Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all 1101 articles
Browse latest View live

දියවැඩියාව මනින්න නව තාක්ෂණික මාලයක්!

$
0
0

ලොව පුරා සිටින කෝටි 40ක් (මිලියන 400ක්) වන දියවැඩියා රෝගීනට පහසුවෙන් රුධිරයේ සීනී (ග්ලූකෝස්) මට්ටම මැන බැලීමට අලුත් ක්‍රමයක් සොයා ගෙන තියෙනවා. ඒ විස්මිත (සමාට්) ගෙල පලඳනාවක්. මේ අනුව අනාගතයේදී ඇඟිලි තුඩ සිදුරු කොට රුධිරය ගැනි‍ීමට අවශ්‍ය වන්නේ නැහැ. 

පැණි බීම ලබා මිනිත්තු 30ත් 40ත් කාලයක් තුළ, සිරුරේ සීනි මට්ටම ඉහළට ම නඟිනවා.

මේ අපූරු මාලයේ පෙන්ඩන්ඩ් එක වෙනුවට තියෙන්නේ ඊට ගාංචුවකින් ඇමුණූ ජෛවරසායනික සංවේදකයක්. ඒ සංවේදකය සිරුරට ස්පර්ශ වෙන විධියටයි තනා තියෙන්නේ. ගෙල වටා දැමූ පසු ඒ සංවේදකයට පුළුවන් අපේ ඇඟ‍ෙන් පිට වන දාඩියෙහි ඇතුළත් ග්ලූකෝස් හා ‍සෙරොට‍ොනින් (serotonin) මට්ටම් මැන බලන්න. 

මිනිසුන් සමග කළ ශාසනික අත්හදා බැලීම්වලට එක් වූ ඇමරිකාවේ ඔහියෝ (Ohio) ජනපද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පර්යේෂකයන් කියන්නේ මේ ස්මාට් මාලයට සියයට 98.9ක් නිවැරදිව සෝඩියම්, පොටෑසියම් හා හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයව ඇති ආකාරය මැන බැලීම කළ හැකි වූ බවයි. 

මේ අපූරු සංවේදක පලඳනාවේ නිර්මාණකරුවන් කියන්නේ අවශ්‍ය නම් මෙය රෝගීනට තම සෞඛ්‍ය තත්වය දැන ගැනීමට, තමන් පලඳින මුද්දකට, මාලයක හෝ කරාබුවකට වුනත් සවි කරගත හැකි බවයි. එසේ නැත්නම් මෙය සමට යටින් තැන්පත් කරවා ගන්නත් පුළුවන්. 

මෙම අධ්‍යයනයේ සමකර්තෘ වන ජිංහුවා ලී පැහැදිලි කළේ අපේ සෞඛ්‍යයට අදාළ වූ ජෛව සලකුණු සිය ගණනක් අපේ දහදියෙහි ඇති බවයි. “ඉදිරියේ දී තැනෙන, ඊළඟ පරම්පරාවේ ජෛව සංවේදක අධි ප්‍රතිභානයක් ඇති, ආක්‍රමණශීලී නොවන, එහෙත් පුද්ගලයකුගේ සිරුරෙන් ස්‍රාවය වන දහදියෙන් ප්‍රධාන කරුණු රැසක් හෙළිදරවු කර ගත හැකි ඒවා වේවි.” යයි ලී ප්‍රකාශනයක් නිකුත් කරමින් කියනවා. එසේ ම ඇගේ සටහනෙහි දක්වෙනවා, සංවේදකය ප්‍රමාණයෙන් තවත් කුඩා වන බැවින් ඊට කියවීමක් ලබා දීමට අවශ්‍ය වන්නේ දහදිය ඉතා සුළු ප්‍රමාණයක් බවයි. 

ස්මා‍ට් මාලයේ ප්‍රථම ශායනික පරීක්ෂාවලට යොදා ගත්තේ ව්‍යායාම් පාපැදියක්.

ලී සහ ඇගේ කණ්ඩායම, මිනිසුන් සමඟ කළ මේ ස්මා‍ට් මාලයේ ප්‍රථම ශායනික පරීක්ෂාවලට යොදා ගත්තේ ව්‍යායාම් පාපැදියක්. ඒ මාලය පලඳවා ඔවුන් ලවා මිනිත්තු 30ක් ව්‍යායාම් පාපැදිය පදවනවා. ඔවුන් ඒ පරීක්ෂාව කළේ ඒ ක්‍රියාව අතරතුරයි. ඉන්පසු ඊට සභාගිවූවන්ට මිනිත්තු 15ක විවේකයක් ලබා දී සීනි මිශ්‍ර සිසිල් බීමක් බොන්නට දී යළිත් පාපැදි ව්‍යායාමයේ යොදවනවා. 

ඒ සියලු දෙනාගෙන් ලද ප්‍රතිඵල අනුව පෙනී ගියා, සිරුරේ ග්ලූකෝස් සාන්ද්‍රණය, පැණි බීම ලබා මිනිත්තු 30ත් 40ත් කාලයක් තුළ, සිරුරේ සීනි මට්ටම එහි මුදුනට ම නැඟ ඇති බව. “ඒ ප්‍රතිඵල අපට කියා පාන්නේ ග්ලූකෝස් සාන්ද්‍රණයේ පැහැදිලිව ම වැඩිවීමේ අඩුවක් ඇති බවයි. ඉන් හැඟවෙන්නේ සීනී බීම පානය කිරීම දහදියෙහි ඇති ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීමට හේතු වන බවයි.” යනුවෙන් ‘සයන්ස් ඇඩ්වාන්සස්’හී ඔවුන් පළ කළ අධ්‍යයනයෙහි දැක්වෙනවා. 

ජිංහුවා ලී කියන්නේ මෙවැනි උපකරණයක් ජනතාවට නිකුත් කිරීමට පළමුව ඔවුන්‍ කල්පනා කරන්නේ මිනිස් ජීවිත බේරා ගැනීමට නම් මේ මෙවලම කුමන ආකාරයෙන් භාවිත කළ යුතුද කියා පැහැදිලි එකඟතාවකට ආයුතු බවයි. 

අපේ ෆෝන්වල, ලැප්ටොප්වල භාවිත කරන, විශාල මෙන් ම ගොරෝසු පරිගණක චිප්වලට වඩා වෙනස් මේ සංවේදක තනා ඇත්තේ ඉතා සියුම්, අති තුනී ද්‍රව්‍යවලිනුයි. මේ විධියේ සැලසුමකින් නිෂ්පාදනය ඉතා නම්‍යශීලී වෙනවා. මේ මෙවලම යමකුගේ සම මත ආරක්ෂා සහිතව ක්‍රියාත්මක කිරීමට හැකි තත්වයට දියුණු කළ යුතු වෙනවා. 

මේ ග්‍රැෆික් චිත්‍රයෙන් දැක්වෙන්නේ එය ගෙලෙහි පලඳවන ආකාරයයි.

ඒ සඳහා තවදුරටත් මේ චිපය කුඩා කළ යුතු වෙනවා. මේ කාර්යයට එය වඩාත් ගැළපෙන්නේ එවිටයි. මෙය සමට ඇතුළු කොට තැන්පත් කළ හැකි තත්වයට පත් කළ යුතුයි. ලී කියන්නේ සරල ක්‍රමලේඛ යොදා ගෙන සකසා ඇති මේ මෙවලම දැනටමත් සැහැල්ලු එකක් කියායි. ඒ නිසා මේ අයුරින් වුවත් අපේ එදිනෙදා ජීවිතයට එකතු කර ගත හැකියි. 

මේ ජෛව සංවේදකය සැලසුම් කර ඇත්තේ යමකුගේ සෞඛ්‍ය තත්වය මනින්නයි. පසුගිය වසරේ ඔවුන් ඉදිරිපත් කළ පලඳනාවේ අරමුණ වුණේ යමකු විඩාවට පත් වී ඇත් නම් ඒ බව කල්තියා දැන ගැනීමටයි. මේ පලඳනාව ඍජුව ම යමකුගේ සම ස්පර්ශ කරන්නට සැලැස්වූ විට, දුර්වල හඳුනා ගැනීමේ තත්වයන් යටතේ වුවත් ඉතා ඉහළ සංවේදිතාවකින් ක්‍රියා කරන බවයි, මෙය නිපදවූ ඉංජිනේරු පිරිස කියන්නේ. 

මෙය සංවර්ධනය කර නිපදවන්න එක් වූ අනෙක් කණ්ඩායම ස්විට්සර්ලන්තයේ ලෝසෑන් පෙඩරල් තාක්ෂණික ආයතනයේ (Swiss Federal Institute of Technology Lausanne) ඉන්ජිනේරුවන් පිරිසක්. ස්විට්සර්ලන්තයේ නවීන චර්ම පර්යේෂණායතනයක් වූ එක්සෙන්සියෝ (Xsensio) හී සහයත් ඔවුන්ට ලැබුණා. 

    - පර්සි ජයමාන්න  


ගාමිණී ෆොන්සේකාට කලින් සිංහල සිනමාවට ආ ගාමිණී

$
0
0

‘ගාමිණී’ යන නම මතක් කළ සැණෙන් අපේ මතකයට එන්නේ ගාමිණී ෆොන්සේකායි. ඔහු සිංහල සිනමාවට පිවිසියේ 1956 දීයි; ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයෙනි; මුලින් ම ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ‘දෛවයෝගය’ (1959) චිත්‍රපටයේයි. ගාමිණී සිනමාවට එක් වන්නට වසර තුනකට කලින්, එනම් 1953 දී තවත් ගාමිණී නමක් සිංහල සිනමාවට එක් වූයේ සිනමාලෝලයන් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ‘ගාමිණී’ නම් සිනමා හලයි. කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතත් ටී. බී. ජයා (ඩාලි පාරත්) මාවතත් එක්වන මංසන්ධියේ පිහිටි, සිංහල චිත්‍රපටවලට සීමා වූ මේ සිනමා හල අද එතැනට ඒ නම පමණක් ඉතිරි කොට අප හැර ගොසිනි. එය කිසිදා නුදුටු අය පවා එතැන හඳුන්වන්නේ ගාමිණී හෝල් කියායි. 


සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්

හරියට ම මීට වසර 38කට පෙර ඇති වූ ‘කළු ජූලියේ’ ශාපයට ලක්වෙමින්, 1983 ජූලි මස 25 වැනි දින උදේ එතැනින් ගිය අප දුටුවේ ගින්නෙන් දා ගිය බිත්ති කිහිපයක් පමණකි. ජූලි 24 වැනි දින ඇසළ පොහෝ දිනය වූ නිසා එහි දර්ශන පැවැත් වූයේ නැත. ඒ වන විට එහි ප්‍රදර්ශනය කරමින් තිබුණේ තවත් ගාමිණී ක‍ෙනකු තැනූ චිත්‍රපටයක්. ඒ ගාමිණී හේවාවිතාරණගේ ‘මැණික් මාලිගා’යි. 

මෙසේ ගාමිණි සිනමාහල ගිනි තැබුවේ මක්නිසාද? සිංහල චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය කළ, සිනමාස් සමාගමේ ප්‍රධාන සිනමාහල වූ ගාමිණී සිනමාහල මෙසේ දවා හළු කරනු ලැබුවේත් අපේ මුල් සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ හා පුරා තිරයට ගෙනා කොටහේනේ කිංස්ලි සිනමා හලට ඒ ඉරණම ම අත්කර දුන්නේත් ඒ සිනමාහල් දෙක ම එක හා සමාන මුහුණුවරක් ගත් නිසා යයි කතාවක්ද ඇත. නැතිනම් කිංස්ලි සිනමාහල පසුව දෙමළ චිත්‍රපට සඳහා ම වෙන්වූ නිසා ද? 

1983 ජූලි 23 වැනිදා එල්.ටී.ටී. සංවිධානය යාපනයේ දී සැඟවී සිට පහර දී 13 දෙනකුගෙන් යුත් ලාංකික භට පිරිසක් මරා දැමීම නිසා දකුණේ කලබල ඇති විය. ඒ භටයන‍්ගේ සිරුරු මිහිදන් කරන්නට කොළඹ කනත්තට ගෙනා පසු ඊට ගරු බුහුමන් දක්වන්නට ආ මහා ජන ප්‍රවාහය ප්‍රකෝප වී දෙමළ ප්‍රජාව හා ඔවුන්ට අයත් ව්‍යාපාර විනාශ කිරීමට පටන් ගත්තෙන් රජයට එය එක්වරම පාලනය කර නොහැකි විය. සිංහලයන් සඳහා සිංහල චිත්‍රපට පමණක් පෙන්වූ ගාමිණි සිනමාහල ගිනි තැබුවේ ද සිංහලයින්ගේ ඒ කෝපයේ ප්‍රතිඵලයක් හැටියටයි. සතියක් පුරා පැවති ඒ ව්‍යසනය ‘කළු ජූලිය’ කියා හැඳින්වෙයි. ‍ 

දශක තුනකට වැඩි කාලයක් සිංහල සිනමාවේ දියුණුවට උර දුන් ඒ ගාමිණී සිනමාහල බිහිකළ අපූරු මිනිසා ගැන ද යමක් කිවයුතුය. ඔහු උතුරුකරයේ සිට ඇවිත් අගනුවර සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ප්‍රජාව අතර නමක් දිනා ඔහු කනගසබේ ගුණරත්නම් හෙවත් කේ. ගුණරත්නම්ය. ඔහුගේ කතාව දුක දිනා ජයගත් එකකි; එහෙත් අවසානය ශෝකාන්තයකි. 


සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් 
සිනමා උළෙලක දී

ලංකාවේ දකුණු කොනෙන් මෙන් ම උතුරු කොනෙන් ද තම අනාගතය සොයා, කොළඹ බලා ආ තරුණයන්ගේ කතා බොහොමයක් සිත් ගන්නාසුලුය; දිරිය වඩවනසුලුය. එකල අපේ අගනුවර වූ කොළඹට ඇවිත් ලංකාවත් දිනා ලොවත් දිනූ අය අතරින් 1922 දී ගාල්ලේ අක්මීමන සිට කොළඹ ආ මැලිබන් මුදලාලිගේත්, 1934 යාපනේ අතියාඩිවල සිට කොළඹ ආ සිනමාස් මුදලාලිගේත්, 1933 දී මාතර සුල්තානාගොඩ සිට කොළඹ ආ නවලෝක මුදලාලිගේත් ආරම්භක කතා බොහෝ දුරට එක හා සමානය. ඔවුන් තිදෙනාම සමාජයේ ඉහළ ම තලයට පත් ව සමාජයේ නොමඳ ගෞරව ලැබූහ; එසේ ම සමාජයට විශාල සේවයක් කළහ. එයින් මැලිබන් මුදලාලිත් නවලෝක මුදලාලිත් සතුටින් පිරි අවසානයක් දුටුවත් සිනමාස් මුදලාලිට, එනම් සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ට, ඒ වාසනාව ලැබුණේ නැත. ඔහු 87-89 ජේවීපී කැරැල්ල සමයේ සාහසිකයකු අතින් ඝාතනය කරනු ලැබීය. ඒ 1989 අගෝස්තු 27 වැනි දා දිවා ආහාරය සඳහා නිවසට යමින් සිටියදීය. 

උතුරුකරයේ සිට සිය අනාගතය සොයා කොළඹ පැමිණි ගුණරත්නම් නම් දමිළ තරුණයා, මුලින්ම කොටහේනේ කුඩා ඩිස්පැන්සරියක සේවයට බැඳුණේය. ඔහුට එහි ඇති හැම වැඩක් ම කරන්නට සිදුවිය. ඒ අතරතුර ඔහුට කිංස්ලි සිනමාහලේ සේවයට අවස්ථාව සැලසුණි. එහි දී වින්ඩ්සර් ටෝකිස් නම් චිත්‍රපට බෙදා හැරීමේ සමාගමට එක් වූ ඔහුට පැවරුණේ චිත්‍රපට ප්‍රවර්ධනය කටයුතුයි. එකල ප්‍රදර්ශන මණ්ඩල තිබුණේ නැත. ඉන්දියාවෙන් චිත්‍රපට ගෙන්වා දේශීය සිනමාහල්වලට ඒවා යොමු කිරීම ඔහුට බාර විය. ඒ අතර කො‍ළඹ සිටි දැවැන්ත චිත්‍රපට ව්‍යාපාරික චිත්තම්පලම් ඒ. ගාඩිනර්, ඒ වින්ඩ්සර් ටෝකීස් මිල දී ගත්තේය. එය ඔහු සිලෝන් තියර්ටර්ස් ලෙසින් නම් කළේය. ගුණරත්නම් එහි වැඩ කළේ තවත් මාස 3ක් පමණය. 1941 දී ඉන් ඉවත් ව අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් පටන් ගත්තේය. 

ඒත් චිත්‍රපටවලට ඇති ආසාව ඔහු අත් නොහළේය. ඒ නිසා ඔහු වෙලින්ටන් ටෝකීස් නම් අලුත් සමාගමකට හවුල් විය. ඉන්දියාවේ චිත්‍රාගාර හා චිත්‍රපට බ‍ෙදා හරින සමාගම්වල රස්තියාදු වෙමින් ගුණරත්නම් චිත්‍රපට තේරුවේය. ඒ සඳහා තමාත් ගිය බව මට වරක් එඩී ජයමාන්න මා සමග කියා තිබුණි. ඉන්දියාවෙන් චිත්‍රපට ගෙන්වීම කළ ඔහු එයින් විශාල ව්‍යපාරිකයකු විය. පසුව ගුණරත්නම් වෙලින්ටන් ටෝකීස් සමාගමේ සභාපති විය. ඔහු යාපනයේ වෙලින්ටන් සිනමාහල ඉදි කළේ ඒ කාලයේය. 1950 දී ඔහු සිනමාස් සමාගම පිහිටුවා කිංස්ලි, කැපිටල්, ලිඩෝ, සැෆයර් ඇතුළු කොළඹ සිනමාහල් ද මීගමුව, යාපනය ඇතුළු රටේ විවිධ පෙදෙස් රැසක තවත් සිනමාහල් ද හිමි කර ගත්තේය. 

ඔහු ගාමිණි සිනමාහල මිලදී ගන්නා විට එහි තිබුණේ නැෂනල් තියටර් නම් නාට්‍ය ශාලාවයි. එය 1952 වසර දක්වාම වේදිකා නාට්‍ය රඟදැක්වූ ශාලාවකි. ඒ භූමිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එකක් වුවත් ශාලාවේ හිමිකරු වූයේ පී. ද එස්. කුලරත්න මහතාටය. “එඩී ජයමාන්න, රුක්මණි දේවිය සමග රහසේ විවහ වී රැකවරණය පතා පැමිණියේ කුලරත්න මහතාගේ නැෂනල් තියටර් වෙතට”යයි සරසවිය කර්තෘවරයකු වූ අරුණ ගුණරත්න වරක් ලියූ ලිපියක සඳහන් විය. එපමණක් නොව ඒ නැෂනල් රඟහල ගුණරත්නම්ට හිමිකර දී සිනමාහලක් බවට පත්කිරීමේ කාර්යය පසුපස සුප්‍රකට නාට්‍යකරුවකු හා සිනමාකරුවකු වූ සිරිසේන විමලවීරයන් ද සිටි බව ද එහි දී ඔහු සඳහන් කළේය. එයට ගාමීණී යන නම දුන්නේ ද විමලවීරයි. 

විමලවීර සහ ගුණරත්නම් කලක් මිතුරුව සිටිය ද පසුව සතුරු වූ බව ද කියැවෙයි. කේ. ගුණරත්නම් සිනමාස් සමාගම වෙනුවෙන් ‘සුජාතා’ චිත්‍රපටය තනද්දි එහි ගීත සියල්ල ලීවේ සිරිසේන විමලවීරය. එහෙත් විමලවීර ‘ලේ මිසරාබ්ල’ ඇසුරෙන් ‘සිරකරුවා’ තනන්න පටන් ගත් අතර ඒ බව දැනගත් ගුණරත්නම් ඒ කතාව ඇතුළත‍් ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටය තනා විමලවීරගේ ආදායම් අඩු කරනු පිණිස තරඟයට ප්‍රදර්ශනය කළේය. එසේ ම විමලවීර මහත් අගහිඟකම් මැද ඉදි කළ ‘නවජීවන’ චිත්‍රාගාරය ණයට හිලව් කර ගෙන වසා දැමීය. ඒ වෙනුවට ඔහු විජය නමින් චිත්‍රාගාරයක් ඉදි කළේය. 

ගාමිණී හෝල් මෙරට ආරම්භ කළ ප්‍රථම නිශ්චිත සිනමා ශාලා ප්‍රදර්ශක ජාලයට නායකත්වය දුන්නේය. එය සිනමාස් සමාගමේ ප්‍රධාන සිනමාහල විය. ගාමිණී හෝල් ප්‍රමුඛ සිනමා මණ්ඩලය ‘සුජාතා’වෙන් පටන් ගෙන ප්‍රදර්ශනය කළ චිත්‍රපට සියල්ල ම පාහේ අතිශය ජනප්‍රිය විය. “ගාමිණී සිනමා හලේ තවත් දෛවෝපගත කාරණයක් නම් ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපට වැඩි හරියක් තිර ගත කර ලද්දේ ද ගාමිණි සිනමාහලේ වීමය. සිනමාහලට ‘ගාමිණි’ නම තබන විට ගාමිණි නම් නළුවකු අපේ සිනමාවේ නොවීය.” යයි අරුණ ගුණරත්නගේ ලිපියෙහි සඳහන් කරයි. 

ඔහුගේ ප්‍රධාන සිනමාහලට ‘ගාමිණී’ කියා නම් කළ ගුණරත්නම් සිංහල චිත්‍රපට තනන්නට නවීන චිත්‍රාගාරයක් තනා ඊට සිංහලේ මුල්ම රජුගේ නම තැබුවේය. ඔහු ‘කලා’ නමින් සිංහලෙන් සිනමා සඟරාවක් ද පළ කළේය. ටී. බී. ඉලංගරත්නගේ ‘විලම්බීත’ නම් නවකතාව පළ කරමින් ඔහු ප්‍රකාශකයකු බවටද පත් විය. සිංහල චිත්‍රපටයකට ප්‍රථම වරට දේශානුරාගී ගීතයක් එක් කළේ ද ගුණරත්නම්ය. ‘මනරංජන දර්ශනීය ලංකා’ (සුජාතා-1952) නම් වූ ඒ ගීය රචනා කළේ අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්මය. 

‍ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව’ තනා පාඩු වීමෙන් පසු චිත්‍රපට කිරීමට පසුබාමින් සිටියදී ‘සංදේශය’ නිපදවන්නට ඉදිරිපත් වූයේ ගුණරත්නම්ය. රාජ්කපූර් රුසියාවේ පැවති අන්තර්ජාතික චිත්‍රපට උළෙලක දී ‘රේඛාව’ දැක පැහැදී ඉන්දියාවේ දී ගුණරත්නම් හමුවූ අවස්ථාවේ දී කළ ඉල්ලීමක් නිසාය. ඔහු ටයිටස් තොවත්තට ‘චණ්ඩියා’ කරන්න අවස්ථාව දුන්නේය. අපේ මුල්ම වර්ණ චිත්‍රපටය වූ ‘රන්මුතු දූව’ නිපදවන්නට අඩකට වඩා වියදම් දැරුවේ ඔහුය. 

සිංහල සිනමාවේ දියුණුවට මේ ආකාරයේ අසීමිත මෙහෙයක් කළ ඔහුට සිංහලයින්ගෙන් කෘතගුණ සැලකීමක් නොවීය. 83 කළු ජූලියේ දී කෝපයට පත් පිරිස් ඔහුගේ සිනමාහල් පමණක් නොව විජය චිත්‍රාගාරයද සහමුලින්ම ගිනිබත් කළහ. සිංහල චිත්‍රපට රැසක පිටපත් එහි සංරක්ෂණය කර තිබූ අතර ඒ අමන ක්‍රියාව නිසා සිංහල සිනමා ඉතිහාසයෙන් විශාල කොටසක්ද අපට අහිමි විය. සිංහල සිනමා කර්මාන්තය සඳහා ඔහු ඉදිකළ අධිරාජ්‍යය ඔහුගේ ඇස් ඉදිරිපිට ම විනාශ කර දමනු ලැබීය. ඝාතක පිරිස්වලින් බේරෙනු පිණිස ඔහුට පළා යන්නට සිදු විය. එයින් ඔහුට සිදුවූ ව්‍යාපාරික අලාභය අතිමහත්ය; මානසික පීඩාවද එසේමය; එහෙත් ඔහු සැළුණේ නැත; රට හැර ගියේ ද නැත.  

ඉන් වසර හයකට පසු ඔහුට යළිත් වරක් මතු වූ භීෂණයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ 1987-1989 කාලය තුළ ජේවීපී කැරැල්ලටය. 1989 අගෝස්තු 27 වැනි දා දිවා ආහාරය සඳහා නිවසට යමින් සිටියදී ඔහුගේ කාරයේ මග හරස් කොට මෝටර් සයිකලයකින් පැමිණ දෙදෙනකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. 

ගුණරත්නම් නිෂ්පාදනය කළ ‘සන්දේශය’ (1960) චිත්‍රපටයේ වීඩියෝ පහතින් නරඹන්න! 

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සන්දේශය’ (1960) චිත්‍රපටයේ ‘රෑන අඹේ’ නම් මේ ගීය අරිසෙන් අහුබුදුගේ රචනයකි. තනුව සුනිල් ශාන්තගේය. සංගීතය මුත්තුසාමිගේය. ගයන්නේ ලතා වල්පොළය. 

ගුණරත්නම් නිෂ්පාදනය කළ ‘සුජාතා’ චිත්‍රපටයේ ආ දේශානුරාගී ගීතයට සවන් දෙන්න! 

ආනන්ද සම‍රකෝන් ලියූ මේ ගීතය ගයන්නේ ජමුනා රාණි නම් ඉන්දියානු ගායිකාවකයි. මෙය ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ‘සුජාතා’ චිත්‍රපටයට ඇතුළත් වුවකි. සංගීතය දක්ෂිණ මූර්තිගේය.

- පර්සි ජයමාන්න 

ලෙනාඩ් වුල්ෆ්ගේ බද්දේගම යළි කරළියට ගෙනා රනිල්

$
0
0

මීට වසර කීපයකට ඉහත දී අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසක් සමග එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ සතුටු සාමීචියේ යෙදුනේය. 

“දුවලාගේ ගම කොහේද?” රනිල් ඇසීය. 

“සර් අපි බද්දෙගම” ශිෂ්‍යාවෝ කීවෝය.

“ආ! බද්දේගම ද, අපේ ගමත් බද්දේගම නෙ” රනිල් කීවේය. 

9 වැනි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අගමැතිවරයාගේ ඒ කතාවෙන් ශිෂ්‍යාවන් සමග සිටි ගුරුවරුන් පවා අන්දමන්ද වී ගියේ රනිල්ගේ පරම්පරාවේ අක්මුල් බද්දේගම මුල්බැස ඇති බව රටුන් අතරේ අප්‍රකට කතාවක් බැවිනි. ඊට හේතුවන්නේ මෙරට ඉංග්‍රීසි උගත් ප්‍රභූ පරම්පරාවේ පාසල වූ කොළඹ රාජකීය විදුහලේ අකුරු කළ රනිල් කොළඹ හතේ ටයිකෝට් අඳින පලඳින ප්‍රභූවරයකු ලෙස රටේ ප්‍රසිද්ධ වී ඇති බැවිනි. 

රනිල් ඉපදුණේ කොළඹ වුවද වික්‍රමසිංහ පරපුරේ ඉතිහාස කතාව ලියැවෙන්නට පටන් ගන්නේ ගාල්ලේ බද්දේගමෙනි. ඒ පරපුරේ කතාවට පෙර රනිල්ගේ උපත ගැන දැන ගනිමු. ඔහු උපන්නේ 1949 මාර්තු 24 වැනිදාය. ‘රනිල් වික්‍රමසිංහ’ කියා රටපුරා ප්‍රසිද්ධ වුවත් ඔහුගේ නමට තවත් කෑල්ලක් ඇත. ඒ අනුව ඔහුගේ සම්පූර්ණ නම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහය. රනිල් ඒ පවුලේ දෙවැනියාය. වැඩිමලා ශාන්ය. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ශාන්ය. දැන් රජය සතු වුවද ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කළේ ශාන්ය. වර්තමානයේ ඔහු ටී.එන්.එල්. නාලිකාවේ හිමිකරුය. රනිල්ගේ අනික් සොහොයුරු සොහොයුරියන් වන්නේ විරාජ්, චන්න හා ශානිකාය. 

රනිල්ගේ සීයා නමින් සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහය. ඔහු උපන්නේ බද්දේගමය. ඔහු ප්‍රකට වූයේ සී.ඒ. වික්‍රමසිංහ යන නමිනි. මුලින් ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙන් ද පසුව කොළඹ රාජකීය විදුහලෙන් ද අකුරු කළ ඔහු උපාධිය ලැබුවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයකිනි. 1912 දී ලංකා සිවිල් සේවයට එක් වූ ඔහු මෙරට මුල්ම සිංහල ඉඩම් කොමසාරිස්වරයා පමණක් නොව මුල්ම සිංහල දිසාපතිවරයා ද විය. ඩී. ඇස්. සේනානායක බිහි කළ ගොවිජනපද ව්‍යාපාරය පිටුපස සිටි යෝධ හස්තය වූයේ ඔහුය. 

සී. ඒ. වික්‍රමසිංහ විවාහ වූයේ කුරුණෑගල මූනමලේ වලව්වෙනි. ඒ ඒඩා මූනමලේ ගුණවර්ධන සමඟය. ඔවුන්ගේ දරුවන් ගණන හතරකි. වැඩිමලා එස්මන්ඩ්ය; රනිල්ගේ තාත්තා වූයේ ඔහුය; දෙවැනියා තිස්සය; තෙවැනියා වූයේ පසුකලෙක කුරුණෑගල රදගුරු පදවියට පත් වූ ලක්ෂ්මන් වික්‍රමසිංහය. පවුලේ එකම ගැහැනු දරුවා වූ මුක්තා විවාහ වූයේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරූ සෑම් විජේසිංහ සමඟය. හිටපු මන්ත්‍රීවරයකු වූ මහාචාර්ය රජීව විජේසිංහ සෑම් හා මුක්තා යුවළගේ පුතාය. 

පසුකලෙක එජාපයේ නිල නොවන නායකයා ලෙස හැඳින්වුවද එස්මන්ඩ් දේශපාලනයේ අයන්න කියවූයේ ලංකා සම සමාජ පක්ෂයෙනි. ඔහු එහි ප්‍රබල චරිතයකි. පක්ෂයේ නිල ප්‍රකාශනය වූ සමසමාජය සඟරාව විකිණීම භාර වූයේ එස්මන්ඩ්ටය. ඔහු ඒ සඟරාව විකුණන්නට ඔහුගේ සුඛෝපභෝගී හම්බර් හෝක් මෝටර් රථයෙන් ගිය බවට ද කතාවක් පවතී. 

එස්මන්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් කාලේ තරුණියක සමග පෙමින් වෙළුණේය. එය අවසන් වූයේ ඇය හා විවාහයෙනි. ඇය නාලිනී විජයවර්ධනය. ඇගේ පියා ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වූ ඩී.ආර්. විජයවර්ධනය. නෑකමට අනුව ඩී.ආර්. විජයවර්ධන රනිල් වික්‍රමසිංහගේ සීයාය. මේ නෑකමට අනුව රනිල් මෙරට රාජකීය උරුමයටද හිමිකමක් කියයි. 

රනිල් වික්‍රමසිංහ පියා හා මව සමඟ

රනිල්ගේ මව වූ නාලනී විජයවර්ධනගේ පරපුරේ අක්මුල් දෙවැනි රාජසිංහ රජ සමය දක්වා විහිදෙන බව ජාතික ලේඛනාගාරයේ අධිපති විසින් පළ කළ පොතක සඳහන් වේ. මේ පොතේ හැටියට රාජසිංහ රජුගේ හමුදාවේ හුන් රණශූරයකු වූ තෙන්නකෝන් මද්දුම රාළගේ පුතා වූ තෙන්නකෝන් අප්පුහාමි සබරගමුවේ මහ දිසාව විය. කළුතර තුඩුගල පරම්පරාව පැවැත එන්නේ ඒ තෙන්නකෝන් අප්පුහාමිගෙනි. තුඩුගල පරම්පරාවේ මෑතකාලීන කැපී පෙනෙන චරිතය වූයේ දොන් පිලිප් තුඩුගලය. කොළඹ වරායේ දියකඩනයට පමණක් නොව යටත් විජිත සමයේ නගරයේ දියුණුව උදෙසා ඉදිවූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය සැපයුවේ දොන් පිලිප් තුඩුගලය. ඔහු එයින් ලැබූ ආදායමෙන් මහා ධනවතකු විය. ඉංග්‍රීසිහු ඔහුට ‘විජයවර්ධන’ යන නම්බුනාමය දුන්හ. නෑකමට අනුව දොන් පිලිප් විජයවර්ධන රනිල්ගේ මුත්තාය. 

