානය සමග අඟහරු රෝවරය ඒ ග්‍රහයා වෙත 
ජූලි 20 වැනිදා දියත් කෙරුණා.

මේ යානා තුන අතරින් මුලින්ම යැවුණේ ‘ටියන්වෙන් -1’ යන චීන අඟහරු යානයයි. එයට ඒ නම තබා ඇත්තේ ‘ස්වර්ගයට ප්‍රශ්න මාලාවක්’ යන අරුත් ඇති වසර 2000ක් පැරණි චීන සම්භාව්‍ය පද්‍යයක මාතෘකාවක් සිහියට නංවමිනි.

චීන ඉංජිනේරුවන් හා අනෙක් සේවකයන්, දකුණු චීනයේ හයිනැන් දූපතේ සිට ඔවුන්ගේ ලොකුම අභ්‍යවකාශ රොකට්ටුව වූ ‘ලෝන් මාච් 5’, ටියන්වෙන් -1 යානය රැගෙන නිල් අහස සිසාරා යනු දැක අත්පොළසන් දුන්නා. එහි මෙහෙයුම් බාර ප්‍රධානියා වූ ශාන් සූයූ කීවේ චීන ජාතික රූපවාහිනිය ඔස්සේ එය සාර්ථකව දියත් කළ බවයි.
චීනයේ අභ්‍යවකාශ යානය අඟහරු වෙත ‍ගෙන යන, චීනය සතු යෝධ ලෝන් මාච් - 5 රොකට්ටුව.

දෙවනුව, ජපානයේ සිට දියත් කෙරුණු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට අයත් අභ්‍යවකාශ යානය රතු ග්‍රහයා වෙත ළඟා වූ පසු එහි කක්ෂයක ගමන් කරනු ඇති. එය රතු ග්‍රහයා මතට පහත් නොවේවි. ඒ නිසා මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ චීනයේ හා ඇමරිකාවේ අභ්‍යවකාශ යානා කෙරෙහියි. විශේෂයෙන් ම මේ අවස්ථාවේ දී ඇමරිකාව සමග බල අරගලයක යෙදී සිටින චීනයේ අභ්‍යවකාශ යානය කෙරෙහි ඇමරිකාවත් විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා.

ඇමරිකාවේ නාසා ආයතනය මේ වන විට රෝවර හතරක් අඟහරු ග්‍රහයා මතුපිටට යවා තිබෙනවා. ඒ 1990 අවසාන වසරවලදියි. මෙවර යැවීමට නියමිත අඟහරු රෝවරය නම් කර ඇත්තේ ‘උට්ඨාන වීර්යය’ යන අරුත් ඇතිව‘පර්සවරන්ස්’ කියායි. එය SUV ප්‍රමාණයේ යානයක් තරම් වන අතර එය අඟහරු මතුපිට සිසාරායමින් පුරාණ සූක්ෂම ජීවී ලක්ෂණ ඉතිරිව තිබේදැයි සොයා බලාවි. ඒ වගේ ඒ යන අතරතුර විශේෂයෙන් අවධානය යොමු කරන පස් හා පාෂාණ සාම්පල එකතු කරනු ඇති. ඒ මේ වතාවේ ගෙන ඒම සඳහා නොවෙයි. අනාගතයේ දී, 2031 දී, යැවෙන චාරිකාවක දී ගෙන ඒම සඳහායි.
එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය අඟහරු බලා යවන අභ්‍යවකාශ යානය 
නම් කර ඇත්තේ ‘අමල්’ (බලාපොරොත්තුව) කියායි. 
එය දියත් කළ මොහොතේ ඩුබායිහී පාලක මැදිරියේ අය සතුට පළ කළ හැටි

‘මේක චිනයේ පළමු උත්සාහය නිසා මං හිතන්නෙ නෑ ඇමරිකාව මේ වෙන තෙක් කරල තියෙන දේට වඩා වැඩි යමක් කරාවි කියලා.’ චීන අභ්‍යවකාශ යානය ගැන එහෙම කියන්නේ ජොනතන් මැක්ඩොවෙල්. ඔහු, හවාඩ් සරසවියේ, තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ස්මිත්සෝනියානු මධ්‍යස්ථානයේ සිටින තාරකා විද්‍යාඥයෙක්.

