Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all 1091 articles
Browse latest View live

85 වියට පා තැබූ අපූරු මැවුම්කරුවා - තලන්ගම ජයසිංහ

$
0
0

මගේ ජීවිතයේ 76 වසරක කාලය තුළ මා පත්‍රකලාවේදීන් සිය ගණනක් ඇසුරු කර තියෙනවා. ඒත් සැබෑවටම පත්‍රකලාවට ආදරය කළ, ජනතාවට ඉටු කළ යුතු මෙහෙවර සත්‍යවාදීව, අවංකව ඉටු කළ අය ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු ගණනකි. ඒ පත්‍රකලාවේදීන් අතරත් කොන්ද කෙළින් තියා ගෙන වැඩ කළ අය ඇත්තේ ද ඊත් අඩු ගණනකි. තලන්ගමට හිමි වන්නේ එහි ඉහළම තැනකි. ඔහු කිසිදාක පත්තර අයිතිකරුවන්ටවත්, දේශපාලනඥයන්ටවත්, ධනවතුන්ටවත්, කර්තෘලාටවත්, ඔහුගේම හිතවතුන් වෙනුවෙන්වත් ‘කඩේ ගියේ’ නැත. ඔහු ‘කඩේ ගියේ’ සමස්ත පාඨක ජනතාව වෙනුවෙන් පමණය. 

තලන්ගම ජයසිංහ

ලේක්හවුසියේ සේවය කළ කාලයේ ඔහු දැඩි නිදහස් මතධාරියකු වුණා. හිතුවක්කාරයකු වුණා. ලොකු ලොක්කන්ට පන්දම් ඇල්ලූ කර්තෘලාට අවශ්‍ය විධියට ඔහුගේ තෙලි තුඩවත්, පෑනවත් හැසිරවූයේ නැහැ. ඒ නිසා අලුතින් ලේක්හවුසියට එක්වූ අප වැනි අංකුර පත්‍රකලාවේදීන්ට ඔහු පරමාදර්ශයක් වුණා. ලේක්හවුසියේ සේවයට ගිය පසු රාජකාරි කටයුත්තක් නැති හැම විට ම වාගේ මා කාලය ගත කළේ ජනතා පත්‍රයේ ඔහු චිත්‍ර මේසය අසල වූ පුටුවේය. ඒ, ඔහු තෙලිතුඩින් රූපයක් මවනු බලා සිටින්නට ආසා කළ නිසාය. මා ඒ දවස්වල ඔහු දුටුවේ අපූරු මැවුම්කරුවකු ලෙසයි. නිතර ඔහු ඇසුරු කළ නිසා නොදැනුවත්වම ඔහු දැරූ නිදහස් අදහස් මා තුළ ද ලැගුම් ගත්තා. ඒවා මගේ පත්‍රකලා ජීවිතයට ලොකු පිටිවහලක් වුණා. 

‘සරසවිය’ ඇරඹූ මුල් කාලයේ ම වාගේ ඒ කාර්ය මණ්ඩලයට එක්වූ මා ලේක්හවුසියේ මුලින්ම හඳුනාගත්තේ එඩ්වින් ආරියදාස මහතාය. ඊළඟට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාය. ඊළඟට මා සොයා ගෙන ගොස් කතාබහ කර හඳුනා ගත්තේ තලන්ගමවයි. අද ඒ මුල්ම මිතුරන් දෙදෙනා අප අතර නැතත් තලන්ගම අපේ හා ජාතියේ වාසනාවට ඔහුගේ දිවියේ 85 වැනි වසර පසු කරමින් පාඨක ජනතාවට නිර්මාණ දායකත්වය සපයමින් ජයග්‍රාහී ගමනක යෙදී සිටිනවා. අප ඔහුට දීර්ඝායු පතනවා. 

තලන්ගම සිය චිත්‍රාගාරය තුළ

මා ‘සරසවිය’ පත්‍රයේ සේවය කරද්දී තලන්ගම ‘මඩිස්සලේ’ කියා කවි පන්තියක් සතිපතා සැපයුවා. අතිශය උපහාසාත්මක වූ ඒ කවි පන්තිය ඔස්සේ ඔහු සමාජයේ දුර්වල තැන්වලට පහර දුන්නා මට අද වගේ මතකයි. උපහාසය හා හාස්‍යය මුසු කර කවි ලියන්නට ඔහු දැක්වූයේ අපූරු හපන්කමකි. ඔහු සරසවිය කතු විමලසිරි පෙරේරා මහතා හමු වී ඒ කවි පෙළ දුන් විට එය මුලින් ම රසවිඳින්නේ එතුමායි. ඒ අවස්ථාවේ එතුමාගේ සිනා හඬ අසන අප එදෙස බැලූ වීට අතින් අප කැඳවා ඒ කවිය රහ කර ගායනා කරමින් අපටද එහි රසය බෙදයි. 

තලන්ගමගේ අත් අකුරින් ම ලියූ මේ කවි දෙක අපේ සමාජයේ අනුවණ ක්‍රියාකාරකමක් එල්ල කර ගෙන නිර්මාණ කළ එකක්. තලන්ගමගේ උපහාසයේ තරම මෙයින් මැන ගත හැකියි. 


‘ජාතිය’ පත්‍රයේ කතුවරයා වූ වෝල්ටර් සිරිමාන්න මහතා එය වසා දැමීමෙන් ජනතා පත්‍රයට සම්බන්ධ වී සිට විශ්‍රාම ගත් අවස්ථාවේ දී සමුදීමේ සාදය පැවැත්වූයේ ‘ප්‍රෙස් ක්ලබ්’ එකේදියි. තලන්ගම එහි විත් උපහාස රසයෙන් අනූන කවි පෙළකින් අප රසවත් කළ අන්දම මට අද වගේ මතකයි. පත්‍ර සහෘදයන් හැමෝම බඩවල් අල්ලා ගෙන සිනාසුණ අතර සිරිමාන්න මහතාත් ඔවුන් සමග සිනාසුණද ඒ අවස්ථාවේ උද්දාමයට පත්ව සිටි නිසා එතුමාට එහි වූ උපහාසය ටක්කෙටම වැටහුණේ නැත. පසුව රසවිඳින්නට ඒ කව්පෙළ සිරිමාන්න මහතාටත් අවශ්‍ය වුණත් ඒ ආසාව ඉටු වුණේ ද නැත. ඒ කව් පෙළේ පද දෙකක් පමණක් මගේ මතකයේ ති‍යෙනවා. ඒ මෙසේයි.

‘නැතිවෙනකම්ම ජාතිය කතුකම          දැරුව 
මැති සඳ පෙනේ පුටු කබලක් මෙන්       දිරුව’ 

“මං මේ දැන් මහරගම හිටියට උපන්නෙ තලන්ගමයි. මං උපන් ගමට හරිම ආදරෙයි. ඒ හින්දයි මං ගමේ නම මගේ කර ගත්තෙ. දැන් මං මගේ ගමේ නම යන යන තැන අරන් යනවා!” තලන්ගම මට ඔහුගේ පුංචි කාලෙ විස්තර කියන්න පටන් ගත්තේ ඉදුණු පොල් අඹ මල්ලකුත් අරන් මීට වසර පනහකට විතර ඉස්සර ඔහු බැහැ දකින්නට මහරගම විද්‍යාකර මාවතේ පිහිටි නිවහනට ගිය අවස්ථාවේ දීය. “ අද වාගේ නෙවෙයි ඒ කාලේ ඒ පරිසරයෙ තිබුණු නිස්කලංක කමට මං හරි ආසයි. අපි පුංචි කාලේ දියවන්නා ඔයේ ඉවුරු අතර එහා මෙහා පීනමින් විනෝද වුණු හැටි මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. මට සහෝදරියන් තුන් දෙනයි, සහෝදරයන් දෙන්නයි හිටියෙ. මං අවුරුදු තුනේදී ඉස්කෝල ගමන ඇරඹුවේ, ඒ පැලවත්තේ විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසැලෙන්.” තලන්ගම කුඩා කළ මතක් කළේ එහෙමයි. 



තලන්ගම උපන්නේ 1936 ජූලි 5 වැනිදා ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ නමිනුයි. ඔහුගේ තාත්තා ජෝර්ජ් ඇල්බට් ජයසිංහයි. ඒ නම සුද්දන්ගේ පාලන කාලේ දාපු නමක් නිසා ඔහු ඒකට කැමැත්තක් දැක්වුවෙ නෑ. ඒත් තාත්තා මිය යනතුරු ඒ නම පාවිච්චි කළ ඔහු 1955 දී තාත්තා මිය ගියාට පසු ඒ නම හලලා දාලා. ‘තලන්ගම ජයසිංහ’ වුණා. 

තලන්ගම පුංචි කාලේ ඉඳලම කවියට දක්ෂයි. ඔහු පාසල් යන කාලේ ළමා සඟරාවලට, පත්තරවල ළමා පිටුවලට කවි නිර්මාණ යැව්වේ ඊට අදාළ චිත්‍රයකුත් එක්කයි. චිත්‍රයක් යවන හැම විට ම ඊට අදාළ කවි පදයකුත් යටින් ලියලා යැව්වා. ඒ හැම එකක් ම පත්තරවල පළ වූ නිසා ඔහු තවත් අඳින්න ලියන්න දිරිමත් වුණා. ඒ කාලේ ඒවා පළ වූයේ තලන්ගම තිලක ජයසිංහ කියලයි. පස්සේ ඒ ‘තිලකය’ත් හලලා තමයි, ‘තලන්ගම ජයසිංහ’ වුණේ. අද මුළු ලංකාවමත් ලෝකය පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයනුත් ඔහුව හඳුන්වන්නේ ඔහුම ඔහුගේ කාටුනයට යොදා ගන්නා ‘තලන්’ කියන ආදර නාමයෙනුයි. 

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තලන්ගම ලලිත කලාවන් ඉගෙනීමට එකල තිබුණු එකම තැන වූ හේවුඩ් ආයතනයට ගියේ තමන් සහජයෙන් ලද දස්කම් ඔප මට්ටම් කර ගන්නයි. ඒ 1951 දී. පස් අවුරුදු පාඨමාලාවකට බැඳුණද ඔහුගේ දක්ෂතා හඳුනා ගත් ගුරුවරුන් ඔහු දෙවරක් ම ‘ඩබල් ප්‍රොමෝෂන්’ දුන්නා. ඒ නිසා අනිත් අයට වඩා කෙටි කලෙකින් ඔහු ඒ පාඨමාලාව සම්පූර්ණ කළා. ඔහු එහිදී ඉගෙන ගත්තේ චිත්‍රවලට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයයි. ඒ හැරෙන්නට නිවාස සැලසුම් කිරීම ගැනත් ඉගෙන ගත්තා. ඒ සමගම ඔහු මරදානේ ‘ටෙක්නිකල් කොලීජීය’ටත් ගියා චිත්‍ර කලාවේ තාක්ෂණික පැත්ත හදාරන්න. 

ඉගෙන ගන්නා අතරම ඔහු වෙළඳ දැන්වීම් ආයතන කීපයකම රැකියාවට ගියේ ඉගෙන ගන්න හා ජීවත් වෙන්න අවශ්‍ය බර පැන සොයන්නයි. “ඒ වෙන කොට මගේ නංගිලා දෙන්නෙක් ඉගෙන ගන්නවා. ඒ අයගේ කටයුතු ගෙන බලන්න වුණෙත් මට. මුලින් ම වැඩ කරපු තැන පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ විදියට ඉගෙන ගන්න ගමන් මං දැන්වීම් ආයතන පහකට වැඩ කළා.” ඔහු අතීතය මෙනෙහි කළේ එහෙමයි. 

ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳ ගෙන දිනමිණ කන්තෝරුවට ගියා. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතායි. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළා. විලේගොඩ මහතා නිර්මාණය දෙස බලා, “ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු” කියා බාර ගත්තා. ‘චිත්‍රා’ නමින් දිනමිණ පත්‍රයේ පළ වූ මුල්ම චිත්‍රකතාව එයයි. 1954දී. ඔහු ඒ වන විට 18 හැවිරිදි තරුණයෙක්. 

චිත්‍රකතා ලෝලයන් අතර තලන්ගම වෙනම නමක් තියාගෙන ඉන්නවා. සිළුමිණ පත්තරේට ඔහු නිර්මාණය කළ ‘ඇටසැකිල්ල’ අඳින කාලේ ‘සිළුමිණ’ පත්තරේ කර්තෘ මණ්ඩලයට එක්වීමට මටත් අවස්ථාව ලැබුණා. එහිදී ඔහුගේ ‘මිනිස් දඩයම’ චිත්‍රකතාවට කතාවෙන් දායක වීම හැකි වුණා. 

තලන්ගම ‘සිළුමිණ’ පත්‍රයට ආවේ 1956දි චිත්‍ර ශිල්පියෙකු හැටියටයි. ඒ අවුරුදු 19දියි. ‘සිළුමිණ’ පත්‍රයේ සේවයෙන් පසු ඔහු ලේක්හවුස් චිත්‍රකතා ප්‍රකාශනය වූ ‘මධුර’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගොස් 18 වසරක් එහි සේවය කළා. 1998න් ඉන් විශ්‍රාම ගත් පසුත් දිගටම 2005 වනතුරු චිත්‍රකතා ඇන්දා. ඒ වන විට ඔහු චිත්‍රකතා 72කට වඩා නිර්මාණය කරලා තියෙනවා. 

තලන්ගමගේ පත්‍රකලා ජීවිතයේ ස්වර්ණමය කාල‍ය එළඹී ඇත්තේ දැන් යැයි මට හිතෙනවා. බැඳීම් වලින් මිදී ඔහු කියන්න කැමති දේ කැමති විදියට කියන්න දැන් ඔහුට අවස්ථාව සැලසී තියෙනවා. ඒ ‘ලංකාදීප’ පත්‍රයේ ‘පලාමල්ල’හා ‘ඒතුමා’ යන කාටූන් ඔස්සේයි. ඒ වගේම ඔහුගේ කාව්‍ය උපහාසය ද ‘අනේද කියන්නේ’ සිවුපද හතරෙන් විඳ ගන්න අපට පුලුවන්. ඒවා තුළින් දේශපාලනය ගැන ඔහු දරණ දෘෂ්ටියත්, ඔහුගේ උපහාසය තරාතිරම නොබලා එල්ල කරන හැටිත්, ඔබට දැන් දැක ගන්න පුලුවන්. පුවත්පත් නොබැලුවත් ඒවා උදේ පත්තර ගැන කියන රූපවාහිනී නාලිකාවලිනුත් ඔබට හැමදාම උදේට ඒවා රස විඳිය හැකියි. 

බොහෝ දේශපාලන කාටූන්කරුවන් චිත්‍රශිල්පය ප්‍රගුණ කළ අය නොව‍ෙයි. ඒ නිසා තලන්ගමගේ චිත්‍ර වෙන්වෙලා කැපිලා පේනවා. ඔහුගේ විකට චිත්‍රවල උපහාසය හා හාස්‍යය නොඅඩුව තියෙනවා. ඒ වගේම ඒ චිත්‍රවල පරිපූර්ණත්වයකුත් දැක ගන්න පුලුවන්. ඔහු නිර්මාණය කරන චරිතවල ප්‍රාණවත් භාවයත් උපහාසය තරම්ම හොඳට මතු කරනවා. 1931 ජී. එස්. ප්‍රනාන්දුගෙන් ආරම්භ වුණු දේශීය පුවත්පත්වල දේශපාලන කාටූන් කලාවේ කූටප්‍රාප්තිය සලකුණු කරන තලන්ගම පසුගිය දා 85 වියට පා තැබුවත් ඔහු අඳින චිත්‍ර හා රේඛා ඉන් මැවෙන රූප 18 වියේදී ඔහු ඇඳි රූප තරම්ම තරුණයි. ඔහුට තව තවත් මේ සද් කාර්යයෙහි නිරත වීමට හේතු වාසනා වේවා. අපටත් ඒවා රස විඳින්නට වාසනාව උදා වේවා! 

 - පර්සි ජයමාන්න


රොකටයක් නැතිව උඩුගුවනට යන බිලියනපති බ්‍රැන්සන්ගේ විස්මිත ගමන

$
0
0

බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන් (Sir Richard Branson), ඔහුගේ ඇමෙරිකාවේ පිහිටි 'වර්ජින් ගැලැක්ටික්' (Virgin Galactic) සමාගම නිපදවූ සුවිශේෂ සුපර්සොනික් ගගන යානයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වෙනවා. ඔහු මේ හදන්නේ ලෝකයේ ධනවතුන්ට අභ්‍යවකාශ සංචාර සූදානම් කරන්නයි. මේ සඳහා අභ්‍යවකාශ නියමුවකුට අවශ්‍ය විශේෂ පුහුණු වීමක් අවශ්‍ය වන්නේ නැහැ. එක ගමනකට අවශ්‍ය වන්නේ ඇමරිකන් ඩොලර් ලක්ෂ දෙකහමාරක් විතරයි. 

බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන්

70 හැවිරිදි වියේ පසුවන සර් රිචඩ් බ්‍රැන්සන්ගේ මේ ගමන සැලකෙන්නේ අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය සහ පෞද්ගලිකකරණය කිරීමේ පළමු පියවර ලෙසයි. මේ ඉරිදා ඇමෙරිකාවෙන් පිටත් වන ඔහු ‘අභ්‍යවකාශගාමියා අංක 001’(Astronaut 001) ලෙස නම් කර ඇති අතර ඔහු සමග මේ වතාවේ දී උඩුගුවනට යන වර්ජින් ගැලැක්ටික් ප්‍රධාන අභ්‍යවකාශගාමිනිය වූ බෙත් මෝසස්(Beth Moses) අංක 002 ලෙසත්, ප්‍රධාන ක්‍රියාන්විත ඉංජිනේරු කොලින් බෙනට්(Colin Bennett) අංක 002 ලෙසත්, රාජ්‍ය කටයුතු බාර උප සභාපතිනිය වූ සිරිෂා බන්ද්ලා (Sirisha Bandla) අංක 003 ලෙසත් නම් කර තියෙනවා. ඔවුන් සමග ‘වීඑස්එස් යුනිටි අභ්‍යවකාශ යානයේ නියමුවන් දෙදෙනා වන ඩේවිඩ් මැකේ හා මයිකල් මසුචි ද යනවා ඇති. 

ඒ අනුව, ඉදිරියේ දී 'වර්ජින් ගැලැක්ටික්'සමාගමේ උඩුගුවන් සංචාර මගින් අතමිට සරු ඕනෑම අයකුට අභ්‍යවකාශ සංචාරකයන් ලෙස උඩු ගුවනට ගොස් ආපසු පැමිණීමට ඉඩ ලැබෙනවා ඇති. මෙයින් අභ්‍යවකාශ ගමන් බිමන්වල නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති. 

‘වයිට් නයිට් ටූ’ ජෙට් යානය වීඑස්එස් යුනිටි යානය ඉහළට ගෙන යන අයුරු

මේ වනවිටත්, දින දෙකක කෙටි පුහුණුවකින් පසු, 'වර්ජින් ගැලැක්ටික්'සමාගම සමඟ එක්වෙමින් ගගන සංචාරවල නියැළීමට ලොව කෝටිපතියන් 600 කට වැඩි පිරිසක් මුදල් ගෙවා ලියාපදිංචි වී සිටින බව වාර්තා වෙනවා.. 'වර්ජින් ගැලැක්ටික්'සමාගම ගගන සංචාරය සඳහා ටිකට්පතක් අලෙවි කරන්නේ ඇමෙරිකන් ඩොලර් 250,000කටයි. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කෝටි 5ක් පමණ වෙනවා. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන් ජූලි 11 වැනි දා, ඉරිදා, (එනම් ශ්‍රී ලංකාවට සාපේක්ෂව 12 වැනිදා) කාලගුණය හරස් නොවුනහොත් සැලසුම් කළ පරිදි ගමන සිදුවනු ඇති බව බ්‍රැන්සන් මාධ්‍යයට පැහැදිලි කර තිබෙනවා. 

අභ්‍යවකාශය බලා යන බ්‍රැන්සන් (දකු‍ණේ සිට තෙවැන්නා) ප්‍රමුඛ 'යුනිටි 22'කණ්ඩායම

සර් රිචඩ් බ්‍රැන්සන් 2004 වසරේ දී 'වර්ජින් ගැලැක්ටික්'සමාගම යන නමින් අභ්‍යවකාශ සමාගමක් ආරම්භ කළේ ලොව ඕනෑම කෙනකුට ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට ඉඩ සලසා දීමේ අරමුණින්. 

බ්‍රැන්සන් මේ ගමනට සාමාන්‍යයෙන් භාවිත කරන ආකාරයට දැවැන්ත රොකටයක් පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී උඩුගුවන වෙත යාමට ඔහු යොදා ගන්නේ අපේ ජනකතාවක එන ‘කොකුන් දෙදෙනා ඉබ්බා අහසින් ගෙන ගිය’ ක්‍රමයයි. ඒ ක්‍රමයට අභ්‍යවකාශ යානය උඩුගුවනට ඔසවා ගෙන යන්නේ ‘වයිට් නයිට් ටූ’ (WhiteKnightTwo) නම් විශේෂයෙන් තනන ලද ජෙට් ගුවන් යානයෙන්. එය මීටර 15,240ක් (අඩි 50,000ක්) ඉහළ අහසට ගෙන ගොස් මුදා හරිනවා. ඔවුන් මෙවර ගෙන යන ‘ස්පේස්ෂ්ප්ටූ’ (SpaceShipTwo) යානය හඳුන්වා ඇත්තේ ‘විඑස්එස් යුනිටි’ (VSS Unity) කියායි. එය ඉහළට ගෙන යන යානය හඳුන්වා ඇත්තේ ‘වීඑම්එස් ඊව්’ (VMS Eve) කියායි.

වර්ජින් ගැලැක්ටික් ප්‍රධාන අභ්‍යවකාශගාමිනිය වූ බෙත් මෝසස්

ප්‍රධාන ක්‍රියාන්විත ඉංජිනේරු කොලින් බෙනට් 

රාජ්‍ය කටයුතු බාර උප සභාපතිනිය වූ සිරිෂා බන්ද්ලා 
ගමනට එක් වන ඉන්දීය යුවතියයි

'වර්ජින් ගැලැක්ටික්'සමාගම වසර ගණනක් තිස්සේ අත්හදා බැලීම් කරමින් නිර්මාණය කළ සුපර්සොනික් ගගන යානය හැඳින්වෙන්නේ 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි'කියායි. මෙය බොහෝ දුර ජෙට් ගුවන් යානයකට සමානයි. මෙය පෘථිවියේ සිට උඩු ගුවනට තල්ලු කරමින් රැගෙන යෑම සිදුවන්නේ මවු යානයක් මගිනි. එය හැඳින්වෙන්නේ 'ඊව්'යන නමිනි. 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි'යානයටත් 'ඊව්'මවු යානයටත් වෙන වෙනම නියමුවෝ දෙදෙනා බැගින් ඉන්නවා. 

නියමුවන් දෙදෙනාට අමතරව, වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානයේ ගගන සංචාරකයන් සඳහා ආසන 6 කි. සෑම ආසනයක් ළඟම විශාල වීදුරු ජනේල දෙකක් ඉහළින් හා පැත්තෙන් ඇත්තේ අවට සිරි නැරඹීම සඳහායි. 

වර්ජින් මවු යානය 'ඊව්'යානය පැයට සැතපුම් 2,300 ක වේගයකින් අඩි 50,000 ක් උඩු ගුවනට ගොස් එහිදී වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය මුදා හැරීම සිදු කරනවා. මේ සඳහා මිනිත්තු 45 ක් ගතවෙනවා. අනතුරුව 'ඊව්'යානය ආපසු පෘථිවිය බලා එනවා. එතැන් සිට ක්‍රියාත්මක වී අභ්‍යවකාශයට යන වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය කක්ෂයේ මඳ දුරක් ගොස් යළි පෘථිවිය බලා එනවා. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය යොදා ගනිමින් ආපසු එන මේ යානය ඇන්ජින් පණ ගන්වන්නේ පෘථිවියට ළං වූ විටයි. ඉන්පසු එය සාමාන්‍ය ගුවන් යානයක් ලෙස ගොඩබෑම සිදු කරනවා. 

ගමනට සැරසෙන අයුරු පහත වීඩියෝවෙන් බලන්න


මෙම ඓතිහාසික ගමන සජිවීව වෙබ් නාළිකා ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා තියෙනවා. මේ ඓතිහාසික අභ්‍යවකාශ ගමන සම්බන්ධ සියලු තොරතුරු සජීවී ලෙස ලොව සැමට විස්තර ප්‍රචාරයට තෝරා ගෙන ඇත්තේ කරන්නේ ප්‍රහසන නළු ස්ටීවන් කොල්බර්ට්ය. ඊට අමතරව, ග්‍රැමී සම්මානලාභී ගායන කලීඩ් නව ගීතයක් නිර්මාණය කර ඇති බවත්, වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය ආපසු පෘථිවියට පැමිණෙද්දී ඔහු එය ගායනා කරනු ඇති. 

අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් 'කාමන් සීමාව'පසු කිරීමයි. මෙම සීමාව පිහිටා ඇත්තේ කි.මී. 100 කට ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. 'කාමන් සීමාව'එනමින් හැඳින්වෙන්නේ හංගේරියානු ඇමෙරිකානු ගගන ඉන්ජිනේරුවකු මෙන්ම භෞතික විද්‍යාඥයකු ද වන තියෙඩෝර් කාමන්ට ගරු කිරීමක් ලෙසයි.

‘වීඑස්එස් යුනිටි අභ්‍යවකාශ යානය ‘වීඑම්එස් ඊව්’ ජෙට් යානයෙන් වෙන්වී යන අයුරු

'කාමන් සීමාව'පසු කරද්දී, ශුන්‍ය ගුරුත්වයේ බලපෑම සියල්ලන්ටම දැනෙන අතර ඔවුන්ට පාවීමේ අත්දැකීම විඳ ගත හැකියි. මෙම අපූරු අත්දැකීම විඳ ගැනීම සහ ඉහළ සිට දීප්තිමත් නිල්වන් පෘථිවිය සියැසින් දැක ගැනීමට සැලැස්වීම මෙම ගගන සංචාරවල අරමුණ වෙයි. මෙම අභ්‍යවකාශ සංචාරයේ දී, මිනිත්තු 10 කට හෝ 12 කට සීමා වන ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගත හැකි වෙනවා. 

සර් රිචඩ් බ්‍රැන්සන් සමග මෙම ගමනට එක්ව උඩු ගුවනට පිරිස 6 කි. ඔවුන් 'යුනිටි 22'යනුවෙන් හැඳින්වෙනවා. මේ පිරිසට කාන්තාවන් දෙදෙනකුත් ඇතුළත් වෙනවා. ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු තරුණියක වීම විශේෂත්වයකි. ඇය ශ්‍රීෂා බන්දාලායි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලිගු බස කතා කරන්නියක්. ඉන්දියාවේ උපන් ඇය හැදී වැඩුණේ ඇමෙරිකාවේයි. රාජ්‍ය කටයුතු සහ පර්යේෂණ මෙහෙයුම් බාර වර්ජින් ගැලැක්ටික් සමාගමේ උප සභාපතිනිය ඇයයි. කල්පනා චෞලාගෙන් පසු ඉන්දියාවේ උපත ලැබූ තරුණියක අභ්‍යවකාශයට යෑම ඉන්දියාවට මහත් ආඩම්බරයකි. ඒ අනුව, චෞලාගෙන් පසු දෙවැනියට අභ්‍යවකාශයට යන්නේ ශ්‍රීෂා බණ්ඩායි. ඉන්දීය සම්භවයක් ඇති, ඇමෙරිකාවේ උපන් රාඛේෂ් ශර්මා සහ සුනීතා විලියම්ස් ද අභ්‍යවකාශයට ගිය අනෙක් ඉන්දියානුවන් වෙනවා. 

ශ්‍රීෂා මෙම ගමනට එක් වන්නේ විද්‍යාඥවරියක සහ පර්යේෂිකාවක ලෙසින්. ඇය ශුන්‍ය ගුරුත්වයේ බලපෑම කෙසේ සිදුවන්නේදැයි ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලය වෙනුවෙන් පර්යේෂණ දත්ත රැස් කරනු ඇති. අනෙක් තැනැත්තිය වූ බෙත් මෝසස් වර්ජින් ගැලැක්ටික් සමාගමේ ගගනගාමීන් පුහුණු කරන ප්‍රධාන පුහුණුකාරියයි. 2019 වසරේ වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය අත්හදා බලද්දී ඇය එහි නැගී අභ්‍යවකාශයට ගොස් අත්දැකීම් ඇත්තියක්. 

- පර්සි ජයමාන්න

 

නස්රුදින් ඒකාධිපති හමුදා නායකයාට ජනතාව වෙනුවෙන් දුන් විසඳුම!

$
0
0

ඉස්සර කාලේ දවසක අතර මං වෙච්ච හමුදා භට කණ්ඩායමක් හදිසියේ ම නස්රුදින් උන්නු ගමට ආවා. අතරමං වෙලා ආවට එ් හමුදා කණ්ඩායමටත් නියෝග දෙන්නත්, ඒ වගේම මඟ පෙන්වන්නත් නායකයෙක් හිටියා. හමුදා කණ්ඩායමක් ආ විත්තිය දැනගත් මිනිස්සු එකා දෙන්නා කඩමණ්ඩියට රැස් වෙන්න පටන් ගත්තා. මුලින් ආ වැසියකුගෙන් හමුදා නායකයා ඇහුවා, ‘මෙහේ හමුදාවක් තියෙනවද?’ කියලා. ‘තමන් කවදාවත් එහෙම එකක් ගැන අහලා නෑ’ ඒ වැසියා‍‍‍‍ කිව්වා. 


ඊට පස්සෙ ඉදිරියට ආව හමුදා නායකයා කඩමණ්ඩියට රැස් වෙච්ච සෙනඟට මහ හඬින් මෙහෙම කිව්වා. 

‘අපි ආ‍වේ උඹලාට ආරස්සාව දෙන්නයි. ඒ හින්දා අපට නවාතැන් සපයපල්ලා! අපේ අශ්වයන්ට කෑම දීපල්ලා! අපට කෑම සූදානම් කරපල්ලා!’ හමුදා නායකයා අණ දුන්නා. 

ජනතාවට ඒ ගැන නියම අදහසක් තිබුණේ නෑ. ඔවුන් ආගන්තුක සාත්කාරය ගැන දන්නා නිසා ඔවුන්ට නවාතැන් සැපයුවා. අශ්වයන්ට කෑම දුන්නා. ඉල්ලන ඉල්ලන දේවල් ගෙනත් දුන්නා. 