රනිල්ගේ මව වූ නාලිනී විජයවර්ධන ඩී.ආර්. විජයවර්ධනගේ වැඩිමහලු දියණියයි. ඩී. ආර්. විජයවර්ධනගේ මාපියන් වූයේ දොන් පිලිප් විජයවර්ධන හා හෙලේනා ඩෙප් වීරසිංහය. කැලණි රජමහා විහාරයේ නූතන ප්‍රබෝධයේ මහෝපාසිකාව වූයේ හෙලේනා ඩෙප් වීරසිංහය. ඇගේ පුතා ඩී.ආර්. විවාහ වූයේ රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේ ඇලිස් ගර්ට්රූඩ් මීදෙණිය කුමාරිහාමි සමගය. රනිල්ගේ මිත්තණිය වූ මීදෙණිය කුමාරිහාමිගේ වැඩිමහලු සොයුරිය ඇඩ්ලින් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායකයට (පාර්ලිමේන්තුවට) තේරුණු මුල්ම මන්ත්‍රීවරිය ලෙස වාර්තාවක් තැබුවාය. ලංකාවේ මුල්ම කථානායකවරයා වූයේ ඇඩ්ලින්ගේ සැමියා වන සර් ප්‍රැන්සිස් මොලමුරේය. රනිල් වික්‍රමසිංහගේ මවගේ බාල සහෝදරයා වූයේ රංජිත් විජයවර්ධනය. රනිල්ගේ මාමා වන ඔහු ‘ලංකාදීප’ පුවත්පත මුද්‍රණය කරන විජය පුවත්පත් සමාගමේ අධිපතිවරයාය. රංජිත් විජයවර්ධන විවාහ වූයේ අඹේපුස්සේ බෝතලේ වලව්වෙනි. ඩී. ඇස්. සේනානායකගේ බාල පුතණුවන් වූ, ඩඩ්ලි සේනානායකගේ සොහොයුරාවූද, රොබට් සේනානායකගේ දියණියක වන රංජනී සේනානායක සමගය. රංජිත් - රංජනී යුවළගේ බාල පුතා වන්නේ ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි රුවන් විජයවර්ධනය. අද ඔහු එජාප නියෝජ්‍ය නායකයාය. රනිල් හා රුවන් දෙමස්සිනෝය. ‍

රනිල්ගේ අනෙක් මස්සිනා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් එජාප මන්ත්‍රීවරයකුව සිටි වසන්ත සේනානායකය. වසන්ත සේනානායකගේ පියා වන්නේ රොබට් සේනානායකගේ තවත් පුතෙකු වන රංජිත් සේනානායකය. 

රනිල් වික්‍රමසිංහගේ මව වූ නාලනී විජයවර්ධනගේ නැන්දා, ඩී.ආර්. විජයවර්ධනගේ වැඩිමහලු සොහොයුරිය වූ ඇග්නස් හෙලන් විජයවර්ධන විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන සමගය. එම යුවළගේ වැඩිමහලු දරුවා වූයේ ජේ.ආර්. ජයවර්ධනය. ඒ නෑකම අනුව ජේ.ආර්. - රනිල් මාමා - බෑණා වෙති. 

රනිල් දේශපාලනයට ගෙන ආවේ ජේ.ආර්.ය. එනමුත් ජේ.ආර්ගේ මුල්ම තේරීම වූයේ රනිල් නොව ඔහුගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහය. ජේ.ආර්. එජාප නායකත්වයට පත් වූ විගස ඔහු එස්මන්ඩ්ට ක්‍රියාකාරී දේශපාලනයට එන ලෙසට ආරාධනාවක් කළේය. ජේ.ආර්. එවැනි යෝජනාවක් කළේ එස්මන්ඩ්ගේ තරම ඔහු දන්නා බැවිනි. දශක ගණනාවක් තිස්සේ ලංකාවේ ආණ්ඩු පිහිටුවන්නේ කවුරුදැයි එසේ නැතිනම් මීළඟ අගමැති කවුරුන්දැයි තීරණය කළ රජුන් තතන්නා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ වූ නිසාය. එස්මන්ඩ් වික්‍රමසිංහ චරිතය මතුවන්නේ ඔහු ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වීමත් සමගය. එස්මන්ඩ් රටේ කෙතරම් බලසම්පන්න චරිතයක් වූවාදැයි කිවහොත් ඩී.ඇස්. සේනානායක මිය ගිය පසු ඩඩ්ලි අගමැති බවට පත්කිරීමේ ව්‍යපෘතියේ ප්‍රධාන චරිතයක් වූයේ ඔහුය. 

ඩී.ඇස්. මරණයට පත්වූයේ අසුපිටින් වැටීමෙනැයි අදහන බොහෝ දෙනා අදත් සිටියත් සැබවින්ම ඔහු මිය ගියේ හෘදයාබාධයකිනි. වසර දෙක තුනක සිට ම දුර්වල සෞඛ්‍ය තත්වයේ සිටි ඔහු සිය පුතුගේ අනාගතය භාර කළේ එස්මන්ඩ්ටය. ඩී.ඇස්. රෝගාතුර වූ මොහොතේ අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි හුන්නේ පිටරටකය. ඔහු ලංකාවෙන් පිටවීමට පෙර වැඩබලන අග්‍රණ්ඩුකාර ධුරයට අගවිනිසුරු සර් ඇලන් රොස් පත්කළේ උපදෙසක්ද දෙමිනි. ඒ අගමැතිවරයාට විපත්තියක් සිද්ධ වුවහොත් තමා එනතුරු එම ධුරයට කිසිවකුත් පත්නොකළ යුතු බව පවසමිනි. එමෙන්ම එස්මන්ඩ් වික්‍රමසිංහ සියලු කටයුතු බලාගනු ඇතැයිද ඔහු කීවේය. 

මේ අතර හදිසියේ ම අගමැතිගේ අභාවය සිදු විය. ආණ්ඩුවේ දෙවැනියා වූ සභානායක ජෝන් කොතලාවල වැඩබලන අග්‍රාණ්ඩුකාරවරයාගෙන් අගමැතිකම ඉල්ලීය. ඒ වෙලාවේ ඉදිරියට ආ එස්මන්ඩ් වික්‍රමසිංහ ඊට හරස් විය. සෝල්බරී සාමි පෙරළා ලංකාවට පැමිණීමෙන් පසු කළේ ජෝන් කොතලාවල වෙනුවට ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත්කිරීමය. යම් හෙයකින් එස්මන්ඩ් වික්‍රමසිංහ ක්‍රියාත්මක නොවූවේ නම් ලංකාවේ දෙවැනි අගමැති වන්නේ ඩඩ්ලි නොව ජෝන්ය. 

රනිල්ගේ තාත්තා ලංකා දේශපාලනයේ ප්‍රසිද්ධියට පත් වූයේ රජුන් තනන්නෙකු ලෙස පමණක් නොවේ. ඔහු දක්ෂ දේශපාලන නූල් සූත්තරකාරයෙකු ලෙසද ප්‍රසිද්ධය. එස්මන්ඩ් වික්‍රමසිංහගේ දේශපාලන නූල් සූත්තර කලාවේ කූඨප්‍රාප්තිය වන්නේ හැට හතරේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙරළීමට කළ පාර්ලිමේන්තු කුමන්ත්‍රණය බව පැවසේ. මේ සිද්ධිය ලංකා දේශපාලනයේ හැඳින්වෙන්නේ මහජන ඡන්දයකින් නැතිව පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් ආණ්ඩුවක් පරාජය කළ පළමු හා එකම අවස්ථාව ලෙසය. 

අගමැතිව සිටියදී රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති මෝදි හමු වී...

ශ්‍රීලනිප ආණ්ඩුව පෙරළා නතර නොවූ එස්මන්ඩ් හැට පහේ ඩඩ්ලිගේ ආණ්ඩුව පිහිටුවීමටද මූලිකයා විය. එම ඡන්දයේදී එ.ජා.පයට හිමිවූයේ සුළු බහුතරයක් වුවද දෙමළ පක්ෂවල සහය ලබා ගනිමින් පස් අවුරුද්දක් ආණ්ඩුව පවත්වාගෙන යාමට එස්මන්ඩ් බොහෝ දේ කළේය. 

කොටින්ම කියනවා නම් හැට පහේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හැදුවේ, කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි එස්මන්ඩ්ගේ ගෙදරදීය. ඒ සාකච්ඡා සඳහා සිංහල නොදන්නා මන්ත්‍රීන් සහභාගි වන නිසා, දෙමළ නොදන්නා හාමුදුරුවරුන් පමණක් කැඳවාගෙන එන්නැයි තමාට කියූ බව සිසිරකුමාර මාණික්ක ආරච්චි ඒ දවස්වල ම මා සමග කීවේ 'ලොක්කාගේ උපායශීලීත්වය’ පසසමිනි. ඒ සාකච්ඡා පැවැත් වූ ගෙදර දැන් හිමිකරුවා රනිල්ය. පසුගියදා ගිනිබත් කරනු ලැබුවේ ඒ නිවසය. 

මේ එස්මන්ඩ්ගේ ‘රත්තරන් මොළය’ නිසා ඩඩ්ලි සේනානායක ඔහුව එවකට පැවති සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පත්කර විදේශ ඇමැති ධුරය දීමට යෝජනා කළේය. ඒ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ඔහුට තුබූ පුදුම හැකියාව නිසාය. කෙසේ වෙතත් ඩඩ්ලි සේනානායකගේ ඒ යෝජනාව එස්මන්ඩ් කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. එහෙත් ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට තිබූ බාධක ඉවත්කර සාමාජිකත්වය ලබා දෙන්නට මූලික වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහය. 

70 ඡන්දයෙන් එජාපයට අන්ත පරාජයක් ලැබුණේය. එහිදී පක්ෂය ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ ජේ.ආර්.ට බව එස්මන්ඩ් දුටුවේය. ඩඩ්ලි මිය ගිය පසු ජේ.ආර්.ට පක්ෂ නායකත්වය දීමට එස්මන්ඩ් පෙරමුණ ගත්තේ එබැවිනි. නෑකම අනුව නම් ජේ.ආර්. හා එස්මන්ඩ් දෙමස්සිනාලාය. ජේ.ආර්. ජයවර්ධන පක්ෂ නායකත්වයට පත්වූ විගස එස්මන්ඩ් වික්‍රමසිංහට ආරාධනාවක් කළේය. ඒ ක්‍රීයාකාරී දේශපාලනයට එන ලෙසය. ඒත් එස්මන්ඩ් එවරත් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් ජේ.ආර්.ට වික්‍රමසිංහ පරම්පරාවෙන් දේශපාලනඥයකු අවශ්‍ය විය. අවසානයේදී ජේ.ආර්.ට රනිල් වික්‍රමසිංහගෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා මැතිනිය

රනිල්ට අකුරු කියවූයේ විජයවර්ධන පරපුරේ දායක විහාරස්ථානයක් වූ හුණුපිටිය ගංගාරාමයේ අධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ය. අද රනිල් ගංගාරාමයේ මෙන්ම කැලණිය රජමහා විහාරයේ දායක සභාවේද සභාපති වරයාය. ඒ කැලණිය පන්සලද විජයවර්ධන පවුලට බෙහෙවින් සමීප වූ බැවිනි. රනිල් බුදුදහම ඉගෙන ගත්තේ බම්බලපිටිය වජිරාරාමයෙනි. බුදුදහම පමණක් නොව රනිල් කුඩා කල නැටුම් හා සංගීතයත් ඉගෙන ගත්තේය. ඔහුගේ නැටුම් ගුරුවරයා වූයේ ශ්‍රී ජයනාය. රනිල් සමග ජයනාගෙන් නැටුම් ඉගෙන ගත් ඔහුගේ අනෙක් සමකාලීන මිතුරියක වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. එකල ඔහු නර්තනයට පමණක් නොව පියානෝ වාදනයටද දක්ෂය. රනිල්ගේ පරපුරේ සියලුදෙනා මෙන් ම රනිල්ද ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලෙනි. පාසල් අධ්‍යාපනයෙන් පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලැබීය. 

රනිල් මුලින්ම තේරී පත්වූයේ කැලණිය ආසනයටය. කැලණිය හා දොම්පේ ආසන දෙකෙන් කොටස් එකතු කර බියගම ආසනය පිහිටු වූ විට ජේ.ආර්. රනිල්ට බියගම ආසනය දුන්නේය. ඒ හැත්තෑ හයේ දීය. හැත්තෑ හතේ පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ බියගම ආසනය ජය ගත්තේ ශ්‍රීලනිපයේ ඩේවිඩ් හපන්ගම පරාජය කරමිනි. ඒ ඡන්දයේදී රනිල් ඡන්ද 22,045ක් දිනාගත්තේය. ජේ.ආර්. ජයවර්ධන සිය මුල්ම ඇමැති මණ්ඩලය පත්කිරීමේදීද සිය බෑණා අමතක නොකළේය. මුලින්ම රනිල්ට ලැබුණේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයයි. එවිට ඔහුගේ වයස අවුරුදු 28කි. එජාප ආණ්ඩුවේ හුන් ළාබාලම නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ රනිල්ය. ජේ.ආර්. 78 දී මුල්වරට කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ අවස්ථාවේදී බෑණාට තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමැති ධුරය දුන්නේය. එවිට රනිල්ගේ වයස අවුරුදු 29කි. කැබිනට්ටුවේ හුන් ළාබාලම ඇමැතිවරයා වූයේද ඔහුය. 

රනිල් වික්‍රමසිංහ හා මැතිනිය ඉන්දියාවේ ‍හින්දු කෝවිලකට ගිය අවස්ථාවක්

පක්ෂයේ මීළඟ නායකයා විය යුත්තේ කවුදැයි යන්න පිළිබඳව 1989 දී අර්බුදයක් හටගත් අවස්ථාවේ රනිල් ගත්තේ ආර්. ප්‍රේමදාසගේ පැත්තය. එතුමා ජනාධිපති වූ පසු රනිල් සභානායක තනතුරට පත්කෙරුණි. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව සභානායකවරයා වූ කලී අගමැතිට පමණක් දෙවැනි වන තනතුරකි. රනිල් වික්‍රමසිංහට එජාප නායකත්වය දක්වා ගමන් කිරීම සඳහා මාවත විවර වූයේ එම ධුරයට පත්වීමත් සමගය. ප්‍රේමදාස ජනපතිවරයා කොටි බෝම්බයකින් මිය යාමත් සමඟ රනිල් වහා ඉදිරිපත් වී අගමැති ඩී. බී. විජේතුංග ජනපති පදවියේ දිවුරුම් දීමට සැලැස්වීය. ඉන්පසු පුරප්පාඩු වූ අගමැති ධුරයට පත්කෙරුණේ රනිල්ය. ඉන් ඉක්බිතිව ඩී.බී. ගෙන් පසු රනිල් එජාප නායකයා විය. 

දේශපාලන දිවියේදී ලද සියලු තනතුරු ඇමැතිකම් ළාබාල වයසකදී හිමිවීමට තරම් වාසනාවන්ත වූ රනිල්ට සිය සහකාරිය හමුවූයේ ඔහු මැදි විය පසුකරමින් සිටින විටදීය. ඔහු විවාහ දිවියට එළැඹියේ විපක්ෂ නායක ධුරය දැරූ කාලයේදීය. රනිල්ගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ කැලණිය සරසවියේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරියකි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව.

රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටින්නේ සිය දිවි ගමනේ 72 වසරය. 1994 සිට සෑම මැතිවරණයකදී ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් විය. 2001 දී මැතිවරණයෙන් දිනා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය යටතේ සිව් වැනි වරටත් අගමැති ධූර‍යට පත් විය. 2015 දී යළිත් මෛත්‍රිපාල සිරිසේන යටතේ අගමැති පදවියට පස්වැනි වරටත් පත් විය. ඒ හැරෙන්නට ඔහු 13 වතාවක්ම පැරදුණේය. සෑම මැතිවරණයකදීම ලද ඒ සියලු පරාජයන් ඔහු උපේක්ෂාවෙන් දරා ගත්තේය. 

අවසානයේදී 2019 දී ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයේ සියලුම අපේක්ෂකයන් පරාජයට පත් විය. එජාපයට මුළු රටෙන් ම ඡන්ද ලැබුණේ 249, 435කි. එක් අසුනක්වත් ජය ගැනීමට ඔහු ඉඩ ලැබුණේ නැත. ඉතිරි වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණය. එය ද ඔහු බාර ගත්තේ වසර දෙකකට පසුවය. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ එජාප එකම මන්ත්‍රීවරයා වශයෙන් සිටියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු අගමැති පදවියට පත් කළේය. ඒ හයවැනි වරටය. ගෝල්ෆේස් අරගලය නිසා ජනාධිපතිවරයාට පලා යාමට සිදු වූයෙන් රනිල්ට ජනාධිපති පදවියේ වැඩ බැලීමට සිදු විය. අනතුරුව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් ඔහුට 9 වැනි ජනාධිපතිවරයා වීමේ වරම් ලැබුණි. ‍ 

(මේ ලිපිය සැකසීමට මිහිරි ෆොන්සේකා ‘ලක්බිම’ පුවත්පතට ලියූ ලිපියකින් හා කුමාරි ජයවර්ධන ලියූ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ යන ග්‍රන්ථයෙන් කරුණු උපුටා ගත් බව කෘතඥ පූර්වකව සඳහන් කරමි.) 

- පර්සි ජයමාන්න 

ඔබේ ඉන්ධන අරගලයට මැදට ආ QR කේතයේ කතාව

$
0
0

‘QR කෝඩය’ (Quick Response Code) හෙවත් ‘එසැණ ප්‍රතිචාර කේතය’ යනු මේ දිනවල අප හැම අතරේ වඩාත් කතාබහට ලක් වන වදනක්. රටේ පවතින ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, බෙදා හරින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් රජය ඉන්ධන ලබා ගැනීම සඳහා මේ ක්‍රමය හඳුන්වා දුන්නා. ඉන්ධන පාරිභෝගිකයා, සිය හැඳුනුම්පත් අංකය, භාවිත කරන වාහනයේ විස්තර ආදිය ලබා දී ලියාපදිංචි වීමෙන් පසු ඊට අදාළ QR කේතය ලබාගත හැකියි. රජයට මේ අවස්ථාවේ ලබා දීමට ඇති ඉන්ධන ප්‍රමාණය සීමිත වීම නිසා හැමට ම විධිමත්ව ඉන්ධන ලබාදීමේ අරමුණ ඇතිව මේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. 

QR කේතය

මේ QR කේතය නිර්මාණය වන්නේ රජයේ ලියාපදිංචි වන එක් එක් පුද්ගලයාගේ දත්ත ඇසුරිනුයි. ඔහුු ඒ QR කේතය, ඉන්ධන ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු වෙනවා. පිරවුම්හලෙන් එම කේතය ස්කෑන් කර ඒ සතියේ ඔබේ රථයට නියමිත ඉන්ධන ප්‍රමාණය කොපමණදැයි බලා සේවයකයා ඒ අනුව ඔබට නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා දෙනවා. පාරිභෝගිකයා සතියකට අදාළව ලබා ගන්නා ඉන්ධන ප්‍රමාණය, ඉතිරි ඉන්ධන ප්‍රමාණය ආදී සියලු විස්තර ඒ මගින් දැක ගත හැකියි. ඔබට ඉන්ධන ලබා ගත හැක්කේ සතියකට වරක් පමණයි. 

මේ QR කේත ක්‍රමයට කලින් ආවේ තීරු කේත ක්‍රමය හෙවත් බාර්කෝඩ් ක්‍රමයයි. එය අදත් භාවිතයට ගැනෙයි. ඔබ සාප්පුවකට ගිහින් පොතක්, ඇඳුමක්, ආහාරයක් මිල දී ගත්තත් ඒ හැම තැනක මේ තීරු කේත (බාර්කෝඩ්) ඔබට හමුවෙයි. බාර්කෝඩ්වලට ඇතුළත් වන්නේ ඒ භාණ්ඩවල විස්තර පමණයි. කෙසේ නමුත් බාර්කෝඩ් ක්‍රමයේදී ඊට ඇතුළත් කළ හැකි විස්තර ප්‍රමාණය සීමාසහිතයි. 

කාංචන විජේසේකර ඇමතිතුමා පසුගියදා අපූරු කතාවක් කියා තිබුණා. QR කේතය හඳුන්වා දෙන්නට පරිගණක තාක්ෂණික ආයතනයත්, සමාගම් ගණනාවක් හා ඉහළ පෙළේ පරිගණක විශේෂඥයන් 100කට වැඩි පිරිසක් මේ QR කේතය සකස් කරන්නට මහත් වෙහෙසක් ගත් බවක් අන්තර් ජාලය හරහා කීවා. ඔය තරම් පිරිසක් ඒ නව නිපැයුම ලෝකයට දායක කරන්නවත් එක්වෙලා නැහැ. දැන් වුනත් ඒ පිළිබඳව නොමිලයේ උපදෙස් දෙන්න ‍වෙබ් අඩවි ගණනාවක් ම තියෙනවා. පොඩි ළමයකුට වුවත් ඒ වෙබ් අඩවියකට ගිහින් තමන්ගේ ම QR කේතයක් හදා ගන්න පුලුවන්. 

අනිත් අතට QR කේතය නිර්මාණය කළ හාරා මසහිරෝ ඒක තමන්ට මුදල් උපයා ගන්න යොදවා ගන්නට අදහස් කළේ නෑ. ඔහු ඒකට හිමිකම් (පේටන්ට්) බලපත්‍රයක් ගත්තේ නෑ. ලෝකයේ හැම දෙනාට ම ‍එකසේ ප්‍රයෝජනය ගන්නට විවෘතව අන්තර්ජාලයට මුදා හැරියා. දැන් ලෝකයේ හැම රටක් ම එය නිදහසේ ප්‍රයෝජනයට ගන්නවා. ජපන් ජාතික හාරා මසාහිරෝ තමාගේ මේ නිර්මාණය ලොව පුරා විවිධ අයුරින් ප්‍රයෝජනයට ගන්නා අයුරු බලමින් අද මහත්සේ සතුටු වෙනවා. 

QR කේතය යොදාගෙන ස්මාට් ෆෝනය හරහා ගෙවීම් කළ හැකියි

හාරා මසාහිරෝ උපත ලැබුවේ 1957 ටෝකියෝ නුවරදීයි. QR කේතය හඳුන්වා දෙද්දී, මසාහිරෝගේ වයස අවුරුදු 35 ක්. QR කේතය සොයා ගත් ඩෙන්සෝ ඉංජිනේරු හරා මසාහිරෝ සේවය කළ අංශය පසුව ඩෙන්සෝ වේව් නමින් අනුබද්ධ ආයතනයක් බවට පත් කර ඇති අතර ඔහු දැන් එහි ප්‍රධාන ඉංජිනේරු තනතුර උසුලනවා. ඒ නිමැවුම ගැන හාරා මසහිරෝගේ කතාව අසා බලමු. 

ඒ, 1994 වසරයි. ජපන් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු මෙන්ම, ටොයොටා සමාගමට අනුබද්ධ ‘ඩෙන්සෝ වේව්’ සමාගම ගැටලුවකට මුහුණ දී සිටියා. එනම් නම්, වැඩි දත්ත ප්‍රමාණයක් රැඳවිය හැකි බාර්කෝඩයක් තැනීමයි. ඒ බැරෑරුම් කටයුත්ත පැවරුණේ ජපානයේ හොසෙයි විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ඉංජිනේරුවකු වූ හාරා මසාහිරෝටයි. ඔහු වහාම සිය කණ්ඩායමත් සමඟ වැඩට බැස්සා. 

‘ඩෙන්සෝ වේව්’ සමාගමට අවශ්‍ය වූයේ ඔවුන් විසින් තනනු ලබන සියලුම මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනයේ දී, ඒවා වෙන්කර, යන්ත්‍රානුසාරයෙන් පහසුවෙන් හඳුනාගැනීමට ක්‍රමයක් සකස් කරන්නයි. ඒ සඳහා දත්ත ඇතුළත් කළ හැකි නව ‘බාර්කෝඩයක්’ නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වුණා. 

එක දවසක් මසාහිරෝ දවල් කෑම ගැනීමට වාඩි වුණා. කෑම කන ගමන් ‘ගෝ’ (Go) කියන ක්‍රීඩාවේ යෙදීම මසාහිරෝගේ පුරුද්දක්. ‘ගෝ’ (Go) යනු මීට වසර 5000 කට පමණ පෙර චීන ජාතිකයන් ලොවට හඳුන්වා දෙන ලද්දක්. ඒ ක්‍රීඩාවේදී භාවිතයට ගන්නේ සුදු සහ කළු ඉත්තන්. 

මෙය ස්කෑන් කර ඇතුළත විස්තර දැන ගත හැකියි.

එහිදී සුදු සහ කළු ඉත්තන් ක්‍රීඩාවේ යොදාගන්නා අයුරින් වාහන අමතර කොටස් ද වෙන් වෙන්ව හඳුනා ගත හැකි ක්‍රමයක් සකසන්න පුළුවන් නේදැයි මසාහිරෝගේ සිහියට නැඟුණා. මේ QR කේතයේ උපත සිදුවූයේ එහෙමයි. ඒ ගැන මසාහිරෝ මෙසේ කියනවා:  ‍

“එදා කෑම පැයේදී සුපුරුදු පරිදි මා ‘ගෝ’ ක්‍රීඩාවේ යෙදුණා. සුදු සහ කළු ඉත්තන් ක්‍රීඩා පුවරුවේ සකසද්දී තමයි, මගේ ඔළුවට ඒ අදහස ආවේ. දත්ත කෙළින්ම ඉදිරිපත් කරන ආකාරය ගැන මගේ හිතට ආවා. ආකිමිඩීස්ට වාගේ මටත් ‘යුරේකා යුරේකා’ කියල දුවන්න හිතුණා.” යැයි මසාහිරෝ කියනවා. 

ඔහු පැවසුවේ ඒ සමාගම මීට පෙර අමතර කොටස් පිළිබඳ වාර්තා තබා ගැනීමට තීරුකේත භාවිතා කළ නමුත් ඒ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වුණේ නැති බවයි. “එක පෙට්ටියකට බාර්කෝඩ් දහයකට වඩා වැඩි ගණනක් තිබුණා. මේ නිසා සේවකයන්ට කිහිප වතාවක් ඒ පෙට්ටි ස්කෑන් කරන්න සිදුවූ නිසා ඔවුන් වෙහෙසට පත් වුණා. මේ නිසා එක ස්කෑන් එකකින් විශාල තොරතුරු පරිමාවක් ලබා දීමට හැකි කේතයක් නිර්මාණය කිරීමට අපට සිදුවුණා.” යයි ඔහු කීවා. මෙසේ මෝටර් රථ අමතර කොටස් වඩා පහසුවෙන් නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව නිසා QR කේතය බිහි වුණා. 

QR කේතයක් සලකුණු වී ඇත්තේ හතරැස් කළු සහ සුදු තිත් සහිත ද්විමාන රටාවකිනුයි. මෙම රටාව සමඟ, සම්මත තීරු කේතයකට වඩා 200 ගුණයක් වැඩි තොරතුරු ඊට ඇතුළත් කළ හැකියි. 

වෙබ් අඩවිවලට පිවිසෙන විවිධ සැබැඳි හා සමානව කේතවල ද මූලික තොරතුරු මෙන් ම දත්ත විශාල ප්‍රමාණයක් කේතනය කර ඇති ඉලක්කම් හා අක්ෂර 4,200කට අධික සංඛ්‍යාවකින් ගබඩා කර තිබිය හැකියි. ඒ තොරතුරු වෙත පිවිසීමට, පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ QR කේතය ස්කෑන් කිරීම පමණයි. ඒ සඳහා අද කැමරාවක් සහිත ස්මාට් ෆෝනයක් තිබීමත් ප්‍රමාණවත්. 

ජපානයේ ඩෙන්සෝ වේව් සමාගම

QR කේතය නිර්මාණය කළ ඩෙන්සෝ වේව් ප්‍රධාන ඉංජිනේරු හාරා මසහිරෝ

හාරාට ඔහුගේ නිර්මාණාත්මක සන්දර්භයට නිසි ගෞරවය ලබා දුන් අතර, ඩෙන්සෝහී තාක්ෂණික කණ්ඩායම අද භාවිත කරන QR කේතය ගොඩනැගීම ඉටු කළා. “අදහස ඉදිරිපත් කිරීම එක දෙයක්, එය තැනීමට පිරිසක් මෙන් ම ක්‍රියාවට නැංවීමට පද්ධතියක් ද අවශ්‍යයි.” යනුවෙන් හාරා පවසයි. ඩෙන්සෝ ආයතනයට ඒ තාක්‍ෂණය තනිවම දියුණු කිරීමට සම්පත් හිඟ වූ නිසා ඒ වෙනුවට වෙනත් සමාගම් QR කේත භාවිතා කරනු ඇතැයි යන බලාපොරොත්තු ඇතිව එහි හිමිකම් තමන්ට ම තබා නො ගෙන සකල ලෝකයට ම විවෘත කරන්නට හාරා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩි කල් නොගොස් ලොව පුරා සමාගම් මේ තාක්‍ෂණය භාවිතයට ගත්තා. කැමරාවලින් සමන්විත ස්මාට් ජංගම දුරකථනය බහුලව භාවිතයට පැමිණීමත් සමඟම QR කේත තමන්ගේම දෙයක් බවට පත් වුණා. 

ATM එකෙන් මුදල් ගන්නත් QR කේතය

ජපානයේ කොගොෂිමා බැංකුව විසින් අත්හදා බැලීමක් හැටියට එක් ATM යන්ත්‍රයක් සඳහා සුපුරුදු ATM කාඩ්පත වෙනුවට ගිණුම් හිමියාගේ මුහුණේ ලක්ෂණ සහ අනෙකුත් විස්තර අඩංගු QR කේතයක් භාවිතයට ගත්තා. එහි ඇතුළත සවිකළ කැමරාවක් භාවිතයෙන්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට (ATM) එය ක්‍රියාත්මක කරන පුද්ගලයා ඇත්ත වශයෙන්ම ගිණුම් හිමියාද යන්න තීරණය කිරීමට හැකි වන අතර ධනාත්මක හඳුනා ගැනීමක් සිදු කරන තුරු මුදල් ලබා දෙන්නේ නැහැ. 

ටෝකියෝවේ ටෝයි උමං මාර්ග පද්ධතියේ උමං දුම්රිය මැදිරිවල දොරවල්වල ද QR කේත සොයා ගත හැකියි. වේදිකාවේ සවිකර ඇති කැමරාවක් ඒ කේත ස්කෑන් කරනවා. දුම්රිය දොරවල් සමඟ එක විට වේදිකාවේ දොරටු විවෘත කෙරෙන්නේ ඒ අනුවයි. 

උමං දුම්රියේ දොරවල් එක විට ඇරෙන්නේ QR කේතයෙන්.

අතීතයේදී නම් මේ ආකාරයට වේදිකා ගේට්ටු ස්වයංක්‍රීය කිරීමට අධික වියදමක්, එනම් යෙන් මිලියන ගණනක් වැය කිරීමට සිදුවෙනවා. කෙසේ වෙතත්, QR කේත පද්ධතිය සමඟ, ඒ වියදමෙහි සැලකිය යුතු ලෙස අඩු වීමක් ඇති වන අතර, එය යෙන් දහස් ගණනකට අඩු වෙනවා. මෙම QR කේත තාක්ෂණය විදේශයන්හි සමාගම් විසින් ද භාවිතා කරනු ලබනවා. සියැටල්හි ‘ඇමසන් ගෝ’ ආයතනය සේවකයන් රහිත සාප්පු යාමේ පහසුකම් ඇති ගබඩාවක් වන අතර, පරිශ්‍රයට ඇතුළු වන සාප්පු සවාරි යන්නන් හඳුනා ගැනීමට ඔවුහූ QR කේත භාවිතා කරනවා. QR කේත තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීම අඩු වියදම් සහිත, සංවර්ධනය වෙමින් පවතින රටවල සමාගම්වලටද මේ QR කේත දැරිය හැකි තේරීමක් බවට පත් වෙලා ඉවරයි. 

හාරා තම අදහස ලෝකය විසින් ග්‍රහණය කර ගැනීම ගැන සතුටු වන අතර එයින් වඩ වඩාත් පුළුල් වූ අති නවීන සේවාවන් රැසකට ප්‍රයෝජනය ගත හැකි බව කියයි. ඔහු අවධාරණය කරන්නේ මේ QR කේත ක්‍රමය අසීමිත විභවයන් කරා ගෙන ගිය හැකි බවයි. "මම කැමතියි, ආපදා අවස්ථාවලදී භාවිතා කිරීම පිණිස පුද්ගලයන්ට බෙදා හරින ලද වෛද්‍ය තොරතුරු අඩංගු QR කේත දැකීමට. එසේම ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයට මේ ‍ QR කේත ස්කෑන් කළ හැකි අතර, ඔවුන්ට සුදුසු වෛද්‍ය සේවා සැපයීමට එයින් ඉඩ සලසා ගත හැකියි."යයි කියන ඔහු ඉදිරියේදී, ඔහු මුලින් සිහින මැවූ දේට වඩා බොහෝ දුරට මෙයින් නව යෙදුම් මතු වනු ඇතැයි ඔහු විශ්වාස කරනවා. 

තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා මිනිසුන් වැඩි වැඩියෙන් QR කේත වෙත හැරෙමින් සිටින අතර, වඩාත් මෑතක දී, එය භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම්වලට භාවිත කිරීමට පටන් ගෙන තියෙනවා. QR කේත දැන් කොයිතරම් සුලභ වී ඇත්ද යත්, එකක් නො දැක අපට දවසක් ගෙවෙන්නේ නැති තරම්. මෑතකදී, මියගිය අය පිළිබඳ තොරතුරු සපයන සේවාවක කොටසක් ලෙස සොහොන් කොත්වල පවා QR කේතයන් පෙනෙන්නට පටන් ගෙන තියෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් QR කේත ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 2019 දී අංක 22 දරන චක්‍රලේඛය අනුවයි. බලපත්‍රලාභී බැංකු, ලියාපදිංචි මුදල් සමාගම් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් අයතන වෙත මෙම ක්‍රමය භාවිතයට උපදෙස් ලබා දුන් අතර, අප අසල්වැසි ඉන්දියාව, මෙම ක්‍රමය භාවිත කරන්නේ 2016 වසරේ සැප්තැම්බරයේ සිටයි. මේ වන විට ලොව බොහෝ රටවල් QR කේත ක්‍රමයෙහි ප්‍රයෝජන භුක්ති විඳිමින් ඉන්නවා. 

QR කේතය තුළ සමචතුරස්‍රාකාර කොටු 3 ක් සහ තවත් කළු සහ සුදු කොටු රටා දක්නට ලැබෙනවා. දත්ත ඇතුළත් වී තිබෙන්නේ මෙම කොටු තුළයි. මෙම කොටුවල උපරිම වශයෙන් ඉලක්කම් 7089 ක් සහ අක්ෂර 4296 ක් ගබඩා කළ හැකියි. QR කේතයක අඩංගු දත්ත ‘කියැවීම’ කළ හැක්කේ කැමරාවක් සහිත ස්මාට් ජංගම දුරකතනයකින් හෝ ටැබ් යන්ත්‍රයකිනුයි. QR කේත ‘කියැවීමට’ ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ස්මාට් ජංගම දුරකතනයේ හෝ ටැබ් යන්ත්‍රයේ තිබිය යුතුයි. ස්මාට් දුරකතනයේ හෝ ටැබ් යන්ත්‍රයේ හෝ කැමරාව, QR කේතයට ඇල්ලූ විට, එසැණින් එම කේතයේ ඇති දත්ත ‘කියැවීම’ සිදුවෙනවා. 

 - ලුසිත ජයමාන්න 

අපට සුපුරුදු තීරුකේත (Barcodes) තැනූ හඳුනාගන්න

$
0
0

QR කේතය ගැන ඊයේ ‘මල් කැකුළු’වලින් කීවා. තීරුකේත මේ දවස්වල අපේ ජීවිතයේ හැම තැනක දී ම අපට හමු වෙනවා. සුපර් මාකට් එකකට ගියත් පොත් සාප්පුවකට ගියත් ඒ හැම තැන ම අපට තීරුකේත හමුවෙනවා. බැංකු කටයුතුවලදීත් මේ තීරුකේත අපට සහය වෙනවා. මුදල් නැතිව ගෙවීම් කරන්නත් එ්වා අපට උදවු වෙනවා. ‍ලොව පුරා අපට සහය වෙන මේ අපූරු කේත ලොවට දායාද කළේ කවුරුන්ද? මොනවද ඔවුන් හඳුන්වා දුන් මේ තීරුකේත කියන්නේ? 

තීරුකේත අදහස මුලින් ම දුන් ජෝශප් වුඩ්ලන්ඩ්

තීරුකේතයක් කියන්නේ රූපයක් ආකාරයෙන් යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි ආකාරයට දත්ත නිරූපණය කිරීමේ ක්‍රමයකටයි. ආරම්භ වූ මුල් කාලයේ දී, තීරු කේතවල දත්ත නියෝජනය කෙරුණේ සමාන්තර රේඛාවල පළල, හිස් පරතරය සහ ප්‍රමාණයන් වෙනස් කරමිනි. අද ඒවා පොදුවේ හැඳින්වෙන්නේ රේඛීය හෝ ඒක මාන (1D) ලෙස වර්ග කර දැක්වීමෙනි. මේ තීරුකේත කියවීමට ‘බාර්කෝඩ් රීඩර්’ නම් විශේෂ දෘෂ්‍ය ස්කෑනර අවශ්‍යයි. දැන් ඒවා භාවිතා කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට අච්චු කේත (matrix codes) හෝ ද්විමාන තීරුකේත (2D barcodes) ලෙසින් හැඳින්වෙන සෘජුකෝණාස්‍ර, තිත්, ෂඩාස්‍ර සහ වෙනත් රටා භාවිතා කර ද්විමාන (2D) ප්‍රභේද ලෙස සකසා ගනු ලබන ඒවා තමයි භාවිත කෙරෙන්නේ. 2D තීරුකේත ආකාර කිහිපයකින් තියෙනවා. මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතනය වැනි ඇතුළත කැමරාවක් සහිත මෙවලමක් මගින් විශේෂිත යෙදවුමක් හෙවත් ‘ඇප් එකක්’ භාවිතයෙන් ඒ 2D තීරුකේත කියවිය හැකියි. 

තීරුකේතය හෙවත් බාර්කෝඩය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඇමරිකන් ජාතික නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් සහ බර්නාඩ් සිල්වර් යන දෙදෙනාටයි. ඒ තීරුකේතය සඳහා ඇමරිකා එක්සත් ජනපදඅයේ හිමිකම් බලපත්‍රය හිමි වුණේ 1951 දීයි. මේ නව නිපැයුම තනන ලද්දේ මෝර්ස් සංඥා පදනම් කර ගෙනයි. එහි තිත් හා කඩ ඉරි වෙනුවට තුනී සහ ඝන තීරු යොදා ගනු ලැබුවා. කෙසේ වුවත්, මේ නව නිපැයුම වාණිජමය වශයෙන් සාර්ථක වීමට වසර විස්සක් පමණ ගත වුණා. 

එක්සත් රාජධානියේ පළවූ 'මෝඩර්න් රේල්වේස්' 1962 දෙසැම්බර් කලාපයේ දක්වා ඇති ආකාරයට බ්‍රිතාන්‍ය දුම්රිය සේවය ඒ වන විටත්, පැයට සැතපුම් 100 (පැයට කිලෝමීටර 160) වේගයෙන් ගමන් කරන දුම්රිය මැදිරි නිවැරදිව කියවිය හැකි තීරුකේත කියවීමේ පද්ධතියක් සාර්ථකව භාවිත කර ඇති බවයි. එහෙත් එය පෞද්ගලීකරණය කරන විට ඒ පද්ධතිය අතහැර දැමූ බව සඳහන් වෙනවා. 

1960 දශකයේ අග හරියේ ඇමරිකානු දුම්රිය සංගමය එක් වර්ගයක තීරුකේතයක් භාවිතා කිරීමට අවසර දුන්නා. ස්වයංක්‍රීයව මෝටර් රථ හඳුනා ගැනීමේ ක්‍රමයක් ලෙස (KarTrak ACI) ජෙනරල් ටෙලිෆෝන් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් (GTE) විසින් වැඩි දියුණු කරන ලද මෙම යෝජනා ක්‍රමයට අනුව විවිධ වර්ණවල ඉරි යොදා තැනූ වානේ තහඩුවක් සෑම දුම්රිය මැදිරියක ම දෙපැත්තෙහි සවි කරනු ලැබුවා. වර්ණ ඉරිවලින් එහි හිමිකාරිත්වය, වර්ගය සහ හඳුනාගැනීමේ අංකය ආදී තොරතුරු කේතනය කෙරුණා. දුම්රිය මග දෙපස විශේෂයෙන් තෝරා ගත් තැන්වල, නිදසුනක් වශයෙන් දුම්රිය අංගනයක දොරටුවේ මග දෙපස ඒ කේත කියවිය හැකි ‘ට්‍රැක්සයිඩ් ස්කෑනරයක්’ සවි කරනු ලැබුවා. දිගුකාලීන භාවිතයට ඒ ක්‍රමය නුසුදුසු යැයි කියා වසර දහයකට පසු ඒ ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබුවා. 

බාර්කෝඩය වාණිජමය වශයෙන් වඩාත් සාර්ථක වූයේ ඒවා සුපිරි වෙළඳසැල්වල භාවිතයට ඒමත් සමඟයි. මුල දී ලොව පුරා සුපර්මාකට්වල පරීක්ෂණ පද්ධති ස්වයංක්‍රීය කිරීමට එය යොදා ගනු ලැබුවා. 1973 දී ජෝර්ජ් ලෝරර් (George Laurer) විසින් විශේෂයෙන් සැකසූ තීරුකේතයක්, යුනිෆෝම් ග්‍රොසරි ප්‍රොඩක්ට් කෝඩ් කවුන්සලය විසින් ඒ සඳහා තෝරා ගනු ලැබුවා. ලෝරර්ගේ ඒ තීරුකේතය, සිරස් තීරු සහිත වුණා. වුඩ්ලන්ඩ් සහ සිල්වර් දෙදෙනා නිර්මාණය කළ වෘත්තාකාර තීරුකේතයට වඩා එය පැහැදිලිව මුද්‍රණය කර තිබුණා. ලෝර්ර්ගේ තීරුකේතය සාමාන්‍යයෙන් ස්වයංක්‍රීය හඳුනාගැනීම් හා දත්ත ග්‍රහණය (AIDC) ඇතුළු බොහෝ කටයුතුවලට අදත් යොදා ගන්නවා. 

තීරුකේත ලොවට දුන් තුන් දෙනා - වුඩ්ලන්ඩ්, ලෝරර් හා සිල්වර්

1974 ජූනි මාසයේදී, ඔහියෝවල ට්‍රෝයිහි මාෂ් සුපිරි වෙළඳසැලකදී පළමු වරට රිග්ලි චුවිංගම් පැකට්ටුවක සලකුණු කර තිබූ විශ්ව නිෂ්පාදන කේතයක් (UPC) ස්කෑන් කරමින් මේ ක්‍රමය භාවිතයට ගැනුණා. ඒ සඳහා භාවිත කෙරුණේ ෆොටෝග්‍රැෆික් සයන්සස් කෝපරේෂන් විසින් සාදන ලද විශේෂ ස්කෑනරයක්. ස්මාර්ට් කැමරා ෆෝන් ලොව පුරා බහුලවීමත් සමඟ දැන් විශේෂ 2D තීරු කේතයක් වන, QR කේතය ඉතා ජනප්‍රිය වී තියෙනවා. 

ස්වයංක්‍රීය හඳුනාගැනීම් හා දත්ත ග්‍රහණය සඳහා තවත් එවැනි පද්ධති වෙළෙඳපොළට ආවත් ඒ සියල්ලට ම වඩා බාර්කෝඩ්වල ඇති සරල බව, විශ්වාසනීයත්වය සහ අඩු පිරිවැය නිසා අනෙකුත් පද්ධතිවලට, විශේෂයෙන් ම 1995 දී හඳුන්වා දෙන ලද ගුවන්විදුලි සංඛ්‍යාත මගින් හඳුනා ගැනීම වැනි තාක්ෂණික ක්‍රමවලට පවා වැඩි ඉඩක් ලැබුණේ නැහැ. 

ඇමරිකානු නව නිපැයුම්කරු නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් (1921-2012) සිය ආයතනයේ සේවයට බඳවා ගත් අයිබීඑම් (IBM) ඔහුව නිෂ්පාදන ලේබල් කිරීම සහ පිටවීම සහතික කිරීම සඳහා විශ්ව නිෂ්පාදන කේතය (UPC) සංවර්ධනයට යොමු කළා. ඔහු උපන්නේ 1921 සැප්තැම්බර් 6 වන දා නිව් ජර්සියේ අත්ලාන්තික් සිටිහි පිරිමින් දෙදෙනකු සිටි යුදෙවු පවුලක වැඩිමලා ලෙසයි. අත්ලාන්තික් සිටි උසස් පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු දෙවන ලෝක යුද්ධයේදී හමුදා සේවයට එක් වුණා. ඒ ටෙනසිවල ඕක් රිජ්හි මෑන්හැටන් ව්‍යාපෘතියේ තාක්ෂණික සහායකයෙකු ලෙසයි. ඔහු 1947 දී ඩ්‍රෙක්සෙල් තාක්ෂණික ආයතනයෙන් (පසුව විශ්ව විද්‍යාලයක් බවට පත් වූ) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබුවා. 1948 සිට 1949 දක්වා ඔහු එහිම යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළා. 

1948 දී, නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් සමඟ ඩ්‍රෙක්සෙල් ආයතනයේ සේවය කළ උපාධිධාරී ශිෂ්‍යයකු වූ බර්නාඩ් සිල්වර් දවසක් ඔහු ඇසූ කතාබහක් ගැන අමුතු ආරංචියක් ගෙනාවා. කතාබහ ඇති වුණේ එහි ඉංජිනේරු පීඨාධිපතිවරයා හා සුපිරි වෙළඳසැලේ විධායක නිලධාරියකු අතරයි. 

“නිෂ්පාදන තොරතුරු ස්වයංක්‍රීයව ග්‍රහණය කර ගත හැකි ක්‍රමයක් ඇති කළ හැකිදැයි” සුපිරි වෙළඳසැලේ විධායක නිලධාරියා ඉංජිනේරු පීඨාධිපතිවරයාගෙන් ඇසුවා. 

ඉංජිනේරු පීඨාධිපතිවරයා එවැන්නක් කළ නොහැකි යැයි ඒ අදහස එක්වරම ප්‍රතික්ෂේප කළා.  ‍

ඒ දෙබස බර්නාඩ් සිල්වර්ගේ සිතෙහි කා වැදුණා. ඔහු මේ දෙබස ඒ අයුරින් ම ඔහුගේ අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු වූ නෝමන් ජෝසප් වුඩ්ලන්ඩ් සමග කීවා. 

ඉංජිනේරු පීඨාධිපතිවරයා ඒ සිසුවාගේ අදහස ප්‍රතික්ෂේප කළත් එහි යමක් ඇති බව ජෝසප් වුඩ්ලන්ඩ් වැටහුණා. ඒ ගැටලුව තමා වෙත ගෙන ඒම ගැන සිල්වර්ට ප්‍රශංසා කළා. මූලික අදහස් කිහිපයක් මත වැඩ කිරීමෙන් පසු, ජෝසප් වුඩ්ලන්ඩ් එහි නිෂ්පාදන ශක්‍යතාවක් ඇති බවට ඒත්තු ගැන්වීමට සමත් වුණා. 

ජෝසප් වුඩ්ලන්ඩ් කථිකාචාර්ය රැකියාවෙන් ඉවත් වී කොටස් වෙළඳපොළෙන් උපයා ගත් මුදල් රැගෙන, ෆ්ලොරිඩාවේ ඔහුගේ සීයාගේ මහල් නිවාසයට ගියා. මුහුදු වෙරළේදී, වුඩ්ලන්ඩ් නැවතත් මේ ගැටලුව ගැන සලකා බැලුවා. ඔහුගේ බාලදක්ෂ පුහුණුවේදී ඉලෙක්ට්‍රොනිකව තොරතුරු යැවීමට මෝර්ස් කේත තිත් සහ ඉරි භාවිතා කරන ආකාරය සිහියට නැඟුණා. ඔහු මෝර්ස් කේතයේ භාවිතා කළ හැඩයට සමාන තිත් සහ ඉරි ආදිය වැල්ලේ ඇන්දා. ඒවා තම ඇඟිලිවලින් පහළට ඇද, තිත්වලින් තුනී රේඛා සහ ඉරිවලින් ඝන රේඛා නිපදවීමෙන් පසු, ඔහු ද්විමාන, රේඛීය මෝර්ස් කේතයක් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළා. මේ කාර්යය කිරීමට ඔහු බර්නාඩ් සිල්වර් සම්බන්ධ කර ගත්තා. 

පසුව 1951 දී IBM විසින් ජෝශප් වුඩ්ලන්ඩ් සේවයේ යොදවා ගෙන ඇති අතර, ඔහුට සහ සිල්වර්ට මේ කේත තාක්ෂණය දියුණු කිරීමට අවශ්‍ය වුවද, එය වාණිජමය වශයෙන් කළ නොහැකි වුණා, එබැවින් IBM 1952 දී පේටන්ට් බලපත්‍රය ඩොලර් 15,000 කට ෆිල්කෝ වෙත විකුණුවා, පසුව ඔවුන් එය 1952 දී RCA වෙත විකුණුවා. 1969 දී පේටන්ට් බලපත්‍රය අවසන් වන තෙක් ම RCA ආයතනය 60 දසකය පුරාම මෙහි වාණිජ යෙදුමක් සංවර්ධනය කිරීමට උත්සාහ කළා. හරි ගියේ නැහැ. 

1969 දී ජාතික ආහාර ද්‍රව්‍ය වෙළෙඳ දාම සංගමය මේ සඳහා උනන්දු කර වූයේ RCA ආයතනයයි. ඔවුන් ඇමරිකන් සුපිරි වෙළඳසැල් කමිටුවක් සඳහා එකාකාර සිල්ලර නිෂ්පාදන කේතයක් සකසා දුන්නේය. 1971 දී මේ පිළිබඳ අවධානය යොමු කළ IBM වුඩ්ලන්ඩ්ගේ කටයුතු ගැන සොයා බලා ඔහු වැඩි පහසුකම් ඇති උතුරු කැරොලිනාවේ පිහිටි ශාඛාවට මාරු කළා. එහිදී ඔහු RCA නිපැයුම අබිබවා යමින් මේ තාක්ෂණයේ වැදගත්ම නිමැවුම වූ විශ්ව නිෂ්පාදන කේතය (UPC) තැනීමට සමත් වුණා. එය මුලින් ම භාවිත කළේ 1974 දී ඔහියෝ සුපිරි වෙළඳසැලක චුයින්ගම් පැකට්ටුවකටයි. 

මුල් ම බාර්කොඩයේ නිර්මාතෘ ජෝශප් වුඩ්ලන්ඩ් 2012 දෙසැම්බර් 9 වන දින නිව් ජර්සිහි එජ්වෝටර්හිදී ඇල්සයිමර් වැළඳී මිය ගියා. 

ජෝර්ජ් ජෝසප් ලෝරර් III

ජෝර්ජ් ජෝසප් ලෝරර් III (සැප්තැම්බර් 23, 1925 - දෙසැම්බර් 5, 2019) උතුරු කැරොලිනාවේ පර්යේෂණ ත්‍රිකෝණ උද්‍යානයේ IBM සඳහා ඇමරිකානු ඉංජිනේරුවෙකි. ඔහු බුලටින් 20ක් ප්‍රකාශයට පත් කර, පේටන්ට් බලපත්‍ර 28ක් තබාගෙන, 1970 ගණන්වල මුල් භාගයේදී විශ්ව නිෂ්පාදන කේතය (UPC) සංවර්ධනය කළේය. ඔහු බාර්කෝඩ් සඳහා වුඩ්ලන්ඩ්ගේ වඩාත් පොදු අදහස මත පදනම්ව, UPC සඳහා භාවිතා කරන කේතීකරණය සහ රටාව නිර්මාණය කළා. 

ලෝරර් හඳුන්වා දුන් විශ්ව නිෂ්පාදන ‍තීරුකේතය

ජෝර්ජ් ලෝරර් 1925 සැප්තැම්බර් 23 වන දින නිව් යෝර්ක් නගරයේ උපත ලැබුවා. ඔහුගේ පවුල මේරිලන්ඩ්හි බැල්ටිමෝර් වෙත සංක්‍රමණය වුණා. ඔහුගේ පියා විදුලි ඉංජිනේරුවකු වූ අතර එක්සත් ජනපද නාවික හමුදාවේ සේවය කළා. ලෝරර් නව යොවුන් වියේදී ම පෝලියෝ රෝගයට ගොදුරු වූ නමුදු සුවය ලැබුවා. පාසල් වියේදී ම දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපද හමුදාවට බැ‍ඳ‍ෙන්නට ඔහුට සිදු වුණා. හමුදාවෙන් නිදහස් වූ පසු ඔහු කාර්මික විදුහලකට ඇතුළත්ව ගුවන්විදුලි හා රූපවාහිනී අලුත්වැඩියාව ඉගෙන ගත්තා. 

පසුව 1951 දී ලෝරර් මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයට බැඳී ඉංජිනේරු උපාධිය ලබා ගත්තා. ඔහු 1951 දී IBM ආයතනයට සම්බන්ධ වූයේ කනිෂ්ඨ ඉංජිනේරුවෙකු ලෙසයි. 1987 ජූනි මාසයේදී විශ්‍රාම යන තෙක්ම එහි වසර 36ක් සේවය කළා. 1969 දී ඔහු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු පදවියට මෙන්ම විද්‍යාඥයකු ලෙස උසස් කර උතුරු කැරොලිනාවේ පර්යේෂණ ත්‍රිකෝණ උද්‍යානයේ පිහිටි සමාගමේ කාර්යාල වෙත මාරු කරනු ලැබුවා. 

IBM ආයතනය විසින් සිල්ලර වෙළඳසැල්වල භාවිතයට සුදුසු තීරුකේතයක් සංවර්ධනය කිරීමේ කාර්යය ලෝරර්ට පැවරුවා. මුලදී, IBM විසින් 1940 ගණන්වලදී ජෝශප් වුඩ්ලන්ඩ් විසින් යෝජනා කළ චක්‍රාකාර බුල්සයි මෝස්තරයක් වැන්නක් ඒ සඳහා සුදුසු යැයි කීවත් එය මුද්‍රණය කිරීමේදී ආලේප කිරීම නිසා රටාව අකාර්යක්ෂම බව ලෝරර්ට වැටහුණා. ඒ වෙනුවට, ඔහු 1971දී මුලින් යෝජනා කළ සිරස් ඉරි රටාවක් නිර්මාණය කළා. මෙම වෙනස IBM කළමනාකාරිත්වය විසින් පිළිගනු ලැබූ අතර ලෝරර් පසුව ජෝශප් වුඩ්ලන්ඩ් සහ ගණිතඥ ඩේවිඩ් සවිර් සමඟ එක්ව වැඩි දුරටත් පිරිපහදු කෙරුණු අතර. දෝෂ නිවැරදි කිරීම සඳහා වෙනම අංකයක් එක් කරනු ලැබුවා.1973 දී, IBM ගෙනා යෝජනාව සිල්ලර වෙළඳසැල් සමාගම්වල එකමුතුවක් වන ඒකාකාර සිල්ලර නිෂ්පාදන කේත කවුන්සිලයේ තේරීම් කමිටුව විසින් පිළිගනු ලැබුවා. 

බර්නාඩ් සිල්වර් (1924-1963) මුල්ම බාර්කෝඩය තැනීමට නෝමන් ජෝසෆ් වුඩ්ලන්ඩ් සමඟ එක්වූ නිර්මාපකයායි. ඔහු 1947 දී Drexel තාක්ෂණ ආයතනයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. වෘත්තීය ජීවිතය තුළ සිල්වර් ඩ්‍රෙක්සල්හි භෞතික විද්‍යා උපදේශකයකු ලෙසත් සහ ඉලෙක්ට්‍රොනික් නයිට් ඉන්කෝපරේෂන්හි උප සභාපති ලෙස සේවය කළා. ඔහු වයස අවුරුදු 38 දී උග්‍ර ලියුකේමියා තත්වයක් හා බ්‍රොන්කො නියුමෝනියාවත් 1963 අගෝස්තු 28 දින මිය ගියා. 

- පර්සි ජයමාන්න

අපේ පාර්ලිමේන්තුවෙන් ඇහෙන බයියන්, ටොයියන් ගැන කතා

$
0
0

පසුගියදා පාර්ලිමේතුවෙන් බයියන් ගැන කතාවක් ඇහුණා. ඒ බයි කතාව කිව්වේ අපේ අයි ආර් සී පට්ටම්ධාරී පාර්ලිමේන්තුවේ බයියෙකි. එයා කියන විදියට පොහොට්ටුවෙ අයටලු බයියො කියන්නෙ. සජබ අයට කියන්නෙ ටොයියො කියලලු. බයියොයි ටොයියොයි එකතුවෙලා සරුව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යන එක කොච්චර හොඳද කියලා අපෙන් ඇහුවා. එහෙම අහලා විතරක් නතර වුණේ නෑ. ජෙප්පන්ටත් එකතු වෙන්න කියල කිව්වා. කියලා එයාට හොඳ පුරුදු නමකුත් ජෙප්පන්ට දැම්මා, ‘ගෝපයියො’ කියලා. ඒ වචනෙ කිව්වට සමාව ඉල්ලුවා. ගෝපයියා කියන්නේ නරක වචනයක් නොමෙයි, ඒ මිනිසුන්ගේ ලේ උරා බොන කීඩෑවකුට කියන නම කියලත් කිව්වා. 

ඉස්සර පෘතුගීසින් කූලී හේවායන්ට කිව්වෙ ‘සිපයි’ නැත්නම් සිපෝයි කියලයි. ‘ලපයි’ සිපයි කියන පද යුගලය හැදුණේ හරිස්චන්ද්‍ර විජයතුංග මහත්තයාගේ මහා ශබ්දකෝෂයේ බයියා කියන වදනට තේරුම දීලා තියෙන්නේ, ‘කුඩා දරුවා, අඳ බාලයා, නොදියුණු මිනිහා, පහත් පංතියේ පුද්ගලයා, පිටිසරයා’ ආදි වශයෙනුයි.‍ ඔක්ෆර්ඩ් ශබ්දකෝෂය ‘සිපයි’ හෙත් සිපෝයි (sepoy) යන වදනට අරුත් දී ඇත්තේ ඉන්දියානු සොල්දාදුවා කියලයි. මේ වදන් කීපය අතරින් වඩාත් ජනප්‍රිය වදන ‘බයියා’ යන්නයි. අන්තර්ජාලයේ සැරිසරණ විට හමු වූ මේ ‘බයියා’ ගැන පොඩි බයි ආතල් එකක්! කියා ලියූ මේ ලිපිය මට හිතවතකු විසින් එවා තිබුණා. මේ ලිපිය රචනා කළේ සෑම් පියඹලාගොඩ කියලයි, ඔහු සඳහන් කර තිබුණේ. ලිපිය රසවත් නිර්මාණයක් වූ නිසා මෙහි පළ කරන්නට සිතුවෙමි. - පර්සි 


පොඩි බයි ආතල් එකක්..!! 

බයියන් තම ආහාර වේල රසවත් කිරීමට බයිරහ චිකන් යොදා ගනී. බොහෝ බයියන් විභාග ෆේල් වන බැවින්, විභාගයක් පාස් වන බයියන් බයිපාස් ලෙස හඳුන්වන අතර, ඔවුන්ට බයියන් අතර විශේෂ තැනක් හිමි වේ. බයියන් කියන සිංදු බයිලා වන අතර ඔවුන් බයිලා කියන විට බයිලැන්ඩෝ ගීතය රසවත් ලෙස ගයයි. බයියන් යන මාවත බයි ද වේ ලෙස හඳුන්වන අතර ඔවුන් එම මාවතෙහි ගමන් කිරීමට බයියන්ගේ කැමතිම වාහනය වන බයිසිකලය උපයෝගී කර ගනියි. බයියන් නරඹන චිත්‍රපටි බයිස්කොප්ය. බයියන්ගේ දරුණුතම ආයුධය බයිනෙත්තුව වන අතර, අනිත් උන් සමග වාද කොට නෝන්ඩි වූකල අනේ තොගේ මවු පාර්ශ්වයට...කියා වලියට එන්නේ මෙම බයිනෙත්තුව උලුක්කු කරගෙනයි. බයියන්ගෙන් බොහෝ බයියන් බයිසෙක්ෂුවල් ය. උපතින් සියලු සිංහලයින් බයියන් වන අතර ඔවුන්ගේ මවුවරු "බයි බයි බයි බයිය පුතා"කියා ඔවුන් නලවන්නේ ඒ නිසාවෙනි. බයියන් නිදා ගන්නේ නැත, ඔවුන් බයියනවාය. බයියන් භාවිතා කරන ගම් වර්ගය ඇල‍ෙව්වොත් ඇලෙව්වා නම් බයින්ඩර් ගම්ය. බයියන් මත්පැන් පානයේදී බයිට් ලෙස වැඩිපුරම කාබයිට් කන්නට ප්‍රිය කරති. ඔබට බයියන් ගැන වැඩිදුර හැදෑරීමට අවශ්‍ය නම් ඔවුන් ගැනම ලියවුණු බයෝ සයන්ස් පොත පත පරිශීලනය මැනවි. බයියන්ට සාමාන්‍ය රටේ පවතින නීතිය ඇලජික් වන අතර ඔවුන් තමන් වෙනුවෙන්ම නිර්මාණය කරගත් නීති මාලාව බයිලෝ නම් වේ. බයියන් එදිනෙදා බඩු බාහිරාදිය රෙදි පෙරෙදි මිලදී ගන්නේ ලාබයි ලාබයි කියා හෝ බයි වන් ගෙට් වන් ෆ්රී කියා ගසා ඇති කඩවලින් පමණයි. හැඩි දැඩි බයියන්ගෙන් සැදුම් ලත් බයි හමුදාව බයිෆෝස් නම් වන අතර එම හමුදාව ගේමට බැස්ස කල ත්‍රීෆෝසස් කැලේය. බයියාගේ පුතා බයිසන් නම් වන අතර කපටි බයියන් බයිනරි නම් වේ. 

     - සෑම් සියඹලාගොඩ.

බෙදාහදාගෙන වැඩ කිරීමේ හොඳ පුරුද්ද!

$
0
0

වයස්ගත යුවළක් කෑම ගැනීම පිණිස අවන්හලකට පැමිණියහ. ඔවුන් දෙපළ එහි අසුන් ගෙන මඳ වේලාවකට පසු අසුනෙන් නැඟිට ගිය පිරිමියා මාළු පාන් ගෙඩියක් මිලදී ගෙනැවිත් යළිත් අසුන් ගත්තේය. මොවුන් දෙදෙනාට ම එකම මාළු පාන් ගෙඩියක් පමණක් මිල දී ගන්නට ඇත්තේ පිරිමියා පමණක් අනුභව කරන්නට යයි මෙය අසල මේසයක බලා සිටි පුද්ගලයෙක් සිතුවේය. 


මහලු කාන්තාව සිය සැමියාට කීවේ, ‘නැහැ ඩග්ලස් ඔයා ඉස්සෙල්ලා කන්න’ කියාය. බලා සිටි අයට හැඟී ගියේ මොවුන් දෙදෙනාට ම මාළු පාන් ගන්නට මුදල් නොමැති නිසා මාළු පාන් එකක් ගෙන දෙදෙනා ම එය භුක්ති විඳින්නට අදහස් කර ගෙන ඇති බවයි. ඇය සැමියාට ඇති ගෞරවය නිසා ඒ මාළු පාන් ගෙඩියෙන් කොටසක් කලින් කන්නට කියන්නට ඇතැයි අසල මේසයේ සිටි තැනැත්තා කීය. 

මොවුන් දෙපළ ගැන අනුකම්පාවක් බලා සිටි තැනැත්තා තුළ ඇති විය. ඔහු කවුන්ටරය වෙත ගොස් මාළු පාන් ගෙඩියක් මිල දී ගෙනැවිත් මහලු කාන්තාවට දී “ඔබතුමියත් කන්න මෙන්න මං මාළු පාන් එකක් ඔබතුමියටත් ගෙනාවා.” කියා පිරිනැමුවේ ය. 

“හා බොහෝ ම ස්තූතියි. මුලදි මම හිතුවේ නොකා ඉන්නයි” මහලු කාන්තාව තම නැති බැරිකම් වසා ගැනීමට මෙන් කීවාය. “අපි දෙන්නා හැම දෙයක් ම කරන්නේ බෙදාහදාගෙන.” ඇය කීවාය. 

මහලු තැනැත්තා බොහොම සෙමින් මාළු පාන් ගෙඩිය අනුභව කළ අතර ඔහු එය ඉටු කරන ආකාරය දෙස මහලු බිරිය බලා සිටියාය. 

“ඇයි ඔබතුමිය මාළු පාන් කන්න කැමති නැද්ද?” මාළු පාන් ගෙඩිය ගෙනැවිත් දුන් තැනැත්තා විමසුවේ ඇය සතුටු යමක් ගෙනවුත් දීමටය. 

“නැහැ එහෙම එකක් නැහැ” ඇය කීවාය. “අපි හැමදෙයක් ම බ‍ෙදාහදා ගෙන තමයි කරන්නේ” ඇය කිවාය. 

“එහෙනම් ඇයි නොකා සිටින්නේ?” 

