Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all 1094 articles
Browse latest View live

අද සිය 100 වැනි උපන්දිනය සමරන ලෝකයේ වාසනාවන්තම මිනිසා!

$
0
0
මේකට සියවසේ උපන් දිනය කීවොත් නිවැරදියි! මෙහෙම උපන්දිනයක් සමරන්න අවස්ථාවත් ආයෙත් කාටවත් ලැබෙන එකක් නෑ. මේක ඒ තරම් අපූරු සිදුවීම්වලින් ගහන උපන්දිනයක්!

ඔහුගේ නම ටොම් මුවර්. කපිතන් තෝමස් මුවර්. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ කපිතන්වරයෙක්. ඔහු වාසය කරන්නේ එංගලන්තයේ බෙඩ්ෆෝඩ්ෂයර්හි මාස්ටන් මොරිටේන්වලයි. 2020 අප්‍රේල් 30 වැනිදාට ඔහු සිය ජීවිතයේ 100 වැනි සැතැපුම් කනුව පහු කරනවා. ඔහු සිය 100 වැනි උපන්දිනය අමුතු විධියකට සමරන්න කල්පනා කළා. ඒ තමාගේ ගෙමිදුලේ සක්මන් වාර 100ක් සම්පූර්ණ කරන්නයි. පාදයක ආබාධයක් නිසා ඇවිදීමට අපහසුව ගෙදරට සීමා වී සිටින ඔහු මෙසේ තීරණයක් ගැනීම පවුලේ අයගේ විතරක් නෙවෙයි දන්නා හඳුනන හැමදෙනාගේම මවිතයට හේතු වුණා.

කර්නල් ටොම්, සිය වැනි උපන්දිනය වෙනුවෙන් 
එලිසැබත් මහ රැජිනගෙන් ලැබුණු සුබපැතුම සමග.

මහ රැජින එවූ සුබපැතුම. ‘ඔබ අද, 2020 අප්‍රේල් 30 වැනිදා, 
 ඔබේ සිය වැනි උපන්දිනය සමරන බව දැන මම මහත් සතුටට පත් වුණෙමි. 
ජාතික ‍සෞඛ්‍ය විද්‍යායතනය වෙනුවෙන් ආධාර එක්රැස් කිරීමට 
ඔබ ගත් උත්සාහය ගැන අසන්නට ලැබීමෙන් 
මම මහත් ප්‍රසාදයට පත් වූයෙමි. 
මේ සුවිශේෂ අවස්ථාවට මගේ ප්‍රසාදය
 හා සුබ පැතුම් මේ සමඟ ඔබට එවන්නෙමි.’

ඔහුගේ අරමුණ වුණේ කොවිඩ්19 රෝගීන් සුවපත් කිරීමට වෙර දරන එංගලන්තයේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය සේවක පිරිසට තිළිණයක් ලෙස පවුම් දහසක අරමුදලක් ඇති කරන්නයි. පසුගිය 16 වැනිදා, ඔහු සිය සක්මන ඇරඹුවා. ඔහු එදා දවසේදීම ඒ අරමුණ ඉටු කර ගත්තා. ඒත් මේ කතාව අන්තර් ජාලය හරහා දැනගත් ලෝකයේ නන් දෙසින් ආධාර ගලා එන්නට පටන් ගත්තා. අද ඔහුගේ උපන්දිනය සමරන මේ මොහොත වන විට එය පවුම් මිලියන 31ක් ඉක්මවා ගොස් තියෙනවා. තවමත් මුදල් ගලා ඒම නතර වී නැහැ.

කර්නල් ටොම් මුවර් හා ඔහුගේ දියණිය හැනා මහ රැජින එවූ විදුලි පුවත අතැතිව.

ඔහුට ලැබෙන ලැබීම්වලත් අඩුවක් නැහැ. එංගලන්ත එලිසැබත් මහ රැජින ඔහුව කපිතන් නිලයෙන් කර්නල් නිලයට උසස් කළා. ඒ උසස් වීමේ ලිපිය හා ඒ සඳහා නියමිත පදක්කම යවනු ලැබුවේ එතුමියගේ වි‍ශේෂ දූතයෙක් මගින්.

ඔහුගේ උපන්දිනය වැනි උපන්දිනයක් ලොව කිසිවකුටත් මීට පෙර ලැබෙන්න නැතුව ඇති. ඔහු උපන් දිනයට ලොව පුරා නන් දෙසින් ලැබුණු උපන්දින සුබපැතුම් පත් ගණන 120,000කට වැඩියි. ඒවා ගෙදරට ගෙනියන්න ඉඩ මදි නිසා ඔහුගේ මුනුපුරා වූ 16 හැවිරිදි බෙන්ජි ඉන්ග්‍රම් මුවර් සිය විදුහලේ ගුරුවරුන්, සිසු සිසුවියන් හා හිතමිතුරන් 120ක පිරිසක් එක්ක ඒවා ගෙන ගොස් ටොම්ගේ නිවසට නුදුරින් පිහිටි බෙඩ්ෆෝඩ් විදුහල් ශාලාවේ ප්‍රදර්ශනය කරන්න සැලැස්වුවා.

ඔහුගේ උපන්දිනයට බ්‍රිතාන්‍ය හමුදාවෙන් විශේෂ කේක් ගෙඩියක් හා ෂැම්පේන් බෝතලයක් එවනු ලැබුවා. එසේම ඔහුට උපහාර වශයෙන් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හා දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ප්‍රහාරක ගුවන් යානා දෙකක් ඔහුට ආචාර දක්වමින් උපන් දිනය දා උදේ ඔහුගේ නිවසට ඉහළින් පියාසර කරන්නට යෙදුණා. ඔහු ඉන් අපමණ සතුටට පත් වුණා.

කර්නල් ටොම් ගුවනින් කළ උපන්දින ආචාරයට ප්‍රතිචාරය දක්වමින්

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පෞද්ගලිකවම පැඹිණ ටොම්ට සුබ පැතුවා. ‘ඔබ අපේ අසමසම යුද වීර ප්‍රජාව සතු අප්‍රතිහත ධෛර්යය මූර්තිමත් කරන්නෙක්. අපේ ජාතියට අභිමානයක්!’ ඔහු පැවසුවා.

යුද හමුදාවේ මාණ්ලික ප්‍රධානී ජනරල් සර් මාක් කාල්ටක්ස්මිත් ඔහුව බ්‍රිතාන්‍යයේ හැරෝගෙට් හමුදා කොලීජියේ ප්‍රථම ගෞරවණීය කර්නල්වරයා ලෙස පත්වීම ලබා දී ගෞරව දැක් වුවා. ‘ඔහු අපේ තරුණ මහලු හැම දෙනාම දිරි ගන්වන පරමාදර්ශී චරිතයක්’ ඔහු කීවා. ‍

ටොම් ඔහුට සුබපතන හැමෝටම ඔහුගේ හද පත්ලෙන්ම ස්තුති කරනවා. ‘කොවිඩ් 19 පරාද කරන්න කරන සටනට සහය දෙන්න. හැකිතාක් ගෙදරට වී සිටින්න. සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින්න!’ ඔහු හැමදෙනාගෙන් ම ඉල්ලීමක් කරනවා.

කර්නල් ටොම් මුවර්ට සුබ පතා ලොව දස දෙසින් එවූ 
සුබ පැතුම් ඔහුගේ නිවෙස අසල විදුහල් ශාලාවක ප්‍රදර්ශන කර තිබූ අයුරු.

කැප්ටන් ටොම් ඔහුගේ මේ ආධාර ව්‍යාපෘතියට මුල් වූ ඓතිහාසික සක්මන නිම කළා පමණක් නොව තවත් අපූරු වැඩක් කළා. ඒ ලෝක ප්‍රකට ගායක මයිකල් බෝල් සමග You'll Never Walk Alone ගීයේ නව ගායනයක් ද තැටිගත කළා. කලින් ලිවර්පූල් පාපන්දු කණ්ඩායම වෙනුවෙන් මයිකල් ගයා තිබූ ඒ ගීය ටොම්ගේ ගමනටත් ගැළපෙන නිසා ඔහු සමඟ යළි ඒ ගීය ප්‍රතිනිර්මාණය කර ගයන්නට මයිකල් අදහස් කළා. ඊට ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සත්කාරක පිරිසේ ගායන අත්වැල ද එක් වුණා. ටොම් සමඟ මයිකල් ගැයූ නව ගීතය දින කීපයක් ඇතුළතම 2020 වසරේ වැඩිම අළෙවියක් ඇති ඒකල තැටිය බවට පත් වී තියෙනවා. එයින් ලැබෙන ආදායමත් ඒ අරමුදලට හිමි වේවි. ලෝකයේ වැඩිම අළෙවියක් ඇති තැටියට එක්වූ වැඩිමහලුම පුද්ගලයා වන්නේ ටොම්.

එක්සත් රාජධානියේ විසිරී සිටින චිත්‍රශිල්පීන්, කටහඬ කවන ශිල්පීන්, කැමරා ශිල්පීන් විශාල පිරිසක් එක්වී ඔහුට උපහාර පිණිස කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඔහුගේ සියක් අවුරුදු සැමරුම වෙනුවෙන් විශේෂ ගීයක්ද ඊට ඇතුළත් කරලා තියෙනවා.

කර්නල් මුවර්ගේ දියණිය හැනා හා ඇගේ පුත් බෙන්ජි 
නිවස ඉදිරිපිට සිට ඔවුන්ගේ සතුට පළ කළ අයුරු.

ඒ විතරක් නෙවෙයි මේ යුද වීරයාගේ උපන්දිනය සමරන්න බීබීසී රූපවාහිනියත් එක් වුණා, අප්‍රේල් 30 වැනිදා ඔවුන්ගේ උදේ ‘බ්‍රෙක් ෆස්ට් ෂෝ’ එකට සහභාගි වුණු එකම අමුත්තා තමයි, කර්නල් ටොම්. මීට කලින් ඒ වැඩ සටහනට තනි පුද්ගලයකු පමණක් සහභාගි කරවා ගෙන නෑ තියලයි ඔවුන් කියන්නෙ. බකිම්හැම් මාළිගයත් සම්බන්ධ කර ගෙනයි, මේ වැඩ සටහන සුවිශේෂ උපන්දින උළෙලක් ලෙස සංවිධානය කර තිබුණේ.

ලන්ඩනයේ පිකැඩලි සර්කස් වටරවුමේ ප්‍රදර්ශනය කළ දැන්වීම් පුවරුවක්.

එහි දි ඔහුව විස්මයට පත් කරන දේවල් රාශියක් සූදානම් කර තිබුණා. ඉන් එක් අංගයක් තමා වැඩ සටහන යන අතරතුර මහ රැජින විසින් ඔහුට උපන්දින සුබපැතුමක් විදුලි පුවතක් එවීම. ඉන්පසු චාල්ස් කුමරු හා කැමිලා ආදිපාදවරියගේත්, විලියම් කුමරු හා කේට් මිඩ්ල්ටන් ආදිපාදවරියගේත් සුබපැතුම් ඔහුට එවුවා. විලියම් කුමරු ටොම් පැසසුවේ ‘ආධාර රැස්කිරීමේ කනි මිනිසාගේ යාන්ත්‍රණය’ කියායි.

‘අප අතර ඉන්නා වයසක ම යුද වීරයා වූ ඔහුට කියන්නට බොහෝ දේ ඇති. ඔහු කළ සමාජ මෙහෙවරට උපහාර පුදන්නත් ඔහුගේ උපන් දිනය අමතක නොවන එකක් කරන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.’ ඒ වැඩ සටහනේ නිෂ්පාදකයන් වැඩ සටහනට කලින් කීවා.

එංගලන්තයේ ජාතික ‍සෞඛ්‍ය විද්‍යායතනයෙන් කර්නල් ටොම්ට සුබපැතුම්

99 හැවිරිදි කැප්ටන් ටොම් එළඹෙන සිය සිය වැනි උපන්දිනය ගැන කීවේ මෙහෙමයි. ‘සීයය කියලා අමුතු වෙනසක් මට දැනෙන එකක් නැහැ.’ කැප්ටන් එහෙම කීවාට, ඒ උපන් දිනයෙන් පසු කර්නල් වරයකු වශයෙන් යළි උපදිනවා. ඒ උපන්දිනය ඔහුට ජීවිතයේ වෙනසක් ගෙනා එකක් වූවා නිසැකයි.

තායිලන්ත කෑදැත්තියට ත්‍රිමාන මුද්‍රණ ක්‍රමයෙන් අලුත් හොටක්!

$
0
0
2020 අප්‍රේල් 18 වැනිදා බටහිර තායිලන්තයේ කාංචනබරිවල දී තුවාල වුණු කෑ‍ඳැත්තකු වනජීවී නිලධාරින්ට හමුවුණා. ඇත්තටම ඌ කුරුල්ලෙක් නෙමෙයි කිරිල්ලියක්. ඒ කියන්නේ කෑඳැත්තියක්. කැඩුණු හොටක් හා බිඳුණු අත්තටුවක් සහිතව කැළේ වැටිලා හිටිය මේ කෑඳැත්තියට පියාඹන්නවත් කෑ කන්නවත් පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඔවුන් ඇයට ‘කොකෝ’ කියලා නමකුත් දාල තියෙනවා.

මේ කෑදැත්තිය කැළේ වැටිලා ඉඳලා වනජීවී නිලධාරින්ට හමු වන විට හොටේ මේ කොටස තිබුණේ නැහැ.

වනජීවී නිලධාරින් දන්නෙ නැහැ මේ කිරිල්ලියට තුවාල වුණේ කොහොමද කියලා. ඇත්දළ සොයා යන්නන්ගේ හෝ දඩයක්කාරයකුගේ වෙඩි පහරකට ලක්වෙලා තුවාල වෙන්න ඇති කියලයි ඔවුන් හිතන්නෙ. මරණාසන්න තත්වයේ උන් කිරිල්ලියට සාත්තුසප්පායම් කරල යථාතත්වයට පත් කළත් කැඩුණු හොටටත් හා බිඳුණු අත්තටුවටත් කළ හැකි දෙයක් තිබුණේ නැහැ.

මේ සුවපත් කිරීමට වෙහෙසෙන වනජීවී නිලධාරින් හා පශු වෛද්‍ය නිලධාරින් මේ කිරිල්ලිය වැටිලා හිටිය කැළෑව පීරුවා ඇගේ කැඩුණු හොටේ කෑල්ල සොයා ගන්න. ඒත් බැරි වුණා. ඒ කෑල්ල තිබුණා නම් ඇගේ හොටට ඒ කොටස සැත්කමකින් බද්ධ කරන්න තිබුණා. ඒ කොටස නැතිව ඇයට කෑම කිසිවක් කන්න බැහැ. ඒ නිසා ඔවුන් කල්පනා කළා ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන ඇගේ හොටේ අහිමි වූ කොටස ප්ලාස්ටික්වලින් තනා ගන්න.

දැන් ඒ අඩුපාඩුව සම්පූර්ණයි! ඇය හොදින් කෑම ගන්නවා.

ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් තනා ගත් කෘත්‍රිම කොටස කිරිල්ලියගේ හොටේ ඉතිරිව තිබූ කොටසට තියලා වානේ ඇලවීමට යොදා ගන්නා ඉතාමත් ශක්තිසම්පන්න ඇලවුම් ද්‍රව්‍යයකින් අලවා ගත්තා. ඒක ඉතා ඉක්මනින් වේළුණු නිසා කිරිල්ලියට වදයක් වුණේ නැහැ. ඇය ඒ කොටස උපයෝගී කර ගෙන පහසුවෙන් කෑම ගත්තා. ඒත් ඒක පැය භාගයක්වත් පැවතුණේ නැහැ. ඇය හොට හසුරුවන වේගය වැඩි නිසා ඒක කැඩී ගියා.

‘ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන කිරිල්ලියට හොඳ හොටක් හදලා දුන්නත් ඒක වැඩි වේලාවක් පැවතුණේ නැහැ. අවාසනාවකට ඒක ඉතා ඉක්මනින් ම කැඩිලා ගියා. අපි උත්සාහය අත් ඇරියේ නැහැ.’ කොකෝට ප්‍රතිකාර කරන පශු ‍වෛද්‍ය කැනොක්වාන් තරුයනොන්ට් කීවා.

ඔහු ඇතුළු කණ්ඩායම තව එකක් හැදුවා. ඒක ඇගේ හොටේ කොට කෑල්ලට අලවන්නට වෙනස් ඇලවුම් ද්‍රව්‍යයක් භාවිතා කළා.

හොටට ඇලවීමට සකසා ගත් කෘත්‍රිම උපාංගය

වනජීවී නිලධාරින් දැන් කොකෝගේ ප්‍රගතිය දෙස අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඇය කෙතරම් වේගයෙන් කෑම ගන්නවාද කීවොත් නැවත වරක් හොට කැඩෙයි කියා බියක් ඔවුන් තුළ තියෙනවා. ඒ නිසා විශේෂඥ කණ්ඩායම වෙනත් ලෝහයක් යොදා හොට කොටස තනන්නට අත්හදා බලනවා.

ඒත් අවාසනාවකට කොකෝගේ බිඳුණු අත්තටුව තිබුණු තත්වයට ගෙන ඒමට හැකියාවක් ඔවුනට නැත. තායිලන්තයේ කැසෙට්සාත් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පශු වෛද්‍ය සුපාෆෙන් ශ්‍රීපිබූන් ඒ ගැන කියන්නේ මෙහෙම දෙයක්. ‘අපට හිතෙන්නෙ මේ කිරිල්ලියගේ අත්තටුවට සම්බන්ධ පේශීන් හා ස්නායුවලට හානිවෙලා තියෙනවා කියලයි. මෙහි ඇට බිඳීමක් වැනි කිසිවක් සිදුවී නැහැ. ඒත් ඇයට පියෑඹීමට නොහැකියි.’

ප්‍රාදේශීය වනෝද්‍යාන පාලක ප්‍රධානී සුචායි හොරාඩී කියන්නේ, කොකෝට වෙඩි වදින්න ඇතැයි කියායි. ‘ඒත් දඩයක්කාරයෙක් හිතාමතා වෙඩි තිබ්බා වෙන්න බෑ. එහෙම කළා නම් දඩයක්කාරයා මුළු කුරුල්ලම ගෙන යන එකයි ඒත් හොටක කෑල්ලක් ගෙනි යන්නේ නැහැ.’ ඔහු කීවා.

අහිමි හොට කෑල්ලේ නිල්පිටපත. හොට මුද්‍රණ කරන්නේ මේ රූපය අනුවයි.

‘ඒත් තාම අපට ඒ හොට කෑල්ල හම්බ වුණේ නෑ. ඒක හම්බ වුණා නම් කොකෝට වුණේ අනතුරක්ද නැද්ද කියලා අපට සොයා ගන්න පුළුවන්. සමහර විට බේත් පළෑටි සොයන්න කැළේට රිංගපු ගැමියන් ගැන සොයා බලන්න ඕනෑ’ ඔහු වැඩිදුරටත් කියනවා.

කොකෝ කිරිල්ලියට පිහිට වූ මේ ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය කියන්නෙ මොකක්ද? 1980 ගණන්වල ඇමරිකන් ජාතික චක් හි‍‍ල් කියන භෞතික විද්‍යා ඉංජිනේරුවා තමයි, මේ අපූරු තාක්ෂණයේ නිර්මාතෘ වරයා. ස්ටීරියෝලිතෝග්‍රැෆි හෙවත් ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් සිදුවන්නේ යම්කිසි ත්‍රිමාන දෙයක් තුනී ස්තරවලින් සැකසීමයි.

සාමාන්‍ය ඉන්ක් ජෙට් මුද්‍රණ යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයේදී තීන්ත ස්තරයක් කඩදාසියක තැවරෙනවා වාගේ මේ ක්‍රමයේදී ප්ලාස්ටික් හෝ ලෝහ කුඩු බන්ධන දියරයක් සමග භාවිත කර, වරකට එක ස්තරයක් මත තවත් ස්තරයක් බැගින් පරිගණකයේ ඩිජිටල් ගොනුවක ඇති උපාංගයේ සැලැස්මට අනුව ඒවා තැන්පත් කිරීමයි. 

සාම්ප්‍රදායික ක්‍රමවලට අනුව මෙවැනි උපාංගයක් තැනීමේ දී විශාල වශයෙන් ද්‍රව්‍ය නාස්තියක් සිදු වෙනවා.මෙය උපාංගයට අවශ්‍ය අමු ද්‍රව්‍ය මෙන් තිස්ගුණයක් යැයි ගණන් බලා තියෙනවා. මේ නව ක්‍රමයට, එනම් ත්‍රිමාන මුද්‍රණය භාවිත කරන විට එසේ වන්නේ නැහැ. එහිදී අමු ද්‍රව්‍යවලින් සියයට 98ක්ම වැය වන්නේ නිමවන උපාංගය සඳහාමයි.

දැනට ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය මගින් රොබෝවරුන් සඳහා ප්ලාස්ටික්වලින් හෝ ලෝහවලින් අවයව තැනීමේ පටන් විවිධ මිනිස් උපාංග තැනීමට යොදා ගනු ලබනවා.

මෙවැනි මුද්‍රණයක් සඳහා නිල් පිටපත (blue print) තැනීමට යොදා ගන්නේ කෑඩ් මෘදුකාංගයයි.

මුද්‍රණ යන්ත්‍රය සූදානම් කිරීමේ දී ඊට ප්ලාස්ටික් හෝ ලෝහ කුඩු හා බයින්ඩින් දියර ආදිය එක් කළ යුතු වෙනව‍ා. ත්‍රිමාන මුද්‍රණ ක්‍රමය විවිධ අයුරින් සිදු කෙරෙනවා. ඒත් වැඩිපුරම සිදුවන්නේ ඊට යොදන අමුද්‍රව්‍ය හා බයින්ඩින් දියර කවලම් වී අනතුරුව උණු වී ම්‍රද්‍රණ නොසලයක් හරහා නිකුත් වීමයි.

ඊළඟට සතාගේ හොට ස්කෑන් කර එහි අහිමි වූ කොටස පරිගණකයෙන් ප්‍රතිනිර්මාණය කර සකසා ගත් ගොනුව අනුව එහි ඇති නිල්පිටපත ආකාරයට ඒ උපාංගය මුද්‍රණය කරන ලෙස නියෝග කිරීමයි.

පශු වෛද්‍යවරියක් කොකෝගේ හොට පිරික්සන අයුරු

මෙවැනි මුද්‍රණයක් නිමවීමට ගත වන කාලය ඒ උපාංගය අනුව වෙනස් වෙනවා. මේ ක්‍රමයට මුද්‍රණ යන්ත්‍රය විශාල කොට තැනුවොත් ගෙයක් වුණත් තනන්න පුළුවන්. ඒ වගේ දෙයකට දින කීපයක් ගත වෙන්නට ඉඩ තියෙනවා.

මිලියන සිය ගණනක් අතීතයේ විසූ ‘නදී රකුසෙක්’ සහරාවෙන් මතුවෙයි!

$
0
0
ඩයිනොසෝරසයන් දැවැන්ත සතුන් ලෙස ගොඩබිම ජය ගෙන සිටියා පමණක් නොව පසුව කුරුල්ලන් ලෙස පරිණාමය වෙමින් අහසත් ජය ගත්තා. ඔවුන් ආපසු ජලයට ගිහින් එහෙත් තම ආධිපත්‍යය පැතිරවූ බවක් දැන් විද්‍යාඥයන් විසින් හෙළිකර ගෙන තියෙනවා.

මෙතෙක් කල් අප දැන සිටියේ ඩයිනෝසරයන් ගොඩ බිම විසූ දැවැන්ත සතුන් පිරිසක් පමණක් බවයි. ඒත් මෑත දී සහරා කාන්තාරයේදී මතු කර ගත් ඩයිනොසෝරයා නිසා දිය යට සැරිසැරූ දැවැන්තයකුත් උන්නු බව දැන් හෙළි වෙලා තියෙනවා. මේ ඩයින‍ො‍සෝරයා නම් කර තියෙන්නෙ ස්පයිනොසෝරස් ඊජිප්ටියාකුස් (Spinosaurus aegyptiacus) කියලයි. පැතලි වලිගයක් සහිත මේ දැවැන්තයා උගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරලා තියෙන්නෙ දිය යටයි. ඒ වගේ ම ඌ ආහාර සොයා ගංගාවල ජලයේත් කිමි‍‍‍ඳ‍ෙන්නට හුරුවෙලා ඉඳලා තියෙනවා.

ස්පිනොසෝරසයන් දැති මෝරුන් රංචුවක් දඩයම් කරන අයුරු 
ත්‍රිමාන රූපයකින් නිරූපණය කර ඇති අන්දම.

මේ වර්ගයේ ඩයිනොසෝරයකු හොඳින් වැඩුණු කල දිගින් අඩි 50ක් හා බරින් ටොන් 20ක් විතර වෙන බවයි කියන්නෙ. ඒ සතකුගේ වල්ගයක කොටසක් පොසිලයක් ලෙස හමුවෙලා තියෙනවා, මොරොක්කෝවෙදි. ඒ කරුණු විශ්ලේෂණයේ දී හෙළිදරවු වෙලා තියෙනවා, ඒ අත්භුත සත්වයා ජලයේ පිහිනා ගිය බව. මේ තමයි, ජලාශ්‍රිතව විසූ ඩයිනොසෝරයකු හමුවූ පළමු වන වතාව. එයින් ඔප්පු වෙනවා ඩයිනොසෝරයන් දියගොඩ දෙකෙහිම සිය බලය පතුරුවාගෙන සිටි බව.

මෙසේ ඩයිනොසෝරයන් පිහිනා ගිය බව, ජලය යට දඩයම් කළ බව, විතරක් නෙවෙයි ඔවුන් ජලයේ ජීවත් වූ බවට මුල්වරට සාක්ෂි හමු වී ඇත්තේ සහරා ගාන්තාරයේ ශුෂ්ක වනගත පෙදෙසකිනුයි.

තවමත් පරිණත නොවූ ස්පිනොසෝරසයන් දෙදෙනකු දැති මෝරුන් 
දඩයම් කරන අයුරු නැෂනල් ජ්‍යොග්‍රෆික් සඟරාවේ පළ වී තිබුණු අයුරු. 
දැනට හමු වී ඇති වල්ගයේ පොසිලය මේ වයසේ සතකු‍ගේයි.

වසර මිලියන 100කට ‍විතර ඉස්සර මේ කලාපය සරුසාර ක්ෂේම භූමිවලින් පිරුණු, තැනින් තැන විසිරුණු ගංගා ඇළදොළවලින් යුත් විවිධ ජීවීන්ගෙන් ගහන තැනක්. එහි ජලාශවල ආහාර සොයමින් පිහිනා ගියේ සමස්ත ආහාර දාමයේම ඉහළින් වැජඹුණු දරුණු ජලජ ඩයිනොසෝරයායි.

ස්පයිනොසෝරස් ඊජිප්ටියාකුස් කියා නම් කර ඇති මේ දැවැන්තයා ජලයේ පිහිනා ගියේ වරලක් වැනි වල්ගයක ආධාරයෙන්. ඌ ලිස්සා යන ගොදුර ඩැහැගත්තේ අඟල් හයක් පමණ දික් වූ උල් දත්වලිනුයි.

මොරොක්කෝවේ දී කැණීම් කර අලුතින් මතුකර ගන්නා ලද
 ස්පිනොසෝර වල්ගයක කොටසක්.

ටී රෙක්ස් හෙවත් ටයිරනසෝරස් රෙක්ස් නම් මාංශ භක්ෂක තයිරොපොඩ් කාණ්ඩයට නෑකම් කියන මේ සත්ව විශේෂයට අයත් තරුණ සතකුගේ පොසිලගත වලිගයක් හමුවී තියෙනවා වර්තමානයේ මොරොක්කෝවට අයත් ප්‍රදේශයකින්.

මේ වර්ගයේ වැඩුණු සතෙකු අඩි 50ක් පමණ දික් වෙනවා. බර ටොන් 20කට වැඩියි. ඒත් ඔවුන්ට හමු වී ඇති සත්වයා ඒ තරමට වැඩිලා නැහැ. උගේ හොම්බේ සිට වලිගය තෙක් දිග අඩි 35ක් විතරයි. බර ‍ටොන් හතරකට වඩා නැහැ.

උල් දත් සහිත දිගු පටු හකුපාඩා හා දියේ චලනය පහසු කරන 
සුවි‍ශේෂ වල්ගය දැක්වෙන ලෙස ස්පිනොසෝරසයකු 
ප්‍රතිනිර්මාණය කර ඇති අයුරු.