‘ඉස්සර නුඹලාට ආරක්ෂාවක් තිබුණේ නෑ. අපි ඇවිත් නුඹලාට ආරක්ෂාව දුන්නා. දැන් නුඹලාගේ ආරක්ෂාව අපි සම්පූර්ණයෙන් ම සහතික කරලයි තියෙන්නෙ.’ හමුදා නායකයා කිව්වා. 

මාස කීපයක් ගතවුණා. හමුදාව සියලු පහසුකම් භුක්තිවිඳිමින් එහි වාසය කළා. වැඩිහිටි අයට තේරුම් ගියා මේ වැඩේ දිගටම කර ගෙන යන්න තරම් ඔවුන්ට හැකියාවක් නැති බව. ඒ හින්දා ඔවුන් කීප දෙනෙක් එකතු වෙලා ගිහිල්ලා හමුදා නායකයා හමුවුණා. 

‘ඔබතුමාගේ හමුදා භට පිරිස දිගට මෙහි රැඳී ඉන්නද අදහස් කර ගෙන ඉන්නෙ?’ ඔවුන් බොහොම බය පක්ෂපාතකමින් ඇහුවා. 

‘නැතුව, අපි ගිහින් කොහොමද නුඹලට ආරක්ෂාව දෙන්නේ?’ හමුදා නායකයා කිව්වා.

වැඩිහිටියන් මේ ගැන තවදුරටත් කතාබහ කළා. ඔවුන්ගේ අස්වැන්න මදි හමුදාවට කන්න දෙන්න. තවත් කල්ගියොත් ආගන්තුකයන්ට කන්න දීලා ඔවුන්ට බඩගින්න‍ෙයි ඉන්න වෙන්නෙ. ඒ හින්ද ගිහින් නස්රුදින්ට කිව්වා මොනව හරි කරන්න කියලා. 

නස්රුදින් කෙළින් ම හමුදා නායකයා හමුවන්නට ගියා. ගිහින් ඒ වැසියන්ගේ ප්‍රශ්නය ගැන කතා කළා. 

හමුදා නායකයා ඔහුට සවන් දී හිඳ අවසානයේ මෙහෙම කිව්වා. ‘අපි මෙහෙන් යන්නේ නෑ. අපි මෙහෙට එනකොට මෙහෙ ජනතාවට නිසි ආරක්ෂාවක් තිබුණේ නෑ. ඉතින් අපි ඇවිත් ආරක්ෂාව තහවුරු කළා. දැන් අපි ගිහින් කොහොමද ජනතාවට ආරක්ෂාව දෙන්නේ?’ 

‘එතකොට ඔහෙ කියන්නේ ඔහේ ඔහේගෙ හමුදාවත් අරන් මෙහෙන් යන්නේ නෑ කියලද?’ නස්රුදින් උස් ස්වරයකින් ඇහුවා. 

‘ඔව්! ඇයි නොගියොත් තමුසෙ මට මොනව කරන්නද?’ 

‘මොනව කරන්නද? එහෙනම් මං මේ ජනතාවත් අරන් වෙන කොහේ හරි යනවා’ නස්රුදින් ගත් කටට ම කීවා.

 (පර්සි ජයමාන්නගේ ළඟදීම පළ කෙරෙන ‘නස්රුදින්ගේ අමුතු කතා’ කෘතියෙනි

වසර 150 කට පෙර පොතෙන් නවලොව මැවූ විස්මය ජනක මිනිසා - ජූල්ස් වෙයා

$
0
0

1880 ගණන්වල මුහුණ පුරා රැවුල වවාගත් මිනිසෙක් ප්‍රංශ අධ්‍යාපන ඇමතිවරයා හමුවීමට ඔහුගේ කාර්යාලයට ඇතුළු වුණා. පිළිගැනීමේ නිලධරයා ඔහු පිළිගනිමින් ඔහුගේ දැකුම් නම් පත දෙස බැලුවා. ඔහුගේ මුහුණට එළියක් වැටුණා. ‘මුසියේ වෙයා’ (Monsieur Verne) කියා උච්චාරණය කළ ඔහු අමුත්තාට අසුනක් පෑවා. ‘කරුණාකර වාඩි වෙන්න! ඔබතුමා නිතරම යෙ‍ෙදන සංචාර නිසා බොහොම වෙහෙසට පත් වෙලා ඇති නෙ.’ 

අනාගතය දුටු ජූල්ස් වෙයා

ඒ අමුත්තා ජූල්ස් වෙයා (Jules Verne) නම් ලේඛකයා ය. ඔහුගේ ‍සංචාරවල තරම අනුව ඔහුගේ දෙපා හිස ළඟට ම ගෙවී යන්නට ඇති. ඔහු දින 80කට වරක් ලෝකය වටා කිහිපවරක් ගියා. ඔහු සැතැපුම් 60,000 මුහුද යටට ගියා. හඳට ගියා. පොළොවේ හරි මැද සෙයා ගියා. අප්‍රිකාවේ මිනීකන මිනිසුන් සොයා ගොස් කතා බහේ යෙදුණා. ඔරිනොකෝ ඉන්දියානුවන් හමුවන්ට ගියා. ලෝකයේ පිහිටි භූමි ප්‍රදේශවල ඔහු නොගිය තැන් ඇත්නම් ඒ ඉතා ස්වල්පයක් පමණයි. 

ඒත් ජූල්ස් වෙයා නම් මිනිසා ගෙදරින් පිටට නොගිය ‍ගෙදරටම වී සිටි අයෙක්! ඔහු වෙහෙසට පත් වුණා නම් ඒ ලිවීමට යාම නිසා පමණයි! වසර 40ක් තිස්සේ ම ඔහු කළේ ප්‍රංශයේ ඇමියන්වල පිහිටි ඔහුගේ නිවසේ රතු ගඩොලින් නිමවූ එක් ටැම් ගෙය තුළට වී වසරක් වසරක් පාසා පොත් ලිවීම ම විතරයි. ඔහු මාස හයකට වරක් පොතක් බැගින් ලියා නිම කළා. 

ඔහු අනාගතයේ එන දේ පරිකල්පනය කරන්න ඔහු තරම් දක්ෂයෙක් ලොව බිහි වී නැහැ. ඔහු අද අප දන්නා රූපවාහිනිය ඔහු එදා දුටුවේ ගුවන්විදුලිය නිපදවීමටත් පෙරයි. ඔහු ලියූ පොත්වල එය හැඳින්වූයේ ෆෝනෝටෙලිෆොටෝ (Phonotelephoto) කියලයි. ඔහු හෙලිකොප්ටර ගැන ලීවේ රයිට් සහෝදරයන් අහසින් යන්නත් වසර පනහකටත් පෙරයි. 20 වැනි සියවසේ අපට හමුවන බොහෝ විද්‍යාත්මක නිර්මාණ ඔහු 18 වන සියවසේ ජීවත්ව සිටිමින් දැකීම ඇත්තෙන්ම විස්මයට කරුණක්! ඔහු සබ්මැරීන්, ගුවන්යානා, නියොන් ලයිට්ස්, දුවන පැති පාරවල්, වායු සමීකරණ යන්ත්‍ර, අහස සූරන මැඳුරු, එල්ලය බලා යැවිය හැකි මිසයිල, යුද්ධ ටැංකි ආදි හැම එකක් ගැනම ඔහු තමා ලියූ පොත් මගින් මුලින් ම හෙළිදරවු කළා. ඒ නිසා ඔහු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ පියා ලෙස අවිවාදයෙන් ම හඳුන්වන්න පුලුවන්. 

ජූල්ස් වෙයා තරුණ වියේදී

ජූල්ස් වෙයා අනාගතයේ බිහි විය හැකි විස්මිත දේ ගැන ඉතා නිවැරදිව, පැහැදිලිව සවිස්තරව ලීවා ද කීවොත් උගත් සමාජය ඒවා ගැනත් ඔහු ගැනත් වාද විවාද පවා කළා. ගණිතඥයන් ඔහු ලියූ ගණන් හිලවු හා ඉලක්කම් නිවැරදිදැයි සොයන්න සති ගණන් වෙහෙසුණා. හඳට ගිය විස්තරය ඇතුළත් ඔහුගේ කතාව පළ වූ පසු 500ක් පමණ දෙනා ඊළඟ හඳට යන ගමනට එක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. 

ඔහුගේ පොත්වලින් අභාසය ලත් සැබෑ නිමැවුම්කරුවන් ඔහු තමන්ට සැපයූ අනුප්‍රාණයට තුති පුද කළා. උත්තධ්‍රැවයට පියාසර කළ ඇමරිකන් අද්මිරාල් බර්ඩ් (Byrd) ආපසු පැමිණි පසු කීවේ ඔහුට ඒ ගමනට මග පෙන්වූයේ ජූල්ස් වෙයා කියායි. සබ්මැරීනයේ පියා සයිමන් ලේක් (Simon Lake) ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ ආරම්භක වාක්‍යය ලෙස ලියූවේ ‘ජූල්ස් වෙයා මගේ ජීවිතය මෙහෙයවූ අධ්‍යක්ෂ ජනරාල්’ කියායි. ගැඹුරු මුහුදේ ගවේෂණයෙහි යෙදුණු, බැලූන් මගින් අහසින් ගිය ප්‍රංශ ගවේෂක ඕගස්ට් පිකාඩ් (August Piccard), රැහැන් රහිත හෙවත් වයර්ලස් ක්‍රමය නිසා ප්‍රසිද්ධියට පත් ඉතාලි ජාතික මාකෝනි (Marconi), ඇතුළු බොහෝ දෙනකු කියන්නේ ඔවුන්ට ඒ නිර්මාණ කරන්න සැබැවින්ම සිතන්න පෙලඹවූයේ ජූල්ස් වෙයා බවයි. 

ලෝක ප්‍රකට ප්‍රංශ හමුදා නායකයකු වූ මාෂල් ලියොටේ (Marshal Lyautey) පරීසියේ මහජන නියෝජිත සභාව ඉදිරියේ ප්‍රකාශයක් කරමින්, ‘සරලව කීවොත්, නවීන විද්‍යාව කියන්නේ ජූල්ස් වෙයා විසින් වචනවලින් මවා පෙන් වූ දේ ප්‍රායෝගික කිරීමට ගත් ක්‍රියාවලියකටයි’ කියා තියෙනවා. ඒ කථාවෙහි ඇත්තක් තියෙනවා. ජූල්ස් වෙයා සිය වික්‍රමාන්විත කතාවලින් පුරෝකථනය කළ බොහෝ අමුතු නිර්මාණ නවීන විද්‍යාව විසින් සැබෑ ලෝකය තුළ නව නිමැවුම් බවට පත් කර තියෙනවා. 

ජූල්ස් පොත් ලිවීම කළේ ඔහුගේ නිවස සමග 
ඉදිකර තිබූ එක්ටැම්ගෙහි මේ කුටිය තුළය.

ඔහුගේ මනසේ බිහි වූ නිර්මාණයන් බොහොමයක් සැබෑ වනු දකින්නට තරම් කලක් ජීවත් වන්නට ජූල්ස් වෙයා වාසනාවන්ත වුණා. ඒ විතරක් නොවෙයි, ඒවා සැබෑ කළ හැකි බවත් ඔහු විසින් කියා තියෙනවා. ‘එක මිනිසකු සිතින් මවන දෙයක් තව මිනිසකුට සැබැවින්ම නිර්මාණය කළ හැකියි.’ කියා ජූල්ස් වෙයා වරක් කීවේ ඒ ගැනයි. 

ජූල්ස් ගේබ්‍රියෙල් වෙයා උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා, ප්‍රංශයේ නැන් (Nantes) නගරය අසලදියි. එංගලන්තයේ ප්‍රථම දුම්රිය පාර බිහිවී වසර පහකට වඩා ගතව තිබුණේ නැහැ. අත්ලාන්තික් හරහා ගිය නැව්වල ඇංජින් තිබුණත් හදිසියක දී ප්‍රයෝජනයට ගන්න රුවල් පවා ගෙන ගියා. 

නීතිවේදියකු වූ ජූල්ගේ පියා, 18 හැවිරිදි වියේ දී ඔහුව බලෙන් ම පැරිස් අගනුවරට යැව්වේ නීතිය හැදෑරීමටයි. ඒත් ජූල්ගේ සිතේ ඒකට කැමැත්තක් තිබුණේ නැහැ. ඔහු ආසා කළේ කවි ලියන්නයි, නාට්‍ය ලියන්නයි විතරයි. ඔහු උපහාස කතාවට බර, ගරුසරු නැති ගති ඇති, වග විභාගයක් නැතිව තවට වදන් දොඩන අයෙක්. 

එක සැන්දෑවක විච්චූරණ සැඳෑ සාදයකට ගොස් සිටිය දී එයින් වෙහෙසට පත් වූ ඔහු එක්වරම එතැනින් කලබලෙන් පිට වී ගියා. අවුලෙන් ගිය නිසා ඔහු පඩි පෙළ නිසි ලෙස දුටුවේ නෑ. පය පැකිළී පඩි පෙළ දිගේ පහළට පෙරළී ගිය ඔහු ඒ පඩි පෙළ නැඟ ඉහළට යන්න ආ හැඩිදැඩි මහත්මයකුගේ ඇඟ‍ෙහි හැපුණා. එක්වරම සිහි එළවාගත් ජූල්ස් හිතට ආ වදනක් එක්වරම එළියට දැම්මා. ‘සර්! ඔබතුමා රාත්‍රි ආහාර ගත්තද?’ ඔහු ඇසුවා. 

අමුත්තා දුන්නේ මෙහෙම උත්තරයක්. ‘හොඳ රසවත් ආහාරයක් ගත්තා. නැන් නගරයේ රටාවට පිසූ ඔම්ලට් එකක් තිබුණා. ඉතා ප්‍රණීතයි!’ 

ඊට ජූල්ස් කීවේ, ‘පැරීසියේ කාටවත් බෑ ඒ රසට ඔම්ලට් එකක් හදන්න!’ 

‘ඔබට පුලුවන්ද?’ එතුමා ඇසුවා. ‘ඇත්තෙන්ම පුලුවන්. මං නැන් නගරයේ කෙනෙක්’ ජූල්ස් කීවා. 

‘එහෙනම්, ලබන බදාදා රාත්‍රි ආහාරයට එන්න. මට ඔම්ලට් එකක් හදල දෙන්න!’ එතුමා කීවා. 

මෙහෙම තමයි ජූල්ස්ගේ අනාගතය තීරණය කළ හමුවීමකට මඟ පෑදුණේ. ජූල්ස්ට එදා හමුවුණේ එවකට ‘ත්‍රී මස්කෙටියර්ස්’ නම් නවකතාව ලියූ සුප්‍රකට ප්‍රංශ නවකතාකරු ඇලෙක්සැන්දර් දියුමා (Alexander Duma) යි. ඔහු හඳුනා ගත්තා තරුණ ජූල්ස්ට ලියන්නට තිබූ ආශාව. ඒ අනුව ඔහුව ලියන්නට දිරිමත් කළා. දියුමා ජූල්ස් හා එක්ව නාට්‍යයක් ලිව්වා. එය තරමක් දුරට සාර්ථක වුණා. තමා ඉතිහාසය පසුබිම් කර ගෙන නවකතා ලීවා වාගේ භූගෝල ශාස්ත්‍රය පදනම් කර නවකතා ලියන්නැයි තරුණ ජූල්ස්ට යෝනා කළා. 

අද ඔහුගේ නිවස කෞතුකාගාරයකි.

මේ අතර ජූල්ස්ගේ පිය පුතා අධ්‍යාපන කටයුුතු නොසලකා හැරීම ගැන කෝපයට පත් වී ඔහු මුදල් යැවීම නතර කළා. ඉන්පසු ජීවත්වීමට ජූල්ස් නාට්‍යාගාරයක සුළු රැකියාවක් සොයා ගත්තා. ඉදිරි කාලය අසීරු එකක් වන බව ඔහු තේරුම් ගත්තා. ‘මං දවස් කීපයක් පැරිස් නගරයේ කරත්තයක් ඇදල පහුගිය දවසක බිෆ් ස්ටීක් එකක් අරන් කෑවා.’ ඔහු වරක් සිය මවට ලියා යැව්වා. ‘මගේ මේස් දෙකේ දැන් හිල් හැදිලා, හිපොපොටේමස් එකකු නිදා ගත්තු මකුළු දැලක් වාගෙයි.’ ඔහු යාළුවකුට කීවා. 

අඟහිඟකම් තිබුණත් ජූල්ස් ඒ වන විට කඩවසම් ආකර්ෂණීය තරුණයෙක් වුණා විතරක් නෙවෙයි, ඔහු ඉඩ ඇති විටෙක හොඳින් හැඳ පැලඳ සාදවලටත් ගියා. එවන් එක් සාදයකදී එහි පැමිණ සිටි යුවතියකට කළ විහිළුවක් නිසා ඇගේ පියාගෙන් දරුණු ප්‍රහාරයකට ලක් වුණා. ඒත් එයින් ජූල්ස් සැළුණේ නැහැ. ඔහු එවැනි ම සාදයක දී තවත් සුරූපී තරුණියක් සමග ප්‍රේමයක් ඇති කර ගත්තා. ඒ ප්‍රේමය ඔහුගේ විවාහයට හේතු වුණා. ඒ වන විට පියා ඔහු සමග තිබූ අමනාපය අත්හැර තිබුණා. ඒ නිසා පියා ඔහුට කොටස් වෙළඳපොළේ රැකියාවක් සොයා දුන්නා. ඔහුගේ ආර්ථික තත්වය එයින් හොඳ අතට හැරුණා. ඒත් ඔහු නිවසේ එක් ටැම්ගෙයි කාමරයට වී පොත් ලිවීම දිගටම කර ගෙන ගියා. උදේ 6ට ලියන කුටියට වැදුණු ඔහු ළමා සඟරාවකට විද්‍යා ලිපි කීපයක් ලිව්වා. ඉන්පසු උදේ 10 ඔහු ව්‍යාපාරික සූට් එකක ඇඳගෙන කොටස් වෙළඳපොළේ රැකියාවට ගියා. 

ඔහු ලියූ පළමු පොත ‘බැලූනයක සති පහක්’ (Five Weeks in a Balloon) ලෙස නම් කෙරුණා. ඒ පොත යැවූ ප්‍රකාශයන් පහළොස් දෙනකුම ඒක ප්‍රතික්ෂේප කර ආපසු එව්වා. එය ආපසු ලැබුණු පසු වියරු වැටුණු ජූල්ස් ඒ පොත ගිනිබත් කරන්න සූදානම් වුණා. ඒත් ඔහුගේ බිරිඳ එය වළක්වා වෙනත් ප්‍රකාශකයකු වෙත යවන ලෙස ඉල්ලා සිටියා. 16 වැනි ප්‍රකාශකයා ඒ පොත පළ කිරීමට බාර ගත්තා. ඒ පොත උණු කැමුව් වාගේ හොඳම අ‍ළෙවියක් ඇති පොතක් බවට ඉක්මනින්ම පත් වුණා. ඒ වගේම භාෂා ගණනාවකටම ඒ පොත පෙරළනු ලැබුවා. 1862 දී 34 හැවිරිදි වූ ජූල්ස් ඉතා ජනප්‍රිය ලේඛකයකු බවට පත්ව සිටියා. ඔහු කොටස් වෙළඳපොළේ රැකියාවෙන් අස්වූ ඔහු වසරකට පොත් දෙකක් ලියා දෙන බවට සිය ප්‍රකාශකයා සමග ගිවිසුමක් අත්සන් කළා. 

-    පර්සි ජයමාන්න

මීළඟට - ජූල්ස් වෙයාගේ ජීවිතයේ මහ පෙරළියක් සිදු වූ හැටි. 


ජූල්ස් වෙයා දුටු අනාගත මහ පෙරළිය!

$
0
0

ජූල්ස් වෙයාගේ ජීවිතයේ මුල් කොටස ඊයේ පළ කළා. අද එහි දෙවන කොටසයි. 

සුප්‍රකට ප්‍රංශ නවකතාකරු ඇලෙක්සැන්දර් දියුමා ඔහුට කීවේ භූගෝල ශාස්ත්‍රය හදාරන්නයි. එහෙත් ජාතික පුස්තකාලයට ගිය ඔහු එයින් නොනැවතී ඉතිහාසය, ජනප්‍රිය විද්‍යාව ඇතුළු පොත් රැසක් කියෙව්වා. 1862 තමයි, ඔහු තමන් ගමන් කළයුතු මාර්ගය තෝරා ගත්තේ. ‘මට මෙහෙම යන කොට එක දවසක් හිතුණා, මා ලබපු විද්‍යාත්මක දැනුම ප්‍රයෝජනයට අරන් විද්‍යාවයි ආදරයයි මිශ්‍ර කරලා මගේ කතා ලියන්න ඕනෙ කියලා.’ ඔහු පසුව කීවා. 

අනාගතය දුටු ජූල්ස් වෙයා මහලු වියේදී

ඔහු ඒ අනුව මුල්ම පොත ලියලා ප්‍රකාශකයන් 15කුටම යැව්වා. වැඩක් වුණේ නෑ. අන්තිමේදී ඔහ ඒ පොත ගිනි තියන්න යනකොට ඔහුගේ බිරිඳ ඒ පොත බේරා ගෙන තවත් ප්‍රකාශකයකු යවමුයි යෝජනා කරනවා. ඒ අනුව ඇලෙක්සැන්දර් දියුමා ඔහුට ප්‍රකාශකයකු හඳුන්වා දෙනවා. ඔහු තමා පියරේ ජූල්ස් හෙට්සල්. ඔහු ලියූ පළමු පොත ‘බැලූනයක සති පහක්’ ප්‍රකාශයට පත් කළෙ ඔහුයි. ඒක ඉතා ඉක්මනින් විශාල පිටපත් ගණනක් අළෙවි වුණ නිසා ඒ වගේ පොත් තවත් ලියන්නැයි ඔහුට යෝජනා කළා. ඒ අනුව හය මාසයකට වරක් පොතක් ලියා දෙන කොන්තරාත්තුවක් අත්සන් කළා. ඉන්පසු ඔහු කොටස් වෙළඳපොළේ රැකියාවට ගියේ නැත. ඔහු අත්සන් කළ ඒ ගිවිසුම වැනි එකක් එතෙක් ලොව කිසිම ලේඛකයෙක් අත්සන් කර තිබුණේ නැහැ. ඒ ගිවිසුම අනුව අවුරුද්දකට පොත්‍ දෙකක් අලුතින් ම ලියා බාර දිය යුතු නිසා ඔහු කාල සටහනකට අනුව වැඩ පටන් ගත්තා. 

ජූල්ස් වෙයාගේ ඊළඟ පොත වූයේ, ‘පෘථිවිය මැදට ගිය චාරිකාවක්’ ය. එහි ඉංග්‍රීසි පරිවර්තනය ‘අ වොයේජ් ටු ද සෙන්ටර් ඔෆ් ද අර්ත්’ (A Journey to the Center of the Earth) නම් වුණා. ඔහු පොත් ලීවේ ප්‍රංශ බසිනි. ඒ කතාවට අනුව ඔහුගේ චරිත සියල්ලන් ම අයිස්ලන්තයේ පිහිටි ගිනිකන්දකින් (යමහලකින්) පොළොව ඇතුළට ගමන් අරඹනවා. ඒ ගමනේ දී ඔවුන් දහසක බිහිසුණු අත්දැකීම් අත් විඳිමින් අවසානයේ දී ඉතාලියේ ගිනිකන්දක ලාවා ගැල්මකට හසුව ආපසු පොළොව මතුපිටට ගසා ගෙන එනවා. ඒ වන විට විද්‍යාවෙන් ලබා තිබුණු දැනුමත් අනාගතයේ ලැබෙතැයි අනුමාන කළ හැකි දැනුමත් පොළෝ ගර්භයේ ගත කළ කාලය තුළ ඔහු පාඨකයාට ලබා දුන්නේ වික්‍රමාන්විත අත්දැකීම්ද සමගයි. 

ජූල්ස් පොත් ලිවීම කළේ ඔහුගේ නිවස සමග ඉදිකර තිබූ එක්ටැම්ගෙහි මේ කුටිය තුළය

එයින් පාඨකයන් මහත්සේ අමන්දානන්දයට පත්වුණා. ඒ පොත කියවූ එක් පාඨකයකු වුණේ ෆර්ඩිනන්ඩි ලෙසප්ස් නම් ප්‍රංශ ඉංජිනේරුවා. ඔහු ඒ වන විට සුවස් ඇළ ඉදි කර අවසන් කළා පමණයි. ඒ කාර්යය නිම කිරීම ගැන කියන්නට ගිය ෆර්ඩිනන්ඩි ලෙසප්ස් ඔහුට ප්‍රංශයේ පිරිනැමෙන ඉහළම සම්මානය වූ ‘ලීජන්ස් ඔෆ් ඔනර්’(Legion of Honor) ජූල්ස් වෙයාට ලබා දෙන්න කටයුතු කළා. 

ජූල්ස් ඔහුගේ පුතා, මයිකල්, උපන් පසු පැරීසිය අත හැර ඇමියන්ස් (Amiens) නගරයේ පදිංචියට ආවා. පොත්වලින් ඔහුට මුදල් ගලා එන්න පටන් ගත්තා. ඔහු සැහැල්ලු රුවල් යාත්‍රාවක්() මිලට ගත්තා. ඒ වෙලාවේ තිබුණු ලොකුම එක එයයි. ඔහු එක්ටැම් ගෙයක් සහිත නිවසක් ඉදි කළා. ඒ එක් ටැම් ගෙහි කාමරය නැවක කප්පිතකුගේ කුටියක් ලෙස පෙනුණා. එහි තමයි ඔහුගේ ලියන කුටිය තිබුණේ. ඒ තුළ පොත්පත් සිතියම් එක්රැස් කර තිබුණා. ඒ කුටියෙහි තමයි, ඔහු ජීවිතයේ ඉදිරි අවුරුදු 40න් වැඩි කාලයක් ගත කළේ. 

ඔහුගේ තවත් පොතක් කොටස් වශයෙන් පළ වුණා, ඔහුගේ ප්‍රකාශකයා වූ පියරේ සංස්කරණය කළ ‘ලා ටෙම්ප්ස් පැරිස්’ කියන සඟරාවේ. ඒක පසුව, ‘ලෝක වටා දින 80කින්’ (Around the World in 80 Days) නම් පොත වශයෙන් පළ වුණා. සඟරාවේ කොටස් වශයෙන් පළ වෙද්දී එහි කථානායකයා වූ ෆිලීස් ෆොග් (Phileas Fogg) දින 80 පිරෙන්න ඉස්සරින් ලෝකය වටේ ගිහින් ඔට්ටුවක් දිනන්නයි බලාපොරොත්තු වුණේ. ඒ ගැන පාඨක උනන්දුව වැඩි වුණේ නිව්යෝක් හා ලන්ඩන් පුවත්පත්වල දිනපතාම ෆොග්ගේ මේ චාරිකාවේ දිනපතාම ඔහු ඉන්නා තැන පිළිබඳ අලුත්ම තත්වය වාර්තා පළ වීම නිසයි. 

ඔහු ඉන්නා තැන අනුව ජනතාව ඔට්ටු ඇල්ලුවා ඔහු වෙලාවට ලන්ඩනයට එයිද නැද්ද කියලා. ජූල්ස් ඉතා සූක්ෂම විධියට කතාව ගෙතුවා ඔහුගේ වීරයා එන්නට බැරිවෙයි කියන දෙගිඩියාව ඇති වන විදියට. ෆොග් ඒ එන අතර මග එක එක ව්‍යසනවලට හසුවෙනවා. එක් අවස්ථාවක ඒ වීරයා මියගිය සැමියා වෙනුවෙන් සති පූජාවට ලක්වුණු කාන්තාවකගේ දිවි ගලවා ගන්නවා. ඔහු ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති කර ගත්තත් පසුව ඇය ගැන තොරතුරක් සොයා ගත නොහැකි වෙනවා. ඇමරිකාවේ තණ බිම් හරහා යද්දී ඔහුට රතු ඉන්දියානුවන් පහර දෙනවා. එයිනුත් බේරෙන ඔහු නිව්යෝක් වරායට එන විට ඔහුට එන්ගලන්තයට යාමට තිබූ එකම නැව ඈත සිතිජයෙහි තිතක් හැටියටයි මුහුද මැද යනවා පෙනුණේ. 

ඔහුගේ සිතේ මැවුණු මුහුද යට ගිය සබ්මැරීනය වූ නෞටිලස් ඇතුළත් පෝස්ටරයක්

අත්ලාන්තික් සාගරයේ නැව් ගමනාගමනය කරන ප්‍රධාන නැව් සමාගම ජූල්ස්ට යෝජනා කළා විශාල මුදලක් දෙන්න ඒ එක නැවක ඔහුගේ වීරයා නැග එන බව ලියන්න කියා. ජූල්ස් ඒකට එකඟ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු වීරයාව කුලියට නැවක් අර ගෙන නිව්යෝක්වලින් ලන්ඩන් බලා පිටත් කළා. අතරමගදී ඒ නැවේ ඉන්ධන අවසන් වුණා. පාඨක‍යන් හුස්ම පහත නොහෙළා ඒ කොටස කියෙව්වා. ඊළඟ කොටසේ දී නැවේ සේවක පිරිස නැවේ දැවි භාණ්ඩ හා දැව කොටස් කඩා වාෂ්ප ඇන්ජින්වල උදුනට දැම්මා. ෆොග් ලන්ඩන්වලට ළඟා වුණා. ඔහු එහි තරඟය පැවැත් වූ රි‍ෆෝම් කල්බ් එකට ගියා. 

ඒ අවසන් කොටස එහි පළ වුණේ මෙහෙමයි. “57 වැනි තත්පරයේ දී එහි රැස්වීම් ශාලාවේ දොර ඇරුණා. ඔරලෝසුවේ ලම්බකය 60 වැනි තත්පරය සලකුණු කරන්න පෙර ෆිලීස් ‍ෆොග් ඔහුගේ සන්සුන් හඬින්, ‘මහත්වරුනි මා ආවා’ කියා කීවා.” 