“නැහැ. මම මේ ඩග්ලස් කාලා ඉවර වෙනකන් ඉන්නේ. අපි හැමදෙයක් ම බ‍ෙදාහදා ගෙන තමයි කරන්නේ” ඇය යළිත් කිවාය. 

“අපි දෙන්නා හැම දෙයක් ම බ‍ෙදාහදාගෙන කරන්න පුරුදු වෙලා තියෙනවා” මහලු පුරුෂයාත් කීවේය. 

“කොච්චර වාසනාවන්ත ජෝඩුවක් ද කියලා මට හිතෙනවා. ඒත් දුක මට හිතුනෙ මෙතුමිය නොකා බලා ඉන්න කොට” බලා සිටි පුද්ගලයා කීවේය. 

“ඩග්ලස් පළමුව කෑම කාලා ඉවර වුණාම තමා මට දත් කුට්ටම ලැබෙන්නෙ. ඒකයි මං මේ ඒක ලැබෙනකන් බලා සිටින්නේ” යයි මහලු බිරිය කීවාය. 

- ලලිත් හීන්ගම 

(ලලිත් හීන්ගමගේ ‘කිල්ලෝටය -3’ නම් රසකතා සමුච්චයෙනි. මෙය මීට වසර 11කට පෙර ‘ලංකාදීප’ පුවත්පතට ඔහු විසින් ලියූ රසකතා තීරුවේ පළ වූවකි. ‘කිල්ලෝටය -3’ ගොඩගේ ප්‍රකාශනයකි.)

නස්රුදින්ගේ උදුන් හැදිල්ල!

$
0
0

දවසක් නස්රුදීන් තම මිදුලේ උදුනක් ඉදිකරමින් සිටියා. අවසන් වූ පසු ඔහු එය අසල්වැසියන්ට පෙන්නුවා. 

"උදුන හොඳයි,"ඔවුන්ගෙන් එක් කෙනෙක් පැවසුවේ, "ඒත් ඒක උතුරට මුහුණලාලනෙ හදලා තියෙන්නෙ. ශීත ඍතුවේ දී සුළඟක් ඇති වුනාම, ඒ සුළ‍ඟින් ඒකෙ ගින්න නිවා දමාවි. ” 

නස්රුදින් පසුවදා උදුන ආයිත් හැදුවා. මෙවර දකුණට මුහුණ ලා තියෙන්නයි, ඒක හැදුවේ. ඒත් ඒක නස්රුදින් එයාග‍ෙ මිතුරන්ට පෙන්නුවාම ඔවුන්ගෙන් එකෙක් කීවේ, "ඒක ශක්තිමත්ව හොඳට හදලා තියෙනවා. ඒත් වැරැද්දකට තියෙන්නේ ඒක දකුණට මුහුණලාල නොවැ හදලා තියෙන්නෙ. ඉතින් ඒ පැත්තෙන් සුළඟ හමන විට, මේ උදුන නිවිලා ඔහේට ආහාර පිසගන්න බැරිවේවි.”යයි කියායි. 

නස්රුදින් ඒ උදුන කඩලා ආයිත් හැදුවා. ඒ වතාවේ නස්රුදීන් ඒ හැදුවේ නැඟෙනහිර දිසාවට මුහුණපා සිටින්නයි. ඊට පස්සේ ආයිත් මිතුරන්ට කථා කරලා පෙන්නුවා. ඔවුන් එය පරීක්ෂා කර බැලුවා. ඒ අතරින් එක් කෙනෙක් මෙහෙම කිව්වා. “අවුරුද්දේ සමහර කාලවලදී සුළඟ ඔබේ නිවස දෙසට දුම ගෙන යනවාද කියලා සොයා බලලා හරියට තේරුම් ගන්න ඕනෑ. ඊට පස්සේ තමයි මේ උදුන හදන්න තිබුණේ” 

ඒ කතාවෙන් නස්රුදින් හොඳටම කලකිරුණා. ඒත් වැඩේ අත් හැර දැම්මේ නෑ. නස්රුදින් ආයිත් උදුන ආයිත් හැදුවා. ඒ වතාවේ ඔහු උදුනට යටින් රෝද හයි කළා. ඕනෑ තැනකට ගෙනියන්න පුලුවන් වෙන විදියට ඇද ගෙන යන්න ලණුවකුත් දැම්මා. 

ඊළඟට එයා ආයිත් අසල්වැසියන් කැඳවලා අලුතින් හදපු උදුන පෙන්නුවා. ඒක දැකපු ඔවුන් හරිම කැමති වුණා. “ඕනැම තැනකට ඒක අරන් යන්නත් පුලුවන්. හරිම අපූරුයි” අයෙක් කිව්වා. තවත් අයෙක් කීවේ, “නස්රුදීන්, ඔහේ හරිම දස්සයෙක්, ඔහේගේ නව උදුනට සුබ පැතුම්” කියායි. 

"ස්තූතියි” නස්රුදින් පිළිතුරු දුන්නා.

නස්රුදින්ගේ ඊළඟ මිතුරා කීවේ වෙනස්ම කතාවක්, “නස්රුදින් මගේ ගෙදර උදුන කැඩිලා. මම මේ ඔහෙගෙන් උදව්වක් ඉල්ලාගෙන ආවේ. අද රෑට විතරක් මට මේ උදුන දෙන්න. මම මේක නොවැරදී ම හෙට උදෙන් ම ඔහෙට ආපසු දෙන්නම්.” 

නස්රුදීන් ඊට එකඟ වූ අතර, මිතුරා උඳුන රෝදවලින් ඇද ගෙන ගියා. 

මිතුරා පසුදා උදෑසනින් ම උදුන ගෙනත් දුන්නා. ඉතින් නස්රුදීන් වැඩට ගියේ බිරියට බාබකියු එකකට මස් අරන් එන බව කියමිනුයි. 

වැඩ ඇරිලා එන ගමන් නස්රුදින් බාබකියුවලට මස් ගොඩක් මිල දී ගත්තා. මස් අරගෙන ගෙදර යනකොට බිරිඳ දොරකඩට වී කම්මුලට අත තියාගෙන බලන් ඉන්නවා. 

“මොකද ඔහෙ දුකෙන් වගේ?” නස්රුදින් ගෙට ගොඩ වෙන ගමන් ඇහුවා. 

ඇය කීවේ මෙහෙම දෙයක්: “මේ උදුන හදපුදාම මුලින්ම ඔහේගේ මිතුරා එය ණයට ඉල්ලා ගෙන ගියා. අපට මොකුත් උයන්න බැරි වුණා. අද, එයා උදෙන් ම ගෙනත් දුන්නා. ඒත් අපට අදත් මොකුත් උයන්න විදියක් නෑ අනේ. මේවා ඔහේගේ මෝඩකම්” යයි බිරිඳ මැසිවිලි කිව්වා.‍ 

“මට ඔහේ කියන දෙය තේරෙන්නේ නෑ. තේරෙන විදියට කියන්නකො” 

“ඔහේ බාබකියුවලට මස් ගෙනාවාට වැඩක් නෑ. ඔහෙගෙ යාළුවා උදුන මිදුලෙන් තියලා ගියා. මම එළියට ඇවිත් ඒක ගෙට ගන්න බලන කොට ඒක හොරු අරන් ගිහිල්ලා! අපරාදෙ ඒකට රෝද දැලා හැදුවෙ” 

- පර්සි ජයමාන්නගේ අලුත්ම නස්රුදින් කථා පොතෙනි.


අපේ පාර්ලිමේන්තුවෙන් ඇහෙන බයියන්, ටොයියන් ගැන කතා

$
0
0

පසුගියදා පාර්ලිමේතුවෙන් බයියන් ගැන කතාවක් ඇහුණා. ඒ බයි කතාව කිව්වේ අපේ අයි ආර් සී පට්ටම්ධාරී පාර්ලිමේන්තුවේ බයියෙකි. එයා කියන විදියට පොහොට්ටුවෙ අයටලු බයියො කියන්නෙ. සජබ අයට කියන්නෙ ටොයියො කියලලු. බයියොයි ටොයියොයි එකතුවෙලා සරුව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න යන එක කොච්චර හොඳද කියලා අපෙන් ඇහුවා. එහෙම අහලා විතරක් නතර වුණේ නෑ. ජෙප්පන්ටත් එකතු වෙන්න කියල කිව්වා. කියලා එයාට හොඳ පුරුදු නමකුත් ජෙප්පන්ට දැම්මා, ‘ගෝපයියො’ කියලා. ඒ වචනෙ කිව්වට එයා සමාවත් ඉල්ලුවා. ගෝපයියා කියන්නේ නරක වචනයක් න‍ෙමෙයි, ඒ මිනිසුන්ගේ ලේ උරා බොන කීඩෑවකුට කියන නම කියලත් කිව්වා. 

ඉස්සර පෘතුගීසින් කූලී හේවායන්ට කිව්වෙ ‘සිපයි’ නැත්නම් සිපෝයි කියලයි. ‘ලපයි’ සිපයි කියන පද යුගලය හැදුණේ හරිස්චන්ද්‍ර විජයතුංග මහත්තයාගේ මහා ශබ්දකෝෂයේ බයියා කියන වදනට තේරුම දීලා තියෙන්නේ, ‘කුඩා දරුවා, අඳ බාලයා, නොදියුණු මිනිහා, පහත් පංතියේ පුද්ගලයා, පිටිසරයා’ ආදි වශයෙනුයි.‍ ඔක්ෆර්ඩ් ශබ්දකෝෂය ‘සිපයි’ හෙත් සිපෝයි (sepoy) යන වදනට අරුත් දී ඇත්තේ ඉන්දියානු සොල්දාදුවා කියලයි. මේ වදන් කීපය අතරින් වඩාත් ජනප්‍රිය වදන ‘බයියා’ යන්නයි. අන්තර්ජාලයේ සැරිසරණ විට හමු වූ මේ ‘බයියා’ ගැන පොඩි බයි ආතල් එකක්! කියා ලියූ මේ ලිපිය මට හිතවතකු විසින් එවා තිබුණා. මේ ලිපිය රචනා කළේ සෑම් පියඹලාගොඩ කියලයි, ඔහු සඳහන් කර තිබුණේ. ලිපිය රසවත් නිර්මාණයක් වූ නිසා මෙසේ පළ කරන්නට සිතුවා. - පර්සි 


පොඩි බයි ආතල් එකක්..!! 

බයියන් තම ආහාර වේල රසවත් කිරීමට බයිරහ චිකන් යොදා ගනී. බොහෝ බයියන් විභාග ෆේල් වන බැවින්, විභාගයක් පාස් වන බයියන් බයිපාස් ලෙස හඳුන්වන අතර, ඔවුන්ට බයියන් අතර විශේෂ තැනක් හිමි වේ. බයියන් කියන සිංදු බයිලා වන අතර ඔවුන් බයිලා කියන විට බයිලැන්ඩෝ ගීතය රසවත් ලෙස ගයයි. බයියන් යන මාවත බයි ද වේ ලෙස හඳුන්වන අතර ඔවුන් එම මාවතෙහි ගමන් කිරීමට බයියන්ගේ කැමතිම වාහනය වන බයිසිකලය උපයෝගී කර ගනියි. බයියන් නරඹන චිත්‍රපටි බයිස්කොප්ය. බයියන්ගේ දරුණුතම ආයුධය බයිනෙත්තුව වන අතර, අනිත් උන් සමග වාද කොට නෝන්ඩි වූකල අනේ තොගේ මවු පාර්ශ්වයට...කියා වලියට එන්නේ මෙම බයිනෙත්තුව උලුක්කු කරගෙනයි. බයියන්ගෙන් බොහෝ බයියන් බයිසෙක්ෂුවල් ය. උපතින් සියලු සිංහලයින් බයියන් වන අතර ඔවුන්ගේ මවුවරු "බයි බයි බයි බයිය පුතා"කියා ඔවුන් නලවන්නේ ඒ නිසාවෙනි. බයියන් නිදා ගන්නේ නැත, ඔවුන් බයියනවාය. බයියන් භාවිතා කරන ගම් වර්ගය ඇල‍ෙව්වොත් ඇලෙව්වා නම් බයින්ඩර් ගම්ය. බයියන් මත්පැන් පානයේදී බයිට් ලෙස වැඩිපුරම කාබයිට් කන්නට ප්‍රිය කරති. ඔබට බයියන් ගැන වැඩිදුර හැදෑරීමට අවශ්‍ය නම් ඔවුන් ගැනම ලියවුණු බයෝ සයන්ස් පොත පත පරිශීලනය මැනවි. බයියන්ට සාමාන්‍ය රටේ පවතින නීතිය ඇලජික් වන අතර ඔවුන් තමන් වෙනුවෙන්ම නිර්මාණය කරගත් නීති මාලාව බයිලෝ නම් වේ. බයියන් එදිනෙදා බඩු බාහිරාදිය රෙදි පෙරෙදි මිලදී ගන්නේ ලාබයි ලාබයි කියා හෝ බයි වන් ගෙට් වන් ෆ්රී කියා ගසා ඇති කඩවලින් පමණයි. හැඩි දැඩි බයියන්ගෙන් සැදුම් ලත් බයි හමුදාව බයිෆෝස් නම් වන අතර එම හමුදාව ගේමට බැස්ස කල ත්‍රීෆෝසස් කැලේය. බයියාගේ පුතා බයිසන් නම් වන අතර කපටි බයියන් බයිනරි නම් වේ. 

සෑම් සියඹලාගොඩ

බ්‍රිතාන්‍ය අගමැති පදවිය ‘ඉන්දියානුවකු’ අතට?

$
0
0

අද හෙටම එංගලන්තයේ ඩවුනින් වීදියේ අංක 10 නිවසට ඉන්දියානුවකු එතැයි යන ආරංචිය නිසයි, මා ඒ ගැන සොයා බලන්න පෙලඹුණේ. මේ නිවස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස බව ඔබ සමහර විට දන්නවා ඇති. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාව සිටි බොරිස් ජොන්සන් කොන්ස’වර්ටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට දැන් තරඟ වදින රිෂී සුනාක් ඉන්දියානු සම්භවයක් ඇති අයකු වීම නිසයි, මගේ අවධානයට එසේ ලක් වුණේ. 

රිෂී සුනාක්

රිෂී සුනාක් 2020ත් 2022 අතර බ්‍රිතාන්‍යයේ චාන්සලර්වරයා (මුදල් ඇමති) ව සිටියදී ඔහුගේ නිල නිවස වූයේ ඩවුනින් විදියේ අංක 11 නිවසයි. අගමැති බොරිස් ජොන්සන්ගේ රජයේ මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මුලින් ම ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරයා රිෂී සුනාක් වන අතර ඔහු සමග පක්ෂ නායකත්වයට තරඟ වදින ප්‍රතිවාදිනිය, ලිස් ට්‍රස් වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරියයි. ඇය ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ හා බොරිස් ජොන්සන් යන අගමැතිවරුන්ගේ අමාත්‍ය මණ්ඩලවල විවිධ තනතුරු දැරූ අයෙක්. 

2022 පක්ෂ නායකත්වය සඳහා කොන්ස’වර්ටිව් මන්ත්‍රීන්ගේ ඡන්දයේ වට පහෙන් ම ජය ගත්තේ රිෂී සුනාක් තමයි. ජූලි 20 වැනිදා පස්වැනි අවසාන වටයේ දී සුනාක් 137ක් ලබා ගත්තා. ලිස් ට්‍රස්ට ලබා ගත්තේ ඡන්ද 113ක් පමණයි. තුන්වැනි තරඟකාරිය වූ මෝඩොන්ට්ට හිමි වුයේ ඡන්ද 105කි. දැන් අවසාන වටයට සුනාක් හා ට්‍රස් කොන්ස’වර්ටිව් පක්ෂ සමාජිකයන්ගේ ඡන්දයට මුහුණ දිය යුතුයි. පාක්ෂිකයන් එක් ලක්ෂ හැට දහසක් තැපෑලෙන් ඡන්දය පාවිච්චි කරන අතර එයින් ජය ගන්නා තැනැත්තා හෝ තැනත්තිය තමයි, නව බ්‍රිතාන්‍ය අගමැතිවරයා වශයෙන් පත් වන්නේ. 

රිෂී සුනාක්, බිරිඳ හා දියනියන් දෙදෙනා සමග

රිෂී සුනාක්ගේ සීයා සහ ආච්චි ඉන්දියාවේ පන්ජාබයේ සිට අප්‍රිකාවට සංක්‍රමණය වූවෝ වෙති. පසුව සුනෑක්ගේ දෙමාපියන් 1960 දශකයේදී නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වුණා. සුනාක්ගේ පියා යෂ්වීර් සුනාක් වෛද්‍යවරයකු වන අතර මව වූ ඌෂා ඖෂධවේදිනියකි. සුනාක් උපන්නේ 1980 මැයි 12 වැනිදා සදර්ම්ටන්වලදියි. විදෙස්ගත වන ඕනෑම ඉන්දීය පවුලක් සාමාන්‍යයෙන් කරන අයුරින්, සුනාක්ගේ මාපියෝ ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වූහ. 

සුනාක්, වින්චෙස්ටර් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ අතර, ඔහුට ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඔහුට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් හිමි විය. සුනාක්ට, බිරිඳ වූ අක්ෂාතා මූර්ති හමුවූයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දීයි. බ්‍රිතාන්‍යයේ සුදු ජාතික වැසියකුගේ මෙන් ඉංග්‍රීසි උච්චාරණය කරන සුනාක්ගේ මුහුණ, සමේ වර්ණය සහ සංස්කෘතිය ඉන්දියානුයි. භගවත් ගීතාවට අනුව ජීවිතය ගත කරන සුනාක්, ගව මස් අනුභව නොකරයි. එසේ වුවත් බේකන් අනුභව කිරීමට ප්‍රිය කරයි. ‘මා හින්දු භක්තිකයෙක්. සති අන්තයේ මා කෝවිලට යනවා. ඒ වගේ ම පාපන්දු තරඟ නරඹනවා’ සුනාක් කියනවා. 

බ්‍රිතාන්‍යයට පමණක් නොව ලෝකයට අගමැතිවරුන් බිහි කිරීමෙහිලා නමක් දිනූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, ඔහුගේ මිතුරන් නිතරම ඔහුට විහිළු කළේ අනාගතයේ කොන්ස’වර්ටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත් විය හැකියි කියායි. ඒත් සුනාක්ට එය විහිළුවක් වුණේ නැහැ. ඒ ගැන ඔහු ගැඹුරින් හිතුවා. ඔහු ආයෝජන බැංකුකරුවකු ලෙස රැකියාවට ගියා. ඉතා ඉක්මනින් ධනවතකු වූ ඔහු තරුණ කාලයේ සිට ම බැඳී සිටි කොන්ස’වර්ටිව් පක්ෂයෙන් දේශපාලනයට එන්නට තීරණය කළා. 

ඔහු 2015 වසරේ දී මැතිසබයට තරග කළා. කොන්ස’වර්ටිව් පක්ෂ බළකොටුවක් ලෙස සැලෙකන උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ රිච්මන්ඩ් අසුන දිනා ගනිමින් සුනාක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ භගවත් ගීතාවට අත ගසමිනි. 

ලිස් ට්‍රස්

රිෂී සුනාක්ගේ ප්‍රතිවාදිනිය වූ මේරි එලිසැබත් ට්‍රස් 2010 සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක්. ඇය 1975 ජූලි 26 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදී උපන්නා. ඇගේ පියා ශුද්ධ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක්. මව හෙදියක්. ඇය පසුගිය කාලයේ න්‍යෂ්ටික අවිහරණය ගැන උද්ඝෝෂණ කළ කමිටුවේ සාමාජිකාවක් ද වුණා. ට්‍රස්ගේ මාපියන් කම්කරු පක්ෂයේ අනුගාමිකයන් වන අතර ඇය කොන්ස’වටිව් පක්ෂයට බැඳී දේශපාලනයට එක් ව මෙතෙක් සාර්ථක ගමනක් ආ අයෙක්. එහි දී ඇගේ ඡන්ද ව්‍යාපාරයට මවගේ සහය ලැබුණත් පියාගේ සහය ලැබුණේ නැහැ. ට්‍රස් දර්ශන වාදය, දේශපාලන විද්‍යාව හා ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්. 

ඉන්දියාවේ දේශපාලනයට අනුව ඉතාලි ජාතික කාන්තාවක් වූ සෝනියා ගාන්ධිට එරට අගමැති වීමට ඇති වූ බාධාව එංගලන්තයේ දී සිදුවුවහොත් රිෂී පරාද වී ලිස් ට්‍රස්ට ජය ගත හැකිවේවි. දැනට මහජනතාව අතර වඩා ජනප්‍රියත්වය රිෂී දිනා සිටියත් ඔහුට අගමැති වීමට අවශ්‍ය පක්ෂ නායකත්වය දිනන්නට නම් කොන්ස’වර්ටිව් පාක්ෂිකයන්ගේ ඡන්දය අවශ්‍යයි. එහි දී ඡන්දය හිමි පාක්ෂිකයන් වැඩි දෙනෙකු වැඩිහිටි ඉංග්‍රීසි ජාතිකයන් වන නිසා ඔවුන් කොයි අත ගනිවිදැයි කියන්න බැහැ. 

යම්හෙයකින් රිෂී සුනාක් දිනුවොත් ඉන්දීය සම්භවයක් ඇති ප්‍රථම බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔහු වෙනවා‍. එහෙම වුණොත් ඔහුත් ඉන්දියාවෙන් ලෝකයට දායාද කළ රාජ්‍ය නායකයන් අතරට එක් වෙනවා. වර්තමානයේ මේ කලාපයේ රටවල් හතකම ඉන්නා රාජ්‍ය නායකයන් ඉන්දීය සම්භවයක් ඇති අයයි. ඒ ගැනත් ඉදිරියේ දී කතා කරමු. 

- පර්සි ජයමාන්න


ඉන්දියාව ලෝකයට දායාද කළ රාජ්‍ය නායකයෝ

$
0
0

ඉන්දියානු සම්භවයක් ඇති අයෙකුට බ්‍රිතාන්‍ය අගමැති වීමට අවස්ථාවක් උදා වී තියෙනවා. ඒ රිෂී සුනාක්. ඔහුගේ ලබන 5 වැනිදා බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයට ලිස් ට්‍රස් සමඟ තරඟ වදිනවා. දැනටමත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් දිනලා තියෙන්නේ. අවසාන වටයට කොන්සර්වටිව් පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්දය විතරයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඒක දිනුවොත් ඔහුට බ්‍රිතාන්‍ය අගමැති වීමට පුළුවන්. ඒක ලෝක වාර්තාවක් වේවි. 

ඇමරිකාවේ උප ජනාධිපති කමලාදේවී හැරිස්

මේ වන විට ඉන්දියාවෙන් ලෝකයට දායාද කරනු ලැබූ රාජ්‍ය නායකයන් රැසක් ඉන්නා බව ඔබ දන්නවාද? ඉන්දියාවෙන් සංක්‍රමණය වී රාජ්‍ය නායක පදවියට පත් වූ අය ගැන කතා කරන විට මුලින් මගේ මතකයට ආවේ අපේ රටේ මුල්ම රාජ්‍ය නායකයා වූ විජය රජතුමායි. අපේ අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහත් ඉන්දියාවෙන් මෙරටට ආ අයෙකු බවත් අපට අමතක කරන්න බැහැ. ඒත් මා ලියන්න අදහස් කළේ ඉතිහාසයට එක් වූ අය ගැන නොවෙයි. වර්තමානයේ ලෝකයේ විවිධ රටවලට නායකත්වය දෙන ඉන්දියානු සම්භවයක් ඇති අය ගැනයි. 

ඇමරිකාවේ උප ජනාධිපති කමලාදේවී හැරිස් 

එයින් බලවත්ම තනතුර දරන්නේ කමලාදේවී හැරිස්. ඇය ඇමරිකාවේ උප ජනාධිපති පදවියට පත් ප්‍රථම කාන්තාවයි. 57 හැවිරිදි ඇය එම තනතුරට පත් වූයේ 2021දීයි. ඇගේ මව දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ගිය කාන්තාවක්. 1964 ඔක්තෝබර් 20 වැනිදා කැලිෆෝනියාවේ ඔක්ලන්ඩ්හී උපන් කමලාදේවී හැරිස් ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ කාන්තාවක් ලැබූ ඉහළ ම තනතුරට පත් වූ අයෙක්. අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උප ජනාධිපතිනිය ඇයයි. 

කමලාදේවිගේ මව, ශ්‍යාමාලා ගෝපාලන් 19 හැවිරිදි වියේ දී වැඩිදුර අධ්‍යාපනයට කැලිෆෝනියාවට ගිය උපාධි අපේක්ෂක තරුණියක්. ඇය කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් 1964 දී ආචාර්ය උපාධිය ලබා ගත්තා. කමලාදේවී ගේ පියා බ්‍රිතාන්‍ය ජැමෙයිකාවේ සිට ඇමරිකාවට ආවේත් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරන්නයි. ඔවුන් දෙදෙනා හඳුනා ගෙන ඇත්තේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයක කටයුතු කරද්දීයි. ඒත් ඒ විවාහය අතරමග දී දෙදෙරා ගියා. කමලාදේවී හත් හැවිරිදි වියේ දී ඇගේ පියා මවගෙන් දික්කසාද වුණා. එදා පටන් ඇයත් මවත් බාල සොහොයුරියත් ඔහුගෙන් වෙන්ව ජීවත් වුණා. ඒත් කමලාදේවී ඉන්දියාවේ ඇගේ මවගේ නෑදෑයන් වගේ ම ජැමෙයිකාවේ සිටින පියාගේ නෑදෑයන් සමඟ ද සම්බන්ධකම් පවත්වනා. ඔවුන්ට උදවු කරනවා. 

හාවඩ් විශ්ව විද්‍යාලයේ හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරිණියක වූ ඇය විවිධ තනතුරු දරා කැලිෆෝනියාවේ නීතිපති පදවියට පත් වුණා. 2016 දී සෙනෙට් මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වුණා. ඒ තනතුරට පත් ප්‍රථම දකුණු ආසියානු සම්භවයක් ඇති කාන්තාව ඇයයි. 2020 දී ඇය ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නාම යෝජනා සඳහා ඉදිරිපත් ව පසුව ඉල්ලා අස් වුණා. අනතුරුව ජෝ බයිඩන් ඇය සිය උප ජනාධිපති ලෙස නම් කළා. 2021 දී ජනවාරි 20 වැනිදා ඇය, ඇමරිකාවේ ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන් අවස්ථාවේ 49 වැනි උප ජනාධිපති ලෙස එම පදවියේ දිවුරුම් දුන්නා. 

සිංගප්පූරුවේ ජනාධිපතිනි හලීමා 

සිංගප්පූරු‍වේ ඉතිහාසයේ ජනාධිපති පදවියට පත් ප්‍රථම කාන්තාව ඇයයි. ඇය නමින් හලීමායි. 2017 දී ඇය අට වන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඒ තනතුරට පත්වන්නට පෙර ඇය සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක පදවිය හෙබවූවා. 

හලීමාගේ පියා ඉන්දියාවෙන් සිංගප්පූරුවට සංක්‍රමණය වූ අයෙක්; මව මැලේ ජාතික කාන්තාවක්. හලීමා උපන්නේ 1954 අගෝස්තු 23 වැනිදායි. ඇයට අවුරුදු අටක් වෙද්දී, මුරකරුවකු වශයෙන් රැකියාව කරමින් සිටි පියා හෘදයාබාධයකින් මිය ගියා. හලීමාත් සහෝදරියන් තුන් දෙනෙකුත් සමඟ මව රැකියාවක් නොමැතිව අන්ත අසරණ බවට පත් වුණා. හලීමා කුඩා කල සිටම ජීවිතය ගෙන යාමට මවට උදවු වුණා. අගේ මව සිංගප්පූරුවේ ප්‍රින්ස් එඩ්වඩ් වීදියේ බහුතාක්ෂණික ආයතනය අසල පදාන් බත් සපයන වීදි අවන්හලක් පවත්වා ගෙන ගියා. ඇය ළමා වියේදීම ඊට උදවු කළා. 

ඒ අතර ඇය පාසල් ගියා. මූලික අධ්‍යාපනය ලැබුවේ සිංගප්පූරු චීන බාලිකා විද්‍යාලයෙන් හා ටැංජොන් කාටොන් විදුහලෙන් අධ්‍යාපනය ලබා 2001 දී සිංගප්පූරු විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තා. 2016 දී ඒ විශ්ව විද්‍යාලයෙන්ම ඇයට නීතිය පිළිබඳව ආචාර්ය උපාධිය පිරිනැමුවා. 

සිංගප්පූරුවේ ජනාධිපතිනි හලීමා

2001 දී දේශපාලනයට එක් වූ ඇය පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඇයට ප්‍රජා සංවර්ධනය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරය හිමි වුණා. පසුව පාර්ලිමේන්තුවේ කථානායක ලෙසට ද පත් වුණා. 2017 දී සිය දේශපාලන පක්ෂයෙන් ඉවත්ව නිදහස් අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වූ අනෙක් අපේක්ෂකයන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නිසා ඇයට නිතරඟයෙන් ජනාධිපති ලෙස පත් වීමට හැකි වුණා. 

සීෂ‍ෙල්ස් ජනාධිපති වෑවෙල් රාම් කලාවාන් 

වෑවෙල් රාම් කලාවාන් සීෂෙල්ස් දූපත්වලට අයත් මාහේ දූපතේ සාමාන්‍ය පවුලක දරුවෙක්. ඔහු උපන්නේ 1961 මාර්තු 15 වැනිදායි. ඔහුගේ සීයා ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයෙන් එහි සංක්‍රමණය වූ අයෙක්. ඔහුගේ පියා ටින්කරුවෙක්. මව ගුරුවරියක්. සීෂෙල්ස් විදුහලෙන් ඉගෙනගත් ඔහු ඉන්පසුව මොරිෂස්වල සාන්ත පාවුළු සෙමනේරියෙන් ඉගෙන ගෙන පූජකවරයෙකු වුණා. එයින් පසු ඔහු එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයට  වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියා. ඉන්පසු සිය රටට විත් දේවස්ථාන ගණනාවක සේවය කළා. පසුව එරට ශුද්ධ වූ ගැලවුම්කරුගේ දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා බවට පත් වුණා. 

සීෂ‍ෙල්ස් ජනාධිපති වෑවෙල් රාම් කලාවාන්

ලෝක ප්‍රකට ඩෙස්මන්ඩ් ටුටු පියතුමා‍ගේ අඩි පාරේ යමින් මිනිස් අයිතිවාසිකම් උදෙසා දේශනා කළ ඔහු පසුව සමාජ අසාධාරණයට එරෙහිව හා රජයේ ජන පීඩාවන්ට විරෝධය පාමින් ජනතාවගේ පැත්ත ගෙන කටයුතු කළා. ජනතාවගේ ඉල්ලීම මත 1993 දී දේශපාලනයට ආ ඔහු විරුද්ධ පක්ෂය වෙනුවෙන් මැතිසබය නියෝජනය කළා. ඔහු එහි විරුද්ධ පක්ෂ නායකයා ලෙසත් කටයුතු කළා. 2020 ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගෙන 26 වැනිදා සිට එම පදවියේ කටයුතු කරනවා. 

සුරිනාම් ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් චන් සැන්ටෝකී 

සුරිනාම් දේශයේ ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් චන් සැන්ටෝකී නිතරඟයෙන් තේරී පත් වූ අයෙක්. 2020 ජූලි 13 වැනිදා නාම යෝජනා කැඳවූ විට මැතිවරණයක් පැවැත්වීමට ආවේ ඔහුගේ යෝජනාව පමණයි. ඔහු එම පදවිය හොබවන්නේ 2020 ජූලි 16 වැනිදා සිටයි. අද වනිකා ලෙස හැඳින්වෙන එදා සුරිනාම් දිස්ත්‍රක්කයේ ලෙයිලි ‍ඩෝප්හී ඉන්දු-සුරිනාම් පවුලකට උපන් දරුවකු වූ ඔහු නව දෙනකු ගෙන් යුත් පවුල බාලයායි. ඔහුගේ පියා පාරාමැරිබෝ වරායේ සේවය කළ අතර මව ලෙයිලි ‍ඩෝප්හී සාප්පු සේවිකාවක්. 

සුරිනාම් ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් චන් සැන්ටෝකී

පාරාමැරිබෝහී පාසලකින් මුලික අධ්‍යාපනය ලැබූ ඔහුට නෙදර්ලන්තයේ ඉගෙනීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. 1978 සිට 1982 වන තෙක් නෙදර්ලන්තයේ ඇපල්ඩූන් පොලිස් ඇකඩමියේ ඉගෙන ගත් ඔහු ආපසු සුරිනාම්වලට පැමිණ එහි පොලිසියේ සේවය කළා. එහි විවිධ තනතුරු දැරූ ඔහු 1991 දී පොලිස් කොමසාරිස් තනතුරට උසස් කරනු ලැබුවා. 