‘ටියන්වෙන් -1 යානය බොහෝ දුරට ඇමරිකාව 1975-76 අතර අඟහරු වෙත යැවූ වයිකිං යානයට සමානයි.’ ඔහු තවදුරටත් කියනවා.

නිරවි යුද සමයේ දී ඇමරිකාවත්, රුසියාවත් අතර පැවති අභ්‍යවකාශ තරගය දෙස බලාගෙන සිටි, චීනය තමන්ගේම අභ්‍යවකාශ වැඩ සටහනක් සඳහා හමුදාව වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් මුදල් යෙදෙව්වා. අද එය ක්‍රියාත්මක වන්නේ චීන හමුදා ව්‍යාපෘතියක් ලෙසයි.
ඩුබායි අභ්‍යවකාශ ගවේෂණ අධිකාරිය ඔවුන්ගේ පළමු අඟහරු යානය 'අමල්' (Hope)  
ඩුබායිහිදී උත්සවාකාරයෙන් ඉදිරිපත් කළ අවස්ථාව.

‘රතු ග්‍රහයා ජය ගැනීමේ තරගයට චීනය පිවිසීම, අඩ සියවසක් තිස්සේ ඇමරිකාව පවත්වාගෙන ගිය ආධිපත්‍යයට අභියෝගයක් වෙනවා නිසැකයි.’ මෙහෙම කියන්නේ චීනයේ අභ්‍යවකාශ වැඩ පිළිවෙළ පිළිබඳ විශේෂඥයකු වූ චෙන් ලැන්.

මෙය චීනය අඟහරු ජය ගන්න කළ ප්‍රථම උත්සාහය නොවෙයි. 2011 දී රුසියාවත් සමග කළ ඒ මුල් උත්සාහයේදී රුසියාවේ කසකස්තානයෙන් නිකුත් වූ පසු චීන රොකට්ටුව පෘථිවි කක්ෂයෙන් ඔබ්බට නොගොස්ම විනාශ වී ගියා. මේ වතාවේ රුසියාව හවුල් කර නොගෙන අඟහරු බලා යානයක් යැවුවේ ඔවුන් තනියමයි. චීනයේ අභ්‍යවකාශ වැඩ සටහන පසුගිය දශක කීපය තුළ රහසිගතව ඉතා වේගයෙන් දියුණු වූ බවට මෙය හොඳ සාක්ෂියක්.

2003 දී යැං ලීවේ ප්‍රථම අභ්‍යවකාශගාමියා වුණා. පසුගිය වසරේ චීනය චෑන්ඊ=4 කියා අභ්‍යවකාශ යානයක් හඳට යැව්වා. ප්‍රථම වරට හඳ‍ෙහි අඳුරු පැත්තට යානයක් යැවූ එකම රට වූයේ චීනයයි.

‘මේ පියවර නිසා චීනයට විශාල වාසියක් අත්වෙනවා.’ යැයි වොෂිංටනයේ හෙරිටේජ් පදනමේ සේවය කරන චීන අභ්‍යවකාශ වැඩ පිළිවෙළ පිළිබඳ විශේෂඥයකු වූ ඩීන් චෙන් කියනවා.

අඟහරු මතට ගොඩ බැසීම ලේසි පහසු කාර්යයක් නොවෙයි. ඒ කටයුත්ත සීරුවෙන් කිරීමට සමත්වී ඇත්තේ තවමත් ඇමරිකාව විතරයි. 1976 පසු ඇමරිකාව අට වතාවක් ඒ කටයුත්ත කරලා තියෙනවා. නාසා ආයතනයේ ‘ඉන්සයිට්’ හා ‘කියුරියෝසිටි’ යන රෝවර් යානා තවමත් අඟහරු මත සක්‍රියව කටයුතු කරන අතර ඒවා රතු ග්‍රහයා මත යමින් නොකඩවා තොරතුරු එවනවා.
ටියන්වෙන් -1 යානය ගෙන රෝවරය ලබන පෙබරවාරියේ දී 
අඟහරු මතට පහත් වූ පසු පෙනෙන හැටි සිත්තරකු දුටුවේ මෙසේයි.