ඒ 1872 දියි. අවුරුදු 17කට පසු නිව්යෝක් පුවත්පතක් එහි වාර්තාකාරියක් වූ නෙලී බ්ලයි යැව්වා ෆිලීස් ‍ෆොග්ගේ දින 80 වාර්තාව බිඳ හෙළීමට. ඇය ලෝකය වටේ දින 72කින් ඒ ෆිලීස් ‍ෆොග් ගිය මාර්ගයේ ම යාමට ඇය සමත් වුණා. ජූල්ස් වෙයාගේ තවත් වික්‍රමාන්විත චාරිකාවක් තමා, ‘මුහුද යටට ලීග 60,000ක්’ (20,000 Leagues Under the Sea) යන කෘතිය. එහි නෞටිලස් නමින් සබ්මැරිනයක් ජූල්ස් වෙයා විසින් නිර්මාණය කර තියෙනවා. ඒ කතාවේ හැටියට ඒ සබ්මැරීනය ද්විත්ව බඳක් සහිත එකක් විතරක් නොවෙයි, එය ක්‍රියාත්මක වන්නේ සාගර ජලයෙන් නිපදවා ගන්නා විදුලිබලයෙනුයි. ජූල්ස් පොතේ එසේ සඳහන් කළත් එය සෑබෑ අත්හදා බැලීම් යටතේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කළ හැකි බවට තහවුරු කළේ මේ මෑතදීයි. එදා ජූල්ස්ගේ නෞටිලස් සබ්මැරීනයට දියයට ගිය පසු ඕනෑ තරම් කාලයක් මතුපිටට නෑවිත් සිටිය හැකි වුවත් මෑතක් වනතුරු ඒ හැකියාව කිසිම රටක සබ්මැරීනයකට තිබුණේ නෑ. ඒත් ඇමරිකාව පසු කලෙක නිපදවූ ඇමරිකන් නාවික හමුදාවට අයත් නෞටිලස් න්‍යෂ්ටික සබ්මැරීනයට ඒ දේ කළ හැකියි. ජූල්ස්ගේ නිර්මාණයට උපහාරයක් හැටියට ඒ නමම ඔවුන් ඇමරිකන් සබ්මැරිනයටත් තැබුවා. 

ජූල්ස් වෙයා දේශානුරාගයෙන් ඔද වැඩි ප්‍රංශ ජාතිකයෙක්. ඒත් ඔහු නිදහස් ඇමරිකාවත් අගය කළා. ‍ජෝර්ජ් වොෂිංටන් හා ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ වීරයන් වුණා. ඔහු සතුව බොහෝ ම ආසාවෙන් තබා ගෙන සිටි ලියුමක් අද ඔහුගේ නිවසේ කෞතුකාගාරයේ තැන්පත් කර තියෙනවා. ඒ ලිපිය ඔහුට ලියා තියෙන්නේ තියෝඩෝර් රූස්වෙල්ට් ඇමරිකන් ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ කර්මිට් රූස්වෙල්ට් විසිනුයි. ‘මගේ පියා මට කීවා ඔබට දැනුම් දෙන්න කියා ඔහු ඔබේ සියලු පොත් කියවූ බවත් ඒවායින් අසීමිත වින්දනයක් ලැබූ බවත්..’ යනුවෙන් එහි ලියා තිබුණා. 

ජූල්ස් පොත් ලිවීම කළේ මේ මේසය මතයි.

ජූල්ස් වෙයාගේ ග්‍රන්ථ අතරින් වඩාත් දුරට නිවැරදිව අනාගතය දුටු, ඒ වගේම අඩුවෙන්ම කියවූ පොත ඇමරිකාව ගැන ලියූවක්. එහි නම ‘2890 වසරේදී ඇමරිකානු පත්‍රකලාවේදියකුගේ දිනපොත’ යි. ඒ කතාවේ කතා නායක පත්‍රකලාවේදියා කියන හැටියට නිව්යෝක් නගරය, ලෝකයේ අගනුවර වූ විශ්ව නගරය ලෙසයි හැඳින්වෙන්නේ. එහි ප්‍රධාන මාර්ග යාර 100ක් පළලයි. ඒ මාර්ග දෙපස තාප්ප වෙනුවට තිබුණේ අඩි 1000ක් උස අහස සූරන මැඳුරුයි. දේශ ගුණය පාලනය කර උත්තර ධ්‍රැවයේ වගා කරනවා. දැන්වීම් වලාකුළු මතට ප්‍රක්ෂේපණය කරනවා. ජූල්ස් වෙයාගේ වීරයා ‘අර්ත් හෙරල්ඩ්් කියලා පුවත්පතක් සංස්කරණය කරනවා. ඊට අට කෝටියක පාඨක පිරිසක් ඉන්නවා. ඒ පුවත් පතේ වාර්තාකරුවන් බ්‍රහස්පතී, අඟහරු, සිකුරු ග්‍රහ ලෝකවල සිට වාර්තා එවනවා. පුවත්පතේ ග්‍රාහකයන් ඒ පුවත් තමන්ගේ නිවසේ විසිත්ත කාමර‍වල සිට ඒවා නරඹනවා. මේ පොත් ජූල්ස් මීට වසර 150කට ඉස්සර ලිව්වාය කියන එක අදහන්නත් බැරි තරම් විස්මයජනක දෙයක්. ලෝකයේ වැඩියෙන්ම කියවූ කර්තෘන් අතරින් ජූල්ස් දෙවැනි වන්නේ ඇගතා ක්‍රිස්ටි ලේඛිකාවට විතරයි.

ජූල්ස් වෙයාගේ අවසාන වසර කීපය එතරම් ඔහුගේ සතුටට හේතු වුණේ නෑ. එයට හේතුව විද්වත් කණ්ඩායම් ඔහුගේ නිර්මාණ අවඥාවෙන් බැහැර කිරීමයි. ඔහු ලොව වැඩියෙන් කියවීමට ලක්වූ ප්‍රංශ ලේඛකයා වුවත් ඔහුව ප්‍රංශ විද්වතුන්ගේ සමාජය වූ ෆ්‍රෙන්ච් ඇකඩමියට නම් කර ඔහුට ගෞරව දැක්වීමක් සිදුවුණේ නැහැ. අවාසනාව එක පිට එක ආවා. දියවැඩියාවෙන් පෙළෙන්නට වුණා. ඇස් පෙනීම දුර්වල වුණා. කන් ඇසීම අඩුවුණා. අනාවැකි කීවා සේම ඔහුගේ අවසාන පොත්වල ලෝකයේ බොහෝ රටවල පාලනයට කුරිරු දරුණු ඒකාධිපතියන් බිහිවන්නේ යැයි භීතියක් ගැන ද කියැවුණා. 

1905 දී ජූල්ස් වෙයා මිය ගියා. මුළු ලෝකය ම ඔහුට ගෞරව දක්වන්න අවමඟුලට ආවා. ඔහුව අවඥ‍ාවෙන් සැලකූ විද්වතුන් පවා ආවා. ප්‍රංශ ඇකඩමියේ සාමාජිකයන් 30 දෙනා ඇතුළු ලොව පුරා රටවල තානාපතිවරුන් පමණක් නොව රජුන්, ජනාධිපතිවරුන් හා පාලකයන් ආදීන්ගේ විශේෂ නියෝජිතයන් අවමඟුලට සහභාගි වුණා. ඔහු ගැන අගය කරමින් නොයෙකුත් ප්‍රකාශ පළ වුණා. ඒ හැම ප්‍රකාශයකටම වඩා ප්‍රංශ පුවත්පතක පළ වූ මේ දෙපදය ජූල්ස් වෙයා ජීවත්ව හිටියා නම් ඔහු වෙනුවෙන් පළ කළ හොඳම ඇගයීම වශයෙන් සලකනවා නිසැකයි. ‘සොඳුරු කතා කියන්නා වියෝ වුණා. ඒ දැනෙන්නේ නත්තල් සීයා අවසන් ගමන් ගියා වාගෙයි.’ 

ජූල්ස් වෙයාගේ විස්මිත ප්‍රකාශ මේ වගේ ලිපියකින් කියවා අවසන් කරන්න බැහැ. ඉඩ ලද විටෙක තවත් ලිපියක් දෙකක් ලියන්නම්. 

 - පර්සි ජයමාන්න

බින්දුවෙන් පටන් ගත් මාවන් අතපත්තුගේ විස්මිත පිබිදීම!

$
0
0

මාවන් අතපත්තු ගැන අපූරු කතාවක් හර්ෂ භෝගලේ නිතරම කියනවා. ජාත්‍යන්තර ක්‍රිකට්වලදී තිබිය යුතු ධෛර්යවන්ත භාවය හා කැපවීම ගැන කියන්න උදාහරණයක් වශයෙන්. හර්ෂ භෝගලේ කියන්නේ ලෝක ප්‍රකට ඉන්දියානු ක්‍රිකට් විචාරකයෙක්. 

ක්‍රිකට් පිටියේ දී අලංකාර පිතිකරුවකු ලෙස පසුව නමක් දිනා ගත්තත් 
මාවන් අතපත්තු ඔහුගේ මුල්ම ටෙස්ට් තරඟ තුනේදීම බින්දුවට දැවී ගියා.

මාවන් අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වීම ගැනයි ඔහු මේ කතාව කියන්නේ. 

මාවන් ඔහුගේ මුල්ම තරඟයේ පළමු වන ඉනිමේ දී බිංදුවට දැවී ගියා. දෙවැනි ඉනිමේත් බිංදුවයි! 

ඉතින් එයා කණ්ඩායමෙන් හලනු ලැබුවා. එයා ආපහු ‘නෙට්ස්වලට’ පුහුණුවීමිවලට ගියා. /ිහින් හොඳින් පුහුණු වුණා. ඊළඟට පළමු පෙළේ ක්‍රීඩා සමාජවල තරගවලට සහභාගි වුණා. හොඳට ලකුණු රැස්කළා. ඊළඟට බලා හිටියා තමාට යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැඳවනතුරු. 

මාස 21කකට පසු ආයිත් දෙවැනි වතාවටත් ඔහුට අවස්ථාවක් ලැබුණා. 

ඒ වතාවේ ඔහු හොඳට සිතට ධෛර්ය අරගෙන ක්‍රීඩාවට එක්වුණා. ඒත් මුල් ඉනිමේ ලකුණු 0යි! දෙවැනි ඉනිමේ ලකුණු 1යි! ඉතින් එයා ආයිත් කණ්ඩායමෙන් හලනු ලැබුවා. නැවත ක්‍රීඩා සමාජයට එක් වෙලා පළමු පෙළේ තරගවලට සහභාගි වුණා විතරක් නොවෙයි සිය ගණන් ලකුණු රැස්කළා. මුල්ම ටෙස්ට් තරඟවලදී ලත් අමිහිරි වේදනාකාරී මතකයන් මකා දමන්නට ලකුණු ගැනීමෙන්ම කළ නොහැකි වුණා. 

මාවන් පිටියේ දී අති දක්ෂ පන්දු රකින්නකු ද වුණා.

මාස දාහතකට පස්සේ ඔහුට ආයිත් අවස්ථාවත් ලැබුණා. ඒ වතාවෙත් ඉනිම් දෙකේදිම පන්දුවට පහරදෙන්න ඔහුට අවස්ථාව ලැබුණා. ඒත් ඒ දෙකේදිම 0යි! පුදුමයි නේද? 

ආපසු එයාව කණ්ඩායමෙන් හැළුණා. ආපහු පුහුණුවට ගියා. තේරීම් කමිටුව ආයිත් වතාවක් ඔහුට අවස්ථාවක් දේවිද? ඔවුන් කීවේ ඔහුට ලොකු තරඟවලට මුහුණ දීමට අවශ්‍ය උද්යෝගී පෞරුෂයක් නැති බවයි. ඊට සුදුසු මානසික තත්ත්වයක් ඔහුට නොමැති බවයි. 

ඔහුගේ පිති හරඹය හා තාක්ෂණය ඉහළ ම තරඟ මට්ටමකට ප්‍රමාණවත් නොවන බවට තීන්දු කෙරුණා. ඒත් මාවන් අධෛර්ය වුණේ නැහැ. මාවන් තව තවත් උත්සාහ කළා. 

මාවන් අතපත්තු පසුව අලංකාර පිතිකරුවකු ලෙස නමක් දිනා ගත්තා

වසර තුනකට පස්සේ තවත් අවස්ථාවක් ඔහු ලැබුණා. ඒ වතාවේ ඔහු ලකුණු අතරට ආවා. හොඳටම ලකුණු අතරට ආවා. එතැනින් පසු ඔහු ඉදිරි ගමන විචිත්‍ර එකක් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‍ට් ලකුණු 5000කට වැඩි‍යෙන් රැස් කළා. ඒ අතර ශතක දහසයක් හා ද්විත්ව ශතක හයක් ඇතුළත්‍ වෙනවා. 

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයත් දැරුවා. මේ හැම දෙයක් ම ඔහු කළේ ටෙස්ට් ක්‍රීඩාවේ දෙවැනි ලකුණ ගන්න ජීවිතයෙන් අවුරුදු හයක් ම ගත කරලයි. කොයි තරම් විශිෂ්ට අයෙක් ද! උත්සාහය අත නොහැර අවුරුදු හයක්ම වෙහෙසිලා අන්තිමේ දී ඔහු අවුරුදු 17ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළා. 

හුඟක් දෙනෙක් එක පාරක් දෙපාරක් වැරදුණාම ඒක අත ඇරලා දාලා වෙන දෙයකට යොමු වෙනවා. ඒත් මාවන් කියන පරමාදර්ශී ක්‍රීඩකයා එහෙම කළේ නෑ. ඔහු හරියනතුරු උත්සාහ කළා. මාසයක් දෙකක් නොවෙයි පුරා අවුරුදු හයක්ම තැත් කළා. අන්තිමේ දී ශ්‍රී ලංකාව බිහි කරපු විශිෂ්ටතම ක්‍රීඩකයන් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් වුණා. 

ලෝක ප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා විචාරකයකු වූ ඉන්දියාවේ හර්ෂ බෝග්ලේ

හර්ෂ භෝග්ලේ කියන ක්‍රිකට් විචාරකයා අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන්න මේ උදාහරණය ගන්නේ ඔහු නියෝජනය කරන ඉන්දියාවෙන් නෙමෙයි. අපේ ශ්‍රී ලංකාවෙන්. ඔහු කියන විධියට, ඔහු දකින විධියට, ක්‍රීඩකයකු දිරිමත් කරන්න ලෝකයෙන්ම සොයා ගන්න පුලුවන් හොඳම උදාහරණය මාවන් අතපත්තුයි. ‘ඔබට එකවතාවක් වැරදුණොත් අධෛර්ය වෙන්න එපා! ශ්‍රී ලංකාවේ මාවන් අතපත්තුව සිහි කරන්න. තමන්ට අයිති කාර්යයට සිත යොමු කරන්න! මාවන්ට වාගේ ලකුණු ඔබටත් ගලා ඒවි. කවදා හරි ඔහු වගේ ම ඔබටත් නායකයෙක් වෙන්න මග පෑදේවි.’ හර්ෂ භොග්ලේ කියනවා. 

මාවන් අතපත්තු වසර හයක් තුළ ටෙස්ට් තරඟ තුනක දී පිට පිට බින්දු පහක් ගත්ත බව ඇත්තයි. ඒක හයක් වෙනවා. එහෙම නොවුණේ පන්දු යවන්නා එවූ එක් පන්දුවක් මාවන්ගේ කකුලේ වැදී ගිය එකක් වුනත් විනිසුරුවරයා එය පිත්තේ ගෑවී ගිය එකක් ලෙස ලකුණක් ලබා දුන් නිසයි. 

වසර හතකට පෙර ටෙස්ට් වරම් ලැබුවත් මාවන්ට ඔහුගේ ඉරණම වෙනස් කර ගන්නට හැකි වූයේ 1997 දියි. ඒ ඉන්දියාවේ මෙහාලි ක්‍රීඩා පිටියේ දී මාවන් ශතකයක් වාර්තා කරමින් ඔහුගේ දෛවය කනපිට හැරෙව්ව වෙලාවෙදියි. 

2000-01 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ මාවන් නිසා ටෙස්ට් ජයග්‍රහණයක් අපට ලැබුණා. 1998 දී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී එක් දින ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කරමින්, සනත් ජයසූරිය පළමුවන ඕවරයේදී ම දැවී යාම නිසා, මාවන්, දිගටම ක්‍රීඩා කරමින් නොදැවී 132ක් ලබා ගනිමින් ඒ තරඟය විකට් පහකින් ජය ගැනීමට උදව්වුණා. 2003 ලෝක කුසලාන තරඟාවලියේ දී ද දකුණු අප්‍රිකාවට එරෙහිව ශතකයක් ලබා ගැනිමට සමත් වුණා. එක් දින තරඟවලදිත් ශතක 11ක් ඔහු රැස් කර ගෙන තියෙනවා. 

මාවන් සැම්සන් අතපත්තු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරවරයෙක්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුුණු කරුවෙක්. 

- පර්සි ජයමාන්න 


නියමුවන් නැති අභ්‍යවකාශ යානයකින් උඩුගුවනට ගිය බිලියනපතියා.

$
0
0

නියමුවන් නැතිව ස්වයංක්‍රීයව පාලනය වන අභ්‍යවකාශ යානයකින් උඩුගුවනට ගිය ජෙෆ් බෙසෝස් ලෝකයේ තවමත් සිටින අංක එකේ ධනවතායි. මේ විස්මයජනක ගමන ඔහු ගියේ ඔහුගේම සමාගම වූ බ්ලූ ඔරිජින් නිපදවූ විශේෂ රොකට්ටුව හා ගගන කැප්සියුලයේ ආධාරයෙනුයි. 

ලොව අංක එකේ ධනවතා ජෙෆ් බොසෝස්

ලෝක ව්‍යාප්ත විශාලතම සමාගම වූ ඇමසන් (amazon) පිහිටවූ ඔහු වසර 27ක් එහි ප්‍රධාන විධායක හා හිමිකරු වශයෙන් කටයුතු කළ පමණක් නොව පසුගියදා ඉන් ඉවත් වූ පසුත් ඔහු තවමත් ලෝකයේ අංක එතේ ධනවතායි. ඇමෙරිකාවේ අංක එකේ පුවත්පතක් වන 'වොෂින්ටන් පෝස්ට්'හිමිකාරීත්වය ඇත්තේ ද ඔහුටයි. ඔබට මතක ඇති 2020 නොවැම්බර් 8 වැනිදා ‘මල් කැකුළු’ වලින් අපි කීවා, ඇමරිකාවේදී ගණිත ගැටලුවක් විසඳා ඔහු මවිත කළ සිංහලයකු ගැන. ඒ බෙසෝස් තමයි, මේ. මේ ගමන සඳහා ඔහු තත්පරයකට වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 550ක්. 

ඔහු මේ ගමන ගියේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කර ගෙනයි. ඇමරිකාවෙන් ගිය නීල් ආම්ස්ට්‍රෝං හඳ මතට පා තැබූවේ අද වගේ දවසකයි. ඒක සිදුවුනේ 1969 ජූලි 20 වැනිදායි. අදට හරියටම වසර පනස් තුනක ඉස්සරයි. ඒ සැමරුම සඳහායි, අදට මේ ගමන යොදා ගත්තේ. අනිත් අරමුණ මේ ගමන බිය විය යුතු නැති සුන්දර අත්දැකීමක් බව අනිත් අයට තහවුරු කරන්නයි. ඔහු ඉදිරියේ දී අභ්‍යවකාශයට සංචාරකයන් ගෙන යන්න වැඩ පිළිවෙළක් සකසා තියෙනවා. 

ජෙෆ් බොසෝස් සමග, ඔහුගේ සොහොයුරු මාක්, 82 හැවිරිදි වොලී ෆන්ක්, 
18 හැවිරිදි ඔලිවර් ඩේමන් සීඑන්එන් මැදිරියේ දී.

ජෙෆ් ‍බෙසෝස්ගේ ගමනත් සමග සති දෙකක් ඇතුළත උඩු ගුවනට ගිය දෙවැනි බිලියනපතියා ඔහුයි. 57 හැවිරිදි බෙසෝස් පෘථිවි වායුගෝලයේ ඉහළ අභ්‍යවකාශය හමුවන අද්දරට ගියේ අදයි. එය කිලෝමීටර 100කට ඉහළින් පිහිටා ඇති සීමාවක්. මෙය හැඳින්වෙන්නේ 'කාමන් සීමාව'කියායි. උඩු ගුවන හොවත් අභ්‍යවකාශය කියා කියන්නේ මේ සීමාවෙන් පිටත කලාපයටයි. 

ඔහුගේ මේ සැලැස්මට අනුව දින දෙකක් වැනි කෙටි කාලයක පුහුණුවීම්වලින් පසු ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට යන්න ඕනෑම කෙනෙකුට පුලුවන්. එහි දී කාමන් සීමාව පැන්නූ පසු ගුරුත්වය ශූන්‍ය වන නිසා ඔබට අහසේ පාවෙන්නට පුලුවන්. ඒක කෙරෙන්නේ විශේෂ යානයක් තුළ සිටයි. එහි සිට පහළ පෘථිවියේ දර්ශනය නරඹා ආපසු එන්න පුලුවන්. මේ උඩුගුවන් ගමන් සඳහා දැන් සංචාරකයන්ට සහභාගි වෙන්න පුලුවන්. 

ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය විශේෂ පුවතක් ලෙස බෙසෝස්ගේ වික්‍රමය සජීවීව විකාශය කිරීම

මේ අභ්‍යවකාශ සංචාර ගමන් ආරම්භ කිරීම ගැන පසුගියදා බිලියනපතියන් අතරේ තරගයක් පැවතුණා. නීල් ආම්ස්ට්‍රෝං හඳ මතට පා තැබීම සමරන්නට තමා 20 වැනිදා උඩුගුවනට යන්න බලාපොරොත්තු වන බව ජෙෆ් බෙසෝස් ප්‍රකාශ කළාට පස්සේ හදිසියේ තමනුත් ඊට දවස් නවයකට කලින් උඩුගුවනට යන බව තවත් බිලියනපතියකු කීවා. කීවා විතරක් නෙවෙයි, ඔහුත් තමාගේ යානයකින් උඩුගුවන අද්දරට ගොස් එතැන් සිට විශේෂ යානයකින් කාමන් ‍සීමාව පසු කළා. ඔහු තමා බිලියනපති ඇමරිකන් ව්‍යාපාරික, බ්‍රිතාන්‍ය ජාතික සර් රිචඩ් බ්‍රැන්සන්. පසුගිය 11 වැනිදා බ්‍රැන්සන් ඔහුට අයත් වර්ජින් ගැලැක්ටික් සමාගම නිපදවූ සුපර් සොනික් ගගන යානයෙන් තවත් පස් දෙනකු ද සමඟ පෘථිවි වායුගෝලයේ ඉහළ සීමාවට ගියා. තත්පර කීපයක් කක්ෂයක ගොස් ආපසු පැමිණියා. 

වර්ජින් ගැලැක්ටික් සමාගම සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යෑමට නිපදවා ඇත්තේ ජෙට් ගුවන් යානයක් හා තවත් විශේෂ ගගන යානයක් වන නමුත් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගම අභ්‍යවකාශ සංචාර සඳහා නිපදවා ඇත්තේ අධි බලැති රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක්. රොකට්ටුව නම් කර ඇත්තේ ‘නිව් ෂෙපර්ඩ්’ කියායි. ඒ, අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකන් ගගනගාමියා වූ ඇලන් බී. ෂෙපර්ඩ්ට සිහිපත් කරන්නයි. කැප්සියුලය නම් නම් කර ඇත්තේ ‘බ්ලූ ඔරිජින්’ කියායි. 

උඩුගුවන යාමට සූදානම්ව නිව් ෂෙපර්ඩ් රොකට්ටුව හා කැප්සියුලය

බ්‍රැන්සන්ගේ උඩු ගුවනට ගිය යානා දෙක හැසිරවීමට අභ්‍යවනාශ නියමුවන් සිටියා. ඒත් ජෙෆ් බෙසෝස්ගේ නිව් ෂෙපර්ඩ් රොකට්ටුවට හෝ බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලය පාලනය කරන්න නියමුවන් නැහැ. ඒවා නියමුවන් නොමැතිව සියල්ල පරිගණකයෙන් ස්වයංක්‍රීයව සිදුවෙනවා. රොකට්ටුව ගගන කැප්සියුලය රැගෙන ගුවනට යෑම, පෘථිවි වායුගෝලය අද්දරට කැප්සියුලය තල්ලු කළ පසු රොකට්ටුව ඉන් වෙන් වී ආපසු පෘථිවිය බලා එනවා. ඒවා ස්වයංක්‍රීයවයි සිදුවන්නේ. 

රොකට්ටුවට හදිසි අනපේක්ෂිත කරදරයක් ඇති වුණොත් කැප්සියුලය ගැලවී එහි යන ගගනගාමීන් ආරක්ෂා කර ගන්නට හැකි අයුරින් මෙය නිපදවා තියෙනවා. මෙම ආරක්ෂිත උපක්‍රම පසුගිය වසර ගණන පුරා අත්හදා බලා ඇති බව බෙසෝස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළා. තමන් මෙම ගමනට සහභාගී වූයේ එය ආරක්ෂිත බව පෙන්වීමට යැයි ද බෙසෝස් අවධාරණය කර තියෙනවා.. ඇත්තෙන්ම එය ඉතාමත් ආරක්ෂාකාරී මිනිත්තු කීපයක ඉතා පහසු ගමනක් වුණා. 

බෙසොස් මෙම වික්‍රමයට සහභාගී වූයේ තනිවම නොවෙයි. බෙසෝස්ගේ සොහොයුරු 53 හැවිරිදි මාක් ද ගමනට එක් වුණා.. ඊට අමතරව, බෙසෝස්ගේ විශේෂ ආරාධනාවකට අනුව 82 හැවිරිදි වොලී ෆන්ක් ද ගමනට එක්වූණා. වොලී ෆන්ක් යනු දශක හයක් අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ගගනගාමිනියක්. ඒ අනුව, ඇය අභ්‍යවකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස වොලී ෆන්ක් වාර්තා අතරට එක් වෙනවා. 

ඒ වගේම ලෝකයේ ළාබාලම අභ්‍යවකාශ ගාමියාත් මේ ගමනට එක්වුණා. ඒ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් නම් නෙදර්ලන්ත ජාතික භෟතික විද්‍යා ශිෂ්‍යයෙක්. බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයේ ආසන වෙන්දේසි කරද්දී, ආසනයක් වෙන් කිරීම සිදු කර ඇත්තේ ඔලිවර් ඩේමන්ගේ කෝටිපති ව්‍යාපාරික පියායි. අමෙරිකන් ඩොලර් මිලියන 28 ක් ගෙවා පළමුවෙන් ඒ ආසනය වෙන් කර තිබුණේ ඩේමන්ගේ පියා නොව වෙනත් කෝටිපතියෙක්. කෙසේ නමුත් අවසන් මොහොතේ ඉතා හදිසි රාජකාරි වැඩක් යෙදුණු බව පවසමින් එම කෝටිපති ව්‍යාපාරිකයා ගමනට සහභාගී වූයේ නැහැ. ඔලිවර් ඩේමන්ට අවස්ථාව ලැබුණේ ඒ අනුවයි. 

රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් කාන්තාරයේ 'ලොන්ච් සයිට් වන්'මධ්‍යස්ථානයෙන්. මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වැන් හෝන් නගරයේ සිට කිලෝ මීටර් 40 ක් වියළි කාන්තාර ප්‍රදේශයකයි. 'බ්ලූඔරිජින්'වෙබ් අඩවිය හරහා රොකට්ටුව ගුවන්ගත වීම, කැප්සියුලය වෙන්වී අභ්‍යවකාශයට යෑම සජීවීව විකාශය කෙරුණි. කැප්සියුලය උඩු ගුවනට තල්ලු කිරීමෙන් පසු රොකට්ටුව යළි පහළට ඒම සිදුවුණා. මෙම රොකට්ටුව නිපදවා ඇත්තේ නැවත නැවත භාවිතයට ගැනීමට හැකි ලෙසයි. 

බෙසෝස් ඇතුළු කණ්ඩායමේ මෙම වික්‍රමයට ගත වූයේ මිනිත්තු 11 ක් පමණයි. මිනිත්තු 4 ක් අභ්‍යවකාශයේ රැඳී ආපසු ගුරුත්වාකර්ශන බලයට හසුවී කැප්සියුලය පහළට ඇදී ඒම සහ එය දැවැන්ත පැරෂූටයක ආධාරයෙන් යළි ටෙක්සාස් කාන්තාරයට පතිත වීම සජීවීව විකාශය කෙරුණා. ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය විශේෂ පුවතක් ලෙස බෙසෝස්ගේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබුණා. යළි පෘථිවියට පැමිණ සතුට සැමරීමෙන් පසු, ජෙෆ් බෙසෝස්, මාර්ක් බෙසෝස්, වොලී ෆන්ක් සහ ඔලිවර් ඩේමන් මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන්ගේ අපූරු අත්දැකීම විස්තර කළා. ආපසු පැමිණ ගගන කැප්සියුලයෙන් පිටතට ආ බෙසෝස්ට හාදුවක් දෙමින් ඔහු පිළිගත්තේ ලොරෙන් සැන්චේස්. ඇය පසුගියදා දික්කසාද වූ බෙසෝස්ගේ අලුත් පෙම්වතියයි.‍ 

ජෙෆ් බෙසෝස්ගේ ගමන පිළිබඳව පහත වීඩියෝව නරඹන්න! 

මේ වික්‍රමය සාර්ථක වීමත් සමඟ, සර් රිචඩ් බ්‍රැන්සන් ද ජෙෆ් බෙසෝස්, ඇතුළු පිරිසට සුබ පැතුම් එක් කිරීමට අමතක කළේ නැහැ. ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම එසේත් නැති නම් වත්කම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 200 ඉක්මවන නිසයි. අතීතයේ, අභ්‍යවකාශයත් ඉන්පසු සඳ තරණයත් සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය ආරම්භ කළ 'ඇපලෝ'වැඩපිළිවෙළේ මුළු මෙහෙයුම්වල වටිනාකම, එදා මුදලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 20කටත් අඩුයි. 

 - පර්සි ජයමාන්න 

   

වස දැමූ ඇපල් ගෙඩිවල රහස හෙළිවෙයි!

$
0
0

‘සූෆි’ කියන්නේ අරාබි බසින් ‘වූල්’ යන්නයි. ඒ අනුව සූෆිවරයා කියන්නේ වූල් සාළුවක් පැලඳි තැනැත්තෙකුටයි. සූෆිවරුන් කරන්නේ නැණ නුවණ වැඩීමට ජනයාට ඉගැන්වීමයි. ඔවුන් මේ ඉගැන්වීම්වලට බොහෝ විට යොදා ගන්නේ උපමා කතායි. මේ එවැනි එක් කතාවක්. 

වැරදි විනිශ්චය 

එකමත් එක කාලෙක සෑහෙන අනුගාමිකයන් පිරිසක් මෙන් ම බොහෝ සතුරු පිරිසක් ද ඇති සාධුවරයෙක් හිටියා. 

ඔහුගේ සතුරන් ඔහු නසනු පිණිස උපා යොදන්නට වුණා. ඔහු සිය නිවසට නිදහසේ ඇතුළුව නිවස පුරා ඇවිදීමට ඕනෑම කෙනෙකුට ඉඩ හැර ඇති බව ඔවුනට දැක ගත හැකි වුණා. ඔවුන් ඔහු මරන්නට සිතා රහසේ ම ඇපල් ගෙඩිවලට වස දමා කාමරයක් පාසා තැන තැන දැමුවා. 