ගුයානාහී නව වන ජනාධිපති මොහොමඩ් ඉර්ෆාන් අලි 

ගුයානා රාජ්‍යයේ ප්‍රථම මුස්ලිම් ජනාධිපතිවරයා වූ මොහොමඩ් ඉර්ෆාන් අලි උපන්නේ 1980 අප්‍රේල් 25 වැනිදායි. ඒ ඉන්දියාවෙන් පැමිණ ගුයානාහී බටහිර වෙරළබඩ දෙමාරාරා පළාතේ ලියනෝරාහී පදිංචියට ආ පවුලක දරුවකු ලෙසයි. මවුපිය දෙදෙනාම ගුරුවරුන් වු අතර අලි ඒ පවුලේ පිරිමි දරුවන් අතර දෙදෙනාගෙන් එක් අයෙක්. ලියනෝරාහී ප්‍රාථමික පාසලකින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු අධ්‍යාපනයේ ඉතිරි කොටස සම්පූර්ණ කළේ ලෙගුවන් දූපතේ වන අතර පසුව ගුයානාවල අගනුවර වූ ජෝර්ජ් ටවුන්හි සැන්ට් ස්ටැනිස්ලෝස් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළා. බටහිර ඉන්දිය (කොදෙවු) විශ්ව විද්‍යාලයෙන් නාගරික හා ග්‍රාමීය සැලසුම්කරණය පිළිබඳ උපාධියක් ලබා ගත්තා.  


ගුයානාහී නව වන ජනාධිපති මොහොමඩ් ඉර්ෆාන් අලි

ඉන්පසු ඔහු කැරිබියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති ක්‍රියාන්විත ඒකකයේ ව්‍යාපෘති කළමනාකරු ලෙස සේවය කළා. පසුව මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන සැලසුම් නිලධාරි වශයෙන් සේවය කළා. 2006 දී ගුයානා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු වානිජ. නිවාස කටයුතු, ජලසම්පාදන හා සංචාරක කර්මාන්ත යන අමාත්‍යංශ භාරව කටයුතු කළා. මේ අමාත්‍ය ධූරය දරද්දී වෙන වෙනම අවස්ථා දෙකක දී ජනාධිපති හා අගමැති පදවි දෙකෙහිම වැඩ බැලීමට ද ඔහුට සිදු වුණා. පසුව 2020 දී මහජන පෙරටුගාමී පක්ෂයෙන් ජනාධිපති පදවියට තරග කළ ඔහු ඉන් ජයග්‍රහණය කළා. 

පෘතුගාලයේ අගමැති අන්තෝනියෝ කොස්තා 

වර්තමාන පෘතුගාලයේ 119 වැනි අගමැති පදවිය උසුලන අන්තෝනියෝ කොස්තා ඉන්දියාවේ ගෝවේ දේශයට නෑකම් ඇත්තෙක්. ඔහුගේ පියා ඕලැන්ඩෝ ද කොස්තා සුප්‍රකට ලේඛකයෙක්. ඔහු ඉන්දියාවේ ගෝවෙන් මොසැම්බික් දේශයේ මපුටෝ නගරයේ පදිංචියට ආ අයෙක්. ඔහු විවාහ වූයේ පෘතුගීසි ජාතික මාරියා අන්තෝනියා පල්ලා නම් පුවත්පත් කලාවේදිනියක් සමඟයි. මේ දෙදෙනා පෘතුගාලයට සංක්‍රමණය වී ලිස්බන් නගරයේ පදිංචියට ආවා. ඔවුන් පළමු දරුවා වූ අන්තෝනියෝ කොස්තා උපන්නේ 1961 ජූලි 17 වැනිදායි. ඒ සාවෝ සෙබැස්ටියෝ ද පෙද්රේරාහිදීයි. 

පෘතුගාලයේ අගමැති අන්තෝනියෝ කොස්තා ඉන්දීය අගමැති මෝදි සමඟ

පෘතුගාලයේ ලිස්බන් අගනගරයේ හැදුණු වැඩුණු ඔහු ලිස්බන් සරසවියේ නීති උපාධියක් ලබා ගත් අයෙක්. 1987 අනිවාර්ය හමුදා සේවයට ගිය ඔහු 1988 දී කෙටි කලක් නීතීඥයකු වශයෙන් සේවය කළා. පසුව පූර්ණකාලීන දේශපාලනයට ඇතුළු වුණා. ඔහු සමාජවාදී පක්ෂයෙන් දේශපාලනයට ඇතුළු වී මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වුණා. පසුව මැති සබයට ගිය ඔහු අගමැති ඇන්තෝනියෝ ගුටරේස්ගේ ඇමති මණ්ඩලයේ සේවය කළා. 2004 දී යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වුණා. එහි දී යුරෝපා පාර්ලිමේන්තුවේ උප ජනාධිපතිවරුන් 14 දෙනා අතරට තේරුණා. අගමැති ජෝසේ සොක්‍රටීස්ගේ රජයේ අමාත්‍ය ධූරයක් දැරීමෙන් පසුවයි, 2015 දී පළමු වරට අගමැති පදවියට පත් වුණේ. එදා සිට අද දක්වා ඔහු ඒ පදවිය හොබවනවා. 

මොරිෂස් දිවයිනේ ජනාධිපති ප්‍රිතිවිරාජ්සිං රූපුන් 

2019 වසරේදී මොරිෂස් රාජ්‍යයේ ජනාධිපති පදවියට ප්‍රිතිවිරාජ්සිං රූපුන් තේරී පත් වුණා. ඔහු එරට හත්වන ජනාධිපතිවරයායි. ඔහු එරටට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ඉන්දු ආර්ය සමාජ හින්දු පවුලකට උපන් දරුවෙක්. ඔහු උපන්නේ 1959 මැයි 24 වැනිදායි. ඔහු මොරිෂස්වල ක්වටේ බෝනේ පළාතේ මෝසෙලමන්ට් සාන්ත ජීන්හි හැදුණු වැඩුණු අයෙක්. ඔහු රොස් හිල්වල නිව් ඊටන් විදුහලෙන් අධ්‍යාපනය ලබා ඊඩන් විදුහලේ ගණිත ගුරුවරයකු ලෙස සේවය කළා. පසුව නීතිය හදාරා 1986 වන තෙක් නීතිඥයකු වශයෙන් කටයුතු කළා. ඔහු එංගලන්තයේ මධ්‍යම ලැන්කැෂයර් විශ්ව විද්‍යාලයෙන් අන්තර්ජාතික වානිජ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලද්දෙක්. ඉන්පසු මොරිෂස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. 

මොරිෂස් රාජ්‍යයේ ජනාධිපති ප්‍රිතිවිරාජ්සිං රූපුන්

රූපුන් දේශපාලනයට ආවේ 1983දියි. 1995 දී මන්ත්‍රීවරයකු ලෙස මැතිසබයට ගියා. 2000 දී යළිත් තේරී පත්වුණු ඔහු මැතිසබයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස කටයුතු කළා. 2005 දි පළාත් පාලන හා අපද්‍රව්‍ය පාලනය පිළිබඳ අමාත්‍යවරයා වුණා. 

මොරිෂස් රාජ්‍යයේ අගමැති ප්‍රාවීන්ද් කුමාර් ජග්නෝත් 

ප්‍රාවීන්ද් කුමාර් ජග්නෝත් උපන්නේ 1961 දෙසැම්බර් 25 වැනිදායි. ඔහු 2017 දී මොරිෂස් රාජ්‍යයේ අගමැති පදවියට පත් වුණා. ඔහු 2003 සිට එරට සමාජවාදී සටන්කාමී ව්‍යාපාරයේ නායකයායි. වරින් වර ඇමති පදවි කීපයක් හා විපක්ෂ නායක පදවියත් හොබවා ඇති ඔහු එරට වර්තමාන අගමැති වරයායි. 

මොරිෂස් රාජ්‍යයේ අගමැති ප්‍රාවීන්ද් කුමාර් ජග්නෝත්

ජග්නෝත් එරටට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ හින්දු අහීර් පවුලකට අයත් වන අතර ඔහුගේ පියා වූ අනිරුද් ජග්නෝත් නීතිඥවරයෙක්. මව සරෝජිනී බල්ලාහ් ගුරුවරියක්. ආර්යන් වේදික පාසලෙන් මූලික අධ්‍යාපනය ලත් ඔහු රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. පසුව එංගලන්තයට ගොස් බකින්හැම් විශ්ව විද්‍යාලයෙන් නීති හැදැරුවා. එහි නීති සමාජය හා එක්ව බැරිස්ටර්වරයකු ලෙස වැඩ කළා. ඉන්පසු ප්‍රංශයේ ඇක්ස් ම‍ාසේයි විශ්ව විද්‍යාලයෙන් සිවිල් නීතිය පිළිබඳ විශේෂ ඩිප්ලෝමාවක් ගබා ගත්තා. 

 - පර්සි ජයමාන්න 

 

 

චිත්‍රපට කැමර‍ාවෙන් විස්කම් පෑ ‘කරූ’ දිවියෙන් සමු ගනියි

$
0
0

සිංහල සිනමාවට විශාල මෙහෙයක් කළ ඩොනල්ඩ් කරුණාරත්න පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර දී මිය ගියා. මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා. සිංහල සිනමාවේ කැමරාව ප්‍රශස්ත ලෙස මෙහෙය වූ කැමරා අධ්‍යක්ෂවරයෙක් ලෙස ඩොනල්ඩ්ව හඳුන්වන්න පුලුවන්. ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, අමරනාත් ජයතිලක ඇතුළු සිංහල සිනමාවේ අධ්‍යක්ෂවරුන් ගණනාවකට ම කැමරාව මෙහෙයවා සහාය වුණා. 

ඩොනල්ඩ් කරුණාරත්න (ඡායා. දයාන් විතාරණ)

චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන් ඔහුගේ ‘දඩයම’ චිත්‍රපටය සඳහා කැමරාව මෙහෙය වූ අයුරු ගැන එදා වසන්ත ප්‍රශංසා මුඛයෙන් කථා කළේ මෙහෙමයි‍: “කැමරාව අතට ගත් විගස ඔහුට අමුතු ජවයක් ලැබෙනවා. මගේ ‘දඩයම’ චිත්‍රපටයේ එක් ජවනිකාවක් තිබුණා. එහි රත්මලී (ස්වර්ණා මල්ලවාරච්චි) තමා යට කරන්නට රිය පදවා ගෙන එන ජයනාත් (රවීන්ද්‍ර රන්දෙණිය) ගේ රිය ඉදිරියේ සිට මුගුරකින් පහර දීම රූගත කළ අයුරු විශිෂ්ටයි. ඒ අවස්ථාවේ රිය තුළ හිඳිමින්, රත්මලී වියරුවෙන් කළ පහරදීමෙන් කැඩී විසිවුණු වීදුරු කැබලිවලට මුහුණ දුන්නේ කැමරාව අතින් ගත් ඩොනල්ඩ් කරුණාරත්නයි. ඉතාමත් ආවේගශීලී දර්ශනයක් මතු වූ ඒ අවස්ථාවේ රිද්මය නොබිඳ ඔහු රූගත කළේ නරඹන්නාට ඒ ත්‍රාසය ඒ අයුරින් ම විඳ ගැනීමට සලස්වමිනි. මා ඔහුගෙන් අපේක්ෂා කළ ආකාරයට වඩා යමක් මට ලබා දීමට ඔහු ඒ මොහොතේ කැප වුණා. අවම පහසුකම් යටතේ කළ ඒ රූගත කිරීම හැම පහසුකමක්ම ඇතිව කරන බටහිර චිත්‍රපටයකට වඩා විශිෂ්ට එකක් වුණා.‍” 
වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’ චිත්‍රපටයේ 
ස්වර්ණා (රත්මලී) රවීන්ද්‍ර (ජයනාත්) 
පැදවූ කාරයට පහර දුන් අවස්ථාව.

ඒ ආකාරයට ‘දඩයම’ වැනි චිත්‍රපටයක ආවේගශීලී, ත්‍රාසජනක ජවනිකාවක් කැමරාවට නැඟූ ඔහු ඊළඟට සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ වැනි සෞන්දර්යාත්මක චිත්‍රපටයක, තැන්පත්කමින්, කැමරාව හසුරුවා ඇති ආකාරය සසඳා බැලුවොත් පුදුම හිතෙන තරම්. ඒ වගේ ම කරදිය සමග ගැටෙමින් කටුක ජීවිතයත් ගත කරන මිනිසුන්ගේ ජීවන අරගලයට ඔහු පණ දුන් හැටි ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයෙන් දැක ගන්න පුලුවන්. 

තමා කැමරාව මෙහෙයවන්නේ ලෙස්ටර් වැනි ප්‍රවීණයකුට ද අලුතින් සිනමාට ආ නවකයකුට ද යන්න ඔහුට කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ හැම කෙනකුට එක හා සමාන ගෞරවයකින් තමන්ගේ සේවය උපරිමයෙන් ලබා දුන්නා. 

කැමරාව මෙහෙයවමින් ඩොනල්ඩ් කරුණාරත්න

ඔහු කැමරාව මෙහෙය වූ චිත්‍රපට ගණන 65කට අධිකයි. මේ සමග පළ වන්නේ ඉන් කීපයක නම් පමණයි. ශේෂා පලිහක්කාරගේ ‘ලක්සෙට කොඩිය’ (1970), නීල් රූපසිංහගේ ‘යකඩයා’ (1976), අමල් බිසෝ (1979), ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘වීර පුරන් අප්පු’ (1978), ‘අහසින් පොළොවට’ (1978), ‘කලියුගය’ (1981), ශාන්ති අබේසේකරගේ ‘සිදාදියෙන් හයක්’ (1970), අමරනාත් ජයතිලකගේ ‘තිලක හා තිලකා’ (1976), වසන්ත ඔබේසේකරගේ ‘දියමන්ති’ (1976), වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’ (1983), පතිරාජ එල්. ඇස්. දයානන්දගේ ‘හත්දින්නත් තරු’ (1973), ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ (1974), එයා දැන් ලොකු ළමයෙක් (1977), බඹරු ඇවිත් (1978), ‘සොල්දාදු උන්නැහේ’ (1981), ‘පොන්මනි’ (1977 දෙමළ) හා සක්කාරං (2014), සුමිත්‍රා පීරිස්ගේ ‘ගඟ අද්දර’ (1980) ‘සාගර ජලය මදි ඇඬුවා’(1988) ‘අමරණීය ආදරේ’ (1975), තිස්ස හේවාවිතාරණගේ ‘කෝකිලයෝ’ (1975), මණික් සන්ද්‍රසාගරගේ ‘කොළඹ සන්නිය’ (1976) හා ‘සීතා දේවී’ (1978), තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’ (1980), ඩෙන්සිල් පී. අබේසිරිවර්ධනගේ ‘විසි හතර පැය’ (1975), ගොළු මුහුදේ කුණාටුවක් (1991), වෛෂ්ණාවි (2017) ආදිය ඔහු කැමරාවෙන් දායක වූ චිත්‍රපට වේ. ඔහු හොඳම කැමරාකරණය සඳහා සම්මාන 19ක් ලබා ගෙන තියෙනවා. 2017 දී සිනමාවට කළ මෙහෙය වෙනුවෙන් එක් වරක් පමණක් පිදෙන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවා. 

 - පර්සි ජයමාන්න 


50 වසරකට පසු මෙවර හඳ වටා යන පරීක්ෂණ රොබොටික්කෝ

$
0
0

ඒ, 1972 දෙසැම්බර් මාසයේ දිනයකි. හඳ‍ෙහි සිට ආපසු ගෙදර යෑමට සැරසුණු නාසා ගගනගාමී යූජීන් සර්නන්, සඳ මත තමා තැබූ පා සලකුණ අසලින් දූවිලි මත දියණියගේ නම ලියුවේය. ඒ දූවිලි පිරුණු ඝන දූවිලි තට්ටුව සීරීමෙනි. එසේ කළේ එය සදාකල් පවතීවා යන පැතුමත් සමඟයි. තමා මෙසේ සඳ මත සටහන් කළ දියණියගේ නම කිසිදාක නොමැකෙන බවත්, එම නම මකන්න කෙනකු එහි නො එන බවත්, ඔහු හොඳින් දැන සිටියේය. එසේ නම සටහන් කිරීම, ඔහුට ලොකු සතුටක් මෙන්ම දුකක් ද ගෙනාවේය. දුක ඇති වීමට හේතුව, ඒ ඔහු එක් ව සිටියේ නාසා ආයතනයේ අවසන් චන්ද්‍ර මෙහෙයුමට වීමය. 

අති ප්‍රබල රොකට්ටුව, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’

ඇමෙරිකන් නාවික හමුදා කපිතාන්වරයකු ද යුජින් සර්නන්, ‘ඇපලෝ 17’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳට ගිය අවසාන චන්ද්‍ර ගගනගාමීන් තිදෙනාගෙන් කෙනෙකි. සර්නන් සඳ මතුපිට ලියූ ඔහුගේ දියණියගේ නම පමණක් නොව, සර්නන්ට පෙර, 1969 දී මුලින්ම, හඳ මතට පා තැබූ නීල් ආම්ස්ට්‍රෝංගේ පටන් 1972 දෙසැම්බර් දක්වා සඳට ගොඩ බට සඳගාමීන් 12 දෙනකුගේ පිය සටහන් ද තවමත් නොනැසී එහි ඇති බව නිසැකය. ඊට හේතුව එ්වා ඛාදනය වීමට ප්‍රමාණවත් සුළඟක් සඳ මතුපිට නොමැති බැවිනි. 

යූජීන් සර්නන්, සඳට ගිය අවසන් සඳගාමියා තමා යයි සිතා එදා දුක් වූයේය. ඒ එදා නාසා ආයතනය සඳ මෙහෙයුම් සම්පූර්ණයෙන් ම අවසන් කළ නිසයි. ඒත් දැන් වසර 50කට පසු ඇමරිකාව යළිත් සඳට යාමට සූදානම් වෙයි. ඒ අනුව නාසා ආයතනය දෙවන වරට අරඹන හඳ ගමන ‘ආටිමීස්’ (Artemis) වැඩපිළිවෙළ ලෙසට නම් කර ඇත. (‘ආටිමීස්’ හඳට අධිපති දෙවඟන ලෙසත්, සොබා දහමට, වන දිවියට, පතිවතට අධිපති දෙවඟන ලෙසත් රෝම පුරාවෘත්තවල දැක්වේ.) 

ඇමෙරිකාවේ නාසා ආයතනය, යළිත් වරක් සඳගාමීන් යැවීමට සූදානම් වන ‘ආර්ටිමීස්’ මෙහෙයුම පසුගියදා එනම්, අගෝස්තු 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත් කාර්මික දෝෂයක් නිසා එය වැළකී ගියේය. ඒ ඉන්ධන ටැංකියක හයිඩ්‍රජන් කාන්දුවක් නිසාය. යළිත් දියත් කිරිමට දිනයක් නම් කළ ද එය ද සැප්තැම්බර් 3 වැනිදා තෙක් කල් ගියේය. ‘ආර්ටිමීස්’ මෙහෙයුම් මාලාවේ පළමු වැන්න වූ මෙයට සැබෑ ගගනගාමීන් කිසිවකු සම්බන්ධ වන්නේ නැත. 

අති ප්‍රබල රොකට්ටුව, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ (SLS) 

සඳ තරණයට සහ ඉන් ඔබ්බට සිදුවන අඟහරු ගවේෂණයට පවා යොදා ගැනීමට බලාපොරොත්තු වන නාසා ඉංජිනේරුවන් නිපදවූ ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ (Space Launch System - SLS) නම් වූ අති ප්‍රබල රොකට් පද්ධතිය, සඳ බලා ගෙන යන ‘ඔරියන්’ යානය ගගනගාමීන්ට ආරක්ෂිතදැයි අත්හදා බැලීම මේ ගමනෙහි ප්‍රධාන අරමුණයි. මෙම රොකටය, ‘ඔරියන්’ යානය අභ්‍යවකාශයට ගෙන ගිය පසු, ඉන් වෙන් වන යානය සඳ බලා ගමන් අරඹයි. සැලසුම් කර ඇත්තේ ඔරියන් යානය සඳ වටේ ගොස්, සඳුගේ අඳුරු පැත්ත පසු කර, වටයක් කැරැකී ආපසු පෘථිවිය බලා ඒමටයි. පෘථිවි වායුගෝලයට ඇතුළු වන එය මූදට පතිත වන අවස්ථාවේදී එහි ආරක්ෂාවට යෝධ පැරෂූට් ක්‍රියාත්මක වෙයි. 

මෙම අඩසියවස් සමරු සඳ ගමන සඳහා යොදා ගන්නට බලාපොරොත්තු වන SLS රොකට් පද්ධතියට අයත් මේ රොකට්ටුව වසර 50 කට පමණ පසු, නාසා ගගනගාමීන් යළි සඳට ගෙන යෑමටත්, ඉන්පසුව ගගනගාමීන් අඟහරු වෙත ගෙන යෑමටත් යොදා ගැනීමට අපේක්ෂිතයි. එදා මෙදා තෙක් නිපදවූ ලොව ප්‍රබලතම රොකට්ටුව මෙයයි. ‘ආර්ටිමීස්-1’ මෙහෙයුම සාර්ථකව අවසන් වූ පසු, ‘ආර්ටිමීස්-2’ මෙහෙයුම ආරම්භ වනු ඇත. එහිදී ගගනගාමීන් තිදෙනකු එම යානයේ ආධාරයෙන් සඳ වටේ කැරැකී ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. 

‘පීනට්ස්’හී එන ‘ස්නූපි’ බලු සුරතලාගේ අනුරුව

මෙම ගගනගාමීන් කිසිවකු සඳට පය තබන්නේ නැත. ගගනගාමීන් සඳට පය තබනු ඇත්තේ 2024 වසරෙන් පසුව, ‘ආර්ටිමීස්-3’ මෙහෙයුම යටතේය. සඳට පය තබන පළමු කාන්තාව ලෙස තෝරා ගන්නා ගගනගාමිනියක ද සඳට යෑමට නියමිතය. ඊට අමතරව, ‘ආර්ටිමීස්’ මෙහෙයුම් හරහා, සුදු ජාතිකයකු නොවන ගගනගාමියකු ද පළමු වරට සඳට පය තබනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

කලින් මිනිසා හඳ ගෙන ගිය සැටර්න්-5 රොකට්ටුව 

පළමු වරට මිනිසා සඳ තරණය කළේ 1969 දීය. ඒ, නාසා ආයතනයේ ඇපලෝ වැඩ පිළිවෙළට අයත් වූ ‘ඇපලෝ 11’ යානයෙනි. 1960 දශකයේ සිට 1970 දශකය තෙක් ක්‍රියාත්මක වූ ‘ඇපලෝ’ වැඩ පිළිවෙළ මගින් ගගනගාමීන් පමණක් නොව, ඔවුන්ගේ උපකරණ, යන්ත්‍ර සූත්‍ර, චන්ද්‍ර යානා සඳට යවනු ලැබීය. සඳ පෘථිවියට අයත් එකම ස්වභාවික චන්ද්රිකාව ලෙස ද හැඳින්වෙයි. ‘ඇපලෝ’ සඳ ගමන් සඳහා යොදා ගත්තේ ‘සැටර්න් 5’ (Saturn V) රොකට්ටුවය. ‘සැටර්න් 5’ අධි බලැති රොකට්ටුවක් වූ අතර ඒ සඳහා අධික වියදමක් දරන්නට සිදු විය. ‘ආර්ටිමීස්’ සඳ ගමන් සඳහා යොදා ගන්නා SLS රොකට්ටුව, ‘සැටර්න් 5’ රොකට්ටුවට වඩා ප්‍රබල වුවත් සාපේක්ෂව වියදම් අඩු එකකි. එය උසින් ද ‘සැටර්න් 5’ රොකට්ටුවට වඩා මීටර් 20කි ින් අඩුය. මේ නව රොකට්ටුව මුදුනේ ඔරියන් යානය සවි කළ පසු රොකට්ටුවේ මුළු උස මීටර් 98 ක් වෙයි. බර කිලෝ ග්රෑම් මිලියන 2.6 කි. 

විශේෂ සංවේදක සවි කළ ඇඳුම් කට්ටල මේ ‘ඩමි’වලට පලඳවයි.

‘සැටර්න් 5’ මෙන් නොව, SLS රොකට්ටුව, පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී, උඩු ගුවනට විදිනු ලබන්නේ කිලෝ ග්රෑම් මිලියන 4 ක තෙරපුමක් ඇති කරමිනි. ‘සැටර්න් 5’ රොකට්ටුව ඇති කළ තෙරපුම කිලෝ ග්රෑම් මිලියන 3.4 ක පමණි. කිලෝ ග්රෑම් 27,000 ක බරක් සඳට ගෙන යෑම SLS මගින් සිදු කෙරේ. නාසා තාක්ෂණ ශිල්පීන් පැහැදිලි කරන්නේ අනාගතයේ නිර්මාණය වන යෑම SLS රොකට් පද්ධති තව තවත් ප්‍රබල වනු ඇති බවය. අනාගතයේ නිර්මාණය වන SLS රොකට්ට්ව මීටර් 111 ක් උසින් යුක්ත වනු ඇති බව ද පැවැසෙයි. කිලෝ ග්රෑම් 46,000 ක බරක් රැගෙන යෑමට එම රොකට් නිර්මාණය කරනු ඇත. මේවා නිර්මාණය කෙරෙන්නේ සඳට යෑමට පමණක් නොව, අඟහරු ග්‍රහයාට සහ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ඕනෑම තැනකට යෑමටය. 

‘ආර්ටිමීස්’ චන්ද්‍ර මෙහෙයුම් සඳහා යොදා ගන්නා SLS රොකට්වල සවි කරනු ලබන්නේ RS-25 රොකට් ඇන්ජින්ය. මෙවැනි ඇන්ජින් 4 ක් රොකට් පද්ධතියට සම්බන්ධ කෙරේ. නාසා ආයතනයේ ෂටල වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී ඒවා සඳහා ද RS-25 රොකට් ඇන්ජින් භාවිතයට ගැනුණි. එකිනෙකට වෙනස් SLS රොකට් සඳහා සම්බන්ධ කළ හැකි ආකාරයේ විවිධ RS-25 රොකට් ඇන්ජින් 16 ක් නාසා ආයතනය සතුව ඇත. මෙම එන්ජින් නිරන්තරයෙන්ම නව තාක්ෂණය යොදා ගනිමින් යාවත්කාලීන කෙරේ. ඒ වඩාත් හොඳින් ඒවා ක්‍රියාකාරී විය යුතු බැවිනි. RS-25 රොකට් ඇන්ජින් සඳහා භාවිතයට ගැනෙන්නේ සිසිල් කළ දියර නයිට්රජන් සහ දියර ඔක්සිජන් ලීටර් මිලියන 3.3 කි. ගුරුත්ව බලයෙන් මිදී උඩු ගුවනට විදීමට බූස්ටර් රොකට්ටු දෙකක් SLS රොකට්යකට සවි කෙරේ. මේවා මීටර් 54 ක් උසය. කිලෝ ග්රෑම් මිලියන 1.6 ක තෙරපුමක් ඇති කිරීමට මෙම බූස්ටර්වලට පුළුවනි. ලොව මෙතෙක් නිපදවා ඇති ප්‍රබලතම බූස්ටර් ලෙස මේවා සැලකේ. 

මෙවර හඳට යන පරීක්ෂණ රොබොටික්කෝ 

‘ආර්ටිමීස්-1’ අත්හදා බැලීමේ මෙහෙයුමට සැබෑ ගගනගාමීන් සම්බන්ධ නොවුවත්, සැබෑ ගගනගාමීන්ගේ ආරක්ෂාව ගැන අධ්‍යයනය කිරීමට සංවේදක සිය ගණනක් සවි කළ මිනිස් සිරුරු වැනි ‘ඩමි’ සහභාගී කරවා ගැනෙයි. මේ, ඩමි, ‘හෙල්ගා’, ‘සොහාර්’ සහ ‘කැප්පොස්’ යන නම්වලින් නම් කර තිබේ. මිනිස් සිරුරු කීවත්, ‘හෙල්ගා’, ‘සොහාර්’ යන ඒවාට අත් පා හෝ හිසක් හෝ නැත. මේවා විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් නිපදවා ඇත්තේ, මිනිස් සිරුරට සමාන ආකාරයකටය. ‘හෙල්ගා’, ‘සොහාර්’ කාන්තා සිරුරු අනුරූය. හෘදය, පෙනහළු, විවධ ඝනත්වයෙන් යුත් අස්ථි සහ සමේ මෘදු පටක ආදිය ද මෙම කෘත්‍රිම සිරුරුවල ඇත. සංවේදක සිය ගණනක් ඒවාට සම්බන්ධ කර ඇත. මේවා පුහුණු මෙහෙයුමට යොදා ගැනෙන්නේ, අභ්‍යවකාශ සවාරියකදී, මුහුණ පාන්නට වන විකිරණ කාන්තා සිරුරකට කෙසේ බලපාවිද යන්න අවබෝධ කර ගැනීමටය. 

‘ෂෝන් ද ෂීප්’ නම් සජීවීකරණ පුංචි බැටලුවාගේ අනුරුව.

පුහුණු ගමනේදී ‘ඔරියන්’ යානයේ නියමු කුටියේ ප්‍රධාන අසුන් දෙකේ, ‘හෙල්ගා’ සහ ‘සොහාර්’ ආසන පටි පලඳවා අසුන් ගැන්වීම සිදු කර ඇත්තේ සැබෑ ගගනගාමීන් එහි අසුන් ගෙන සිටින අයුරිනි. ‘සොහාර්’ට විශේෂ ආරක්ෂිත ඇඳුමක් පලඳවනු ලබයි. එම ඇඳුම පොලි-එතලීන් වර්ගයකින් නිපදවා ඇති අතර, එය ‘සොහාර්’ අහිතකර ප්‍රෝටෝන විකිරණවලින් ආරක්ෂා කරනු ඇතැයි විශ්වාස කෙරේ. සඳට යන කාන්තාවන්ට ඉදිරියේ දී පලඳීමට සිදුවනු ඇත්තේ මෙම ඇඳුමය. සඳට ගොස් ආ පසු හෙල්ගා’ සහ ‘සොහාර්’ තුළ සවි කර ඇති සංවේදකවලින් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරනු ඇත. ඒ අනුව, විකිරණ බලපෑමේ තරම අවබෝධ කර ගැනීමට නාසා ආයතනය සමත් වනු ඇත. 

‘කැප්පොස්’ යනු පිරිමි ඩමියකි. මෙම ඩමිය මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ පර්යේෂණ සඳහා ද භාවිතයට ගැනුණි. ‘කැප්පොස්’ ඩමියට එම නම යොදා ඇත්තේ නාසා ඉන්ජිනේරු අරූකෝ කැම්පස් සිහි ගන්වමිනි. සඳ ගමනකට එක් වී අකරතැබ්බකට මුහුණ දුන් ‘ඇපලෝ 13’ යානය සහ එහි ගගනගාමීන් තිදෙනා නිරුපද්‍රිතව ආපසු ගෙන ඒමට උදවු කළේ අරූකෝ කැම්පස් ය. ‘කැප්පොස්’ ඩමිය අසුන් ගන්වා ඇත්තේ ‘ඔරියන්’ යානයේ අණ දෙන නිලධාරියාගේ අසුනේය. 

සුවිශේෂී තවත් දේවල් රැසක් ද ‘ආර්ටිමීස්-1’ මෙහෙයුමට එක් කර ගැනෙන අතර, ඒවා සියල්ල ‘ඔරියන්’ යානයේ තැන්පත් කර තිබේ. ඒවා අතරින් සුවිශේෂී දේවල් කීපයක් ගැන පමණක් මෙහි සඳහන් කෙරේ. ඇමෙරිකාවට ආවේණික සිකමෝර් ගසක බීජයක්, මළ මුහුදෙන් ලබා ගත් පුංචි ගල් කැටයක්, රටවල් රැසක පාසල් දරු දැරියන් සහ පුරවැසියන් සඳ ගමන වෙනුවෙන් ලියැවුණු ගී, පද්‍ය, චිත්‍ර ආදිය අඩංගු පෙන් ඩ්‍රයිව් උපාංගයක් සහ ලෙගෝ මිනිසුන් කණ්ඩායමක් ද සිටිති. ඒ නාසා ආයතනය සහ ලෙගෝ සමාගම අත්වැල් බැඳ ගැනීමේ ප්‍රතිඵලයකි. එහි අරමුණ කුඩා කාලයේ පටන් ලෙගෝ කැබලි සමඟ සෙල්ලම් කරන පොඩිත්තන් අභ්‍යවකාශය වෙත උනන්දු කරවීමය. 

ඇමෙරිකානුවන් අතරේ පමණක් නොව, ලොව පුරා ඉංග්‍රීසි පුවත්පත්වල දකින්න ලැබෙන අතිශය ජනප්‍රිය තීරු චිත්‍රකතාවක් වන චාල්ස් එම්. ෂොල්ස්ගේ ‘පීනට්ස්’හී එන ‘ස්නූපි’ බලු සුරතලා ද මේ ‘ආර්ටිමීස්-1’ මෙහෙයුමට එක් වී සිටියි. මෙසේ සඳ බලා යන්නේ පුළුන් පිරවූ ‘ස්නූපි’ කෙනෙකි. ‘ස්නූපි’ ශුන්‍ය ගුරුත්වයේ පාවීමට ඉඩ හැර එමගින් ස්නූපිට තුවාල සිදුවන්නේ ද නැතිනම් ආරක්ෂිතව ගමන නිමා කිරීමට හැකිවේවිද ආදිය සොයා බැලෙයි. 

