Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1094

රනිල්ගේ රටේ 'යටත් වැසියකු'වීමට සිදු වීම ගැන මට ලැජ්ජයි!

$
0
0

මං උපන්නෙ යටත් විජිත ලංකාවෙ. මට යන්තම් බහ තේරෙන කොට අපේ තාත්තලා නැති වූ නිදහසක් යළිත් ලබා ගන්න හැටි ගැන කතා කරනවා මට ඇහිලා තියෙනවා. ගුරුවරයෙක් හැටියට තාත්තා පොත පත සාහිත්‍යය ගැන, භාෂාව, ඉතිහාසය, ප්‍රජාචාරය, ස්වභාව විද්‍යාව, ගණිතය ගැන විතරක් නෙමෙයි, ඒ හැමට ම වැඩියෙන් ඉගැන්නුවෙ මනුස්සකම ගැන; හැම මිනිසකුට ම සමානව සලකමින් ජීවත්වන හැටි ගැන; සමාජවාදය ගැන, විශේෂයෙන් ම සමසමාජයක් ගැන කිව්වා. සුද්දන්ගේ කාලෙක නිදහස ලබා ගන්නට සටන් කරන්නට, නිදහස ලබා ගත්තාට පස්සෙ සෑම මිනිසකුට කිසිම භේදයකින් තොරව ජීවත් විය හැකි රටක් රට හදා ගන්නට, හදා ගත්තු සමසමාජ පක්ෂයක් ගැන කිව්වා. තාත්තා කී විදියට නිදහස අපට ලැබුණත් සමසමාජයක් නම් ලැබුණේ නැහැ. සමසමාජ පක්ෂය නම් ඒ අයම නැති කර ගත්තා. අවුරුදු 74ක් ගිහිල්ලත් අපට සැනසිල්ලක් ලැබුණේ නැහැ. 

ඉතා ම පුංචි සන්දියෙ වුනත්, එදා මම ලැජ්ජා වුණ‍ා, යටත් විජිත ලංකාවෙ ඉපදුන එක ගැන. තාත්තා ඒකට එකඟ වුණේ නැහැ. ‘ලැජ්ජා වෙන්න එපා! අපට පස් මහ බැලුම් බලලා උපදින්න බැහැනෙ. ඒ හින්දා ලැජ්ජා වෙන්න දෙයක් නෑ. මේක ලෝකෙන්ම උතුම් රට. මේ රටේ ඉපදෙන්න ලැබුණු එක වාසනාවක්.’ කියලා අපේ තාත්තා කිව්වා විතරක් නෙවෙයි, ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිතුමා වෙලා හිටපු කාලේ එතුමා පාසල් ළමුන්ට ලියා දුන් ‘ලෝකෙන් උතුම් රට ලංකාවයි’ යන ගීය ජාතික ගායන තරඟාවලියේ දී තමන්ගේ විදුහලට ලබා ගන්න තරම් උනන්දු වුණා මට මතකයි. 

අරගලය උදා කර දුන් තත්වයෙන් ප්‍රයෝජනය අර ගෙන බලයට ආ...

නිරක්ෂය ආසන්නව මහමුහුද මැද පිහිටි දූපතක් නිසා අපි හරි වාසනාවන්තයි, කියලා එදා තාත්තා අපට කියා දුන්නා. නිරක්ෂයෙන් ඈතට වෙන්න පිහිටි හැම රටකට ම ඍතු භේද තියෙනවා. අවුරුද්දේ දේශගුණයේ වෙනස්කම් තියෙනවා. දැඩි ශීත කාලයක්, හිම වැටෙන කාලයක් තියෙනවා. ඒ වගේ ම ගහ කොළ වේලිලා යන උග්‍ර උෂ්ණාධික කාලයක් එනවා. දරුණු වැහි සමයක් එනවා. ඒ කාලයට ජීවිතය ගෙනි යන්න වෙනම සටන් කරන්න ඒ රටවල වැසියන්ට සිදුවෙනවා. අපට එහෙම නැහැ. අප ඉන්නේ හැම දෙයක් ම ගානට තියෙන රටක. මේක සංචාරකයන්ට නම් පාරාදීසයක්. වන සතුන් බලන්න කැමති අයට නම් ලෝකයේ ගොඩබිම ලොකුම සතාවත්, සාගරයේ ලොකුම සතා වූ තල්මසාත් පැයක් ඇතුළත එකවර නරඹන්න පුලුවන් වෙනත් රටක් ලෝකයේ නැහැ. 