දැනට අඟහරු වෙත යැවූ අභ්‍යවකාශ යානා හයක් ඒ ග්‍රහයාගේ කක්ෂයේ යමින් ගවේෂණයේ යෙදෙනවා. ඉන් තුනක් ඇමරිකාව යැවූ ඒවා. දෙකක් යුරෝපීය අභ්‍යවකාශ ආයතනය යැවූ ඒවා වන අතර එකක් ඉන්දියානු අභ්‍යවකාශ යානයක්.

පසුගිය දස අවුරුදු කාලය තුළ චීනය අභ්‍යවකාශ කටයුතුවලින් විශාල ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. ඔවුන් 2022 දී ඔවුන්ගේ ම අභ්‍යවකාශ නැවතුම්පොළක් උඩුගුවනේ පෘථිවි කක්ෂයක ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා.

චීනය මේ වන විටත් සඳට රෝවර දෙකක් යවා තියෙනවා. ඒවා තවමත් සක්‍රියයි. ඉන් දෙවැනි රෝවරය වූ ‘යූටූ 2’ඔවුන් යැවූයේ සඳ‍ෙහි නොපෙනෙන පැත්තටයි. ඒ අනුව සඳ‍ෙහි ඒ පැත්තට යානයක් සීරුවෙන් ගොඩ බැස්සූ ප්‍රථම රට බවට චීනය පත් වෙනවා. චන්ද්‍ර මෙහෙයුම්වලින් චීනයට පෘථිවි කක්ෂයෙන් පිට කටයුතු කිරීම පිළිබඳ විශාල අත්දැකීමක් ලැබුණා. ඒත් අඟහරුගේ තත්වය ඊට වෙනස්.

එයින් අදහස් කෙරෙන්නේ වැඩි දුරක් යනවා කියන්නේ පොළොවට සංඥා ලැබීම හෙමින් හා අඩු තාරතාවකින් ලැබෙන බවයි. ඒ නිසා පොළොවෙහි පිහිටි පාලක මැදිරිය ඒ සංඥා හසු කර ගැනීමට තරම් ප්‍රබල විය යුතුයි. ඒ නිසා චීනයේ ෂින්හුවා පුවත් සේවය සඳහන් කරන අන්දමට චීනයේ ඈත බටහිර ෂින්ජියෑන් පළාතේ පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරියත්, වයඹදිග හෙයිලොංජියැන් පළාතේ පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරියත් යන දෙකම මේ වෙනුවෙන්ම වැඩි දියුණු කරලා තියෙනවා.
2020 දී නාසා ආයතනය යවන අඟහරු රෝවරය ඒ ග්‍රහයාගේ පස් හා පාෂාණ එක් රැස් කොට 
නලවල බහා තබා අනාගතයේ යැවෙන යානයකින් පොළොවට ගෙන එනු ඇති.

1960න් පසු මේ දක්වා ඇමරිකාව, රුසියාව, යුරෝපය, ජපානය හා ඉන්දියාව යන රාජ්‍යයන් රතු ග්‍රහයා වෙත යැවූ දුසිම් ගණනක් අභ්‍යවකාශ යානා අතුරින් වැඩි හරියක් අසාර්ථක වුණා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුව නිසා, චීන අභ්‍යවකාශ වැඩ පිළිවෙළ සමග සම්බන්ධකම් පවත්වන්න, නාසා ආයතනයට ඉඩ හරින්න, ඇමරිකාවට පුලුවන්කමක් නැහැ.

‘නේචර් ඇස්ට්‍රොනොමි’ කියන තාරකා විද්‍යා සඟරාවට ලිපියක් ලියමින් චීන අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන ඉංජිනේරු වැන් වීෂින් කියා ඇත්තේ ‘ටියන්වෙන් -1 යානය ගොඩ බහින්න යන්නේ අඟහරු ගේ උටෝපියා ප්ලැනීෂියා නම් ප්‍රදේශයට බවයි. ඒ ග්‍රහයාගේ වැඩිම බලපෑමකට ලක් වූ නිම්නයක් ලෙස ප්‍රකට, ඒ ප්‍රදේශයේ භූගත හිම ඇති බවට නාසා ආයතනය දැනටමත් පිළිගත හැකි සාක්ෂි සොයා ගෙන තියෙනවා.

