Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1094

නස්රුදින්ගේ යාළුවාගෙ පූසා මැරිලා!

$
0
0

නස්රුදින්ගේ යාළුවෙක් එයාගේ ගෙදර නස්රුදින්ට බාර දීලා දුර බැහැර රස්සාවකට ගියා. යාළුවාගේ ගෙදර යාළුවාගෙ අම්මත් නෝනත් විතරක් නෙවෙයි, බල්ලෙකුත්, පූසෙකුත් හිටියා. 

“මොනව හරි වුනොත් මට දන්වපං මචං” යාළු‍වා යන්න ඉස්සරින් නස්රුදින්ට කිව්වා. 

"හරි! හරි! මං ඒව ගානට කරන්නම් උඹ යන වැඩේ හරියට කර ගනිං” නස්රුදින් කිව්වා. 

ටික දවසක් ගත වුණා. යාළුවාගේ පූසා හදිසියේ ම මැරුණා. නස්රුදින් යාළුවාට පණිවිඩේ කෙළින් ම යැව්වා, “මචං උඹේ පූසා මැරුණා!” කියලා. 

යාළුවා ඒ කතාවෙන් හරියට කලබල වුණා. එයා මෙහෙම උත්තරයක් නස්රුදින්ට එව්වා. “මං ඉන්න පළාතේ අය ඔය වගේ ශෝකජනක පණිවිඩයක් දෙන කොට උඹ ඔය දුන්න වගේ එකපාරට ම පණිවිඩේ පොල්ලෙන් ගැහුවා වාගේ දෙන්නේ නෑ. ඒක ටිකෙන් ටික කලබල නොවෙන විදියට තමයි, ඒ ආරංචිය දෙන්නෙ. හරි නම් උඹට මුලින් ම කියන්න තිබුණෙ, ‘උඹේ පූසා මහ අමුතු විදියට හැසිරෙනවා’ කියලයි. ඊට පස්සෙ කියන්න ඕනෙ, ‘උඹේ පූසා හැම තැනම පැන පැන යනවා’ කියලයි. තවත් ටිකක් පහුවෙලා උඹට කියන්න තිබුණෙ, ‘උඹේ පූසා ආ ගිය අතක් නෑ’ කියලයි. අවසානයට තමයි, කියන්න තිබුණෙ, ‘උඹේ පූසා මැරුණා’ කියලා. දුක්මුසු ආරංචි දෙන කොට එහෙමයි කරන්න ඕනෑ. යාළුවා නස්රුදින්ට කියලා එව්වා.  

මාසෙකට විතර පස්සෙ, නස්රුදින්ගෙ යාළුවාට නස්රුදින්ගෙන් පණිවිඩයක් ලැබුණා. ඒකෙ මෙහෙම වගන්තියක් ලියලා තිබුණා‍: ‘උඹේ අම්මා මහ අමුතු විදියට හැසිරෙනවා!’ 

(පර්සි ජයමාන්නගේ නස්රුදින් පොත් පෙළේ ළඟදීම පළ වන පස් වන කෘතියෙනි. නස්රුදින් පොත් ‍පෙළ පළ වන්නේ ගුණසේන ප්‍රකාශන හැටියටයි.)


Viewing all articles
Browse latest Browse all 1094

Trending Articles