හැටේ දශකයේ සිසිර කුමාර මාණික්කාරච්චි පොතක් ලිව්වා ‘සිරි ලංකා - ඉල්ලංකා’ කියලා. අපි පිටරටින් කෑම ගෙනත් කෑමත්, මෙහි නිපදවිය හැකි ඒවාත් නොසලකා හැර කටයුතු කිරීම ගැනත් හාස්‍යයට ලක් කරමින් ලියූ ඒ පොතෙන් වසර 60කට ඉස්සර ඉඟි කළේ අද අප වැටී ඇති තත්වයට ගැන ද? පසුගිය වසර හතළිහ තිස්සේම අප රට කරවපු අයගෙ වැරදි නිසා අද අපි බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙලා. මේ තත්වයට අප පත් වුණේ බලයේ හිටි අයගේ වැරදි ක්‍රියාකලාපය නිසයි. ඒ වගකීමෙන් කොටසක් ඔය කාලය තුළ පස් වතාවක් ම අගමැති ධූරය දැරූ රනිල්ටත් පැවරෙනවා. ඔය තත්වය උදා වුණේ එකපාරටම නෙ‍මෙයි. ඔය අවුරුදු 40 තුළ මේ සිදුවේගන යන වරද ගැන රනිල් අදහස් දක්වනවාවත් මට නම් ඇහුණෙ නෑ. ඉතින් ඒ නිසා හදිස්සියෙම ඇවිල්ලා එයාට මේක හරි ගස්සන්න පුලුවන් වෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. 

අරගලය උදා කර දුන් තත්වයෙන් ප්‍රයෝජනය අර ගෙන, අරගලයෙ කොල්ලන්ගේ ‘සිස්ටම් චේන්ජ්’ එක ණයට අරන් ඇවිත් එයා කරන්න යන සිස්ටම් චේන්ජ් එක මොකක්ද කියලා මට නං හිතා ගන්නවත් බැහැ. එයා ගොඩාක් දේ ගැන දන්නවා, කියා පෙන්නන්නට කියූ උපමා රූපකවලින් වැඩි හරියක් වැරදියි. අංගුලිමාල ලව්වා බුදුන්ගේ හිසට ගලක් පෙරළුවා වාගේ. ඒ වගේ ම ඒ වැරදුණු ගැනු හදා ගන්නවත් ඕනෑකමක් එයාට නැහැ. ලිච්චවි රජ දරුවන් ගැන එයා නිතරම කියන කතාවත් ඒ කියන තැන්වලට හරියටම ගැළපෙන්නේ නැහැ. ඒවා ඇසුණු මං හැමවිටම ලැජ්ජාවට පත්වුණා, මේ අපේ නායකයා නේද කියලා. 

අද ඉඳලා මං ආයිත් ලැජ්ජා වෙනවා. ඒ පුරවැසි බවින් පේල් වෙලා යටත් වැසියන් වීමට අපට සිදුවීම ගැන. ඇයි මං එහෙම කියන්නේ? අද ඉඳලා අපේ පාලනයට අපේ නියෝජනයක් නැහැ. පළාත් පාලන ආයතන, මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා කිසිවක් නෑ. අද රාත්‍රියේ සිට ඒවා විසුරුවා හැරෙනවා. ඒ අනුව පළාත් ආයතන පාලනය මහජන නියෝජිතයන් සභාගිත්වයෙන් සිදුවන්නේ නැහැ. දැන් ඒවා පාලනය වන්නේ කොමසාරිස්වරුන් මගින්. අපට පළාත් සභාත් නැහැ. ඒවාත් විසුරුවා හැරියාට පස්සෙ ඡන්දයක් තියලා නැවත අපේ නියෝජිතයන් පත්කර ගත්තෙත් නැහැ. පළාත් සභාවලට නියෝජිතයන් පත් කර ගන්න නාම යෝජනා ගත්තත්, අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් ගත්තත් අපේ ජන අධිපති යැයි කියා ගන්නා කෙනා කියනවා එයා දන්න විදියට නම් ඡන්දයක්. ඡන්දයක් තියන්න සල්ලිත් නෑ. එයා කියන්නේ ඔලොක්කුවට හිනා වෙවි. ඉතින් ඒ නිසයි, ඡන්දදායකයෙක් වෙච්ච මට ලැජ්ජා හිතෙන්නෙ. 