මෙය කීප වතාවක් ම සිදු කළා. මාස කීපයකට පසු සාධුවරයා ජීවතුන් අතර සිටීම ගැන වස දුන් අය මවිතයට පත් වුණා. 

මේ නිසා ම ඇතැම් අය ඔහු සාන්තුවරයෙකැයි කීවා. ඔහුට සියුම් දේ ගැන, සැඟවුණු දේ ගැන, දැන ගැනීමේ ශක්තිය ඇතැයි ඔවුන් තීරණය කළා. ඔහුට සැමදේ පිළිබඳ නිවැරදි ප්‍රත්‍යක්ෂයක් ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඒ වස දැමූ ඇපල් මග හැරීමට හෝ ඒවා අනතුරක් නොමැතිව වැළඳීමට හැකි වූයේ හෝ මේ ශක්තිය නිසා යයි ඔවුන් තීරණය කළා. 

ඔවුන් ඔහු සොයා ගොස් දනින් වැටී ආයාචනය මෙසේ කළා. 

‘අපට ප්‍රත්‍යක්ෂ වුණා. ඔබතුමා සාන්තුවරයෙක් බව. ඒ නිසා අපට ඔබතුමාගේ ගෝලයන් වීමට අවසර දෙන්න.’ 

‘මං සාන්තුවරයෙක් කියලා ඔබ කියන හේතුව නම් මට අල්ලන්නෙ නෑ. ඔබලා ඇත්තට ම මගේ ගෝලයන් වීමට උනන්දුවක් දක්වනවා නම් මං මේ ටික කියන්න කැමතියි. ඔහෙලා මාව මරන්න හදපු උපායෙන් මං බේරුණේ තැනින් තැන වැටිලා තියෙන පලතුරු කෑමෙට ගැනීමේ පුරුද්දක් මට නැති නිසයි.’ සාධුවරයා පිළිතුරු වශයෙන් කීවා. 

 - පර්සි ජයමාන්න


කොසොල් රජු දුටු සිහිනවලට බුදුරජුන් දුන් විස්මිත අරුත්!

$
0
0

සිහින යනු මොනවාද? සිහින නොදකින, සිහින නුදුටු අය අප අතර නැති තරම්. උපතින්ම අන්ධයන්ට හැර අනෙක් සියලු දෙනාට ම සිහින පෙනීම සාමාන්‍ය දෙයක්. ප්‍රංශ දාර්ශනික රෙනේ ඩේකාට් කියන්නේ අවදියෙන් සිටින විට ලබන සියලු අත්දැකීම් පවා සිහින කියායි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ යටි සිතෙහි ඇති දේ එළියට දැමීමක් බවයි. ඒ නිසා ඔහු සිහින අධ්‍යයනය කොට ඒ විශ්ලේෂණය තුළින් යටි සිත තේරුම් ගැනීමට උත්සාහ කළා. 

බුදුරජාණන් වහන්සේ ඒ සිහිනවල 
නියම තේරුම රජතුමාට පැහැදිලි කර දුන්නා.

අපි නින්දේ දී දකින සිහිනවලට යටි අරුත් ඇතැයි කියා සිටින අය පෙර’පරදෙදිග ම සිටිනවා. ඒ අය අතර සිහිනවලින් අපේ අනාගත සිදුවීම් ගැන කියන බවත් ඒ පිරිස කියනවා. එවැනි ලෝක ප්‍රකට සිදුවීමක් තමයි, ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපතිතුමාට නාට්‍ය ශාලාවකදී ඝාතකයකු වෙඩි තබන අයුරු කලින් දා සිහිනෙන් දුටු අයෙකු කී කතාව. එවැනි කතා රැසක් අප අසා තියෙනවා. 

සිහින පෙනීමෙන් කිසියම් ආකාරයක මානසික චිකිත්සාවක් සිදු කෙරෙන නමුත් යමකුගේ මානසික සෞඛ්‍යයට සිහින පෙනීමෙන් යම්කිසි වාසිදායක බලපෑමක් ඇති වන බවක් සිසියට සියයක් ඔප්පු කර හැහැ. න්‍යායාත්මකව නම් සිහිනවල කිසිම අරුතක් නැහැ.ඒවා මොළයේ ඇති වන විද්‍යුත් ස්පන්දක නිසා අපේ මතකයේ ඇති කෙරෙන පිළිබිඹුවක් විතරයි. 1977 ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සකයන් වූ ජේ. ඇලන් හොබ්සන් හා රොබට් මැකාලේ කියන්නේ සිහින ඔබ නින්දේදී ඔබේ මොළයේ සිදුවන නියුරෝන ක්‍රියාකාරිත්වයේ රටාවන් අවබෝධ කර ගැනීමට ලන්නා උත්සාහයයි. තවත් විධියකින් කීවොත් සිහින කියන්නේ නින්දේ දී ඔබේ මොළයේ සිදුවන ක්‍රියාවලියේ අතුරු ඵලයක්. 

සාමාන්‍යයෙන් සිහිනයක දිග කොපමණද? ඒක වෙනස් වෙනවා. ඒත් සමහර ඒවා තත්පර ගණනකට සීමා වෙනවා. සමහර ඒවා මිනිත්තු 20-30ක් කරම් දිගට යනවා. අපට බොහෝ සිහින අවදි වූ පසු මතකයට එන්නේ නැහැ. 

අපි අද සිහින ගැන මෙහෙම කීවාට බෞද්ධ සාහිත්‍යයේ සිහිනවලට විශේෂ තැනක් සිහිවෙනවා. සිදුහත් කුමරු මෙලොව පහළ වීම පිළිබඳ මව් බිසව වූ මහාමායා දේවිය සිහිනයක් දැක තියෙනවා. එය සිදු වූ අද වැනි ඇසළ පොහෝ දිනකයි. සිදුහත් බෝසතුන් පස්මහ බැලුම් බලා අනතුරුව මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීමට පෙර ඒ බව සිහිනයක් මගින් දැනුම් දුන් බව කියැවෙනවා. 

බෞද්ධ සාහිත්‍යයේ ප්‍රථම වැදගත් සිදුවීමත් මෙවන් ඇසළ පොහෝදිනකය් සිදුවුණේ. ඒ බුදුරදුන් සිය මංගල ධර්ම දේශනාව පස් වග තවුසන් උදෙසා සිදු කිරීමයි. බෞද්ධ සාහිත්‍යයේ කැපී පෙනෙන සිහින ලෙස සැලකෙන්නේ කොස‍ොල් රජතුමා දුටු සිහින 16 සහ බුදුරදුන් ඒවාට දුන් අරුත් පිළිතුරුයි. 

කොසොල් රජතුමා නින්දේදී දුටු සිහින 16 ක් නිසා මහත් කැළඹිල්ලට පත් වුණා. ඒවා අමුතු විධියක සිහින වූ නිසා ඒ ගැන තම රාජ සභාවේ සිටි පණ්ඩිතයන් ගෙන් විමසීමක් කළා. ඒත් පණ්ඩිතයන්ට ඒ සිහිනවල නියම තේරුම සිතා ගන්නට බැරි වුණා. අන්තිමේදී රජතුමා ඒ ගැන විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියා. බුදුරජාණන් වහන්සේ ඒ සිහිනවල නියම තේරුම රජතුමාට පැහැදිලි කර දුන්නා. 

කොසොල් රජතුමා දුටු ඒ සිහින හා ඒවාට බුදුරදුන් දුන් පිළිතුරු මෙහෙමයි. 

1. කොසොල් රජ දුටු පළමු සිහිනය. 

කොසොල් රජතුමා - “භාග්‍යවතුන්වහන්ස, මා දුටු පළමුවන සිහිනය මෙයයි. කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිසාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිවගෙන ආවා. ජනතාව ඒ දෙස මහා උද්යෝගයෙන් බලා උන්නා. ඒත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්යෝගයෙන් සිටි ඒ නරඹන්නන්ට ගොන් පොරය දැක ගන්න බැරි වුණා. ඒ නිසා ඔවුන් මහත් සේ දුක් වුණා. භාග්‍යවතුන්වහන්ස, මට මෙහි තෙරුම හිතා ගන්ට බෑ." 



බුදුජාණන්වහන්සේ - “රජතුමනී. මෙය ඔබට හෝ රටට හෝ අද හෙට මුහුණපාන්නට වන දෙයක් නෙවෙයි. මෙය සිදුවන්නේ අනාගතයේ දීයි. රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත්, කාලගුණයත් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන්. ඔන්න ඔය අතරේ ඝන වැසි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවීන් ගොවිතැනට සැරසෙනවා. ඒත් අර වහින්න කියා ආ වලාකුළු වෙන දිහාවකට පා වෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවීනුත් දුකට පත් වෙනවා. එක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ” 

2. කොසොල් රජ දුටු දෙවන සිහිනය. 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා දුටු දෙවන සිහිනය මෙයයි. රජ මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළවල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා. මට හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය.” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. එ් නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනවා. ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා. ඔවුන් කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එ් සිහිනයේ තේරුම එයයි. මෙයත් අනාගතයේදී සිදුවන දෙයක්.” 

3. කොසොල් රජ දුටු තෙවන සිහිනය. 

කොසොල් රජතුමා - “ස්වාමිනී මා දුටු තුන් වන සිහිනය නම් තමන්ගෙන් ම ඉපදුන වහු පැටියාගෙන් එළදෙන කිරි බොනවා! මෙය විය හැකි දෙයක් ද ස්වාමිනි.” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, ඒ සිහිනයෙන් කියන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන්ට ගරු කරන්නෙ නෑ. වැඩිහිටියන්ට සිදු වෙනවා, ඔවුන්ගේ දරුවන් ළඟ දාසයන් සේ වැඩ කරන්න හා ඔවුන්ගෙන් යැපෙන්නට. ඔවුන්ට සලකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන්ට සලකන්නේත් නැහැ. මෙයත් අනාගතයේදි සිදුවන දෙයක්.” 


4. කොසොල් රජ දුටු සිව් වන සිහිනය. 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා දුටුවා, ගැල් පේළියක ඉදිරිපස ගැල්වල ළපටි ගොනුන් බැඳ පසුපස ගැල්වල ජවසම්පන්න ගොනුන් බැඳ තිබුණා.. ඉතින් ඉදිරිපස ගැල්වල බැඳ සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය ඇදගන්න බැරි ව නතර වෙලා තිබුණා. එහි තේරුම කුමක්ද ස්වමීනී?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, ඒ සිහිනයෙන් කියන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අත්දැකීම් බහුල ඇමතිවරුන්හට බලතල නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු පුද්ගලයන් හට බලතල ලබා දී පාලනය අවුල් කර ගන්නවා. මෙයින් ඔබට හානියක් වෙන්නේ නෑ මෙයත් අනාගතයේ දී සිදුවන්නක්.” 

5. කොසොල් රජ දුටු පස් වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මගේ පස්වන සිහිනය ලෙස මා දුටුවේ, හිස් දෙකක් ඇති අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් දෙකෙන්ම තණකොළ කන හැටියි. ස්වාමිනී, මෙය වෙන්න පුළුවන්ද ?” 



බුදුරජාණන්වහන්සේ - "රජතුමනි, අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයනුත්, විනිශ්චයකාරයනුත් විත්තියත් පැමිණිල්ලත් යන දෙපැත්තෙන්ම අල්ලස් ගන්නවා. මෙම දෙපැත්තෙන්ම තණකොළ උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙයත් අනාගතයේදී සිදුවන්නක් ." 

6. කොසොල් රජ දුටු හය වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමිනි, මගේ සය වන සිහිනයෙන් මා දුටුවේ වියපත්හිවලකුට රන්තලියක මුත්‍ර කිරීමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමිනී, මෙහි තේරුම කුමක් ද?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, මෙයින් කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි සැලකෙන පුද්ගලයින් තමන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා සම්පත්වලින් පිරිහෙනවා. තමන්ගේ පරම්පරා වලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුහූ තමන්ගේ දූ දරුවන් අයුතු ක්‍රමවලින් ධනවතුන්ට සරණ පාවා දෙනවා. මෙයයි ඒ සිහිනයේ අර්ථය” 

7. කොසොල් රජ දුටු හත් වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමිනි, මා දුටුවා මිනිසෙකු අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලණුව අසුන යට සිටින හිවල් ධේනුවක් විසින් කා දමන ආකාරය. මෙහි තෙරුම කුමක් ද ස්වාමීනී?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිථ්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය බිරින්දන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇති වන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙයත් අනාගතයේදී සිදුවන්නක්.” 

8. කොසොල් රජ දුටු හත් වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමිනී, මා දුටුවා සතර දිගින් පැමිණෙන ගැහැනුන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා. හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ. ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම කුමක්ද ස්වමීනී?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශයින් දිළිඳු බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා. ධනය ඇත්තන්ම තවත් තර වෙනවා. නැත්තන් නැත්තට ම නැති වෙනවා. මෙයත් අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබතුමාට කිසිදු හානියක් නැහැ.” 

අප මේ දකින්නේ එදා කොස‍ොල් රජු දුටු අනාගතයද? ඉතිරි සිහින 8 ඉදිරියේ දී 

- පර්සි ජයමාන්න

අද ඇරඹුණ ඔලිම්පික් උළෙලේ ඔබ නොදන්නා විස්මිත තොරතුරු!

$
0
0

ලෝකයේ පැරණිතම උත්සවය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මුලින් ම පවත්වන ලද්දේ ක්‍රිස්තු පූර්ව 776 දීයි. එය පැවැත් වූයේ ග්‍රීසියේ ඔලිම්පියාහිදියි. පළමුවන සියඩෝසියස් අධිරාජයා විසින් එය ක්‍රිස්තු වර්ෂ 393දී සියලුම ආගමික පුදපූජා උත්සව අවලංගු කරන තෙක් නොකඩවා වසර හතරකට වරක් පවත්වනු ලැබුවා. එසේ සෑම වර්ගවලම ක්‍රීඩා තහනම් කරද්දී නවතා දමන ලදුව එය නැවත ආරම්භ කරන ලද්දේ තවත් වස 1500ක් ගත වුණාට පසුවයි. එදා ඒ මුල්ම ඔලිම්පික් උළෙල සිහිපත් කරවන දැන් ඇති එකම දෙය ඔලිම්පික් ගිනි සිළුවයි! 

ඔලිම්පික් රන් පදක්කම් තුන, රන්, රිදී හා ලෝකඩ

අද ඔලිම්පික් ගිනිසිළුව දල්වන්නේත් ඒ ඉපැරණි ඔලිම්පික් සාම්ප්‍රදාය භාවිත කරමිනුයි. එදා මුල්ම ඔලිම්පික් ගිනිසිළුව දැල්වූවේ ග්‍රීසියේ හේරා දෙවොලේ දී සූර්යා ලෝකය පන්දම මතට පතිත කරවීමෙනුයි. අද ඒ සඳහා ග්‍රීක පූජකවරියන්ගේ ඇඳුමින් සැරසුණු සුරූපිනියන් පිරිසක් විසින් ග්‍රීක බසින් ‘කෝව’ වන අරුත් දෙන ‘ස්කැපියා’ (Skaphia) නමින් හැඳින්වෙන වලයාකාර දර්පණයක් මගින් සූර්යා ලෝකය ඔලිම්පික් පන්දම මතට පතිත කරවීමෙනුයි. 

ගිනිසිළුව දැල්වූ තැන් පටන් ග්‍රීසියේ ඔලිම්පියා නගරයේ සිට සත්කාර රටේ අලුත්ම ඔලිම්පික් උළෙල පැවැත්වෙන ස්ථානයට රටින් රටට ධාවකයන් අතින් අතට ගෙන යනවා. ඒ ගමන බිමින්, බෝට්ටුවෙන්, ගුවන්යානයෙන් (වරක් කොන්කෝඩ් යානයෙන්), අසු පිටින්, ඔටු පිටින්, දිය යටින්, ආදි වශයෙන් විවිධ මං ඔස්සේ ගෙන යනවා. නොදැල්වූ ඔලිම්පික් පන්දමක් අභ්‍යවකාශයටත් කීප වතාවක් යවනු ලැබුවා. යම්හෙයකින් මේ ඔලිම්පික් ගිනිසිළුව අතරමග දී නිවී ගියොත් සාමාන්‍ය ගිනිදල්වන ලයිටරයකින් දැල්වීම තහනම්. එය දැල්විය හැක්කේ ග්‍රීසියේ එය ආරම්භක දැල්වීමෙන් ලබා ගන්නා අතිරේක පන්දමකින් පමණයි! 

ඔලිම්පියානුවන් ඔවුන් දිනන රන් පදක්කම් කටින් හපනවා ඔබ සමහර විට දැක ඇති

වසර 1500කට පෙර පැවති ඔලිම්පික් ක්‍රීඩා සාම්ප්‍රදාය නැවත ආරම්භ කරන ලද්දේ 1896දී ග්‍රීසියේදියි. ඒ නවීන ඔලිම්පික්වල මුල්ම ක්‍රීඩා උත්සවය හැටියටයි. 

පුරාණ ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩකයන්ට අද ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වාගේ අනුග්‍රාහකයන් හෝ අනුග්‍රාහක ආයතන අවශ්‍ය වුණේ නැහැ. රටින් රටට වෙනස් වූ නිල ඇඳුම් හා ආරක්ෂක ඇඳුම් කිසිවක් අවශ්‍ය වුණේ නැහැ. ඇඳුම් තබා අඩු තරමින් නූල් පොටක්වත් අවශ්‍ය වුනේ නෑ. එය හේතුව ඔවුන් ක්‍රීඩා තරඟවලට සහභාගිවූයේ සම්පූර්ණයෙන් ම නිරුවත්ව වීමයි! 

ඔලිම්පික් ගිනිසිළුව දල්වන අයුරු

එකල නිරුවත්ව ඔලිම්පික් තරගවලට සහභාගිවීම ආරම්භ වූයේ අහම්බෙන්. මුලින් ම තරගවලට සහභාගිවූ අය ඇඳ සිටියේ අමුඩයක් (loincloth). ඔවුන් අතරින් ධාවන තරගයට එක් වූ ඔර්සිප්පුස් (Orsippus) නම් තරගකරුවා ආරම්භයේ දී ඒ ඇඳුමින් සැරසී සිටියත් ජයග්‍රාහික ලෙස දිනුම් කනුව වෙත ආවේ ඒ ඇඳුමත් නැතුව මුළුමනින් ම නිරුවතින්. එය ග්‍රීක භාවයේ ලක්ෂණයක් ලෙස සලකා සියලු තරගකරුවන් ඉදිරියේ දී ඒ ආකාරයේ තරගවලට සහභාගි විය යුතු යැයි සම්මතයක් සංවිධායකයන් විසින් ඇති කළ ඉන්පසු තරගවලදී සහභාගි වූ රටවල් 14ම තරගකරුවන් තරඟවලට සහභාගිවූයේ සම්පූර්ණයෙන් ම නිරුවත්වයි! 

නග්නත්වය, නිර්භීත කම, ධෛර්යය, බලය, ශක්තිය, දෙවියන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි ‍ සංවිධායකයන් අර්ථ දැක්වූවේ. ඒ තරගකරුවන් ‘ආදම්’සිහිපත් කරන ආකාරයෙන් සිය කායික ලක්ෂණ හොඳින් ප්‍රදර්ශනය වන අයුරින් ඔලිව් තෙල් ඇඟ ගල්වාගන තමයි තරග වැදුණේ. තරගකරුවන් තරග වැදුණු ‘ජිම්නේසියම්’ (gymnasium) යන අරුතැති ග්‍රීක වදන බිඳී ආවේ ‘ජිම්නෝස්’ (gymnós) යන ‘නිරුවත’ අරුත දෙන වදනිනුයි. 

ඔලිම්පික් ක්‍රීඩාවලට මුලින් ම කාන්තාවන් සහභාගි කරවා ගත්තේ නැහැ. 1900 දි තමයි කාන්තා නියෝජනයට ඉඩ සැලසුණේ. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල භාෂා ඇත්තේ දෙකක් පමණයි! ඒ ඉංග්‍රීසි හා ප්‍රංශයි. ඊට අමතරව ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක යම් රටකින් සහභාගි වන්නේ නම් ඒ රටේ නිල භාෂාව ඒ ඒ ඉසව් සඳහා භාවිතයට ගන්නවා. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ධජයෙහි වළලු පහකින් සංකේතවත් කරන්නේ ඊට සහභාගි වන රටවල් අයත් වන මහාද්වීප පහයි. එය නව ඔලිම්පික් උළෙලේ සම සමාරම්භක පියරි ඩි කුබර්ටීන් (Baron Pierre de Coubertin) සාමිවරයා විසින් කළ නිර්මාණයක්. මේ වළලු සඳහා නිල්, කහ, කළු, කොඝ, රතු වර්ණත්, ධජයෙහි පසුබිම් වර්ණය ලෙස සුදත් යොදා ගනු ලැබුවේ ලෝකයේ ඔලිම්පික් සඳහා සහභාගි වන රටවල ධජයන් සමන්විත වර්ණ නියෝජනය කරන්නයි. 

මේ වන විට ඔලිම්පික් උළෙල සඳහා සත්කාර රටවල් 24ක් එක්වී සිටිනවා. 

ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව් අතරට තවදුරටත් මේ තරඟ ඇතුළත්වන්නේ නැහැ. ඒකල සමමුහුර්ත පිහිනීම (solo synchronized swimming) , කඹ ඇදීම(tug of war), කඹය දිගේ නැඟීම(rope climbing), උණුසුම් වායු බැලූන තරග(hot air ballooning), ද්වන්ධ පිස්තෝල හරඹය(dueling pistol), කීප දෙනකු පදින බයිසිකල් තරග(tandem bicycle), බාධක පිහිනුම් තරග(swimming obstacle race), නිමජ්ජන පිහිනුම් තරග (plunge for distance) යනු ඒ තරගයි. මේ අතරින් එක පහරින් පරෙවියන් වෙඩි තැබීම 1900 පැරීසියේ ඔලිම්පික් උළෙලට පමණක් එක කරගනු ලැබුවා. 

ඔලිම්පික් රන් පදක්කම් මුල්ම ටාසන් වූ ජොනී වෙස්මුලර්/div>

1972 දී ජර්මනියේ මියුනිච් නුවර පැවති ඔලිම්පික් උළෙලේ දී තමයි මුල්වරට නිල මංගල සත්වයකු(mascot) යොදා ගත්තේ. ඒ වාල්ඩි (Waldi) නම් ඩෑෂ්හවුන්ඩ් (dachshund) සුනඛයායි. 

දකුණු ඇමරිකා මහාද්වීපයේ ඔලිම්පික් උළෙලක් ප්‍රථම වරට පැවැත්වුනේ 2016 දීයි. බ්‍රසීලයේ ඒ රියෝ නගරයේදීයි. ඊට රටවල් 205කින් විවිධ ක්‍රීඩා 42ක් නියෝජනය කරමින් තරග ඉසව් 306ක් සඳහා තරගකරුවන් 10, 500ක් සහභාගි වුණා. 

මෙවර 2020 ඔලිම්පික් උළෙල කොවිඩ් 19 වසංගතය නිසා 2021 වසරට කල්ගිය අතර ඔලිම්පික් උළෙලක් කල් ගිය ප්‍රථම අවස්ථාව එයයි. තුන්වරක් අවලංගු වුනත් කල්ගිය පළමු වතාව මෙයයි. එය අද ජූලි 23 දා සිට අගෝස්තු 8 වැනිදා දක්වා දින 16ක් තිස්සේ ජපානයේ ‍තෝකියෝ අගනුවර දී පැවැත් වෙනවා. ඊට රටවල් 205කින් තරඟකරුවන් 11,427ක් එක් වී සිටිනවා. ශ්‍රී ලංකාවෙනුත් ඉසව් 7ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගි වෙනවා. 

ක‍ොවිඩ් වසංගතය නිසා ඔලිම්පික් උළෙලේ වියදම විශාල ලෙස වැඩි වී තියෙනවා. මුලින් පිරිවැය ලෙස ගණන් බලා තිබුණේ ඇමරිකන් ඩොලර් බිලියන 12.6ක් වුනත් දැන් ඒ වියදම ඇමරිකන් ඩොලර් බිලියන 15.4ක් දක්වා වැඩි වී තියෙනවා. වසංගතය නිසා පිරිවැය 22%කින් වැඩි වෙනවා. රජය කියන විධියට නිල පිරිවැයට වඩා ඩොලර් බිලියන 25ක් වැඩි වෙනවා. 

1936 ඔලිම්පික් උළෙලේ පදක්කම් දෙකක් කපා සම්මාන ප්‍රදානයක් කළ අවස්ථාවක් තියෙනවා. 1936 ජර්මනියේ බර්ලින් නුවර පැවති ඔලිම්පික් උළෙලේ රිටි පැනීමේ තරගයේ දී දෙවැනි ස්ථානය ජපන් ක්‍රීඩකයන් දෙදෙනා (ෂූහෙයි නෂිදා හා සූඕ ඔඉ) කරට කර දිනා ගත්තා. සංවිධායකයන් කළේ රිදී පදක්කමත් ලෝකඩ පදක්කමත් දෙකට කපා ඒ කැබලි පිරිද්දීමෙන් සම ස්ථාන දෙකට පදක්කම් දෙකක් තනා ඔවුන්ට ප්‍රදානය කළා. 

ඇමරිකන් ජාතික ජොනී වෙස්මුලර් (Johnny Weissmuller) 1924 දී පැරීසියේ පැවති ඔලිම්පික් උළෙලේ දී පිහිනුම් සඳහා රන් පදක්කමක් තුනක් හා කණ්ඩායම් ඉසව්ව සඳහා රිදී පදක්කමක් දිනා ගත්තා. 1928 දී ඇමස්ටර්ඩම් ඔලිම්පික් උළෙලේ දී තවත් රන් පදක්කම් පදක්කම් දෙකක් දිනා ගත්තා. ඊට පස්සේ ඔහුට මුල් ම ටාසන් ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණා. ඔහු එතැන් සිට චිත්‍රපට 12ක රඟපෑවා. 

2012 දී ලන්ඩනයේ පැවති ඔලිම්පික් උළෙලට සහභාගි වූ සියලුම රටවල් ඔලිම්පික් තරඟ සඳහ‍ා තරඟකාරියන් ඉදිරිපත් කළ ප්‍රථම ඔලිම්පික් උළෙලයි. එහි ඓතිහාසික වාර්තාවක් ද තියෙනවා. ඒ පළමුවරට සෞදි අරාබිය නියෝජනය කරමින් වෝජාන් ෂාහර්කානී (Wojdan Shaherkani) නම් කාන්තාවක් ඊට එක් වීමයි. ඇය තරග කළේ කාන්තා ජූඩෝ තරගවල කි.ග්‍රෑ. 78 බර පන්තිය වෙනුවෙනුයි. 

ඔලිම්පියානුවන් ඔවුන් දිනන රන් පදක්කම් කටින් හපනවා ඔබ සමහර විට දැක ඇති. ඒ කුමක් නිසාදැයි ඔබ සිතුවාද? ඒක ඉතා ඈතට දිව යන පුරුද්දක්. අතීතයේ දී වෙළෙන්දන් රන් කාසි නියම රත්තරන්දැයි තහවුරු කර ගැනීමට දතින් හපා බලන පුරුද්දක් තිබුණා. ඒ ඒවාට ඊයම් මාත්තුවක් ඇත්නම් දත්පාර ඊට වදිනවා. නියම රත්තරන් නම් දත්පාර වදින්නේ නැහැ. ඒ පුරුද්ද තමයි මෙච්චර දුර ඇවිත් තියෙන්නේ. 

ඔලිම්පික් රන් පදක්කම තනිකරම රනින් නිම වන්නේ නැහැ. ඒවා දැන් නම් වැඩිපුර රිදීවලින්. රන් පදක්කම්වල ඝන රන් ආලේපයක් තමයි තියෙන්නේ. 1904 දී තමයි අවසාන වරට තනි රනිින් කළ පදක්කම් ප්‍රදානය කළේ. 

ඔලිම්පික් මැරතන් එකක් සපත්තු නැතුව දුවල දිනපු අවස්ථාවක් තියෙනවා. එහෙම තමා 1960 රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ දී ඉතියෝපියාවේ අබිබි බිකිලා (Abebe Bikila) මැරතන් රන් පදක්කම දිනුවේ. සැගැපුම් 26ක් දුර මැරතන් තරගය ඔහු අපහසුවක් නැතුව දුවනු නරඹන්නන් විස්මයෙන් බලා සිටියා. ඔහු තමයි, අප්‍රිකානු ඉතිහාසයේ පළමුවරට ඔලිම්පික් රන් පදක්කමක් දිනුවේ. 

ඔලිම්පික් වාර්තා අතර වසර 23ක් නොකැඩී තිබුණු වාර්තාවක් තියෙනවා.1968 මැක්සිකෝ සිටි ඔලිම්පික්වල දී බොබ් බීමන් හෙවත් රොබට් බීමන් (Robert Beamon) දුර පැනීමේ තරග ඉසව්ව දිනුවේ සෙන්ටි මීටර් 55ක් වැඩිපුර දුරක් දුර පැනලයි. ඔහු පැන්න දුර මීටර 8.90 ක්. ඒ වාර්තාව වසර 23කට පස්සේ 1991දී වෙනත් ලෝක තරඟාවලියක දී මයික් පවෙල් විසින් බිඳ දමනු ලැබුවා. ඒ මීටර 8.95ක් දුර පැනලයි. 

- පර්සි ජයමාන්න

අනාගතය ගැන විස්මිත හෙළිදරව්වක් කළ කොසොල් රජුගේ සිහින!

$
0
0

බෞද්ධ සාහිත්‍යයේ කැපී පෙනෙන සිහින ලෙස සැලකෙන්නේ කොස‍ොල් රජතුමා දුටු සිහින 16 යි. ඒවා අනාගතය ගැන අනාවැකි ලෙසයි, බුදුරදුන් ඒවා අරුත් ගැන් වූ හැටි විස්මිතයි. එහි මුල් සිහින 8ක් ගැන පසුගිය ජූලි 22 දා ‘මල්කැකුළු’වලින් හෙළි කළා. අද අප එහි ඉතිරි සිහින 8 ගැන කියනවා. 

එදා දඹදිව කෝසල රාජ්‍යයේ පාලක පසේනදී කොසොල් මහරජු විසින් නින්දේ දී අමුතු සිහින සොළොසක් දුටුවා. එයින් මහත් සේ කැළඹිල්ලට පත් රජු සිය පුරෝහිත බමුණන් කැඳවා ඒ සිහින ගැන කියා ඊට හේතු කවරේදැයි විමසුවා. ඒත් පණ්ඩිතයන්ට ඒ සිහිනවල නියම තේරුම සිතා ගන්නට බැරි වුණා. ඒ නිසා ඒ පුරෝහිතයන් කීවේ ඒ සිහින ඉතා භයානක අසුබ ඒවා ලෙස සැළකිය යුතු බවයි. එයින් රජුටත් රටටත් භයානක විපාකවලට මුහුණ දීමට සිදු විය හැකි නිසා එය වළක්වා ගැනීමට නම් සියලු වර්ගයේම සිවුපා සතුන් දහස බැගින් රැගෙන ඔවුන් ඝාතනය කර බිළි පූජාවක් සමග යාගයක් කළ යුතු බවයි. 