සම්පූර්ණයෙන් වැඩුණු මේ වර්ගයේ සතකු ගොදුරු කර ගත හැකි විලෝපිකයන් නැහැ. ඒත් මේ පර්යේෂකයන් කියන්නේ මේ වර්ගයේ තරුණ පැටවුන් ගොදුරු කර ගත හැකි යෝධ මසුන් හා ප්‍රාග් ඓතිහාසික දැවැන්ත කිඹුලන් සිටින්නට ඇති බවයි.

මේ ව්‍යාපෘතිය මෙහෙයවූ පර්යේෂකයන්ට හැකි වී තියෙනවා, ඒ අතරින් ‘ගංගාවේ මාරයා’ ලෙස හැඳින්විය හැකි මේ සුවිශේෂ සතාගේ පොසිලයක් සොයා ගන්නට.

මේ ස්පිනෝසෝරසයන් විසූ කාලේ ඉක්තියෝසෝරයන් වැනි තවත් උරග සත්ව විශේෂ කීපයක්ම ජලාශ්‍රිත ජීවිතයට හුරුව සිටින්නට ඇතත් ඩයිනෝසෝරයන් එසේ නොවූ බවයි ඔවුන් කියන්නේ.

ඉහළ - ස්පිනොසෝරයකුගේ වල්ගය ප්‍රතිනිර්මාණය කර ඇති අයුරු. (හමු නොවූ අස්ථි සුදු පැහැයෙන්),      මැද - වල්ගයේ හරස් කඩවලින් කශේරුකාවේ ඇති වෙනස්කම් පෙන්වන ආකාරයට, වල්ගයේ පරිමාව හා මාංශ පේශීන් දැක්වෙන ලෙසින්. පහළ - නව ස්පිනොසෝරසයා පෙනෙන හැටි. (කළු, මෘදු කොටස්/සිරුරේ වට රේඛාව, රතු පැහැයෙන්, 2008 දී දේශීය පොසිල එක්රැස්කරන්නකු ලබා දුන් අස්ථි, කොළ පැහැයෙන්        මෑත කළ විද්‍යාත්මක කැණීම්වලින් ලැබුණු අස්ථි, කහ පැහැයෙන් ප්‍රධාන කැණීම් ප්‍රදේශයෙන් 
සොයා ගන්නා ලද අස්ථි කොටස්වලින් තෝරා ගත් ඒවා)

උගේ වලිගයට අමතරව, මේ ඩයිනොසෝරයාගේ වෙනත් ලක්ෂණ රැසක්, හිසෙහි ඉහළින් පිහිටි නාස් පුඩු, බර අස්ථි, කෙටි පාද, ගොඩබිමට වඩා ජලයේ ජීවත් වූ බව හඟවන විශේෂයෙන් හැඩ ගැසුණු පාද ආදිය සොයා ගැනීමට ඔවුන් සමත් වී තියෙනවා.

මේ අධ්‍යයනය පළ වී තියෙන්නෙ නේචර් සඟරාවෙයි. (2020 අප්‍රේල් 28 වැනිදා) මේ සත්වයා සත්‍ය වශයෙන්ම ජලෙයහි ජීවත් වූ නම්‍යශීලි වල්ගය උපකාරී කර ගෙන ජලයේ පිහිනමින්, ජීවිතයෙන් වැඩි කාලයක් දිය යට ගෙවූ ජීවියකු බව තහවුරු කරමින් එම ලිපිය පළවුණා.

‘නැෂනල් ජ්‍යොග්‍රෆික් ගවේෂකයකු ලෙසින් කටයුතු කරන, ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන්හී ඩෙට්රොයිට් මර්සි විශ්ව විද්‍යාලයෙහි පුරාජීව විද්‍යාඥයකු වූ ආචාර්ය නසීර් ඊබ්‍රහිම් තමයි මේ පර්යේෂණයට නායකත්වය දුන්නේ. ඔහුගේ කණ්ඩායමට එක්සත් රාජධානියේ පෝට්ස් මවුත් විශ්ව විද්‍යාලයේ ආචාර්ය අන්වින් හා මහාචාර්ය ඩේවිඩ් මාටිල් යන දෙදෙනාත් එක්ව සිටියා.

මේ විද්වත් කණ්ඩායම 2015 දී දකුණු මොරොක්කෝවේ දී ස්පිනොසෝරස් ඇටසැකිල්ලක් සොයා කැණීම් ආරම්භ කළා. එ් ගවේෂණයෙහි ඓතිහාසික සොයා ගැනීම කරනු ලැබුවේ 2018 දීයි. ඒ බොහෝ දුරට සම්පූර්ණ තත්වයේ පැවති, ඉතා හොඳින් ආරක්ෂා වී තිබුණු වල්ගයක් මතු කර ගැනීමයි.

අනෙක් තෙරපෝඩා විශේෂයන්ගේ වල්ගා ඝන පොළොවෙහි යට වී පැවතියත් ඒවා හැම එකක්ම අගට යන විට සිහින්ව දරදඬු ගතියකින් යුතු වුණා.

මෙ‍ාරොක්කෝවෙන් හමු වූ මේ විශේෂ පෘෂ්ඨවංශිකයාගේ අස්ථි විශ්ලේෂණය කළ විට පැහැදිලි වුණා, උගේ කොඳු ඇට පෙළෙහි වූ දිග කශේරුකා, නූට්ටකුගේ වල්ගයට සමාන වූ උගේ අති විශාල, අති නම්‍යශීලී, වරල්පතක් බඳු වල්ගයේ ක්‍රියාකාරිත්වයට ඉතා හොඳින් සහය වූ බව.

මේ නදී රකුසා හෙවත් ස්පිනොසෝරසයා දිය යට දී දඩයමේ යෙදුණේ කොහොමද?


මේ ලිපිය මුලදීම අප සඳහන් කළා ඌ අඩි 50ක් දිග ටොන් 20ක් බර යෝධ සතෙක් බව. මේ අති දැවැන්ත බව නිසා මේ සත්ව විශේෂය ගොදුරු කර ගන්නා විලෝපිකයන් එකල සිටියේ නැහැ.

ඌ දිය යට කිමිදෙමින් දඩයම් කරන්නට හැකි වන විධියට සිරුරේ යම් යම් කොටස් හැඩ ගසාගෙන තිබුණා. උගේ නාස් පුඩු පිහිටා තිබුණේ හිස මුදුනෙහි පසුපසට වෙන්නයි. ඒවා හිසෙන් උඩට ඉල්පී තිබුණා. මේ නිසා හිසෙන් මඳක් පමණක් දිය මතුපිටට පෙනෙනසේ දියයට රැඳී සිටිමින් හුස්ම ගන්නට ඌට හැකි වුණා.

උගේ අස්ථි දැඩියි, පෙන්ගුවින්ලාගේ වගෙයි. ඒ නිසා ඌට පරිස්සමින් ජලයේ සමබරව රැ‍‍ඳී සිටිමේ හා පාවීමේ හැකියාව ලැබෙනවා.

කිඹුලන්ට සමාන වූ විශාල පැතැලි දෙපා හා බැඳුුණුු ඇඟිලි නිසා ගංගා ඉවුරුවල මෘදු පස මත පහසුවෙන් ඇවිද යන්නටත් ඔවුන්ට පුළුවන්.

උගේ පැතලි වල්ගය තිරස් අතට චලනය කළ හැකි වූ නිසා ජලයේ පිහිනන විට ඌට ඒ උපකාරී කරගෙන ඉදිරියට යා හැකි වෙනවා.

ඩයිනොසෝරයන් අයත් වන තිරපෝඩා සත්ව ගණයෙහිලා සැලකෙන මේ සත්වයා ජලයේ පිහිනීමට හැකි වූ, අඟල් හයක් තරම් දිගැති තියුණු දත් සහිත යෝධ හකුපාඩා ඇති එකම ඩයිනොසෝරයා බව දැන් හෙළිවෙලා තියෙනවා.

දත් කේතු ආකාරයි. තියුණුයි. ඒවායේ තල හැඩයක් නැහැ. උල් දත් නිසා අල්ලන ගොදුර ලිස්සා යන්නේ නැහැ.

උගේ හොම්බ කිඹුලුන්ට සමානයි. අනෙක් මාංශභක්ෂක ඩයිනොසෝරයන්‍ගේ වගේ නෙවෙයි. එහි ‍පිහිනා යන ගොදුර නගන රැලි හඳුනාගත හැකි සංවේදකවලින් යුක්තයි. මේ සංවෙිදක නිසා ඌට අපැහැදිලි ජලයේ වුනත් සතුන් දඩයම් කළ හැකියි.

සූත්‍ර පළ කිරීම - සෙන් බොදු කතාවක්

$
0
0
තෙත්සුජන් ජපන් සෙන් දහම වෙනුවෙන් කැප වූ අයෙක්. ඔහු තීරණය කළා, සූත්‍ර ජපන් බසින් පළ කරන්නට. ඒ වන විට සූත්‍ර පැවතියේ චීන බසින් පමණයි. එකල මේ පොත් සැකසීමට සිදු වූයේ ලී අච්චු අතින් කපලා එකින් එක අතින්ම තින්ත යොදා මුද්‍රණය කිරීමෙන්. ඔහු තීරණය කළා එයින් පිටපත් හත් දහසක් මුද්‍රණය කරන්න. ඒ කාලේ හැටියට එය අති දැවැන්ත කාර්යයක්.


මේ කටයුත්ත සඳහා තෙන්සුජන් ගමින් ගමට යමින් දානපතියන්ගෙන් මුදල් රැස් කළා. ඔහුගේ කාර්යය ගැන පැහැදුණු කීප දෙනෙක් රන්කාසි සිය ගණණක් දුන්නා. ඒත් වැඩිපුර ලැබුණේ සුළු කාසි වර්ගයි. ඒත් ඔහු ඒ හැම දෙනාටම එකම විධියට සලකලා පිං දුන්නා. වසර 10ක් ගත වෙන කොට ඔහුට ඔහුගේ කාර්යය අරඹන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය ලැබී තිබුණා.

ඒත් ඒ වන විට උජී ගංගාව පිටාර ගලලා මිනිසුන් දහස් ගණනින් අනාථ වුණා. ඒ එක්කම සාගතයක් ආවා. තෙත්සුජන් තමන් පොත් පළ කරන්න කියලා එකතු කරපු මුදල් ඒ අසරණ මිනිසුන් කුස ගින්නෙන් මුදවා ගන්න යෙදෙව්වා. ඊට පස්සේ ඔහු යළිත් මුදල් රැස් කරන්න පටන් ගත්තා.

තවත් වසර කීපයක් ගත වුණා. රටපුරා වසංගතයක් පැතිරුණා. තෙත්සුජන් තමන් ඒ වන විට රැස් කර කළ මුදල් සියල්ල අසරණ මිනිසුන්ගේ පිහිටට යෙදව්වා.

තුන් වැනි වතාවටත් ඔහු නැවතත් මුදල් රැස් කිරී‍මේ කාර්යයට බැස්ස‍ා. වසර විස්සකට පසු ඔහු ඔහුගේ බලාපොරොත්තු ඉටු කර ගත්තා. ඔහු සූත්‍රවල ප්‍රථම මුද්‍රණයට යොදා ගත් ලී අච්චු අදත් ජපානයේ කියෝතෝවල ඔබාකු ආරාමයේදී එහි යන කාටත් දැක ගන්න පුළුවන්.

ජපන් වැසියන් ඔවුන්ගේ දරුවන්ට කියා දෙන්නේ තෙත්සුජන් මෙම සූත්‍ර පොත් තුනක්ම නිර්මාණය කළ බවත් එයින් මුලින් ම කළ සූත්‍ර පොත් දෙක ම අදිසි ඒවා බවත් ඒවා අන්තිමට කළ පොතට වඩා ශ්‍රේෂ්ඨ බවත් කියලයි. ‍

පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග්‍රන්ථයෙන්

තවත් සෙන් බොදු කතා කියවන්න

සිදුහත් උපතට සෙවණ දුන් සල් ගස වෙනත් ගසකට මාරු වුණේ කොහොමද?

$
0
0
වසර 2644කට පෙර අද වැනි වෙසක් දාක සිදුහත් උපතට සෙවණ දුන්නේ සල් ගසක් යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඒ නිසා ම සල් ගස ලොව පුරා බෞද්ධයන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වූවකි. සංස්කෘත භාෂාවෙන් ‘ශාල’ කියාද පාලියෙන් ‘සාල’ කියාද හැඳින්වෙන මෙම ගස සිංහලට ‘සල්’ වෙයි.



පැරණි සිරිතට අනුව මහාමායා දේවිය සිය පළමු දරු උපත සඳහා මවුපියන් වෙත සිය පිරිවර සමඟ යමින් සිටියදී සල් ගසින් පිරුණු වනයක් අසලදී ගිමන් හැරීමට ඇයට සිත් විය.

ඉන්දියන් සල් මල් (වමේ) හා වරදවා හඳුන්වන කාලතුවක්කු උණ්ඩ ගසේ මල් (දකුණේ)

සිදුහත් කුමරුගේ උපත සිදු වූයේ අවස්ථාවේ දී යැයි සිදුහත් සිරිතෙහි සඳහන් වෙයි. ඒ අසිරිමත් සිදුවීම නිසා සල් ගස කෙරෙහි විශේෂ ආදරයක් හා ගෞරවයක් බෞද්ධයන් වෙත තිබේ. ඒ අනුව යමින් ලියවුණු එක් බැති ගීයක කොටසක් මෙසේ ය.

දුල් සල් වනේ ලකල් .. තුල් සල් වනේ ලකල්..
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්..
අන්න පෙනේ සාදු සාදු සල් වනේ ලකල්..
තුල් සල් වනේ ලකල්..

මායා පුතානා ...ප්‍රේම රජානා...
මායා පුතානා ...ප්‍රේම රජානා...

දකිනට යමු පෙම් - ප්‍රීතියෙනි නොහිම්
දකිනට යමු පෙම් - ප්‍රීතියෙනි නොහිම්
රශ්මි පුරා’කාසෙදිදී උන් වෙස‍ෙඟ් පුන්
රශ්මි පුරා’කාසෙදිදී උන් වෙස‍ෙඟ් පුන්

දුල් සල් වනේ ලකල් ..
තුල් සල් වනේ ලකල්..

ලුම්බිණියේ (වර්තමාන නේපාලයේ) සිදු වූ සිදුහත් උපත පැරණි සිත්තරකුගේ ඇසින්.

එදා වෙසඟ පෝදා සිදුහත් උපතට සෙවණ දුන් ඒ සල් ගසින් සුසැදි වනය හා සිදුහත් උපත වනන මේ ගීය අපේ කුඩා කලේ අපට සිදුහත් උපත මහත් බැතියෙන් සිහිපත් කර දුන් එකකි. ග්‍රැමෆෝන් යුගයට අයත් ජනප්‍රිය ගීයක් වූ එය ඒ යුගයේ විසූ විශිෂ්ට ගීත රචකයකු වූ යූ.ඩී. පෙරේරාගේ රචනයකි. (මීට වසර 80කට පෙර ලියන ලද ඒ ගීය අසනු කැමති නම් ‘දුල් සල් වනේ ලකල්’ යන යොමුව ඔස්සේ ගිය විට එහි මුල් ගීය මෙන් ම පසුව කළ එහි නව ගායනා කීපයකටම සවන් දිය හැකිය.)

මේ ගීයෙහි එන සල් ගස කුමක් ද? ඒ අප කුඩා කල පාසල් පෙළ පොතේ දැක්වුණු සල් ගස ම ද? ‘අමර, නයනා, සල් ගස යට බලන්න. අර බලන්න අර සල් මල ලස්සනයි, මම ඒ මල කඩන්නද?’ කියා වදනින් හා චිත්‍රයෙන් දක්වා තිබූ ඒ සල් ගස වැනි ගසක් අපේ ගමේ පන්සලේත් තිබුණේය. අපි එදා ඉතා ආසාවෙන් ඒ මල් කඩා ධෝවනය කොට මහත් භක්තියෙන් බුදුන් පිදුවෙමු.
ඉන්දියන් සල් ගසෙහි පත්‍ර, මල් හා ගෙඩි

එදා අප සිත් තුළ විසිතුරු සිතුවම් මැවූ ඒ සල් ගස, ‘ඇත්ත සල් ගස’ නොවේ. එදා අපි මහත් බැතියෙන් බුදුන් පිදූ ඒ මල්, ‘ඇත්ත සල් මල්’ නොවේ. ඒ ගසට සමාන ගසක් පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානයේත් තිබේ.

ඒ ගස රෝපණය කර ඇත්තේ 1901 අප්‍රේල් 14 වැනිදා එහි සැපත් වූ බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් මහ රජතුමා සහ එම බිසව විසිනි. එහි ඇති නාම පුවරුවෙහි ඒ ගසේ නම සඳහන්ව ඇත්තේ ‘කුරෝපිටා ගුයනෙන්සිස්’ (Couroupita guianesis) හෙවත් කැනන් බෝල් ට්‍රී කියාය. එහි සිංහල අරුත ‘කාලතුවක්කු උණ්ඩ ගස’ යන්නයි. ඒ නම යොදා ඇත්තේ එහි ගෙඩි කාලතුවක්කුවලට දමන ලොකු යකඩ බෝලවලට සමාන වන නිසාය. මේ ගස ඉංග්‍රීසීන් විසින් 1881 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් එකකි. එය ඊට පෙර ශ්‍රී ලංකාවේවත්, ඉන්දියාවේවත් තිබූ ගසක් නොවේ.

‘ශ්‍රී ලංකාවෙ ජනතාව මේ ගහට ‘සල් ගහ’ කියන්නේ වැරදීමකින්. මෙය දකුණු ඇමෙරිකාව නිජබිම කර ගත් ශාකයක්. මෙය බ්‍රිතාන්‍යයන් විසින් විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වා දුන් එකක්. 1893-1900 කාලයෙහි සකස් කරන ලද ‘ෆ්ලෝරා ඔෆ් බ්‍රිටිෂ් සිලෝන්’ නාමාවලියෙවත් ඊට කලින් පළ වුණු ‘ෆ්ලෝරා ඔෆ් බ්‍රිටිෂ් ඉන්ඩියා’ නම් අත්පොතෙහිවත් මේ ශාකය ගැන යම්තම්වත් සඳහනක් නැහැ. මං හිතන්නේ මේ වැරැද්ද තායිලන්තයටත් ගිහින් තියෙන්නෙත් මෙහෙන්.’ කියමින් මහාචාර්ය සිරිල් විජේසුන්දර කලකට ඉහත බීබීසියට අදහස් දක්වමින් කියා තිබුණා මට මතකය. අපේ රටේ සිටින ප්‍රවීණ උද්භිද විද්‍යාඥයකු වූ එතුමා කලකට පෙර පේරාදෙණියේ ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ අයෙකි. 

ඉන්දියන් සල් ගස් දෙකක්

ඉන්දියානු උප මහාද්වීපය අසලකවත් නැති රටක තිබූ ශාකයක් සිදුහත් උපතට සම්බන්ධ වුණේ කෙසේ දැයි තමාට සිතා ගන්නවත් බැරි යැයි එදා එතුමා ඒ සාකච්ඡාවේදී සඳහන් කළා මට මතකය. එහෙම නම් හරි සල් ගහ කුමක්ද? ඒ ගසත් පේරාදෙණියේ ජාතික උද්‍යානයේ තිබේ. ඒ ගස රෝපණය කර ඇත්තේ 1980 දී පෙබරවාරි 25 වන දා නේපාලයේ බිරේන්ද්‍ර රජතුමා මෙහි සැපත් වූ අවස්ථාව සිහිපත් කිරීම සඳහා ය. එහි නාම පුවරුවේ සඳහන්ව ඇත්තේ ඉන්දියාව, බංගාලදේශය, නේපාලය ආදි රටවල වැවෙන ‘ෂෝරියා රොබස්ටා’ (Shorea robusta) හෙවත් ‘ඉන්දියන් සල්’ කියා ය.

ඉන්දියන් සල් බීජ පේරාදෙණියේ රාජකීය උද්‍යානය තුළ රෝපණය කොට බෞද්ධ විහාරස්ථානවලට 2010 දී බෙදා දුන් බවක්ද බීබීසී සාකච්ඡාවේදී මහාචාර්යවරයා විසින් පවසා තිබුණි.

කාල තුවක්කු උණ්ඩ ගස අයත් වන්නේ ලෙසිතිඩේසියේ (Lecythidaceae) කුලයට ය. එහි මල් හා ‍ගෙඩි හටගන්නේ කඳ වටා ය. මල් ප්‍රමාණයෙන් ලොකු ය. දීප්තිමත් රතු හා කහ පැහැයෙන් යුතු ය. ඒ ගෙඩි විශාල ය, බර ය, වටකුරු ය. ඇතැම් ශාක පොත්පත්වල පවා මේ ගස් ගැන වැරදියට සටහන් වී තිබේ.

නේපාල රජු අතින් පේරාදෙණියේ මල් වත්තෙහි රෝපණය කළ ඉන්දියන් සල් ගස 
හා දකුණේ කාල තුවක්කු උණ්ඩ ගස.

තේක්ක ගසට සමාන, අතු නො‍බෙදෙන තද කඳක් ඇති, ඉන්දියන් සල් වටිනා දැව වර්ගයක් ලෙස සැලකේ. එය අයත් වන්නේ ඩිප්ටෙරෝකාපේසියේ (Dipterocarpaceae) කුලයට ය. හොර, දුන් ආදී ගස් අයත් වන්නේ ද මේ කුලයට ය. ‍මේ ගසේ ගෙඩිවල, හොර ගස්වල ගෙඩිවල මෙන් පියාපත් ඇත. ඒත් ඒ ගෙඩි ප්‍රමාණයෙන් කඩල ඇටයක් තරම් කුඩා ය. සැහැල්ලු නිසා ඒවා පියාපත්වල ආධාරයෙන් සුළඟත් සමඟ ඈතට පාවී ගොස් පැළ වෙයි. මල් කිනිති ලෙස අතු අග හට ගනියි. මල් සුදු පැහැතිය, මල් හට ගන්නේ අප්‍රේල් මාසයේ දී ය.

සල් ගස ලෙස වරදවා වටහා ගෙන ඇති ‘කාල තුවක්කු උණ්ඩ ගස’ දකුණු ඇමෙරිකාව (බ්‍රසීලය) නිජබිම් කර ගත් එකකි. 1881 දී ඉංග්‍රීසීන් විසින් ඔවුන් යටත් කර ගෙන සිටි ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු මේ කලාපයේ රටවලට හඳුන්වා දී ඇති ඒ ගස කිසිසේත්ම සිදුහත් උපතට හෝ පිරිනිවීමට හෝ සම්බන්ධ වීමට විධියක් ඇත්තේ නැත. ඒ නිසා ඉන්දියාව, නේපාලය හා බංගලාදේශය වැනි රටවලට ආවේණික ශාකයක් ලෙස සැලකෙන ඉන්දියන් සල් ගසට නිසැකව ම ඒ තැන හිමි විය යුතු ය. සමහර විට මෙය නියම සල් ගසට හිමි වන ආගමික ගෞරවය යටපත් කිරීමට සිතා මතා කළ දෙයක් වන්නත් බැරි නැත.

පර්සි ජයමාන්න

නයිටින්ගේල් ජන්ම දෙසිය වස සමරන අද ලෝක හෙද දිනයයි.

$
0
0

අද ලොව පුරා හැම රටක්ම පාහේ කොවිඩ් -19 වසංගතයට ගොදුරු වී තිබේ. රටවල් ගණනින් කීවොත් එය 212කි. බලවත් රටවල් හැම එකක් ම ඊට අයත් වෙයි. මේ මාරක වෛරසය නිසා මේ ලියන මොහොත වන විට මරණයට පත් සංඛ්‍යාව 287,613කි ආසාදිත වූවන්ගේ ගණන 4,271, 906කි. මැරෙන ගණන දිනපතා වැඩිවන්නේ දහස් ගණනිනි. සෞඛ්‍ය සේවාවල ආසාදිත වූවන්ගේ ගණන 90,000කි. මරණයට පත් හෙද සේවයේ ගණන 250කි. තවමත් නිශ්චිතව බෙහෙතක් නැති, වළක්වා ගැනීමට එන්නතක් නැති, වෙදකමටත් වඩා හෙදකම ඉස්මතු කළ මේ නව වෛරසයට ගොදුරුව අසරණව සිටින අයට ඔවුන් ළඟින්ම ඉන්නා එකම සහනය ‘නයිටින්ගේල් දියණියන්’ ය. මා ‘නයිටින්ගේල් දියණියන්’යැයි කීවේ හෙදියන්ට ය.
ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය

ජාත්‍යන්තර හෙද දිනය යෙදී ඇත්තේ අදටයි. එනම් 2020 අප්‍රේල් 12ටයි. මෙවර හෙද දිනයේ තේමාව වන්නේ ‘ලෝකයේ සෞඛ්‍යය නංවාලීමට හෙද හඬ අවදි කරමු’ යන්න ය. ලෝක හෙද දිනය ලෙස අද නම් කර ඇත්තේ හරියට ම මීට වසර 200කට පෙර උපන් ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියට ගෞරව දැක්වීම පිණිස ය. ඉංග්‍රීසි ජාතික කාන්තාවක වූ ඇයට ෆ්ලොරන්ස් යන ලැබුණේ ඇය උපන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී වන නිසා ය. එංගලන්තයේ ධනවත් පවුලකට අයත් ඇගේ දෙමාපියන් ඒ කාලයේ ජීවත්වූයේ ෆ්ලොරන්ස් නගරයේ පිහිටි ඔවුන්ට අයත් නිවාසයක ය.
ක්‍රිමියානු යුද සමයේ ෆ්ලොරන්ස් නයිටිංගේල් 
බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන චිත්‍රයක්

මිනිසා ලොව පහළ වූ දා සිට රෝගීන්ට සාත්තු කළ අය සිටින්නට ඇත. බුදුහිමියන් ද එසමයෙහි විසූ පූතිගත්ත තිස්ස නම් රෝගී තෙර නමකට සාත්තු සප්පායම් කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. ඉතිහාසයේ විවිධ අවස්ථාවල රෝගී සාත්තුව ගැන වාර්තා තිබුණත් ලෝකයේ වර්තමාන හෙද සේවාව අද පවත්නා ආකාරයට වෘත්තීය මට්ටමේ සේවාවක් බවට පත් කිරීමට අඩිතාලම දැමුවේ ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියයි.

ඇය උපන්නේ ඉතාලියේ දී වුවත් ඇය හැදුණු වැඩුණේ හැම්ෂයර්හී ඩර්බිෂයර්වල හා ලන්ඩනයේ ය. ඇගේ දෙමාපියන්ට අයත් නිවාස දෙපොළෙහි ම විය. ඇය කුඩා කල ඇයට ඉගැන්වූයේ ඇගේ පියා මය. පසුව ලන්ඩන් කිංස් කොලීජියටත් කේම්බ්‍රිජ් සරසවියටත් ගියාය.

කුඩා කාලයේදී ම රෝහලකට බැඳී රෝගීනට සාත්තු කරන හැටි ඉගෙනීමට ඇයට අවශ්‍ය විය. එහෙත් ඇගේ පියා එය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඇයට පාර්ලිමේන්තු වාර්තා කියවීමට පියා බල කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර තුනක් ඇතුළත ඇය මහජන සෞඛ්‍යය හා රෝහල් පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගත්තාය.

දෙමාපියන්ගේ විරෝධය නොතකා ඇය එංගලන්තයේ හා යුරෝපා රටවල රෝහල්වල සංචාරය කළාය. ලන්ඩනයේ රෝහලක් බලන්න ගිය විටෙක ඇය රෝහලකට බැඳී රෝගීන්ට සාත්තු කරන්නට තමාගේ ආශාව බව එහි වෛද්‍යවරයකුට කීවාය.

‘ඔයා, ෆ්ලොරන්ස්! රෝගීන්ට සාත්තු කරන්ට?’ පුදුමයෙන් කී ෆෝලර් නම් ඒ වෛද්‍යවරයා ඇස් දල්වා ඒ සිහින් සිරුරැති ආකර්ෂණීය යුවතිය දෙස මොහොතක් බලා සිටියේය. ‘එන්න මට ඔයාගේ ඒ අදහස වෙනස් කරවන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. එන්න මේ රෝහල් වාට්ටුව දැක්කාම ඔයාම අදහස වෙනස් ගනීවී. එන්න!’ ඇය වාට්ටුව තුළට ඇය කැටුව ගියාය.

වාට්ටුවෙන් නිකුත් වූ දුර්ගන්ධය දැරිය නොහැකි තරම් විය. අඳුරු පැල්ලම් වැටුණු අශෝභන බිත්තිවලින් වට වූ ඒ වාට්ටුව තුළ පණ අදිමින් සිටි රෝගීන් නැඟූ විලාප හා ඒ ගැන මඳකුදු තැකීමක් කළ සාත්තුකාරියන් තුළ පැවති නපුරු පෙනුම ඇයව කම්පාවට පත් කළේය. ඒත් ඇය සිත බලෙන්ම නම්මවා ගෙන ඒ සියල්ලක් නැරඹුවාය.