බ්‍රිතාන්‍ය කාටූන් කතාවක් වූ ‘ෂොන් ද ෂීප්’ ගැන නොදන්න කෙනෙකු නොමැත. ඒ සජිවිකරණ කාටූන් කතා මාලාවේ එන සජීවීකරණ පුංචි බැටලුවාගේ අනුරුවකුත් මේ ගමනට එක් කර ඇත. ඒ, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරමිනි. ‘ෂොන් ද ෂීප්’ සැරැසී සිටින්නේ යුරෝපා අභ්‍යවකාශ ගගන ඇඳුමකිනි. 

- ලුසිත ජයමාන්න 

‘ලයිව් සයන්ස්’ ඇසුරිනි 

අපේ ලොකුම ග්‍රහයාගේ මෙතෙක් ‍නුදුටු විස්මිත රුවක්!

$
0
0

ඔබ දන්නවා නේ, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා බෘහස්පති බව. බෘහස්පතිගේ මෙතෙක් නුදුටු හරි අපූරු ඡායාරූපයක් නාසා ආයතනය පසුගිය දා නාසා ආයතනයේ බ්ලොක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළා.

පසුගිය කාලේ අපට මේ තරම් ළං වෙලා බෘහස්පති දිහා බලන්න ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් තාක්ෂණික අතින් අපි ලබා තියෙන දියුණුව නිසා බෘහස්පති ග්‍රහයාගේ මින් පෙර අපට දකින්න නොලැබුණු ආකාරයේ දර්ශන මතුකර ගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. 

නව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ගත් ජුපිටර් (බෘහස්පති) ගේ පිළිබිඹුවලට, ඒ ග්‍රහයාගේ යාන්තමට 
පේන රිදී පැහැති වළලු, දීප්තිමත් ආලෝක ධාරා, දිළිසෙන කුණාටු ආදිය හසු කර ගෙන ඇත. ඊට අයත් 
චන්ද්‍රයන් දෙදෙනා වූ ඇමල්තියා (වමේ ඈතින් දිදුලන තිත) හා ඇඩ්‍රස්ටියා (ග්‍රහයාගේ වළලුවල 
මුදුනේ දිදුලන තිත) මෙහිදි දැක ගන්න පුලුවන්.

මෙම ඡායාරූපය හරහා දකින්න ලැබුණි. ධ්‍රැවීය ආලෝකයෙන් සහ දිදුලන වලාකුළුවලින් බෘහස්පති දීප්තිමත්ය. බෘහස්පතිගේ මෙම ඡායාරූපය තනි ඡායාරූපයක් ලෙස නාසා ආයතනය ප්‍රසිද්ධියට පත් කළත්, මෙම තනි ඡායාරූපය ආලෝකයේ විවිධ තරංග ආයාම කීපයකින් ලබා ගත් ඡායාරූප කීපයක එකතුවකි. 

මෙම අපූරු ඡායාරූපයේ බෘහස්පති පමණක් නොව, බෘහස්පතිගේ චන්ද්‍රයන් දෙදෙනකු වන ඇමල්තියා සහ ඇඩ්‍රස්ටියා ද වෙයි. මේ චන්ද්‍රයන් දෙදෙනා, වායු යෝධයකු වන බෘහස්පතිගේ කක්ෂය පහළින් ආලෝකයෙන් දිප්තිමත්ව පෙනෙයි. බෘහස්පතිගේ පෙනෙන නොපෙනෙන වළලුත් දිදුලයි. බෘහස්පතිගේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවල උතුරු සහ දකුණු ආලෝක දිස්වන්නේ දීප්තිමත් සුදු පැහැති ගිනිදැල් මෙනි. 

‘ඇත්තම කියනවා නම්, මේ විදියට බෘහස්පති දකින්න අප බලාපොරොත්තු වුණේ නැහැ.’ යැයි තාරකා විද්‍යාඥ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉම්කේ ද පැටර් පවසන්නේ මහත් උද්යෝගයකිනි. 

නාසා ආයතනයෙන් අභ්‍යවකාශයට යවන ලද අලුත් දුරේක්ෂය වූ ජේම්ස් වෙබ් මගින් දැනටමත් අභ්‍යවකාශයේ ඈත පිහිටි වස්තූන්ගේ විචිත්‍ර පිළිබිඹු රැසක් එවා ඇති අතර එය නොකඩවා සිදු වෙයි. මෙම අභ්‍යවකාශ දුරේක්ෂය පිහිටුවීමට නාසා ආයතනයට යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් (ESA), කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයත් (CSA) හවුල් වී තිබේ. 

මේ සමඟ පළ වෙන බෘහස්පතීගේ අලුත්ම ඡායාරූප සකසා ගැනීමට මහාචාර්ය පැටර්ට, පැරීසියේ ග්‍රහලෝක නිරීක්ෂණාගාරයේ මහාචාර්ය තියර් ෆූචේගේ සහය ද ලැබී ඇත. මේ ඡායාරූප පිළිබිඹු ගැනීමට යොදා ගෙන ඇත්තේ අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇති අධෝරක්ත කිරණ භාවිත කළ හැකි කැමරාවකි. ඉන් ගන්නා පිළිබිඹු මිනිස් ඇසට දැකිය හැකි වර්ණ බවට පෙරළා ගනු ලබයි. ඒවා දිගු තරංග ආයාම රතු වර්ණයෙන්ද, කෙටි තරංග ආයාම නිල් වර්ණයෙන්ද දැක්වේ. වසර දහස් ගණනක් පැරණි බෘහස්පතීගේ යෝධ රතු ලපය හිරු එළියෙන් දිලිසෙන නිසා මෙහි පෙනේනේ සුදු පැහැයෙනි. මෙම ලපය ප්‍රමාණයෙන් පෘථිවියට වඩා විශාලය. 

“මෙහි දැක්වෙන දීප්තියෙන් පෙන්නුම් කරන්නේ යෝධ රතු ලපය පිහිටි කලාපයේ පවා සමකයේ මෙන් වැඩි උසකට වලා පටලය විහිදි ඇති බව” යයි වෙබ් දුරේක්ෂයේ සේවය කරන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ විශේෂඥ හයිඩි හැමල් කියයි. “මෙහි ඇති දිදුලන සුදු ලප හා රේඛාවලින් පෙනෙන්නේ සංවාහක වලාකුළු කැටි මතට වැටෙන දීප්තිමත් හිරු එළිය පරාවර්තනය වන අයුරුයි” ඇය වැඩි දුරටත් කියයි. 

පෘථිවියේ දී මෙන් ම බෘහස්පතීගේත් ඉහල වායුගෝලය සූර්යයාගෙන් එන අංශුවලින් ආලෝකධාරා නිකුත් කිරීම් සිදුවේ. ඒ අනුව නව ඡායාරූපවල එහි උතුරු හා දකුණු ධ්‍රැවවල ආලෝක දර්ශනය වීම් දැක ගත හැකියි. 

ජේම්ස් වෙබ් දුරේක්ෂය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ජේම්ස් වෙබ් යනු ඇමෙරිකාවේ 'නාසා'ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ආයතනය සහ කැනඩා අභ්‍යවකාශ ආයතනය එක් වී, වසර 24 ක් තිස්සේ නිපදවා අභ්‍යවකාශයේ රැඳවූ දුරේක්ෂයකි. මිනිසා අභ්‍යවකාශයට යැවූ විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන්නේ ද මෙයයි. දුරේක්ෂය නිපදවීමට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කට ආසන්නය. 

'ජේම්ස් වෙබ්'දුරේක්ෂය, කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇති වන අයුරින් අති නවීන තක්ෂණයෙන් නිපදවූවකි. ඒ අනුව, එම ආලෝකයේ මුල මැද සහ අවසානය පැහැදිලිව හඳුනා ගැනීම කළ හැකි වෙයි. 

රතු, කහමුසු කොළ හා නිල් (cyan) පෙරණ යොදා ගෙන, ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ගත් බෘහස්පතිගේ පිළිබිඹුවලින් සකසාගත් සේයා රුවක්. මෙහි යෝධ රතු ලපය සුදට පෙනෙන්නේ 
යෝධ කුණාටු වලා පෙළක් පරාවර්තනය මගින් හිරු එළිය ඒ මත පතිත කරවූ නිසයි.

තවත් පැහැදිලි කළොත්, හිරුගෙන් (හිරු ද තරුවකි.) නිකුත් වන ආලෝකය පෘථිවියේ අපට දකින්න ලැබෙන්නේ මිනිත්තු 8 කට පසුවය. ඒ, එම ආලෝකය පෘථිවියට ළඟා වීමට මිනිත්තු 8 ක් ගතවන බැවිනි. අප හිරුගේ ආලෝකය ලෙස දකින්නේ මිනිත්තු 8 ක් පැරැණි ආලෝකයයි‍. 

'ජේම්ස් වෙබ්'දුරේක්ෂයට තරු, මන්දාකිණි, ග්‍රහලෝක ඇතුළු ග්‍රහ වස්තූන්ගෙන් නිකුත් වන මුල් ආලෝකය අධ්‍යයනය කිරීමේ හැකියාව තිබේ. ඒ කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය හසු කර ගැනීමෙනි. මේ සඳහා අවශ්‍ය රන්වන් දර්පණ පද්ධතියක් දුරේක්ෂය සතුය. විශ්වය මූලාරම්භයේ රහස් සොයා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වෙයි. 'ජේම්ස් වෙබ්'දුරේක්ෂය වැදගත් වන්නේ මේ නිසාය. 

-  ලුසිත ජයමාන්න 

ලයිව් සයන්ස් ඇසුරිනි 

වසර 156කට පසුවත් අපේ පොලීසිය වෙනස් කළ හැකි ද?

$
0
0

අතීතයේ ග්‍රීකයන් ‘පෞරරාජ්‍යය’ යන වදන පාවිච්චි කළේ ඔවුන් එකල ජීවත්වූ ආරක්ෂක ප්‍රාකාරයකින් හෙවත් පවුරකින් වට කළ නිවාස ගණනාවකින් යුත් ගම්මානයකටයි. ‘පුරයක්’ කියා එකල හැඳින්වූයේ ‘පොලිස්’ (polis, ptolis) යන වදනිනි. අපට පුරය යන වදන ආවේ සංස්කෘත භාෂාවේ පුර (පුර්, පුරම්) යන වදනිනි. 

පොලිස් (Police) යන්න 1530 දශකයේ දී ආරම්භ වූ වදනක්. ‘ප්‍රජාවක් තුළ ක්‍රමවත් සිවිල් පාලනයක් පවත්වා ගෙන යාම’ යන්න තමයි, එයින් අර්ථ දැක්වූවේ. පොලිස් යන වදන ඉංග්‍රීසියට බිඳී ආවේ ලතින් බසෙහි ‘පොලිෂියා’ (politia) යන වදනිනි. එය ලතින් බසට ආවේ පොලිස් යන ග්‍රීක වදනිනි. සිංහලයට පොලීසිය එක්වූයේ යටත් විජිත සමයේ දී ඉංග්‍රීසියෙනි. 

ර්ධම චක්‍ර ලංඡනය

අප පාසල් යන කාලේ ධර්මරාජ විදුහලේ පොලිස් දින වෙනුවෙන් දේශනයකට ආ ඉහළ පෙළේ පොලිස් නිලධරයෙක් ‘පොලිස්’ (POLICE) යන වදන ‘අක්නම’(acronym)ක් ලෙස සෑදුන එකක් කියා හඳුන්වා දෙමින් අපට මෙහෙම නිර්වචනයක් ඉදිරිපත් කළා මට මතකයි. P – Politeness (විනීත බව) O – Obedience (කීකරුකම) L – Loyalty (නීති ගරුකත්වය) I – Intelligence (බුද්ධිමත් බව) C – Courtesy (ආචාරශීලීත්වය) E – Efficiency (ක්‍රීයාශීලීත්වය) යන වදන්වල මුල් අකුරුවලින් හැඳුණු එකක් කියලයි එතුමා එදා අපට කියා දුන්නේ. 

ශ්‍රී ලංකා පොලිසිය නම් වෙබ් අඩවියේ හැටියට පොලිසිය පිහිටුවන ලද දිනය වශයෙන් දක්වා ඇත්තේ 1866 සැප්තැම්බර් 03 වැනිදාය. එවකට අපේ රට, ලංකාව (Ceylon) ඉන්දියාවේ යටත්විජිතයක් ව පැවතුණි. ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනය විසින් ඉන්දියාවේ රත්නගිරි පළාතේ පොලිස් ප්‍රධානියා වූ විලියම් රොබට් කැම්බෙල් මෙරට පොලිස් සේවය සංවිධානය කිරීම සඳහා ප්‍රධානියා වශයෙන් පත් කර එවනු ලැබීය. ඔහු ප්‍රධාන ලංකාවේ පොලිස් අධිකාරිවරයා ලෙස වැඩ බාර ගත්තේ ඒ දිනය මෙරට පොලිස් සේවයේ ආරම්භක දිනය ලෙස සැලකේ. 

පොලිස් රාජකාරිය කියා කෙළින් ම නොකිව්වාට ඊට සමාන කාර්යයක් කිරීමට මෙරට ඉංග්‍රීසි පාලකයන් පිස්කල් නිලධරයකු පත් කළා. 1797 දී පිස්කල් කාර්යාලයක් විවෘත කර ‍ෆෙඩ්රික් බැරන් මයිලියස් කොළඹ පිස්කල්වරයා ලෙස පත් කරනු ලැබුවා. 1806 දී ප්‍රදේශීයව අපරාධ හඳුනා ගැනීමට හා වැළක්වීමට සෑම ගමකට ම විදානේ ආරච්චි කෙනකු පත් කරනු ලැබුවා. 1832 දී ආණ්ඩුකාරයා විසින් පොලිස් බලකායක් පිහිටුවීම සඳහා නි‍ර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනු ලැබුවා. නව පොලිස් බලකායක් පිහිටුවා එහි බර පැන ජනතාවගෙන් ගන්නා බදු මුදල්වලින් ගෙවීමට කමිටුව නිර්දේශ කළා. ඒ පොලිස් බලකායට එක් අධිකාරිවරයෙක්, ප්‍රධාන කොස්තාපල් වරයෙක්, කොස්තාපල්වරුන් පස් දෙනෙක්, සාජන්ට්ලා 10ක්, අත් උදවුකරුවන් 150ක් ඇතුළත් වුණා. ඔවුන්ට බාර වුණේ ‍කොළඹ අග නගරය තුළ නීතිය හා සාමය ආරක්ෂාකර පවත්වා ගෙන යාමයි. 

පොලිස් කාන්තාවන් පිරිසක් පෙළපාලියක යන අයුරු

 මුලින් පිහිටුවූ පොලිස් බලකාය කොළඹට, විශේෂයෙන් වෙරළබඩ කලාපයට පමණක් සීමාවූ නිසා 1844 දී දෙවන පොලිස් බලකායක් පිහිටෙව්වා, රටෙහි ඇතුළත ප්‍රදේශවලට වෙනම. 1858 දී මේ බලකා දෙකම එක්කොට එක් බලකායක් බවට පත් කරනු ලැබුවා. 1864 දී පළමු පොලිස් භටයා රාජකාරියකට ගොස් සිටියදී ඝාතනයට ලක්වුණා. ඒ සරදියෙල් අල්ලන්නට ගොස් සිටි ඔහු අතින් මරුමුවට පත් වුණා. 1865 දී පොලිස් භටයාට වැඩි බලයක් වගකීමක් පැවරෙන ආකාරයට පොලිස් ආඥා පතන සංශෝධනය කෙරුණා. 1867 දී පොලිස් අධිකාරි විලියම් රොබට් කැම්බෙල් මෙරට ප්‍රථම පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවා. එ වන විට පොලිස් මූලස්ථානය තිබුණේ මරදානේ. 


එදා 1903 දී සුද්දන්ගේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් වලිසිංහ හරිචශ්න්ද්‍ර මැතිඳුන් 
අත්අඩංගුවට ගත් අයුරු. වසර 156කට පසු අදත් ඒ විධියටම අත්අඩංගුවට ගැනීම් කරනවා.

1870 දී මුස්ලිම් කැරලිකරුවන් පොලිස් මූලස්ථානයට පහර දුන්නා. එය සාර්ථකව මැඩපැවැත්තුවත් ගොඩනැගිල්ලට හානි සිදුවුණා. ඒ වසරේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පිහිටෙව්වා. 1879 දී පොලිස් බලකාය තුන් ගුණයකින් වැඩි කරනු ලැබුවා. 585ක්ව තිබුණු 1528ක් දක්වා වැඩි කෙරුණා. ප්‍රථම පොලිස් වෙඩි බලකාය, පුහුණුව සඳහා පොලිස් විදුහල හා වාර්ෂික පරිපාලන වාර්තාව පළ කිරීම ආදිය ඇරඹුවේ ඒ වසරේදියි. 

1892 දී බම්බලපිටියේ දී පොලිස් ක්ෂේත්‍ර බලකා මධ්‍යස්ථානය ඇරඹුවා. ඒ සමගම සියලුම පොලිස් නිලධාරින්ට නිවාස පහසුකම් හා නිල ඇඳුම් ආදිය දෙනු ලැබුවා. ඒ වගේ ම යහපත් කල්ක්‍රියාව උදෙසා දීමනාවක් ද දුන්නා. 1908 දි පළමුවරට අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු හා ඡායාරූප ගැනීම ඇරඹුණා. 

1913 දී හර්බට් ලෙයාඩ් ඩවුබිගින් අටවන පොලිස්පතිවරයා‍ ලෙස වැඩ බාරගත් පසු පොලිස් ස්ථාන ගණන 119ක් දක්වා සේවාව පුළුල් කරන ලද අතර බලකාය 2306ක් වුණා. 1916 දී සාමාන්‍ය තුවක්කුව වෙනුවට රයිපලය භාවිතයට ආවා. 1920 දී රථවාහන හැසිරවීමට පොලිසිය ප්‍රථම වරට යොදවනු ලැබුවා. 1923 දී පොලිසිය විසින් අනුගමනය කළයුතු රාජකාරි දැක්වෙන දෙපාර්තමේන්තු ආඥා පොතක් නිකුත් කෙරුණා. 1926 දී පොලිසියේ ක්‍රීඩා අංශය බිහිවුණා. 1930 දී රථවාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධරයන්ට මාර්ග නීති රීති ඇතුළත් අත්පොතක් නිකුත් කරනු ලැබුවා. 

1932 දී පොලිස් මූලස්ථානය මරදානේ සිට කොළඹ කොටුවේ දැනට තියෙන ස්ථානයට ගෙනාවා. 1945 දී සියලුම ප්‍රධාන රෝහල්වල පොලිස් ඒකක පිහිටුවනු ලැබුවා. 1952 දී පොලිස් සේවයට කාන්තාවන් බඳවා ගනු ලැබුවා. පොලිස් සන්නිවේදනයට VHF ගුවන්විදුලි සේවාව එක්වුණා. ඒ වගේ ම ‍රාජකාරියේ යෙදී සිටිය දී මරණයට පත් වන අයට පූර්ණ ගෞරව සහිත අවමඟුලක් හා දිවයින පුරා පොලිස් ධජය අඩකුඹු කර ගෞරවය දැක්වීමක් සහතික කෙරුණා. 1974 දී පොලිස් කොස්තාපල්වරුන්ගේ හා සාජන්ලාගේ නිල ඇඳුම වෙනස් වුණා. 1983 දී පොලිසියට වෙනස් ඇඳුමක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක් වුණා. අද අප දකින්නේ ඒ වෙනස් මුහුණුවරක් ගත් පොලිසියයි. 

ඒ හැරෙන්නට තවත් වෙනස්කම් කිපයක් කළා. එකක් පොලිසියේ ආදර්ශ පාඨය වෙනස් වුණා. ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ (ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි) ඇඳුමේ අත් දෙපැත්තට ‘ධර්ම චක්‍රය’ ආවා. ඒ ධර්ම චක්‍රය දෙපැත්තේ තියාගෙන උද්ඝෝෂණයට ආ තරුණ හාමුදුරුවන්ට ගහන හැටි දැක්කාම උපාසක අම්මලා මුළු පොලිසියට ම ශාප කළා. එවැනි කතාවක් කී අම්මා කෙනකුට මා කීවේ ‘ඒවා ගැන වද වෙන්න එපා ඒ කරත්ත රෝද දෙකක්. මැද ඉන්න කෙනා කවුද කියන්න ඕනෑ ක්‍රියාවෙන් පේනවා නේ’ කියලයි. 

පොලිසිය මේ මාසේ 156 වසර සැමරුවා. 1866 දී පොලිස් ආඥා පතන සංශෝධනය කොට පොලිසියට වැඩි බලතල ලැබෙන පරිදි සකස් කර පොලිස් අධිකාරි විලියම් රොබට් කැම්බෙල් යටතේ පොලිස් සේවය විධිමත් කළ අවස්ථාව පොලිසියේ ආරම්භක වසර ලෙස සලකන නිසයි. 

පොලිස් විශේෂ කාර්ය බලකාය

සී. ඩී. වික්‍රමරත්න වර්තමාන පොලිස්පතිවරයා 156 වසර සැමරූ අවස්ථාවේ දී මෙසේ ප්‍රකාශ කළා: “වර්තමානයේ වැඩි වශයෙන් මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා බහට ලක්වන අතර ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් අප විසින් සිදු කරන සම්ප්‍රදායික රාජකාරියෙන් ඔබ්බට ගොස් භාෂණයේ නිදහස ඇතුළු සමස්ත මහජනතාවගේ අයිතීන්ට ගරු කරන රාමුවක් තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා පොලිස් නිලධාරීන් හැඩගැස්වීම අවශ්‍ය වන අතර ඒ සඳහා දැනටමත් අපි විවිධ ක්‍රියාමාර්ග දියත් කර ඇති බවට ප්‍රකාශ කරනවා. අප සියලු දෙනා මෙම සමාජයේ කොටස්කරුවන් බවත් සමාජයේ සියල්ලන්ට අයත් බවත් හා සමාජය සියල්ලන්ට එක හා සමානව සලකන බවත් අවධාරණය කර ගනිමින් පොලිස් නිලධාරියා ක්‍රියාකළ යුතු අතරම. මෙම තත්ත්වය අවබෝධ කර ක්‍රියා කළ යුතු මට්ටමට සමාජය පත් කිරීමට පොලීසියට අයත් රාජකාරියක් ද වෙනවා.” 

පොලිස්පතිතුමා කියන විධියට නව තත්වය තේරුම් අරන් හැඩගැසෙන්නට පොලිසිය ගත් තීරණය ඉතා හොඳ එකක්. මොකද පොලිසිය කියන්නේ යුද හමුදාවක් නොවෙයි. පොලිසිය කරන්නේ කරන්නේ ප්‍රතිවාදින්ට මුහුණ දීමක් නොමෙයි. සිවිල් වැසියන් හෙවත් පුරවැසියන් එක්ක එකතුවෙලා හැම පුරවැසියකුගෙම අයිතිවාසිකම් ආරක්ෂා කර දීමයි. යටත් විජිත යුගයේ පොලිසිය පිහිටෙව්වේ ඉංග්‍රීසි පාලකයන්ට යටත්වැසියන් පාලනය කර ගත හැකි යාන්ත්‍රණයක් හැටියටයි. ඒ නිසා කළ යුත්ව තිබුණේ, අපි නිදහස ලත් විගසම පොලිසිය ඒ තත්වයෙන් මුදා ගෙන නව ආකාරයක පොලිසියක් බිහි කිරීමයි. නමුත් ඒ කාලයේ රටේ බලය පවරා ගත් කළු සුද්දන්ටත් ඕනෑ වුණේ ඉංග්‍රීසි පාලකයන්ගේ තැන අරගෙන රට ඒ විධියටම පාලනය කරන්නයි. ඒ නිසා එවැනි වෙනසක් කිරීමට අවධානයක් යොමු කළේ නැහැ. 

දැන් පොලිස්පතිතුමා බලාපොරොත්තු වන වෙනස ඇති කර ගන්න නම් මේ රටේ ‘සිස්ටම් චේන්ජ් එකක් සිදුවෙන තුරු ඉන්න වෙනවා. මොකද ඔය වෙනස කරනවා දැන් මේ සිස්ටම් එකේ ඉන්න පාලකයො කැමති වෙන්නේ නැහැ. දැනුත් ‍පොලිසිය කරන්නේ එදා සුද්දන්ගේ කාලේ පොලිසිය කළ දේවල්මයි. එදා වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි අය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ කටහඬින් ආණ්ඩු විරෝධී අරගලයක් කළා කියලයි. අදත් ඒක තමයි, අපේ පොලිසිය කරන්නේ. නිරායුද උද්ඝෝෂකයන්ව අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දන්නවා ඒක හරි නැති බව. ඒත් දැන් ඉන්නා පාලකයන්ටත් එදා අයට වගේම මර්ධනය ඕනැ නිසයි ඔවුන් එහෙම කරන්නේ. 

පසුගිය දවසක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය වන්නේ යමකුට චෝදනා කිරීමට පෙර එවැනි කරුණුවල දී පරීක්ෂණවලට කාලය අවශ්‍ය නිසයි කියලා. ඒ පනතින් මිසක් සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවකු දින 90ක රැඳවුම් නියෝගයක් ලබා ගෙන ප්‍රශ්න කරන්න බැහැ. ඒත් ඒ පනත යටතේත් පොලිසියට නඩු පවරන්න බැරිව වසර 30 ක් විතර සිරමැදිරිවල තාමත් දිවි ගෙවන අය ඉන්නවා. එහෙම ඉඳලත් සමහර අය වසර 30කට පස්සේ නිදොස් කොට නිදහස් කෙරෙනවා. වරදක් නොකළ අයකුගේ ජීවිත කාලෙන් තුනෙන් පංගුවක් නිකරුණේ හිරගෙදරක ගත කරන්න වී අවාසනාවක්. නීති තියෙන්නේ මිනිසුන්ට හිරිහැර කරන්නවත්, පාලකයන් විරුද්ධවාදීන්ගෙන් පළිගන්නවත් නොවෙයි. පොලිසිය බළල් අත් වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අභිමානයෙන් කටයුතු කළ හැකි තත්වයක් ඇති කරන්න ඕනෑ. ඔය විධියේ දේවල් වළක්වා ගන්නයි, අපි ශිෂ්ට සමාජයක් හැටියට කටයුතු කරන්න ඕනෑ. 

 - පර්සි ජයමාන්න 



වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අපට පෙන්වන විස්මිත රූ!

$
0
0

නාසා ආයතනය විසින් උඩුගුවනට යවා ඇති නවතම අභ්‍යවකාශ දුරේක්ෂය වූ ජේම්ස් වෙබ් මෙතෙක් නුදුටු අමුතු දසුන් අපට ලබා දෙමින් තියෙනවා. කලින් දිනක මා ඔබට කීවා, බෘහස්පතීගේ මෙතෙක් නුදුටු දසුන් එවා ඇති බව. දැන් කියන්න යන්නේ එසේ එවූ පෘථිවිය බඳු නව ග්‍රහ ලොවක දසුනක් ගැනයි. මුලින් ම මේ ග්‍රහයා අප දැක ඇත්තේ, පෘථිවිය මත සවිකර ඇති දුරේක්ෂවලිනුයි. ඒත් එහි වඩාත් පැහැදිලි දසුන් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් දැන් අපට දැක ගත හැකි වී තියෙනවා. 

වෙබ් දුරේක්ෂය එවූ දත්ත අනුව සැකසුණු බහිර්ග්‍රහයා

විද්‍යාඥයන් විසින් HIP 65426 කියා හඳුන්වා ඇති, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 385ක් ඈතින් පිහිටි මේ බහිර්ග්‍රහයා (exoplanet) අපේ පෘථිවියට වඩා වයසින් අඩු ග්‍රහ‍යෙක්. මේ සොයා ගත් නව ග්‍රහයාගේ වයස වසර මිලියන 15ත් 20ත් අතර වෙතැයි සැල‍කේ. අපේ පෘථිවියේ වයස වසර බිලියන 4.5ක් වෙනවා. 

මේ ග්‍රහයා මුලින් ම තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබුවේ 2017 දීයි. ඒ චිලි රටේ සවි කර ඇති දක්ෂිණ යුරෝපීය ආකාශ නිරීක්ෂණාගාරයට (European Southern Observatory) අයත් දැවැන්ත දුරේක්ෂය යොදා ගෙනයි. ඒත් පෘථිවිය කරා එන දිගු තරංග ආයාම පෘථිවි වායුගෝලය විසින් අතර මග දී වළක්වන නිසා මෙය අපට හරි හැටියට දැක ගන්නට ලැබුණේ නැහැ. එදා මෙය දැක ගත හැකි වූයේ එහි සවි කර ඇති කෙටි තරංග හඳුනා ගත හැකි ස්පියර් (SPHERE) නමින් හැඳින්වුණු උපකරණය යොදා ගෙනයි. 

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙහි සවි කර ඇති නිර්කැම් (NIRCam) කියා හඳුන්වන අධෝරක්ත කිරණ තෙක් ආසන්න ආලෝක කිරණ හසු කර ගත හැකි ප්‍රබල කැමරාවත්, මධ්‍ය අධෝරක්ත කිරණ හසුකර ගත හැකි එම්අයිආර්අයි (MIRI) කැමරාවත් යොදා ගෙන අවට විහිදෙන තරුකාලෝක කිරණ මඟ හරවා ගෙන ඒ බහිර්ග්‍රහයාගේ ආලෝක කිරණ හසු කර ගැනීමට මේ අති නවීන කැමරා සමත් වෙලා තියෙනවා. 

මේ නිරීක්ෂණයට නායකත්වය දුන්, ඇමරිකාවේ සැන්ටා කෲස්වල කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පශ්චාද් උපාධි අපේක්ෂකයකු වූ ආරියන් කාටර් කියන්නේ මේක හරියට ම ‘අභ්‍යවකාශයේ නිදන් හෑරීමක් වැනි වැඩක්’ කියලයි. 

නාසා ආයතනයේ වෙබ් දුරේක්ෂය පසුගිය දා ඈත අභ්‍යවකාශයේ තිබී හඳුනා ගත් බහිර්ග්‍රහයකුගේ 
පිළිබිඹු එව්වා. මෙහි ඇති දුරේක්ෂවලට වඩා අති නවීන තාක්ෂණයෙන් යුතු උපකරණවලින් 
අපට තොරතුරු එවූ අයුරු මේ රූ සටහනෙන් දැක්වෙනවා.

නාසා ආයතනය හඳුනාගෙන ඇත්තේ මේ ග්‍රහයා වායු යෝධයකු (gas giant) ලෙසයි. පෘථිවියෙහි මෙන් පාෂණමය බිමක් එහි නැති නිසා එහි ජීවීන් සිටිය නොහැකියි. 

මේ වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට තාක්ෂණික හැකියාව තියෙනවා, අභ්‍යවකාශය සිසාරා විමසුම් කරද්දී, බාධාවකින් තොරව දීර්ඝ අධෝරක්ත තරංග ආයාම හසුකර ගන්න. 

මේ දවස්වල පර්යේෂකයන් දිවා රෑ නොබලා වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබා ගත් දත්ත විශ්ලේෂණය කරන්න වෙහෙසනවා. ඊළඟට ඒ තොරතුරු විමර්ශනය කර අධ්‍යයන වාර්තාවක් සකසනවා. දැනට ලබාගෙන ඇති තොරතුරු විමර්ශනය සඳහා සමීපදස්ථ කණ්ඩායම්වලට තවමත් යොමු කර නැහැ. 

මේ ආකාරයට වෙබ් දුරේක්ෂය විසින් පළමුවරට හසුකර ගත් බහිර්ග්‍රහයාගේ ඡායාරූපයෙන් අපට පැහැදිලිව පෙනී යනවා, අනාගතයේ දී දුරස්ථ ග්‍රහ ලෝක අධ්‍යයනයට අපට ඉඩ සැලැසෙන බව. මේ නව බහිර්ග්‍රහයා වූ HIP 65426 පිහිටා ඇත්තේ එය අයත් වූ තරුවට ඇති දුරට වඩා අපේ හිරුගේ සිට පෘථිවියට ඇති දුර මෙන් 100 ගුණයක් දුරින් බව. 

මේ විධියට ඉදිරියේ දී බහිර්ග්‍රහයන් රැසකගේ රූප මේ දුරේක්ෂය මගින් පොළොවට එවනු ඇති. ඒ නිසා අනාගතයේ දි ලොව පුරා විද්‍යාඥයන්ට සක්වළ තතු සොයන්නට කාලය වැඩිපුර මිඩංගු කිරිමට සිදු වනු ඇති. මේ නව දුරේක්ෂයට සවි කර ඇති උපකරණ අනුව අපේ සක්වළ බිහි වූ දා මේ දක්වා සිදු ඕනෑම දෙයක් එදා නිකුත් වූ ආලෝක තරංගවලින් හඳුනා ගෙන ඒ දත්ත පොළොවට එවන්නට හැකියාව තියෙනවා. මෙය හඳුන්වන්නේ විශ්වයේ සැඟවුණු රහස් හෙළිදරවු කළ හැකි විශ්ව කාල යන්ත්‍රයක් (time machine) හැටියටයි. 