සතුන් දහස් ගණනකගේ ජීවිත විනාශ කෙරෙන එම යාගය ගැන දෙගිඩියාවක් ඇති වූ නිසා කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වී ඒ ගැන විමසුවා. බුදුරජාණන් වහන්සේ ඒ සිහිනවල නියම තේරුම එකිනෙක මෙසේ රජතුමාට පැහැදිලි කර දෙමින් දේශනා කළේ අනාගතයේදී ලොව පහළ වන අධර්මිෂ්ට රාෂ්ටපාලකයන් නිසා එකී රටවලට හා ජනතාවට මුහුණ පාන්නට වන අවසනාවන්ත තත්වයන් ගැන ඒ සිහිනවලින් කියැවෙන බවයි. එය බෞද්ධ සාහිත්‍යයේ එන්නේ කොසොල් රජතුමා සහ බුදුරජාණන් වහන්සේ අතර දෙබසක් හැටියටයි. මේ කරුණු අවබෝධ කර ගෙන කටයුතු කළහොත් එය වළක්ව‍ා ගත හැකි බවත් උන්වහන්සේ එදා රජතුමාට පැහැදිලි කර දුන්නා. 

කොසොල් රජතුමා දුටු ඒ සිහින හා ඒවාට බුදුරදුන් දුන් පිළිතුරු මෙහෙමයි. 

9. කොසොල් රජ දුටු නව වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා සිහිනෙන් දුටුවා දිය පිරුණු පොකුණක්. ඒ පොකුණේ මැද වතුර බොර වී තිබුණා. සතුන් සිවුපාවුන් රංචු පිටින් ඇවිත් පොකුණ වටේ හිඳ වතුර බොනවා. ස්වාමීනි, මේ පොකුණ වටේට තිබුණේ හොඳ පැහැදිලි වතුර. පොකුණ මැද්දෙ විතරයි වතුර බොර වෙලා තිබුණේ. ස්වාමීනි, පොකුණ වටේට තිබුණු වතුර පැහැදිලි වෙන්නත් මැද විතරක් වතුර බොර වෙන්න විදියක් නැහැ නේද? එහෙම නම් එහි ඇති තේරුම කුමක්ද?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, රටේ පාලකයන් අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂණය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා. තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත්, රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත්, ඔවුන් ඒවා සොයා වෙනත් රටවලට යනවා. එවිට ඔවුන්ගේ සේවය රටට අහිමි වෙනවා. ඒ නිසා රට තව තවත් පිරිහීමට ලක් වෙනවා. මේ හීනයෙනුත් ඔබට හානියක් සිදුවන්නේ නැහැ. මෙයත් සිදුවන්නේ අනාගතයේදියි .” 

10. කොසොල් රජ දුටු දස වන සිහිනය 

කොසොල් රජතුමා - “බුදුරජාණන් වහන්ස, මා හීනෙන් දුටුවා බත් හැලියක් ලිප මත තියෙනවා. ඒ බත් හැලියේ එක් පැත්තක නොපිසුණු සහල් ද, තවත් පැත්තක බාගෙට පිසුණ සහල් ද, තවත් පැත්තක ඇට්ටකුණාවුණු සහල් ද තිබුණා. ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග තිබුණේ කොහොමද? මට මේක මහ පුදුමයක්! මෙහි තේරුම කුමක් ද?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, පුදුම වෙන්න දෙයක් නැහැ. මෙයත් අනාගතයේ පාලකයින්ගේ වැරදි නිසා සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසි කලට නිසි ලෙස වැසි වසින්නේ නැහැයි කියා .එම නිසා ඉහත සිහිනයෙන් කිය වෙන්නෙත් අන්න එවැනි දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ. වැස්සත් වසින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා. මෙන්න මේකයි, අනාගතයේ සිදුවන දෙය. මෙයින් ඔබට හානියක් නැහැ. " 

11. කොසොල් රජ දුටු එකොළොස්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනී, මා දුටු මේ හීනය නම් අමුතුම ආකාරයේ එකක්. මා දුටුවා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වමීනී, එහි තේරුම කුමක්ද?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, අනාගතයේදී මගේ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැප උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන් වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල්වලට පාව දීම තමයි, ඒ හීනයේ තේරුම.” 

12. කොසොල් රජ දුටු දොළොස්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනී, මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දිය මතුපිට පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දිය යට ගිලෙනවා. මා දුටු ඒ සිහිනයේ අරුත කුමක්ද ස්වාමීනි?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, අනාගතයේදී රාජ සභාවේ (මේ කාලයේ වගේ නම් මැතිසබයේ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අයට ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජ සභාව හිස් කතාවලින් පිරෙනවා. පන්සල් හා අනෙකුත් ආගමික ස්ථනවල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතාවලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ.” 



13. කොසොල් රජ දුටු දහතුන්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ. එහි තෙරුම කුමක්ද?” 

බුදුරජාණන්වහන්සේ - “මහරජතුමනී, මෙයින් ඔබ බිය විය යුතු නැහැ. මෙයින් කි‍යවෙන්නේ අනාගතයේ පාලකයනුත් මහජන ප්‍රජාවත් රටේ ඉන්න උගතුන්ගේ, වියතුන්ගේ, බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාසනාවලට ඇහුම්කන් දෙන්නේ නැති බවයි. රාජසභාවේත්, ප්‍රජාවත් අතර පවතින වටිනා අදහස් ප්‍රයෝජනයට නො ගෙන ඔහේ පා වෙලා යනවා.” 

14. කොසොල් රජ දුටු දාහතරවන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට උන් පස්සේ එළවනවා. මෙය විය හැක්කක්ද? මෙහි තේරුම කුමක් ද?” 

බුදුරජාණන්වහන්සේ - “අනාගතයේ දී මිනිසුන් දැනටත් වඩා රාගාධික වෙනවා. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා. ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින බාල වයස්කාර ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින්ට නිග්රහ කරනවා. මෙම සිහිනයෙන් කියැවෙන්නේ එයයි. " 



15. කොසොල් රජ දුටු පහළොස්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනී, මගේ ඊළඟ සිහිනයෙන් මා දුටුවේ නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු වටා පිරිවර වශයෙන් හංසයන් ඉන්නා ආකාරයයි.” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින්ට, මිනිමරුවන්ට, හීන ජාත ඇති අයට, ඉතා ඉහළ සම්භාවනීයත්වයක් ලබා දෙනවා. එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජඹෙනවා. ඒ නිසා මොවුන්ට යටත් වීමටත්, ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් බුද්ධිමතුන්ට සිදුවනවා. මේ හීනයෙන් ඔබට කිසිදු හානියක් නැහැ. මෙය සිදුවන්නේ අනාගතයේදියි.” 

16. කොසොල් රජ දුටු දහසයවන සිහිනය 

කොසොල් රජතුමා - “භග්‍යවතුන් වහන්ස, මේතරම් කලක් අප අසා තිබුණේ කොටියන් විසින් එළුවන් අල්ලා ගෙන කන බවයි. නමුත් මගේ මෙම සිහිනයෙන් මා දුටුවේ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි. මෙහි තේරුම කුමක්ද ස්වාමිනී ?" 

බුදුරජාණන්වහන්න්සේ - “රජතුමනි දාමරීකයන්ට, මිනිමරුවන්ට, රජයෙන් වරදාන, වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනු ලබනවා. ඒ සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී ඔවුන්ට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා. ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින්ට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා අසරණව බලා ඉන්නවා. රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි, ඔබ දුටු ඒ සිහිනයේ අරුත එයයි. මෙයින් ඔබ බිය වියයුතු නෑ මෙය සිදුවන්නේත් අනාගතයේදියි.” 

එදා කොසොල් රජතුමා දුටු සිහින අද සැබෑවක් වී ඇද්ද ? නැද්ද? යන්න තීරණය කිරීම ඔබට බාරයි! ඉහත සිහින 16 පිළිබඳව බුදුරජාණන්වහන්සේ ලබා දුන් පැහැදිලි කිරීම් විමසා බලන විට අපට සිතෙන්නේ උන්වහන්සේ විසින් එම සිහින 16 ට අදාළ ව දේශනා කළ අනාගතය දැන් උදා වෙමින් පවතින බවයි. ඒ නිසා අප විසින් කළ යුත්තේ එවැනි පිරිහීමකට රටත් සමාජයත් පත්වීමට ඉඩ නොදී යහපත්ව පවත්වා ගෙන යාමට කටයුතු කිරීමයි. ඒ සඳහා සුදුසු පිළියම් ඇත්තේත් උන්වහන්සේ දෙසූ දහම තුළම පමණයි.

- පර්සි ජයමාන්න


අපේ ‘කරූ’ අමරණීය කළ ඔලිම්පික් උළෙල ගැන තැනූ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’

$
0
0

ඔලිම්පික් ගැන සිහි කරන හැමවිට ම මගේ සිහියට එන්නේ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ (Tokyo Olympiad) කියන 1964 දී ජපානයේ පැවති මුල් ම ඔලිම්පික් උළෙල පිළිබඳව තැනූ වාර්තා චිත්‍රපටයයි. ඔලිම්පික් උළෙල පිළිබඳව සෑම උළෙලක් වෙනුවෙන් ම වාර්තා චිත්‍රපට තනා තිබෙනවා. ඒ සියල්ල අබිබවා ජපන් චිත්‍රපට අධ්‍යක්ෂ කොන් ඉචිකාවාගේ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ මගේ මතකයට එන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ ආර්. ජේ. කේ. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්ද කෙරෙහි අවධානය යොමු කිරීම නිසයි. ඉචිකාවා අපේ ‘කරු’ තෝරා ගත්තේ ඔලිම්පික් උළෙලේ තේමා පාඨය වූ ‘not to win but to participate’ ‘දිනන්නට නොව සභාගිත්වය උතුම්’ යන්න ඉස්මතු කරන්නටයි. 

ජපානයේ 1964 ඔලිම්පික් උළෙල ගැන කළ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ චිත්‍රපටයේ පෝස්ටරය

අපේ කරුණානන්ද එවර සහභාගි වූයේ ඔලිම්පික් උළෙලේ මීටර 5000 හා මීටර 10,000 තරඟ සඳහායි. ඔහු මීටර 10,000 තරඟයට සහභාගිවුවද ඔහුට තරගය දිනන්නවත් මුල් තරගතරුවන් අතරට එක් වෙන්නටවත් හැකි වුනේ නැහැ. ඒ තරගය අවසන් වී පදක්කම් ප්‍රදානයෙනුත් පසුවත් ඔහු තරගය අත් නො හැර අවසාන තරගකරුවා ලෙස තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගනය තුළ දිගට ම දුවමින් සිටියා. ප්‍රේක්ෂකයන් ඒ දුටු විගස අන් සියල්ල අත හැර ‘කරු’ දෙස බලා නැඟී සිටිමින් අත්පොළසන් දෙන්න පටන් ගත්තා. 

ඉචිකාවාගේ කැමරාකරුවකු අත් පොළසන් ප්‍රේක්ෂකයනුත් අවසාන ක්‍රීඩකයා ලෙස තවමත් දුවන රණතුංග  කරුණානන්දවත් කැමරාවට නඟන්න පටන් ගත්තා. අධ්‍යක්ෂ ඉචිකාවා කැමරාකරුවන්ට කියා තිබුණේ, ‘මට ඕනෑ, ක්‍රීඩකයන්ගේ හැම ඉරියව්වක්ම, සමීප රූපවලිනුත් ගන්න. ඔවුන්ගේ මනුෂ්‍යත්වය ඉස්මතු වන විදියට. දහදිය, ලේ, කඳුළු මේ හැම එකක්මත්, ඒ වගේම ඔවුන් සම මත අඳින හැඟීම් ආදියත් කැමරාවට නගන්න’ ඔහු ඒ චිත්‍රපටයේ ආරම්භයේ දීම ඔහුගේ කණ්ඩායමට කියා තිබුණා. ප්‍රේක්ෂකයන් හැමෝම උන් අසුන්වලින් නැගිට අත්පොළසන් දෙන්න පටන් ගත්තා. 

ජපානයේ නම රැන්දූ රණතුංග කරුණානන්ද

ඔහු දිනුම් කණුව පහු කරන විට එදා මැරතන් තරගය දිනූ අබිබි බිකිලාටවත්, 10,000 තරගය දිනූ ඇමරිකාවේ බොබ් විල්ස්ටවත් නුදුන් අත්පොළසන් නාදයක් ඔවුන් ‘කරූ’ට ලබා දුන්නා. අවසානයේ පැවති ප්‍රවෘත්ති සකාච්ඡාවක දී විල්ස් කීවේ ඒ රන් පදක්කම ඔහුට නොව කරූට සුදුසු බවයි. 

කරූ දුවන දර්ශන පෙළ අධ්‍යක්ෂ ඉචිකාවා අනිත් හැමටම ඉහළින් නිර්මාණශීලීව යොදා ගැනීම ගැන ලොව පුරා සිනමා විශාරදයන් මහත් සේ ප්‍රශංසා කළා. ලොව ඉහළම සම්මානයෙන් ඒ චිත්‍රපටය පිදුම් ලැබුවා. මේ චිත්‍රපටය තැනීමට ඉචිකාවා තමා සමග දිගු කලක් එකට වැඩ කළ චිසුකෝ ඔසාදාත් ඔහුගේ ප්‍රධාන කැමරාශිල්පියා වූ මසුඕ යමගුචිත් එකතු කර ගත්තා. එපමණක් නොව ඔහු යොදා ගත්තා තාක්ෂණික ශිල්පීන් සිය ගණනක්, කැමරා කරුවන් හා කැමරා 100ක්. ඒ වගේ ම භාවිත කළා විවිධ කාච වර්ග 250කටත් වැඩි ගණනක්. ටෙලිෆොටෝ කාච සහ ඒවා රඳවන උපකරණ විදේශවලින් ගෙන්වා ගන්නටත් ඔහුට සිදු වුණා. 

අධ්‍යක්ෂ ඉචිකාවාගේ පුත් තත්සුමි කියන්නේ ‘තාත්තා එහි හැම ක්‍රීඩාවක් සඳහා ම වෙන වෙන ම තිර කතාංග ලියා ගෙන කල් ඇතිව සැලසුම් කළා’ කියායි. මේ අපූරු නිර්මාණය කිරීම සඳහා ඔහුගේ පියා ඔහු සතු සිනමා දැනුම උපරිමයෙන්ම යොදා ගත් බවයි. 

අධ්‍යක්ෂ කොන් ඉචිකාවා

ජපානයට මුලින් ම ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට යෝජනා කෙරුණේ 1940 දී. ඒත් ඒක වැරදී ගියා, දෙවැනි චීන-ජපන් යුද්ධය ආරම්භ වුණු නිසා. තවත් අවුරුදු 24ක් ගත වුණා, ඔලිම්පික් සිහිනය සැබෑ කර ගන්න. ඒ වන විට ඔවුන්ට 1945 දී ‘ලිට්ල් බෝයි’ හා ‘ෆැට් මෑන්’ නම් පරමාණු බෝම්බ දෙකක ව්‍යසනයට මුහුණ දීමට සිදු වී තිබුණා. රට බින්දුවට වැටුණා. ඒත් ජපන් ජාතිකයන් වැටුණේ නෑ. ඔවුන් නැඟී සිටියා. (මෙවර 2020 ඔලිම්පික් පහන දල්වන්නට ගිනිසිළුව ගෙන ගියේ 1945 අගෝස්තු 6 වැනිදා පරමාණු බෝම්බය දැමූ දා ඒ නගරයේ උපත ලැබූ දරුවෙක්!) 

1959 දි ජපන් අග්‍රාමාත්‍ය නොබුසුකේ කිෂි‍ට හැකි වුණා, 1964 ඔලිම්පික් උළෙලේ සත්කාර රට ලෙස ජපානය තෝරා ගැනීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව කැමති කරවා ගන්නට. ජපානය යුද්ධයට විරුද්ධ සාමකාමී රටක් බව ලෝකයා ඉදිරියේ පෙන්වන්න ඔවුන් නිපදවූ චිත්‍රපටවලින් හැකියාව ලැබුණා. ඒ නිසා අගමැතිවරයාගේ ඉල්ලීම සඵල වුණා. 

අධ්‍යක්ෂ කොන් ඉචිකාවා 1964 ඔලිම්පික් උළෙලේ දී චිත්‍රපටය රූගත කරමින්

1950 දී ඔවුන් සිනමාවෙන් ලත් දියුණුව ලොව පුරා පිළිගැනීමට ලක් වුණා. 1951 දී අකිරා කුරෝසාවාගේ ‘රෂොමන්’ චිත්‍රපටය වැනීසියේ ගෝල්ඩන් ලයන් සම්මානය දිනා ගනිමින් මුල් වරට ලෝකයේ අවධානය දිනා ගත්තා. 1954 දී ඉෂිරෝ හොන්ඩාගේ ‘ගොඩ්සිලා’ ඊළඟට ලෝකයේ අවධානය දිනා ගත්තා. කොන් ඉචිකාවාත් ඒ අධ්‍යක්ෂවරුන් ගොන්නෙන් එක් කෙනක් තමයි. ඔහුගේ යුද විරෝධී චිත්‍රපට, මානුෂික ගුණාංග ඉස්මතු කළ චිත්‍රපට ලෝක විචාරකයන්ගේ පැසසුමට ලක් වූ නිසා තෝකියෝ ඔලිම්පික් උළෙල අලලා චිතුපටයක් කරන්න ඔහුට පැවරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි, ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ චිත්‍රපටය බිහිවුණේ. 

ක්‍රීඩාව තුළින් මිනිස් ගුණාංග ඉස්මතු කර විචිත්‍රත්වය විදහා පාමින් අධ්‍යක්ෂ කොන් ඉචිකාවා ඔලිම්පික් උළෙලේ විවිධ අවස්ථා උපයෝගී කර ගනිමින් මිනිත්තු 168ක සිනමා කාව්‍යයක් නිර්මාණය කර තිබෙන බවයි, එදා ලෝක ප්‍රකට චිත්‍රපට විචාරකයන් හැමදෙනාම පාහේ කීවේ. ක්‍රීඩකයන්ගේ හද ගැස්මට සවන් දීමට ඔබට මේ චිත්‍රපටය තුළින් අවස්ථාව සැලසෙනවා. 

කරුණානන්ද ගැන ජපන් පෙළ පොතේ පළ වී ඇති අයුරු

කරු ගැන තවත් දෙයක් මෙහිදී කියන්න ඕනෑ. ජපානයේ පෙළ පොත්වල ‘කරූ’ ගැන ජපානයේ දරුවන්ට කියා දෙනවා. එදා තරගය නිමා කළ පසු වාර්තාකරුවකු කරූගෙන් ජයක් නොලැබෙන බව පෙනෙද්දීත් දිව්වේ මන්දැයි ඇසූ විට කරූ ඒකට දුන්නේ මෙහෙම උත්තරයක්. ‘මං ආවේ දිනන්නම නෙවෙයි. ඔලිම්පික් පාඨයේ කියන විදියට ‘දිනන්න නොවෙයි සහභාගිවීමයි වැදගත්’ යන්න අනුව මං තරගය අතර මග අත ඇරියේ නෑ දිගටම සහභාගි වුණා’ ඔහු එදා කී කතාවත් ඇතුළත් කර ඔහු ගැන පරිච්ඡේදයක් ජපානයේ පාසල් පෙළ පොතකට පවා ඇතුළත් කරලා තියෙනවා. ලෝකයේ ආදර්ශමත් චරිතයක් ලෙස ඔහුව ජපන් ජාතියට වැදගත් සංකේතයක් ලෙස භාවිත කළත් අපේ රටේ අධ්‍යාපන බලධාරීන් නම් එහෙම කෙනෙක් උන්නේදැයි දන්නවාදැයි මට සැකයක් ඇති වෙනවා. 

කරුණානන්ද ගැන තැනූ පහත සඳහන් යූ ටියුබ් වීඩියෝවත් නරඹන්න. 

කරුගේ අවසානය ගැනත් යමක් කියන්න ඕනෑ. වසර ගණනාවකට පසු 1975 දී ඔහුට හා පවුලේ සියලු දෙනාටම ජපානයෙන් ඇරයුමක් ලැබුණා, එහි එන ලෙසට. ඔවුන් ඔහුට එහි රැකියාවක් සූදානම් කර තිබුණා. එහි යාමට ඔන්න මෙන්න තිබියදී නාමල් ඔයේ ගිලී ඔහු අබිරහස් ලෙස මිය ගියා. අපේ රටේ බලධාරීන් ඔහු ගැන හෝ ඒ පවුල ගැන සොයා බලා නැහැ. ඔහුගේ බිරිඳ සැමියාගේ හදිසි මරණය දරා ගත නොහැකිව සිහිවිකල්ව ගියා. කෙසේ හෝ ඔවුන්ගේ පිහිටට මිතුරකු ඉදිරිපත් වී තියෙනවා. 

එදා ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ තුළින් අපේ කරු ගැන ලෝකයාගේ අවධානය යොමු කළ කොන් ඉචිකාවා ඔහුගේ ඒ විශිෂ්ට නිර්මාණය ආරම්භ කරන්නේ මෙහෙමයි. ‘ඔලිම්පික්, දැවැන්ත මානව ප්‍රයත්නයක සංකේතයයි!’ මෙසේ කියද්දී සුදු පසුබිමේ ඔලිම්පික් වළලු පහ සහිත ධජයත් ඒ සමගස ජපන් ජාතික ධජයත්, නැගෙන හිරු පසුබිම් කර ගෙන දිව යන ධාවකයන්ගේ අඳුරු රූ පෙළක් දිස් වෙනවා. ඔලිම්පික් ගිනිසිළුව රැගත් ධාවකයා පූජියාමා ගිනිකන්ද පසු බිම කර ගෙන දිව යන අයුරුත් දැක ගන්න පුලුවන්. ඉචිකාවා ඒ නිර්මාණය අවසන් කරන්නේ මේ වැකියෙන්. ‘අවුරුදු හතරකට වරක් ලෝකයේ මානවයන් එකම සිහිනයක් දකිනවා. ලොව පුරා සාමය ඇති කරවන්නට ඒ සිහිනය පමණක් ප්‍රමාණවත් මදිද?’ ඔහු ඒ චිත්‍රපයෙන් විමසනවා. මේ චිත්‍රපටය ලෝක සිනමාව බිහිකළ චිත්‍රපට 100 අතරෙහි ලා සැලකෙන්නක්. මෙය අන්තර්ජාලයෙන් ඔබට නරඹන්න පුලුවන්. 

1965 දී තිරගත වුණු ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ (Tokyo Olympiad) චිත්‍රපටය වගේ මෙවර 2020 ඔලිම්පික් උළෙල ගැනත් වාර්තා චිත්‍රපටයක් තනන්නට බාර දී තියෙන්නේ, ජපන් චිත්‍රපට අධ්‍යක්ෂවරියකටයි. නඕමි කවසේ (Naomi Kawase) නම් ඇය කෑන්ස් චිත්‍රපට උළෙලේ දී ප්‍රධාන සම්මානයක් දිනූ ලොව ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරියයි. ඇගේ ඒ නිර්මාණය බලන්නට අපට හැකි වනු ඇත්තේ ලබන වසරේදියි. 

- පර්සි ජයමාන්න 

 

ඔලිම්පික් උළෙලේ දී රටවල් 205ක් සමග හැප්පෙන රටක් නැති ක්‍රීඩා කණ්ඩායමක්!

$
0
0

මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙලට ලෝකයේ රටවල් 205ක් ක්‍රීඩා තරගවලට සහභාගි වෙනවා. ඒ අතර ඒ කිසිම රටකට අයිති නැති කණ්ඩායමක් ද ඔවුන් සමග තරග වදිනවා. ඔවුන් තරග වදින්නේ ඔලිම්පික් ධජය යටතේයි. ඔවුන් හඳුන්වනු ලබන්නේ ‘සරණගත ඔලිම්පික් කණ්ඩායම’ (Refugee Olympic Team) කියලයි. 

සරණගත පිරිසේ ක්‍රීඩිකා කිමියා අලිසාදේ බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා ජේඩ් ජෝන්ස් පරාජයට පත් කළ මොහොතේ.

ඔවුන්ට නියෝජනය කිරීමට නිශ්චිත රටක් නැත. ඔවුන් කලින් අයත් වූයේ ඇෆ්ඝනිස්ථානය, කැමරූන්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එරිත්‍රියාව, ඉරානය, ඉරාකය, කොංගෝ ජනරජය, දකුණු සුඩානය, සුඩානය, සිරියාව හා වැනිසුවේලාව යන රටවල්වලටයි. 

ඒ රටවල පුරවැසිභාවය අහිමි වූ ඔවුන් දැන් එක්සත් ජාතීන්ගේ සරණගතයන් පිළිබඳ මහ කොමසාරිස්වරිය යටතේ හා සරණගත ඒජන්සියේ පිළිසරණය මතයි ජීවත් වන්නේ. ඒ නිසා එම ආයතන සමග සහයෝගය ඇතිව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තමයි, ඔවුන් ඒක රාශී කොට ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායමක් නිර්මාණය කළේ. ඒ මීට වසර පහකට පෙරයි. 

සරණගත පිරිසේ ක්‍රීඩිකා යුස්රා මර්දිනි තරග ඉසවුවකට පසු..>

2016දි මුල් වතාවට ජාතීන් හතරකට අයත් සරණගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බ්‍රසීලයේ රියෝ ඩි ජනීරෝ නුවර පැවති ඔලිම්පික් උළෙලට සහභාගි වුණා. ඔවුන් ඉතා දක්ෂ ලෙස තරග කළා. එයින් ලෝකයේ ම අවධානය සරණගත ප්‍රශ්නය කෙරෙහි යොමු කිරීමට හැකි වුණා. මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙලටත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න ඔලිම්පික් කමිටුව තීරණය කළා. 

මෙවර සරණගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය ලැබුණා. ඔවුන් මාස ගණනාවක් තිස්සේ කටාර් රාජ්‍යයේ සත්කාරය යටතේ සියලු පහසුකම් ඇති ව පුහුණු ලැබුවා. මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වී සිටින ඔලිම්පික් සරණාගත කණ්ඩායම 29 දෙනකුගෙන් සමන්විතයි. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසවු 12කට සභාගි වෙනවා. 

මේ සරණගත ඔලිම්පික් කණ්ඩායමට අයත් වන්නේ, සිවිල් යුද ගැටුම්, රාජ්‍ය පෙරැළි, දේශපාලනික පළිගැනීම් සහ විවිධ මානුෂීය අරගල හේතුවෙන් තම මවු රටින් විදේශවලට ගොස්, එම විදේශවල රටක් නොමැතිව සරණගතයන් ලෙස ජීවත්වන ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි. 

සරණගත පිරිසේ ක්‍රීඩිකා මූනා දා‍හෝක් කියුබානු ක්‍රීඩිකා මේලින් ඩෙල් ටෝරෝ කාවජාල් සමග තරග වදිද්දී..

මොවුන් සියලු දෙනාම එක්සත් ජාතීන්ගේ සරණාගත ලැයිස්තුවේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනවා. සරණගත කණ්ඩායමක් ලෙස ඔලිම්පික් උළෙලට සහභාගී වීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වරම් ලැබුණේ, ඔවුන්ගේ දක්ෂතා ගැන පැහැදීමෙන්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඔවුන් ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ කළ නිසයි. 

මෙවර සරණාගත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනා මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බොක්සිං, ඔරු පැදීම, පාපැදි, ජූඩෝ, කරාතේ, වෙඩි තැබීම, පිහිනීම, ටයිකොන්ඩෝ, බර ඉසිලීම සහ මල්ලවපොර යන ක්‍රීඩා ඉසවු නියෝජනය කරනවා. 

තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලියේදී සරණාගත කණ්ඩායමට ඇතුළත්, ඉරාන සරණගත ක්‍රීඩිකා කිමියා අලිසාදේට සරණාගත ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රථම පදක්කම දිනා ගැනීමට ඔන්න මෙන්න අවස්ථාවක් ලැබුණත්, අවසන් මොහොතේ එම අවස්ථාව ගිලිහී ගියා. තෝකියෝ නුවර පැවති පළමු වටයේදී කිමියා අලිසාදේ 18-9ක් ලෙස ඉරාන ප්‍රතිවාදියා වූ නහීඩ් කියියානි චන්දෙ පරාජය කළා. 

16 වැනි වටයේදී කිමියා අලිසාදේ, දෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී බ්‍රිතාන්‍ය ශූරිය ජේඩ් ජෝන්ස් ද පුදුමයට පත් කිරීමට සමත් වුණා. අවසානයේ කිමියා අලිසාදේ බ්‍රිතාන්‍ය ශූරිය 16-12ක් ලෙස පරාජය කළා. 23 හැවිරිදි කිමියා අලිසාදේ සරණාගත කණ්ඩායම නියෝජනය කරමින්, 2016 රියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කළා.

 - පර්සි ජයමාන්න


2020 ඔලිම්පික් මතක සටහන් - රන්පදක්කමක් දිනූ ළා බාල ම ක්‍රීඩිකාව

$
0
0

ඔලිම්පික් ඉතිහාසයේ රන්පදක්කමක් දිනූ ළා බාල ම ක්‍රීඩිකාව නිෂියා මොමිජි (Nishiya Momiji) තවමත් 13 හැවිරිදි වියේ පසුවෙනවා. ඇය රන් පදක්කම දිනා ගත්තේ කාන්තා වීදි ස්කේට්බෝඩ් පැදීමේ ඉසව්වෙන්. ජපානය වෙනුවෙන් රන් පදක්කම දිනා ගත් ඇයට කලින් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ළාබාල කාන්තාව වූ ඇමරිකානු කිමිදුම් ශූරියක වූ මාජරී ගෙස්ට්‍රින් (Marjorie Gestring) 1936 දී බර්ලින් ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම දිනන විට ඇගේ වයස අවුරුදු 13කුත් දින 267ක් ව තිබුණා. 