ආපසු එන ගමන් ඇය වෛද්‍යවරයාට කීවේ, ‘මං මේවා සියල්ල වෙනස් කරනවා’ කියා ය.

1846 දී ඇගේ මිතුරකු ඇයට ජර්මනියේ කයිසර්වර්ත්හී පිහිටි ප්‍රොතෙස්තන්ත්‍ර දියෝකිසියක ආයතනික වාර්ෂික වාර්තාවක් එවීය. ඉන් වසර හතරකට පසු ඇය ඒ ආයතනයට ගොස් එහි හෙදියක ලෙස පුහුණුව ලැබුවාය. 1853 දී ඇයට ලන්ඩනයේ පිහිටි රෝගීවූ වංශවත් මහලු කතුන්ට සත්කාර කිරීමේ ආයතනයක අධිකාරි ලෙස පත්වීමක් ලැබුණේය.

ඒ වසරේදී ම ක්‍රිමියානු යුද්ධය ඇවිලී ගියෙන් ඇය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට සාත්තු කරන්නට ඇය ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වුවාය. තුර්කියේ සුකූටරිහි පිහිටි හමුදා රෝහල්වල සාත්තු සේවිකාවන්ගේ ප්‍රධානියා ලෙස ඇයට පත්වීමක් ලැබුණි. ඇය එහි යන විට සොල්දාදුවන් වැඩි දෙනකු මියගියේ යුද බිමේ ලත් තුවාලවලින් නොව උණ හා ආසාදනවලින් බව ඇයට දැක ගන්නට ලැබිණ. ඇගේ මුල් ම ඉල්ලීම වූයේ කුණු අතුල්ලන බුරුසු සපයන ලෙසය. ඒවා ලැබුණු පසු ඇය පරිසරය පිරිසිදු කළාය. සනීපාරක්ෂක රෙගුලාසි ක්‍රියාත්මක කළාය. රෝගී සොල්දාදුවන් විශේෂ පෝෂණ ගුණයෙන් යුත් ආහාර වේලක් ලබා දුන්නාය. ඒ අනුව ඇයට සොල්දාදුවන්ගේ මරණ අනුපාතය 45 සිට 2 දක්වා අඩු කළ හැකි විය.

ඇය රෝහල් සඳහා තමාගේ මුදලින් ලිනන්, කමිස, ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඇඳන් පවා මිලදී ගත්තාය. ඇය තමන් ගන්නා නව පියවර ගැන සටහන් තැබුවාය. රෝගීන් පිළිබඳ ප්‍රගති වාර්තා ලියා තැබුවා ය. ඒවා ඊළඟට එන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රයෝජවත් විය. ඇය එහිදී රැස් කළ සංඛ්‍යාලේඛන ද සෞඛ්‍ය ප්‍රගතිය මනින මිනුම් දඬු විය. එහිදී ඇගේ සේවය නොමඳ පැසසුමට ලක් විය.

ලන්ඩනයේ ටයිම්ස් පුවත්පතේ ක්‍රිමියානු යුද්ධය ගැන පළ වූ වාර්තාවක ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය පිළිබඳව පළ වූ සටහනක ඇය හඳුන්වා දුන්නේ ‘පහනක් අතින් ගත් කාන්තාව’ යන අරුත දෙන ‘ද ලේඩි විත් ද ලෑම්ප්’ යන අන්වර්ථ නාමයෙනි.
පහනක් ඇතැතිව යන කත

‘ක්‍රිමියානු යුද සමයේ තුවාල වූ භටයන් රඳවා සිටි මෙම රෝහල් ගැන සලකන විට ඇය දෙවියන් එවූ ‘සුර දුතියකැ’යි කීම අතිශයෝක්තියක් නොවේ. කෙසඟ සියුමැලි සිරුරෙන් හෙබි ඇය සෙමෙන් සෙමෙන් නිසොල්මනේ සෑම කොරිඩෝවක් දිගේ ම යන විට ඇය දකින එහි රෝගීව ඉන්නා සෑම අසරණයකුගේ ම මුහුණක ම ඇය කෙරෙහි ඇති කෘතවේදීත්ව හැඟුමෙන් පිරී යන්නේ ය. සෑමදාම සියලුම වෛද්‍යවරුන් සේවය අවසන් කර නික්ම ගිය පසු, රාත්‍රි අඳුර බිම මුුනින්තලා වී සිටින රෝගීන් වසා ගත් පසු, “කුඩා පහනක් අතැතිව යන මේ කාන්තාව,” ඔවුන්ගේ සුව දුක් විමසමින්, ඔවුන් සනසන වදන් තෙපළමින්, ඇය රෝහල පුරා තනිවම කරන සංචාරය අරඹන්නීය.’ ඒ වාර්තාවෙහි සඳහන් විය.

ටයිම්ස් පුවත්පතේ ඒ ලිපියෙහි සඳහන් පරිදි සමස්ත ලෝකය ම ඉන් පසුව ඇය ඒ නමින් හඳුන්වන්නට පටන් ගත්තේය. මේ අන්වර්ථ නාමය වඩාත් පිළිගැනීමට ලක්වූයේ සම්භාවනීය ඉංග්‍රීසි කවියකු වූ හෙන්රි ව්’ඩ්ස්වර්ත් ලෝංෆෙලෝ විසින් කවියකින් උපහාර දැක්වීම නිසා ය. 1857 දී ලියැවුණු ‘සැන්ටා ෆිලෝමිනා’ නම් ඒ පද්‍යය මෙසේ ය.

Lo! in that house of misery
A lady with a lamp I see
Pass through the glimmering gloom,
And flit from room to room.

ඒ අවාසනාවන්ත නිවාසයෙහිදී
පහනක් ඇතැතිව යන කත මම දකිමි
අඳුර අතරින් සැලෙන පහන් සිලෙන්
කාමරෙන් කාමරයට පිය නගන අයුරු

ඇය එහිදී වෙහෙස නොබලා වැඩ කළා ය. අවසානයේ දී ඇයට ක්‍රිමියානු උණ වැළඳුණේය. මාරාන්තික තත්වයට පත් වුවද ඇය ආපසු එංගලන්තයට යාම ප්‍රතික්ෂේප කළාය.

ඇය සාත්තු සේවයට පිවිසියේ සාත්තු සේවයට කිසිදු පිළිගැනීමක් නොතිබුණු යුගයකය. වර්තමාන හෙද වෘත්තිය ආරම්භ වූයේ 1849 දීය. ඒ ඇය විසින් හෙදකම වෘත්තීය මට්ටමෙන් විධිමත්ව උගන්වන ප්‍රථම හෙද පුහුණු සේවා පාසල ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර ශාන්ත වින්සන්ට් ද පෝල් ආයතනයට අනුබද්ධව ආරම්භ කිරීමත් සමගය. ඇය හෙදියන් වෙනුවෙන් නයිටින්ගේල් දිවුරුම මුලින්ම හඳුන්වා දුන්නේ මේ රෝහලෙනි.
අපේ ‘නයිටින්ගේල් දියණියෝ’

1856 වන විට ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ලෝක ප්‍රසිද්ධියට පත් ව සිටියා ය. ඒ වසරේ දී ඇය එංගලන්තයට ආවාය. ඇය වික්ටෝරියා මහ රැජින බැහැදැක්කාය. ඒ සමගම වගකිවයුතු නිලධාරීන් හමු වූ ඇය බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ සෞඛ්‍යය නංවාලීම පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළාය. යළිත් දරුණු ලෙස රෝගාතුර වූ ඇය 1857 දී ආබාධිත තත්වයකට පත් වූවාය.

ඇය තමන් සතුව තිබූ පවුම් 45,000ක් යොදා නයිටින්ගේල් පදනම ආරම්භ කළාය. 1960 දී ඇයට එංගලන්ත රජයෙන් පවුම් 50,000ක පරිත්‍යාගයක් ද ලැබුණේය. ඇය එයින් බ්‍රිතාන්‍යයේ සාන්ත තෝමස් රෝහලට සම්බන්ධ හෙද පුහුණු විදුහලක් ආරම්භ කළාය. අද එය ෆ්ලොරන්ස් නයිටිංගේල් හෙද පුහුණු විදුහල ලෙස නම් කර තිබේ. බකින්හැම්ෂයර්වල ද ඇය තව පුහුණු ආයතනයක් පටන් ගත්තා ය. ලොව පුරා ඇගේ නම හෙද පුහුණු ආයතනවලට, වෛද්‍ය සේවාවලට යෙදීමෙන් ඇයට ගෞරව කර තිබේ.

එංගලන්තයේ මුදල් නෝට්ටුවලට ද රජපවුලේ කාන්තාවන් හැරුණු විට යොදා ඇති එකම කාන්තා රුව ඇයගේ ය. එ් නෝට්ටුවලට ඇගේ රුවට අමතරව යොදා ඇති අනෙක් රූප වන්නේ අයිසෙක් නිවුටන්, විලියම් ෂේක්ස්පියර්, චාල්ස් ඩිකන්ස්, මයිකල් ෆැරඩේ, සර් ක්‍රිස්ටෝපර් රෙන්, වෙලින්ටන් ආදිපාදවරයා, හා ජෝර්ජ් ස්ටීවන්සන් වැනි සම්භාව්‍නීය පුද්ගලයන්ගේ ය.

මේ කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් එංගලන්තයේ අරඹන ලද විශේෂ රෝහල් සියල්ල නම් කර ඇත්තේ ෆ්ලොරන්ස් නයිටිංගේල් රෝහල් හැටියට ය.

ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය අවුරුදු 90ක් ආයු වළඳා 1910 අගෝස්තු 13 වැනිදා ලන්ඩනයේ මේෆෙයාහිදී නිදි යහනේ දී ම මියගියා ය.

අවුරුදු චිත්‍රවලදී අපේ දරුවන්ට කොහා වැරදුණේ කොහොමද?

$
0
0

කොවිඩ් 19 වසංගතය පටන් ගනිද්දී ලෝකයේ අනිත් රටවල් වගේ ම අපේ රටත් ලොක් ඩවුන් වුණා. දිගට ම ඇඳිරි නීතිය දැමීම නිසා වෙනදා වගේ අවුරුදු කාලෙ නෑදෑයො වගේ ම යාළුවොත් එක්ක එකතුවෙලා කෙළි සෙල්ලම්වල යෙදෙන්න ළමයින්ට ඉඩප්‍රස්තා ලැබුණේ නෑ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඉදිරිපත් වුණු ටෙලිවිශන් නාලිකා ළමයින්ට ගෙදර වැඩ දුන්නා.

ඒ එකක් තමයි අලුත් අවුරුද්ද ගැන ගෙදර ඉඳන් චිත්‍ර ඇඳලා එවන්න කියන එක. මුහුණු පොත, වට්ස් ඇප් ආදිය හරහා එවලා තිබුණු චිත්‍ර රූපවාහිනිවලින් පෙන්වනවා දැකලයි මට මේක ලියන්න හිතුනෙ. ඒ වැඩි දෙනෙක් දරුවන් ‘කොහා’ගේ රූපය වෙනුවට ඇඳලා තිබුනෙ වෙන කුරුල්ලකුගේ රූපයක්!
කය පුරා විහිදුණු පුල්ලි සහිත කෙවිලිය හා (කොහෝ කියා නාද කරන) කොවුලා

අපේ දරුවන්ට මෙහෙම වැරදුනේ කුමක් නිසාද? නිරීක්ෂණයේ අඩුපාඩුවක් නිසයි. අවුරුදු කාලයට නිවස අසල උස් ගස්වල මුදුන් අතුවල ඉඳන් ‘කොහෝ, කොහෝ’ කියා නාද කරන මේ කුරුල්ලා දැක ගැනීම ටිකක් අපහසුයි. ඌ ඉන්නා තැන හඬ අනුව සොයා ගෙන නිරීක්ෂණය කරන්න පුලුවන්. හැබැයි මේක කරන්න ඕනෑ, ඌට නොදැනෙන්නයි. ගස් මුදුනේ ඉඳගෙන නාද කරන ඌ පහළ ගැන සෝදිසියෙන් ඉන්නා නිසා යම්තම් සෙලවීමක් වුනත් ඇති ඌට එතැනින් ඉගිලිලා යන්න. කල්පනාවෙන් බැලුවොත් ඔබට ඒ යන අතරතුර ඔබේ නිරීක්ෂණය ටිකික් දුරට කර ගන්න පුලුවන්.

අනිත් අතට අපේ දරුවන්ට වැරදුනේ රුපවාහිනී ප්‍රචාරක දැන්වීම්වල වැඩිහිටි චිත්‍රශිල්පීන් ඇඳපු සමහර චිත්‍රවල කොහා වෙනුවට කොහී, වැරදුනා! කෙවිලිය යොදපු නිසයි. ඇඟ පුරා පුල්ලි ඉහිල තියෙන්නෙ කොහාගෙ ගෑනු සතාගෙ, ඒ කියන්නෙ කෙවිලියගෙ. ආයිත් නොවරදින්න මේ කෝතිල පවුල ගැන තවත් විස්තර ටිකක් හොයල බලමු.
ආසියානු කොවුලා (Asian Koel) හෙවත් ඉන්දියන් කොවුලා (Indian Koel)

කෝකිලයා, කොවුලා, කොහා යන විවිධ පොදු නම්වලින් හැඳින්වෙන කුරුලු වර්ග ගණනාවක් ඉන්නවා. ඒ සියල්ලන් ම අයත් වන්නේ කෝකිල කුලයට (Cuculidae) යි. මේ කුලයට අයත් කුරුලු විශේෂ 12ක් ශ්‍රී ලංකාවේදි දැක ගන්න පුලුවන්. ඒ අතරින් ‘කොහෝ, කොහෝ’ යන මිහිරි නාදයෙන් කෑගසන්නේ කොවුලා හෙවත් කෝකිලයායි. හරියට ම කියනවා නම් ආසියානු කොවුලා (Asian Koel) හෙවත් ඉන්දියන් කොවුලා (Indian Koel) යි. උගේ සත්ව විද්‍යා නාමය Eudynamys scolopacea යි. කෝකිලයා හෙවත් කොවුලා වඩාත් ප්‍රචලිත කුරුල්ලා ලෙසින් සැලකෙනවා. හැම කොවුලෙක් ම මේ විදියට ‍’කොහෝ කොහෝ’ කියල නාද කරන්නේ නැහැ. අඩු තරමින් මේ කුරුල්ලාගෙ ගෑනු සතාවත් එහෙම කෑගහන්නේ නෑ.

මේ වර්ගයේ පිරිමි සතාගේ සිරුර ඝන නිල්වන් කළු පැහැයෙන් යුක්තයි. ඇස් රතුපාටයි. ගැහැනු සතාගේ සිරුර පුරා සුදු පුල්ලි සහිත ඝන දුඹුරු පැහයක් ගන්නවා. සත්කාරක කැදැල්ලෙහි ගත කරන කාලය තුළ පිරිමි ගැහැනු පැටවුන් එක වගෙයි. සිංහල අවුරුදු කාලයට ‘කොහෝ’ හඬ නඟන්නේ ඒ ඔවුන් බිත්තර දමන සමය වන නිසයි. අන් කාලවල දී වැඩිපුර ගස් තුරු මුදුන්වල සැඟවී ජීවත් වෙනවා. ඒ කාලයේ සිරිතක් ලෙස මෙහෙම හඬ නඟන්නේ නැහැ. ඒ වෙනුවට නගන්නේ වෙනස් හඬක්. බියක් ඇති වූ විටෙක නොනවත්වා කෑ ගසමින් පියාසර කරනවා. වැඩිපුර කන්නේ පලතුරුයි. ඒ නිසා ගෙවතුවල නිතරම දක්නට ලැබෙතත් ඝන වනාන්තරවලදී දැක ගත නො හැකියි.
ගැහැනු සතාගේ සිරුර පුරා සුදු පුල්ලි සහිත ඝන දුඹුරු පැහයක් ගන්නවා.

සමහර කොවුලන් අනික් කුරුල්ලන් වගේ කූඩු හදන්නෙ නැහැ. ඌ කරන්නේ වෙනත් කුරුල්ලකු තෝරා ගෙන උගේ කූඩුවේ බිත්තර දමන එකයි. ඌට ‘පරපුටු’ කියන්නේ ඒ නිසයි. මේ නිසා තමන්ගේ සත්කාරක කුරුල්ලාගේ බිත්තර දමන කාලය සමග සමපාත කර ගන්න ඌට සිද්ධ වෙනවා. මේ හේතුව නිසා දැන් අවුරුදු කාලේ පහුවෙලා තමයි කොවුලන්ගේ නාදේ වැඩිපුර ඇසෙන්නේ. මේ කොහෝ නාදය අගෝස්තු විතර වෙනකන් ඇහෙනවා. බිත්තර දමන කාලයට මේ විදියට කොහා කෑගහන්නේ උපායක් හැටියටයි. කොවුලා කපුටු කූඩුවක් හෝ කැහිබෙල්ලකුගේ කූඩුවක් හෝ අසල සිට මෙසේ නාද කරන විට කැදැල්ල අයිති කපුටු ජෝඩුව හෝ කැහිබෙලි ජෝඩුව ඌට කොටන්න පන්නනවා. ඌ ඈතට පියාඹා යනවා. ඔවුනුත් ඌ පසුපස හඹා යනවා. ඒ අතර කෙවිලිය හෙමින් සීරුවේ උන්ගේ කැදැල්ලට රිංගලා බිත්තර දෙකක් දමනවා.

ඊළඟට ඒ බිත්තරවලින් එළියට එන කොහෝ පැටවුන් ඊටත් වැඩිය කපටිකමක් කරනවා. ඔවුන් සත්කාරක පැටවුන්ට ඉඩ නොදී කුරුලු ජෝඩුව ගේන සියලුම කෑම ඉදිරියට පැන ගිල දමමින් සත්කාර පැටවුන්ට වඩා ශක්තිමත් ව වැඩෙනවා. සමහර සත්කාරක පැටවුන් කෑම නැතිව මිය යනවා. සාමාන්‍යයෙන් කෝකිල කුලයේ අනිත් කුරුලු පැටවුන් තමන් සමග කූඩුවේ ඉන්නා සත්කාරක කුරුලු පැටවුන් කූඩුවෙන් පිටතට ඇද දමන අවස්ථාත් තියෙනවා..
කෝකිල කුලයට අයත් ගෝමර කොණ්ඩ කොහාගේ (Pied Crested Cuckoo)

කෝකිල කුලයට අයත් ගෝමර කොණ්ඩ කොහාගේ (Pied Crested Cuckoo) බිත්තර දෙමලිච්චාගේ බිත්තරවලට සමාන නිසා ඌ බිත්තර දැමීමට තෝරා ගන්නේ දෙමලිච්චාගේ කූඩුවයි. ඒ කොහාගේ හිස මත කළුපැහැති කොණ්ඩයක් ඇති අතර උඩු කය කළු පැහැතියි, යටි කය සුදුයි. වල්ගා තුඩ සුදු පැහැතියි. අනික් අතට ඉන්දු කෝකිලයා (Indian Cuckoo) බිත්තර දමන්නේ කහ කුරුල්ලන්ගේ කූඩුවලයි. උගේ උඩු කය දුඹුරු මුසු තද කළුවන් අළු පැහැයක් ගනී. යටි කය සුදු පැහැතියි. ඒ මත කළු වයිරම් වැටී තියෙනවා. මේ කුරුල්ලාට සමාන හැඩ ඇති එහෙත් මඳක් කුඩා සිරුරක් ඇති පුංචි කෝකිලයා (Lesser Cuckoo) ද පරපුටු ගති ඇති නිහඬ කුරුල්ලෙක්.

කොහෝලා හැම දෙනාම පරපුටුවන් නෙවෙයි. තමන්ගේ ම කූඩු හදාගෙන අනුන්ට බරක් නොවී වාසය කරන අයත් ඉන්නවා. එයින් එකෙකි, වතනිල් මල් කොහා (Blue-faced Malkoha). උගේ මුහුණ නිල් පැහැතියි. ගත කොළ මුසු අළු පැහැතියි. උගේ කූඩුව විවෘත එකකි. අතු දෙබලක කෝටු එක්කර තනන ඊට කොළ කීපයක් අතුරා ගන්නවා. වරකට රළු සුදු බිත්තර දෙකක් දමනවා. ඌ වියළි කලාපයේ ලඳු කැලෑවල තමයි වාසය කරන්නෙ. පතන් මල්කොහා හෙවත් පතන් ඇටි කුකුළා (Srikeer Malkoha) ද තමන්ගේම කූඩුවක් සාදා ගන්නවා. උගේ හැසිරීම මඳක් ඇටි කුකුළාට සමානයි. පහත රට වියළි කලාපයේ පතන් බද කැළෑවල වෙසෙන, මේ කුරුල්ලා දැක ගැනීම එතරම් පහසු නැත.
ශ්‍රී ලංකා වතරතු මල්කොහා (Sri L mka Red-faced Malkoha)

ශ්‍රී ලංකාවට පමණක් අවේණික කුරුල්ලකු සේ සැලකෙන ශ්‍රී ලංකා වතරතු මල්කොහා (Sri Lanka Red-faced Malkoha) ද පරපුටුවෙක් නෙවෙයි. උෳ තමන්ගේ ම කූඩුවක් තනා ගන්නවා. ඒක උස් ගසක කඳට ළංවෙන්න රිකිල්ලක තැනූ ඇරුණු කූඩුවක්. රළු සුදු බිත්තර 2ක් හෝ 3ක් දමනවා. උගේ උඩු කය කොළ මුසු කළු පැහැතියි. යටි කය සුදුයි. මුහුණු රතුයි. වලිගය අග සුදුයි. කුරුල්ලගේ ඇස් දුඹුරුයි. කිරිල්ලියගේ ඇස් සුදුයි. ඔවුන් වෙසෙන්නේ උස් තුරු මුදුන්වලයි. බිත්තර දමන කාලයට ජෝඩු වශයෙන් ද අනිත් කාලවලදී රංචු වශයෙන් ද වාසය කරනවා. බොහෝ විට නිහඬ කුරුල්ලකු වන ඌ ඉඳහිට පිඹින්නාක් මෙන් හඬක් නඟනවා. තෙත් කලාපයේ වන වදුල්වලත් වියළි කලාපයේ ගංගා අසල කැලෑවල ජීවත්වෙන දුර්ලභ කුරුල්ලකු සේ සැලකෙනවා.

මේ ලිපිය ලියන මුලු කාලය තුළ ම කොහෙක් අපේ ගේ ඉස්සරහ තියෙන බෙලි ගහේ ඉඳන් කෑ ගහනවා. මම මේ ලිපිය ඉවර කළත් ඌ තාමත් උගේ ගායනය නැවැත්තුවේ නෑ.

ආදි මානවයාගේ ගින්දර පාලනය පිළිබඳ විස්මිත නව අදහස

$
0
0
අතිපුරාතනයේ මිනිසා බිහි කර ගත් නව අදහස් සොයා යන ගවේෂණ චාරිකාවක ප්‍රථම සටහන.

කාලය - ක්‍රිස්තු පූර්ව 1,600,000 පමණ. ස්ථානය - අප්‍රිකාව

මානව ඉතිහාසයෙහි මුලින් ම මිනිසා ඇති කරගත් නව අදහස ගින්දර පාලනයයි.

මෙය සිදු වූයේ නව හෝමෝ සාපියන් මානවයා බිහි වීමට පෙරයි. එහි ගෞරවය හිමි වන්නේ හෝමෝ ඉරෙක්ටස් මානවයාටයි. ඔහු මුලින් ම ගින්දර හඳුනා ගත්තේ සොබාදහමෙනි. එකල ගිනි ඇති වූයේ දැඩි හිරු රැස් නිසා හෝ අකුණු වැදීම නිසා ය. අයාලේ යමින් සිටි ඔහුට අහම්බයක් ලෙස ගිනිගත් ගසක් හමු විය. පළමු දසුනෙන් ම ඔහුගේ හිස ගිනි ගත්තේ ය. එයින් නිකුත්වුණු තාපය ඔහු ගත වෙළා ගත්තේ ය. ඒ එතෙක් නුදුටු බිහිසුණු සතෙකැයි සිතා ඔහු පැන දිව්වේ ය.
හෝමෝ ඉරෙක්ටස් මානවයා

මඳ දුරක් දිව ගිය ඔහු නැවතී ආපසු හැරී බැලුවේ ‘ඒ සතා’ තමා පසුපස හඹා එනවා ද කියායි. අනතුරක ලකුණක් නැත. ඔහු හෙමින් හෙමින් යළිත් ඒ වෙතට කිට්ටු කළේ ය. ඌ සිටි තැන ම හිඳිමින් ඉහළට ගිනි දලු විහිදුවමින් දුම් පිට කරමින් සිටියේ ය. මඳ වේලාවක් බලා හිඳි ඔහු තම අත වූ දණ්ඩෙන් ඌට ඇන්නේ ය. ප්‍රශ්නයක් නොවූයෙන් යළිත් වරක් ඇන්නේ ය. ඉන්පසු දණ්ඩ ඉවතට ගනිද්දී එහි අග ගිනිදැල් තිබෙනු දැක බිය වී එය එක්වරම අත හැරියේ ය. බිම වැටුණු දණ්ඩේ ගින්දරෙන් වියළි පරඬැල් පිළිස්සෙන්නට විය. ඔහු යළිත් බිය පත් වී පලා ගියේ ය.

හෝමෝ ඉරෙක්ටස්ට මුලින් ම ගින්දර හමු වූ අවස්ථාව, මානව පරිනාමය පිළිබඳ බීබීසී ආයතනය නිපදවූ රූපවාහිනී වැඩ සටහනක නිරූපණය කර තිබුණේ එසේ ය.

ඉන්පසු තවත් විටෙක දැඩි සුළං ඇති වෙලාවක ගස් දෙකක අතු එකිනෙක ඇතිල්ලෙද්දී ඉන් ගිනි පුපුරු නිකුත්වනු ඔහු නිරීක්ෂණය කළේ ය. කෝටු කැබලි දෙකක් එකිනෙක අතුල්ලා එය අනුකරණය කරන්න ඔහු උත්සාහ ගත්තේ ය. මහත් වෙහෙසක් ගෙන ඉන් ගිනිපුපුරු නැංවීමට ඔහු සමත් විය. ඒත් ගින්දර මතු කර ගැනීමට හැකි වූයේ නැත. ඒ සඳහා පරඬැල් එකතු කළ යුුතු බව ඔහුගේ ඉව ඔහුට කියා දුන්නේ ය. ආදි මිනිසා මිනිස් ශිෂ්ටාචාරයේ ලොකුම පිම්ම පැන්නේ මෙසේ ගින්දර නිපදවීමට හැකි වීමත් සමඟ ය.

හෝමෝ ඉරෙක්ටස් මානවයා ගින්දර නිපදවූ අයුරු දැක්වෙන 
මෙම නිර්මාණය මොංගෝලියාවේ ජාතික කෞතුකාගාරයෙනි.
මානව පරිනාමය - මෙහි මැද ගිනි හුළක් අතින් ගෙන ඉන්නේ 
හෝමෝ ඉරෙක්ටස් මානවයායි.

මිනිසා ගින්දර පාලනය කරන්න සමත් වීම මානව ශිෂ්ටාචාරයේ මුල් ම විශිෂ්ටතම සලකුණ විය. එය මානවයාගේ පරිනාමයට ඉමහත් බලපෑමක් ඇති කළේ ය. ගින්දර මිනිසාට නපුරු වන සතුන්ගෙන් ආරක්ෂා වීමට උදවු විය. අඳුර දුරලීමට උපකාරී විය. උණුසුම ලබා දෙමින් සීතලෙන් මිදීමට මග පෑදීය. ඒ වන තෙක් භාවිත මෙවලම් නිමවා ගැනීමට සහය දුන්නේ ය. එසේ ම ගින්දර පිසූ ආහාර කෑමට ගැනීමට ඉඩ සැලසීය. ආහාර විෂ බීජවලින් හා කෘමී සතුන්ගෙන් පමණක් නොව වෙනත් ක්ෂුද්‍රජීවීන්ගෙන් තොර කර ගැනීමට මග පෑදී ය. ආහාර අමුවෙන් ගිල දැමීම වෙනුවට පෝෂණ ගුණයෙන් පිරුණු පිසූ ආහාර අනුභවය කරන ලොව එකම සත්වයා බවට මිනිසා බවට පත් කළේ ය.

-පර්සි ජයමාන්න

ශ්‍රී ලංකාවේ දී හමුවන උසම කුරුල්ලා හඳුනා ගන්න!