ඇමරිකාවේ නාසා ආයතනය විසින් මෑත දී ඈත අභ්‍යවකාශයේ රැඳ වූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සඳහා නාසා ආයතනය ඇමරිකන් ඩොලර් බිලියන 10ක් එනම් ශ්‍රී ලංකන් රුපියල්වලින් නම් බිලියන 3550ක් වැය කොට තියෙනවා. මෙය සලකනු ලබන්නේ අතීතය දැකිය හැකි විශ්වකර්ම ඇසක් හැටියටයි. මේ දුරේක්ෂයට වසර බිලියන 13.5ක් අතීතයට ගොස් බැලීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මේ දුරේක්ෂයට තරුවල පමණක් නොව, බහිර්ග්‍රහයන්, චන්ද්‍රයන් ආදියේත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ ‍ලෝකවල අතීතය දකින්නත් පුලුවන්. ලෝකයේ විශාලතම හා බලවත්ම දුරේක්ෂය වූ මෙයට මේ විශ්වය බිහිවූ බිග් බෑන් නම් මහා පිපිරුමෙන් පසු වසර මිලියන 100-200ත් අතර කාල පරාසයක අතීතයට යාමේ හැකියාව තියෙනවා. 

බහිර්ග්‍රහයා ගේ ඡායාරූපය

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය හා එහි උපකරණ දළ වශයෙන් කෙල්වින් 40ක උෂ්ණත්වයකට එනම් ෆැරන්හයිට් -387ක (සෙල්සියස් -233ක) උෂ්ණත්වයක පවා ක්‍රියාත්මක වෙනවා. මෙය මීට කලින් යැවූ හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂයට වඩා 100 ගුණයක් ප්‍රබලයි. නාසා ආයතනය කියන්නේ මෙය හබ්ල් දුරේක්ෂය වෙනුවට යැවූ එකක් නොව එයට අමතරව යැවූ වැඩි දියුණු කළ එකක් බවයි. තාමත් හබ්ල් දුරේක්ෂයෙන් වැඩ ගන්නා විද්‍යාඥයන් ලොව පුරා ඉන්නවා. 

හබ්ල් දුරේක්ෂය උඩු ගුවනට යැව්වේ වසර 32කකට ඉස්සර 1990 අප්‍රේල් මාසේ 24 වැනිදායි. ඩිස්කවරි අභ්‍යවකාශ ෂටලය තමයි, ඒක උඩු ගුවනට අරන් ගියේ. එය පොළොවේ සිට සැතැපුම් 340ක් ඉහළ ආකාශයේ තමයි රඳවා තියෙන්නේ. එය පැයට හැතැප්ම 17,000ක (පැ.කී.මි. 27,300ක) වේගයකින් පෘථිවිය වටා යනවා. 

මේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය රඳවා තියෙන්නේ පොළොවේ සිට කි.මී. මිලියන 1.5ක් (සැ. මිලියනයක්) ඉහළ අභ්‍යවකාශයේ ලැග්රැන්ජ් (lagrange point) ලක්ෂ්‍ය‍ය ලෙස හැඳින්වෙන දුරින් පිහිටි ආකාශ වස්තූන් දෙකක ගුරුත්වය එකිනෙක කැපී ශූන්‍ය වෙන තැනකයි. 

 - පර්සි ජයමාන්න 


දිළිඳුකම දුරු කරන්නට සාක්ෂරතාව වැඩි කරමු!

$
0
0

අද ලෝක සාක්ෂරතා දිනය (World Literacy Day) යි! සෑම වසරකම සැප්තැම්බර් 8 වැනි දා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කර තියෙනවා. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ ආයතනය විසින් තමයි, මේ සාක්ෂරතා දිනය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව යොදා ගත් තේමාවත් යටතේ ලෝක ප්‍රජාව තුළ සාක්ෂරතාව පුළුල් කිරීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. මෙවර ඒ සඳහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ ‘සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් වැඩි දියුණු කිරීම’ (Transforming Literacy Learning Spaces) යන්නයි. 


සාක්ෂරතාව (Literacy) යනු අකුරු කියවීමේ ලිවීමේ හැකියාවයි. යමකුට තම භාෂාවක් කථාකරන්නට හා ලියන්නට ඇති හැකියාව හැඳින්වීමට යොදන මේ වදන දැන් වෙනත් විෂයයන් සඳහා මූලික දැනුම ඇති බව දැක්වීමටත් විශේෂණයක් ලෙස යොදා ගන්නවා. නිදසුනක් වශයෙන් පරිගණකය ගැන මූලික අවබෝධයක් තිබීම පරිගණක සාක්ෂරතාව (Computer Literacy) ලෙස හඳුන්වනවා. භාෂා දැනුමෙහි දී සාක්ෂරතාව යනු එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යාමට සිය බස භාවිත කිරීමේ හැකියාව, තවත් විධියකින් කිවහොත් පාසල් අධ්‍යාපනය 2, 3 ශ්‍රේණිවලට ලබා තිබීම දැක්විය හැකියි. 

මෙවර සාක්ෂරතා දිනයේ තේමාව ලෙස දක්වා ඇති ‘සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් වැඩි දියුණු කිරීම’ යන්නෙන් අපේක්ෂා ප්‍රජාවගේ සාක්ෂරතාව වැඩි කිරීමට පහසුකම් ඇති කිරීම හා නව මානයන් සෙවීම ආදිය වෙයි. රටක හෝ ප්‍රජාවක සාක්ෂරතාව මනින්නේ ප්‍රතිශතවලිනි. එය වැඩි කිරීම තමයි මෙහිදී සිදුවිය යුත්තේ. මානව ප්‍රගතිය මනින එක් ප්‍රධාන මිම්මක් ලෙස මෙය සැලකේ. 

ලෝකයේ සාක්ෂරතාව වැඩිම රට ලෙස සැලකෙන්නේ උස්බෙකිස්ථානයයි (Uzbekistan) 2018 දී එරට සාක්ෂරතාව 99.99%කි. වයස අවුරුදු 15 සහ ඉන් වැඩි පිරිමින්ගේ සාක්ෂරතාව 100%කි. ඊළඟට එන්නේ යුක්රේනයයි (Ukraine). එරට 99.97%කි. අඩු ම සාක්ෂරතාව ඇත්තේ චාඩ් (Chad) රාජ්‍යයේයි. එය 22.31%කි. USA, UK, ජපානය ආදී රටවල 99.00%කි. පින්ලන්තය, නෝර් වේ, ලක්ෂම්බර් ග්, ඇන්ඩෝරා, ග්‍රීන්ලන්තය, ලීච්ටෙන්ස්ටීන් වැනි රටවල සංක්ෂරතාව 100%කි. ඉන්දියාව 84.1%කි. ඉන්දියාවට අයත් ලක්ෂදීප් හා කේරළය යන ප්‍රාන්තවල 91.8%කි. ශ්‍රී ලංකාව 92.38%කි. ලොව කුමන හෝ භාෂාවක් කථා කිරීමේ හා ලිවීමේ හැකියාව මානවයකු සතු ප්‍රධාන ගුණාංගයකි. මෙසේ භාෂාවක් ඉගෙනීමට ඇති ලොකුම බාධාව ලෙස සැලකෙන්නේ දුප්පත්කමයි. ඒ කරුණු දෙක එකට ගැට ගැහී ඇති නිසා එකක් අනෙකට තදින් බලපායි. මේ නිසා දිළිඳු අයට සාක්ෂරතාව ඇති කර ගැනීම අපහසු වෙයි. එසේ ම සාක්ෂරතාව නොමැතිකම නිසා දිළිඳු බවින් ගොඩ ඒමට නොහැකිවෙයි. 

පාසල් අධ්‍යාපනය සාක්ෂරතාව වැඩි කළ හැකි හොඳම මඟයි.

ලෝකයේ කුමන රටක ජීවත් වුනත් මිනිසකුට අඩුම තරමින් ඒ රටේ නිල භාෂාව පිළිබඳ සාක්ෂරතාව තිබීම අත්‍යවශ්‍යයි. එයින් ඔහුගේ ජීවත්වීම පහසු කරවයි. සමහර රටක නිල භාෂා ගණනාවක් තිබෙන අතර ඉන් එකක් දැන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. 

ලෝකයේ භාෂා කොපමණ ගණනක් තිබෙනවාද ? 

ලෝකයේ භාවිත වන භාෂා ගණන නිරන්තරයෙන් ම වෙනස් වෙනවා. එය 7,099 ලෙස පසුගියදා දක්වා තිබුණා. දැන් එය 7,102ක් ලෙස දැක්වෙනවා. දිළිඳු රටවල මේ භාෂා භාවිතය ජනගහනය විසින් අත් හැරීම නිසා අභාවයට යනවා. දිළිඳු බවින් ගොඩ ඒමට තමන් භාවිත කරමින් සිටි භාෂාව අත හැර ඒ වෙනුවට වෙනත් භාෂාවක් භාවිතයට ගැනීම නිසා භාෂාවක් අභාවයට යා හැකියි. ඒ වගේ තම දියුණුව පතා රටකින් තවත් රටකට සංක්‍රමණය වීම නිසා එහි භාෂාවට අනුගත වෙමින් සිය බස අතහැරීම නිසා ද යම් භාෂාවක් අභාවයට යා හැකියි. 

ලොව පුරා භාෂාවන් පැතිර ඇති ආකාරය විමසා බලමු. ප්‍රතිශතයක් වශයෙන් ආසියාව, වැඩියෙන් භාෂා ගණනක් කථා කරන මහාද්වීය වෙනවා. එය 32%ක්. ආසියා මහාද්වීපය පුරා කථා කරන භාෂා ගණන 2,300ක් පමණ වෙනවා. ඊළඟට එන්නේ අප්‍රිකා මහාද්වීපයයි. එය 30%ක්. අප්‍රිකා මහා ද්වීපය පුරා භාෂා 2000ක් පමණ කථා කරනවා. පැසිපික් සාගරය ආශ්‍රිත රටවල මේ ගණන 18.5%ක්. උතුරු හා දකුණු ඇමරිකා මහා ද්වීපවල 15%ක්. අවසානයට එන්නේ යුරෝපයයි. එය 4%ක්. 

ලෝකයේ භාෂා ව්‍යාප්ත වී තිබෙන අන්දම හරිම පුදුමයි. ඒවා එකාකාර නැහැ. සමහර රටවල භාවිත වෙන කථා කරන භාෂා ගණන සියයකටත් වැඩියි. එසේ වෙනස් වෙන්නේ ගෝත්‍ර අනුවයි. විවිධ භාෂා වැඩිම ගණනක් කථා කරන රාජ්‍යය ලෙස වාර් තා වෙන්නේ පැපුවා නිව් ගිනියාවයි. ඒ භාෂා ගණන 840ක්. එයින් භාෂා දුසිමක් විතර කතා කරන අය ඉන්නේ ඉතා සුළු සංඛ්‍යාවක්. එහි වඩාත් ජනප්‍රිය භාෂාව වුනත් ලක්ෂ දෙකක ජනගහනයක් විතර ගණනක් තමයි පාවිච්චි කරන්නෙ. සමහර භාෂා කථා කරන්නේ 1000ක් පමණ දෙනෙක් විතරයි. පැපුවා නිව් ගිනියාවේ දේශීය භාෂා ඔස්ට්‍රොනේෂියා ඔස්ට්‍රොනේෂියා නොවන වශයෙන් වර් ග දෙක කට බෙදෙනවා. එරට නිල භාෂා වන්නේ ‍ටොක්, හිරි මිටු, ඉංග්‍රීසී හා සංඥා භාෂාව යන ඒවායි. 

ඊළඟට වැඩි භාෂා ගණනක් කථා කරන්නේ ඉන්දුනීසියාවෙයි. ඒ ගණන 709කි. එහි නිල භාෂාව ‘භාෂා ඉන්දුනීසියා’යි. ප්‍රධාන වශයෙන් කථා කරන අනෙක් ප්‍රාදේශීය වන්නේ ජාවා, සුන්ඩා, මිනැන්කාබෝ හා මූසි යන ඒවායි. 

තුන්වැනියට භාෂා වැඩි ගණනක් කථා කරන්නේ ඉන්දියාවේ ජනතාවයි. ඔවුන්ගේ භාෂා ගණන 454ක්. එරට ප්‍රධාන නිල භාෂා වන්නේ ඉංග්‍රීසි හා හින්දි යි. හින්දි භාෂාව එහි හොඳින් ම ව්‍යවහාර වෙයි. එය ලෝකයේ වැඩියෙන් ම ව්‍යප්ත වී ඇති භාෂා අතරින් හතර වැනි තැන ගනියි. ඉන්දියාවේ විතරක් 422,048,642කක ජනගහනයක් හින්දි කථා කරනවා. එහි ප්‍රාන්තවල නිල භාෂා ලෙස ගැනෙන භාෂා 22ක් තියෙනවා. එය ලෝකයේ වැඩිම නිල භාෂා ගණනක් ඇති රාජ්‍යයයි. එහි වැඩිම ප්‍රජාවක් කථා කරන අනෙක් භාෂා වන්නේ බෙංගාලි, තෙළිඟු, ඔඩියා ඇතුළු ඒවායි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ද භාෂා වැඩි ගණනක් ව්‍යවහාර වෙනවා. ඒ ගණන 347ක්. එහි ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි යි. නිල භාෂා ලෙස කිසිවක් නම් කර නැත. මැක්සිකෝව, ජර් මනිය, අරාබිය, ස්පාඤ්ඤය, රුසියාව ආදී රටවලින් විශාල ලෙස ජනතාව සංක්‍රමණය වී ඇති නිසා ඒ රටවල භාෂා එහි භාවිතයට පැමිණ තිබෙනවා. 

දුප්පත්කම පිටු දකින්නට නම් අඩු පහසුකම් යටතේ හෝ ඉගෙන ගතයුතුයි

චීනය තුළ ද විශාල භාෂා ගණනක් භාවිතා වෙනවා. එය ගණනින් 300ක් පමණ වෙනවා. ඒ භාෂා වැඩි හරියක් භාවිත වන්නේ ටිබෙටය, තායිවානය, හොංකොං හා මහජන චීනය ආදී ප්‍රදේශවලයි. වැඩි දෙනා භාවිත කරන භාෂාව වන්නේ මැන්ඩරීන් චීන බසයි. එය ජනගහනයෙන් මිලියන 955ක් විතර විත කරනවා. කෙසේ වෙතත් එහි නිල භාෂාව වන්නේ සම්මත චීන බසයි. ඒ වගේ කැන්ටන් බසත් නිල බසක් ලෙස සැලකෙනවා. ප්‍රාදේශීය නිල භාෂා වශයෙන් සැලකෙන්නේ වූ චීන, සංඥා භාෂාව හා ඉංග්‍රීසියි. 

වැඩි භාෂා ගණනක් කථා කරන රටවල් අතරට මෙක්සිකෝව (290ක්), කැමරූන් (280ක්), ඕස්ට්‍රේලියාව (259ක්), බ්‍රසීලය (227ක්) වැනි රාජ්‍යයන් වැටෙනවා. ඒ අතරින් මෙක්සිකෝවේ වඩාත් ප්‍රචලිත භාෂාව ස්පාඤ්ඤයි. එහෙත් එරට මුල් බසක් ලෙස ඇමෙරින්දියානු බස සැලකෙනවා.අනික් අතට බ්‍රසීලයේ ප්‍රධාන භාෂාව පෘතුගීසි වන අතර එය හැඳින්වෙන්නේ බ්‍රසීලියානු පෘතුගීසි කියායි. 

- පර් සි ජයමාන්න 


දෙවන එලිසැබත් මහරැජිනගේ වාසනාව පෑදුණු හැටි!

$
0
0

පසුගියදා ස්කොට්ලන්තයේ දී ඇබර්ඩීන් අගනුවර බැල්මොර්ල් මාලිගයේ දී සමාදානයේ සැතැපුණු එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජින තරම් දිගු කලක් සිහසුන හෙබ වූ රජෙක් හෝ රැජිනක් හෝ වත්මන් ලෝකයේ ඇත්තේ ම නැහැ. ඒ අනුව ඇය වසර 70කුත් දින 214ක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ලෝක ඉතිහාසයට එක් වෙනවා. ඇය ඇගේ මිත්තණිය වූ වික්ටෝරියා මහරැජිනට වඩා වසර 6ක් වැඩියෙන් රජකම් කර තියෙනවා. ඇයට මේ වාසනාව හිමි වුණේ බලාපොරොත්තු නොවූ ආකාරයේ සිදුවීම් කීපයක් නිසයි. 

දිගුම කලක් රජකම් කළ දෙවන එලිසැබත් රැජින

රැජින වීමට පෙර එලිසැබත් කුමරිය දෙවන ලෝක යුද සමයේ දී හමුදාවේ ස්වේච්ඡා සේවයේ යෙදී තියෙනවා. ඒ ට්‍රක් රථ රියැදුරෙකු හා මිකෙනික් කෙනකු හැටියටයි. ඒ අනුව හමුදා සේවයේ යෙදුණු රජ පවුලේ එකම සාමාජිකාව ඇයයි.

එලිසැබත් කුමරිය දෙවන ලෝක යුද සමයේ 
යුද හමුදාවේ ට්‍රක් රියැදුරියක ලෙස සේවය කරද්දී.

වත්මන් ලෝකයේ ඉතා දිගු කලක් සිහසුන දරා සිටියේ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජුයි. එතුමාගේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුවයි, දෙවන එලිසැබත් රැජින ලොව දිගු කලක් සිහසුන දැරූ රාජ්‍ය නායිකාව බවට පත්වුණේ. 2022 සැප්තැම්බර් 8 වැනි දා ස්කොට්ලන්තයේ දී අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ ඒ දිගු රාජ්‍ය කාලය අවසන් වුණා. ඒ වන විටත් දිවියේ 96 වසර ගෙවමින් සිටි ඇය සක්‍රියව රාජ්‍ය කටයුතුවලට දායක වුණා. සැප්තැම්බර් 5 වැනි දා තෝරා ගනු ලැබූ නව බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස එලිසැබත් ට්‍රස් පත් කිරීම මහරැජිනගේ අවසන් වැදගත්ම රාජකාරිය වුණා. 

එලිසැබත් රැජිනගේ අවසන් රාජකාරිය 
එලිසැබත් ට්‍රස් නව අග්‍රාමාත්‍යවරිය පත් කිරීම.

ඇය යටතේ වින්ස්ටන් චර්චිල්, ඇන්තනි මාගරට් තැචර්, හැරල්ඩ් මැක්මිලන්, ඇලෙක් ඩග්ලස්-හෝම්, ජෝන් මේජර්, ටෝනි බ්ලෙයා, ඩේවිඩ් කැමරන්, ගෝඩ්න් බ්‍රවුන්, ස්කොට් මොරිසන් ඇතුළු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනකු සේවය කර තියෙනවා. එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායිකාව වූ ඇය මිය යන විට රාජ්‍ය 15ක මහ රැජින ලෙස පිළිගනු ලැබුවා. 

දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ රජ මාලිගාවක නොවේ. ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවකු ඇය රාජ්‍යත්වයට පත්වේ යැයි සිතුවේ නැහැ. නමුත් ඇගේ දෛවය විස්මයජනක ලෙස ඇයව සිහසුනට කැන්දා ගෙන ආවා. දෙවන එලිසැබත් රැජින උපත ලැබුවේ 1926 වසරේ අප්‍රේල් 21 වැනි දායි. ඒ ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේ දියි. එය මාලිගාවක් හෝ, විශාල වතුයායක මන්දිරයක් හෝ, රෝහලක්වත් නොව, ලන්ඩනයේ ජනාකීර් ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවාසයක්. මේ තට්ටු නිවාසයේ පදිංචිය සඳහා ඇගේ දෙමාපියන් පැමිණියේ ඇය ඉපදීමට සති කීපයකට පෙරයි. මේ නිවාසය අයත් වූයේ, ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්‍රැත්මෝර් හි ආදිපාදවරයා හා එම දේවියටයි. ඒ කාලේ කුමරියගේ මාපියන්ට අතමිට සරු නොවූ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට යාමට ඔවුන්ට සිදු වුණා. ඇය එකල බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටි රජුගේ දෙවැනි පුතාගේ දියණිය වූ නිසා බ්‍රිතාන්‍ය කිරුළ ඇයට හිමිවෙතැයි ලොව කිසිවකු එදා සිතුවේ නැත. ඒ නිසා දෙවන එලිසැබත් රැජින උපන් නිවස රැක ගන්නට අවශ්‍යතාවක් ඒ කාලයේ කිසිවකුටත් තිබුණේ නැහැ. 

එලිසැබත් රැජිනගේ වසර 70 රාජ්‍යත්වය සමරන අවස්ථාවේ ඇය උපන් තැන ගැන සොයන්නට උනන්දුවක් මතුවුණා. ඒ අනුව ඒ අවස්ථාවේ ඒ ගැන විවිධ මත පළ වුණා. හකාසන් නම් චීන අවන්හල ඇත්තේ ඒ ස්ථානයේ යන්න එක් මතයක්. එහි ලිපිනය වන්නේ බෲටන් වීථියේ අංක 17 යි. ඒ අංකයම ඇති කාර්යාල සංකීර්ණයක් ද එහි තියෙනවා. ඊට ආයතනික පරිශ්‍රයකට සම්බ්න්ධ ඉදිරිපස වීදුරුවලින් නිමවුණු පිවිසුමක් ද, පිළිගැනීමේ ශාලාවක් ද තියෙනවා. ඒවාට අයත් වන්නේ ද එම අංකයමයි. 

ඒ වගේ ම අන්තර්  ජාලයේ, හුවමාරු වන මතයක් ද තියෙනවා. ඉන් කියැවෙන්නේ වන්නේ දෙවන ලෝක සමයේ සිදු වූ ගුවන් ප්‍රහාර නිසා එය විනාශ වූ බවයි. ඒ පිළිබඳ ව විකිපිඩියා විශ්ව කෝෂයෙහි සඳහන් කර ඇත්තේ යුද ගුවන් ප්‍රහාරවලින් නිවාසයට හානි වූ අතර පසුව එය කඩා ඉවත් කර ඇති බවයි. 

එහෙත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේත්, තවත් ලේඛනාගාරවලත් ඇති ලියකියවිලිවල දක්වා ඇත්තේ 18 වැනි සියවසේ ඉදිකරන ලද එම නිවෙස විනාශයට පත් වූයේ දෙවන ලෝක යුද්ධය ඇරඹීමට ද පෙර දී බවයි. ඒ අනුව දැන් පිළිගෙන ඇති මතය වන්නේ දේපළ සංවර්ධකයන් මේ නිවාසය කඩා බිඳ දැමීමට වගකිවයුතු බවයි. 

දෙවන ලෝක යුද්ධයට පෙර, එනම් 1937 දී, උස් තොප්පියක් හා දිගු ලෝගුවක් හැඳි මිනිසකු බෲටන් වීථියේ 17 වැනි නිවසත්, ඒ අසල බර් ක්ලි චතුරස්‍රය තෙක් විහිදුණු ගොඩනැගිලි කඩා බිඳ දමනු දුටු බව එකල පුවත්පත් වාර් තාවක පළ වී තිබුණා. තවත් වාර් තාවක ඒ බිම්කඩෙහි කැනේඩියානු පැසිෆික් දුම්රිය සමාගම සඳහා හෝටලයක් ඉදිකිරීමට සැලසුම්කර තිබුණු බවත් එහෙත් පසුව එහි ඉදිවූයේ විශාල කාර් යාලයක් සහ වෙළඳ සංකීර් ණයක් යැයිද සඳහන් වුණා. එකල වාස්තු විද්‍යාත්මක උරුමය පිළිබඳව සංවේදී වූ යුගයක් නොවූ නිසා, 'ලන්ඩනයේ වඩාත් ඓතිහාසික වටිනාකමක් ඇති නිවාස 20'යනුවෙන් එකල වාර් තාවකින් විස්තර කෙරුණු ඒ ස්ථානය, ගොඩනැගිලි විනාශ කරන්නන් විසින් නිර් දය ලෙස බිමට සමතලා කෙරුණු බව සඳහන් වුණා. එකල විසූ දියසායම් චිත්‍ර ශිල්පියෙකු වූ ශ්‍රීමත් මියර් හෙඩ් ඇඳි සිතුවමක, අලංකාර පැරණි ගොඩනැගිලි ඉදිරිපස කම්කරුවන් ඒවා කඩා බිඳ දමන අයුරු සිත් කාවදින ලෙස චිත්‍රණය කර තිබෙනවා. 

මේ කරුණු තවදුරටත් තහවුරු කෙරෙන ලේඛනයක් ලන්ඩන් මහනගර ලේඛනාගාරයේ තියෙනවා. 1939 මැයි මාසයේ දී මිනින්දෝරුවකු තබන ලද එම සටහනෙන්, දක්වා ඇත්තේ 'බෲටන් වීථියේ අංක 17හි පිහිටි පැරණි නිවස කඩා ඉවත්කර, එය පැවැති භූමියෙන් කොටසක් 'බර් ක්ලි චතුරශ්‍ර නිවාස ගොඩනැගිල්ල'ඉදිකිරීමට ලබා දී ඇති බවයි. 

වත්මන් බර් ක්ලි චතුරශ්‍ර නිවාස ගොඩනැගිල්ල පිහිටි භූමිය පවත්වාගෙන යන ඇස්ට්‍රියා සමාගම කියන්නේ, දෙවන ලෝක යුද්ධයට ආසන්න කාලයේ දී ගුවන් අමාත්‍යංශය විසින් එම ස්ථානයේ පිහිටි නව ගොඩනැගිල්ලක් අත්පත්කර ගත් බවයි. 

මහරැජින සිය පවුලේ සාමාජිකයන් සමග බකින්හැම් මාලිගයේ සඳලු තලයේ සිට ජනතාවට ආචාර කරයි. වම් පසින් නව රජු තුන්වැනි චාල්ස් හා දකුණු පසින් ඔටුන්න හිමි විලියම් කුමරු, බිරිය හා දරුවන්.

වෙස්ට්මිනිස්ටර් නගර සභාව විසින් තහවුරු කර ගෙන ඇති පරිදි චීන අවන්හලේ එක් කෙළවරක් මුල් නිවසටත්, වීදුරුවලින් නිමවා ඇති දොර සහිත අසල්වැසි ආයතනය නිවසේ අනික් කොටසටත් ඇතුළත් ව තිබෙන්නට ඇති බවයි. මෙහි බිත්තියක රැජින උපන් ස්ථානය සලකුණු කරමින් පිහිටවූ ඵලකයන් දෙකක් ද සවිකර තියෙනවා. මින් එක් ඵලකයක් වෙස්ට්මිනිස්ටර් නගර සභාවෙන් සවිකරන ලද්දක්. 

රැජිනගේ මවගේ දෙමාපියන්ට අයත්ව. තිබූ බෲටන් වීථියේ අංක 17 ස්ථානයට සුප්‍රසිද්ධ වැදගත් පුද්ගලයන්ට සම්බන්ධ ඓතිහාසික ස්ථාන විශේෂයෙන් සලකුණු කරන අලංකාර නිල් ඵලකයක් ලබා දී නැහැ. එවැන්නක් තීරණය කරන 'ඉංග්‍රීසි උරුමය' (English Heritage) පිළිබඳ ආයතනයේ මාධ්‍ය ප්‍රකාශිකාව කියන්නේ මුල් ගොඩනැගිල්ල මේ වන විට දක්නට නැති නිසා ඒ ස්ථානයට නිල් ඵලකයක් නොදුන් බවයි. 

1926 දී අනාගත රැජින ඉපදුණු විට, ඇගේ රාජකීය මිත්තණිය සහ මුත්තණුවන් පළමු දිනයේ දීම ඇය දකින්නට පැමිණි බවට සටහනක් මේරි රැජිනගේ දිනපොතෙහි තියෙනවා. “සිය මිණිපිරිය, අලංකාර සමකින් ද, පැහැපත් කදිම කෙස් කළඹකින් ද යුත් පුංචි සුන්දරියක්”යැයි එහි දැක්වෙනවා. 

ඒ උපත ලියාපදිංචි කරන්නට එකල ස්වදේශ කටයුතු ලේකම් විලියම් ජොයින්සන්-හික්ස්ට හදිසියෙන්ම පැමිණෙන්නට සිදුවූ ස්ථානය වූයේ ද එයයි. එකල එවන් රාජකීය උපතක් ලියාපදිංචි කිරීම ස්වදේශ කටයුතු ලේකම්වරයා අතින් සිදු කිරීම එකල පැවති සිරිතයි. 

රැජිනගේ මව වූ එලිසැබත් බෝව්ස් ලයන් 1923 වසරේ අප්‍රේල් මාසයේ යෙදුණු ඇගේ විවාහ මංගල දිනයේ දී, ඈ විවාහ ගිවිස සිටි 'ගොතගහන'ලැජ්ජාශීලී තරුණයා වූ එකල යෝක්හි ආදිපාදවරයා වෙත යෑමට පිටත්වූයේ මෙම නිවෙසේ සිටයි. ඉන් හරියටම තෙවසරකට පමණ පසු, සිය පළමු දරුවාගේ උත්පත්තිය සඳහා යුවළ නැවතත් එම නිවසට පැමිණියා. 

 හාලි වීථියේ, භාෂණ චිකිත්සක ලයනල් ලෝග්ගේ පුද්ගලික චිකිත්සාගාරය පිහිටා තිබුණේ ද මෙම නිවසේ සිට ඇවිද යන දුරකිනුයි. 1926 වසරේ සිට අනාගත රජුගේ ගොත ගැහීමට ශායනික ප්‍රතිකාර කළේ ඔහුයි. 

මහරැජින 96 දී රජකමට පත් වී 70 සැමරූ දින

එම වසරේ දීම එලිසැබත් කුමරියත්, ඇගේ දෙමාපියනුත් පිකැඩිලියේ පිහිටි වඩාත් විශාල නිවසක පදිංචියට ගියා. "පළමු තට්ටුවේ පිහිටි, පුංචි කුමරිය ඉපදුණු කාමරය, සියලු කාමර අතරින් අඩුම අලංකාරයක් ඇති කාමරයක් වුනත් හිරු එළියෙන් පිරී ඉතිරී ගිය තැනක්,"යැයි එකල ලියැවුණු පුවත්පත් වාර් තාවක සඳහන් වුණා. 

එය අද එවන් ඓතිහාසික ස්ථානයක් සඳහා නොගැළපෙන තරමට අප්‍රසිද්ධව පවතිනවා. අනාගත රජකුට සහ රාජිණියන් දෙදෙනකුට පවුලේ නිවහන වූ මෙවැනි පුද්ගලික නිවසක් ලන්ඩනයේ තවත් ඇත්තේ නැති තරම්. මෙය තවමත් රාජකීය දේපළක කොටසක් වන නමුත් මේ වන විට එය අයත් වන්නේ අබුඩාබි රාජකීය පවුලටයි. ලන්ඩනයේ මෙම කොටසේ දේපොළ සම්බන්ධ ලේඛනයක දැක්වෙන්නේ එය පවුම් බිලියන 5ක් පමණ වටිනා බවයි. 

පුංචි එලිසැබත් කුමරියට ඇය විසූ නිවසෙන් යන්නට ඇගේ දෛවය ඉඩ සැලසුවේ 1931 දී සිදුවූ එක්තරා සිදුවීමක් නිසයි. 1931 දී ඔටුන්න හිමි එඩ්වඩ් කුමාරයා, වොලීස් සිම්ප්සන් නම් ඇමරිකන් කාන්තාවක් සමඟ හාදකමක් ඇති කර ගැනීම ඒ සිදුවීමයි. ඒ වන විට ඇය කලින් විවාහයකින් දික්කසාද වී අර්නස්ට් සිම්ප්සන් නම් ඇමරිකානුවකු හා විවාහ වී සිටියා. 

එඩ්වඩ් කුමරු එංගලන්තයේ ඊළඟ රජු වීමට බලා සිටි නිසා ඔහු මේ සම්බන්ධය පිය රජුගෙන් වසං කළා. 1934 දී ඒ ගැන රජ ගෙදර කසකුසුවක් ගියා. පියා වූ පස් වැනි ජෝජ් රජතුමා ඒ ගැන දැන ගත් වහාම තදින් උදහස් වුණා. ඒත් ඒ අවස්ථාවේ එඩ්වඩ් කුමරු එය ප්‍රතික්ෂේප කළ නිසා සිද්ධිය යටපත් වී ගියා. 