සියල්ල හොඳින් සිදුවුවහොත්, සූර්ය බලයෙන් ක්‍රියාකරන, කි.ග්‍රෑ. 240ක් (රා.529ක්) බරැති මේ චීන රෝවරය, අඟහරු මත මාස තුනක් සක්‍රියව හිඳිමින් අවශ්‍ය දත්ත පොළොවට එවාවි. අඟහරු කක්ෂගත යානය වසර දෙකක් සක්‍රියව පවතීවි.

මෙවර ඇමරිකාව අඟහරු වෙත යවන, කි.ග්‍රෑම් 1,025ක් (රා. 2,259ක්) බරැති පර්සවරන්ස් යානය හා සසඳන විට 2013 හා 2019 වසරවලදී සඳට යැවූ චීන රෝවර දෙක ම එකට ගත් විටත් ඇමරිකානු යානය දෙගුණයකටත් වැඩි බැව් කිවයුතුයි. පර්සවරන්ස් යානය අවම වශයෙන් වසර දෙකක්වත් අඟහරු මත සක්‍රියව පවතීවි.

චීනය දැනටමත්, ඇමරිකාව, රුසියාව හා යුරෝපය සමග චන්ද්‍රිකා පදනම් කර ගත් නාවික මෙහෙයුම් පද්ධතියකට හවුල් වී ඇති නිසා අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් ඇමරිකාව අබිබවා යාමේ අරමුණක් චීනයට තිබිය නොහැකි යැයි විශේෂඥයන්ගේ මතයයි. වොෂිංටනයේ හෙරිටේජ් පදනමේ විශේෂඥ ඩීන් චෙන් කියන්නේ චීනය හෙමින් හෙමින් මේ සූදානම් වන්නේ ජපානය හා ඉන්දියාව අබිබවමින් ආසියාවේ අභ්‍යවකාශ බලය තහවුරු කර ගන්න කියලයි.
චීන අඟහරු මෙහෙයුමට අයත් වන අඟහරු වටා යන කක්ෂගත යානය, 
එය රැගෙන යන අඟහරු යානය හා රෝවරය ඊට ඇතුළත්. 
පරචූට මගින් එයත්, රෝවරයත් අඟහරු බිමට පහත් කෙරෙනවා. 
ඉන්පසු රෝවරය ඒ ග්‍රහයා මත යමින් තොරතුරු එවාවි.

අඟහරු ‍ලොවට යන ගමන ආරම්භයේදීම චීනයට පසුබෑම් කීපයක්ම ඇති වුණා. ඔවුන්ගේ ලෝන් මාච් - 5 රොකට්ටුව වසර මුලදී දියත් කිරීමට හැකි වුණේ නෑ. ඒ කෝවිඩ් නිසා විද්‍යාඥයන්ට නිවෙස්වල සිට වැඩ කරන්න සිදුවුණු හින්දයි. මාර්තු මාසයේදී අවශ්‍ය උපකරණ බෙයිජිංවලට සිට ෂැන්හයි දක්වා ගෙන යන්නට කණ්ඩායම් තුනකට පැය 12ක් තිස්සේ වාහන පදවන්නට සිදුවුණා.

අඟහරු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානා යැවීම කළයුතු සුදුසුම කාලය, එනම් පෘථිවියත් අඟහරුත් අතර වඩාත් සමීපතම කාලය, එළඹෙන්නේ සෑම පෘථිවි මාස 26කට වරක් වන නිසා, මාස 7ක ගමනකින් පසු ඒ කාලයේදී අඟහරු වෙත ළඟාවීම ඉලක්ක කර ගෙන කටයුතු කරන්න සිදු වෙනවා.

එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය ජූලි 23 වැනි බදාදා යැවූ ‘අමල්’ (බලාපොරොත්තුව) අභ්‍යවකාශ යානය අඟහරුට ගොඩ බසින්නේ නැහැ. එය අඟහරුගේ කක්ෂයක යමින් දත්ත පෘථිවියට එවනවා ඇති. මෙය අරාබි කලාපයෙන් යැවූ ප්‍රථම ග්‍රහලෝකාන්තර මෙහෙයුම වෙනවා. මෙය ඩුබායිදී තැනුවද දියත් කෙරුණේ ‍ ජපානයේ තනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. ඒ දියත් කිරීම පාලනය කළේ ඩුබායිහී පිහිටි මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි.