ඔලිම්පික් ඉතිහාසයේ රන්පදක්කමක් දිනූ ළා බාල ම ක්‍රීඩිකාව නිෂියා මොමිජි 
පදක්කම් ලාභීන් - රයාසා ලී (බ්‍රසීලය), නිෂියා මොමිජි (ජපානය) හා ෆූනා නකයාමා

ස්කේට්බෝඩ් ඉසව්වෙන් අපූරු දස්කම් රැසක් පෙන්වීමට නිෂියා මොමිජි සමත් වූ අතර, රන් පදක්කම පිරිනමද්දී ඇය සතුටු කඳුළු හෙළුවා. එය තමාගේ ජීවිතේ ප්‍රීතිමත්ම මොහොත යැයි නිෂියා අදහස් දක්වමින් කීවා. 

නිෂියා මොමිජි රන් පදක්කම දිනීමට කලින් දවසේ, පිරිමි වීදි ස්කේට්බෝඩ් ඉසව්වෙන් ජපන් ස්කේටර ක්‍රීඩක යුතෝ හොරිගොමි ස්කේට්බෝඩ් ඉසව්ව සඳහා ප්‍රථම රන් පදක්කම දිනා ගත්තා. මොමිජි සමග එම ඉසව්ව සඳහා රිදී පදක්කම දිනා ගත්තේ තවත් 13 හැවිරිදි වියේ පසුවූ බ්‍රසීලියානු ක්‍රීඩිකාවක්. ඇය රයාසා ලීල් නම් වුණා. එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ 16 හැවිරිදි ජපන් ජාතික ෆූනා නකයාමා නම් ක්‍රීඩිකාවයි. 

එක පයින් සිටිමින් බර ඔසවා ලොව මවිත කළ ලී ෆැබින්! 

තෝකියෝ ඔලිම්පික් උළෙලේ තවත් අපූරු දෙයක් සිදු වුණා. තමන්ගේ සිරුර මෙන් තුන් ගුණයක බරක් ඔසවමින් ඔහු රන් පදක්කමක් දිනුවා පමණක් නොව ඒ වෙලාවේ එක කකුලක් ඔසවා එක පයින් ඒ හාස්කම කළ හැකි ඇස් අදහන්නත් බැරි තරම්! මේ හපන්කම කළේ කිලෝ ග්රෑම් 61 බර පන්තියේ පිරිමි බර ඉසිලීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ලී ෆබින් නම් චීන ක්‍රීඩකයායි. 

පිරිමි බර ඉසිලීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ලී ෆබින්

ඔහු එහිදී එසවූ බර ප්‍රමාණය කිලෝග්රෑම් 166ක්. ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ කීවා. ‘තමා තනි පාදයෙන් මෙසේ බර උසුලන්නේ තමන් උසුලන බරට අනුව තම සිරුර සමබර කර තබා ගැනීමට තමන්ට ඇති හැකියාව නිසා බවත්, පුහුණුවක් නැතිව කිසිම කෙනකු තමන් කළ මෙම හපන්කම අත්හදා බැලීමට යාම නොකළ යුතු’ යැයි ඔහු අවධාරණය කළා. 

ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩාගාරය ජය හඬින් දෙ‍රවූ ටියුනීසියානු ගැටවරයා! 

ඔලිම්පික් උළෙලේ වඩාත් කැපී පෙනෙන සිදුවීමක් ජූලි 25 වැනි ඉරිදා ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩාගාරයෙන් දැක ගන්න ලැබුණා. ඒ ඔලිම්පික් උළෙලේ පිහිණුම් තරගවල මීටර 400 නිදහස්ආර ඉසව්වේදීයි. ඒ ඉසව්වට ඕස්ට්‍රේලියාවේ ජැක් මැක්ලව්ලින් ඇතුළු ප්‍රවීණ පිහිනුම් ශූරයන් පිරිසක් සහභාගි වූ නිසා හැම දෙනාගේ ම ඇස් යොමු වී තිබුණේ ඔවුන් දෙසටයි. ටියුනීසියාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ 18 හැවිරිදි කොලු ගැටයා කෙරෙහි අනෙක් තරගකරුවන්ගේ ඇස්වත් යොමු වුණේ නැහැ. 

අහමඩ් හැෆ්නෝයි වූ ඔහු කිසි දිනෙක මෙවැනි අත්දැකීමක් විඳලා තිබුණේ නෑ. 24 වැනිදා තේරීමේ තරගයෙන් අහමඩ් තේරුණේ තත්පර 0.17ක් වැනි ඉතා සුළු ගණනකින්. ඒක මේ ක්ෂේත්‍රයේදී ගණන් ගත යුතු තරම් එකක් නෙවෙයි. ඒ නිසා ඔහුගේ පුහුණුකරු ඉරිදා තරඟය ආරම්භයේ දී ඔහුට මෙහෙම කීවා, ‘අනිත් අයගෙ වේගය වැඩියි තව හයියෙන් පීනුවෙ නැත්නම් දිනන්න අමාරුයි හරිද?’ 

ක්‍රීඩාගාරය ජය හඬින් දෙ‍රවූ ටියුනීසියානු අහමඩ් හැෆ්නෝයි

ඔහුට ලැබී තිබුණේ පිහිනුම් තටාකයේ මං තීරු අංක 8යි. පිහිනුම් ලෝකයේ කිසිම කෙනෙකු නොදන්නා මේ තරුණයා තමන්ට ම කියා ගත්තා, ‘කොහොම හරි ඊයෙට වඩා අද හයියෙන් පිහිනන්න ඕනෑ!’ එහෙම ඉටා ගෙනයි, ඔහු පිහිනුම් තටාකයට බැස්සෙ. අන්තිමේ දී දන්න තරම් වීරිය යොදලා පිහිනුවා. අවසානයේ දී දිනුම් කණුවට ගියාට තමන් දිනුවද කියලා ඔහු දැන හිටියේ නෑ. ලකුණු පුවරුවෙහි ඔහුගේ ලකුණු සටහන් වුනේ 3:43.36 කියලයි. ඒ දුටුව ඔහු පිහිනුම් ත්‍රීඩාගාරය දෙවනත් වෙන්න කීප වතාවක් ම වතුරට ගහමින් මහා හයියෙන් කෑ ගැහුවා. ඔහු ලෝක පිහිනුම් ශූර ඕස්ට්‍රේලියාවේ ජැක් මැක්ලව්ලින් පරදවලා තියෙන්නේ තත්පරයකින් සී‍යෙන් 14කින්, ඒ කියන්නෙ, තත්පර 0.14කින්. ජැක්ට හිමි වුණේ රිදී පදක්කමයි. ලෝකඩ පදක්කම හිමි වූයේ ඇමරිකන් පිහිනුම් ශූර කීරන් ස්මිත්ටයි. 

පදක්කම්වලට ජපන් ජනතාව හවුල් වූ හැටි 

ජපානය මෙවර ඔලිම්පික් උළෙලේ දී පිරිනැමීම සඳහා අවශ්‍ය පදක්කම් තැනීම යොදා ගත්තේ ටොන් 78,985ක් බර ඉවත ලූ ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කරලයි. ඒවාට අයත් වූ උපකරණ අතරට ඩිජිටල් කැමරා, ලැප්ටොප්, ජංගම ක්‍රීඩා උපකරණ, පමණක් නොව මිලියන 6.21ක ජංගම දුරකතන ද අයත් වුණා. ජපානය ඒ සඳහා මුළු ජපානය පුරාම ජනතාවට ආයාචනය කළා තමන්ගේ පැරණි ඉලෙක්ට්‍රොනික උපකරණය පරිත්‍යාග කරන ලෙසට. ඒ සඳහා ජපාන ජනතාව ඉමහත් උනන්දුවකින් සහභාගි වුණා. පදක්කම් තැනීමට අවශ්‍ය රන්, රිදී ඇතුළු ලෝහ ලබා ගත්තේ ඒවායින්. ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පදක්කම් තනා ගත් පළමු රට ජපානය නොවෙයි. ඒත් එවැන්නකට ජනතාව සහභාගි කරවා ගත් පළමු සත්කාරක රට ජපානයයි.

- පර්සි ජයමාන්න

මෙවර ඔලිම්පික් උළෙලට ආලෝකයක් ගෙනා රොබෝලා!

$
0
0

කොවිඩ් 19 වසංගත තත්වය නිසා අවසන් මොහොතේ හෝ අවලංගු වෙතැයි දෙගිඩියාවෙන් පැවති 2020 ඔලිම්පික් උළෙල අවලංගු කෙරුණේ නැහැ. බිලියන ගණනක් වැය කරන මෙවැනි උළෙලක් අවලංගු කිරීම ජපාන ආර්ථිකයට විශාල පසුබෑමක් ඇති වෙනවා. ඒ නිසා සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔලිම්පික් උළෙල ආරම්භ කෙරුණා. බොහෝ ජනතාව එක් රැස්වීම වළක්වන්නට අවශ්‍ය නිසා මේ ඔලිම්පික් ක්‍රීඩාව නරඹන්නන්ට එම ගම්මානයට පැමිණීම තහනම් කෙරුණා. ඒ නිසා මෙවර ඔලිම්පික් උළෙල ලොව වැඩිම පිරිසක් නැරඹූ ක්‍රීඩා උළෙල බවට පත් වෙනවා. අනික් අතට අද නවීන සම්ප්‍රේෂණ පහසුකම් ලොව පුරා ම ව්‍යාප්තවීමත් මෙයට හේතු වුණා. 

ඔලිම්පික් ගිනිසිළුව - ජපන් සකුරා මලෙහි හැඩයට

කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් ගන්නා විශේෂ පියවරක් වශයෙන් මිනිසුන් වෙනුවට හැකි තරම් රොබොට්ටන් යොදා ගැනීමට ජපානය තීරණය කළා. ඒක පටන් ගත්තේ තෝකියෝ අගනුවර ආසන්නවම පිහිටි හැනේඩා අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන්. එහි ප්‍රතිඵලයක් වශයෙන් හනේඩා ගුවන් තොටුපොළට ට එන ඔලිම්පික්වල තරගකරුවන් හා නිලධාරීන් පිළිගැනීමටත්, ඔවුන්ට මග පෙන්වීමටත්, සියලු භාෂා පර්වර්තන සහය ලබා දීමටත්, පැරාඔලිම්පික්වලට එන අයව ප්‍රවාහනයටත් ඇතුළු හැම කරුණක් සඳහාම ඒ සඳහා වෙන වෙන ම සැකසූ රොබොට්ටන් යෙදුවා. 

ඔලිම්පික් උළෙල වෙනුවෙන් ම තැනූ විවිධාකාරයේ රෝබෝ උපකරණ කීපයක්.

ඒ විශේෂ රොබොට්ටන් තමා ගුවන්තොටුපොළ පවිත්‍ර කිරීම විතරක් නෙවෙයි, කොවිඩ් 19වලින් ආරක්ෂා වීමට අවශ්‍ය වන සේ විෂබීජහරණය කළේ. ඒ සඳහා වැඩිපුර සේවකයන් ගෙන්වීමක් අවශ්‍ය වුණේ නෑ. අත්‍යවශ්‍ය ටික දෙනකු පමණයි ගෙන්වූයේ. ඒ ගුවන් තොටුපොළේ සේවාවන් සඳහා යොදා ගෙන ඇති රොබෝ ඒකක මෙසේ දක්වන්න පුලුවන්. පුද්ගල සහය ජංගම රො‍බෝ එකක 12ක්, දුරස්ථව ක්‍රියාකරමින් මාර්ගෝපදේශන සපයන රොබොට් ඒකකයක්, විෂබීජහරණය රොබෝ ඒකකයක්, රොබෝ වර්ග පහකින් යුත් පවිත්‍රකරණ එකක 13ක්. 

ඊට අමතරව ඔලිම්පික් ගම්මානයේ සේවයටත් මේ වගේ රොබෝ තාක්ෂණය යොදා ගෙන තියෙනවා. මෙවැනි රොබෝ තාක්ෂණයක් මුලින්ම යොදා ගත්තේ 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලටයි. ක්‍රීඩකයන්ට ඔවුන්ව පිළිගැනීමේ තැන් පටන් නොයෙක් සහය ලබා දෙන්න රොබෝලා යෙදවලා තියෙනවා. තමන්ට කායිකව පෙනී සිටින්නට නොහැකි තැන්වල සිදුවන ක්‍රීඩාවලට අදාළ වැදගත් සිදුවීම් වෙනත් තැන්වල ඉන්නා, පුහුණු වන හෝ වෙනත් කාර්යයක යෙදී සිටින අයට දන්වන්නත් රෝබෝලා යොදා ගෙන තියෙනවා. 

ක්‍රීඩකයන්ට අවශ්‍ය දර්ශන හා තොරතුරු සපයන රොබෝ කෙනෙක්.

ගුවන් තොටුපොළේ මග පෙන්වන රොබෝ කෙනෙක්.

ඔලිම්පික් ගිනිසිළුවක් කිසිදා නොවූ ආකාරයේ එකක්! 

ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් යොදා ගත්තේ 1964 ඔලිම්පික් උඝෙල සඳහා යොදා ගත් ප්‍රධාන ක්‍රීඩාංගනය වුවත් එය මේ 2020 ඔලිම්පික් සඳහා නව සැලසුමක් අනුව අලුතින් ම වාගේ නැවත ඉදි කරනු ලැබුවා. ජපන් ජාතික වාස්තු විද්‍යාඥ කෙන්ගෝ කුමා ජපානයට ආවේණික විධියට එය නිර්මාණය කළා. ජපානයේ දිස්ත්‍රක්ක 47කින් ගෙන දැවවලින් තමයි එහි බාහිර සැකිල්ල නිර්මාණය කළේ. 

ග්‍රීසියේ ඔලිම්පියා කන්දේ සිට අතින් අත ගෙන ආ ඔලිම්පික් ගිනිසිළුව ඔවුන් හැඳින්වූවේ ‘බලාපොරොත්තුවේ ආලෝකය අප වෙත ගෙන එන්නක්’ ලෙසයි. සමගිය, සාමය, සමාදානය, සහයෝගය සංකේතවත් කරන්නක් ලෙසයි, සැලකුවේ. ඒ නිසා ඔලිම්පික් ගිනිසිළුවෙහි පවා වෙනසක් කරන්නට ජපාන කලාකරුවන් පසුබට වුණේ නැහැ. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ සකුරා මලෙහි හා චෙරි පොකුරක හැඩයයි. 

සකුරා මල මෙන් ම චෙරි මල් පොකුත් ඔවුනට ආවේණික වූ සාමය හා ආදරය සලකුණු කරන්නක්. ඒ ගිනිසිළුව නිර්මාණය කරන්නත් පාවිච්චි කළේ ඔවුන්ගේ ශන්කෙන්සෙන් (shinkansen) හෙවත් ඔවුන්ගේ බුලට් දුම්රිය සැරසීමට යොදා ගත් තාක්ෂණයයි. 

- පර්සි ජයමාන්න 



ඔලිම්පික් සටහන් - 5 ඔලිම්පික් උළෙල ගැන මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු

$
0
0

පසුගිය දිනවල ඔබ අපට වරින්වර යොමු කළ ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමට අද ඔලිම්පික් සටහන්වලින් අදහස් කරනවා. ඔලිම්පික් වළලු ගැන, පවත්වන වකවානු හා අයත් වන ක්‍රීඩා ගැන, වගේ ම ඔලිම්පික් උළෙලට වර්තමානයේ යොදා ගන්නා නවීන තාක්ෂණය ගැන තමයි, වැඩිපුර විමසීම් කරලා තිබුණේ. 


ඔලිම්පික් වළලුවල අපූරු කතාව කුමක් ද? 

මුලින්ම ඔලිම්පික් වළලු ගැන කියමු. ඔලිම්පික් ප්‍රඥප්තියෙහි සඳහන් වන්නේ ‘ඔලිම්පික් වළලු පහ නියෝජනය කරන්නේ ඊට ක්‍රීඩකයන් සහභාගි කර වන රටවල් අයත් මහාද්වීප පහ’ කියලයි. ඒත් සැබැවින් ම නම් ඒ රටවල් 206 පිහිටි මහාද්වීප හයක් තියෙනවා. ඒක පහක් වුණේ උතුරු හා දකුණු ඇමරිකා මහාද්වීප දෙක ම එකක් ලෙස සැලකීම නිසයි. ඒ වගේ ම මහා ද්වීප පහ හඳුන්වන්නේ යුරෝපය (නිල්), අප්‍රිකාව (කළු), ආසියාව (කහ) ඕෂේනියාව (කොළ) හා ඇමරිකාව (රතු) කියලයි. නවීන ඔලිම්පික් උළෙලේ නිර්මාතෘ පියරි ඩි කුබෝටීන් සාමිවරයා 1913 දී ලියූ ලිපියක සිරසට වර්ණ පහකින් මේ වළලු පහ අතින් ඇඳි චිත්‍රයක් ලෙස ඇතුළත් කර තිබුණු බවයි, ඔලිම්පික් කමිටුව කියන්නේ. ඒත් ඒ මුල් කාලයේ එතුමා ‘ඕෂේනියාව’ වෙනුවට යොදා තිබුණේ ‘ඕස්ට්‍රේලියාව’ කියායි. අද ‘ඕෂේනියාව’ කියා කියන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මෙලනේසියාව, මයික්‍රොනේසියාව හා පොලිනේසියාව යන කලාපයේ ඇති රටවල් 14කටයි. ඔලිම්පික් ධජයේ සුදු වර්ණයත් සමග අනෙක් වර්ණ පහ ක්‍රීඩාවට සම්බන්ධ වෙන රටවල කොඩිවල වර්ණ නියෝජනය කරන බව, ඔලිම්පික් කමිටුවේ අදහසයි. 

ඔලිම්පික් උළෙලේ නිර්මාතෘ පියරි ඩි කුබෝටීන් සාමිවරයා 



ඔලිම්පික් උළෙල සිව් වසරකට වරක් පවත්වන්නේ ඇයි? 

ලෝකයේ පැරණිතම ක්‍රීඩා උළෙල වන මෙය වසර 3000කට පමණ පෙර, ක්‍රිස්තු පූර්ව 776 දී ග්‍රීසියේ ආරම්භ වී වසර 4කට වරක් තමයි, ක්‍රිස්තු වර්ෂ 393 වන තෙක් පවත්වලා තියෙන්නේ. ඊට පස්සේ වසර 1503කට පසුවයි, නව ඔලිම්පික් උළෙල පටන් ගත්තේ. ඒ 1894 දී පියරි ඩි කුබෝටීන් සාමිවරයා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පිහිටෙව්වාට පසුවයි. ඒ පැරණි සම්ප්‍රදායට ගරු කරමින් 1896 දී ග්‍රීසියේ ඇතන්ස් නගරයේ දී ආරම්භ කළ නව ඔලිම්පික් උළෙලත් වසර හතරකට වරක් තමයි පවත්වන්නේ. ඒ නිසා ඔලිම්පික් උළෙලේ වාර ගණන හෙවත් කාලය මනින්නේ ‘ඔලිම්පියාඩ්’ (Olympiads) වලින්. ඒ අනුව මේ තෝකියෝවල පවත්වන්නේ XXXII Olympiad හෙවත් 32 වන ඔලිම්පික් උළෙලයි. 1986 අප්‍රේල් 6 වැනි ආරම්භ වූ පළමු නව ඔලිම්පික් උළෙලේ මුල් ම ඔලිම්පික් ශූරයා වූයේ තුන්පිම්ම ඉසවුව ජයගත් ඇමරිකන් ජාතික ජේම්ස් කොනලි යි. 

ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය කුමක්ද? 

මෙවර ඔලිම්පික් උළෙලේ සිට එහි ආදර්ශ පාඨය වෙනස් වෙනවා.. එය ලතින් වදනින් කියැවෙන්නේ Citius, Altius, Fortius – Communis කියායි. ඉංග්‍රීසියෙන් එහි අරුත faster, higher, stronger – together යන්නයි. සිංහලෙන් ‘වේගවත්ව, උච්චව, ශක්තිමත්ව - එකමුතුව’ කියා කියන්න පුලුවන්. මේ ‘එකමුතුව’ යන අරුත් ඇති Communis යන කොටස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව(IOC) විසින් එක් කරනු ලැබුවේ 2020 තෝකියෝවේ පැවති සමුළුවේදියි. සම්ප්‍රදායානුකූලව 2020 පැවැත්වීමට නියමිතව තිබූ උළෙල, එහි ඉතිහාසයේ පළමු වතාවට, ‘කොවිඩ් 19’ වසංගතය නිසා වසරකින් කල් දැමීමට තීරණය කළේ ද එම සමුළුවේදීමයි. මීළඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරදී 2014දියි. 

ඔලිම්පික් උළෙලට විවිධ ක්‍රීඩා කීයක් ඇතුළත් වෙනවා ද? 

2020 තෝකියෝ ඔලිම්පික් උළෙලට, ඒකල ක්‍රීඩා (individual sport), යුගල ක්‍රීඩා (dual sport) හා කණ්ඩායම් ක්‍රීඩා (team sport) යන ප්‍රධාන අංශ තුන යටතේ විවිධ ක්‍රීඩා වර්ග 41කට අයත් ඉසවු 339ක් ඇතුළත් වුණා. රටවල් 205කින් තරඟකරුවන් 11,000ක් සහභාගි වුණා. මෙවර ඔලිම්පික් උළෙලට අලුතින් ක්‍රීඩා පහක් එක් වුණා. 1936 වසරේ සිට අත් හැර දමා තිබුණු බේස් බෝල් හා සොෆ්ට් බෝල් ක්‍රීඩා තරඟ දෙක 2020 ඔලිම්පික් උළෙලට යළි එක් කර ගැනීමට, 2016 දී පැවති අන්තර්ජාතික ඔලිම්පික් කමිටු රැස්වීමේ දී තීරණය කෙරුණා. ඒ සමග ම ළමා හා තරුණ පරපුර අතර ජනප්‍රිය ක්‍රීඩා තුනක් ද එක් කර ගැනිමට තීරණය කළා. ඒවා කරාතේ, ස්කේට්බෝඩ්, ස්පෝට්ස් ක‍ලයිම්බින් හා සර්ෆින් (karate, skateboard, sports climbing and surfing) යන ක්‍රීඩායි. ඒ වගේ ම මෙතෙක් කල් පැවති ඉතා වැදගත් ඉසවුවක් මෙවර ඔලිම්පික් උළෙලෙන් ඉවත් කිරීමටත් පසුගිය දා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කළා. ඒ ‘මල්ලව පොර’ (wrestling) ක්‍රීඩාවයි. 

- පර්සි ජයම‍ාන්න 

2020 ඔලිම්පික් උළෙලට යොදා ගෙන ඇති විස්මිත තාක්ෂණ අංග - මීළඟ ලිපියෙන්

ඔලිම්පික් උළෙලේ විස්මය ඔබ වෙත ගෙනා විස්මිත විද්යුත් ඇස්!

$
0
0

මෙවර ‍ජපානයේ තෝකියෝවේ දී පැවත්වුණු 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙන කවර කලෙකවත් නොවූ විරූ පරිද්දෙන් තාක්ෂණික අංගවලින් පිරී තිබුණා. ආරම්භයේ දී ම ඉන්ටෙල් පරිගණක තාක්ෂණය යොදා ගෙන ගුවන්තොටුපොළේ සිටම ඔලිම්පික්වලට සහභාගි වීමට එන ක්‍රීඩකයන්, නිලධාරීන් 300,000ක් ඔවුන්ගේ මුහුණෙන්ම හඳුනා ගැනීමට (facial recognition) නෙක් (NEC) තාක්ෂණය මගින් පහසුකම් යොදා ගෙන තිබුණා. 

ක්‍රීඩාවල රූගත කිරීම්වලදී, වැඩි දියුණු කළ සාමාන්‍ය කැමරාවලින් සිද්ධීන් වාර්තා කළ ද ඒවායින් ලබා ගත් දත්ත මගින් ඒ පසුපස වූ සුපිරි ඉන්ටෙල් (Intel) පරිගණක පද්ධතිය තාක්ෂණය යොදා ගනිමින් තරඟකරුගේ හෝ තරඟකාරියගේ ජෛවයාන්ත්‍රණය ක්‍රියාකරන හැටි හෝ ඔහුගේ හෝ ඇගේ හෝ ඒ මොහොතේ ඇති වන සියුම් චලනයන් පවා ප්‍රේක්ෂකයාට හා ක්‍රීඩා ලෝලයන්ට පෙන්වා දෙමින් විස්මිත අත්දැකීමක් ලබා දුන්නා. මේ තාක්ෂණය ම පුහුණුවෙද්දී ක්‍රීඩකයාට තම කුසලතාව වැඩි දියුණු කර ගන්නට උදව් වුණා පමණක් නොව තරඟය සැබැවින්ම පැවැත්වෙද්දී එතෙක් කිසිදාක නුදුටු දසුන් මතුකර දෙමින් නරඹන්නාට ද මෙතෙක් නොවූ විරූ අත්දැකීමක් ලබා දුන්නා. 

2020 ඔලිම්පික් උළෙලේ දී භාවිතා වූයේ දැන් පවත්නා වැඩි දියුණු කළ උසස් ම තාක්ෂණයයි. ඒ තාක්ෂණය මගින් ක්‍රීඩකයකුගේ ජයග්‍රහණය තත්පරයෙන් සීයෙන් පංගුවකටත් වඩා නිවරදිව තහවුරු කරන්නට උදවු වුණා. මෙය සංවිධායකයන්ට විශාල වාසියක් වුණා. එපමණක් නොව ක්‍රීඩකයා පුහුණු වන කාලයේදීත් තමන්ගේ ඇති සියුම් අඩුපාඩු හෙළිදරවු කර ගෙන ඒ අනුව අවසාන මොහොතේ පවා විශ්ලේෂකයන්ගෙන් උපදෙස් ලබා ගෙන තම කාර්ය සාධන මට්ටම ඉහළ නංවා ගැනීමට ඉඩ සැලසුණා. 

විශිෂ්ට නවෝත්පාදනයන් හයක් මගින් ක්‍රීඩා තරඟ එසැණින් ඔබ වෙත ගෙනා හැටි! 

හොලිවුඩ් චිත්‍රපටවල දක්නට ලැබෙන ආකාරයේ පුනරූපණයන් 
ඔලිම්පික් ක්‍රීඩාවලදී සැබෑවට ම ගේන බහු කැමරා පද්ධතිය

බහු කැමරා පුනරූපණ (MULTI-CAMera REPLAY systems) පද්ධතීන් 

ඒවා යොදා ඇති තැන් - තිදෙනාගේ බාස්කට් බෝල් තරඟ, ජිම්නාස්ටික් තරඟ, මලල ක්‍රීඩා ජවන හා පිටිය තරඟ, ගොල්ෆ් ක්‍රීඩා තරඟ, මවුන්ටන් බයික් නිදහස් ආර සයිකල් තරඟ, කාන්තා පාපන්දු අවසන් තරඟ, වීදී ස්කේට්බෝඩ් තරඟ, ස්පෝට්ස් ක්ලයිම්බිං තරඟ, වොලිබෝල් තරඟ ආදියයි. 

ඒවා ක්‍රියාත්මක වන හැටි - බහු කැමරා පුනරූපණ පද්ධතියට සම්බන්ධ කර තියෙනවා අධිවේගී 4K කැමරා පොකුරක්. ඒ කැමරා මගින් තෝරාගත් ඕනෑම තැනක, සිදුවන හැම දෙයක් ම විවිධ කෝණ රැසකින්, ඒ කාලය තුළ ම, කැමරාවලට හසුකර ගන්නවා. එසේ හසු කර ගන්නා බහුකෝණික දර්ශන කොටස් අවශ්‍ය තැන්වලදී සජීවීව විකාශය කෙරෙන දර්ශන පෙළ තුළට එසැණින් පුනරූපණ මගින් රූපවාහිනී තිරයට එක් ක‍ෙරෙනවා. 

නිදසුනක් වශයෙන් සයිකල් තරඟයකදී නම් තෝරාගත් මොහොතකදී තරඟකරුවන් ඉන්නා තැන්, ඔවුන් අතර ඇති පරතරය, ඔවුන්ගේ වේගය ආදී අවශ්‍ය දත්ත සියල්ල එසැණ තිරයේ දක්වනවා පමණක් නොව, ඒ අවස්ථාවේ තත්වයට අමතරව අතීත වාර්තා ආදිය විස්තර විචාරකයාගේ තිරයට වෙනම ප්‍රක්ෂේපණය කරනවා. 

මේ සියල්ලෙහි පාලනය ප්‍රධාන පාලක මැදිරියකින් සිදු කෙරෙන්නේ මිනිස් අතින් වුවත් ඊට කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන තැනූ පරිගණක වැඩ සටහනක් සහය වෙනවා. මෙහිදී බාධාවකින් තොරව විශේෂ තැන්වල සියලු දසුන් දැකගත හැකිවන පරිදි කැමරා 60ක් 80ක් අතර ගණනක් යොදවනවා. ඒ සුපිරි කැමරාවලට තිරස්ව, සිරස්ව, සමීපව, දසුන් ලබා ගත හැකි වන පරිදි ඒවා ස්වයංක්‍රීයව ඕනෑම අතකට හැසිරවිය හැකි රොබෝටික පීඨීකා තනා තියෙනවා. කැමරාවේ සූම් දර්ශන හා පීඨීකා හැසිරවීම සිදු කෙරනේනේ නිෂ්පාදන ඒකකය මගින් එහි ඉන්නා ශිල්පියකු මගින්. තත්පර පහක් වැනි සුළු කාලයක් තුළ පුනරූපණ දසුනක් සූදානම් කර විකාශය හා සියුම් ලෙස මුසු කරන්නට ඒ පරිගණක වැඩ සටහන මගින් පුලුවන්. 

රට හරහා දුවන තරඟකරුවකුගේ හෝ සයිකල්කරුවකුගේ 
තමන් මග පැහැදිලි දැක ගත හැකි 2D image tracking තාක්ෂණය.

ද්විමාන (2D Image) රූපණ මගින් හසුකර ගැනීම 

ඒවා යොදා ඇති තැන් - මැරතන් ක්‍රීඩා තරඟ, ඇවිදින තරඟ, රට හරහා කෙරෙන සයිකල් ධාවන තරඟ, පිහිනුම් මැරතන් , තුන්ප්‍රයාම, බෝට්ටු තරඟ ආදිය සඳහා විශේෂයෙන් යොදා ගන්නවා. 2020 තෝකියෝ ඔලිම්පික් සඳහා විශේෂයෙන් ම යොදා ගන්නා නවෝත්පාදනයක් ලෙසයි, ද්විමාන රූපණ ක්‍රමය යොදා ගෙක ඇත්තේ. ඔලිම්පික් රූපවාහිනී විකාශන සේවයට කලින් තිබුණාට වඩා මෙයින් වැඩි පහසුකම් සැලසී තියෙනවා. ධාවන තරඟ විස්තර විකාශනය කරන අයට වීඩියෝ තාක්ෂණය යොදා ගෙන අවශ්‍ය තොරතුරු එසැණ සැපයීම තුළින් නරඹන්නන්ට පැහැදිලි අත්දැකීමක් ලබා දීමට හැකි වී තියෙනවා. රට හරහා බාධක මැදින් ධාවනය කළ මවුන්ටන් බයිසිකල් තරඟය දුටුවා නම් ඔබට මේ විස්මිත අත්දැකීම විඳ ගන්නට නිසැකව ම ලැබෙන්න ඇති. 