$
0
0
ශ්‍රී ලංකාව කුරුලු ගහනය අනුව ඉතා ‍පොහොසත් රටක්. මෙරට කුරුලු විශේෂ 440ක් පමණ ඉන්නවා. ඉන් 236ක් මෙරට නිවැසියන්. 203ක් සංක්‍රමණිකයන්. ඉතිරිය ඉඳහිට ඇවිත් යන අයයි. අපේ රටේ නිවැසි කුරුල්ලන් අතරින් කුරුලු විශේෂ 33ක් හා උප විශේෂ 68ක් අපේ රටට ම ආවේණික වූ කුරුල්ලන්. ඒ අතරින් උසින් වැඩිම කුරුල්ලා කවරෙක්ද?
ගෙලකළු අලිමානාවා (Black-necked Stork)

අපේ රටේ ඉන්නා කුරුල්ලන් අතරින් උසින් වැඩි ම කුරුල්ලා සාමාන්‍ය මිනිසකු තරම් උස අලි මානාවායි. උසින් සෙන්ටි මීටර් 132ක් තරම් උසින් යුක්තයි. මේ වර්ගයේ කුරුල්ලන් විශේෂ කීපයක් ඉන්නවා. ඇතැම් තැනක මේ කුරුල්ලා ‘අලි කොකා’, ‘අලි මානකොකා’ යනුවෙන් ද හැඳින්වෙනවා. මේ ගණයේ කුරුල්ලන් ඉතා දුර්ලභ විශේෂ ලෙසයි, සැලකෙන්නේ.

මානාවන් අතරින් ලොකු ම කුරුල්ලා වූ මේ අලි මානාවා හඳුන්වන්නේ ගෙලකළු අලිමානාවා (Black-necked Stork) කියායි. සත්ව විද්‍යාත්මකව ඌ හැඳින්වෙන්නේ Ephippiorhynchus asiaticus කියායි. මේ කුරුල්ලාට ම තමයි, ආසියානු අලිමානාවා කියලත් කියන්නේ.
අලි මානාවා ඉගිලෙන විට ඉතා අලංකාර දසුනක් මවනවා.

අලිමානාවාට ඉතා දිගු විශාල හොටක් තියෙනවා. බැලූ බැල්මට ඔවුන්ගේ ගැහැනු-පිරිමි බව කියන්න අමාරුයි. වෙනසක් සොයා ගත හැක්කේ ඇහෙන්. පිරිමි සතාගේ ඇසේ තාරා මණ්ඩලය දුඹුරු පාටයි. ගෑනු සතාගේ තාරා මණ්ඩලය කහ පාටයි. ඒ හැරෙන්නට ඔවුන් දෙදෙනාගේ ම සිරුරේ පිහාටුවල වර්ණ පිහිටීම් සමානයි. හොඳින් වැඩුණු කුරුල්ලකුගේ හිස, ගෙල, හොට, උරපත් පිහාටු, දෑලේ පියාපත්වල මහ සහ මැදි ඇවිරි පමණක් නොව තෘතීයික පියාසර පිහාටු හා පෙඳය, ආදිය කළු පාටයි. පිල් කලඹේ අනෙක් කොටස් සුදු පාටයි. පාද රතුයි. නො මේරූ කුරුල්ලන් දුඹුරු සහ අඳුරු සුදු පැහැයෙන් හඳුනා ගත හැකියි.

ශ්‍රී ලංකාවේ හැරුණු විට මෙම මානා කුලයේ කුරුලු විශේෂ ඉන්දියාවේ සිට අග්නිදිග ආසියා රටවලට මෙන්ම ඕස්ට්‍රේලියා මහාද්වීපය තෙක් පැතිර වාසය කරනවා.

අපේ රටේ සිටින කුරුල්ලන් අතරින් අලි මානාවා, කෙතරම් දුර්ලභ කුරුල්ලකු ද කීවොත් මෑතක් වනතුරු යාල අභය භූමියේ කලපු ආශ්‍රිතව දක්නට ලැබුනේ 12ත් 17ත් අතර ගණනක් විතරයි. කලෙකට පෙර එක කුරුල්ලකු පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලමට නුදුරු ආනවිලුන්දාව වැව ආශ්‍රිතව දුටු බවට වාර්තා වී තියෙනවා. අතීත වාර්තාවලට අනුව මේ කුරුල්ලන් උතුරු හා ඊසාන දිග වෙර‍ළේ කලපු ආශ්‍රිතව දුටු බවට වාර්තා වුනත් අද ඒ පැතිවල එකෙකුවත් දක්නට නැහැ.
හීන් බහුරු-මානාවා.(Lesser Adjutant)

අලි මානාවා තරම් ප්‍රමාණයෙන් විශාල නැති වුනත් තවත් මානාවකු ශ්‍රී ලංකාවේ දැක ගන්න පුලුවන්. ඒ තමා හීන් බහුරු-මානාවා.(Lesser Adjutant) ඌ සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Leptoptilos javanicus කියායි. හොඳින් වැඩුණු පසු සෙ.මි. 115ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ පහත රට වියළි කලාපයේ ජීවත් වෙනවා.

ගෙලකළු අලිමානාවා ඉන්දියාවේ සිට මෙරටට වරින් වර එන සංක්‍රමණික කුරුලු විශේෂයක් කියලා සමහරුන් හැඳින්වුවද ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැන ජගත් කීර්තියක් දිනූ විශේෂඥයකු වූ ජී. එම්. හෙන්රි ඔහුගේ ‘ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැන මාර්ගෝපදේශක සංග්‍රහයේ’ දක්වා ඇත්තේ මේ අලි මානාවා මෙරට නිවැසි කුරුල්ලකු ලෙසයි. කෑම හොටින් රැගෙන යන කුරුල්ලන් නිරීක්ෂණය කර ඇති නමුදු ඔවුන්ගේ කැදැල්ලක් තාමත් කිසිවකු දුටු බවක් වාර්තා වී නැහැ. ඒ කැදැල්ල ජලාශ්‍රිත ප්‍රදේශයක පිහිටි උස් ගසක තනන, ප්‍රමාණයෙන් අති විශාල විවෘත එකක් යැයි ඉන්දියානු වාර්තාවලට අනුව කිවහැකියි. එවැනි කැදැල්ලක වරකට මිමි 75x54ක් වූ බිත්තර 2-4ක් පමණ දමන බව එරටින් වාර්තා වෙනවා..
සැඩ්ල්බිල්ඩ් ස්ටෝක් නම් අප්‍රිකානු අලි මානාවායි
ඇමෙරිකානු අලිමානාවා

අලි මානාවා අයත් වන ගණයට මේ ගෙලකළු අලිමානාවා හැරුණු විට තවත් ප්‍රමාණයෙන් විශාල කුරුල්ලන් දෙවර්ගයක් ඉන්නවා. ඉන් එක් වර්ගයක් සැඩ්ල්බිල්ඩ් ස්ටෝක් නම් අප්‍රිකානු අලි මානාවායි. ඒ නම ඌට ලැබී ඇත්තේ උගේ හොටේ උඩ හණුවේ මුල දීප්තිමත් කහ-රතු පැහැයෙන් යුත් සදෑල හැඩැති කොටස නිසයි. අනෙක් කුරුල්ලා ජබීරු නම් වූ ඇමෙරිකානු අලිමානාවායි. උගේ හිසෙහි හා ගෙලෙහි පිහාටු නැත. මේ කුරුල්ලා මෙක්සිකෝවේ සිට ආජෙන්ටිනාව දක්වා රටවල විසිරී ජීවත් වෙනවා.

- පර්සි ජයමාන්න

මහ සයුරේ අඩි 25,000ක් යට කිමිදෙන යෝධ බූවල්ලෙක් හමුවේ!

$
0
0
මේ යෝධ බුවල්ලා හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවාහී පර්යේෂණයක නිරතව සිටින ලෝක විද්‍යාඥයන් කණ්ඩායමකටයි. එසේ හමු වී ඇත්තේ මෙතෙක් යෝධ ඩම්බෝ බූවල්ලකු නොගිය තරම් ගැඹුරු සාගරයේදියි. මුහුද ඇති අධික පීඩනය නිසා මිනිසාට ඒ තරම් දුරක් කිමිදෙන්න බැහැ. මේ දර්ශන පටිගත කර ඇත්තේ සාගර පත්ලට හෙමින් සීරුවේ කිමිදෙන ගමන් අවට ඇති සියල්ල කැමරාවට නැගිය හැකි විශේෂ කුමුදුවක් මගිනුයි.

යෝධ ඩම්බෝ බූවල්ලාට ඒ නම ලැබුණේ උගේ හිස දෙපස ඇති අලි කන් සමාන වරල් දෙක නිසයි. මේ බුවල්ලා අයත් වන්නෙත් අනිත් බූවල්ලන් අයත් වන ග්‍රිම්බොටේයුදිස් ගණයටමයි. ඇතැම් විට මේ බූවල්ලන්ගේ අඬු වටා කුඩයක ආකාරයට විහිදෙන බද්ධ සම නිසා ඔවුන්ට ඡත්‍ර බූවල්ලන් ලෙසත් හඳුන්වනවා.


ලෝකයේ මහා සාගර පහේ වඩාත් ගැඹුරු ම තැන්වලට කිමිදෙමින් ඒ මට්ටමේ වෙසෙන සතුන් ගැන නිරීක්ෂණ කිරීමේ ‘පංච අගාධ ගවේෂණය’ නම් පර්යේෂණ ව්‍යාපෘතියක කොටසක් ලෙසයි ජාවා පර්යේෂක කණ්ඩායම ක්‍රියා කළේ. ජාවා දූපතේ වෙරළෙන් පිටත් වූ ජාවා අගාධ කණ්ඩායම ඔවුන්ගේ විශේෂ රොබෝ කුමුදුව එම අගාධ පත්ලට යැව්වා.

ඒ ගමනේ දී තමයි යෝධ ඩම්බෝ බූවල්ලාගේ මේ ලෝක වාර්තා ගත පිහිනුම වාර්තා කිරීමට හැකි වුණේ. ඔවුන් ඒ ගමනේ දී යෝධ ඩම්බෝ බූවල්ලන් දෙදෙනකු‍ නිරීක්ෂණය කළා. මුල් ම යෝධ ඩම්බෝ බූවල්ලා හමුවුණේ අඩි 19,000ක් ගැඹුරේ පිහිනමින් සිටියදියි. ජාවා අගාධයට හෙමින් හෙමින් බසින ගමන් දිය යට වීඩියෝ කැමරාවෙන් එවන් දර්ශන ඉහළ සිට නැරඹුවා. ඔවුන් එයින් විස්මයට පත් වුණා. යෝධ බූවල්ලෙකු මුහුද යට යනු දුටු වැඩි ම ගැඹුර ඒක තමයි.

මීට කලින් යෝධ ඩම්බෝ බූවල්ලකු ගිය වැඩිම ගැඹුර ලෙස වාර්තා වුණේ බාබෙඩෝස් ගැඹුරු මුහුදේ මුහුදු මට්ටමේ සිට අඩි 16,500ක් යටදියි. ඒ 1950දියි.

වැඩිවෙලාවක් ගියේ නෑ ඔවුන් වඩාත් විස්මයට පත් වුණේ අඩි 23,000දියි. ඒත් යෝධ ඩම්බෝ බූවල්ලෙක්. ඒ තමා බූවල්ලකු මුහුදේ යටට ගිය මෙතෙක් වාර්තා ගත වැඩි ම දුර. ඒ ගැන සඳහන් කරමින් ඒ ව්‍යාපෘතිය භාර ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ඇලන් ජේමීසන් කියන්නේ මෙහෙම දෙයක්. ‘මේ අනුව පෙනීයන්නේ බූවල්ලන් වැනි සතුන්ගේ පරිසරයට අනුගත වීමේ හැකියාවයි. ඔවුන්ට සාගර ජලයේ කොපමණ පීඩන වෙනස්කම් තිබුණත් ඒ සියල්ලට අනුව හැඩ ගැසෙමින් මුහුදේ ජල වපසරිය තුළ සියයට 99ක් ම තම ජීවන වටාපිටාව කර ගත හැකි බවයි.’

විද්‍යාඥ ජේමීසන් පැහැදිලි කරන ආකාරයට අනුව බූවල්ලාගේ පරිසරයට අනුගත වීමේ හැකියාව ලබා ගෙන ඇත්තේ ඌ සතු සෛලවල ඇති සුවිශේෂී හැකියාව නිසයි. ‘ඔබ හිතන්න, සෛලයක් කියන්නේ බැලූනයක් වගේ දෙයක් වගේ කියලා. ඒත් ඒක පීඩනයකදී පුපුරා යන්නට ඉඩ තියෙනවා. එත් පුපුරා යාමට ඉඩ නොදී පවත්වා ගෙන යාමට හැකි ජෛවරසායනික ක්‍රියාවලියක් බූවල්ලා තුළ තියෙනවා. සාගරයේ යට දී මුහුණ දීමට සිදු වන පීඩනයට හැඩ ගැසීම සිදු වන්නේ සෛල ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී තත්වයක් නිසයි.’ ඔහු තවදුරටත් පහදා දෙනවා.

මේ වගේ තවත් ව්‍යාපෘති හතරක් ලොව පුරා ක්‍රියාත්මක වෙනවා. ඒවා නම් පුවර්ටෝ රිකෝ අගාධය, මරියානා අගාධය, දකුණු සෑන්ඩ්විච් අගාධය, අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් විපත සිදු වූ මුහුදු පත්ල ද මීට අයත් වෙනවා. මේ වගේ නව සොයා ගැනීම් ඒවායෙනුත් වාර්තාවුනොත් ‘මල් කැකුළු’ ඔස්සේ ඒවා ද සමීප කරවීමට අප බලාපොරොත්තු වෙනවා.

 

ශ්‍රී පාද අඩවියේ ජීවත්වූ දුර්ලභ කළු කොටියා මර උගුලකින් මරුට!

$
0
0
පසුගිය ජනවාරියේ ‘මල් කැකුළු’ ඔස්සේ ශ්‍රී ලංකාවේ ඉන්නා අති දුර්ලභ කළු කොටියකු පිළිබඳ පුවතක් ගෙනාවා ඔබට මතකද? ශ්‍රී පාද අඩවියේ මෙවන් අපූරු සතකු ඉන්නා බව දුටු අය කියතත් උගේ පින්තූරවත් අපේ වනජීවී අය දැකලා තිබුණේ නැහැ. ඒ නිසාම ඔවුන් එදා කළේ ඌ යන බව කියන ඉසව්ව අල්ලා ස්වයංක්‍රීයව ක්‍රියා කළ හැකි ලෙස වීඩියෝ කැමරාවක් ඇටවීමයි. දින කීපයකින් ම ඔවුන් බලාපො‍රොත්තු ප්‍රතිඵල ලැබුණා. කළු කොටියා ඇවිද ගෙන යනු වීඩියෝ කැමරාවේ සටහන්ව තිබුණා. ඒ වීඩියෝ දසුන් අතර ‘බෝනස් දසුනකුත්’ තිබුණා. එවැනි කළු කොටි පවුලකුත් ඉන්නා බව හෙළි වුණා.

ශ්‍රී පාද අඩවියේ විසූ අති දුර්ලභ කළු කොටියා

ඒත් නල්ලතන්නියේ ලක්ෂපාන වතුයායේ කොනක පිහිටි වගා බිමක ඇටවූ උගුලකට අසුවී ඇති බව මැයි 26 වැනිදා උදේ වනජීවී නිලධාරින්ට දැන ගන්න ලැබුණා. උදේ 10ට ඔවුන් එහි ගියත් පශු වෛද්‍යවරයා එහි ආවේ සවස 2.45ටයි. පණ පිටින් සිටි නිසා අසුවී සිටි මන්ද ගලවා තුවාලවලට බේත් එතැනදීම කර ශ්‍රී පාද මුදා හැරිය හැකියයි වනජීවී නිලධ‍ාරීන් එහි ආ මාධ්‍යවේදීන්ට කීවත් පසුව ආ පශු වෛද්‍යවරයා කියා ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර පිණිස රෝගී සතා උඩවලව සත්ව රෝහල වෙත ‍ගෙන යායුතු බවයි. ඒ අනුව ඌ නිර්වින්දය කර කූඩුවක දමා ගෙන එහි ‍රැගෙන ගියා. අවාසනාවන්ත ලෙස ඌ එහිදී මියගොස් තියෙනවා.

කළු කොටියා මන්දට අසුවූ සිටි අයුරු.

නීතියෙන් සුරක්ෂිත කරන ලද මේ දුර්ලභ සතා අසුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් (නීති විරෝධීව අටවන ලද උගුලකට වීම) වන නිසා ඊට වගකිවයුතු තැනැත්තා අල්ලා හැටන් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලදුව ලක්ෂයක ඇප මත මුදා හැර තියෙනවා. ඒ සමග මේ සත්වයා ඉතා දුර්ලභ එකකු බැවින් උගේ ජාන නිදර්ශකයක් ලබා ගැනීමටත් එම සිරුර කල්තබා ගැනීමටත් වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ලබා ගත්තා. ඒ නිසා අනාගතයේදී ගල්ගමුව වනජීවී කෞතුකාගාරයෙහිදී අපට මේ සතා දැක ගන්නට හැකි වේවි.

සාමාන්‍යයෙන් වන සතකු මිය යාම පිළිබඳ මරණ පරීක්ෂණ සිදු කරන්නේ වනජීවියෙන් වුනත් මේ සතාගේ වැදගත්කම සලකා, ඒ සඳහා දැනටමත් වැඩි අවධානයක් යොමු වි තියෙන නිසා, මේ කළු කොටියා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට හැටන් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තියෙනවා. මේ නඩුව නැවත කැඳවීමට නියම වී ඇත්තේ ජූලි 29 වැනිදාටයි.

බොහොම දෙනෙකු මේ ගැන සංවේගයෙන් යුත් සටහන් දැනටමත් සමාජ ජාලාවල ලියා තියෙනවා. ඒ අතර ප්‍රකට පරිසරවේදියකු වූ නයනක රන්වැල්ල සිය මුහුණු පොත් ගිණුමේ මෙහෙම සටහනක් තබා තියෙනවා.

තුවාල ලබා සිටි කළු කොටියා නල්ලතන්නියේ සිට 
උඩවලවේ සත්ව රෝහලට ගෙන ගිය අයුරු 
නයනකගේ මුහුණු පොතේ දක්වා තිබුණේ මෙසේයි.

‘උඹ අපිට හැමදේටම වඩා වටිනවා.
එත් අපිට උඹව බේර ගන්න බැරි වුණා ...
උඔ වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් ගැන අපි හැමෝටම කිව්වා.නමුත් කවුරුත් ගණන් ගත්තේ නැහැ.ඊයේ උඹ අන්තිම වතුර ටික බොන හැටි අපි බලාගෙන සිටියා තිරය ඉදිරියේ. මේ මළ පුඩු අන්තිම නරකයි.ඒවා නවත්වන්න නිවැරදි වැඩ පිළිවෙළක් දියත් කරන්න කියලා අපි වනජීවීයට දශකයකටත් වඩා වැඩි කාලයක් කිව්වා.කවුරුත් ගණන් ගත්තේ නැහැ…’

නයනක රන්වැල්ලගේ මුහුණු පොතේ ගිණුමට ගියොත් ඔබට එහි තවත් විස්තර කියවන්න පුළුවන්.

ශ්‍රී ලංකා කොටියා - නීතියෙන් අධි ආරක්ෂිත සතෙක්

අපේ රටේ ඉන්නා ඉතාමත් අලංකාර සත්වයකු වන ශ්‍රී ලංකා කොටියා නීතියෙන් අධි ආරක්ෂිත තත්වයක් හිමි සුවිශේෂී වූ ජීවියෙක්. ඌ විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ ‘පැන්තේරා පාඩුස් කොටියා’ (Panthera pardus kotiya) කියායි. මේ සතුන් දැනට සංඛ්‍යාත්මකව ඉන්නේ දහසකටත් අඩු ප්‍රමාණයක්. 2015 දී කොටියන් 700-950ක් පමණ වී යැයි විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙනවා. එයිනුත් අඩකටත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ විල්පත්තු අභයභූමියෙහියි.

පසුගිය මාසය තුළ පමණක් මිනිසුන් විසින් අට වන ලද උගුල්වලට අසු වූ නාඹර කොටියන් තුන් දෙනකු ම මිය ගිය බවට වාර්තා වුණා. එකෙක් උගුල කඩා ‍‍ගෙන ගියත්, ගෙල සිර කළ මන්දත් සමඟ ගසක් මත අසරණව සිටියදී වනජීවී නිලධාරිනට හමුවුණා. මහත් පරිශ්‍රමයක් යොදා ඌ ගසෙන් බස්සවා ගෙන ප්‍රතිකාර කළත් ඌ බේරා ගැනීමට නොහැකි වුණා. මේ ලියන මොහොතේ දීත් මන්දකට අසු වූ කොටියකු යටියන්තොටදී හමුවුණා. කොටින් ම කියතොත් කොටියාට එල්ල වී ඇති වඳ වී යාමේ තර්ජනය හරිම බරපතලයි.

දිවයිනේ ප්‍රකට පරිසරවේදියකු හා ක්‍රියාකාරිකයකු වූ නීතීඥ ජගත් ගුණවර්ධන මේ පිළිබඳ ඇති නීතිමය තත්වය පහදමින් පසුගියදා බීබීසී සිංහල සේවයට මෙසේ අදහස් දක්වා තිබුණා. ‘වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 30 වන වගන්තියේ, දෙවන උප වගන්තිය අනුව කොටියා දැඩි ලෙස ආරක්ෂිත ක්ෂීරපායි සතෙක්. එවන් සතෙකු අල්ලා ගැනීම, තුවාල කිරීම, මරණයට පත්වෙන විදියේ තත්වයක් ඇති කිරීම වරදක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේවගේ දේවල් නොකරන්න, මිනිස්සුන්ට ආදර්ශයක් දෙන විදියේ කටයුතු කරන්න මේ අවස්ථාවේදී පුළුවන් වෙයි කියලා.’

මේ සතුන් රැක ගැනීම නීතියෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා මහජන සහයෝගයත් ඕනෑ. ඒකට ජනතාව දැනුවත් කිරීම හා දැනුවත් වීම ඉතා වැදගත්.

- පර්සි ජයමාන්න

වසර 3600කට පෙර නව යොවුන් මනාලියකගේ මමියක් මිසරයෙන් මතුවෙයි!

$
0
0
වර්තමාන ඊජිප්තුවේ (පැරණි මිසරයේ) ලක්සූර් හි සොහොන් ගැබකින් යොවුන් මනාලියකගේ වටිනා විසිතුරු මාල, අරුන්ගල් ඇතුළු කනකර අබරණ සහිත මංගල ඇඳුම් කට්ටලයක් හා නව යොවුන් දැරියකගේ මමියක් සොයා ගැනීමට ස්පාඤ්ඤ පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. ඇය මිය යන අවස්ථාවේ දී 15 හෝ 16 හැවිරිදිව සිටින්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. ඇය සමග ඇති කනකර අබරණ ඇය විවාහයට පත් වන අවස්ථාවේ දී දායාද වශයෙන් දෙන ඇඳුම් කට්ටලයට අයත් ඒවා ලෙස සැලකෙනවා.
ඊජිප්තුවේ කැණීම් කළ ස්පාඤ්ඤ පුරාවිද්‍යාඥයන් 
පිරිසකට හමු වූ දැරියකගේ මමිය තිබූ පෙට්ටිය

මේ යොවුන් දැරියගේ දෙකන්වල සර්පිලාකාර අරුංගල් දෙකක් පැලඳ සිටි අතර ඉන් එකක් තඹ ආලේප කර තිබූ බවක් පෙනෙනවා. ඇඟිලිවල මුදු දෙකක් දමා තිබුණා. ඇගේ ගෙල වටා කීප වටයක් ඔතා පලඳින මාලයක් ද ඔවුන්ට එහි තිබී හමු වුණා. ඒ සමග ඉතා සුරක්ෂිතව පැවති සමින් නිම කළ කාන්තා පාවහන් යුගලක් ද හමු වී තියෙනවා.

වටිනා අබරණවලින් සැරසුණු මේ යොවුන් දැරිය ජීවත්ව සිට ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1580ත් 1550ත් අතර මිසරයේ 17 වැනි ඩිනස්ටිය පැවති සමයේදියි. එනම් මීට වසර 3600කට පමණ පෙරයි.

මේවා හමු වී ඇත්තේ ඊජිප්පතුවේ ලක්සූර් අසල කැණීම් කරද්දීයි. අඩි 5 අඟල් 1ක් පමණ උස ඇති මෙම දැරියගේ සිරුර කපු පොරෝනයකින් ඔතා තැන්පත් කර තිබුණේ අඩි 5 අඟල් 7ක් දිග දැවයෙන් නිම කරන ලද පෙට්ටියකයි. විද්‍යාඥ පිරිස කියන්නේ ඒ මමිය හොඳින් සංරක්ෂණය කර නොතිබූ බවයි. එහෙත් මිනී පෙට්ටිය ඉතා හොඳ තත්වයෙන් තිබුණු බව ඔවුන් පවසනවා. සිකැමෝ ගසක දැවයෙන් නිම කළ ඒ මිනී පෙට්ටිය සුදු හුණු ගා රතු පැහැයෙන් ආලේප කර තිබූ බව පර්යේෂකයන් කියනවා.
දැරියගේ මංගල ඇඳු‍ම් කට්ටලයට අයත් යැයි සැලකිය හැකි ආභරණ

මෙම පුරාවස්තුව අයත් වන්නේ පහළ ඊජිප්තුවේ හයික්සොස් (Hyksos) පාලනය පැවති කාලයටයි. ඒ කාලයේ මිසරයේ පාරාවන් රජකම් කළේ තීබ්ස් අවට ප්‍රදේශයේයි.

මේ දැරියගේ සොහොන තිබී ඇත්තේ ලක්සූර් බටහිර ඉවුරේ ඩ්‍රා අබුල් නාගා සෙහොන් බිමෙහියි. එහි මිනිය දිරාපත් වී තිබුණද ඇය පැලඳ සිටි අබරණ ඉතා හොඳින් සුරැකිව පැවතීම විද්‍යඥයන්ගේ මවිතයට හේතු වුණා. 
අසාමාන්‍ය ලෙස විචිත්‍ර මාලයක් ල

ඇගේ එක් ඇඟිල්ලක වූ මුදුවක් ඇට කැබල්ලකින් නිර්මාණය කළ එකක් වූ අතර අනෙක් මුදුව ලෝහයෙන් නිමා කොට නිල් ගලක් අල්ලා තිබුණා. ගෙල දමා තිබුණු මාල හතර සෙරමික්වලින් නිමවූ ඔබ මට්ටම් කළ අමුණනයකින් එක්කොට තිබුණා. මාල හතර එකකට එකක් නොපරදින තරමේ අලංකාරයකින් ද දිගින් අඟල් 27.5ත් 24ත් අතර ප්‍රමාණයෙන් ද යුක්ත වුණා. එක මාලයක් වටකුරු සුමට පබළු අමුණා, ඒවා අතරට ලා නිල් හා තද නිල් පබළු සිටින සේ සකසා තිබුණා. තවත් මාලයක් කොළ හා වීදුරු පබළුවලින් නිමවා තිබුණා. තුන්වැන්න අසාමාන්‍ය ලෙස විචිත්‍ර මාලයක් ලෙස ඔවුන් හඳුන්වනවා. සිව්වැන්න වට කීපයකින් පැලඳිය හැකි දිගු මාලයක් වූ අතර එහි ‍දෙකොන අමුණා තිබුණේ පලමුදුවකින්.

ඇගේ මිනී පෙට්ටිය තුළ මමිය පසෙකින් මැටියෙන් තැනූ කුඩා ‘මිනී පෙට්ටියක්’ තැන්පත් කර තිබුණා. ඒ තුළ ලිනන් රෙද්දකින් එතූ උෂාබ්ටි (ushabti) දැව පිළිරුවක් තිබුණා. පැරණි මිසර මිනී පෙට්ටි තුළ මෙන් ම සොහොන් ගැබ් තුළ මෙවැනි පිළිරූ තැන්පත් කිරීම එකල පැවති චාරිත්‍රයක්.
හෝරස් ඇසක රුවක් කෙටූ

‘මෙහි තිබූ කාන්තා පාවහන් යුගල ඉතාමත් හොඳ තත්වයෙන් ආරක්ෂා වී තිබීම විස්මයජනකයි. වසර 3600ක් පැරණි එකක් කිව නොහැකි තරම් අලුත්’ කියා ජෝස් ගලාන් කියනවා. ඔහු තමා මේ ‍පුරා විද්‍යා මෙහෙයුම කළ නියමුවා. පාවහන් රතු පැහැය ආලේප කර තිබුණා. ඒවා මත බෙස් දෙවියන්ගේ හා තවරට් දේවතාවියගේ රූපත්, බළලුන් යුගලක රූ හා ඉබෙක්ස් එළු රුවක් සමඟ සෙව්වන්දියක රුවක් කොටා තිබුණා.