ඇමරිකාවේ නාසා ආයතනයෙන් අඟහරු වෙත යැවෙන පර්සවරන්ස් යානය දියත් කෙරෙන්නේ ජූලි 30 වැනි බ්‍රහස්පතින්දායි.

ලෝක ඉතිහාසයේ කිසිම දවසක, මෙවැනි තත්වයක් උදා වී නැහැ. ලෝකයේ රටවල් තුනක් අඟහරු වෙත දින 10ක් තුළ මෙහෙයුම් 3ක් සඳහා අභ්‍යවකාශ යානා තුනක් යැවීම අභ්‍යවකාශ විද්‍යාවේ විස්මිත ජයග්‍රහණයක්.

 - පර්සි ජයමාන්න

රතු ග්‍රහයා වෙත යන අතර චීනයේ ටියන්වෙන් -1 යානය එවූ විස්මිත ඡායාරූපය!

$
0
0
 පසුගියදා චීනය විසින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද අඟහරු යානය අතර මගදී අපූරු පින්තූරයක් එවා තිබෙනවා. ඒ අපේ පෘථිවියේත් චන්ද්‍රයාගේත් විස්මිත පින්තූරයක්! රතු ග්‍රහයා යන අතරතුර, මෙහෙන් පිටත් වී දින තුනකට පසුවයි, මේ ඡායාරූපය ගැනීමට හැකි වූයේ. චීනයේ අඟහරු යානය වූ ටියන්වෙන් -1 සාර්ථකව ගමනේ යෙදෙන බවයි චීන අභ්‍යවකාශ අධිකාරිය කියන්නේ.
අඟහරු වෙත යන චීන අභ්‍යවකාශ යානය

ඒ වනවිට එම යානය සිටියේ, පොළොවේ සිට කි.මී. මිලියන 1.2ක් (සැතැපුම් 746,000ක්) ඈතින්. අඟහරු වෙත යාමට ඇති මුළු දුර සැතැපුම් මිලියන 34න් තවමත් ගෙවා ඇත්තේ සියයට දෙකක් පමණයි. ඒ යානය ඉලක්කය වෙත යන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදියි.
අඟහරු වෙත යන ගමන අතරතුරදී එවූ විස්මිත ඡායාරූපයයි, 
මෙහි වමේ ඇත්තේ පෘථිවියයි. දකුණේ පෙනෙන්නේ චන්ද්‍රයායි. 
දකුණේ පහළ ඇතුළත් කර ඇත්තේ අඟහරු වෙත යන චීන අභ්‍යවකාශ යානයයි.

මේ කළු සුදු ඡායාරූපයෙන් ‍පෘථිවියත් චන්ද්‍රයත් දෙදෙනාම පෙනෙන්නේ අඩ සඳවල් හැටියටයි. හිරු එළිය වැටෙන ආකාරය අනුවයි, මේ විදියට පෙනෙන්නේ. වමේ ඇත්තේ අපේ පොළොවයි.දකුණේ ඇත්තේ අපේ චන්ද්‍රයායි. මේ ඡායාරූපය නිකුත් කර ඇත්තේ චීන අභ්‍යවකාශ තත්ෂණ විද්‍යායතනයේ අනුග්‍රහය ඇතිව බෙයිජිං අභ්‍යවකාශ යානා මෙහෙයුම් මැදිරියෙන්.

මෙවර රටවල් තුනකින් ම අඟහරු යානා තුනක් වෙන වෙන ම යවනු ලැබුවා. ඒ පොළොවත් රතු ග්‍රහයාත් වඩාත් සමීපතම අවස්ථාවේ දී එහි යන අදහසිනුයි.

මහ සයුරේ ඩොල්ෆින්ලා ස්වේච්ඡාවෙන් කළ විස්මිත රැඟුමක්!