ඒ අතර 1936 ජනවාරි 20 වැනිදා පස් වැනි ජෝජ් රජු මිය යාමත් සමඟ 42 හැවිරිදි එඩ්වඩ් කුමාරයා අට වැනි එඩ්වඩ් රජු ලෙස පත් කෙරුණා. ඔටුනු පැලඳවීමේ මෞලිමංගල්‍යය යෙදී තිබුණේ වසරකට පසුවයි. මේ අතර ඔහුගේ පැරණි ආදරයට පණ ආවා. ඒ අනුව රජතුමා තමා වොලීස් සිම්ප්සන් මහත්මිය විවාහ කර ගැනීමට කැමති යයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කීවා. රාජ්‍යත්වය පිළිබඳ අර් බුදය ආරම්භ වූයේ ඉන් පසුවයි. ඒ අදහස නිසා එංගලන්තයේ ක්‍රිස්තියානි සභාවත්, බ්‍රිතාන්‍යයත්, ගිනි ගත්තා. එයින් කිරුළට අපකීර් තියක්, අගෞරවයක් අත්වන්නේ යැයි ඒ හැමගේම මතය වුණා. ඒ අතර සිම්ප්සන් මහත්මිය තමා ළඟදීම බ්‍රිතාන්‍ය රැජින වන්නේ යැයි ඇමරිකන් පුවත්පතකට කියා තිබුණා. එපමණක් නොව ඒ වන විට ඇය දෙවන විවාහයෙන් ද දික්කසාද වී සිටියා. ඒ පුවත මුළු ලොවම කැලඹුවා. 

එංගලන්තයේ ක්‍රිස්තියානි සභාවට අනුව දික්කසාද වූ කාන්තාවකට ඇගේ සැමියා ජීවතුන් අතර සිටී නම් නැවත විවාහයකට යාම පාපයක්. ඒ අනුව සිම්ප්සන් මැතිනියගේ විවාහයේ සැමියන් දෙදෙනා ම ජීවතුන් අතර සිටියා. මේ නිසා බ්‍රිතාන්‍ය ජනමතය පමණක් නොව, ඔස්ට්‍රේලියාව, නවසී‍ලන්තය, කැනඩාව වැනි ඉංග්‍රීසි කොඩිය යටතේ ඇති පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටවල් ඔටුනු පලඳින්නට පෙර ඇති වූ මේ ගැටලුව නිසා එඩ්වඩ් රජුගේ අදහසට එකහෙළා විරුද්ධ වුණා. 

අන්තිමේ දී එඩ්වඩ් රජු හිත හදා ගෙන සිම්ප්සන් මැතිනිය වෙනුවෙන් රජකම අත්හරින්නට තීරණය කළා. ඒ අනුව 1936 දෙසැම්බර් 11 වැනිදා ඔහු සිහසුනෙන් බැස්සා. එලිසැබත් කුමරියට සහ ඇගේ දෙමාපියන්ට බකිංහැම් මාලිගයේ ස්ථිර පදිංචියට යාමට සිදු වූයේ මේ අනපේක්ෂිත සිදුවීම නිසයි. එලිසැබත් කුමරියගේ පියා වූයේ එඩ්වඩ් රජුගේ මල්ලීයි. ඔහු හයවැනි ජෝජ් රජු ලෙස සිහසුනට පත් වුණා. 

එලිසැබත් කුමරියගේ දෛවය එතැනින් නතර වූයේ නැහැ. ඇගේ පියා රජකමට පත් වූයේ 1936 දීයි. යම්කිසි විධියකින් අට වැනි එඩ්වඩ් රජු සිම්ප්සන් මැතිනිය අත්හැර සිහසුනෙහි රැඳී සිටියේ නම්, ඔහුගේ අභාවයෙන් පසු 1972 දී රජකම හිමි වීමට උරුමය තිබුණේ ද එලිසැබත් කුමරියටමයි. ඇගේ පියා වූ හය වැනි ජෝජ් රජතුමා පිළිකා රෝගයකින් හදිසියේ 1952 පෙබරවාරි 6 වැනිදා දිවංගත වූ නිසා ඇයට අවුරුදු 26 දී ම රජකමට පත් වීමට අවස්ථාව උදා වුණා. ඒ නිසා අද ඇය ලෝකයේ වැඩි ම කාලයක් කිරුළ දැරූ තැනත්තිය වීමට වාසනාව ලැබුවා. 

රාජකීය නිවසක නැතිව සාමාන්‍ය තට්ටු නිවාසයක ඉපිද, අනුප්‍රාප්තික රාජාවලියට නිතරඟයෙන් ම පත් වී, නිසි විය සපිරූ මොහොතේම සිහසුනට පත් වී, මියෙන තුරා රජ කිරුළ දරමින් රාජ්‍යත්වයේ ප්ලැටිනම් ජුබිලිය සැමරූ එකම බ්‍රිතාන්‍ය රාජකීයයා වීමේ ගෞරවය ද ඇය ලැබුවා. 

මහරැජිනගේ අභාවයෙන් පසු සිදුවන්නේ කුමක්ද? 

සැප්තැම්බර් 9 වැනිදා - සිකුරාදා 

• තුන්වැනි චාල්ස් රජතුමා හා රජ බිසව සමඟ ලන්ඩනයට සැපැමිණීම. 
• තුන්වැනි චාල්ස් රජතුමාගේ රාජ්‍යතාන්ත්‍රික හමුව. නව අගමැතිනි ලිස් ට්‍රස් නව රජතුමා බැහැදැකීම. 
• මහ රැජින වෙනුවෙන් ඊයේ සිට සත් දින ශෝක කාලයක් තුන්වැනි චාල්ස් රජු විසින් ප්‍රකාශයට පත්කිරීම. 
• වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ ඝණ්ටා නාද කිරීම. හයිඩ් පාක්හී රාජකීය ආචාර වෙඩි මුර පැවැත්වීම. 

• සවස් භාගයේ දී තුන්වැනි චාල්ස් රජු රූපවාහිනියෙන් ජාතිය ඇමතීම. 
• සවස 6ට සාන්ත පාවුළු දේවස්ථානයේ 6000ක් ජනතාව සහභාගිවන අනුස්මරණ දේව මෙහෙය පැවැත්වීම. 
• දවල් 12ට රැස්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගේ ශෝක පළ කිරීම. මෙය රාත්‍රි 12 වන තෙක් පැවත්වීම. 

සැප්තැම්බර් 10 වැනිදා - සෙනසුරාදා 

• නිල වශයෙන් චාල්ස් කුමරු සිංහාසනාරූඪ කිරීමට විශේෂ රාජප්‍රාප්ති කවුන්සිලය සාන්ත ජේම්ස් මාලිගයට රැස්වීම. (ඊට ප්‍රීවි කවුන්සල නියෝජිතයන්, රාජ්‍යවල ප්‍රධානීන්, ලන්ඩනයේ නගරාධිපතිවරයා හා පොලිස්පති වරයා, රාජ්‍යයේ මහ කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවා නිලධාරීන් ඇතුළු විශේෂ පිරිසක් අයත් වෙයි.) 
• රජුගේ සහභාගිත්වය නැතිව ප්‍රීවි කවුන්සලය රැස්වී රාජප්‍රාප්තිය ප්‍රකාශ කිරීම. 
• තුන්වැනි චාල්ස් රජතුමා අගමැති ප්‍රමුඛ කබිනට් මණ්ඩලය මුණ ගැසීම. 
• සවස 2කට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් නව රජුට පක්ෂපාත වන බවට දිවුරුම් දීම එංගලන්න මැතිසබයේ දී. 

සැප්තැම්බර් 11 වැනිදා - ඉරිදා 

• මහ රැජිනගේ දේහය රැගත් පෙරහර එඩින්බරෝහී හෝලිරූඩ් හවුස් මාලිගය වෙත පැමිණීම. 
• එඩින්බර් ග්, කාඩිෆ් හා බෙල්ෆාස්ට් මැතිසබවල රැස්වීම් අත්නොහිටුවා නව රාජප්‍රාප්තිය ගැන ප්‍රකාශයට පත් කිරීම. 

සැප්තැම්බර් 12 වැනිදා - සඳුදා 

• මහ රැජිනගේ දේහය රැගත් පෙරහර රෝයල් මයිල්හී සිට සාන්ත ගිල්ස් දේවස්ථානය දක්වා පැමිණීම. 

• රාජකීයයන් හා රජ පවුලේ සාමාජිකයන් සහභාගි වන දේව මෙහෙය. 
• මේ දේවස්ථානයේ දී මහ රැජිනගේ දේහයට ගෞරව කිරීමට මහජනයාට අවස්ථාව සැලසෙනු ඇත. 
• එංගලන්ත මැති සබය හා සාමි මණ්ඩලය එක්ව ශෝකය පළ කිරීමේ ‍යෝජනාවක් සම්මත කර ගැනීම. 

 සැප්තැම්බර් 13 වැනිදා - අඟහරුවාදා 

• දේහය රැගත් දෙන ගුවනින් ලන්ඩනයට ගෙන යනු ඇත. ඒ බකින්හැම් මාලිගයේ තැන්පත් කිරීම සඳහායි. 

අවමඟුල් පෙරහැර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය තෙක් යන මඟ.

• දේහය වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත ගෙන යාමේ පෙරහුරුවක්ද පැවැත්වෙනු ඇත. 

සැප්තැම්බර් 14 වැනිදා - බදාදා 

• මහ රැජිනගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම පිණිස වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දින හතරක් තැන්පත් කර තැබීම.
 

• දේහය පැමිණි මොහොතේ කැන්ටබරිහී ප්‍රධාන බිෂොප්වරයා විසින් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීම. 
• මෙහිදී එහි පැමිණ ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව සැලසෙයි. 

සැප්තැම්බර් 15 වැනිදා - බ්‍රහස්පතින්දා 

• දේහයට මහජන ගෞරව දැක්වීම ආරම්භ වෙයි. ඉරිදා තෙක් නොකඩවා සිදුවෙයි.‍ 

සැප්තැම්බර් 16 වැනිදා - සිකුරාදා 

• දේහයට මහජන ගෞරව දැක්වීම නොකඩවා සිදුවන අතර ලෝක රාජ්‍ය නායකයන් ගෞරව දැක්වීම සඳහා පැමිණීම ආරම්භ වීම. ‍ 

සැප්තැම්බර් 19 වැනිදා - සඳුදා 

• මහරැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී සිදුවෙයි. 
• මහරැජිනගේ දේහය රැගත් දෙණ ගජනා රියක තැන්පත් කොට නාවික භටයන් විසින් ඇද ගෙන යනු ලබයි. 
• රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨයන් ඒ පසුපසින් යනු ඇත. 
• මේ අවස්ථාව හා දේව මෙහෙය රූපවාහිනියෙන් විකාශය කෙරෙනු ඇත. 
• මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් මේ අවස්ථාවේ දී රටපුරා පැවැත්වෙනු ඇත. 
• රාජ්‍ය අවමංගල උත්සවයෙන් පසු එදිනම මහ රැජිනගේ දේහය රැගත් දෙණ ශාන්ත ජෝර් ජ් දේවස්ථානයට ගෙන යනු ඇත. 
• එදින සන්ධ්‍යාවේ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාගි වන පෞද්ගලික විශේෂ දේව මෙහෙයක් පැවැත්වෙනු ඇත. 
• අවසානයේ දී මහරැජිනගේ දේහය හයවන ජෝර්ජ් රජුගේ අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කෙරෙනු ඇත. 

 - පර් සි ජයමාන්න 


දන්නවාද? - දෙවන එලිසැබත් මහරැජින ගැන විස්මිත කරුණු

$
0
0

• දෙවන එලිසැබත් මහ රැජින මෙලොව හැර ගියේ 2022 සැප්තැම්බර් 8 වැනිදායි. ඒ ස්කොට්ලන්තයේ ඇබ’ඩීන් හි බැල්මෝරල් මාලිගයේ දියි. ඒ වන විට ඇගේ වයස අවුරුදු 96කුත් දින 214ක් වුණා. 

• මහ රැජින මෙලොව එළිය දුටුවේ 1926 අප්‍රේල් 21 වැනිදා, ඇගේ උපත සිදු වූයේ රජ මාලිගයක හෝ සිටු මැඳුරක නොවේ, මේ ෆෙයාර් නම් වූ සාමාන්‍ය තට්ටු නිවාසයකයි. ඒ ස්ථානයෙහි අද ඇත්තේ මිල අධික චීන අවන්හලක්. ඒ බිමේ වත්මන් අයිතිකරු අබුඩාබි කුමාරයෙක්. 

• මහ රැජිනට වසරකට උපන් දින දෙකක් තියෙනවා. එකක් ඇය උපන් අප්‍රේල් 21 වැනිදා. අනෙක නිල වශයෙන් උත්සවය පැවැත්වෙන උපන් දිනයයි. එය යෙදෙන්නේ ජූනි මාසයේ කාලගුණය හොඳට ඇති සෙනසුරාදා දිනයකටයි. 

• මහ රැජිනගේ රාජපදවිප්‍රාප්තිය සිදු වූයේ 1952 ප‍ෙබරවාරි 6 වැනිදායි. ඒ ඇගේ පියා වූ හය වැනි ජෝජ් රජතුමාගේ හදිසි අභාවය නිසයි. ඇයට ඔටුනු පැලඳවීමේ මෞලි මංගල්‍යය සිදුවූයේ 1953 ජූනි 2 වැනිදායි. බ්‍රිතාන්‍ය මහරැජින ලෙස ඔටුනු පලන් අවස්ථාවේදීම ‘කැනඩාවේ රැජින’ ලෙසත් ඇය අභිෂේක කරනු ලැබුවා. නිල වශයෙන් නම් කරනු ලැබූ එකම රැජිනිය ඇයයි. 

එලිසැබත් කුමරිය යුද සේවයේ සිටිය දී

• මහ රැජින වැඩිම කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දැරූ රාජකීයයා වන අතර එය අවුරුදු 70ක්. එතෙක් වැඩිම කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා වාර්තාවක් තබා සිටි වික්ටෝරියා රැජිනගේ රාජ්‍ය කාලය වූ අවුරුදු 63ට වඩා වසර 7ක් වැඩියි. 

• දෙවන එලිසැබත් මහරැජිනගේ උපත් නම එලිසැබත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය. එය ඇගේ මවගේ, ඇගේ සීයාගේ මවගේ හා ඇගේ පියාගේ මවගේ නම් එක්කොට සෑදුණ එකක්. ඇය කුඩා කල පවුලේ ඇය ඇමතූ සුරතල් නාමය ‘ලිලිබට්’ය. 

• රජ වූ පසු ඇගේ නිල නාමය “දේවාශිර්වාදය ලත්, දෙවන එලිසැබත් මහරැජින, මහා බ්‍රිතාන්‍යය හා උතුරු අයර්ලන්තය ඇතුළු එක්සත් රාජධානිය ප්‍රමුඛ ඇය සතු ප්‍රාන්ත රාජ්‍ය හා රාජධානිවල පාලකයා සහ පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රධානියා, ඇදහිල්ලේ ආරක්ෂකයා” (“Elizabeth II, by the Grace of God, of the United Kingdom of Great Britain and Northern Ireland and her other realms and territories Queen, Head of the Commonwealth, Defender of the Faith.”) 

• දෙවන එලිසැබත් මහරැජිනගේ වසර 70ක රාජ්‍ය කාලය තුළ සේවය කළ, සර් වින්ස්ටන් චර් චිල්, හැරල්ඩ් මැක්මිලන්, ඇන්තනි ඊඩ්න්, ඇලෙක්ස් ඩග්ලස් හියුම්, මාගරට් තැචර්, ඇතුළු බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 15 දෙනකු සමග සතිපතා රාජ්‍ය කටයුතු ගැන සාකච්ඡා කළා. ඒ සාකාච්ඡා කිසිවක් වාර් තා තබන්නේ නැහැ. ඒ පිළිබඳ කිසිම හෙළිදරවුවක් දෙපැත්තෙන් ම සිදු වන්නේත් නැහැ. 

1945 දී අගමැති වින්ස්ටන් චර් චිල් හය වන ජෝජ් රජු, බිසව, එලිසැබත් කුමරිය (වමේ) හා මාගරට් කුමරිය

• එලිසැබත් කුමරිය හත් හැවිරිදි වියේ දීම කුඩා නිවසක හිමිකාරි වූවාය. කුමරියගේ පවුල ඥාති ගෙවල්වල ඉන්නා බව දැනගත් වේල්ස ජනතාව ඇයට නිවසක් පරිත්‍යාග කළා. ‘ලිට්ල් කොටේජ්’ නම් වූ එය ඉදිකර තිබුණේ වින්ඩ්සර් රෝයල් ලොජ් පිටියේයි. 

• දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ දී ඇය ස්වේච්ඡා සේවයට බැ‍ඳ‍ෙන්නට පිය රජු කැමති කරවා ගෙන ට්‍රක් රියැදුරෙකු හා මෝටර් මිකැනික් කෙනකු ලෙස සේව‍ය කළා. රජ පවුලේ එවැන්නකට ගිය එකම කාන්තාව ඇයයි. ඒ නිසා ඇයට ‘ඔටෝ මිකැනික් කුමරිය’ කියා එකල නමක් පටබැඳ තිබුණා. 

• දෙවන එලිසැබත් මහරැජිනට බ්‍රිතාන්‍යය තුළ රියැදුරු බලපත්‍රයක් නොමැතිව වාහන පැදවිය හැකියි. ඇය 94 වියේදීත් තනිවම ඇගේ වාහනය පදවාගෙන අවශ්‍ය ගමන් බිමන් ගියා.

• මහරැජිනට විවිධ රටවලින් අමුතු අමුතු තෑගි පිරිනැමුණා. ඒ අනුව ඇය ඇතකුගේ, ජගුවරයකුගේ, යෝධ ඉබ්බන් දෙදෙනකුගේ හා ස්ලොත් (මන්දයන්) නමින් හැඳින්වෙන සතුන් ‍දෙදෙනකුගේ සාඩම්බර හිමිකාරියක්. ඇය ඒ සතුන් ලන්ඩන් සතුන් වත්තට පිරිනැමූ අතර ඔවුන් එහි යන එන අයට බලාගන්න පුලුවන්. 

• කොතරම් සාම්ප්‍රදායික වුනත් මහ රැජින විද්යුත් සන්නිවේදනය එහි ආරම්භයේ දී පාවිච්චියට ගත්තා. ඇගේ ප්‍රථම ඊමේල් පණිවිඩය යැව්වේ 1976 දීමයි. ඒත් ඇය ප්‍රථම ඉන්ස්ටග්‍රෑම් පණිවිඩය යැව්වේ 2019 දියි. 

• දෙවන එලිසැබත් රැජිනගේ මෞලි මංගල්‍යය සඳහා විශේ‍ෂයෙන් ඇඳි දිගු ගවුම අලංකාර ලෙස එම්බ්‍රොයිඩර් කර තිබුණේ ඒ වන විට ඇයගේ රාජ්‍යත්වය පැවති හා ඇය නායකත්වය දුන් පොදු රාජ්‍ය මණ්ඩල රටවල ජාතික සංකේතවලින්. ඊට කැනඩාවේ මේපල් කොළය, ස්කොට්ලන්තයේ තිස්ට්ල් මල, අයර් ලන්තයේ ඇඹුල් ඇඹිලිය කොළය, වේල්සයේ ලිලී, ඕස්ට්‍රේලියාවේ වැට්ල් මල, නවසීලන්තයේ මීවන ඉත්ත, පාකිස්ථානයේ තිරිඟු ඉත්ත, දකුණු අප්‍රිකාවේ සුගර් බුෂ් මල, ඉන්දියාව හා ලංකාව වෙනුවෙන් නෙළුම් හා මානෙල් මල් අයත් වුණා. 

ඔටුනු පැලඳූ දින රුජින පිලිප් කුමරු සමග.

• මහරැජින සුරතලයට බල්ලන් ඇති කළා. ඇය වඩාත් ප්‍රිය කෝගී යන සුනඛ වර් ගයටයි. මිය යන විටත් ඒ වර් ගයේ  සුනඛ සුරතලුන් හතර දෙනෙකු සිටියා. ඇය ‘ඩෝගී’ නම් නව දෙමුහුන් සුනඛ වර් ගයක් බිහි කිරීම ගැන ප්‍රසිද්ධයි. ඒ ඇගේ නංගී මාගරට්ගේ ඩෑෂ්හවුන්ඩ් හා ඇගේ කෝගී සුනඛයකු එක් කිරීමෙන්. 

• අශ්වයන් ඇති කිරීමත්, අශ්වයන් පිට යාමත් මහ රැජින ඉත්මත් ප්‍රිය කළ විනෝදාංශයක්. කෙන්ටුකි ප්‍රදේශයේ අශ්වයන් ඇති කිරීමට ගොවිපොළක් තියෙනවා. ඇගේ අශ්වයෙකු 2013 දී රෝයල් ඇස්කොට් කුසලාන දිනුවා. 

• මහ රැජිනගේ වල්ලභයා වූ පිලිප් කුමරු මුලින් හැඳින්වුණේ ‘ග්‍රීසියේ හා ඩෙන්මාකයේ පිලිප් කුමරු’ ලෙසයි. විවාහයට පෙර ඔහු හැඳින්වූයේ රාජකීය නාවික හමුදාවේ ලුතිනන් පිලිප් මවුන්ට්බැට්න්’ කියායි. රැජින සමඟ විවාහ වීමෙන් පසු ඔහුගේ නම ‘පිලිප් කුමරු, එඩින්බරෝ ආදිපාදවරයා, මෙරියනෙත් අර්ල්වරයා හා ග්‍රීන්විච් බැරන්වරයා’ වශයෙන් වෙනස් වුණා. 

• මහා බ්‍රිතාන්‍යයේ රජවරුන්ගේ පුද්ගලික ආදායම් බදුවලින් නිදහස් වුවත්, 1992 සිට මහ රැජින සිය ආදායමෙන් බදු ගෙවනවා. මේ සඳහා රාජකීයයන්ගේ ජීවන රටාවට එරෙහි ඇති මතවාදය හේතුවක් වුණා. 

• එන්ගලන්තයේ ලන්ඩනයේ බකිංහැම් මාලිගයට හා වින්ඩ්සර් බලකොටු මන්දිරය අමතරව මහ රැජිනට, ස්කොට්ලන්තයේ එඩින්බරෝවල, ඕස්ට්‍රේලියාවේ කැන්බෙරාවල, නවසීලන්තයේ වෙලින්ටන්වල, කැනඩාවේ කුබෙක් හා ඔටාවා නගර දෙකෙහිත් රාජකීය මන්දිර තියෙනවා. 

එලිසැබත් කුමරිය හා පිලිප් කුමරු හා විවාපත් වූ දා රජ පවුලේ ඥාතීන් සමග

• මහ රැජිනගෙන් පසු ඇගේ රාජ්‍යත්වය උරුම විය යුතු පිළිවෙළ ප්‍රකාශයට පත් කර තියෙනවා. දැනටමත් ඇගේ මරණයෙන් පසු ඇගේ වැඩිමල් පුත් චාල්ස් කුමරු තුන්වැනි චාල්ස් රජු ලෙස රජකමට පත් වී අවසන්. ඔහුගෙන් පසු ඔහුගේ වැඩිමල් පුතු විලියම් කුමාරයාටත් ඔහුගෙන් පසු 2013 දී උපන් ඔහුගේ වැඩිමල් පුතු ජෝජ් ටත් හිමිවෙනවා. ඒ අනුව රැජනගේ උරුමය ඔවුන් පැවරෙනවා. 

• මහ රැජිනට හා පිලිප් කුමරුට දරුවන් සිවු දෙනෙකු ඉන්නවා. ඔවුන් පිළිවෙළින් චාල්ස් කුමරු, ඈන් කුමරිය, ඇන්ඩෲ කුමරු හා එඩ්වඩ් කුමරු වශයෙන්. ඒ දරුවන් සිවු දෙනාටම දරුවන් දෙදෙනා බැගින් ඉන්නවා. ඒ අනුව රැජිනගේ මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකු ඉන්නවා. ඒ වගේ ම මහ රැජිනට දැන් මී මුනුපුරු මිනිපිරියන් හය දෙනෙකුත් ඉන්නවා. එයින් බාලම සාමාජිකයා 2019 දී මුනුපුරු හැරී කුමරුට හා මේඝන් ම’කල්ට ලැබුණු දරුවායි. 

• මහ රැජනගේ දේපළ මේ වෙන කොට ඇගේ දරුවන්ට ලබා දී අවසන්. දැන් ඇගේ පුද්ගලික වත්කම් ‍ඩොලර් මිලියන 500ක් වෙතැයි ගණන් බලා තියෙනවා. 

• දෙවන එලිසැබත් රැජිනට මුලින් සුබ පැතුම් පණිවුඩ හැමටම රජමාලිගයෙන් නත්තල් සුබ පැතුම් පත් යැවෙනවා. එහෙම යැවූ සුබපැතුම් පත් ගණන 50,000කට වැඩියි. 

• මහා බ්‍රිතාන්‍යයේ රජ පදවියට පත් හය වැනි කාන්තාව දෙවන එලිසැබත් රැජිනයි. 

• දෙවන එලිසැබත් රැජින රාජධානි 16ක් පාලනය කළා. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය 54කට නායකත්වය දුන්නා. 

• ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් මන්ත්‍රී මණ්ඩලය ඇමතූ ප්‍රථම බ්‍රිතාන්‍ය රාජිනිය දෙවන එලිසැබත් රැජිනයි. 

• දෙවන එලිසැබත් රැජින මාධ්‍ය සාකච්ඡාවලට ගියේ නැහැ. වසර 22ක් තිස්සේ බීබීසීය ඇය කැමති කරවා ගත්තා එකම එක සාකච්ඡාවකට. ඒ ඇගේ මෞලි මංගල්‍යය පිළිබඳ අදහස් දැක්වීමකටයි. 

• ‍රැජින ඔටුනු පැලඳීමට යොදා ගත් ඔටුන්න රාත්තල් පහක් බර එකක්. ඇය පසුව ඒ ගැන කියා තිබුණේ ‘ඒ ඔටුන්නේ බරට මගේ බෙල්ල කැඩෙන්න තරම්’ ආවා කියායි. 

• බ්‍රිතාන්‍ය කිරුළට උරුමකම් කියන පිරිමින් තුන් දෙනෙකු දැනට නම් කර තිබුණත් ඉදිරියේ දී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය නොසලකා එය සාධාරණව කිරීමට හැකි ‍සැලැස්මකට ඇය මියයන්නට පෙර අත්සන් කර තිබුණා. 

 - පර් සි ජයමාන්න 


එලිසැබත් මහ රැජිනගේ අබිරහස් ලිපියක් ඕස්ට්‍රේලියාවේ!

$
0
0

එංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජිනගේ අත් අකුරින් ම ලියූ අබිරහස් ලිපියක් ඕස්ට්‍රේලියාවේ තියෙනවා. දැනට ඕස්ට්‍රේලියාවේ ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ලේ වොලට්ටුවක ඉතා සුරක්ෂිතව තැත්පත් කර ඇති මේ අරුම පුදුම ලිපිය කුමක්ද? ඒ ලිපියේ ලියා ඇත්තේ කුමක්ද? 

එය කාටත් හොරා එතුමිය සිය අත් අකුරින් ම ලියා ඇති නිසා එහි සුවිශේෂ වැදගත්කමක් තිබිය යුතුය. එහි ඇති දේ කුමක් දැයි දැන ගැනීම අසිරු වී ඇත්තේ ඒ ලිපියේ කවරය විවෘත කිරීමට එතුමිය විසින් කාල තහංචියක් පනවා ඇති නිසාය. 

මේ අබිරහස් ලිපිය තැන්පත් කර ඇති සිඩ්නි නගරයේ 
ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ල.

දැන් ඔබ සිතාවි, මහ රැජින ඒ අබිරහස් ලිපිය තමාගේ මරණයෙන් පසු විවෘත කරන එකක් නිසා ඒ රහස දැන් අපට දැන ගත හැකි වේවි කියාය. අනාගතයේ දී විවෘත කිරීම සඳහා ලිපියක් ලියද්දී ඕනෑම කෙනෙකු සාමාන්‍යයෙන් කරන්නේ එයාගේ මරණින් පසු හෝ යම්කිසි සිද්ධියකින් පසු හෝ විවෘත කරන ලෙස තහංචියක් පැනවීමය. ඒත් මේ අමුතු ලිපියට මහ රැජින දින දී ඇත්තේ අරුම පුදුම විධියකටය. ඒ ලිපියෙන් අමතා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජනතාවට ය. එය විවෘත කරන්නට දින නියම කර ඇත්තේ තවත් අවුරුදු 63 කට පසුව එනම් 2085 වසරේ දී විවෘත කරන ලෙසට දැඩි තහංචියක් පනවමිනි. 

මහ රැජිනගේ ඒ අබිරහස් ලිපිය තැන්පත් කර ඇති විශේෂ වොලට්ටුව.
මහ රැජින විසින් ලියන ලද ඒ අබිරහස් ලිපිය. මෙය සිඩ්නි නගරයේ 
නගරාධිපතිතුමන්ට 1989 නොවැම්බර් 18 වැනිදා බාර දෙන ලද්දකි.

මහ රැජින මේ ලිපිය ලියා ඇත්තේ ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ල 1986දී සම්පූර්ණයෙන් ම අලුත්වැඩියා කිරීමෙන් පසුව ය. මේ ලිපිය දැනට නරඹන්නන්ට දැක බලා ගත හැකි වන පරිදි එහි වීදුරු ආවරණයක් සහිතව සුරක්ෂිතව තබා ඇත. එය‍ට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබේ. 

පැවසෙන පරිදි රැජිනගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවකු මෙහි අන්තර්ගතය කුමක් දැයි දන්නේ නැත. දැනට දැක ගත හැක්කේ ඒ ලිපිය මතුපිට එය විවෘත කිරීමට දැඩි උපදෙස් සහිතව රැජින සිය අත් අකුරින් ම ලියා ඇති කොටස පමණි. එහි රැජින සිය අත්සන යොදා ‘ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයේ අතිගරු නගරාධිපතිතුමා වෙත’ කියා ලියා තිබේ. 

එහි ඒ ඇමතුමට යටින් මෙසේ ලියා තිබේ‍ : ‘සුබ පැතුම්. ක්‍රි. ව. 2085 දී ඔබ විසින් තීරණය කරන දිනයක මේ කවරය විවෘත කර මෙහි ඇති මගේ පණිවිඩය සිඩ්නි නගරවාසීන් වෙත ප්‍රකාශ කරන්න.’ 

මේ ක්වීන් වික්ටෝරියා ගොඩනැඟිල්ල මුලින් ම විවෘත කරනු ලැබුවේ 1898 දීය. ඒ වික්ටෝරියා මහ රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙනි. එහෙත් පසුව ඒ පැරණි ගොඩනැඟිල්ල කඩා දමා එහි උද්‍යානයක් හා රථගාලක් ඇති කිරීමට සැලැස්මක් 1959 දී යෝජනා කෙරුණත් එය අවලංගු කර 1986 දී සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. මේ අබිරහස් ලිපිය මහ රැජින විසින් සිඩ්නි නගරයේ නගරාධිපතිතුමන්ට බාර දෙනු ලැබුවේ 1986 නොවැම්බර් 18 වැනිදාය. 

මහ රැජින මුලින් ම 27 හැවිරිදි වියේ දී 
සිදු කළ 1954 ඕස්ට්‍රේලියානු සංචාරයේ දී
මහ රැජිනගේ අවසන් සංචාරයේ දී 
කොආලා වලසුන් දැක බලාගත් අවස්ථාව.

දෙවන එලිසැබත් මහ රැජින මුලින් ම ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදුණේ 1954 දීය. එදා සිඩ්නි නගරයට පළමු වරට පා තබන විට ඇගේ වයස අවුරුදු 27ක් විය. එහි සැපත් පළමු බ්‍රිතාන්‍ය අධිරාජයා ඇය වූවාය. ඉන් පසු ඇය 16 වතාවක් ඕස්ට්‍රේලියාවට ගොස් ඇත. ඒ කාලයේ වාර්තා අනුව දෙවන එලිසැබත් මහ රැජින හා ඇගේ වල්ලභයා වූ එඩින්බරෝ ආදිපාදයන් මහත් ප්‍රීති ඝෝෂා මැද මිලියනයක් ජනතාව විසින් පිළිගත් බව සඳහන් ය. මහ රැජිනගේ ඊළඟ සංචාරය යෙදුණේ ඕස්ට්‍රේලියාවේ අගනුවර වූ කැන්බෙරා නගරයේ 50 වස් සැපිරූ ජුබිලි උළෙලට සහභාගිවිම සඳහාය. ඉන්පසු එතුමිය ඕස්ට්‍රේලියාවට පැමිණියේ 1970 දීය. ඒ කපිතන් ජේම්ස් කුක් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ගොඩ බැසීම නිමිති කොට පැවති දෙසිය වැනි සංවත්සරයට සහභාගි වීම පිණිසය. මෙසේ ඕස්ට්‍රේලියාවට යන අවස්ථා දෙක තුනක දී මහ රැජින ශ්‍රී ලංකාවට සැපත් වී තිබේ. 

- පර්සි ජයමාන්න 

 ‍



Viewing all 1101 articles
Browse latest View live