‘මේ පාවහන් ඒ කාන්තාවට අයත් ඒවා වෙන්න ඇති. මේවා ක්‍රීඩාවලදී හෝ නැටුම්වලදී ඇය පලඳින්න ඇති’ ගලාන් කියනවා. ‘මෙහි ඇති ඇති වටිනා දේවල් පුදුම සහගතයි. මේ තරම් තරුණ වයසේ කාන්තාවකට අයත් මෙවන් මංගල ඇඳුම් කට්ටලයක් හා රන් අබරණ ඇතුළත් මෙතරම් වස්තු සම්භාරයක් මේ තරම් චාම් මිනී පෙට්ටියක දමා තිබීමත් මවිතයට කරුණක්’ ඔහු වැඩිදුරටත් කියනවා.
අරුංගල් ජෝඩුවක් හෝ කෙළි බඩුවක් ?

මේ දැරියගේ මිනීපෙට්ටිය තවත් මෙවැනි මිනීපෙට්ටි රාශියක් සමග කැණීම් කළ සොහොන් බිමක අතහැර දමාගොස් තිබුණා. ‘ඒක සාමාන්‍ය දෙයක් නිදන් වස්තු කොල්ලකරුවන්ගේ වැඩ ගැන බලන කොට. ඔවුන් සොයන්නේ පුරාවස්තු නොවෙයි. රත්තරන්, මුතුමැණික් වටිනා ලෝහ ආදියයි. මේ තියෙන ඒවත් ඔවුන්ට වටිනවා. ඒත් මේ ස්ථානයේ අඳුරු ස්වභාවයත්, ඔවුන්ගේ කඩිමුඩියත් නිසා මේවා ඔවුන් දැක නැහැ. එක මිනියක කල්පැවැත්ම සඳහා යොදා තිබුණු හෝරස් ඇසක රුවක් කෙටූ ටින් තහඩුවක් පවා ඔවුන් ගෙන ගොස් නැහැ. කුමන හෝ හේතුවක් නිසා ඔවුන් එතැනින් ඉක්මනින් ඉවත් වී තියෙනවා. ටින් ඒ කාලේ ඉතා දුර්ලභ වටිනා ලෝහයක්. මෙවැනි දේවල් කොල්ලකරුවන්ට අසු නොවී තිබීම මවිතයට කරුණක්.’ ගලාන් ඒ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.

සූර්යයා බලා යන යුරෝපා අභ්‍යවකාශ යානයට අතරමගදී පුදුම හමුවීමක්!

$
0
0
යුරෝපීය අභ්‍යවකාශ ආයතනය (ESA) විසින් සූර්යයාට ළං වී ගවේෂණය කරනු සඳහා පසුගිය පෙබරවාරියේදී යවන ලද අභ්‍යවකාශ යානයට හදිසියේ ම අතරමගදී අනපේක්ෂිත, අමුතු මිතුරකු මුණ ගැසීමට සිදු වී තිබෙනවා. ඒ සූර්යයාගේ පරිවාරක වල්ගා තරුවක් වූ ඇට්ලස් ධූම කේතුවයි.
යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මගින් සූර්යයා වෙත යැවූ 
සෝලර් ඕබිටර් නිරික්ෂණ යානය මේ දිනවල 
ඇට්ලස් ධූම කේතුව හරහා යන හැටි චිත්‍රශිල්පියකුගේ ඇසින්.

මේ වන විට ඒ යානය තියෙන්නේ ඒ වල්ගාතරුවේ වල්ග කොනේයි. මේ හමුවීම විද්‍යාඥයන් කලින් සැලසුම් කළ එකක් නෙවෙයි. කොවිඩ් 19 හේතුවෙන් යුරෝපය වසා දැමීම නිසා වූ දෙසතියකට පසු යළි වැඩ පටන් ගත් ඔවුන්ට පෙනී ගියා යානය ධූම කේතුවේ වල්ගය හරහා යන බව. වහා ක්‍රියාත්මක වූ විද්‍යාඥ පිරිස මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කල්පනා කළා. පොළොවේ සිට උපදෙස් දෙමින් ඔවුන් ඊට මග පෑදුවා.
උඩු ගුවන් ගත කළ පසුව යානය සූර්යයා බලා යන අතර 
මෙහෙයුම් මැදිරිය කෝවිඩ් 19 නිසා සතියක් වසා තැබීමට සිදු වුනත් 
ඔවුන් යළි ආරම්භ කෙටි කාලයකින් පරීක්ෂණ කීපයක් සිදු කර 
යානය සැලසුම් කර ඇති පරිදි නිවැරදි ව ක්‍රියාකරන බව 
සහතික කර ගැනීමට ඔවුන්ට සිදු විය.

පෙබරවාරි මාසයේ දියත් කළ පසු යානයේ ගමන් මග. මුලින් පෘථිවියේ ගුරුත්වයත් ඊළඟට සිකුරුගේ ගුරුත්වයත් යානයේ ගමන මග සකසා ගැනීමට යොදා ගැනේ.


සූර්යයාට ළං වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු උපකරණවලින් කීපයක් කලින් ක්‍රියාත්මක කිරීමෙන් වල්ගා තරුවේ තොරතුරු එකතු කර ගැනීමට ඔවුන් දැන් යුහුසුලු වෙනවා. මෙය විරල අවස්ථාවක් හැටියටත්, විද්‍යාවට ලැබුණු බෝනස් එකක් ලෙසත් ඔවුන් සලකනවා.

යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ සූර්ය ඕබිටර මෙහෙයුමේ විද්‍යාඥයන් අභ්‍යවකාශ යානයේ උපකරණවලින් හතරක් ම කලින් ක්‍රියාත්මක කළා. ඒ අනුව එක්රැස් කර ගන්නා තොරතුරු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ මුලාඩ් අභ්‍යවකාශ විද්‍යා රසායනාගාරයේ ග්‍රහ ලෝක විද්‍යාඥ ගැරියන්ට් ජෝන්ස්ට ලබා දෙනවා.

මේ නිරීක්ෂණ යානය ධූම කේතුව නිකුත් කරන ධූලි හා ආරෝපිත අංශු, හිරුගෙන් නිකුත්වන සූර්ය විකිරණවලින් සෙමින් වාෂ්පීභවනය වන විට ඒ පිළිබඳ දත්ත රැස් කර පොළොවට එවනවා. මේ යානය ධූම කේතුවේ න්‍යෂ්ඨියේ සිට කි.මී මිලියන 44ක් මෙහායින් වල්ගා තරුවේ දැවැන්ත වල්ගයට ඇතුළු වුණා. ඒ ගිය මැයි 31 හා ජූනි 1 යන දෙදින තුළයි. එය එහිදී වල්ගා තරුවේ වල්ගයෙන් නිකුත්වන අයන ධාරාවට මුහුණ දී ඒ දත්ත එවන්න පටන් ගන්නවා. ඉන්පසු ජූනි 6 වැනිදා වල්ගයේ ධූලි වලාව හරහා යමින් තොරතුරු එවාවි. 

යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ විශේෂඥයන්ට අනුව මීට කලින් ධූම කේතු වල්ගා හරහා මෙවැනි ගමන් යෙදී ඇත්තේ අවස්ථා හයකදී පමණයි. ඒත් ඒ හැම එකක් ම අප දැන ගත්තේ ඒවා සිදු වූවාට පසුවයි. මුණ ගැසීමට කලින් සැලසුම කර ගැනීමට හැකි වූයේ මේ වතාවේ දී පමණයි.

සූර්යයාට ආසන්නයෙන් යන ඇට්ලස් වැනි ධූම කේතුවක් නිරීක්ෂණය කරන්න ලැබීම එක අතකින් වාසනාවක්. ‘විද්‍යාත්මක සොයා ගැනීම් උදා වන්නේ හොඳින් කරන සැලැසුම්වලින්. ඒ වගේ ම ඒකට වාසනාවත් අවශ්‍යයි. අපි දැන් ඒ දෙකට ම මුහුණ දීම අපට අවස්ථාව සැලසී තියෙනවා. ‍ඇට්ලස්ගෙන් අපට ලැබෙන්නේ මොනවාද ඒ සියල්ල ලබා ගන්න අප සූදානම්.’ යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ සූර්ය ඕබිටරයේ ව්‍යාපෘති විද්‍යාඥ ඩැනියල් මලර් කියනවා.

විද්‍යාඥයන් විශ්වාස කරනවා, ධූම කේතුවේ අයන ධාරා සහිත වල්ගය ප්‍රමාණවත් තරම් ඝනකම ඇතැයි කියා. එසේ වුවහොත් සූර්ය ඔබිටරයේ චුම්බකමානයට හැකි වේවි එහි ඇති අයන ධාරා උපයෝගී කර ගෙන අන්තරීක්ෂ චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රතික්‍රියා ගැන දත්ත අපට එවන්නට.

ඒ විතරක් නොවෙයි යානයේ ඇති සූර්ය සුළං විශ්ලේෂකයට හැකි වේවි වල්ගයේ ඇති ආරෝපිත අංශු කෙළින් ම ලබාගෙන විශ්ලේෂණය කර දත්ත සම්ප්‍රේෂණය කරන්නට. ඒ වගේ ම තවත් පැති ගණනාවකින් තොරතුරු ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ජූනි 15 වැනිදා වන තෙක් ඒ තොරතුරු ලබා දීමෙන් පසු ඕබිටර් යානය යළි උපකරණ සකස් කර ගෙන තමන්ට අයත් මෙහෙවර සඳහා හිරු බලා යනු ඇති.

යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ මෙහ‍ෙයවීමෙන් සූර්යයා වෙත යැවෙන මෙම සෝලර් ඕබිටර් නිරික්ෂණ යානය උඩුගුවනට යවන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහී කැනවරල් තුඩුවෙනි. ඒ තුළ මේ මෙහෙයුම සඳහාම සැලසුම් කළ දුරේක්ෂ 10ක් හා ඍජු සංවේදක උපකරණ 10ක් සවි කර තියෙනවා.
මෙම යානය සූර්යයාට කිලෝ මීටර් මිලියන 43ක් තරම් 
දුරකට ආසන්න කක්ෂයක යමින් සූර්යයා මතුපිට නිරීක්ෂණය කරනවා.

මෙම යානය සූර්යයාට කිලෝ මීටර් මිලියන 43ක් තරම් දුරකට ආසන්න කක්ෂයක යමින් සූර්යයා මතුපිට නිරීක්ෂණය කරනවා. මෙහිදී සූර්යයාගේ උතුරු හා දකුණු ධ්‍රැව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි. සූර්යයාගේ පිටත වායුගෝලයේ විශේෂයෙන් ම කොරෝනාවේ සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් ගැනත් මෙම යානය යොදා ගෙන පරීක්ෂා කරන්නටද විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මේ කලාපයේ තමයි, ආරෝපිත අංශුවලින් සමන්විත සූර්ය සුළං (solar winds) හටගන්නේ. අභ්‍යවකාශයට මුදා හැරෙන ඒවා නිසා තමයි, අපේ පෘථිවියේ ඉලෙක්ට්‍රොනික උපකරණ අක්‍රිය කෙරෙන්නේ. සුර්ය සුළං ඇති වීමට හේතු වශයෙන් අප දැනටමත් දන්නා දෙයට වඩා වැඩි යමක් මේ නිරීක්ෂණ යානයෙන් ලැබෙන තොරතුරුවලින් දැන ගත හැකි වේවි යැයි අපේක්ෂා කරනවා.

සූර්යයාට වඩාත් ළං වන අවස්ථාවල දී සෙල්සියස් අංශක 600කට හෝ ෆැරන්හයිට් අංශක 1,112කට තරම් උෂ්ණත්වයක් දැරීමට මේ යානයට හැකියාව තියෙනවා.

මෙම සූර්ය ඔබිටර් යානය 2018 අගෝස්තුවේ දී ඇමරිකාවේ නාසා ආයතනය විසින් හිරුගේ කොරෝනාව අධ්‍යයනය සඳහා යවන ලද පාකර් සූර්ය නිරීක්ෂණ යානය සමඟ ද සමීපව කටයුතු කරනු ඇති.


-        පර්සි ජයමාන්න

ලොව පැරණිතම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය මිහිඳු මාහිමියන්ගේ ද?

$
0
0
අද පොසොන් පොහෝ දිනයයි. බෞද්ධයන් එය සලකන්නේ වෙසක් පොහොයට පමණක් දෙවැනි කොටයි. මහින්දාගමනය සිදු වූයේ වසර 2256කට පෙර අද වැනි දිනකයි. බෞද්ධ ශිෂ්ටාචාරය සිංහලද්වීපයෙහි ස්ථාපිත වූයේ එදා සිදු වූ ඒ අසිරිමත් හමුවීම නිසයි. ඒ අපූරු සිදුවීම මහාවංශයේ ගුණපාල වීරසේකර සංස්කරණයේ දැක්වෙන්නේ මෙසේ ය:

‘එදා ලක්වැසියන්ගේ මහා උත්සව දිනයකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන් හට දිය කෙළි විධාන කොට තමා මුව දඩයමට යාමට පිටත් ව හතළිස් දහසක් සෙනඟ පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයෙහි අධිගෘහික දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝ‍ණෙකුගේ වේසය මවා ගෙන තණ පඳුරක් කමින් සිටින්නා සේ දැක්වීය. කෑම කමින් සිටි සතාට විදීම හොඳ නැතැයි සිතූ රජතුමා ගෝණාට ඇසෙන්නට දුනුදිය ශබ්ද කළේය. ගෝණා එය අසා පර්වතයේ අනෙක් පැත්තට දිව්වේය. තමා ලුහුබැඳ ආ රජතුමා මිහිඳු හිමියන් දකින විට ගෝණා අන්තර්ධාන විය.


‘හැම දෙන එකවර දුටුවහොත් රජු වැඩියක් ම භය වෙතැයි සිතූ මිහිඳු හිමියෝ පළමු ව තමන් වහන්සේ පමණක් රජුට දැක් වූහ. උන්වහන්සේ පමණක් දැකීමෙන් ද රජතුමා භයට පත් විය. ‘එන්න තිස්ස’ යැයි කියූ මිහිඳු හිමියන්ගේ වචනය ඇසූ රජතුමා ඒ යක්ෂයෙකැයි සිතා වඩාත් භයට පත් විය.’

‘මහ රජාණෙනි, අපි ධර්මරාජ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ’යි මිහිඳු හිමියෝ වදාළහ. රජුගේ බිය පහ විය. තමාගේ මිත්‍රයා වන අශෝක රජතුමන් විසින් එවන ලද පණිවිඩයද රජුට සිහි විය. මේ වනාහි අශෝක රජුගේ ලියුමෙහි සඳහන් වන බුද්ධ ශ්‍රාවකයන් ගෙන් කෙනෙක් යැයි නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා තෙරුන් වහන්සේට ළංව හිඳ ගත්තේය.

'රජතුමා සමග ගිය පිරිස ද අවුත් රජු පිරිවරා සිට ගත්තා ය. මිහිඳු හිමියෝ ද තමන් සමග පැමිණි අනෙක් සදෙනා දැක් වූහ.
රජතුමා උන්වහන්සේලා දැක, ‘මොහු කවදා ආවෝදැ’යි විචාළේ ය.
‘මා සමග යැ’යි තෙරුන් වහන්සේ වදාළහ.
‘මෙ බඳු වූ තවත් ශ්‍රමණයෝ දඹදිව සිටිත් දැ’ යි රජතුමා ප්‍රශ්න කළේ ය.
 ‘මහරජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබලන්නේ ය. එහි වනාහී ත්‍රිවිද්‍යාධාරී, සෘද්ධිබලධාරී, පර සිත් දන්නා, දිව්‍යශොත්‍රලාශී මහරහතන් වහන්සේලා බොහෝ හ’යි මිහිඳු හිමියෝ වදාළහ.
‘වැඩියේ කුමකින්දැ’යි රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු හිමියෝ ‘ගොඩින් හෝ දියෙන් හෝ නො ආම්හ’යි පිළිතුරු දුන්හ. අහසින් වැඩි බව රජතුමා දැන ගත්තේය.

මිහින්තලා පර්වතය අද දිස් වන්නේ මෙසේය.

’මෙ‍ සේ ටික වේලාවක් පිළිසඳර කතාවෙහි යෙදී සිටි පසු මිහිඳු මා හිමියෝ රජතුමන්ගේ නුවණැති බව දැන දැන ම තවදුරටත් සෝදිසි කරනු පිණිස ප්‍රශ්න කළහ. ඇසු ඇසූ පැණයට රජතුමා ව්‍යක්ත ලෙස පිළිතුරු දුන්නේය. (මෙය අඹ රුක පිළිබඳ ප්‍රශ්නය ලෙස හැඳින්වෙයි. මිහිඳු හිමියන් ඒ සංවාදය අරඹන්නේ අසල තිබූ අඹ ගසක් දෙස බලමිනි.)

‘මහරජ මේ ගසේ නම කුමක්ද?’යි ළඟ තිබුණු අඹ ගසක් දැක් වූ මිහිඳු හිමියෝ රජුගෙන් විචාළහ.
‘ඒ අඹ නමි’යි රජතුමා පිළිතුරු දුන්නේ ය.
ඊළඟට වූ ප්‍රශ්නෝත්තර මාලාව මෙසේ ය.
මිහිඳු හිමියෝ: ‘මේ හැර තවත් අඹ ගස් තිබේ ද?’
රජතුමා: ‘බොහෝ අඹ ගස් ඇත.’
මි‍: ‘මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?’
ර: ‘ස්වාමීනි, බොහෝ ගස් ඇත. ඒ අඹ ගස් නොවේ’
මි: ‘ඒ අඹත් නො අඹත් හැර තවත් ගස් තිබේ ද?’
ර: ‘ස්වාමීනි, මේ අඹ ගහ’
මි: ‘මහරජ තොප පණ්ඩිතයෙහි’
මි: ‘මහරජ තොපගේ නෑයෝ සිටිත් ද?’
ර: ‘බොහෝ දෙනෙක් සිටිති’
මි: ‘නො නෑයොත් සිටිත් ද?
ර: ‘ස්වාමීනි, බොහෝ නො නෑයෝත් සිටිති’
මි: ‘ඒ නෑයනුත් නො නෑයනුත් හැර අනෙකෙකුත් සිටියි ද?’
ර: ‘ඇයි ස්වාමීනි, මම’
මි: ‘මහරජ තොප පණ්ඩිතයෙහි’


තිස්ස රජතුමා හොඳ නුවණැතියෙකු දැන ගත් මිහිඳු හිමියන් වහන්සේ රජහට චූලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි රජතුමා හතළිස් දහසක් පිරිස මග තිසරණයෙහි පිහිටියේ ය. (145-147 පිටු)

සටහන: වර්තමානයෙහි අප කෙනකුගේ බුද්ධිය, එනම්, වටහා ගැනීමෙහි ඇති ශක්තිය, මැන ගැනීමට යොදා ගන්නා බුද්ධි පරීක්ෂණයක ස්වරූපයෙන් වූ මේ සංවාදය මිහිඳු මා හිමියන් හා දෙවනපෑතිස් රජතුමන් අතර සිදු වූයේ ක්‍රිස්තු පූර්ව 236 දී පමණ ය. මෙය ලිඛිත සටහනක් ලෙස දැක්වෙන්නේ පාලි‍යෙන් කරන ලද මහාවංස ප්‍රථම භාග‍යෙහිය. එහි කර්තෘ වරයා වන්නේ ධාතුසේන රජ සමයේ (ක්‍රිස්තු වර්ෂ 455-473) මහා විහාරයෙහි විසූ මහානාම් තෙරුන් වහන්සේ යැයි මහාවංස ටීකාවෙහි දැක්වෙයි. මීට වසර 2256කට පෙර සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලේඛන ගත කෙරුණේ මීට වසර 1500කට පෙරය. එ් නිසා එය ලොව පැරණිතම බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයයි. එහි ගෞරවය හිමි විය යුත්තේ මිහිඳු මාහිමියන්ටය.

සුදු මුහුදේ අයිස් යට අධි ශීතල අඳුරු කලාපයේ විස්මිත සතුන් හමුවන්න!

$
0
0
හෙට (ජූනි 8 වැනිදා) ලෝක සාගර දිනයයි. ඒ නිමිත්තෙන් ‘මල් කැකුළු’ ඔබව සාගරයේ මෙතෙක් නොදුටු ඉසව්වකට ගෙන යන්නයි, මේ හදන්නේ. කවදත් ලෝකයේ අලුත් ම තොරතුරු ඔබට ගේන අප මෙවර ඔබව සුදු මුහුදට කැටුව යන්නයි මේ ඇරයුම් කරන්නේ.

පෘථිවියේ ඉතා ඈත කොනක පිහිටි මුහුදක දිය යට, මිනිසා මෙතෙක් නොකිමිදුනු පරිසරයක වෙසෙන අමුතු සත්තු දැක ගන්නට අවස්ථාව අපටත් පෑදිලා තියෙනවා. ඒ රුසියාවේ මොස්කොව්වල ජාතික සාගර ජීව විද්‍යාඥයකු කළ හපන්කමක් නිසයි. ඔහු නමින් ඇලෙක්සැන්ඩර් සෙමෙනෝෆ්. අඩි 200ක් ගැඹුරු මුහුදේ ශීතාධික කලාපයක විනාඩි 40ක් ගත කළ ඔහු මෙතෙක් ලෝකයේ කිසිවකු නොදුටු දසුන් පෙළක් ලොවට හෙළිදරවු කළා. ඔහු මේ කාර්යය කළේ විස්මිත නව තාක්ෂණික මෙවලම්වල ආධාරයෙන්. උපශූන්‍ය (sub-zero) තත්වයන් යටතේ අඩි 500ක් ගැඹුරු මුහුදේ මේ වගේ දෙයක් රූ ගත කිරීම අති නිර්භීත ක්‍රියාවක්.


සුදු මුහුදේ හිම යට විතරක් දැකිය හැකි මේ සතුන්ගේ මේ ඡායාරූප ලෝකයට මුල්වරට නිරාවරණය ‍වුණේ මේ සතියෙයි. මේ ඉන්නේ ‘සිංහ කෙසරු’ ඇති ලොඩියන් (jellyfish) සාගරය යට අඳුරේ තමන්ගේ ම ආලෝකයෙන් බැබලෙනවා.

සාමාන්‍ය මුහුදේ කිමිදීමේ දී මිනිසකුට අඩි 50කට වඩා ගැඹුරට පිහිනන්න බැහැ. සාගර ජලයේ හාත්පස (පරිමණ්ඩිත) පීඩනය මිනිස් සිරුරට දරා ගන්න බැහැ. ඒ සඳහා විශේෂ ඇඳුම් කට්ටල හා ඔක්සිජන් ටැංකි ඕනෑ. ඒකත් එක්තරා දුරකට විතරයි. ඊට වඩා ගැඹුරකට යනවා නම් විශේෂ කුමුදුවක් වැනි යානයක් ඕනෑ.

ඔහු කැමරාවට නැඟූ සතුන් අතර නිල් පැහැති දීප්තිමත් සිරුරක් හා අඩි 49ක් පමණ දිගැති, රෝස පැහැති ස්පෙගටි වැනි ශීර්ෂ ග්‍රාහිකා සහිත ‘සිංහ කෙසරු’ ඇති ලොඩියන් (jellyfish), බඩවැල් වැනි හැඩැති රන් පැහැති රැග්පණුවන්, යුප්ලොකාමිස් ඩන්ලොපී (Euplokamis dunlopae) යනුවෙන් හැඳින්වෙන කුඩා පෘෂ්ඨවංශිකයන් විශේෂයක් වූ ආලෝකය විහිදුවන ආක්ටික් කංකතිකයා (Arctic ctenophore) ආදී විශේෂයන් දැක ගන්න පුළුවන්.

මේ ඉන්නේ රන්වන් රැග්පණුවන්. මොවුන් බොහෝ විට තැන්පත් වී
 ඉන්නේ මුහුදු පත්ලේ මියගිය තල්මස් ඇට සැකිලි තුළයි.


‘මේ සතුන් වසර මිලියන ගානක් තිස්සේ විශාල සාගර ප්‍රදේශයක පැතිරී ජීවත් වුණත් අද පරිණාමය හේතුවෙන්, සම්පූර්ණයෙන් ම ඇදහිය නොහැකි ජීවිත හැඩ ගනිමින්, මෙසේ හුදෙකලාව දිවි ගෙවන හැටි මගේ ඇස් දෙකෙන් ම දැක ගන්නට ලැබීම ගැන මම අසීමිතව සතුටු වෙනවා.’ සෙමෙනෝෆ් කියනවා. (නවීන තාක්ෂණයේ පිහිටෙන් ඔබටත් ඒ දසුන් දැන් දැක ගන්න පුළුවන්.)

ඔහු මේ සතුන් කැමරාවට නැඟූ ප්‍රදේශය සුදු මුහුදට අයත් එකක්. මිනිස් වාසයෙන් බැහැර ඉතා ඈත මේ ප්‍රදේශය පොළොවේ මෙතෙක් මිනිසා ස්පර්ශ නොකළ තැනක් ලෙසයි, සැලකෙන්‍නේ. මෙම මුහුදු කොටස රුසියාවේ වයඹදිග වෙරළේ බැරන්ට්ස් මුහුදේ දකුණේ ගොඩබිම තුළට කා වැදුණු කලපුවක් වැනි තැනක්. මෙහි වර්ග සැතැපුම් 34,700ක් පමණ මතුපිටක් ඇති, අඩි 197 සිට 1,115ක් විහිදුණු ගැඹුරක් ඇති ජල කලාපයක්. මේ ප්‍රදේශය අයත් වන්නේ සුදු මුහුදටයි.

ඉංග්‍රීසි බසින් නම් කළ පාට මුහුදු හතරක් ලෝකයේ තියෙනවා. ඒ ඔබ දැනටමත් දන්නා කළු මුහුද, රතු මුහුද හා කහ මුහුදට අමතරව අද හඳුනාගත් සුදු මුහුදයි.

ප්ලවාංගී ගොළුබෙල්ලෙක්, ලිමසිනා හෙලිසිනා (Limacina helicina)

සෙමෙනෝෆ් වැඩ කළ පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ කැරිලියන් වෙරළේයි. ඒ පර්යේෂණ මධ්‍යස්ථානය මොස්කොව් රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් 1938 දී පිහිටුවන ලද්දක්. මේක බාහිර ලෝකයෙන් සම්පුර්ණයෙන් ම හුදෙකලා වූ ස්ථානයක්. කිසිම සන්නිවේදන සම්බඳතාවක් මෙහි නැහැ. ළඟ ම ගම්මානය වූ පෝයක්න්ඩා දෙසට යන මාර්ගයට සමීප වීමට නම් සැතැපුම් 10ක් (කි.මී. 16ක්) යන්න ඕනෑ. ඒ සඳහා යන්න පුළුවන් ගිම්හාන කාලයට බෝට්ටුවෙන්, ශීත කාලයේදි නම් හිම යානයකින්.

‘සුදු මුහුද මාස හතරත් හයත් අතර කාලයක් හිම තට්ටුවලින් වැහිලයි තියෙන්නෙ.’ සෙමෙනෝෆ් කියනවා.

‘අයිස් තට්ටුව යටින් කිමිදෙන කොට මතක තියා ගන්න ඕනැ වැදගත්ම කරුණ තමයි, ඔබ බඳ වටා ආරක්ෂ ලණුව දාලා තිබුණත් දිය රළකට අසුවුණොත් ගහගෙන යනවා. ඒවා ඒ තරම් ම ප්‍රචණ්ඩයි.’ ඔහු වැඩිදුරටත් කියනවා.

‘මේ මුහුදේ දී මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගය තමයි, උදම් රළ. ඔබ පර්වතයක් අල්ලා ගෙන හිටියත් පැයක් විතර යන කොට ග්‍රහණය තියා ගන්න බැහැ, ඉවතට ගහගෙන යනවා. ඒ තරමට මුහුද රළ සැරයි. මිනිත්තු තිහක් ඇතුළත ඔබ මුහුදට පැන්න තැන ඉඳලා හැතැප්මත් විතර ඈතට ගහ ගෙන යනවා.

මේ හයිපීරියා ගැල්බා (Hyperia galba) සත්ව ප්ලවාංග විශේෂයක්.