$
0
0
එංගලන්තේ ලෝක ප්‍රකට කැමරා ශිල්පිනියක් වූ ශීලා ඉව්සන් (Sheila Ivison) ඊසානදිග එංගලන්තයේ නොදම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ බර්වික්හි මුහුදු වෙරළට ගියේ බෝට්ටු සවාරියක් යන්නයි. වැඩිදුරක් යන්න ලැබුණෙ නෑ. ඇය දුටු දෙයින් ගල් ගැහුණා.
එංගලන්තයේ නොදම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ බර්වික්හි 
මුහුදු වෙරළෙන් ඔබ්බෙහි දැක ගත් ඒ ඩොල්පින් රැළට 
අඩු තරමින් ක්‍රීඩාශීලී ඩොල්පින්ලා තුන් දෙනෙක්වත් ඉන්න ඇති.

ඩොල්පිනුන් තුන්දෙනෙක් එක පාරටම අහසට නැගලා සංදර්ශනයක් පැවැත්තුවා. ඇයටත් ඇය කැටුව ගිය පිරිසටත් ඇස් අදහන්න බැරි තරම්!

ශීලා වහාම කැමරාව ක්‍රියාත්මක කරලා ඒ ඩොල්පින් සන්දර්ශනය ඡායාරූපයට නැඟුවා. ඒවා තමයි ඔබට මේ දැක ගැනීමට සලස්වලා තියෙන්නෙ.
ශීලා ගිය බෝට්ටුව ආසන්යේදීම ව‍ාගේ මතු ඔවුන් 
විස්මිත සරඹ සංදර්ශනයක් පැවැත්තුවා මේ විධියට.

ලොව පුරා ජලතටාකවල ඇති කරන ඩොල්පින්ලා දක්වන සරඹ වගේ නෙවෙයි, මේවා, ස්වභාවිකව ඔවුන් ම හිතල කරන ඒවා. මුදල් අය කරලා පෙන්වන සංදර්ශනවල දී ඔවුන්ට ඒ ක්‍රියාව අවසන් වුණාම කෑම දෙනවා. එත් මේ වගේ සංදර්ශනයක දී එහෙම කෑම දීමක් නෑ. ඔවුන් ඒක කරන්නේ ස්වේච්ඡාවෙන්මයි. ඒ නිසා පෙන්වන වෙලාවක් කියන්නත් බැහැ. ඔබේ වෙලාව හොඳ නම් ඒක තමා වෙලාව.

‘මගේ වාසනාවටයි, ඔවුන් එවේලේ මගේ බෝට්ටුව ළඟම රැඟුම් පාන්න පටන් ගත්තේ.’ ශීලා කියනවා. ශීලාට දැන් වයස අවුරුදු හැට හතරක්! ඇය වනදිවිය, සොබාදහම කැමරාවට නඟන්න හරිිම දක්ෂයි. ඇගේ ජීවිත කාලයටම ඩොල්පින් රැඟුම් කැමරාවට නඟන්න ලැබුණු එකම අවස්ථා මෙයයි. ඒ නිසයි, ඇය දුර්ලභ අවස්ථාවක් හැටියට සලකන්නෙ.
ඩොල්පිනුන් දෙන්නෙක් එක පෙළට එක පාරම ජලයෙන් 
මතුවෙලා හරියටම එක හා සමාන පිම්මක් ගැහුවා.

එංගලන්තයේ කම්බ්‍රියාවේ වර්කින්ටන් නගරයේ සිට නොදම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ බර්වික්හි මුහුදු වෙරළට ඩොල්පිනුන් බලන්න ආ ඇයට, මේ ඩොල්පින් රැඟුම තමා වෙනුවෙන්ම කළ එකක් ලෙසයි දැනිලා තියෙන්නෙ. ඒ නිසයි ඔබටත් ඒ අපූරු දැක්ම මෙහෙම දැක ගන්න ලැබුණේ.
ඔවුන් එකිනෙකා මත සිටින සේ අති විස්මිත රැඟුමක් පෑවා.

ඇගේ ජීවිත කාලයටම ඩොල්පින් රැඟුමක් 
කැමරාවට නඟන්න ලැබුණු එකම අවස්ථා මෙයයි.
Viewing all 1094 articles
Browse latest View live