එහෙම හිනාවෙන්න එයාට පුලුවන්. මොකද එයා අපේ ඡන්දෙන් ආපු කෙනෙක් න‍ෙමෙයි. ලංකාවෙ කවුරුවත් එයාට ඡන්දෙ දුන්නේ නෑ. ජනතා‍ව එයාගේ පක්ෂයටවත් මන්ත්‍රී මණ්ඩලය නියෝජනයක් ගන්න ඉඩක් ලබා දුන්නේ නැහැ. එයාගෙ මාමාගේ ව්‍යවස්ථාවෙන් මුළු රටේම ඡන්ද ප්‍රතිශතය අනුව එකම ආසනයක් ජාතික ලැයිස්තුවෙන් හිමි වුණා. එයාගේ නමවත් ඒ ගොල්ලන්ගේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ නැහැ. ඒ නිසා ඡන්දෙන් පසු එයාගෙ පක්ෂයට ලැයිස්තුවෙන් කෙනෙක් නම් කරන්න කිව්වත් එවේලේ ඒක කළේ නෑ. ලැයිස්තුවෙන් පිට කෙනකු පත් කරන්න එපා කියලා නීතියක් පණවලා නැති නිසා, 

අවුරුද්දකටත් වැඩි කාලයක් යන්න ඇරලා හෙමිහිට තමාවම නම් කර ගෙන මැති සබයට ආවා. ඇවිත් පාර්ලිමේන්තුවේ තනි අලියා වෙලා ඉඳලා ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් හිස්වුණු අගමැති පදවියට මෙයාව පත් කළා පමණක් නොවෙයි, ගෝඨාභය පදවිය අත්හැරියාට පස්සේ ජනාධිපති පදවියේ වැඩ බලන්නත් පත් කළා. ඊට පස්සේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් ජනාධිපති පදවියේ ස්ථිර වුණා. ඒ වුණාට මේ රටේ ජනතාව එයා වෙනුවෙන් ඡන්දය දෙන්න වරමක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දුන්නේ නැහැ. මං එහෙම කියන්නේ එයා අගමැති වෙලා හිටපු පක්ෂයට විරුද්ධව ඡන්ද අරගෙනයි, ඒ අය මැති ස‍බයට ආවෙ. ඒ නිසා අපට හිනාවෙන්න අයිතියක් එයාට තියෙනවා. 

ඊළඟට එයා අපට හිනාවෙනවා. ‘මට ගෙයක් නෑ ඒ හින්දා ලයිට් බිලක් නෑ. වතුර බිලක් නෑ. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, කියලා. එහෙම හිනාවෙන්නේ අපේ විදුලි බිල වැඩි වුණාටයි, ජල බිල වැඩි වුණාටයි. ඒවා කවුද කළේ?ඒවා කළෙත් එයාමයි. එතැනින් නතර නොවී අපට තවත් හිනා වෙන්න දේවල් එයාම ඇති කරාවි. අධිකරණය දෙන තීන්දුව හෑල්ලුවට ලක් කරල ඒකටත් එයා හිනා වෙවි. ඒවා දකින විට අපට තව තවත් ලැජ්ජාවීමට සිදු‍වේවි. සමස්ත ලෝකය ම අපට හිනාවේවි. රනිල්ගේ රටේ යටත් වැසියකු වීමට සිදු වීම ගැන මම ලැජ්ජයි කියන්නේ ඒකයි. 

- පර්සි ජයමාන්න


Viewing all articles
Browse latest Browse all 1094