’ මෙහෙම කියන සෙමෙනෝෆ් ඒ අවදානම අර ගෙන ඒ මිදුණු මුහුද යටට ගියේ තම අභිලාෂය ඉටු කර ගැනීමේ දැඩි උද්යෝගයකිනුයි. ඔහුගේ ඒ අභිලාෂය වුණේ ලෝකය පුරා උණුසුම විඳිමින් ඉන්න තම නෑයන්ගෙන් වෙන්ව හුදෙකලාව, සම්පූර්ණයෙන් ම වෙනස් දුෂ්කර පරිසරයකට ගැඩ ගැසෙමින් වෙසෙන, මේ අසිරිමත් සතුන් අතර පවතින වෙනස්කම් මොනවාදැයි හෙළිදරවු කිරීමයි.

ඉතාමත් චිත්තාකර්ෂණීය, සුවිශේෂ සතුන් වර්ග ගණනාවක් ම මේ අයිස් තට්ටුව යට ජීවත්වෙනවා. ඉන් එක සතෙක් තමයි, සිංහ කෙසරු ඇති ලොඩියන් හෙවත් ජෙලි ෆිෂ්. මේ වර්ගය අයත් ලෝකයේ ලොකුම සත්වයා මොහුයි.

මේ අලංකාර කුඩා සතා ආක්ටික් කංකතිකයා (Arctic ctenophore). 
සත්ව විද්‍යාත්මකව යුප්ලොකාමිස් ඩන්ලොපී (Euplokamis dunlopae) කියා හැඳින්වෙනවා.

මේ ලොඩියාගේ ශීර්ෂ ග්‍රහිකා අඩි 120ක් දක්වා දික්ව වැඩෙන බව සඳහන් වෙනවා. මිනිස් කෙස් කලබක් සිහි ගන්වන මේ ග්‍රාහිකා ගොන්න පිහිටා ඇත්තේ ඝණ්ඨාකාර හැඩ ඇති උගේ හිසට යටිනුයි. උගේ කට පිහිටා ඇත්තේ ද හිසට යටින්. ඒ වගේ ම කට වටා ග්‍රාහිකා පොකුරු අටක් පිහිටා ඇත්තේ එක පොකුරකට 150ක් වන ලෙසයි. මේ ග්‍රාහිකා විෂෙන් පිරී තියෙන අතර ගොදුරක් අල්ලා ගත් වහාම ඊට විෂ ඇතුළු කර මරා ගන්නවා. 

සිංහ කෙසරු ඇති ලොඩියාට ජෛවසන්දීප්ත හැකියාව තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සිරුර තුළ ම ආලෝකය නිපදවා ගන්න ඌට පුළුවන්. ඒ නිසා දිය යට අඳුරේ දීප්තියෙන් බැබලෙන්න හැකියාව ඌට තියෙනවා.

‘ඔබ දුටුවොත් සිංහ කෙසරු ඇති ලොඩියෙක් (Cyanea capillata) අඩි තුනක විෂ්කම්භයක් ඇති, අඩි 49ක් ශීර්ෂ ග්‍රාහිකා ඇති සාගරයේ මුළුමනින් ම අඳුරු පසුබිමක ඒක අති විස්මිත දසුනක්!’ කියා සෙමෙනෝෆ් කියනවා.

මේ රුසියාවේ මොස්කොව්වල ජාතික සාගර ජීව විද්‍යාඥයකු වන 
ඇලෙක්සැන්ඩර් සෙමෙනෝෆ්. ඔහු තමා මේ විස්මිත කාර්යය ඔබ වෙනුවෙන් කළේ.

‘සාගරයේ ගැඹුරට යන්න යන්න විස්මිත දේ හමු වෙනවා. ඒ වගේ ම ලොකු දැනුමකුත් ලැබෙනවා. මේ ගණයේ සමහර සතුන්ට හොඳින් වැඩුණා ම අඩි හතක් විතර පළල හිසක් ඇති වෙනවා. ඒ වෙන කොට ඔවුන්ගේ ශීර්ෂ ග්‍රාහිකා අඩි 120ක් විතර දික් වෙනවා. අදහන්නත් බැහැ, ඒ වෙන කොට උගේ උස තට්ටු 12ක ගොඩනැගිල්ලක් තරම් වෙනවා.’ සෙමෙනෝෆ් කතාව අවසන් කළේ එහෙමයි.

ඔහු මේ චාරිකාවෙදි දම් පැහැති දුර්ලභ ගණයේ සත්ව ප්ලවාංග විශේෂයකුත් රූ ගත කළා. එහි සත්ව විද්‍යා නාමය හයිපීරියා ගැල්බා (Hyperia galba) යි. ඒ වගේ ම ප්ලවාංගී ගොළුබෙල්ලකුත් කැමරාවට හසු කර ගෙන තිබුණා. 1675 දී හඳුනාගෙන තිබූ උගේ සත්ව විද්‍යා නාමය ලිමසිනා හෙලිසිනා (Limacina helicina) යි. ඒ විතරක් නොවෙයි, හයිඩ්‍රොසෝවන් කීප දෙනකුත් ඔහුගේ රූ අතර තියෙනවා. ඔවුන්ට ඒ නම ලැබී ඇත්තේ පුරාණයේ ග්‍රීක බසින් ජලයට කියන නම අනුවයි.

- පර්සි ජයම‍ාන්න

පුංචි මාළුවා ලොකු මාළුවා ගැන නස්රුදින්ට කී රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

$
0
0
මේ දවස්වලට වෙළඳ පොළට නිකුත්වෙලා තියෙන මගේ අලුත් ම නස්රුදින් කතා පොතෙන් කතාවක් කියන්නයි, මේ හදන්නෙ. ඒත් අලුත් කතාවක් කීවට මේක නස්රුදින්ට පුංචි කාලෙ වෙච්ච දෙයක්. ‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ’ කිව්ව වගේ පුංචි සන්දියෙදිත් නස්රුදින්‍ගෙ හැටියෙ වෙනසක් නෑ.

එක දවසක් පුංචි නස්රුදින් තනියම සෙල්ලම් කර කර ඉන්න කොට අම්මයි තාත්තයි දෙන්නා කුස්සියෙ වැඩක යෙදිලා හිටියා. එකපාරටම අම්මා තාත්තට මොකක්දෝ කිව්වා. අම්මගෙ කටින් නස්රුදින්ගෙ නම කියැවෙනවා ඇහුන හින්දා නස්රුදින් ලොකු ඕනෑකමකින් ඒ කතාවට ඇහුම්කන් දුන්නා. කුස්සිය පැත්තෙ වහලා තිබුනු දොරේ පැල්මකින් තමයි, පුංචි නස්රුදින්ට ඒ කතාව ඇහුනේ.

නස්රුදින්ගෙ අම්මා උයන ගමන් තාත්තාට මෙහෙම කිව්වා. ‘ඔන්න ඔයා ගෙනා මාළු කූරියො දෙන්න ම උයලා මම ලොකු මාළුවාව නස්රුදින්ට හොරෙන් අර ලී බංකුව යට හංගලා තිබ්බා. මං කෑම මේසෙට අරින්නේ පොඩි මාළුවාව විතරයි. නස්රුදින් රෑට කන්න ආවා ම අපි තුන්දෙනාම එකතුවෙලා ඒ පුංචි මාළු කූරියාව කාලා, නින්දට ගිහින් නස්රුදින්ට නින්ද ගියාට පස්සේ, අපි දෙන්න විතරක් නැගිටලා ලොකු මාළුවාව කමු.’ අම්මා තාත්තාට කිව්වා. තාත්තාත් ඒකට කැමති වුනා.

පුංචි නස්රුදින් ආයිත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. නොදැනීම රෑ වුනා.

ටික වෙලාවකට පස්සෙ තාත්තා නස්රුදින්ට කතා කළා. ‘පුතේ නස්රුදින් එන්න රෑට කෑම කන්න! අම්මා අද අපි තුන්දෙනාටම කන්න ලස්සන පුංචි මාළු කූරියෙක් උයලා තියෙනවා.’

පුංචි නස්රුදින් කියන පරක්කුවට කෑම මේසෙ තියෙන කාමරේට ගියා.

නස්රුදින්ගෙ අම්මා, තාත්තත් එක්ක කලින් කතා කර ගත්තු විදියට, පුංචි මාළු කූරියාව කෑම මේසෙට ගෙනත් තිබ්බා. අම්මා ඒ මාළු කූරියාව ගෙනත් තිබ්බ ගමන් ම පුංචි නස්රුදින් පැනලා ඒ පුංචි මාළු කූරියාව අතට ගත්තා. අතට අරන් කනට තියලා රහසින් මොනවද කිව්වා.

‘නැහැදිච්ච ළමයා! මොකක්ද ඔය කරන්නෙ? තියෙනවා! ඔය මාළු කූරියාව පිඟානෙන්. කන්න ගිහින් ඔය වගේ විකාර කරන්න එපා!’ තාත්තා සැරෙන් කිව්වා.

‘තරහ ගන්න එපා තාත්තෙ, මං මේ පුංචි කූරියාගෙන් වැදගත් ආරංචියක් දැන ගන්නයි කතා කළේ’ පුංචි නස්රුදින් කිව්වා.

‘මොකක්ද ඔයාට දැන ගන්න ඕනැවුනු ඔය තරම්ම වැදගත් කාරනාව, ඔය මාළු කූරියාගෙන්’ තාත්තා ඇහුවා.

‘තාත්තෙ, මට දැන ගන්න ඕනැවුනේ අර ‍ලොකු මාළු කූරියාගෙ නම මොකක්ද කියලයි’ පුංචි නස්රුදින් කිව්වා. ඒ කතාවට තාත්තා කලබල උනා. අම්මත් එහෙමයි. ඒත් ඒ වගක් නොවුන ගානට තාත්තා කතා කළා. 

‘මොකක්ද ඔය ළමයා මේ කියන්නේ? කොහේ ඉන්න ලොකු මාළු කූරියෙක්ද?’ තාත්තා ඇහුවා.

‘අර බයිබලේ කතාවක එන ජොනාව ගිලපු ලොකු මාළුවගෙ නම!’ පුංචි නස්රුදින් මොකුත් නො දන්න ගානට කිව්වා.

බයිබලයෙන් ප්‍රශ්නයක් කිව්වා ම ඔවුන් දෙන්නාට ළමයගෙ බොළඳකම ගැන හිනා ගියා. දෙන්නට දෙන්නා මුහුනට මුහුන බලාගෙන හිනා වුනා.

‘ඕනෑ දෙයක් අහපන්! ඉක්මනට මාළුවාගෙන්, අපට හොඳටෝම බඩගිනියි.’ ‍අම්මයි තාත්තයි දෙන්නම එක විට ම කිව්වා.

පුංචි නස්රුදින් මාළුවාට මොනවාදෝ හෙමිහිට මිමුනුවා. ඊට පස්සේ මාළුවාව කනට තියාගෙන යමක් අහනවා වගේ මොහොතක් අල්ලා ගෙන හිටියා. ඊට පස්සේ මාළු කුරියාව හෙමින් සීරුවේ ආපහු පිඟානෙන් තිබ්බා. එහෙම තියලා අත් දෙක බැඳගෙන නුරුස්නා මුහුනක් හදාගෙන පිඟාන දිහා බලා ගෙන උන්නා.

‘දැනටමත් ඔයා අහපු ප්‍රශ්නෙ අපට කියලා ඉවරයි නෙ. ඉතින් කියන්නකො පුංචි මාළුවා ඔයාට දීපු උත්තරෙත් අපට දැන ගන්න!’ නස්රුදින්ගේ අම්මා එහෙම කිව්වෙ තමන්ගේ රහස එළි නොවිච්ච එක ගැන සතුටින්. ඒ වගේ ම පුංචි මාළු කූරියා දුන්න උත්තරේ මොකක් ද කියලා දැන ගැනීමේ බලවත් කුතුහලයෙන්.

පුංචි නස්රුදින් දුන්නේ මෙහෙම උත්තරයක්. ‘පුංචි මාළු කූරියා මට කිව්වා, ඒකට උත්තරේ එයා දන්නේ නෑ කියලා. ඒත් එයා මට කිව්වා, ලී බංකුව යට ඉන්නවා කියලා එයාට වඩා වැඩිමල්, එයාට වඩා ලොකු, එයාට වඩා මොළේ තියෙන, දැනුම් තේරුම් ඇති ලොකු මාළුවෙක්. එයා මගේ යාළුවෙක්. ඔයා එයාගෙන් අහන්න! සමහර විට එයාට පුළුවන් වේවි ඔයාගෙ ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න.’

 - පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්ගේ අලුත් කතා’ නම් නවතම කෘතියෙනි.

වසර 45,000ක් පැරණි අපේ ආදිමානවයා නිපදවූ දුනු හී මතු වේ!

$
0
0
අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට ලෝක විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. ඒ වසර 45,000කට පෙර මෙරට විසූ ආදි මානවයා විසින් භාවිත කළේ යැයි විශ්වාස කළ හැකි දුනු හී තුඩුවලට යොදා ගෙන තිබූ අස්ථි කැබලි කාල නිර්ණය කිරීමෙන් පසුවයි.

අපේ ආදිම මානවයා සිත්තරකුගේ ඇසින්

මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ලන්ඩනයේ ඩේලිමේල් අන්තර්ජාල මුද්‍රණයේ පළ වී තිබුණා. එය ලියා තිබුණේ ‘සයන්ස් ඇඩ්වාන්සස්’ (Science Advances) නම් විද්‍යා සඟරාවේ පළ වූ විශේෂ අධ්‍යයනයක නිබන්ධනයක් ඇසුරෙන්.

ඒ අනුව අප්‍රිකා මහාද්වීපයෙන් මෙහි සංක්‍රමණය වූ හෝමෝ සේපියන් ආදිමානවයා විසින් දුන්න හා ඊතලය මුල්වරට නිපදවා ගෙන පාවිච්චි කර තියෙනවා. ඔහු මේ දුනුහී තල තනා ගෙන ඇත්තේ වල් ඌරන්ගේ, ගෝණුන්ගේ හා ආදි වානරයන්ගේ අස්ථි කැබලිවලිනුයි. ඒ දුනු හී යොදා ගෙන ඇත්තේ අවම වශයෙන් වසර 45,000කට පෙර මෙහි වැසි වනාන්තරවල රුක්වැසි සතුන් දඩයම් කිරීම පිණිස විය හැකි යැයි විද්‍යාඥයන්ගේ නිගමනයයි. තුරු වියනේ ඉහළ අතුපතරින් වේගයෙන් එහා මෙහා යන වඳුරන් හා දඬු ලේනුන් දඩයම් කිරීමට මේ උපක්‍රමය යොදා ගන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ පිළිබඳව පර්යේෂණය කළ අන්තර්ජාතික විද්‍යාඥ කණ්ඩායම කියන්නේ මේ හී තල කොටස් යුරෝපයේ දැනට හමුවී ඇති මේ හා සමාන තාක්ෂණයට අදාළ ඒවාට වඩා බොහෝ පැරණි බවයි.

බුලත්සිංහල පාහියන්ගල පිහිටි පාහියන් ලෙන ඇතුළත

මේවා හමු වී ඇත්තේ බුලත්සිංහල පාහියන්ගල පිහිටි පාහියන් (Fa-Hien) ලෙනෙහි කරන ලද කැනීම්වල දීයි. ඒවාට අමතරව වළං කැබිලිති, සතුන්ගේ අස්ථිවලින් තැනූ විදුම් කටු ද එහි තිබී සොයා ගෙන තියෙනවා. ඒ විදුම් කටු, අලිස් කටුවලට සමාන වූ අතර ඒවා සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ රෙදි හෝ දැල් විවීම සඳහායි.

ඒ බිමෙහි තිබී හමුවුණු අනෙක් කෞතුක භාණ්ඩ අතර පාට මිණි කැට අතුළු ඛනිජ ද්‍රව්‍ය, වර්ණවත් කිරි කවඩි ඇතුළු වෙරළෙන් ගෙනෙන ලද විවිධ අලංකරණ ද්‍රව්‍ය ඇතුළත් වුණා.

පාහියන් ලෙනෙන් හමු වූ අපේ ආදීමානවයන්ගේ අවශේෂයන්, ඔවුන් තැනූ අස්ථි මෙවලම් 
හා නිවර්තන කලාපයේ දී ඔවුන් ආහාරයට ගත් දෑ. ඒ වගේ මෙහි දැක්වෙනවා 
 සම් හෝ ඇඳුම් මැසීමට ‍යොදා ගත් අස්ථිවලින් තැනූ 
වෙනත් විදුම් කටු වැනි තියුණු ප්‍රක්ෂිප්ත තල ආදිය.

ඉන්දියානු සාගරයේ ඉන්දියානු උපමහාද්වීපයට දකුණෙන් පිහිටි ශ්‍රී ලංකාද්වීපය දකුණු ආසියාවේ හෝමෝ සේපියන් නම් අපේ ආදීම මානවයාගේ පැරණිතම පොසිලවලට නිජබිම වූ බව පැහැදිලි යැයි ඒ ලෝක විද්‍යාඥයන්ගේ මෙම අධ්‍යයන වාර්තාවෙහි සඳහන් වෙනවා.

මෙම අධ්‍යයනය මගින්, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත මේ දුපතෙහි විසූ මානවයා දුනුහී පාවිච්චි කළ බවට හා රෙදි හෝ දැල් තැනූ බවට පැරණිතම සාක්ෂි වසර 45,000ත් 48,000ත් අතර ඈත කාලයකට දිව යන බව හෙළිදරවු කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හිමි කර දී තියෙනවා.

‘ප්‍රක්ෂිප්ත තාක්ෂණයෙන්’ (projectile technology) ලබා ගත් සාක්ෂි, පුද්ගලික අලංකරණය හ‍ා ඝර්මකලාපීය වැසි වනාන්තර තෙක් ආ අති දීර්ඝ ගමන වැනි කරුණුවලින් පෙනී යන්නේ ආදි හෝමෝ සේපියන් මානවයා‍ ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී විවිධ ආන්තික පරිසරවලට හැඩ ගැසීමට සමත් වූ බවයි.

කෙසේ වෙතත් වැසි වනාන්තරවල සම්පත් ප්‍රයෝජනයට ගන්නට හා වඳුරන් හා ලේනුන් වැනි වේගයෙන් එහා මෙහා යන සතුන් අල්ලා ගන්නට උපක්‍රම යොදන්නට පෙලඹුනේ කෙසේ ද යන්න තවමත් හෙළිදරවු වී නැහැ.

‘ශ්‍රී ලංකාවෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන දුනු හී නිපදවීම, රෙදි විවීම, කෞතුක වස්තූන්ගෙන් සංඥා කෙරෙන ඉඟි ආදිය වෙනත් බොහෝ තැන්වලින්, ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තර ඇතුළු වෙනත් විවිධ තැන්වලින් හමුවී තියෙනවා’ මෙම අධ්‍යයනයෙහි සම-කර්තෘ වූ මයිකල් පෙට්‍රග්ලියා කියනවා. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යේෂණායතනයේ විද්‍යාඥයෙක්. ‘ශීතලෙන් ආරක්ෂාවීමට අමතරව, රෙදි හෝ දැල් වියා ගැනීම, ඒ පරිසරයේ ඉන්නා මදුරුවන්ගෙන් බේරීමට යොදා ගත්තා වෙන්නත් පුළුවන්’ ඔහු වැඩිදුරටත් පවසනවා.

ආදි මානවයා භාවිත කළ ඛනිජ ද්‍රව්‍ය කැබලිවලින් තැනූ වර්ණවත් 
පබළු, වෙරළන් ගෙනා සිප්පි හා බෙලිකටු 
මේ පාහියන්ගල් ලෙනෙන් සාක්ෂි වශයෙන් ලැබුණු දේ.

ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සංස්කෘතියේ ආරම්භය ගැන, විශේෂයෙන් ම නව ප්‍රක්ෂිප්ත භාවිත දඩයම් ක්‍රම ගැන, කතාබහේදී ආසියාව, ඕස්ට්‍රලේසියාව හා ඇමරිකා මහාද්වීප ආදිය කෙරෙහි අවධානය යොමු කෙරෙන්නේ නැහැ. මෙහිදී වැඩිපුර අවධානය යොමුවන්නේ අප්‍රිකාවේ තණ බිම්වලට හා වෙරළබඩ ප්‍රදේශවලට හෝ යුරෝපයේ සමශීතෝෂ්ණ පරිසර කෙරෙහියි.

ඒ නිසා ආසියාවේ ඝර්ම කලාපීය වැසි වනාන්තර වැනි වඩාත් දුරින් පිහිටි පරිසර විශාල වශයෙන් මඟ හැරී යනවා. මානව ජනාවාස පිහිටුවීම පිළිබඳව ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබුණත් ඒ ගැන පවා සැලකිල්ලට ගැනීමක් නැහැ. කෙසේ වෙතත් මේ පර්යේෂණයේදී මෙසේ අවධානය යොමු කිරීම පිළිබඳව ඒ පර්යේෂක කණ්ඩායම පැසසුමට ලක් විය යුතුයි.

ඔවුන්ගේ සොයා ගැනීම්වලට මුල් වූ පාහියන්ගල ලෙන ප්ලයිස්ටෝසීන යුගයේ අග භාගයේ මානව අස්ථි පොසිල ලෙසින් හමු වූ ස්ථානයක්. කාන්තාවකගේ ඇට සැකිල්ලක් පවා එහි දී මතු කර ගනු ලැබුවා. ඒවා සොයා ගනු ලැබුවේ 1960 ගණන්වල හා 1980 ගණන්වලදියි.

පුරාවිද්‍යාත්මක සාක්ෂි මතු කර ගත්තේ පාහියන්ගල ‍ලෙනහි ඇතුළත කැණීම්වලිනි.

‘පාහියන් ලෙන 1980 ගණන්වල පටන් දකුණු ආසියාවේ ඉතා වැදගත් පුරවිද්‍යා භූමියක් ලෙස පතළ, විශේෂයෙන් ම අපේ ආදීමයන්ගේ අවශේෂයන් හා ඔවුන් භාවිත කළ මෙවලම්, ඔවුන් ආහාරයට ගත් දේවල් සුරැකිව පැවති, නිවර්තන කලාපීය තැනක්’ මෙම අධ්‍යයනයෙහි සම කතුවරයකු වූ ඕෂාන් වෙදගේ කියනවා. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් ආයතනයට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට සම්බන්ධ විද්‍යාඥයෙක්.

පාහියන්ගල ලෙනෙහි කළ කැණීම්වලින් ලබා ගත් මේ කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009ත් 2012ත් අතර කරන ලද කැණීම්වලිනුයි.

අලුතින් ආරම්භ කරන ලද පර්යේෂණයේ දී මේ සියලුම කෞතුක වස්තු ස්ටීරියෝ මයික්‍රස්කෝපයක් යොදා ගෙන පරීක්ෂා කරනු ලැබුවා. ඒ මයික්‍රස්කෝපයට ඇක්සියෝකැම් 105 කැමරාවක් (AxioCam 105 camera) සවි කර තිබුණා. ඒ මගින් ඒවායේ මුල් පාවිච්චියේ දී කෙළින් ම ඇති වූ සීරීම් මතු කර ගත හැකි වුණා.

‘අස්ථි පුපුරා ගිය තැන්වලින් පෙනී ගියේ ඒවා තද පහරවලට ලක් වීමෙන් ඇති වූ ඒවා බවයි. ඒවා සාමාන්‍යයෙන් ඇති වන්නේ දුනුහී යොදා ගෙන කරන සතුන් දඩයම් කිරීම්වලදියි.’ මේ ගවේෂණයට නායකත්වය දුන් මිචෙල් ලෑන්ලි කියනවා. ඇය ඔස්ට්‍රේලියාවේ කවීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරියක්.

‘මේ සොයා ගැනීම, මීට කලින් මේ හා සම්බන්ධව සොයා ගෙන තිබුණු දකුණුදිග ආසියාවේ වසර 32,000ක් පැරණි වාර්තාවට වඩා පැරණියි. මෙය තමා දැනට සොයා ගෙන ඇති, අප්‍රිකා මහාද්වීපයෙන් පිටත දුනුහී භාවිතය කළ බවට විද්‍යාත්මකව තහවුරු කළ පැරණිම වාර්තාව’ ඇය වැඩිදුරටත් කියනවා.

මේ මයික්‍රොස්කොපි තාක්ෂණය ම අනෙක් අස්ථි මෙවලම්වලටත් යොදා කරන ලද නිරීක්ෂණවලින් සොයා ගත හැකි වූයේ ලෙන අසල දියපාරවල මසුන් ඇල්ලීමටත්, රෙදි හෝ දැල් විවීමටත් භාවිත කළ ඒවා විය හැකි බවයි.

කෞතුක වස්තු සොයා ගනු ලැබුවේ 2009ත් 2012ත් අතර කරන ලද කැණීම්වලිනුයි.

සිරුර ශීතලෙන් ආරක්ෂා කර ගැනීමට වඩා ලැබුණු සාක්ෂි අනුව පෙනී ගියේ රෙදි තනා ගනු ලැබ ඇත්තේ මදුරුවන්ගෙන් බෝ වෙන රෝගවලින් ආරක්ෂා වීම සඳහා යොදන වැස්මක් හැටියටයි.

මෙම නව අධ්‍යයනය සලකනු ලබන්නේ පේලියෝලිතික යුගය අවසානයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් මතු වූ සුවිශේෂ වූත්, සංකීර්ණ වූත් නව තාක්ෂණයන් පිළිබඳව දැනුම වර්ධනය කර ගැනීමේ එක් පියවරත් වශයෙනුයි.

‘මේ යුගයේ මානවයන් සම්පත් බහුල සුුවිශේෂ තත්වයන් යටතේ ජීවත් වීමටත්, නව ජීවන පරිසරයන් සොයා යන්නටත් හැකියාව තිබූ අය බැව් පැහැදිලියි’ යනුවෙන් පවසන මෙම අධ්‍යයනයෙහි සම කතුවරියකු වූ ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ නිකොලී බොයිවින් කියනවා. ‘මේ හැකියාවන් නිසා තමයි වසර 10,000කට පෙර ඒ ආදිමානවයින් මේ පෘථිවිය පුරා විසිර යමින් අද අප වැනි විශ්ව මානව සංහතියක් බවට පත් වූයේ’ යැයි ඇය වැඩිදුරටත් කියනවා.


මේ පර්යේෂණය සඳහා ජර්මනිය, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව යන රටවල විද්‍යාඥයන් ගණනාවක් එක් වුණා. ඒ අතර ඔස්ට්‍රේලියාවේ මිචෙල් ලෑන්ලි, පැට්රික් රොබට්ස්, ජර්මනියේ නොයෙල් අමානෝ, බනිකොලි බොයිවින්, මයිකල් ඩී. පෙට්රග්ලියා ඇතුළු විද්‍යාඥයන් රැසක් එක් වූ අතර ශ්‍රී ලංකාවෙන් ඊට එක් වූයේ ශිරාන් දැරණියගල, ඕෂාන් වෙදගේ, එම්. එම්. පද්මලාල් හා නිමල් පෙරේරා යන විද්‍යාඥයන් පිරිසයි.

වීර කැප්පෙටිපොළගේ අවසන් මොහොත ඉංග්‍රීසි වෛද්‍යවරයකුගේ ඇසින්.

$
0
0
අපේ රට ඉංග්‍රීසින් විසින් අල්ලා ගන්නා ලද කාලයේ සිටි ඔවුන්ට එරෙහි ව සටන් කළ වීරයින් අතර මුල් තන්හිලා සලකනු ලබන කැප්පෙටිපොළ මොනරවිල ගේ අවසාන මොහොත ඇහින් දුටු සාක්ෂිය මෙයයි. මීට වසර 205කට පෙර සිදු වූ ඒ සිදු වීම අති විචිත්‍ර එකකි. සාක්ෂිකාරයා ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය වරයෙකි. ඉංග්‍රීසින්‍ ගේ පාර්ශ්වයේ අයකු වුවත් මධ්‍යස්ථ වාර්තාකරුවෙකි. කැප්පෙටිපොළ ගේ අවසන් මොහො‍ත තෙක් එහි රැඳී සිටි ඔහු ඒ වීරත්වය ඉස්මතු කරන්නට තවත් චරිත දෙකක් යොදා ගනියි. ඒ, මඩුගල්ලේ හා සර් විලියම් වොලස් ය. අපේ වීරයකු ගේ අවසන් මොහොත හා බැඳුණු එකම ඇහින් දුටු සාක්ෂිය ‍මෙය වෙනවාට සැකයක් නැත.
කැප්පෙටිපොළ වීරයා

කැප්පෙටිපොළ සහ මඩුගල්ල 

1815 දී ඉංග්‍රීසීන් උඩරට පළාත් අයිති කරගත් විට මොනරවිල හෙවත් කැප්පෙටිපොළ (මෙය සාමාන්‍යයෙන් ඔහු සඳහා භාවිත වූ නාමයයි.) ඌව පළාතේ දිසාපති පදවියට පත් කරන ලදී. ඔහු 1817 දී කැරලිකාරයන්ට එක් වන තෙක් ඒ පදවිය දැරීය. ඇහැළේපොළ ගේ සොහොයුරියක ගේ පුතකු වූ හෙයින් උඩරට ඉතා ධනවත් හා බලවත් පවුල් හා ඥාති සම්බන්ධකම් ඔහුට තිබිණි. මහනුවරට පැමිණි විට නතර වූයේ ඇහැළේපොළ සමඟ ය. කැප්පෙටිපොළ නිලමේ ඇහැළේපොළ වලව්වේ නැවතී සිටිය දී ග්‍රන්ථ කර්තෘ වෛද්‍යවරයකු වශයෙන් ඉඳහිට ඔහු හමු විය. ඔහු යුරෝපීයයන් හා ආශ්‍රය කිරීමේ දී ද අන් සියලුම උඩරට නිලමේවරුනට වඩා අවංක හා ප්‍රියශීලී විය. මෙබඳු අවස්ථාවන්හිදී ඔහු ගේ ඉරියව් ශෝභන හා ශිෂ්ට විය.