ඒවා ක්‍රියාත්මක වන හැටි - චන්ද්‍රිකා GPS තාක්ෂණය හෝ ගුවන්විදුලි ක්‍රමය යොදා ගෙන කරන තරඟකරුවන් හඹා යාමේ ක්‍රමවලට ගන්නා තාක්ෂණ හා සසඳන විට මේ 2D තාක්ෂණය ඊට වඩා බොහෝ දියුණු කළ තාක්ෂණයක්! රූප රාමුව තුළ තරඟකරුවකුට සලකුණක් (හතරැස් කොටුවක්) යොදා හඳුන්වා දුන් පසු පරිගණකය ලේබලයක් නිර්මාණය කර ඒ ස්ථානයෙහි රඳවනවා. ඒ ලේබලය ප්‍රේක්ෂකයන් දකින රූපයේ දිස් වෙන්නේ නැහැ. ඒත් ඒ අනුව තමයි, තරඟකරු පසුපස හඹා යාම සිදු කෙරෙන්නේ. තරඟකරුට වෙනත් අයෙකු ඉස්සර කළත් පැටලීමක් නැතිව ඔවුන් හඹා යාම මේ නව ක්‍රමයට පුලුවන්. මේ ලේබල් ක්‍රමය GPS තාක්ෂණය සමඟ සම්බන්ධ කර සියලුම තරඟකරුවන් තරඟ කරන ආකාරය පිළිබඳව දැක ගන්නට අවශ්‍ය සියලු දර්ශන විකාශය සඳහා ලබා දිය හැකියි. 

ඉන්ටෙල් හා අලිබාබා එක්ව ඔලිම්පික් උළෙල සඳහා නිර්මාණය 
කර ඇති 3D athlete tracking තාක්ෂණය.

ත්‍රිමාන (3D) රූප ක්‍රමයට මලල ක්‍රීඩා තරඟ හසු කර ගැනීම (3DAT) 

ඒවා ක්‍රියාත්මක වන තැන් - ද්විප්‍රයාම ඇතුළු මීටර 100 ධාවන තරඟ, සප්තප්‍රයාම ඇතුළු මීටර 200 ධාවන තරඟ, දශප්‍රයාම ඇතුළු මීටර 400 ධාවන තරඟ, මීටර 100 කඩින්කඩ දිවීමේ තරඟ ආදිය. 

ඒවා ක්‍රියාත්මක වන හැටි - ඉන්ටෙල් හා අලිබාබා විසින් මේ ඔලිම්පික් උළෙල සඳහා ම නව නිපැයුමක් ලෙස සකස් කළ මේ 3D Athlete Tracking (3DAT) technology තාක්ෂණය ලොව පළමුවන වතාවටයි, මේ විකාශන කටයුතු සඳහා ‍යොදා ගන්නේ. ඒ සඳහා පරිගණකය හා කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ විශේෂයෙන් සැකසු සංකීර්ණ ක්‍රමලේඛයන් භාවිත කරනවා. එහිදී එසැණ සිදුවන දේ ඒ මොහොතේ ම පුනරූපණයන් ද සමග ප්‍රේක්ෂකයාට ගේනවා. ජවන හා පිටිය හා බැඳුණු ක්‍රීඩා වූ මීටර 100, මීටර 200, මීටර 400, මීටර 400 කඩින්කඩ දිවීම, දශප්‍රයාම, සප්තප්‍රයාම යන ඉසව් නරඹද්දී මේ තාක්ෂණයෙන් තමයි, සවිස්තරාත්මකව රූප රාමු ගෙනාවේ. ප්‍රේක්ෂකයාට එවන් අත්දැකීමක් මින් පෙර කිසිදාක ලැබී නැහැ. 

ඔලිම්පික් තරඟකරුවන් එකිනෙකා හා තරඟ වදින හැටි, සසඳමින් තරඟයක විනිවිද දසුනක් ලබා දීමට මේ ක්‍රමයෙන් හැකි වෙනවා. තරඟ විස්තර විචාරකයන්ට එසැණ අවශ්‍ය තරඟය පිළිබඳ සියලුම තොරතුරු හා දත්ත වෙනම ස්තරයක සටහන් වෙනවා. ඒවා සාමාන්‍ය ප්‍රේක්ෂකයාට දිස් වෙන්නේ නැහැ. විස්තර විචාරකයන්ගේ තිරවලට විතරයි යැවෙන්නේ. ඒ අනුව තරඟයක් පිළිබඳ ඉතා නිවැරදි ගැඹුරු විශ්ලේෂණයක් ප්‍රේක්ෂකයාට ලැබෙනවා. මෙහිදී තරඟකරුවන්ගේ වේග අඩුවැඩිවීමි දැක්වීමට වර්ණ හා ග්‍රැෆික් පවා යොදා ගෙන තියෙනවා. 

හාත්පස හැසිරවිය හැකි, උස් පහත් කළ කැමරා හතර බැගින් සවි කළ දුරස්ථව සිට හැරවිය හැකි පීඨිකා ඔලිම්පික් ක්‍රීඩාංගනයේ ඉහළ විවිධ තැන්වල ස්ථාපිත කරල තියෙනවා. ඒ මගින් තමයි, වේගයෙන් දුවන ක්‍රීඩකයන්ගේ ඉරියව් කැමරාවට හසු කර ගන්නේ. එසේ ගන්නා රූප විශ්ලේෂණය සඳහා 3DAT තාක්ෂණය උපරිම ලෙස යොදා ගන්නේ එහිදීයි. එහිදී දත්ත රාශියක් එසැණ හැසිරවිය හැකි මහා පරිගණක බලයක් අවශ්‍ය වෙනවා. අධිවේගී ඉන්ටෙල් ප්‍රොසෙසරයන් ඒ සඳහා භාවිත කෙරෙනවා. 

දුන්සිප් දැක්වීමේ දී ක්‍රීඩකයන්ගේ ජෛවමෙට්‍රික දත්ත 
ලබා ගැනීමට පැනසොනික් සහය.

ජෛවමැට්රික් දත්ත දර්ශක (Biometric Data Display) 

ඒවා ක්‍රියාත්මක වන තැන් - දුනු සිප් (Archery) තරඟ අංශය. 

ඒවා ක්‍රියාත්මක වන හැටි - දුන්නෙන් විදින අයකු ඉලක්කය ගෙන දුනු දිය අදින මොහොතේ ඔහු හෝ ඇය සම්බන්ධ සෑම දෙයක් ම නතර වෙලා වගෙයි පෙනෙන්නේ. සිරුරේ ඉරියව් කිසිවක් පිටතට පෙනෙන්නේ නැහැ. දුන්නෙන් විදීමේ මොහොතේ තතු හා දත්තවලට අමතරව ඒ මොහොතේ තරඟකරුවන්ගේ හෝ කාරියන්ගේ හද ගැස්ම, තරඟකරුවාගේ සිරුර තුළ ඇඩ්‍රිනලින් ගලා යාම ඇතුළු ජෛවමැට්රික් දත්ත ගණනාවක් ග්‍රැෆික් මගින් තිරයේ පසෙකින් ඉදිරිපත් කෙරෙනවා. ‍කැමරා හතරක් ඉහළ අහසේ රඳවා තියෙනවා, තරඟකරුවන්ගේ සිට මීටර12ක් ඉහළින්. ඒවායින් තමයි තරඟය පවතින මොහොතේ ඔවුන්ගේ මුහුණේ ඇති වන සියුම් වෙනස්කම් පමණක් නොව, සමේ වර්ණයේ ඇති වන සියුම් වෙනස්කම් පවා හසුකර ගන්නේ. 

ඉන්ටෙල් ටෲවීව් තාක්ෂණය යොදා ගෙන බාස්කට්බෝල් වැනි 
තරඟ පෙන්වන ඉහළින් සවිකළ බහු කැමරා පද්ධතිය.

සර්ව දර්ශන තාක්ෂණය (TrueView 360 video) 

ඒවා ක්‍රියාත්මක වන තැන් - බාස්කට්බෝල් 

ඒවා ක්‍රියාත්මක වන හැටි - මෙහිදී ක්‍රියාත්මක වන්නේ ඉන්ටෙල් ටෲවීව් තාක්ෂණයයි. මෙහිදී සියලුම බාස්කට්බෝල් තරඟවල පුනරූපණ අවශ්‍ය තැන්වලදී ලබා දිය හැකියි. මේ ක්‍රමයට කිසියම් තැනක අංශක 360ක දර්ශනයක් කැමරාවට නඟා පෙන්විය හැකියි. ඒ සඳහා තෝකියෝ සයිටමා සුපර් ඇරීනා ක්‍රීඩාංගනයේ 4K කැමරා 35ක් සවි කර තියෙනවා. ඒවායින් තමයි, සකුණ දසුන් (bird’s eye views), විස්මිත ක්ෂණික නිසල රූ (stunning freeze frames) ආදියත් ක්‍රීඩා පිටියේ හැම මුල්ලකම සිදු වන දේ මග නොහැර ලබා දෙන්නේ. 

ස්පෝට්ස් ක්ලයිම්බිං හා රට හරහා සයිකල් ධාවන තරඟවලට 3D තාක්ෂණය.

ත්‍රිමානව මැවූ ග්‍රැෆික් දසුන් (Virtual 3D Graphics) 

ඒවා ක්‍රියාත්මක වන තැන් - සපෝට්ස් ක්ලයිම්බිං (Sport Climbing), මෙවර හඳුන්වා දෙන ලද නව ඉසවුවකි. මීටර 20ක් පළල මීටර 15ක් උස බිත්තියක තැනින් තැන අල්ලා ගත හැකි හා පා තැබිය හැකි විවිධ හැඩතල කොටස් සවි කර තියෙනවා. ඒවා අල්ලා ගෙන ඒවාට පා තබමින් නිශ්චිත කාලයක් තුළ මුදුනට නැඟීම ඒ තරඟයේ ස්වභාවයයි. මේ තරඟය පවතිද්දී ප්‍රේක්ෂකයන් ඒ කාර්යයේ දී මුහුණ පාන්නට වන අභියෝග, ඒවා විසඳා ගන්න හැටි පැහැදිලි කිරීමට ත්‍රිමාන ග්‍රැෆික් ආදිය භාවිත කරනවා. 

ඒවා ක්‍රියාත්මක වන හැටි - බිත්තියෙහි සවි කර ඇති කොටස්වල හැඩතල දැක්වීමට ත්‍රිමාන දර්ශන යොදා ගන්නවා. අමතරව ඒවා පැහැදිලි කරන්නට ත්‍රිමාන ග්‍රැෆික් පවා භාවිත කරනවා. කැමරාවලින් විවිධ කෝණවලින් ගන්නා රූප රාමු ඒවා සමග මුසු කොට ප්‍රේක්ෂකයන්ට අලුත් ක්‍රීඩාවක් අලුත් ක්‍රමයකට රසවිඳින්නට සලස්වනවා. 

කොවිඩ් 19 වසංගතය නිසා 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රේක්ෂකයන්ට තහනම් වුණා. ඒ නිසා ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීමට ඔවුන්ට නොයෙක් උපක්‍රම යොදවන්න වුණා. ඔවුන් ක්‍රීඩාවට සම්බන්ධ ශබ්ද, ජපාන සංස්කෘතික නාද, දිනපතා අසන්නට ලැබෙන ශබ්ද, සොබා දහමේ විවිධ නාද වර්ග 1000ක් පමණ පිටි කර ගෙන උළෙලේ දී විවිධ අව්‍යතා සඳහා ප්‍රයෝජනයට ගත්තා. ප්‍රේක්ෂකයන්ගේ අඩුපාඩුව තරඟකරුවන්ට නොදැනෙන්න ඒවා අවශ්‍ය වෙලාවල දී පසුබිමින් වාදනය කළේ ද ඔවුන්‍ගේ උද්යෝගය වැඩි කරන්නයි. ප්‍රේක්ෂකාගාරවල පිරිස් ඉන්නා බව හැඟවෙන්න අසුන්වලට විවිධ වර්ණ යොදා තිබුණා. සමහර ක්‍රීඩාවල දී ක්‍රීඩකයන්ගේ තරඟකාරිත්වය වැඩි කරන්න ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් නාදය හා උද්යෝගී හඬ පවා අවශ්‍යයි. ඒවා පසුබිමින් ක්‍රීඩකයාට දැනෙන්න සැලස්වීමත් ඔවුන් විසින් අපූරුවට කරනු ලැබුවා. 

ලොව පුරා ප්‍රේක්ෂකයන්ට මෙතෙක් නොවූ විරූ අත්දැකීමක් ලබා දීමට 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායකයන් සමත් වුණා. ඒවාට විශේෂ සහයක් නවීන තාක්ෂණයෙන් ලැබුණා. ප්‍රේක්ෂකයන්ට විතරක් නොවෙයි, ක්‍රීඩකයන්ටත් මෙතෙක් නොලද අත්දැකීමක් ඒ තාක්ෂණයෙන් ලැබුණා. ක්‍රීඩා තරඟයක් දිනා එන ජයග්‍රාහකයකුට එසැණ තමන්ගේ පවුලේ සියලු දෙනාගේම සුබ පැතුම් ලබා දීමට සංවිධායකයන් අන්තර්ජාල හා පරිගණක තාක්ෂණය යොදා ගත්තා. ක්‍රීඩකයන් ඒ අනපේක්ෂිත දෙයින් මවිතයට පත් වූ හැටි අපට නිවසේ සිට ම දැක ගත හැකි වුණා. 

= පර්සි ජයමාන්න  

 

ජූලි 31 වැනිදා රාත්‍රියේ මියගිය ප්‍රේම් පසුවදා ආයුබෝවන් තුළින් යළි උපන් හැටි!

$
0
0

මීට වසර 32කට පෙර ජූලි 31 වැනිදා රෑ ත්‍රස්තයන් ඔහු සොයා ආවේය. ඒ රජයට එරෙහිව ගිය ත්‍රස්ත ව්‍යාපාරයේ එක් පියවරක් වූ රජයේ සේවයට කැප වූ අයට මරණීය තර්ජනය කර සේවාවලින් ඉවත් කරවීමය. ඊට අවනත නොවූ අය කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් අනිත් අය බියට පත් කිරීමත් එහි එක් අරමුණක් විය. භීෂණ අවදියක් ඇති කොට භීෂණය ඔස්සේ රාජ්‍ය පාලනය අකර්මණ්‍ය කිරීම ඔවුන්ගේ මූලික අරමුණ විය. එහිදී ඔවුන් තෝරා ගත්තේ අනාරක්ෂිතව ජීවත්වූ වඩාත් ජනප්‍රිය අයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඇඳිරි නිතිය පැවති වෙලාවේ මහා රෑ අවට නිවෙස්වල ලාම්පු බලෙන් නිවා දමා ඔවුහූ ප්‍රේමකීර්ති සොයා ආහ. ඇවිත් ඔහු නිවසෙන් පිටතට කැඳවා ගෙන ගියහ. 

ප්‍රේමකීර්ති ද අල්විස් දුවට ලියූ සටහනක්

පසුවදා උදේ ප්‍රේමකීර්ති ද අල්විස් නිවස ආසන්නයේ ම දෙවටක වෙඩි පහර තුනක් සහිතව ඝාතනය කොට තිබී හමුවිය. ‍සිංහල ජාතියට ම ප්‍රේමය, ආදරය, කරුණාව බෙදා දුන් ප්‍රේමකීර්ති අකාලයේ අපට අහිමි කළ ඒ අවස්ථාව අප කිසිවකුටවත් කිසිදාකවත් අමතක කළ නොහැකිය. 

ජූලි 31 වැනිදා රාත්‍රියේ ප්‍රේම් මෙලොව හැර ගිය ද පසුදා උදෑසන ඔහු ජාතික රූපවාහිනියෙන් ජාතියට රස බෙදා දීම සඳහා එහි ‘ආයුබෝවන් වැඩසටහනට එක්වීමට නියමිතව සිටි එකම නිවේදකයා විය. ඒ වැඩසටහන නිෂ්පාදනය කළ ප්‍රේමකීර්තිගේ මිතුරු පියදාස රත්නසිංහට ඔහුගේ අභාවය ගැන දැන ගන්නට ලැබුණේ 1 වැනිදා උදේ 6.45 පමණය. ඒ වෙලාවේ ‘ආයුබෝවන්’ මෙහෙයවන්නට කෙනකු සොයා ගන්නට තරම් වෙලාවක් නැත. ඔහු පුස්තකාලයට පසුගිය කාලයේ ප්‍රේමකීර්ති මෙහෙය වූ ‘ආයුබෝවන්’ වැඩසටහන් සියල්ල එකතු කොට මැදිරියට එවන්නැයි කියා ඔහු එහි ගියේය. 


එදා ප්‍රේමකීර්ති මෙලොව හැර ගිය බව මුළු රටම දැන ගත්තේ ඒ ප්‍රේමකීර්ති විසින් මෙහෙයවන්නට සිටි ඒ වැඩසටහනෙනි. පියදාස ඒ දුක්බර ආරංචිය දී එතැන් පටන් ප්‍රේමකීර්ති කළ වැඩසටහන්වලින් උපුටා ගත් කොටස්වලින් ඒ මුළු වැඩසටහන ම සැරසීය. කලින් දා රාත්‍රියේ ශෝචනීය ලෙස අප හැර ප්‍රේම් පසුවදා උදේ යළිත් උපන්නේ එසේ ය. 

ප්‍රේමකීර්ති ගැන අපේ මිතුරු තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ඔහුගේ ‘කීර්තිශේෂ’ නම් කෘතියට කළ සඳහනක් මෙහිදී මගේ මතකයට නැගෙයි. 

‘ප්‍රේමකීර්ති ද අල්විස් අතිශය සංවේදී පුද්ගලයෙක් විය. ඒ භීෂණ අවදියේ විටින් විට ඇසෙන වෙඩි හඬක් පාසා කම්පාවෙමින්, “කාගෙ හරි ජීවිතයක් නෙ බංචි?” කියමින් නිර්මලා සමග විස්සෝප විය. තමන්ගේම ක්ෂේත්‍රයේ නියැළි මහාචාර්ය සුනිල් ආරියරත්න, ඩී. බී. නිහාල්සිංහගේ ‘රේඛා’ ටෙලි නාට්‍යයට ලියූ ගී පදවැලක් ගැන පැහැදී වරක් ඔශුගේ නිවසට ආවේ කිසියම් සිහිවටන ඵලකයක් ද රැගෙන ය. ඒ පදවැල මෙසේ ය. 

‘වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද 
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත’ 

‘එවැනි සත්පුරුෂයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජූලි 31 වැනිදා රාත්‍රි ඇඳිරි නීතිය බලපැවැත්වෙන මොහොතක සිය නිවසින් පිටතට කැඳවාගෙන විත් තරුණයන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබීය. පසුවදා අලුයම වෙඩි පහර තුනක් සහිත ඔහුගේ දේහය නිවසට නුදුරු දෙවටක අසල තිබී හමුවිය. 

‘ආචාර්ය සරත් අමුණුගම විජය කුමාරතුංග ඝාතනය හැඳින්වූයේ ‘සමනළයකුට වෙඩි තැබීම’ යනුවෙනි. ප්‍රේමකීර්තිට වෙඩි තැබීම හැඳින්විය හැකි යෝග්‍යතම යෙදුමත් එයමය.’ (116-117 පිටු. ‘කීර්තිශේෂ - 2020 සරසවි) 


ප්‍රේමකීර්ති නිසි ලෙස හඳුනා ගන්න නම් ඔහු ගැන ඇති රස කතා විමසිය යුතුය. ඔහු ලියූ ගී රචනා කවි රස විඳිය යුතුය. 

ප්‍රේමකීර්ති අපූරු චරිතයකි. නිර්මාණකරණයේ දී ඔහු පළ කළ අසම්මතභාවය ගුවන් විදුලි නිවේදන කලාවට පමණක් නොව සිය එදිනෙදා ජීවිතයටත් එක් කළේය. එවකට ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න මහතා කළ කතාවකට සංවේදී ප්‍රේමකීර්ති තවත් නොගැළපෙන ඇඳුමක් ඇඳ ගෙන සේවයට ආවේය. ඔහු ඇඳ සිටියේ කොට කලිසමකි. කමිස උඩින් දමා ගෙන සෙරෙප්පු කබල් දෙකක් දමා ගෙන ආවා මදිවාට නාටු බල්ලෙකුත් එල්ලා ගෙන සිටියේය. ආරක්ෂකයෝ ඔහුට හරස් වූහ. ඒත් ඔහු ඒ කිසිවකට මෙල්ල නොවීය. කාර්යාල පිවිසුම් පතේ සේවයට එන විට ඇඳගෙන ආ යුතු ඇඳුම කුමක් විය යුතු දැයි හඳහන්ව නැති බව ඔහුගේ තර්කය විය. අනෙක් අතට බල්ලකු කැටුව පැමිණිය නොහැකි බවක් ද එහි සඳහන්ව නැති බවත් ඔහු කීවේය. ඔහු බලහත්කාරයෙන් බල්ලාත් කැටුව කාර්යාලය ඇතුළට ගියේය. 

මේ බව සැල වූ විගස තිලකරත්න මහතා ප්‍රේමකීර්තිව තමන් හමුවට කැ‍‍ඳ‍ෙව්වේය. ඒ අනුව ප්‍රේමකීර්ති අධ්‍යක්ෂ ජනරාල් හමුවට ගියේය. 

‘මේ මොකද?’ තිලකරත්න මහතා ඇසී ය. 

‘සර්! ඇඳුම න‍ෙමෙයි, මනුස්සයයි වටින්නෙ. ඇඳුමෙන් මිනිස්සු මනින එක වැරදියි’ ප්‍රේමකීර්තිගේ පිළිතුර විය. 

‘මට මනුස්සයා වටින හින්දයි එන්න කිව්වේ. මං කැමති නෑ වටින මනුස්සයෙක් ඔහොම ඉන්නව දකින්න’ තිලකරත්න මහතා කීවේය. ඔහු මිනිස් ගුණ හඳුනන මිනිසකු වූ නිසා ප්‍රේමකීර්තිට නිදහසේ තම මාධ්‍යය දිගටම කරගෙන යාමට හැකි විය. 

‘ඔහුගේ ගුවන්විදුලි ජීවිතය අවුරුදු 25ක් පමණ වෙයි. ප්‍රේමකීර්ති ද අල්විස් සරස්වතී තෛලය බිව් කලක මෙන් මනා වාග් චාතූර්යයකින් හෙබියේය. ඔහුගේ වාග් කෝෂයත්, වාග් විලාසයත් පොදු ජන හද ඇදබැඳ ගන්නසුලු විය. ඔහුගේ කටහඬ නොබෝ කලකින්ම සමස්ත ශ්‍රී ලංකාවාසීන් දන්න හඳුනන කටහඬක් විය. ඔහු ඉදිරිපත් කළ සොඳුරු සෙවණ, සැරිසර පුවත් සඟරාව, දවසේ පුවත, ශනිදා සාදය අසන්නන් අමන්දානන්දයට පත් කළේය. එවා ජන හද දිනූ වැඩසටහන් බවට පත්විය. 

‘ගුවන්විදුලිය හැඳින්වෙන්නේ ‘අන්ධ මාධ්‍යය’ (Blind Media) නමිනි. ගුවන්විදුලියේ රූප නැත. බලන්නට දකින්නට දෙයක් නැත. එහෙත් වඩාත් ප්‍රබල ලෙස රූප මැවීමේ හැකියාවක් ගුවන්විදුලියට තිබේ. රූපවාහිකියෙන් හෝ සිනමාවෙන් මවා දෙන රූප එක් අතකින් අධිපතිවාදීත්වයකින්ද ඕලාරිකභාවයකින්ද යුක්තය. එම රූප පද්ධති නිර්මාණකරුවාගේ චින්තන සීමාවේ නතර වෙයි. එහෙත් ගුවන්විදුලි ශ්‍රාවකයා මවා ගන්නා රූප ඔස්සේ ඒ ඒ ශ්‍රාවකයාගේ පරිකල්පනයෙන් ඈතින් ඈතට යා හැකිය. එහි මායිම - සීමාව රඳා පවතින්නේ සන්නිවේදකයාගේ වාග් ශක්තිය අනුවයි. 

ලංකා ගුවන්විදුලිය ඔස්සේ පරිකල්පනයෙන් ශ්‍රාවකයා ඈතින් ඈතට ගෙන යා හැකි නිවේදන කලාව හඳුන්වා දෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඔහු ඉතා ප්‍රශස්ත ගුවන්විදුලි රූප රචකයෙක් විය. ඔහු කළේ අන්ධ මාධ්‍යයට රූප දැකීමට ‘ඇස් ලබා දීමේ’ නිවේදන කලාවකි. (99- 100 පිටු ‘කීර්තිශේෂ - 2020 සරසවි.)

ප්‍රේමකීර්ති ගුවන්විදුලියට ක‍ෙතරම් ආදරය කළත් ගුවන්විදුලිය ඔහුට එතරම් ආදරය කළේ නැත. ඔහුගේ ප්‍රතිභාවට ඊර්ෂ්‍යා කළ අය එහි බලධාරීන් ලවා ඔහුව 1969 සිට 1977 දක්වා 12 වතාවක් වැඩ තහනමට ලක් කළහ. විවිධ අවස්ථාවල දී ගුවන්විදුලියේ ප්‍රාදේශීය සේවාවලට මාරු කර යැවූහ. රජරට සේවයට ගිය ප්‍රේමකීර්ති එය එකල ජනප්‍රියම ගුවන්විදුලිය බවට පත් කළේය. 

ප්‍රේමකීර්ති නිවේදන කලාවට අමතරව ගීත රචනා කලාවට ද නව මුහුණුවරක් දුන්නේය. ඔහු ගීත රචනයට පිවිසයේ 1969 දීය. ඔහු මුල්ම ගීතය ‘හද පුද අසුනේ සෙනෙහස බැඳුණේ’ ලියුවේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරි දෙදෙනාටය. එය සංගීතවත් කළේ සනත් නන්දසිරි ය. ඉදිරි අවුරුදු 20 තුළ ඔහු ලියූ ගීත රචනා සංඛ්‍යාව දෙදෙහසකට අධිකය. ඉන් වැඩි හරියක් සරල ගීතය. ඔහු මුල්ම චිත්‍රපට ගීතය වූ ප්‍රෙඩී සිල්වා ගයමින් රඟන ‘පරණ කෝට්’ ලියුවේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයටයි. ‘කැකුළු මලක පෙති මත’ නම් ඒ ගීය ගායනා කළේ එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලකයි. සංගීතවත් කළේ ප්‍රෙමසිරි කේමදාසයි. ඔහු මිය යන විට චිත්‍රපට 160කට පමණ ගීත ලියා තිබුණි. 

ප්‍රේමකීර්ති වැඩිපුර ලීවේ ප්‍රේම ගීතය. ඒවා අතර, ‘තනි තරුවේ’, ‘මියුරු කල්පනා’, රනේ රුවට’, ‘මල්සර උක්දඬු දුන්න’, ‘නැවුම් සුවඳින්’, ‘ඔබෙ දෙතොල් පෙති ලිහී’, මට ලියා ගන්න බෑ’, මුතු වරුසාවට තෙමිලා’, ‘මිහිරිද මිහිරියේ’, ‘බිංදුමති’, ‘ආදර ගඟුලෙහි’, ‘කුණ්ඩුමනී, ‘ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ’, ‘ආදර මල් පවනේ’, ‘තරු අත්අකුරින් ලියා තබමි’,‘කඳුලැල් සලා’ ඉන් කීපයක්. ඔහු මවු ගුණ ගැන ලියූ ගීත අතර වික්ටර් රත්නායක ගයන ‘ආදරයේ උල්පත වූ අම්මා’ මෙතෙක් මා අසා ඇති හොඳම ගීතය වෙයි. බුදු ගුණ ගී අතර, ‘දෙව්රම් වෙහෙරේ’, ‘සමිඳු පාමුල’, ‘දොම්නසින් බර’, ‘අරුණලු පැතිරෙන’, නිවන් දුටු හිමි’, වඩාත් කැපී පෙනෙයි. ඔහු තම පුද්ගල අත්දැකීම් ද ජනප්‍රිය ගීත බවට පත් කරන්නට දක්ෂ වුණා. ඒවා ‘යශෝදරා වේවා’, ‘සුරංගීට දුක හිතුණා’, ‘පුතෙක් උපන්නා’, ‘මා එක්කලා අමනාපව’ වැනි ගී කිසිදාක ගීත රසිකයන්ට අමතක නොවේ. 

ඔහු ලියූ ළමා ගී අතර, ‘රූම් පෙත්ත කැරකෙනවා’, කියන්න සුළ‍ඟ‍ෙ ඔබ කොයි සිටදෝ එන්නේ’, ‘පුංචි පන්තිවල’, සමනලයා මල හා ළමයා’ වැනි ගීත වඩාත් ජනප්‍රියය. 

1969 දී වෙළෙඳ තැටියකට ප්‍රේමකීර්ති ලියූ ‘ආරොන් මාමා’ ගීතයෙන් ආරම්භ කළ, ජන හද දිනූ ප්‍රහසන ගීත කලාව තවමත් ඔහුගේ ගීවලින් ඔබ්බට ගෙන යාමට ඔහුගේ අභාවයෙන් වසර 32කකට පසුවත් ගීත රචකයකු බිහිවී නැත. තවමත් ඇසෙන්නේ ඔහු ලියූ, (බොරු කකුල්කාරයා) ‘අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ’, (ගිනිබෝලකාරයා) ‘ගිනිබෝල බෝල කැරකේය’, (පෙත්සම්කාරයා) අලුත් කලාවක් සොයා ගත්තා මං’, (කුණ්ඩුමනී) ‘මන්නාරම් පිටිවැල්ලේ’, (අන්දරේ) ‘දන්නාවු රට පැවතෙන්නාවු පෙර සිට’ ආදී ගීත ය. 

ප්‍රේමකීර්ති ලියූ ‘දොස්තර හොඳ හිත’ සැකිලි රූ ගීය මේ විඩියෝවන් නරඹන්න. 

ටයිටස් තොටවත්ත සූරීන්ගේ රූපවාහිනී සැකිලි රූ සඳහා ද ඔහු මේ උපහාසය යෙදූ ගීත ලියා දුන්නේ ය. ‘දොස්තර හොඳ හිත’ සැකිලි රූ සඳහා ඔහු ලියූ ගීත අතර, ‘බෑයි කියල බෑයි කියලා බෑ’, ‘අඩි ගානක වළක් කපලා’, ‘මුහුද මගේ ගොඩ බිමයි’ ආදිය වසර 32ක් ගෙවිලත් දරුවන් අතර එකසේ ජනප්‍රියය. 