කැප්පෙටිපොළ එ තරම් උසස් බුද්ධිමතකු ලෙස නම් දරා නොසිටි නමුදු කැරැල්ලේ පිළිගත් නායකයා ලෙස ඉංල්‍රීසීන් විසින් සලකනු ලැබී ය. රාජ්‍ය ප්‍රතිරූපකයාගේ පළමු වන අදිකාරම් පදවිය පිළි ගැනීමෙන් ප්‍රිතාන්‍ය අධිපත්‍යයට විරුද්ධ ව කැරුණු මේ සටනේ මූලිකයා තමා ය යි ඔහු සැලකූ බව පෙනේ.
මොනරවිල කැප්පෙටිපොළ - ආලේඛ්‍ය චිත්‍රය ප්‍රසන්න වීරක්කොඩි‍ ගේ ය.

නීත්‍යනුකූල ව පිහිටුවන ලද මහ රජතුමාණන් ගේ රජය පෙරලීම සඳහා යුද්ධ කිරීමේ චෝදනාවට මුහුණ දෙන පිණිස (1818 නොවැම්බර් මස 13 වැනි දින) යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලද ඔහුට මරණ දඬුවම නියම විය. මරණයට නියම ව සිර ගෙයි සිටිය දී ඔහු බැලීම සඳහා ඔහු ගේ ඉල්ලීම පිට ග්‍රන්ථ කර්තෘ කීප වරක් ගියේ ය. ඔහු නිතරම පාහේ ක්‍රියා කළේ ශාන්ත භාවයෙනි. එක් අවස්ථාවක ඔහු තම ඉණ වටේ ඔතාගෙන සිටි ගොරෝසු, අපිරිසුදු රෙද්ද විදහා පා, ‘මා ඇඳීමට පුරුදු ව සිටියේ මෙසේ නොවන බව ඔබ දන්නෙහි ය’ යි සිනා සෙමින් කී ය. කැරැල්ල ගැන කතා කිරීමට අකැමැති නො වී ය. අප භටයන්ට විරුද්ධ ව එල්ල කරන ලද බොහෝ පහරදීම්වලට සම්බන්ධ ය යි ඇතැම් විට පිළිගත් ඔහු තමා වෙත ආරෝපණය කැරුණු දෝෂ දුර්වල කිරීමට හෝ තම තත්ත්වය පැහැදිලි කිරීමට හෝ තැත් ‍කෙළේ ය. කරුණු දෙකක් සම්බන්ධයෙන් තමා වරදකරු ය යි ඔහු පිළිගත්තේ ය. පළමුු වැන්න නම් ව්‍යාජ රජු ගෙන් පළමු වැනි අදිකාරම් පදවිය පිළිගැනීමයි. දෙ වැන්න නම් සැප්තැම්බර් මස 20 වැනි දිනට පෙර යුද්ධායුධ භාර දෙන කැරලිකාරයන්ට සමාව දෙන බව ප්‍රකාශිත ප්‍රකාශ පත්‍රයක් ප්‍රසිද්ධ කැරුණු විට යටත් නොවීම යි. තම මරණ දඬුවම, පිටුවහල් කිරීම බවට වෙනස් කරනු මැනැවැ යි ඔහු කීප වරක් ඕනෑකමින් ඉල්ලා සිටියේ ය. මේ සඳහා ඔහු රොබට් බ්‍රවුන්රිග් ගෙන් ඉල්ලා සිටින සේ සෝවර්ස් මහතාට දන්වනු මැනැවැ යි ඔහු ග්‍රන්ථ කර්තෘට කී ය. දුකින් පිරී පවත්නා නමුත් ජීවිතය සුන්දර ය යි ඔහු පැවසී ය. තමා අවාසනාවන්තයෙකැ යි කතාබහේ දී සඳහන් කළ නමුත් අවාසනාවන්ත තත්ත්වය තමා අනුගමනය කළ ප්‍රතිපත්තියේ හා එය අසාර්ථක වීමේ ප්‍රතිඵලයෙකැ යි පිළි ගැනීමට ඔහු මැළි විය. ඔහු දෘඪ බෞද්ධයෙක් වූයේ තම වර්තමාන දුර්භාග්‍යය අතීත භවයක කරන ලද පාපයෙහි ආදීනව ය යි සැලකී ය. මේ වූකලී මේ ජීවිත කාලය තුළ කරන ලද වැරැදි පිළිබඳ ව වගකීමක් නැතැ යි පැවැසෙන විශ්වාසයකි.

මරණය 

කැප්පෙටිපොළ, මඩුගල්ලේ යන දෙ‍ දෙන ඔවුන් ගේ ම ඉල්ලීම පරිදි නොවැම්බර් මස 25 වැනි දින අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවා ගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළ ගේ ඉල්ලීම හා සර් රොබට් බ්‍රවුන්රිග් උතුමාණන් වහන්සේ ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේ දී ඔහුට මුණගැසිණි. භික්ෂූන්වහන්සේ අභිමුඛයෙහි, වැඩ හිඳින ගබඩාවේ එළිපත්ත මත දණ ගසා ගත් නිලමේ තමා භික්ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුද පූජා වැනි තම ජීවිත කාලය තුළ කරන ලද ප්‍රධාන පුණ්‍ය ක්‍රියා ද අනෙක් ධාර්මික ක්‍රියා ද විස්තර කෙළේ ය. ඊළඟට ඔහු ගේ ප්‍රාර්ථනය ඉදිරිපත් කෙළේ ය. ඊ ළඟ ආත්ම භවයෙහි හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා යන්න යි. මෙයින් පසු භික්ෂූන් වහන්සේ ඔහු ඇමතූ සේක. එ තුමෝ ආවේග බහුල ස්වරයකින් හා ලීලාවකින් ඔහු ගේ පුණ්‍ය ක්‍රියා මහත් ඵල මහානිශංසදායක ය යි පවසා ආශංසනයකින් සිය දේශය අවසන් කළෝ ය. එහි අවසාන වචන මෙ සේ ය: ‘අහසට දැමූ ගල් කැටයක් නැවත පොළොවට පෙරළා එන්නේ යම් සේ ද එ සේ ම ඔබ කළ පින් මහිමයෙන් ඔබ ඊළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ට විපාක ලැබීම එකාන්ත ය.’ නිලමේ හා භික්ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය. මෙ තෙක් දණ බිම ඔබා සිටි නිලමේ නැගිට සෝවර්ස් මහතා දෙසට හැරී, ‘ම-ගේ අවසන් පින්කමෙන් ලත් පිනින් කොටසක් ඔබට අනුමෝදන් කරවමි’ කියා ඉණේ ඔතාගෙන සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට එය අපිරිසුදු වැරහැල්ලක් නමුත්, ‘මා සන්තක එක ම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නො‍ වේ’ ය යි සරදම් සහගත ව පැවසී ය. ඉනික්බිති වද බිමට තමා හා කැටුව එන ලෙස සෝවර්ස් මහතා ගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස ප්‍රතික්ෂේප කරන ලදී.

මඩුගල්ලේ වන්දනාමානාදිය පැවැත්වූයේ ද මෙයට සමාන ලෙසිනි. ඔහු යුද්ධ භූමියෙහි දී අභීත ලෙස ක්‍රියා කළ නමුත් මේ අවස්ථාවේ දී බලවත් සේ කැළඹිණි. භික්ෂූන් වහන්සේ පුණ්‍යානුමෝදනාව නිම වූ ඔහු වැඩ හිඳින ගබඩාවට පැන දළදා වහන්නේසේ ගේ නාමයෙන් සමාව ඉල්ලා සිටියේ ය. සහකාර මුලාදෑනි ලයිතන් මැකන්සි මුරකරුවන් කීප දෙනකු ගේ සහාය ඇති ව ඔහු කරඬුවෙන් මෑතට ඇදගත්තේ ය. උදාර ස්ථිරසාර භාවයෙන් හා ශාන්ත භාවයෙන් හැසුරුණු කැප්පෙටිපොළ, තම සගයා ගේ නියාලුකම ගැන අතිශයින් මවිත ව, ‘මඩුගල්ලේ මෝඩයකු ලෙස ක්‍රියා කළේ ය’යි සන්සුන් ලෙස පැවසි ය. ඉන් පසු කැප්පෙටිපොළ ස්ථිර හා තැන්පත් ලෙස සෝවර්ස් මහතාට අතට අත දී සමුගත්තේ ය.

සිරකාරයෝ දළදා මාලිගාවට සැතැපුමක් පමණ ඈතින්, බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලද හ. මෙහි දී වතුර සපයන ලෙස හිරකාරයන් ඉල්ලා සිටින ලදුව එ සේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩ දෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කෙළෙන් එයට අවස්ථාව සලසන ලදි. හිරකාරයෝ මුහුණු හා අත් දෝවනය කළ හ. මෙයිනික්බිති කැප්පෙටිපොළ තම හිස කෙස් කොණ්ඩයක් කොට බැඳ කුඩා පඳුරක් ළඟ වාඩි වෙමින් එය පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණ රෙදි පට අතරින් කුඩා බණ පොතක් ගෙන ගාථා කීපයක් කියවා එය එහි ස්වදේශික නිලධරයකුට දෙමින් (සෝවර්ස් මහතා රජයේ ඒජන්ත තැන හා කැප්පෙටිපොළ ඌව දිසාවේ ලෙස) බදුල්ලේ සේවය කළ කාලයේ දී තමන්ට දැක් වූ මිත්‍රත්වය හා කාරුණ්‍යය පිළිබඳ කෘතඥතා පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කී ය.

නිලමේ පාලි ගාථා ගයමින් සිටිය දී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටි පසට ගැසී ය. ඒ මොහොතේ දී අරහං යන වචනය ඔහු ගේ මුවින් පිට විය. මෙය බුදුනට යෙදෙන නමෙකි. දෙ වැනි පහරින් ප්‍රාණය නිරුද්ධ ව මෘත කලේබරය වැටුණේ ය. ඔහුගේ හිස කඳින් වෙන් කොට උඩරට සිරිත අනුව ළය මත තබන ලදි. 

මඩුගල්ලේ දිගට ම දැක්වූයේ බියසුලුකමකි. ඔහුට තම හිස කෙස් බැඳ ගත නොහැකි වූයෙන් එය කරන ලද්දේ හිරගෙදර කන්කානම විසිනි. ඔහු ගේ මුහුනේ මාංශ පේශීන් ගේ කම්පනයෙන් හිතේ කැළඹිල්ල ප්‍රකාශ විය. එක පහරින් මරන ලෙස ඉතා ඕනෑමින් ඉල්ලා සිටි ඔහු අවසානයේ අරහං යන වචනය උච්චාරණය කෙළේ ය. තම හිස ඉදිරියට නැවීමට චිත්ත ධෛර්යයක් නොවූ නිසා ඔහුගේ හිස වධකයකු විසින් අල්ලා ගන්නා ලදී. පළමු වැනි කඩු පහරින් පසු ඔහු පස්සට වැටුණේ ය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු නිසා තවත් පහරක් ගසන ලදි.

කැප්පෙටිපොළ‍ ගේ හිස් කබල ග්‍රන්ථ කර්තෘ විසින් එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට පරිත්‍යාග කරන ලදි.
මොනරවිල කැප්පෙටිපොළ ගේ හිස් කබල

කැප්පෙටිපොළ ගේ ඉරණම ඇතැම් කරුණු අතින් ස්කොට්ලන්තයේ ජනප්‍රිය වීරයා වූ සර් විලියම් වොලස් ගේ ඉරණමට සමාන ය. තම රටේ නිදහස පතා ඔහු දැරූ ප්‍රයත්න හා විඳි දුක් පිළිබඳ කෙටි සටහනක් මෙහි ඇතුළත් කිරීම අනුචිත නො වේ. දහතුන් වැනි සියවසෙහි අවසාන භාගයේ දී එංගලන්තයේ පළමු වැනි එඩ්වර්ඩ් රජ ස්කොට්ලන්තයේ වැදගත් සියල්ල ම පාහේ නතු කරගෙන, ස්කොට්ලන්තය තමනට නීත්‍යනුකූල ව හිමි ය යි, එහි ආධිපත්‍යය තමන් වෙත ආරෝපණය කොටගත්තේ ය. රටවැසියෝ වැඩි කල් යන්නට පළමු ඉංග්‍රීසි වියගහ (පාලනය) පිළිබඳ බද්ධ වෛරයක් දක්වන්නට වූවාහූ නින්දා සහගත යටත් වීමකට වඩා උදාර එහෙත් අතිදුෂ්කර යුද්ධයක් යහපතැ යි සැලකූ හ. උඩරට සංග්‍රාමෝපායයන් අනුගමනය කළ ස්කොට් වැසියෝ රංචු හා කණ්ඩායම් වශයෙන් සංවිධානය වී වනගහන, කඳ හා ගිරිකඳුරු සහාය කොටගෙන ඉංග්‍රීසි බලයට විරුද්ධ ව කැරලිකෝලාහලයකට සූදානම් වූ හ. ඉංග්‍රීසිනට විරුද්ධ කැලෑ යුද්ධයෙහි දිගු කලක් යෙදුණු සර් විලියම් වොලස් කැරැල්ලේ පිළිගත් නායකයා බවට පත් වූයේ එඩ්වර්ඩ් රජු විසින් ස්කොට්ලන්තයට යවන ලද මුළු යුද්ධ සේනාවට විරුද්ධ ව උදාර සටනක් කෙළේ ය. සතුරන් අතට අසු වුණු ඔහු ගේ භාර්යාව ලනාර්ක්, කෝරලය භාර ඉංග්‍රීසි නිලධර තැන ගේ නියමය පරිදි ම්ලේච්ඡ ලෙස මරන ලද්දී ය. අන්තයේ දී තම රටවාසීන් කීප දෙනකු විසින් වොලස් ද්‍රෝහ ලෙස ඉංග්‍රීසින්ට පාවා දෙන ලදි. ඔහු වහා ලන්ඩන් නගරයට ගෙන යනු ලැබ වෙස්ට්මිනිස්ටර්හි දි ඔහුට විරුද්ධ නඩුව විභාග කරන ලදි. ඔහුට විරුද්ධ චෝදනාව වූයේ රාජ්‍ය ද්‍රෝහත්වය යි .නගරවලට හා මාලිගාවලට පහර දී කොල්ල කා ලේ ගංගා ගැලීමට සලස්වන ලදැ යි චෝදනා කැරිණි. ‘මම කිසි කලෙක ද්‍රෝහියකු නො වීමි’ යි වොලස් පිළිතුරු දුන්නේ ය. ඔහු ඉතිරි චෝදනා පිළිගත්තේ ය. වැරැදිකරු වූ ඔහු මරණයට නියම කරන ලදි. 1305 අගෝස්තු මස 23 වැනි දින අසුන් ගේ වල්ගාවල බැඳ වධකස්ථානයට ඇදගෙන යනු ලැබූ ඔහු උස් එල්ලුම් ගසක එල්ලන ලදි. ප්‍රාණය නිරුද්ධ වීමට පෙර ඔහු ගේ බඩවැල් එළියට ගෙන ඔහුගේ ඇස් ඉදිරිපිට ම පුලුස්සා හිස ගසා දමන ලදි. එයිනික්බිති ඔහු ගේ සිරුර හතරට කපන ලදි. ඔහු ගේ දකුණු අත නිව්කාසල් නුවර ද වමත බර්පික් නුවර ද තබන ලද්දේ ය. (සිංහලේ - 233-237 පිටු)

මෙම විස්තරය උපුටා ගන්නා ලද්දේ ඉංග්‍රීසි යුද හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයකු වූ හෙන්රි මාර්ෂල් ගේ Ceylon, A General Description of the Island and It’s Inhabitants with A Historical Sketch of the Conquest of the Colony by the English (1846) නමින් ලියා ඇල්ලෙපොළ එච්. ඇම්. සෝමරත්න විසින් ‘සිංහලේ’ නමින් සිංහලයට පරිවර්තනය කර ඇති ඓතිහාසික කෘතියෙනි. හමුදා ශල්‍ය වෛද්‍ය ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ‍වෛද්‍ය හෙන්රි මාර්ෂල් ලියූ එකම වෙනස් ග්‍රන්ථය මෙය යි. ‘සිංහලේ’ විසිදුනු ප්‍රකාශනයකි.

තරුණ පරපුර වෙනුවෙන් දෙවියන් වහන්සේ මැවූ අප්‍රමාණ මිනිසා!

$
0
0
ඔහු නිදහස් චින්තකයෙකි; දාර්ශනිකයෙකි; ධර්මධරයෙකි; පූජකවර‍යෙකි; සාහිත්‍යධරයෙකි; දේශ ප්‍රේමියෙකි; භාෂා ලැදියෙකි; ලේඛකයෙකි; සන්නිවේදකයෙකි; අධ්‍යපනඥයෙකි; ගුරුවරයෙකි; කලාකරුවෙකි; ජනතා සේවකයෙකි; දේව පුත්‍රයෙකි. මේ අයුරින් සමාජ මෙහෙවර උදෙසා එතුමා වරින්වර ගත් වෙස් විවිධ ය. ඒවා සියල්ල ම දැක්වීමට ගියහොත් ලැයිස්තුව තවත් දිග ය. ඒ සියල්ල කැටිකොට ගත් විට, ඒ පෝරුතොට පියතුමා ය. එතුමා සිය මෙහෙවර නිමා කොට පසුගිය 16 වැනිදා අප අත හැර ගියේ ය. මිය යන විට එතුමාගේ වයස අවුරුදු 89කි.
පෝරුතොට පියතුමා

1931 අගෝස්තු 31 වැනිදා මාරවිල, පෝරුතොට ගම්මානයෙහි දී අර්නස්ට් ඇලෙක්සැන්ඩර් නමින් උපන් මෙතුමා පෝරුතොටගේ ජෝකීනු ගුරු මහතාගේ සහ කේ. මේරි මාග්‍රට් පීරිස් මහත්මියගේ වැඩිමහල් දරුවා විය. එතුමා 1957 පෙබරවාරි 2 වැනිදා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී පූජත්වරය ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාදිනල්වරයා වූ තෝමස් කුරේ අගරදගුරුතුමන් අතිනි.

පෝරුතොට පියතුමා කිතුනුවනට පමණක් නොව බොදුනු අපටද කිසිසේත් අමතක කළ නොහැකි චරිතයකි. එතුමා සංවිධානය කළ වැඩමුළු, සමිති සංගම්, වැඩසටහන්වලට හා ව්‍යාපෘතිවලට සියලුම ආගම්වල තරුණ තරුණියන්ට සහභාගිවීමට අවස්ථාව සලසා දුන්නේ ය. පත්‍රකලාවේදීන් වන අපට ලිපියක් හෝ විශේෂාංගයක් හෝ අවශ්‍ය වූ හැම වැදගත් අවස්ථාවකදී ම උන්වහන්සේ ඒ සඳහා නොපැකිලව ඉදිරිපත් වූහ. අවිවේකී යයි කියා කිසිවිටෙකත් අපට අවස්ථාව නොදී සිටියේ නැත.

පෝරුතොට පියතුමා ගැන මට මුලින් ම අසන්නට ලැබුණේ අප සමඟ සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ බෙනඩික්ට් දොඩම්පෙගම මහතා ගෙනි. පෝරුතොට පියතුමා විසින් ලතින් බස වෙනුවට පල්ලියේ කටයුතුවලට සිංහල බස යොදා ගැනීම, සිංහල කම, දේශීයත්වය, සිංහල චාරිත්‍රවාරිත්‍ර පල්ලියට වැද්ද ගැනීම, නිදහස් දින උළෙලක් පැවැත්වීම වැනි පෙරළිකාර ක්‍රියා ගැන දොඩම්පෙගම මහතා ඉමහත් පැහැදීමකින් කතා කළ නිසා පෝරුතොට පියතුමා කෙරෙහි මා තුළ ගෞරවණීය හැඟීමක් පැවතුණි.

පෝරුතොට පියතුමා පිළිගැනීමේ උළෙලකදී

මෙයට දසක පහකට පමණ පෙර මා සරසවිය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කරන කාලේ ගාමිණී ෆොන්සේකා පිළිබඳ ව අමුතු දෘෂ්ටි කෝණයකින් ලියූ විශේෂාංග ලිපියක් ගැන ප්‍රශංසා කරන්නට එතුමන් දුරකථනයෙන් කතා කළා මට අද වාගේ මතක ය. ‘ඔබ අපූරු ලිපියක් ලියා තිබුණා. මෙවර සරසවියට, ‘‘ගාමිණී තරුවක් නොවෙයි, නළුවෙක්” කියලා. ඒ ගැන පසසන්නයි මේ කතා කළේ’ එතුමෝ කීහ. ඉන් මා විමතියට පත් වූයේ එය මගේ නමින් පළ වූවක් නොවූ නිසා ය. එම පුවත්පතේ ම වෙනත් ප්‍රධාන ලිපියකට මගේ නම යොදා තිබූ නි‍සා එම ලිපිය පත්‍රයට සැකසූ ධර්මදාස බොතේජු මහතා (පසු ව සරසවිය කර්තෘ වූ) ‘ජන’ නමින් අන්වර්ත නාමයක් යොදා එය පළ කර තිබුණේ මටත් නොකියා ම ය. ‘ස්වාමි, කොහොමද දන්නේ ඒක මගේ බව. ඒක මගේ නමින් නොවෙයි නොවැ පළ වුණේ.’ මම ඇසුවෙමි. ‘මම විමලසිරි ගෙන් (එවකට කර්තෘ විමලසිරි පෙරේරා මහතා) දැන ගත්තේ! ඒක ගාමිණී ගැන කරපු අව්‍යාජ ප්‍රකාශයක්, එක් අතකට ඔහු ගැන කළ සුුවිශේෂ අගැයීමක්, ඒ වගේ ම පැසසීමක්. තවත් ඒ වගේ දේ ලියන්න! තවත් දෙයක්, අපි චිත්‍රපට වාර්ෂිකයක් කරනවා. ඒකටත් ලියන්න. මං සුසන්තට කියන්නම් ඒ ගැන කථා කරන්න. එතුමෝ කී හ. ඒ අනුව මම ලෝක සිනමාව ගැන දීර්ඝ විවරණයක් එතුමන්ගේ මූලිකත්වයෙන් පළ කළ චිත්‍රපට වාර්ෂිකයට ලියා දුනිමි.

මට පෝරුතොට පියතුමා හමු වූ අමතක නොවන ඊළඟට අවස්ථාව උදා වූයේ සරසවිය චිත්‍රපට සම්මාන උළෙලක අවසන් දින උත්සවය හා මතු වුණු අනපේක්ෂිත බාධාවක් හේතුවෙනි. සරසවිය චිත්‍රපට සම්මාන උළෙල සඳහා අප සැලසුම් කළ ප්‍රාසාංගික උළෙලට දෙසතියක් තිස්සේ පුහුණ වීම් පැවති අතර එවර උළෙලේ ප්‍රධාන ආකර්ෂණය වූ ‘මහා ගායකයා’ උළෙලට සිවු දිනක් තියා සංගීතය මෙහෙය වූ සංගීතඥයා සහභාගි වන්නේ නම් තමා ඊට සහභාගි නොවන බව කියා සිටීම ය. ඒ ඔවුන් දෙදෙනා අතර හදිසියේ හටගත් විරසකයක් නිසා බව පසුව අපට දැන ගන්නට ලැබුණි. දෙසතියක් තිස්සේ පුහුණවීම් කළ වෙනත් අංග ගණනාවක් තිබූ නිසා එය කිසිසේත් කළ නොහැක්කක් විය. කෙතෙක් ඇවිටිලි කළත් මහා ගායකයා නම්මවා ගැනීම කළ නොහැකි විය. ඔහු වෙනුවෙන් වෙනත් වාදක මඬුල්ලක් යෙදවීමට සංගීතඥයාද කැමති වූයේ නැත. සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා අවසානයේ මහත් සේ කැළඹීමට පත් වී සිටියේ ය.

‘අපි සුනිල් සාන්තයන්ව ගෙන්න ගන්න බලමුද?’ මම එතුමන් අස්වසන ගමන් කීවෙමි.

‘එයා කැමතියි වෙයිද?’ කතු තුමා ඇසුවේ ය. ‘අවුරුදු ගාණකින් වේදිකාවට නැග්ගෙ නැතුව එක පාරටම එයා මේකට කැමතිවෙයිද?’

‘අපි පෝරුතොට පියතුමාට කියමු. එතුමා අපට ඒකට ක්‍රමයක් හදලා දේවි.’ මගේ යෝජනාවට අනුව සරසවිය කතු තුමා, ඔබ්සර්වර් පත්‍රයේ විශේෂාංග කර්තෘ ඩී.සී. රණතුංග මහතාත් සිළුමිණ කර්තෘ එස්. සුබසිංහ මහතාත් සමග ඒ ගැන කතා බස් කොට පෝරුතොට පියතුමාට ඒ බව දැන්වී ය. එතුමා කිසිදු පැකිලීමක් නැතිව, ‘එන්න අපි අයිවෝත් එක්කම ගිහින් කතා කරමු.’ කීවේ ය. ඒ අනුව අපි එතුමා හමුවීමට එවේලේ ගියෙමු.

සුනිල් සාන්තයෝ මුලදී අකමැත්ත පළ කළහ. එහෙත් පෝරුතොට පියතුමාත් අයිවෝ ඩෙනිසුන් ගේත් බලවත් ඇවිටිල්ල මත ඊට එකඟ වූ හ. එයද කොන්දේසි කිහිපයක් ඇතුව ය. ආලෝකය පාලනය කළ වේදිකාවක අඩ අඳුරේ අයිවෝ සමග එක්ව ගී ගැයීමට ඔහු එකඟ විය. එසේ ම ඔහු වේදිකාවේ සිටින කාලය තුළ ආලෝක ධාරා එල්ල නොකිරීමටත්, ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරයක් නොදීමටත් අපට එකඟ වීමට සිදු විය. ඒ කොන්දේසි අපට ආශිර්වාදයක් විය. අපි සුනිලුන් ගී ගැයීමට එන බව ද රහසක් වශයෙන් තබා ගතිමු. අවසානයේ දී අපේ නිවේදකයා සුනිලුන්ට තුති පුදන විට ශාලාව ගිගුම් දෙන අත්පොළසන් හඩක් නැඟුණේ ය. ඒ සමග එවර සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා වූ ඩඩ්ලි සේනානායක අගමැති තුමා හුනස්නෙන් නැඟිට වේදිකාවට නැඟ තමාගේ ප්‍රියතම ගායකයා වූ සුනිලුන් වැළඳ ගත්තේ සිය බලවත් ප්‍රසාදය පළ කරමිනි. එදා, 1968 අප්‍රේල් 25 වැනිදා කොළඹ කාන්තා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති පස් වැනි සරසවි සම්මාන උළෙලට අලෝකයක් ගෙනා ඒ අසිරිමත් සිදුවීම පෝරුතොට පියතුමාගේ ආශිර්වාදය නිසා සිදුවූවකි. ‍

එතුමා යළිත් මට කතා කළේ මහනුවර පැවති සිනමා සම්මන්ත්‍රණයක සම්පත් දායකයකු වශයෙන් මගේ සේවය ලබා ගන්නට ය. කතෝලික මාධ්‍ය පර්ෂදය සංවිධානය කළ ඒ සම්මන්ත්‍රණය පැවැත් වුණේ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේදී ය. එතුමා මට ලබා දුන් මාතෘකාව ‘අනාගත සිනමාවට එල්ලවන අභියෝග’ යන්න ය.

ඒ සම්මන්ත්‍රණය පැවතියේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේදී වූ බැවින් ඊට සාපේක්ෂව ඉදිරියේදී සිදු විය හැකි වෙනස්කම් ගැන කතා කරද්දී එවකට පැවති සිනමා තාක්ෂණය අබිබවා වීඩියෝ තාක්ෂණය ඉස්මතු වන බව කීවෙමි. වීඩියෝ කැමරාවකින් එසැණ රූ ගත කර එසැණ ම පෙන්විය හැකි වීම නිසා එය ප්‍රවෘත්ති සන්නිවේදකයන් වශයෙන් අපටත් බලපෑමක් එල්ල විය හැකි බැව් කීවෙමි. නිදසුනක් වශයෙන් ඊට කලින් සතියේ ඇමෙරිකානු ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති සමුළුවකදී වීඩියෝ කැමරාව හඳුන්වා දෙමින් එහි සිදු වූ දෑ එවේලේ ම පටිගත කර ඊට සහභාගි වූ අයට පෙන් වූ ආකාරය විස්තර කෙළෙමි. ඊට පෙර ඔවුන් අසා නොතිබුණු දෙයක් වූ නිසා ඒ වචනය ඉංග්‍රීසියෙන් ලියන ආකාරය පවා ඊට සහභාගි වූ පියතුමෙක් විමසී ය. දේශනය අවසානයේ දී මට ප්‍රසංශා කළ පෝරුතොට පියතුමා, ‘අපි අපේ පාඨමාලාවට වීඩියෝ තාක්ෂණයත් ඇතුළු කර ගනිමු.’ යයි කී හැටි මට අද වගේ මතකය.

සිග්නිස් ටෙලිසිනේ සම්මාන උළෙලක දී

ලේඛකයකු වශයෙන් පෝරුතොට පියතුමා ආන්දෝලනාත්මක ග්‍රන්ථ රැසක් ලියා පළ කොට ඇත. ‘වෘත්තීය සමිති ගමන් මග’ (1956), ‘කිතුනු පෙරළිය’ (1960), ‘ගිහියා’ (1964), ‘භව්‍යවාදය හා ලංකාව (1965) ඉන් කීපයකි. එතුමා ‘වෘත්තීය සමිති ගමන් මග’ පළ කළේ 1956 දී අගමැති බණ්ඩාරනායක මහතා මැයි 1 වැනිදා කම්කරු දිනය ලෙස නම් කොට කම්කරුවන් වෙත විශේෂ අවධානයක් යොමු කළ අවස්ථාවේ දී ය. එපමණක් නොව එතුමා කම්කරු අයිතිය ගැන දෙව්මැඳුරේදී කතා බහට ලක් කළේ ය. ආගමික සේවාවනට අමතරව පොදු සමාජ ප්‍රශ්න ගැන ද සාකච්ඡා කරන්නට ගිහියන් පෙලඹවීය.

1964 දී ‘ගිහියා’ කෘතිය පළ කරමින් පෝරුතොට පියතුමා කතෝලික සභාවේ පූජකවරුන්ගේ හා ගිහි බැතිමතුන්ගේ වගකීම හා ක්‍රියා භාරය කෙබඳු විය යුතුදැයි මැනවින් පෙන්වා දුන්නේ ය. කතෝලික සභා නායකයන්ගේ වගකීම, ආගමක් අදහන පිරිසක් තැනීමට වඩා, සමාජ සාධාරණය හා රටේ සමගිය පවත්වා ගෙන යා හැකි, සහජීවනය ඇති කළ හැකි, රටේ එකමුතුව තැනීමට යොමු කළ හැකි පරපුරක් තැනීම බව පහදා දුන් එතුමා ගිහියනට, පල්ලියෙන් පිට කළ හැකි සමාජ හා ආගමික කාර්යයන් රැසක් ඇති බවද පෙන්වා දුන්නේ ය. උන් වහන්සේ නිතරම පැවසුවේ, ‘ගිහියා පූජක රූකඩයක් ද වහලෙක් ද නොවේ’ කියා ය.

1964 දී එතුමන් ලියූ ‘සුරාව’ බීමත්කම හා බේබදුකම ගැන කළ විග්‍රහයක් විය. ප්‍රංශ ජාතික ෂෝන් පෝල් සාත්‍රෙගේ සංදෘෂ්ටික වාදය අපේ සාහිත්‍යය කෙරෙහි බලපෑ අයුරු විග්‍රහ කෙරෙන ‘භව්‍යවාදය හා ලංකාව’ (1965) කෘතිය එතුමාගේ විචාරශීලී බවට හොඳ නිදසුන් ය.

පෝරුතොට පියතුමා තරම් දරුවන්ට, තරුණන්ට අත හිත දුන් තවත් අයෙක් නැති තරම් ය. එහිදී එතුමන් ආගම, ජාතිය, වර්ගය, තරාතිරම නොසැලකුවේ ය. ඔහුගේ මග පෙන්වීම අනුව ලෝකයට එක්ව ජගත් කීර්තියට පත් තරුණයන් රාශියක් සිටින අතර ඉන් කැපී පෙනෙන එක් අයෙක් ලෙස ආචාර්ය බෙනිල් ප්‍රියංක දැක්විය හැකි ය. මහාචාර්ය පරණවිතාන සූරීන්ගෙන් පසු සීගිරි කුරුටු කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කළ ඔහු ලියූ Recently Deciphered Records from the Mirror Wall at Sigiriya නම් පර්යේෂණාත්මක ග්‍රන්ථයට, වසරේ විශිෂ්ට ඉංග්‍රීසි ශාස්ත්‍රීය කෘතිය ලෙසින් 2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණු අවස්ථාවේ දී ඔහුට ඒ සම්මානය ලැබුණේ පෝරුතොට පියතුමන්ගේ ආශිර්වාදය නිසා බව අප සමඟ පැවසීය.

ඔහු නව වැනි වසරේ ශිෂ්‍යයකුව සිටිය දී පෝරුතොට පියතුමන්ගේ පුස්තකාලයේ තිබූ මහාචාර්ය පරණවිතාන සූරීන්ගේ සීගිරි කුරුටු ගී විග්‍රහ කරමින් ඉංග්‍රීසියෙන් ලියූ ග්‍රන්ථය දක්නට ලැබුණු බවත් ඒ පිළිබඳ පියතුමන්ගෙන් විමසූ විට එතුමන් ඒ ගැන දීර්ඝ විස්තරයක් කළා පමණක් නොව ඒ පොත් කියවීමට අවස්ථාව සලසා දුන් බවත්, එතැනින් නොනැවතුණු එතුමා තමාට සීගිරියට යාමට අවස්ථාව උදා කරදුන් බවත්, තමා පුරාවිද්‍යාවට යොමු වූයේ ඉන් ලැබුණු උත්තේජනය නිසා බවත් කීවේ ය.

1970 දෙසැම්බරයේ සිදු වූ හය වන පාවුළු පාප්තුමාගේ ලංකා සංචාරය නිමිත්තෙන් රජයෙන් පළ කරන්නට යෙදුණු ‘කතෝලික සමාජ දර්ශනය’ නමින් යුත් වෙළුම් දෙකකින් යුත් කෘතිය ජයලත් බලගල්ල පියතුමාගේ ද සහය ඇතිව සංස්කරණය කරන ලද්දේ පෝරුතොට පියතුමන් විසිනි. පාප් වහන්සේ පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ සැරසීමේ කාර්යය පැවරුණේ ද පෝරුතොට පියතුමාට ය. එය සිංහල දේශීය ඌරුවට ඉටු කරගනු වස් පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන්ගේ සහය ලබා ගත්තේ ය. එදා කටුනායක ගුවන්තොටුපොළෙහි ඉදිකළ රැලි පාලම්, නෙළුම් මල්, පොල් තෙල් පහන් ආදියෙන් සැදුම්ලත් විශේෂ වේදිකාවකින් අලංකෘත වූ අතර පාප් වහන්සේ බැතිමතුන් ඇමතුවේ එහි සිට ය.

1990 දී මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර තහනම් කරවා ගැනීමට ඇතැම් පූජකවරුනට අවශ්‍ය විය. ඊට හේතු වශයෙන් ඔවුන් දැක්වූයේ එහි ක්‍රිස්තුස්වහන්සේ ගේ චරිතය රඟපෑ නළුවා ඒ සඳහා නුසුදුසු අයකු බව ය. එහි රඟපෑවේ සුප්‍රකට නළු විජය කුමාරතුංග ය. ඔහු කතෝලිකයකු වූවත් විවාහයේ දී පල්ලිය නොසලකා හැරීමෙන් ඔහු ආගමට නිගා කර ඇති නිසා ඔහු එහි රඟපෑම ක්‍රිස්තුස්වහන්සේට කළ නිගරුවක් ලෙස ඔවුහූ දුටුවහ. ඒ නිසා මේ කතෝලික විරෝධය චිත්‍රපට පාලක මණ්ඩලයට දන්වා එය තහනම් කරවා ගැනීමේ කටයුත්ත එවකට කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) සභාපති ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාටය.

ඒත් එතුමා ඒ සිනමා පටය සම්බන්ධයෙන් සිටියේ වෙනම ස්ථාවරයක ය. එනම් නළුවාගේ ආගම, ජාතිය, විවාහය කෙබඳු වුවත් ඔහුගේ නිරූපණය තුළින් චරිතයට සාධාරණයක් ඉටුකර ඇත්නම්, නම් එය ප්‍රතික්ෂේප නොකළයුතු බව ය. ඒ නිසා ඉන් කෝපයට පත් ඔවුහූ පෝරුතොට පියතුමාට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යෙදූහ. විනය පරීක්ෂණයට පෙර ඒ පරීක්ෂණය පවත්වන කාමරයට රූපවාහිනියක් හා වීඩියෝ ප්‍රතිවාදන යන්ත්‍රයක් සවි කර වීය.

පෝරුතොට පියතුමා විනය පරීක්ෂණ මණ්ඩලය වෙත ගියේ ලොව පුරා ඒ වන තෙක් ක්‍රිස්තු චරිතය අළලා නිපදවූ හොඳම චිත්‍රපට කිහිපයද සමඟ ය. මණ්ඩලයෙන් අවසර ගෙන ඒ චිත්‍රපට කොටස් එකින් එක පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ දිග හැරියේ ය. ඒ දර්ශන නරඹා පරීක්ෂණ මණ්ඩලය ඒවා මහත් සේ අගය කළහ. තමන්ට ඒවා නරඹන්නට සැලැස්වීම ගැන මහත් සේ පෝරුතොට පියතුමාට ස්තුති කළහ. නිහතමානීව ඊට ප්‍රතිචාර දක්වමින් පෝරුතොට පියතුමා එදා මෙසේ කරුණු දක්වා තිබේ.

"ඔය පළමුව බැලූ චිත්‍රපටයේ මරියතුමියට රඟපෑ නිළිය දෙපාරක් දික්කසාද වෙලා, තුන් වෙනි වතාවට විවාහ වෙලා ඉන්නෙ. ඔය දෙවැනි චිත්‍රපටයේ ජේසුතුමාට රඟපාන නළුවා කතෝලිකයෙක් නොවෙයි. විවාහ නොවී පවුල් කන කෙනෙක්. ඔය තුන්වැනි චිත්‍රපටයේ මරිය තුමීට රඟපෑ නිළියට විවාහ නොවීම දරුවෙක් ඉන්නවා. ඔය අනිත් චිත්‍රපටයේ ජේසුතුමාට රඟපෑ නළුවා මුස්ලිම් ජාතිකයෙක්. ඔය ඊළඟ චිත්‍රපටයේ මරිය තුමීට රඟපෑ නිළිය ගබ්සා දෙකක් කරගත් කෙනෙක්...."ආදී වශයෙන් එතුමා කළ විස්තරය අතරතුර, විනය පරීක්ෂණය පසෙකැලා තමන්ට විවිධ වැඩ ඇති බව දක්වමින් රදගුරුවරුන් එකිනෙකා නැගිට ගිය බවක් ඒ දවස්වල කතා බහට ලක්ව තිබුණේය.

1970 දී අන්තර්ජාතික කතෝලික සිනමා සංවිධානයේ (OCIC) ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට එතුමා පුරෝගාමී විය. ඉන් සිංහල සිනමාවට අනූපමේය මෙහෙවරක් ඉටු විය. සිංහල සිනමාවේ නියුතු කලාකරුවනට හා ශිල්පීනට ඔවුන්ගේ මෙහෙය අගයනු වස් උත්තමාචාර උළෙලක් වසරක් පාසා පවත්වනු ලැබී ය. සිංහල සිනමාව පිළිබඳ වැඩි ම ප්‍රකාශන සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ද එම සංවිධානයෙනි. ලෝක සිනමාවේ විශිෂ්ට කෘතීන් මෙහි ගෙන්වා තරුණ පරපුරට නොමිලයේ නැරඹීමට අවස්ථාව සැලැස්වීය. චිත්‍රපට ලේඛක හා විචාරක සංගමයක් පිහිටුවීමට ද එතුමා පුරෝගාමී විය. සිනමාවේ උන්නතියට මෙපමණ සේවාවක් කළ වෙනත් අයකු අප අතර නැත.

දැන් විශ්ව විද්‍යාලවල සිනමා හා රූපවාහිනී පාඨමාලා ආරම්භ කර ඇතත් මීට දශක කීපයකට පෙර තරුණ පරපුර වෙනුවෙන් එවැනි පාඨමාලා ආරම්භ කිරීමට තරම් එතුමා දූරදර්ශී විය. මෙරට රූපවාහිනිය ආරම්භ වන විට ඒ විෂය පිළිබඳ තාක්ෂණික දැනුමෙන් පිරුණු පරපුරක් එතුමා විසින් බිහි කර තිබුණේ ය. අද සෑම තැනකම විසිර සේවය කරන්නේ ඒ පරපුර ය.

පෝරුතොට පියතුමන්ගේ අවමඟුල් උළෙල පසුගිය ජූනි 18 වැනිදා කළුතර පිලිප්නේරි දෙව්මැඳුරේ පැවැත්විණ. උන්වහන්සේට උපහාර පිණිස කිරිමැටියාගාර මාධ්‍ය සංසදය නිර්මාණය කළ බැනරයක තිබූ පාඨයකින් මේ සටහන නිමා කිරීමට කැමැත්තෙමි.

 
එහි සිංහල අරුත ‘දෙවියන් වහන්සේ එතුමන් මැවූහ. එතුමෝ අප මැවූහ.’ ඒ වැකිය ඒ කිරිමැටියාගාර මාධ්‍ය සංසදයට පමණක් නොව, සිංහල සිනමා ක්ෂේත්‍රයේ, පමණක් නොව, රූපවාහිනී, පුවත්පත් ඇතුළු සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සේවය කරන සමස්ත සන්නිවේදකයන්ට පොදුවේ භාවිත කළ හැකි කියමනකි.
 - පර්සි ජයමාන්න

උඩු ගුවනේ කසළ එකතු කරන්න අමුතු කුණු ලොරියක්!

$
0
0
කසළ ප්‍රශ්නය මහ පොළොවේ ඉන්න අපට හැම තැනක ම තියෙන එකක්. මිනිසා උඩුගුවනට යන්න පටන් ගත්තාට පස්සේ එහෙත් කසළ ගොඩ ගැහෙන්න පටන් අරන්. අපේ පෘථිවිය අවට කක්ෂ ගතව පවතින මේ කුණු කන්දරාව නිසා උඩුගුවනට යන අයට දැන් ලොකු ප්‍රශ්නයක්! ඒකට විසඳුමක් සොයන්න නව රුසියානු සමාගමක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා.

ස්ටාට්රොකට් නම් ඒ සමාගම ඒ සඳහා අපූරු චන්ද්‍රිකාවක් සැලසුම් කරලා තියෙනවා. මකුළුවා දැල දමා සතකු අල්ලා ගන්නවා වාගේ පෙණ විදලා උඩු ගුවනේ කසළ අල්ලා ගෙන ඇද ගෙන අවුත් පෘථිවියේ වායුගෝලය අද්දරට ගෙනත් වායුගෝලයට දෙසට තල්ලු කරන්න මේ අපූරු චන්ද්‍රිකාවට පුලුවන්. එවිට එහිදී ඒවා ඉබේ ම පිළිස්සී යනවා.
ස්ටාරොකට් ආයතනය නිපදවන, පෙණ විද කුණු ඇල්ලිය හැකි කුඩා චන්ද්‍රිකාව.

‘ෆෝම් ඩෙබ්රිස් කැච්ර්’ කියා හඳුන්වා ඇති මෙය කුඩා ප්‍රමාණයේ ස්වයංක්‍රීය චන්ද්‍රිකා‍වක්. ඒ තුළ ඇලෙනසුලු පොලිමර් පෙණ විශේෂයක් ගබඩා කර තියෙනවා. ඒ පෙණවලින් තමයි, උඩුගුවන් කසළ අල්ලා ගන්නේ.

ස්ටාට්රොකට් ආයතනයේ උපදේශක ආචාර්ය ඇලෙක්සැන්ඩර් ෂයෙන්කෝ දැන් පවතින තත්වය ගැන කියන්නේ මේ විදියෙ කතාවක්. ‘උඩුගුවනේ කසළ එකතුවීම එන්න එන්න ම වැඩි වෙනවා. දැන් පවතින තත්වය ඉදිරියේ එන ව්‍යාපෘතිවලට ප්‍රශ්නයක් වෙනවා. අභ්‍යවකාශ ගවේෂණවලට වගේම තාක්ෂණික දියුණුවටත් එයින් විශාල බාධා ඇති වේවි.’
රාත්තල් 110 බර මේ ස්වයංක්‍රීය චන්ද්‍රිකාව

‘ඒ නිසා දැන් තියෙන තත්වය අනුව ලොව පුරා සිටින විද්‍යාඥ පරපුරට සිද්ධ වෙනවා, එකට එක් වී මේකට විසඳුමක් සොයන්න. ෆෝම් ඩෙබ්රිස් කැච්ර් (කුණු අල්ලන පෙණ විදිනය) තමයි, දැනට මේ සඳහා ඇති වඩාත් හොඳම වියදම් අඩු ක්‍රමය.’

 ‘දැනට ඇති සෑම තාක්ෂණයක් ම වාගේ යොදා ගෙන තමයි, මෙය තනා තියෙන්නේ. පියවරෙන් පියවර දියත් කරන ඉතාමත් නිවැරදිව ගණනය කොට තැනූ ආදර්ශයන් යොදා ගෙන පෘථිවියේ සිට ක්‍රියාත්මක කරවිය හැකි විධියටයි මෙය තනා ඇත්තේ.’ එයා වැඩිදුරටත් කියනවා.

නිෂ්පාදන ආයතනය සැලසුම් කර ඇත්තේ මේ බැරල් හැඩයේ කුණු අල්ලන පෙණ විදිනය රොකටයක් මගින් උඩුගුවන යැවීමටයි.
සක්වළ යානයක් මගින් මේ රාත්තල් 110ක් බර කුඩා චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන ගොස් මුදා හරිනු අයුරු සිත්තරකුගේ ඇසින්.

රාත්තල් 110 බර මේ ස්වයංක්‍රීය චන්ද්‍රිකාවක් වන මෙය යානයෙන් වෙන් වී ගොස් කසළ වලාවකට ළං වූ විට බූවල්ලකුගේ අඬු වැනි පෙණ ධාරා විද ඒක අල්ලා ගෙන ඇද ගෙන ගොස් පෘථිවි වායු ගෝලය වෙත තල්ලු කරනවා. වායුගෝලයට ඇතුළු වූ විට ඒ කසළ ගිනි ගන්නවා. පෘථිවියට වැටෙන්නේ නැහැ. වායුගෝලය තුළ ම ඉබේ ම පිළිස්සී අළු බවට පත් වෙනවා.

දැනට කසළ කැබලි මිලියන 128කට වැඩි ප්‍රමාණයක් උඩු ගුවනේ පාවෙමින් තියෙනවා. ඇත්තෙන්ම ඒවා බුලට් වේගයෙන් කක්ෂයේ ගමන් කරමිනුයි තියෙන්නෙ. ඉතා වේගයෙන් සැරිසරන මේ කැබලි වැදීමෙන් කෘත්‍රිම චන්ද්‍රිකා, ගු‍වනේ පාවෙන දුරේක්ෂ, අභ්‍යවකාශ යානා ආදිය ඕනෑම එකක් විනාශ වී යා හැකියි. මෙය උඩුගුවනේ දී මිනිසා මුහුණ දෙන භීතිකාවක් හෙවත් මානසික රෝග තත්වයක්. එය හැඳින්වෙන්නේ කෙස්ලර් සංකූලතාව (Kessler syndrome) කියලයි.
මෙවැනි සක්වළ වලාවක් දුටු විට බරල් හැඩයේ කුණු ‘ලොරිය’ විසින් පෙණ දහරක් විදිනු ලබයි.

මේ සංකූලතාව ගැන මුලින් ම අදහස් පළ කළේ 1978දී නාසා විද්‍යාඥයකු වූ ඩොනල්ඩ් කෙස්ලර්. එයින් කියැවෙන්නේ උඩු ගුවනේ පහළ කක්ෂවල, පෘථිවි වායුගෝලයේ රැඳුණු වස්තූන්වල ගහණය වැඩි වූ විට එක්තරා මට්ටමක දී ඒවා පෘථිවියේ සිට උඩු ගුවනට යන අභ්‍යවකාශ යානාවල ගැටීමේ සම්භාවිතාව වැඩි කරන නිසා ඒවා ගැටේ දෝයි යන බිය ගැනයි. එවැනි විටෙක ඒවා ගැටී විනාශ වීම නිසා කසළ ගොඩට තවත් සුන්බුන් එකතු වෙනවා. එවිට පෘථිවියේ සිට අභ්‍යවකාශයට යන අයට අනතුරු සිදුවීමේ අවදානම වැඩි වෙනවා.
පෙණ දහරක් විද අල්ලා ගන්නා කුණු පෘථිවි වායු ගෝල වෙත ගෙන ගොස් මුදා හැරේ.

මෑතදී කරනලද අධ්‍යයනයකින් යෝජනා කෙරුණා, අභ්‍යවකාශයට කසළ එකතුවීමේ අවදානම අඩු කරන්නට චන්ද්‍රිකා උඩු ගුවනට යැවීම සීමා කළ යුතු බවට. ඇමෙරිකාවේ කොලරාඩෝ සරසවියේ පර්යේෂකයන් පෙන්වා දීලා තියෙනවා, කක්ෂගත කරන හැම වස්තුවක් සඳහා ම කක්ෂය පාවිච්චි කිරීමේ ගාස්තුවක් ඒවා යවන්නන්ගෙන් අය කර ගැනීමට හැකි වන ආකාරයේ අන්තර්ජාතික ගිවිසුමක් ඇති කර ගත යුතු බව. එසේ අය කරන ගාස්තුව වසරක් පාසා වැඩි කිරීම සුදුසු බව. එය වසර 2040 වන විට ඩොලර් 2,35,000 පමණ විය හැකි බව. ඒ පර්යේෂණ කණ්ඩායම කියන්නේ පෘථිවි කක්ෂයට වසරක් පාසා කසළ එක්වීම අඩු වූ පසු අවදානම් වියදම පහත හෙළිය හැකි බවයි.



මොනවද මේ උඩු ගුවනේ රැ‍ඳ‍ෙන ‘අභ්‍යවකාශ කසළ’ කියන්නේ ? 

දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට ‘අභ්‍යවකාශ කසළ’ කැබලි මිලියන 170ක් පමණ කක්ෂගත ව පවතිනවා. මේවා අභ්‍යවකාශ ගමන්වල දී අත්හැර දමන ලද ඒවායි. ඒවාට අයත් වෙනවා, අවස්ථා කීපයක දී දල්වා ඉවතලන රොකට් සුන්බුන්වල පටන් රොකට්වල ආලේප කර තිබී ගැලවී ගිය කුඩා තින්ත කැබලි ආදියත්. රොකට් කක්ෂගත කිරීමට උපකාර කරගෙන ඉවතලූ මේ කොටස්වල අගය ඇමෙරිකන් ඩොලර් බිලියන 700ක් පමණ වෙතැයි ගණන්බලා තිබෙනවා.

එවැනි කසළ ගොඩවල් 22,000ක් පමණයි, දැනට හඳුනාගෙන ති‍යෙන්නේ. ඒවායේ ඇති පුංචි කැබැල්ලක් පවා පැයකට කිලෝමීටර් 27,000ක වේගයෙන් තමයි, කක්ෂයේ ගමන් කරන්නේ. ඒ එක පුංචි කැබැල්ලක් වැදුනත් චන්ද්‍රිකාවක් විනාශ වෙන්න පුළුවන්.
සිත්තරකුගේ ඇසින් - පෘථිවිය වටා ඇති වායුගෝලයේ ඉහළ කොටසේ අභ්‍යවකාශ යානාවල සුන්බුන් මේ ආකාරයට භ්‍රමණය වෙමින් පවතිනවා.

සාමාන්‍යයෙන් මහ පොළොව මත දී අප කුණු එකතු කරන සුපුරුදු ක්‍රම එකක්වත් උඩු ගුවනට හරි යන්නේ නැහැ. කුණු උරා (ඇද) ගන්නා රික්ත කෝප්ප යොදා ගන්න බැහැ, මේ කලාපය වාතයෙන් තොර නිසා. දැඩි ශීතල උෂ්ණත්වයක් ඇති නිසා, ගම් ටේප් හෝ මැලියම් ආදිය යොදා ගන්නත් පුළුවන්කමක් නැහැ. චුම්බක යෙදූ ඩැහි අඬුවලින් වුනත් පලක් වෙන්නේ නැහැ, පෘථිවි කක්ෂය අවට කලාපය තුළ චුම්බක අක්‍රිය වන නිසා.

මේ සඳහා කර පිළියම් විසඳුම් අතරින් වැඩිපුර යෝජනා වන්නක් වන කුණු අමුණන හාපූන භාවිය වත් යොදා ගන්න බැහැ. හේතුව හාපූනයක් ඇමිණීමට විනිවිදිය හැකි බලයක් යොදන්න වෙනවා. බැරිවෙලාවත් එය ඇමිණෙන්නේ නැති ව වැදීමත් සමග තල්ලු වී ගියොත් ඒ ආකාශ වස්තුව කොහේ යාවිදැයි සිතා ගත නොහැකි වෙනවා.

විද්‍යාඥයන් කියන්නේ පසුගිය වසරවල උඩුගුවනේදී සිදු වූ අනතුරු දෙකක් නිසා අභ්‍යවකාශ කසළ ගැටලුව තීව්‍ර කළ බවයි. ඉන් ප්‍රධාන අනතුර 2009 දී ඉරිඩියම් ටෙලිකොම් චක්ද්‍රිකාවක් හා කොස්මොස් 2251 නම් රුසියානු හමුදා චන්ද්‍රිකාවක් හදිසියේ ම අනපේක්ෂිත අයුරින් එකිනෙක හා ගැටීමයි. අනිත් එක 2007 දී චීනය විසින් කළ චන්ද්‍රිකා නාශක අවියක් අත්හදා බැලීමට කළ පුපුරුවා හැරීම නිසා ඇති වුණු දෙයක්. ඔවුන් යවපු පැරණි කාලගුණ චන්ද්‍රිකාවක් වූ ‍ ෆෙන්ජියන් පුපුරුවා හැරීම නිසා විශාල සුන්බුන් ප්‍රමාණයක් උඩුගුවනේ විසිරී තියෙනවා. විශේෂඥයන් කියන විධියට මේ සුන්බුන් කසළ ගොඩවල් දෙක විසිරී තියෙන්නෙ ඉතාමත් අනතුරුදායක කක්ෂ පථ දෙකකයි,

ඒ එක කසළ ගොඩක් තියෙන්නේ සැට්නැවි, අයි එස් එස්, චීනයේ මිනිසුන් ගෙන යන මෙහෙයුම් හා හබ්ල් දුරේක්ෂය සමග තවත් ඒවා ඇතුළත් කක්ෂයේයි. අනික් එක ඇත්තේ ජ්‍යොස්ථාපිත කක්ෂයේ. ඒ කියන්නේ චන්ද්‍රිකා ස්ථිරව රඳවා තිබිය හැකි කක්ෂයේ. එහි තමයි, සන්නිවේදන චන්ද්‍රිකා, කාලගුණ හා අවේක්ෂණ චන්ද්‍රිකා රඳවා තබන්නේ. ඒවා පොළොවට සාපේක්ෂව ස්ථිර තැන්වල ස්ථාන ගත කිරීම අවශ්‍යයි, ඒවායින් වැඩ ගන්නට නම්. මේ සුන්බුන් ඒවායේ වැදුණොත් මහ පොළොවේ සිදුවන බොහෝ දේ අඩපණ වෙනවා.

- පර්සි ජයමාන්න
Viewing all 1094 articles
Browse latest View live