ප්‍රේමකීර්ති කිසි විටෙක කිසිවකුට තබා කුරා කූඹියකුටවත් වරදක් කළේ නැත. කිසිවකුගේ සිත රිදෙව්වේ නැත. ගීතයෙන් පළ කළ ඔහුගේ අහිංසක උපහාසය ඊට ලක් වන්නන්ට පවා වින්දනයක් ගෙනාවේය. දේශපාලනයෙන් අන්ධ වූ ජාතිභ්‍රෂ්ටයන් පිරිසකගේ නියෝගය මත ඔහු සාහසික ලෙස ඝාතනය විය. ඔහුගේ අකල් වියෝවෙන් කම්පාවට පත් සහෘද ගීත රචකයකු වූ ධර්මසිරි ගමගේ ඒ ගැන එදා මෙසෙ සඳහන් කර තිබුණේය. “රුදුරු වෙඩි පහරින් අහසේ පෑයූ සඳ කැබලි වී ගිය එක් රැයක ප්‍රේමකීර්තිගේ හද ගැස්ම නතර විණි. එහෙත් අපට තවමත් ඔහුගේ හද ගැස්ම ඇසෙයි...නාඩි වැටෙන හඬ තවම අපට දැනෙයි...ඒ කවියකුගේ ගී පොත කිසිදාක මළගමක දී දැවිය නොහැකි බැවිනි.” 

ප්‍රේමකීර්ති ද අල්විස් ගැන මේ වීඩියෝ පටියෙන් බලන්න! 

ප්‍රේමකීර්තිගේ ගුවන්විදුලි සන්නිවේදන කලාවේ ගුරුවරයා, ගුවන්විදුලිය එතෙක් මෙතෙක් බිහි කළ නිර්මාණශීලී විශිෂ්ටයා ලෙස සැලකෙන කරුණාරත්න අබේසේකර ය. ඔහු අනුව යමින් නිවේදන කලාවට අසීමිතව ආදරය කළ ප්‍රේමකීර්ති සිය ඇසුරේ සිටි සහෘදයන්ට නොමසුරුව ඔහු දන්නා දෙය බෙ‍දා දුන්නේය. එහි ප්‍රතිලාභය ලැබූ එක් අයකු ලෙස ‘සිරස’ ගුවන්විදුලිය ආරම්භ කරමින් ගුවන්විදුලි සන්නිවේදනයේ නව මාවතක් විවර කළ නිමල් ලක්ෂපති ආරච්චිය. 

ප්‍රේම් මට හිතවත් වූයේ මා සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරද්දීය. කරුණාරත්න අබේසේකර සූරීන් ගුවන්විදුලියේ ‘සරස්වතී මණ්ඩපය’ මෙහෙයවද්දී, කුඩා කාලයේ යැවූ මගේ නිර්මාණ දෙකක් ප්‍රේමකිර්ති කියෙව්වා මට මතක වුත් ඔහු ඊට කලින් මා මුණ ගැසී තිබුණේ නැත. ඔහු පාසල් යන කාලයේ සිට ම ලියූ කවි මීමන ප්‍රේමතිලක කර්තෘවරයාව සිටි අවදියේ සිට ම සිළුමිණේ පළ විය. වරක් ඔහු සිය දියණිය සුරංගීගේ උපන්දිනය දා පළ කරන්නට කවි පන්තියක් එව්වේ ය. ඔහුගේ පුද්ගලික අත්දැකීමක් වුනත් පොදු අත්දැකීමක් කර පාඨකයන්ට රස විඳින්නට සැලැස්වීමට ඔහු සමත් වීම මගේ මවිතයට හේතුවුණා. 

වසර 42ක් වැනි කෙටි ජීවිතකාලයක් තුළ දී ඔහු ජාතියට දුන් නිර්මාණ ප්‍රමාණය වසර සීයක් ජීවත්වූ නිර්මාණකරුවකු පවා නොකරන තරම් විශාලය. ඔහුගේ ගීත හැම එකක්ම අන්තර්ජාලයෙන් රස විඳින්නට ඔබට අවස්ථාව තිබේ. වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල, සනත් නන්දසිරි, ප්‍රෙඩී සිල්වා, සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලව ආරච්චි, අබේවර්ධන බාලසූරිය, ‍නීලා වික්‍රමසිංහ, මොහිදීන් බෙග් ඇතුළු අපේ ගායක පරපුරේ සියලු ගායකයන්ට ඔහු ලියූ ගී අසන තාක් කල් ප්‍රේමකීර්ති අපට කිසිදාක අමතක නොවේ.

-          -- පර්සි ජයමාන්න


ඇත්තටම අතීතයේ සිංහයන්, ව්‍යාඝ්‍රයන්, කඟවේනුන් ලංකාවේ වාසය කළා ද?

$
0
0

අපේ ජාතික කොඩියට සිංහයා ආවේ කොහොමද? මහාවංශයේ සිංහබාහු පුරාවෘත්තය නිසාද? නැතිනම් අතීතයේ දී සිංහයන් ඇත්ත වශයෙන් ම අපේ රටේ ජීවත්ව සිටියාද? සිංහරාජ වනාන්තරයට ඒ නම ලැබුණේ අතීතයේ සිංහයන් එහි ජීවත්ව සිටි නිසාද? සිංහයන් අපේ රටේ ජීවත්ව සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්කියක් 1936 දී රත්නපුර, කුරුවිට, ඒදණ්ඩාවල පන්විල ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවුණා. පොළොව මට්ටමේ සිට අඩි 19ක් විතර ගැඹුරෙනුයි, මේ සාක්කිය සොයා ගනු ලැබුවේ. ඒ සිංහයකුගේ පොසිල දතක්! සිංහයකුගේ චාර්වක දතක් ලෙස හඳුනාගත් එය පසුව අපේ කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයකු ව සිටි පී. ඊ. පී. දැරණියගල මහතා විසින් ඒ සිංහ දත බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට තෑගි කොට තියෙනවා. 

කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවූ වසර 17,000 පැරණි පොසිලයකින් ව්‍යාඝ්‍රයන් මෙහි සිටි බව 
තහවුරු වුණා. (රත්නපුර කෞතුකාගාර භූමියේ නිර්මාණය කර ඇති ව්‍යාඝ්‍රයා.)

මේ සිංහ දතත් සමග තවත් පොසිල භවනය වූ තවත් සත්ව කොටස් මේ මැණික් පතලෙන් හමුවුණා. ඒවා අතර හිපපොටේමස්, රයිනෝසිරස් (කඟවේනා) පමණක් නොව වත්මන් අලියාට කලින් ජීවත්ව සිට වඳවී ගියේ යැයි සැලකෙන ‘එලිෆස් මැක්සිමුස් සිංහලයුස්’ (Elephas maximus sinhalaeyus) නමින් විද්‍යාත්මකව හැඳින්වෙන ආදීම අලියාගේ කොටස් ද තිබුණා. 

මේ හැරෙන්නට ඈත අතීතයේ දී ලංකාවේ ව්‍යාඝ්‍රයන්, පැරණි ගවයන් වූ ගවරා වැනි සතුන් ද ජීවත් වූ බවට තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්කි මේ වන විට සොයා ගෙන තියෙනවා. 

අප ජීවත්වන මේ හොලෝසින යුගය ආරම්භ වූයේ මින් වසර 11,700කට පමණ පෙරයි. ඊට පෙර යුගය පැවතියේ අවසාන ග්ලැසියර යුගයයි. එය හැඳින්වෙන්නේ ප්ලයිටෝසීන (Pleistocene) යුගය ලෙසයි. එය වසර ලක්ෂ 26ක් තරම් විශාල කාල පරිච්ඡේදයක්. කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියන්නේ මේ කාලය තුළ, එනම් මීට වසර එක් ලක්ෂ පනස් දහසක් හෝ ඊට පෙර සිංහයන්, ව්‍යාඝ්‍රයන්, හිපපොටේමස් වැනි වඳ වී ගිය සතුන් ජීවත්ව සිටියා යැයි සැලකිය හැකි බවයි. 

ශ්‍රී ලංකාවේ සිංහයන් ජීවත්වූ බව සනාථ කිරීම දැනට අප සතුව ඇති 
එකම පුරාවිද්‍යාත්මක සාක්කිය මෙයයි.

ප්ලයිටෝසීන යුගයේ ජීවත්ව වඳ වී ගිය සතුන්ගේ පොසිල වැඩි හරියක් හමු වී ඇත්තේ රත්නපුරය අවට ප්‍රදේශයේ දියළු තැන්පතුවලින්. රත්නපුරයට අමතරව මොණරාගල, බදුල්ල යන ප්‍රදේශවල ලුණුගල, අඩාවත්ත මැණික් පතල්වලින් මෙන්ම දකුණු පළාතේ කලමැටියෙන් ද මේ යුගයේ පොසිල හමුවී තියෙනවා. මේ යුගයේ දී රත්නපුරය ප්‍රදේශය ගංගා විල් ආදියෙන් පිරුණු, අධික වැසි සහිත වනාන්තරවලින් සමන්විත සැවනා බිම් ලෙස පවතින්නට ඇතැයි ද වැසි සහිත විද්‍යාඥයන් විශ්වාස කරනවා. 

‘මිනිස්සු මැණික් පතල් හාරන්නේ ඒ අතීතයේ පැවති ගංගාවල පතුල් හමුවන බිම්වලයි. ඒ තෙත් සහිත පොළොවෙහි පරිසරය සතුන්ගේ අස්ථි කොටස් සුරැකිව තැන්පත් වීමටත් ඒවා පොසිලභවනය වීමටත් තත්වයක් උදා කරනවා. රත්නපුරයේ විතරක් නොවෙයි, අනෙක් ප්‍රදේශවලත් සිංහයෝ ඉන්න ඇති. ඒත් අපට තවම සාක්කි හමුවෙලා නෑ.’ යයි මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා. 

1982 දී ආචාර්ය ශිරාන් දැරණියගලගේ මෙහෙයවීම යටතේ බටදොඹ ලෙනෙහි කැණීම් ආරම්භ කෙරුණු අතර එහි දී සතුන්ගේ අස්ථි කොටස් හා දත් අති විශාල ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා. ඒවා බලන්ග‍ොඩ මානවයා විසින් දඩයම් කර ගෙන අවුත් අනුභව කරන ලද සතුන්ගේ කොටස් ලෙස හඳුනා ගැනුණා. මේවා විශ්ලේෂණය කරන්නට 1985 දී එක් වූ සත්ව විශේෂඥයන් අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජූඩ් පෙරේරාත් කීට විද්‍යාඥ පී. බී. කරුණාරත්න, තමනුත් සම්බන්ධ වූ බව කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා. 

පුරා විද්‍යා හා පොසිල විශේෂඥ, සත්ව විද්‍යාඥ කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා

‘බටදොඹ් ලෙනේ හතර වන පස්වන ස්තරවල කැණීම්වලදී අපට ලැබුණා, සුවිශේෂ ඇඟිලි පුරුක් සහ දත් කෑලි හතරක්. ඒකෙන් දෙවැනි ඇඟිලි පුරුක කිසිම පළුද්දක් නැතිව සම්පූර්ණව තිබුණා. අපි ඒ වෙලාවෙ හිතුවෙ ඒක සිංහයකුගෙ කියලයි. ඒක 1986 දී ආචාර්ය ශිරාන් දැරණියගල මහත්තයා ඒක යැව්වා එංගලන්තතෙ ලන්ඩන් නුවර ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට. ඒක පරීක්ෂා කර බැලූ ක්ෂීරපායීන් පිළිබඳ විශේෂඥ ආචාර්ය ක්ලූටන් බ්‍රෝක් ඒවා පරීක්ෂා කර බලා ඒවා සිංහයකුට අයත් ඒවා යයි නිගමන කළා. 

‘ඒත් ඊට පස්සෙ 1994 පටන් මම මේ ඇඟිලි පුරුක හා දත් කෑලි අර ගෙන ඉන්දියාව, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල කෞතුකාගාරවලට ගියා. ඒවායේ තියෙන සිංහ හා ව්‍යාඝ්‍ර ඇඟිලි පුරුක් සිය ගණනක් මැන සන්සන්දනය කර බැලුවා. ඒ ගණනය කිරීම් අනුව ඒක සිංහයන්ට නොව ව්‍යාඝ්‍රයන්ට සම්බන්ධ එකක් බව තහවුරු වුණා. ඒ අනුව මම පළමු වතාවට ඒ බව තහවුරු කරලා පර්යේෂණ පත්‍රිකාවක් පළ කළා.’ යයි කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා. 

මෙරට විසුවේ යැයි සැලකෙන රයිනෝසිරස් (කඟවේනා).

බටදොඹ ලෙනෙන් හමු වූ ‘සිංහයා’ ඉන් වසර අටකට පසු ‘ව්‍යාඝ්‍රයකු’ වූයේ එහෙමයි. ඒ සමගම ඒ අස්ථි කොටස් කාබන් 14 පරීක්ෂාවට ලක් කළ අතර එයින් එම කොටස් වසර 17,000ක් පැරණි ඒවා බවට තහවුරු වුණා. ඒ සොයා ගැනීම වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානය ද පිරිනැමුණා. 

ශ්‍රී ලංකාවේ ජීවත්වූ ව්‍යාඝ්‍රයන්ගේ පොසිල තවත් හමු වී තියෙනවා. 2008-9 වසරවල ගම්පහ පොත්ගුල් ලෙනෙන් වගේ ම 2012 දී බුලත්සිංහල පාහියන් ලෙනෙන් ද හමුවුණා. මීට අමතරව 2008 දී කුරුවිට මැණික් පතලකින් රදනක දතක් හමුවූ අතර එය සිංහයකුගේ ද ව්‍යාඝ්‍රයකුගේ ද නිශ්චිත කිව නොහැකිව ඇත්තේ එහි කොටසකට හානි වී තිබීම නිසයි. 

අතීතයේ සිට වඳ වී ගිය වල් ගවයා (සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන ගොනා සිංහලයා)

‘ඉන්පසු නමුණුකුළ කඳුවැටිය ආසන්නයේ පිහිටි ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ කළ මැණික් පතල් කැණීම්වලදී රයිනෝසිරස් හිස් කබල් දෙකක් හමුවුනත් අවාසනාවට ඒවා අප අතට පත් වුණේ නැහැ. ඒවා හමුවුණේ අඩි 62ක් ගැඹුරු මැණික් පතලකින්. මහා වැස්සක් ඇද වැටී ඒවා ගහගෙන ගිය බවත්, එහි වූ දත් පමණක් ගලවා ගත් බවත්, ඒ ගෙනා තරුණයන් අපට කීවා. ඒ දත් වසර 80,000ක් පැරණි යැයි විද්‍යාත්මකව තහවුරු වුණා.’ යයි කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා. 

කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා තවත් අපූරු වැඩක් කරලා තියෙනවා. අතීතයේ විසූ පසුව වඳවී ගිය සතුන් ඔබට දැක ගන්න කැමති නම් ඒ සතුන් දැන් ප්‍රති නිර්මාණය කරලා තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ඒකකය සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව තමයි, එයට දායකත්වය සපයා තියෙන්නේ. රත්නපුර කෞතුකාගාරය නරඹන්න ගියොත් එහි එළිමහනේ මේ සතුන් ඉන්නවා දැක ගත හැකියි. 

‘ඒක අධීක්ෂණය කළේ මමයි. සම්පූර්ණ සතාව කොළයක ඇඳලා මිමි, මූලික රූප විද්‍යාත්මක ලක්ෂණ ආදිය සියල්ල විශ්ව විද්‍යාලවල විශේෂ පුහුණුව ලත් මූර්ති ශිල්පීන්ට දුන්නා. අපට අවශ්‍ය වුණේ පොසිල විද්‍යාව, පුරාණ ජෛව විවිධත්වය ගැන විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් සිසුන්ට සහ පොදු ජනතාවට දැනමක් ලබා දෙන්නයි, මේවා නිර්මාණය කළේ.’ මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා. (බී.බී. සී සිංහල සේවය ඇසුරෙනි.) 

- පර්සි ජයමාන්න 

 

තෝකියෝ ඔලිම්පික් උළෙලේ විස්මිත අවස්ථා කීපයක්!

$
0
0

එක ධජයක් යටතේ, එකමුතු හැඟීමෙන්, ජාති, ආගම්, කුල, ගෝත්‍ර, වර්ණ, භාෂා, පක්ෂ ආදි හේද සියල්ල අතහැර, එක ගම්මානයකට ඇවිත් එකාවන්ව තම ශක්තිය උරගා බැලූ රටවල් 205ක ජනතාව නියෝජනය කළ ක්‍රීඩා කණ්ඩායම් හා රටක් නැති සරණාගත ක්‍රීඩා කණ්ඩායමත් පසුගියදා විසිර ගියා. වසර හතරකට වරක් එන මේ විශේෂ අවස්ථාව දෙස විමසුම් ඇසින් බැලුවොත් අපට ඉගෙන ගන්නට ඇති දේ බොහෝයි. මා මේ කතා කරන්නේ පසුගියදා අවසන් වුණු ලොව පැරණිම ක්‍රීඩා උළෙල ගැනයි. එනම් ජපානයේ තෝකියෝ අගනුවර පැවති 32 ඔලිම්පික් උළෙල ගැනයි. 

රන් පදක්කම් හතක් දිනූ ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරිය - එමා මැකියන්.

ඔලිම්පික් උළෙලේ ඉතිහාසය වසර දහස් ගණනක් ඈත අතීතයට දිව ගියත් 1896 දී නවීන ඔගිම්පික් උළෙල ආරම්භ කළ ප්‍රංශ ජාතික පියරි ඩි කුබෝර්ටීන් (Baron Pierre de Coubertin) සාමිවරයා විසින් වුනත්, සිතන්න නැතුව ඇති වසර හතරකට වරක් පැවැත්වෙන මෙම උළෙලෙන් ලොව පුරා සිටින ජනතාව එකිනෙකා මේ තරම් සමීප වෙතැයි කියා. ඒ වගේ ම මේ තරම් සේවයත් ඉටු වෙතැයි කියා. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනවා හැරෙන්නට ලොව පුරා ක්‍රීඩාවන් නංවාලන්නට ලොකු මෙහෙයක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉටු වෙනවා. ඒ වගේ ම ලොව පුරා ජාතික ඔලිම්පික් කමිටු 186ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800 දෙනකුට මේ 2020 ඔලිම්පික් සහයෝගතා වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබා දෙනවා. 

ලෝක වාර්තා 6ක් බිඳ හෙළමින් නව ඔලිම්පික් වාර්තා 24ක් පිහිටුවයි! 

2020 තෝකියෝ ඔලිම්පික් උළෙල ගිය ඉරිදා අවසන් වුණේ කෝවිඩ් 19 වසංගතය නිසා වසරකින් කල් ගිය පසුබිමකයි. මේ ආකාරයට ඔලිම්පික් උළෙලක් කල් දමනු ලැබුවේ පළමු වතාවටයි. මේ වතාවේ ඔලිම්පික් උළෙලේ දී නව වාර්තා 24ක් පිහිටුවනු ලැබුවා. ඒ හපන්කම් වැඩියෙන් ම කළේ පිහිනුම් ඔරු පැදීම් ශූරියන්, ශූරයන් තමයි. මෙවර උළෙලේ දී ඔලිම්පික් වාර්තා විතරක් නෙවෙයි, ලෝක වාර්තා හතකුත් බිඳ දමනු ලැබුවා. ඒ බර ඉසිලීම් ඉසව්වලින් හතරකුත්, මලල ක්‍රීඩා හා සයිකල් තරඟ තුනකිනුත් වශයෙන්. 

වැඩි ම රන් පදක්කම් දිනූ දෙදෙනා 

ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරියක වූ එමා මැකියන් (Emma McKeon) රන් පදක්කම් හතක් දිනා ගත්තා. 27 හැවිරිදි එමා ඒ රන් පදක්කම් දිනුවේ කාන්තා මීටර 50, මීටර 100 නිදහස් ආර, කාන්තා කඩින් කඩ පිහිනුම් 4x100m නිදහස් ආර හා මිශ්‍ර ආර යන පිහිනුම් ඉසවු සඳහායි. 

රන් පදක්කම් හතක් දිනූ එක්සත් ජනපද පිහිනුම් ශූර - කේලබ් ඩ්‍රෙසෙල්

එක්සත් ජනපද පිහිනුම් ශූරයකු වූ කේලබ් ඩ්‍රෙසෙල් (Caeleb Dressel) වැඩි ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. ඔහු තෝකියෝ පිහිනුම් තටාකයට පිවිසි වඩාත් දක්ෂ පිහිනුම්කරුවා වුුණා. පිරිමි මීටර 50 හා මීටර 100 නිදහස් ආර, මීටර 100 සමනල ආර, පිරිමි කඩින් කඩ පිහිනුම් 4x100m නිදහස් ආර හා මිශ්‍ර ආර ආදී පිහිනුම් ඉසවුවලින් තමයි, ඔහු රන් පදක්කම් දිනුවේ. 

රන් පදක්කම් දිනූ ළා බාල ම ඔලිම්පික් ශූරිය හා වයස්ගත ම රන් පදක්කම්ලාභිණිය. 

තෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනූ ළා බාල ම තරඟකාරිය වූයේ ජපානයේ මොමිජි නිශියා (Momiji Nishiya)යි. ඒ කාන්තා වීදී ස්කේට්බෝඩ් පදින ඉසවුවෙන්. ඒ රන් පදක්ක දිනන අවස්ථාවේ දී ඇගේ වයස අවුරුදු 13 දින 330ක්. මීට කලින් ඒ වාර්තාව පිහිටුවා තිබුණේ ඇමරිකන් කිමිදුම් ශූරියක වූ මාජරී ගෙස්ට්‍රින් (Marjorie Gestring) 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේදියි. ඒ අවස්ථාවේ ඇගේ වයස අවුරුදු 13 දින 267ක් වුණා. තෝකියෝ ඔලිම්පික්වලදී කාන්තා ස්කේටින් බෝඩ් ඉසවුවෙන් රිදී පදක්කම හිමි කර ගත් 12 හැවිරිදි කොකෝනා හිරාකි (Kokona Hiraki) ස්කේටින් ශූරිය අනෙක් ළා බාල ම කාන්තාව වුණා. 

තෝකියෝ ඔලිම්පික්වලට සහභාගි වී රන්පදක්කමක් දිනූ වයස්තම කාන්තාව වූයේ අශ්වාරෝහක කණ්ඩායම් ඉසවුවට සහභාගි වූ 52 හැවිරිදි ජර්මන් ජාතික ඩොරති ෂ්නයිඩර් (Dorothee Schneider) වූ අතර ඇය සමග රන්පදක්කම දිනූ ඒ කණ්ඩායමේ ජෙසිකා වොන් බ්‍රෙඩෝ වර්න්ඩ්ල්(Jessica von Bredow-Werndl) හා ඉසබෙල් වෘත් (Isabell Werth) යන දෙදෙනා ම 52 හැවිරිදි වුවද ඔවුන් ඩොරතිට වඩා මාස කීපයකින් වැඩිමහල් අයයි. ඒ වගේ ම ඕස්ට්‍රේලියානු අශ්වාරෝහක ඉසවු ක්‍රීඩිකාවක වූ 62 හැවිරිදි ඇන්ඩෲ හෝයි (Andrew Hoy) කණ්ඩායම් තරඟවලින් රිදී පදක්කමක් ද ඒකල ඉසවුවකින් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තා. 

ඉන්දියාවේ එකම රන් පදක්කම දිනූ නිරාජ් චොප්රා 

මුළු ඔලිම්පික් උළෙලේ ඉතිහාසයට ම ඉන්දියාව දිනා ගෙන තියෙන්නේ රන් පදක්කම් 10ක් පමණයි. එයින් 8ක් ම දිනා ගෙන ඇත්තේ හොකි ක්‍රීඩාව සඳහා ඉන්දියානු හොකි කණ්ඩායමටයි. ඉතිරි රන් පදක්කම් දෙක දිනා ගත්තේ කේවල ක්‍රීඩා ඉසවු සඳහායි. ඉන් පළමු කේවල රන් පදක්කම දිනා ගත්තේ අභිනව් බින්ද්‍රා (Abhinav Bindra) 2008 දී බෙයිජිං ඔලිම්පික් උ‍ෙළලේදියි. දෙවැනි ඔලිම්පික් රන්පදක්කම ඉන්දියාවට හිමිකර දුන්නේ නිරාජ් චොප්රා (Neeraj Chopra) යි. 

නිරාජ් චොප්රා මෙවර රන්පදක්කම දිනා ගත්තේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන්. එය විස්මයජනක හෙල්ල විසි කිරීමක් ලෙසයි. ඔහු මීටර 87.58ක් දුර හෙල්ල විසි කළා. ඉන්දියාවට රන් පදක්කමක් ලැබුණේ මේ වසර 12කට පසුවයි. ඉන්දියාවේ නිරාජ්ගේ ජයග්‍රහණය ඉන්දියනු වැසියන් කෙතරම් උද්දාමයට පත් වුණා ද කීවොත් ගුජරාටයේ හා නේත්‍රාන් නගරයේ ඉන්ධන හල් හිමියන් දෙදෙනෙක්ම නිරාජ් නම ඇති ඕනෑම කෙනෙකුට පැට්‍ර්ල් නොමිලයේ ලබා දුන්නා. ගුජරාටයේ ජනාගාද්වල ගිරිනාර් කේබල් කාර් පද්ධතියෙන් අගෝස්තු 20 වැනිදා දක්වා ‘නීරාජ්’ නම තියෙන ඕනෑම කෙනෙකුට නොමිලේ ඒ වාහන මගින් ගමන් කළ හැකියි, කියලා දැන්වීම් ප්‍රසිද්ධ කරලා තියෙනවා. 

මෙවර ඉන්දියාවට රන්පදක්කම හිමිකර දුන් නිරාජ් චොප්රා

නිරාජ් චොප්රා හෙල්ල විසි කිරීමේ තරඟයේ දී හෙල්ල විසිකරන්න සූදානම් වෙන මොහෙතේ ඉන්දියානු නරඹන්නන් ඔහුව දිරිමත් කරනු ඔහුට අසන්ට ලැබුණා. ඔහු ඒ ජයග්‍රාහී හෙල්ල විසි කළ මොහොතේ ඉන් උද්දාමයට පත් නිරාජ් ඉන්දියානු ජාතික කොඩිය ඔසවාගෙන නරඹන්නන් සිටි දෙසට දිව ගියා. ඒත් එහි නරඹන්නන් නැති බව ඔහුට අවබෝධ වුණේ ටිකක් දුර ගියාට පස්සෙයි. ඔහු හැරිලා ආවා. ඔහුට විතරක් නොවෙයි අනික් තරඟකරුවන්ටත් ඒ ආකාරයෙන් ම ඔවුන්ගේ රටේ නරඹන්නන් තරඟකරුවන් දිරිමත් කර ආකාරයේ ශබ්ද සියල්ල ඩිජිටල් ක්‍රමයට පටිගත කර ඒ අවස්ථාවල ඔවුන්ට අසන්නට සැලැස්වීමට ඔලිම්පික් තරඟ සංවිධායකයන් කටයුතු කර තිබුණා. 

නීරාජ් චොප්රාගේ හෙල්ල විසි කළ අවස්ථාව මේ විඩියෝවෙන් නරඹන්න 


නරඹන්නන් නැති අඩුව පිරිමැහුවේ විඩියෝ වෝල් මගින්! 

මෙවර ඔලිම්පික් උළෙලට නරඹන්නන් සහභාගි කර ගත්තේ නැහැ. ඒත් ක්‍රීඩකයන්ට තමන් තනිවී නැති බව හඟවන්නට, අවශ්‍ය උද්යෝගය හා උත්තේජනය ලබා දෙන්නට, නරඹන්නන් උද්ඝෝෂණ, අත්පොලසන් හා තරඟකරුවන් දිරිමත් කිරීම් ඇතුළත් ඩිජිටල් පටි ගත කිරීම් මිලියන 250ක් යොදා ගෙන වීඩියෝ වෝල් සෑම තැන ස්ථාපිත කරන්න සංවිධායකයන් කටයුතු යොදා තිබුණා. 

ඔලිම්පික් උළෙලේ විස්මිත කරුණු 8ක් ගෙනා ‘විශ්මිත ලෝකය’ වීඩියෝව පහතින් නරඹන්න! 

කොන්ඩමයේ පිහිටෙන් රන් පදක්කම් දිනූ ජෙසිකා 

ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපත්පාලන කොපු හෙවත් කොන්ඩම් 60 දහසක් ලබා දී තිබුණා. කාන්තා කායැක් ඔරු පැදීමට සූදානම් වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා 27 හැවිරිදි ජෙසිකා ෆොක්ස් (Jessica Fox) දුටුවා ඇගේ කායැක් ඔරුවේ මුල්ලක් බිඳී ඇති බව. එයින් වතුර ඇතුළට කාන්දුවීමක් සිදුවිය හැකියි. කායැක් ඔරුවේ සමබරතාව නැති වී යාමෙන් ඇය අනතුරට පත් විය හැකි ඇය තේරුම් ගත්තා. තරඟයට සූදානම් ව සිටි අවස්ථාව නිසා ඇයට ඒක අලුත්වැඩියා කරවා ගන්න වෙලාවක් නැහැ. ඇයට එක පාරටම තමන්ට දීලා තිබුණ රබර් කොන්ඩමය මතක් වුණා. ඇය ඒ කොන්ඩමයකින් ඒ තුවාල වුණු ඔරු කොන තමන් විසින්ම අලුත් වැඩියා කර ගත්තා. එසේ කර ගෙන තරඟය හොඳින් කළා. කාන්තා කායැත් ස්ලාලෝම් තරඟ ඉසවු දෙකකින් ලෝකඩ පදක්කමක් හා රන් පදක්කමක් දිනා ගත්තා. 

කොන්ඩමයේ පිහිටෙන් රන් පදක්කම් දිනූ ඕස්ට්‍රේලියාවේ ජෙසිකා ෆොක්ස්

ඇය ලෝකයේ අංක එකේ ඔරු පැදීමේ ශූරියයි. මෙවර ඔලිම්පික් ඔරු පැදීමේ ඉසව්වක් දිනූ පළමු කාන්තාව ඇයයි. ඇය ටික්ටොක් ඔස්සේ වීඩියෝවක් පළ කරමින් කීවේ, ‘ඔයාල කවදාවත් හිතන්න නැතුව ඇති කොන්ඩම් යොදා ගෙන කායැක් ඔරු අලුත්වැඩියා කළ හැකි බව. කායැක් ඔරුපදින්නන් කොන්ඩම් පාවිච්චි කරන්නේ මෙහෙමයි’ කියායි 

- පර්සි ජයමාන්න 

Viewing all 1091 articles
Browse latest View live